නොනැසෙන්නේ වඩාත් ම සුදුස්සා ද? | සත්මඬල

නොනැසෙන්නේ වඩාත් ම සුදුස්සා ද?

ජීවත්වීම සඳහා නියුතු අරගලයේදී නොනැසී ඉතිරි වන්නේ පරිසරයට ගැළපෙන සේ එනම් අරගලයට ඔරොත්තු දෙන සේ පෝෂණය සපයා ගැනීමට මෙන්ම තරගයෙන් ජයගැනීමට සමත්වන පරිදි හැඩගැසුණු ‘වඩාත් උචිත වූවන්’ ය

කිසිවක් ඉබේ සිදුවන්නේ නැත. හැම සිදු වීමකට ම තුඩුදෙන හේතු කර්තෘකයන් ඇතැයි විද්‍යාත්මක නිගමනයකි. සත්වයා පහළ වන්නේ තම විකාශය මඟිනි. සත්වයන්ගේ ක්‍රම විකාශයට හේතු වන්නාවූ ඒ හේතුකර්තෘකයන් පිළිබඳ ව චාල්ස් ඩාවීන්ගේ පෙන්වා දීම්වලට අනුව සත්වයාගේ පරිණාමයට හේතු වන්නේ විකෘතිය, සහජ ධර්මය සහ ස්වයංවරණය යන කාරණා ය. විකෘතිය යනු සත්වයින් එකිනෙකාට වෙනස් වීම ය. ඒ විකෘතිය පැටවුන්ට දරු මුණුබුරන්ට උරුමකොට දෙන ධර්මතාව සහජ ධර්මය වේ. මේ විකෘති ලක්ෂණ සහිත සත්වයින් අන්‍යයන් සමඟ සම්මිශ්‍රණය වීම වළක්වා තම පරම්පරාව ව්‍යාප්ත කරන හේතු කර්තෘකය හඳුන්වන්නේ ස්වයංවරණය යනුවෙනි.

සත්වයින්ගේ පරිණාමයට අනුබල වන්නා වූ ධර්මතාවන් පිළිබඳ ව මාර්ටින් වික්‍රමසිංහ 1934 දී තරම් ඈතකදී කළ විග්‍රහයක් ඊට දශක අටකට පසුව හොලිවුඩයේ බිහිවන චිත්‍රපටයක් ඔස්සේ යළි ස්මරණයට පොලඹවන නව සිතිවිලි ප්‍රබලය. 2016 වසරේ ඔස්කාර් සම්මානිත ‘ ද රෙවනන්ට්’ චිත්‍රපටය වෙතින් ප්‍රත්‍යක්ෂණය කෙරෙන වැදගත්ම අවධාරණය වනුයේ පරිසරය සහ මිනිසා අතර පවත්නා හා පැවතිය යුතු සබඳතාවයි. ජීවත්වීම සඳහා නියුතු අරගලයේදී නොනැසී ඉතිරි වන්නේ පරිසරයට ගැළපෙන සේ එනම් අරගලයට ඔරොත්තු දෙන සේ පෝෂණය සපයා ගැනීමට මෙන්ම තරගයෙන් ජයගැනීමට සමත්වන පරිදි හැඩගැසුණු ‘වඩාත් උචිත වූවන්’ ය.

මාර්ටින් වික්‍රමසිංහ 1934 දී මුල්වරට පළ කළ ‘සත්ව සන්තතිය’ නම් ග්‍රන්ථයෙහි ‘ක්‍රමවිකාශ කර්තෘකය’ යන පරිච්ඡේදයේ විග්‍රහයට ගන්නේ මේ කාරණාවයි’. 2016 දී ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ්, බෂ්ටා වැනි ලොව ප්‍රමුඛ ම පෙළේ සම්මාන ඇගයුම් ලබන තරමින් අලිචන්ද්‍රෝ ඉනාරිටු (Alejandro Gonzalez\ Inarritu) වස්තු විෂය කොට ගන්නේ ද මීට දශක අටක් තරම් දුරාතීතයේ වික්‍රමසිංහ පහදාකී ‘උචිතෝන්නතිය’ නම් වූ මේ ජීව විද්‍යාත්මක සංකල්පයමයි.

ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්ෂණය හා හොඳම නළුවා යන ප්‍රධාන සම්මාන ද්විත්වය ම ලද චිත්‍රපටය වූයේ ‘The Revenant’ ය මෙහි අධ්‍යක්ෂවරයා මෙක්සිකානු ජාතික අලිචන්ද්‍රෝ ගොන්සාලෙස් ඉනාරිටු 2015 වසරේ දී ද හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන ලද්දේ ය. එනම් ඒ මො‍හුගේ ‘බර්ඩ් මෑන්’ නමැති සිනමා කෘතියයි. ඔස්කාර් සම්මාන උ‍ලෙළෙහි හය වරක් හොඳම නළුවා සඳහා නිර්දේශ වූ ලියනාඩෝ ඩී කැප්රියෝ සිය රංගන ජීවිතයේ පළමු වරට ඔස්කාර් සම්මානයෙන් පුදනුයේ මේ ‘ද රෙවනන්ට්’ චිත්‍රපටයෙනි.

මරණය පරදා යළි ජීවිතය වෙත සපැමිණි මිනිසකු ප්‍රස්තුත කරගන්නා මේ සිනමා කෘතිය ජීවිතය සහ මනුෂ්‍යභාවය නව අර්ථකථනයකට යොමු කරවයි. තවද මෙය ජාතිකත්වය, ජාතිය, ජන්මය, පීතෘත්වය, පරිණාමය යනාදී සංකල්ප පිළිබඳ ව තවත් එක් වතාවක් හො අලුතින් සිතන්නට පොලඹවන කලා කෘතියකි. අනෙක් පැත්තෙන් ධනවාදයේ සූක්ෂ්ම කලාවක් බවට පත්ව ඇති ‘සූරාකෑම’ පිළිබඳ ව ද නව කතාබහකට පාදකකොට ගත හැක්කකි. එනම් ස්වාර්ථය සඳහා අනෙකාගේ සාරය උරා ගැනීම හෙවත් නූතන ව්‍යවහාරයේ ඇති ‘පාවිච්චි කරවීම’ යන්න ගැඹුරින් නිරීක්ෂණය කිරීමට මේ චිත්‍රපටය මැනවින් මූලාශ්‍ර කොට ගත හැකිය. අධිරාජ්‍යවාදය යනුවෙන් විග්‍රහ කෙරෙන සංකල්පය තුළ පවත්නා කොල්ලකෑම, වහල් වෙළෙඳාම හා තම දේශසීමාවෙන් එපිට ජනතාව හා සිය සම්පත් කෙරෙහි බලය පැතිරවීම යන බරපතළ කාරණා ‘ද රෙවනන්ට්’ චිත්‍රපටය තුළ සියුම් ව අවධාරණය කෙරේ. සත්වයෝ උපතින්ම වෙනස්කම් ඇතිව උපදිති. තවද ඉපැදුණු පසුව නිරත කාර්යයන් හා ක්‍රියාකාරිත්වය මත ද වෙනස්කම්වලට භාජනය වෙති. මෙලෙස සත්වයින් කෙරෙහි පහළ වන විකෘතීන් යනු දෙයාකාර විලාස ගනී. එනම් ‘සහජ විකෘති’ හා ‘යත්න විකෘති ‘ යනුවෙනි. සත්වයකු තුළ උපතින්ම පිහිටන විකෘති සහජ විකෘති ය. සත්වයා උපතින් පසු අමුතු ව්‍යායාම්හි නියුතු වෙයි. ඇතැම් අවයව දැඩි වෙයි. මේ වෙනස් වීම මත ඒ අවයව මුකුලිතව විකාශය වෙයි. පරිසරය වෙනස් වන ස්වභාවයට අනුරූපව ඒ සත්වයෝ ද ඒ වනස්වන පරිසරයට අනුරූප වෙමින් වෙනස් වෙති. මේ යත්න විකෘතිය සහජයෙන්ම උරුම වන්නක් නොවේ. මේ ජීව විද්‍යාත්මක නියමය සංස්කෘතික සත්වයා තුළ නිශ්චය වන ආකාරය පිළිබඳ කතිකාවට ‘ද රෙවනන්ට්’ චිත්‍රපටයේ සංකල්පය නිදසුන් කොටගත හැකි පෙලඹුම ඉවත නොහෙළිය යුතු තරම් ය.

