ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම පමා වුණේ කළු හම නිසා ද? | සත්මඬල

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම පමා වුණේ කළු හම නිසා ද?

සියලු ක්‍රීඩා අතරින් “ක්‍රිකට්” මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ “ආගම” ය යන්න ප්‍රශ්න විරහිත ය. එය ඒ තරමට ම ජාති, කුල, ආගම්, වයස් භේදයකින් තොර ව ශ්‍රී ලාංකිකයන්ගේ ඇට මිදුලුවලට ම කිඳා බැස තිබේ. 19 වන සියවසේ පළමු කාර්තුවේ ඉංග්‍රීසින් විසින් මේ රටට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමෙන් පසු එය මේ රටේ සමාජ දේහයේ “ක්‍රීඩාවක්” ලෙස සිදුකර ඇති “විප්ලවය” සුළුපටු නොවේ. ලෝක සිතියමේ තිතක් බඳු ශ්‍රී ලංකාව මේ වන විට ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධානතම රාජ්‍යයක් බවට පත් ව ඇත්තේ අන්තර්ජාතික වශයෙන් මේ ක්‍රීඩාවෙන් තමන්ගේ ම කියා අනන්‍යතාවක් නිර්මාණය කර ගනිමිනි. එහෙත් මේ විප්ලවය එක රැයකින් සිදු වූවක් නොවේ. සහතිකව ම එය අති දුෂ්කර උඩුගං බලා පිහිනීමක ප්‍රතිඵලයක් විය. ශ්‍රී ලංකාව ක්‍රිකට් “සිළුමිණ ඉහළට රැගෙන ඒම වෙනුවෙන් නිස්සරණධ්‍යාසයෙන් ලාබ සන්තානයෙන් තොරව දායක වූ බොහෝ සද් හිතැතියෝ වෙති. ක්‍රිකට් ක්‍රීඩාව කිසිදා කටගැස්මක් කරනොගත් ඔවුන්ට ඒ හරහා ලාබ උපරිමකර ගැනීමේ අරමුණක් නොවුණි. කෙසේ වෙතත් එය වෙන ම කතා කළ යුතු මාතෘකාවකි. ඒ පිළිබඳ ව දිගින් දිගටම කතා කිරීම අපේ ප්‍රධාන ප්‍රස්තුතයට බාධාවකි. මේ කෙටි සටහන වුව ද අප බලාපොරොත්තු වනුයේ මෙරට ක්‍රිකට් විප්ලවේ කූඨප්‍රාප්ති අවස්ථාවක් වූ ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් හිමිකර ගැන්ම හා සම්බන්ධ ඇතුළත කතාන්දරය ඔබ වෙත ගෙන එමින් මීට වසර 36කට පෙර පැවති අපේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය වෙත ඔබ ව කැඳවා ගෙන යාමට ය.

නිවැරදි ව ම පැවසුවහොත් ශ්‍රී ලංකාවට “ටෙස්ට්” වරම් පිරිනැමීම සම්බන්ධ ව තීරණාත්මක සාකච්ඡාව පැවතියේ 1981 ජූලි 02 වැනිදා ය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරයට සමගාමී ව ඒ සමයෙහි අයි.සී.සී යේ මූලස්ථානය වූ “ලෝඩ්ස්” හි දී පැවති ඒ සාකච්ඡාව සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, ගාමිණී දිසානායක මහතා එක් ව සිටියේ ය. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එංගලන්ත සංචාරයක නිරත ව සිටි අතර ඒ කණ්ඩායමේ

කළමනාකාරවරයා වූ නිසල් සේනාරත්න ද නිරීක්ෂකයකු ලෙස ඒ ඓතිහාසික අවස්ථාවට එකතුවීමට වාසනාව හිමි කර ගත්තේ ය.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා කෙටි කලකින් ම එනම්, නවසිය පනහේ දශකයේ මුලදී ම ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගත් මුත් එහි පුර්ණ සාමාජිකයකු ලෙස අපව පිළිගැන්ම ඔවූහු දිගින් දිගට ම පමා කරමින් සිටියහ.

අයි.සී.සී යේ නිත්‍ය සාමාජික රටවල් කිහිපයක් ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප විසින් පරාජයට පත්කරනු ලැබ තිබුණත් ඒ දක්ෂතා වෙනුවෙන් පෙරළා ලැබිය යුතු ඇගයීම නම් ශ්‍රී ලංකාවට නොලැබුණු තරම් ය. තමන්ට පූර්ණ සාමාජිකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව මුල්වරට ජගත් ක්‍රිකට් කවුන්සිලයට අයැදුම්පතක් ඉදිරිපත් කළේ 1974 වසරේදී ය. රොබට් සේනානායක මහතා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඉදිරිපත් කළ ඒ අයැදුම්පත වෙනුවෙන් පාකිස්ථානය, ඉන්දියාව ඇතුළු අසල්වාසී ටෙස්ට් රටවලින් සහයෝගයක් ලැබුණු මුත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආදී කර්තෘවරු ලෙස තමන්ට හිමි ව ඇති නිශේධබලය යොදා ගනිමින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය එය ප්‍රතික්ෂේප කරන ලදී. 1974 අයි.සී.සී වාර්ෂික සමුළුවේදී මේ යෝජනාව රොබට් සේනානායක මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලබාදිය යුතු බවට ඉතා තදින් පෙනී සිටිමින් ඒ වෙනුවෙන් කරුණු දැක්වූවන් අතර එවකට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වූ අබ්දුල් හෆීස් කාදර් ඉදිරියෙන් ම විය. ඉන්දියාවෙන් මිදී පාකිස්ථානය නමින් වෙන ම රටක් බිහි වූ පසු එහි පළමු ටෙස්ට් නායකයා වූ හෆීස් කාදර් එයට පෙර ඉන්දියාව වෙනුවෙන් ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූවෙකි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරයකු වූ හෆීස් කාදර් 1974 දී ශ්‍රී ලංකාවේ ටෙස්ට් අයැදුම්පත අයි.සී.සීය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී කළ දේශනය ඓතිහාසික එකක් බව රොබට් සේනානායක මහතා පසු ව මාධ්‍යට පවසා තිබුණි. ශ්‍රී ලංකාව මෙතරම් දක්ෂතා දක්වා තිබියදීත් ටෙස්ට් තත්ත්වය ලබා නොදීම පිටුපස ඇති එක ම කාරණය ඔවුන්ගේ “කළු හම” බව හෆීස් කාදර් පවසන විට අයි.සී.සී යේ සුදු මහත්වරුන්ගේ මුහුණු රතු වුණු බව රොබට් සේනානායක පසු කලෙක ලියා තිබුණි. 1974න් පසුත් තමන්ට ටෙස්ට් තත්ත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීම් ගණනාවක් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ මුත් අයි. සී. සී ය හැම අවස්ථාවකදී ම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට වග බලා ගත්තේ ය.

ටී. බී. වේරපිටිය මහතාගේ ඇවෑමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවට පැමිණි ගාමිණී දිසානායක ඒ වන විට පැවැති ජේ. ආර් ජයවර්ධන රජයේ ප්‍රබලයකු විය. මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී එජාපය දරුණු නාය යෑමකට ලක්වුණු 1970 මහමැතිවරණයේ දී නුවරඑළිය, මස්කෙළිය, බහු මන්ත්‍රී කොට්ඨාසයේ පළමු මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වෙමින් පාර්ලිමේන්තුවට පැමිණියේ ය. ඒ තේරී පත්වීමට එරෙහි ව ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමෙන් අනතුරුව පැවැති අතුරු මැතිවරණයේදීත් තම අසුන රැකගත් ගාමිණී අසූව දශකය ඇරඹෙද්දීත් ආණ්ඩුවේ සිටි බලගතු චරිතයක් විය. කේම්බ්‍රිජ් හි උපාධිධාරියෙක් වූ ගාමිණී නීතිඥවරයකු වූ අතර ඒ නිසා ම සමූහ සන්නිවේදන විෂයයේදී හෙතෙම අති දක්ෂයෙක් විය.