ජීව ලෝකයේ බල පවත්නා ජීවන යත්නය හේතුවෙන් ඇතැම් සත්වයින් වැඩිකල් ජීවත්වන අතර ඇතැම් සත්වයින් වැඩි කල් ජීවත් නොවන බව සත්‍යයකි. ශක්තිය ප්‍රයෝජන වන තැන්හි ශක්ති සම්පන්න සත්වයා ජීවන යත්නය ජය ගනියි. දුර්වලයා අකාලයේ මිය යයි. උචිතයාගේ පැවැත්ම පිළිබඳ කතාව ‘ ද රෙවනන්ට්’ චිත්‍රපටය තුළ ප්‍රබල යටිපෙළ අරුත් නංවයි.

මේ වෘතාන්තයට පාදක කොට ගැනෙන්නේ සත්‍ය කතාවකි. එනම් මෙය හියු ග්ලාස් (1783 – 1833) නමැති දේශ ගවේශක දඩයක්කරුවාගේ චරිතය කේන්ද්‍රකොට ගනී. හියු ග්ලාස් යනු ලෝම සඳහා සතුන් දඩයම් කරන්නෙකි. මේ ඇමෙරිකානු දඩයක්කාරයාගේ චරිතය රඟපාන්නේ ලියනාඩෝ ඩී කැප්රියෝ ය. ස්කොට් හා අයිරිස් මව් - පිය යුවළකට දාව උපන් හියු ග්ලාස් එකල වඩාත් ප්‍රකට වූයේ වලසකු සමඟ පොරබැද දිවි ගලවා ගත්තකු ලෙසයි. චාර්ල්ස් ඩාවින්ගේ පරිණාම වාදයෙහි එන මූලික සංකල්පයක් වන ‘ඉතාම සුදුස්සා නොනැසී ජීවත් වීම’ යන අර්ථය ම අවධාරණය කරන මේ වලසා සහ මිනිසා අතර ගැටුම සැබෑ හියු ග්ලාස්ගේ වීර චරිතයේ මෙන්ම අලිජන්ද්‍රෝගේ මේ චිත්‍රපටය ද අතිශය උද්වේගකර ජවනිකාවකි. රංගනය, වේශ නිරූපණය, කැමරා කෝණ හා රූප ස්වභා නිර්ණය මෙන්ම එකී රූප මනාව සංස්කරණය කිරීම යන අංශ විශිෂ්ට සිනමා කෘතියකට සුවිශිෂ්ට දායකවීම් වන අන්දම ‘ ද රෙවනන්ට්’ චිත්‍රපටය මැනවින් පෙන්වයි. හියු ග්ලාස්ගේ චරිතය අලළා 1971 දී නිර්මාණය කෙරුණු තවත් චිත්‍රපටයකි. ‘Man in the wilderness’ නම් වූ ඒ චිත්‍රපටයෙහි හැඳුනුම් නාමය අප කතාබහ කරන ‘ද රෙවනන්ට්’ චිත්‍රපටයේ සමස්ත අර්ථය සමඟ ද බැ‍ඳේ. හියු ග්ලාස් යනු වල් බිහිවූ මනුෂ්‍යයෙකි. වනචාරී මිනිසෙකි. මේ වනගත ඇමෙරිකානුවා ලොවට කියාපාන දේශපාලන අර්ථය වඩාත් ගැළපෙන්නේ ඒ වනගත ගෝත්‍රික, අශිෂ්ට මෙන්ම නොදියුණු සංස්කෘතියෙන් මිදී දියුණු වූ හා පරිණාමය වූ නූතන මිනිසාට ය.

‘ද රෙවනන්ට්’ චිත්‍රපටයෙහි කියැවෙන පරිදි තම පැටවුන්ගේ ආරක්ෂාව පිණිස ම සිය අඩවියට පැමිණි පිටස්තර මිනිසාට පහර දී සියදිවි නසාගන්නා දුඹුරු වලසා අපට කියාදෙන දහම ගැඹුරු ය. අප විසින් නිර්මාණය කරන ලද ඒ ‘කළු යථාර්ථය’ මේ අඳුරු , ගුප්ත වනාන්තරය තරම් සුවිශාල ය, පරිසරය සහ ඊට උචිත, අනුචිත වීම පිළිබඳ දහම අරභයා මේ චිත්‍රපටය ගෙනෙන අර්ථ එපමණට ම ගැඹුරු ය. චිත්‍රපටයේ තැනක එන පසුබිම් දෙබසක් මෙබඳු ය. ‘හුළඟෙ සද්දෙ ඇහෙනවාද? හුළඟට බෑ ශක්තිමත් මුල් තියෙන ගස් පරාද කරන්න. ඔයා තාමත් හුස්ම ගන්නවා.’

වලසුන්ට සහ සිය පැටවුන්ට උරුම වනාන්තරය ආක්‍රමණය කරන මිනිස්සු අවසානයේ උනුන් ම සමඟ ගැටී නැසෙති. වනයේ මහ ගස් අභීතව, නිදහසේ අහස ට යොමුව ජීවත්වෙයි. වඩාත් සුදුස්සා නොනැසෙන, එනම් ‘උචිතොන්තිය’ (Survival of the fi ttest) පිළිබඳ අර්ථය මේ චිත්‍රපටයේ රූප රචනා වන අයුරු සංජානනීය ප්‍රත්‍යක්ෂිතයකි.

පරිණාමවාදයෙහි එන ස්වාභාවික වරණය (Natural Selection) යන සංකල්පයෙහි කියැවෙන්නේ ද මීට සමාන දහමකි. යම් පරිසරයකට අනුගත වීමට ඇතැම්හු අන් අයට වඩා සුදුසු වෙති. ඒ වඩාත් සුදුස්සා නොනැසී ජීවත් වෙයි. එසේ ජීවත් වෙමින් තම වර්ගයා බෝ කරයි.

මේ චිත්‍රපටයෙහි වනගත වන ඇමෙරිකානු ත්‍රස්ත පිරිසට මඟ පෙන්වන්නා වනුයේ ග්ලාස් ය. ඔහු මේ දඩයක්කාර ත්‍රස්ත රැළට එක්වන්නට පෙර ගෝත්‍රික කාන්තාවක සමඟ සතුටින් ජීවත්වූවෙකි. ඒ ගෝත්‍රය සතුරු ප්‍රහාරයකට ලක්වෙද්දී හියු ග්ලාස් සිය දරුවාද සමඟ තනිවෙයි.

පසු කලක වලස් ප්‍රහාරයකට ලක්ව පණ අදිමින් සිටිය දි ඒ ගෝත්‍ර සම්භව දරුවා තම සුදු ජාතික පියාට ඇසෙන්නට මුමුනනුයේ මෙසේය. ‘හුස්මක් අල්ලා ගන්න පුළුවන් වෙන කල් ඔයා සටන් කරන්න. හුස්ම ගන්න දිගටම හුස්ම ගන්න.’ අතීතයේ සතුරු ප්‍රහාරයෙන් මරණය සමඟ පොර බදමින් සිටි තම කුඩා දරුවාගේ හුස්ම පොදට දිරි දෙමින් මෙය පියා එදා කී එවදන් ම මේ දරුවා තරුණයකුව වැඩී තම පියාගේ හුස්ම තබා ගනු පිණිස ම පුනරුච්චාරණය කරයි. පියාගේ ඒ අතීත වදන් පියාගේ එහඬින් ම පුතා විසින් මුමුනනු ලැබීම ප්‍රබල මානුෂික සබඳතාව දනවන රූපීය යෙදුමකි. සිනමාත්මක භාවිතයකි.