මෙරට ක්‍රිකට් මුල් පුටුවට පැමිණීමෙන් අනතුරුව ගාමිණී සතුව තිබූ ප්‍රධානතම ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිනා ගැනීම ය. ජූනි අග දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවට පැමිණීමෙන් අනතුරුව සති 04කට අඩු කාලයකදී අයි.සී.සී යේ වර්ෂික සැසිවාරයට සම්බන්ධ වී ටෙස්ට් අභියෝගය ජය ගැනීම යනු බාරදූර අසීරු වගකීමක් වුවත් ගාමිණී දිසානායක ඒ අභියෝගය දෝතින් ම බාර ගත්තේ ය. වාර්ෂික සමුළුව පැවැත්වීමට දින කිහිපයකට පෙර එංගලන්තය බලා ගිය ගාමිණී ඇතුළු කණ්ඩායම ටෙස්ට් රටවල නියෝජිතයන් මුණ ගැසී ඔවුන්ගේ “ඔළු සේදීමේ” සාර්ථක ව්‍යාපෘතියක නිරත වූ අතර ඊට ඔහු තම දේශපාලන සම්බන්ධතා ද අඩු නැතුව යොදා ගත්තේ ය.

ගාමිණී, අයි.සී.සී යේ තීරණාත්මක රැස්වීමට පැමිණියේ සියලු “ගෙදර වැඩ” ඒ ආකාරයට නිම කිරීමෙන් අනතුරු ව ය. ඉංග්‍රීසි භාෂාව හා බටහිර සාහිත්‍ය පිළිබඳ ව තමන් තුළ වූ විශාරද දැනුම කදිමට ප්‍රදර්ශනය කරමින් ඉතා ව්‍යක්ත දේශනයක් ගාමිණී ලෝඩ්ස් හීදී කළ අතර සැසිවාරයට එක් ව සිටි සියලු දෙනාම එයින් මෝහනයට පත්ව සිටියහ. ඉහළ තත්ත්වයේ ක්‍රීඩාවෙහි නිරතවීමට තරම් අවශ්‍ය කරන සියලු සුදුසුකම් සපුරා ඇති මොහොතක තවදුරටත් ටෙස්ට් තත්ත්වය ලබා නොදීමට කටයුතු කරන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීමට තරම් හේතුවක් බව ගාමිණී දිසානායක මහතා කරුණු සහිත ව විස්තරාත්මක ව පෙන්වා දුන්නේ ය. ඒ ව්‍යක්ත කරුණු දැක්වීමට අනතුරුව ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලබාදීමට තරම් හිත හදා ගැනීමට අයි.සී.සී බලධාරීන් කැමැත්තෙන් නොසිටි අතර ඔවුන් තම අදහස සාධාරණීකරණය කරමින් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාව අතින් ශ්‍රී ලංකාව කෙතරම් දක්ෂයන් වුවත් ක්‍රීඩාව පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් යටිතල ව්‍යුහයක් එහි නොමැති බව ය. (ශ්‍රී ලංකාවේ ටෙස්ට් අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට අයි.සී.සී ය හැමවිටම යොදා ගත්තේ මේ තර්කයයි.) “යටිතල පහසුකම්” තර්කයෙහි ලා ශ්‍රී ලංකාවේ ඉල්ලීම බැහැර කිරීමට “සුදු මහත්වරු” උත්සාහ කළත් ගාමිණී දිසානායක සතුව ඊට ද පිළිතුරක් විය. එහිදි ඔහු අවධාරණය කළේ ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කළ හැකි එක ම ක්‍රමය ටෙස්ට් තත්ත්වය ලබාදීම බව ය. එවිට ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි වී යටිතල ව්‍යුහය ඉබේ ම දියුණුවන බව ඔහුගේ අදහස විය.