හියු ග්ලාස් දේශ ගවේෂණය කරනුයේ සත්ව ලොම් සඳහා සතුන් දඩයම් කරනු පිණිස ය. ඇමෙරිකානු දඩයක්කරුවන් සහ ඇමෙරිකානු සම්භවයක් ඇති ‘ අරිකරී’ හෙවත් ‘රී’ ගෝත්‍රිකයන් අතර සටන මෙහි ප්‍රබල දේශපාලන අර්ථයක් කියාපායි. මේ ඇමෙරිකානු දඩයක්කාර ත්‍රස්තවාදීන්ගේ තුවක්කු බලය පරදවා ගෝත්‍රිකයන්ගේ නොදියුණු සම්ප්‍රදායික හා එකමුතු දුනු හී ප්‍රහාරය ප්‍රබල වෙයි. තුවක්කුකරුවෝ තමා වනාන්තරයෙන් සූරා කෑ සතුන්ගේ සම් හැකි පමණින් ගෙන පලායති. ඉතිරි සම් සියල්ල ගෝත්‍රිකයන් අතට පත්වෙයි. ගෝත්‍රිකයන්ගේ අරමුණ ඒ සම් ප්‍රංස වෙළෙන්දන්ට දී අශ්වයන් සහ තුවක්කු, මූනිස්සම් ලබා ගැනීමයි. මේ ගනුදෙනුවේ සංවේදීතම හේතුව මේ චිත්‍රපටයේ සමස්ත අරුත සැණෙකින් සංක්ෂිප්ත කරයි.

ඇමෙරිකානු දඩයක්කාරයන් දමා ගිය සත්ව සම්තොගය ප්‍රංස වෙළෙඳුන්ට දී එහි වටිනාකමට තුවක්කු, මූනිස්සම් හා අශ්වයන් ඉල්ලා සිටින අරිකරී ගෝත්‍රික නායකයාත් ඒ වෙළෙන්දත් හෙට්ටුකර ගනිති. ඒ කේවල් කර ගැනීම එකඟතාවකට එන්නේ ප්‍රංස වෙළෙන්දගේ ධනලෝභී ඒකාධිකාරයත්, ගෝත්‍රික නායකයාගේ ජාතිකත්ව හැඟීම්බර බලයත් කූටප්‍රාප්ත කරමිනි. වෙළෙන්දන් නම්‍යශීලී වනුයේ ගෝත්‍රික නායකයාගේ සංවේදී ප්‍රතිවිරෝධයට අවනත වෙමිනි. ‘ මේ අප ඇමෙරිකානුවන්ගෙන් සොරකම් කරපුවා’ යැයි ප්‍රංස වෙළෙන්ද සිය ක්‍රයේකාධිකාරිය(monopsony) පෙන්වා හෙට්ටු කරද්දී ‘ උඹලා හැමෝම අපේ දේවල් හොරකම් කරලා තියෙන්නේ ‘ යැයි ගෝත්‍රික නායකයා කියයි. ක්‍රයේකාධිකාරී බලය තුළ යම් සත්‍යතාවක් හෝ සේවාවක් සඳහා වෙළෙඳ පොළෙහි බලගතු වනයේ එක් ගැනුම්කරුවකු පමණි . මෙය සංසන්දනය කළ හැක්කේ භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වෙළෙඳ පොළෙහි එක් විකුණුම්කරුවකු පමණක් සිටිය හැකි ඒකාධිකාරයට විරුද්ධ තත්ත්වයක් ලෙසිනි. මේ චිත්‍රපටයෙහි තමන්ගේ භූමිය, සත්තු හැමදේම මේ පිටස්තර ආක්‍රමණිකයන් අවස්ථාවාදී ලෙස සූරා කා ඇතැයි ඒ වනගත ගෝත්‍රිකයන් විසින් පවසනු ලබයි.