දීර්ඝ කරුණු පැහැදිලි කිරීම්, තර්ක විතර්ක රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලබාදිය යුතු බවට පාකිස්ථානය යෝජනා කළ අතර ඉන්දියාව එය ස්ථීර කළේ ය. ගාමිණී දිසානායක මහතාගේ කරුණු ඉදිරිපත් කිරීම හා මේ වෙනුවෙන් ඔහු දියත් කළ “රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම” තවදුරටත් “කකුලෙන් ඇදීමේ” ප්‍රතිපත්තියේ සිටීමේ හැකියාවක් ධවල වර්ණ බලධාරීන්ට නොතිබූ අතර ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය පිරිනමනවා හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතුරු වී නොතිබුණි. ඒ නිසාම අසීරුවෙන් වුවත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය පිරිනැමීමට ඔවූහු අවසානයේ තීරණය කළහ. වර්ගවාදී ප්‍රතිපත්තිය නිසාවෙන් දකුණු අප්‍රිකාවට අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පැනවී තිබූ ඒ යුගයේ ටෙස්ට් පිටියේ සිටියේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල් පමණි. ටෙස්ට් තත්ත්වය හිමිකර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව ද අලුතින් ඊට එක් විය.

ලෝඩ්ස් ක්‍රිකට් මූලස්ථානයේ සිට ම ටෙස්ට් තත්ත්වය හිමිකර ගැනීමේ පුවත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට දැනුම් දුන් දිසානායක මහතා මේ ප්‍රීතිය තම ක්‍රීඩකයන් සමඟ බෙදා හදා ගැනීමට ඔවුන් නතරව සිටි ග්‍රොවෙනර් හවුස් හෝටලය වෙත ගියේ ය. ලන්ඩනයේ මෙෆෙයාර් දිස්ත්‍රික්කයේ වූ ග්‍රොවෙනර් හවුස් හෝටලය, වෙස්ට්මිනිස්ටර් ආධිපාදවරයාගේ පැරණි ලන්ඩන් නිවස්නය පැවැති ස්ථානය ඉදිකර තිබුණි.

ටෙස්ට් තත්ත්වය හිමිකර ගැනීමට හැකිවීම පිළිබඳ ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිටියේ අතිශය ප්‍රීතියෙනි. තමන් හා තමන්ට පෙර සිටි ක්‍රීඩකයන් වසර ගණනක් තිස්සේ හෙළු දහඩිය කඳුළුවල ප්‍රතිඵල ලැබීම පිළිබඳ ඔවුන් සෑහෙන සතුටට පත් ව සිටි අතර ඒ ප්‍රීතිය සැමරීමට “පුංචි සාදයක්” පැවැත්වීමට ඔවූහු තීරණය කළහ. ජාතික ගීය ගයමින් ඇරැඹි ඒ සාදය මැදියම් රැය තෙක් ම ඇදී ගිය අතර එහිදී සිදත් හා හේමන්ත දේවප්‍රිය ප්‍රධාන ගායකයෝ වූහ. පාසැල් සමයේදී ආනන්ද විද්‍යාලයීය පෙරදිග තූර්යවාදක කණ්ඩායම නියෝජනය කළ සිදත් ක්ලැරිනාය හා බටනලාව වාදනය කිරීමේ දක්ෂයකු වූ අතර ඊට අමතරව හොඳ පෞරුෂයක් සහිත ගැඹුරු හඩක් ද ඔහු සතුව පැවතුණි. විශේෂයෙන් ම එල්විස් ප්‍රෙස්ලිගේ ගීත ඊට සමාන ලෙස ගයනා කිරීමේ අපූරු හැකියාවක් සිදත්ට තිබුණු අතර සී.ටී ප්‍රනාන්දු හා මූන්ස්ටෝන් වාදක කණ්ඩායමේ ගීත ගැයීමට ද ඔහු සමත්කමක් දැක්වීය. හේමන්තට ද සිදත්ට නොදෙවෙනි ගායන කෞශල්‍යක් පිහිටා තිබූ අතර බන්දුල හා අජිත් ද සිල්වා ද එදින ගායක ලැයිස්තුවේ සිටියේ ය. පසුදින යෝක්ෂයර් පිල සමඟ තරගය යෙදී තිබුණත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ජයපානෝත්සවය ඉක්මනින් ම නතර කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර නොගත්තහ. ඒ තම ප්‍රධානියා වන ගාමිණී දිසානායක අමාත්‍යවරයා ද කණ්ඩායම සමඟ සිටින තත්ත්වයකදී ඒ සඳහා කිසිදු බාධාවක් නොවීමය.

ටෙස්ට් තත්ත්වය හිමිකර ගැනීමෙන් පසු දින පහේ තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පළමුව තරග වැදීමට සිදුවූයේ එංගලන්ත පිල සමඟ ය.

1982 පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරක පිලේ නායකයා වූයේ කීත් ෆ්ලේචර් ය. ග්‍රැහැම් ගුච්, ජෙෆ් කුක්, ඩේවිඩ් ගවර්, ඉයන් බෝතම්, මයික් ගැටීන්, ජෙෆ් ඇලට්, බොබ් විලිස්, ජෝන් එම්බියුරි වැනි නාමධාරී ක්‍රීඩකයන් ගණනාවක් ම ඒ කණ්ඩායම නියෝජනය කළේ ය. එංගලන්ත පිල සමඟ පැය 72කට පෙර පැවැති සීමිත පන්දුවාර තරඟය ජයගත් බැවින් බන්දුල වර්ණපුරගේ ශ්‍රී ලංකා පිළ සමඟ තරගය සඳහා පැමිණියේ සෑහෙන සුබවාදී මානසිකත්වයකිනි. “ගෙදර වාසිය ද” සමඟින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය උපරිම තලයට පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සැලසෙන මොහොත වන විට රට පුරා ක්‍රිකට් උන්මාදයක් පැවැති අතර ඒ වනවිට බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන රජය ද ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය හිමිවීම උත්සවාකාරයෙන් සැමරීමට උපරිමයෙන් කටයුතු කළේ ය. මේ සුවිශේෂී මොහොත සනිටුහන් කරමින් විශේෂිත කාසි හා මුද්දර එළිදැක්වීමට කටයුතු කළ රජය ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගය ගුවන්විදුලියෙන් හා රූපවාහිනියෙන් විකාශය කිරීමට අවශ්‍ය කරන කටයුතු ද සම්පාදනය කළේ ය.

මංගල ටෙස්ට් තරගය ආරම්භයට මත්තෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සරවනමුත්තු ක්‍රීඩාංගණයට පැමිණියේය. දෙපිලේ ක්‍රීඩකයන් හා නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර ගාමිණී දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් ම කල්වේලා ඇතිව එදින ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

ජේ. ආර් ජයවර්ධන උග්‍ර ක්‍රිකට් ලෝලියකු වූ අතර ඔහු පාසැල් සමයේදී කොළඹ රාජකීය විදුහල් පිල ද නියෝජනය කළේ ය. ටෙස්ට් තත්ත්වය දිනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුබ පැතීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක ක්‍රිකට් පරිපාලකයෝ ඒ වන විට මෙරටට පැමිණ සිටි අතර ඔවුහු ද ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ සාක්ෂිකරුවෝ වීමේ අරමුණින් ක්‍රීඩාංගණයට එක් රැස්ව සිටියහ. ඊට අමතර ව ජීවත් ව සිටි පැරණි ලංකා ක්‍රීඩකයන් ගණනාවකට ම තරගය නැරඹීම සඳහා අවශ්‍ය කරන ආරාධනා පත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යවා තිබූ අතර ඒ ඇරැයුම පිළිගෙන ඩෙරික් ද සේරම් ඇතුළු ඉපැරණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් ම මේ උත්කර්ෂවත් මොහොතට එක් ව සිටිනු දක්නා ලදී. ලංකා පිලට අමතර ව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිල ද නියෝජනය කළ ඩෙරික් ද සේරම් 1934 වසරේදී එංගලන්තයේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු පිල සමඟ පැවැති තරගයේ දී ශතකයක් ලබා ගත්තෙකි.