ගෝත්‍රික නායකයා ප්‍රංස වෙළෙන්දන්ගෙන් තුවක්කු සහ අශ්වයන් ඉල්ලා සිටිනුයේ සුද්දන් සොරකම් කළ සිය දියණියව සොයනු පිණිසයි. මේ ගනුදෙනුවේ සානුකම්පිත ම තැන එතැනයි. දඩයක්කාර ආක්‍රමණිකයන් වෙළෙඳ ආක්‍රමණිකයන් යන දෙපිරිස ම මේ වනගත ගෝත්‍රිකයන්ට සතුරු ය. ආක්‍රමණිකයා ස්වාර්ථය පිණිස අනෙකාගේ සාරය උරා ගන්නා ත්‍රස්තවාදියකු ලෙස මෙහි නිරූපණය කෙරෙයි. මේ වනාන්තරයේ (වෙළෙඳ පොළ තුළ) මෙකී භාණ්ඩ හා සේවා සඳහා සිටිනුයේ එක් ගැනුම්කරුවකු පමණි. ‘ ක්‍රයේකාධිකාරිය’ යනු එයයි. එක් විකුණුම්කරුවකු පමණක් සිටින ‘ඒකාධිකාරය ද’ මෙතනැ දී බලගතු වෙයි. .

වනයේ තම පැටවුන් සමඟ නිදහසේ සැරිසරන වලසා මේ වනගත මිනිසා වෙත කඩා පනින්නේ තම පැවැත්ම හා ආරක්ෂාව පතා ය. මිනිසා වලසා මරා දමනුයේ සිය පැවැත්ම වෙනුවෙනි. බලවතා ජයගන්නේ තුවක්කු බලයෙනි. යුද්ධය, වර්ගවාදය, අධිරාජ්‍යවාදය හා සූරා කෑම යන සංකල්ප නිරවුල් කර ගැනීමට මෙම වනගත වලසා සහ වනචාරී ඇමෙරිකානුවා අතර සටන පාදක කරගත හැකිය. ‘The Revanant’ සිනමා කෘතියෙහි කෙටි අදහස ‘ ආපසු ආ තැනැත්තා’ ය. එනම් මරණයෙන් හෝ සිරගත කිරීමෙන් මිදී නැවත සපැමිණි මිනිසා ය. මේ කාව්‍ය ක්‍රියාදාම චිත්‍රපටය විසින් අමෙරිකානු පුරාවෘතයකින් ගෙනෙනු ලබන වීර චරිතය මුළුමනින් ම දුෂ්ට වර්තමානය සමඟ සැස‍ඳෙන්නකි. වර්තමාන පොදු ජන ප්‍රේක්ෂකයාට ලියනාඩෝ ඩී කැප්රියෝ සේම 1820 දශකයේ සිටි හියු ග්ලාස් ද වීරයෙකි. වර්තමාන වීරයකු ලවා අතීත වීරයකු පුනරුත්ථාපනය කිරීම සත්ත්ව සම් පොරවා ගත් වනචාරී අභිනවවාදීන්ගේ නිහඬ ආක්‍රමණය ඉඟි කරන්නකි. හියු ග්ලාස් තමා විසින් මරා දමන ලද වලසාගේ සම පොරවාගෙන පිටස්තර උපද්‍රවවලින් රැකෙයි. තමාට අධිවේගයෙන් පෙරට රැගෙන ගිය අශ්වයාගේ උදරය පළා එහි සැඟවී හිම සීතලෙන් නොමැරී බේරෙයි. නූතන ධනවාදී සමාජ සත්වයාගේ සමපේක්ෂණ හැඩය එයයි. “සමපේක්ෂණය” යනු එක්තරා අයුරකින් අවස්ථානුචිත සූදුවකි. එක් අවස්ථාවක යමක් ලාබෙට මිල දී ගෙන පසුව එය වැඩි මිලකට විකිණීමේ ජාවාරම යනු සමපේක්ෂණයයි. මේ අවදානම් සහිත ජාවාර ම මනුෂ්‍යත්වයට හා නිවහල් සුළඟ සහිත පරිසරයට කරන බලපෑම “ද රෙවනන්ට්” චිත්‍රපටය තුළ යටි පෙළ අරුතකි. මහ වනය මැද සතුරු ප්‍රහාරයට මැදිව අතරමං වන දඩයක්කාර රැළට මඟ පෙන්විය හැකි එක ම පුද්ගලයා, හියු ග්ලාස් වලස් ප්‍රහාරයකින් මාරාන්තිකව එක්තැන් වූ විට ඔහුගේ ජීවිතය ද අවසානයේ තීන්දු වන්නේ මුදලට ය. ඔහු පණපිටින් වළ දමනුයේ ධනය හා බලය මූලික වෙමිනි. ඩි කැප්රියෝ මේ චරිතය නිරූපණයෙහි ලා කැපවන තරම අද්විතීය ය. එබැවින් ම ඒ නිරූපණය නිර්ව්‍යාජ හා අසමසම වෙයි. මොහු ලොව විශිෂ්ටතම නළුවා වීම කෙතරම් සාධාරණ දැයි “ද රෙවනන්ට්” චිත්‍රටය කියාපායි.

මේ සුදු ජාතිකයා ගෝත්‍රගතව එහි කාන්තාවක සමඟ සතුටින් ජීවත්වන අතරතුර සුදු හමුදාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයකින් ඇය මිය යයි. ඇය ඔහුට ජීවිතය කියා දුන්නියක් බව හැ‍ඟෙයි. එකී ජීවිතය නැවතුණු කල ඔහු වනගත වෙයි. අමානුෂික වී වනසතුන් ව මුදලින් තක්සේරු කරන්නට තරම් දරුණු වෙයි. මියගිය ඇය හුස්ම ගන්නා කාලේ කියූ දෑ ඔහුට වහා මතක් වෙයි.

“කුණාටු එයි, එතකොට ගහක් ඉස්සරහින් හිටගන්න. ඒ ගහේ අතු දිහා බැලුවොත් ඒ ගහ කඩාගෙන වැටෙයි කියා දොස් නඟාවි. ඒත් ගහේ මුල දිහා බලාගෙන හිටියොත් පෙනෙයි ඒ ගහේ තියෙන නොසැලෙන බව.”හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිළිගනිමින් ලියනාඩෝ ඩි කැප්රියෝ කීවේ දේශගුණික විපර්යාසයන්ගෙන් අපේ පරිසරයට ඇති අති භයානක අනතුර ගැනයි. සවිමත් ගස් පරද්දන්නට සුළඟට නොහැක. ගස් ඇත, සවිමත් නැත. සුළඟ ඇත, හමන්නේ නැත.

පරිසරයට ඔරොත්තු දීමට හා අන් සතුරු ජීවීන්ගේ ප්‍රහාර වැළැක්වීමට මෙන්ම අවශ්‍ය පෝෂණය ලබාගැනීමට අසමර්ථ වීම මත ඇතැම් සත්වයෝ ජීවන සංග්‍රාමයෙන් පරදිති. මිය යති. වඩාත් සුදුස්සෝ තව කල් ජීවත්වෙති. “බලවතා ජය ගනී” යන විද්‍යාත්මක සංකල්පය දේශපාලන විෂයයේ ද සුලබ ව ව්‍යවහාර වෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.