එලෙස සම්භාවනීය ආරාධිතයන්ගේ ක්‍රීඩා මණ්ඩල පිරී ඉතිරී ගොස් තිබුණත් සාමාන්‍ය පොදු ජනතාව අසුන් ගන්නා ප්‍රේක්ෂකාගාර නම් හරි අඩක් ම හිස් ව පැවතුණි. කඩල ගොට්ටක් හපමින්, අන්නාසි කෑල්ලක් කමින් උද්යෝගයෙන් යුතුව ක්‍රිකට් තරග නරඹමින් ක්‍රීඩලෝලීන් අතීතයේ සිට ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංස්කෘතියේ නොවරදින දසුනක් වූ මුත් මංගල ටෙස්ට් තරගයේ පළමු දිනය වූ 1982 පෙබරවාරි 17 වැනි දින ක්‍රීඩාව නැරඹීමට පැමිණ සිටි මුළු ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාව අටදහසකටත් වැඩි නොවීය. සාමාන්‍යයෙන් විසිදහසකටත් වඩා වැඩි පිරිසක් පිරවීමට ක්‍රීඩාංගණයේ ඉඩකඩ පැවැතියත් ප්‍රේක්ෂක සහභාගිත්වය පැවැතියේ එයින් අඩකටක් අඩු මට්ටමේ ය. එය මේ අවස්ථාවේ ගාම්භීරත්වය සමඟ කිසිසේත් ම සමපාත නොවීය. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ සුවිශේෂී මොහොතක් සනිටුහන් කළ මේ උත්කර්ෂවත් දිනයේ තරගයේ සමාරම්භක මොහොතට අඩු ප්‍රේක්ෂක සහයෝගයක් හිමිවීම සම්බන්ධයෙන් කරුණු කාරණා කිහිපයක් ම බලපෑවේ ය.

පෙබරවාරි 17 වෙනිදා බදාදා දිනයක් වූ අතර ඒ නිසා ම සතියේ වැඩ කරන දිනයක් වූ එදින සැලකිය යුතු පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටියේ ය. අනෙක් අතට ගුවන්විදුලියෙන් සහ රූපවාහිනියෙන් සජීවී ව තරගය විකාශය කළ තත්ත්වයක ක්‍රීඩාංගණයට පිවිසීමට තවත් සමහරු මැළි වූහ. ඒ කෙසේ වෙතත් ප්‍රේක්ෂක සහභාගිත්වය අඩුවීම සම්බන්ධයෙන් බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ප්‍රවේශ පත්‍ර සඳහා නියම කර තිබූ අධික මිල ගණන් යැයි පැවසුවහොත් එය කිසිසේත් ම මුසාවක් නොවේ. එක් දිනක ප්‍රවේශපත්‍ර ගාස්තුව ලිපිකරුවකුගේ සතියක වැටුපට සමාන වූ අතර එවැනි තත්ත්වයකදී මෙතරම් අඩු ප්‍රේක්ෂක සහභාගීත්වයක් හිමිවීම සම්බන්ධයෙන් පුදුම නොවිය යුතු තරම් ය.

එංගලන්ත ක්‍රීඩකයන් කොළඹ ඔබරෝයි හෝටලයේ සිට ක්‍රීඩාංගණයට පැමිණි අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නවාතැන් සපයා තිබුණේ ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණ ආයතනයේ ය. කාසියේ වාසිය උරගා බැලීමට ප්‍රථමයෙන් කණ්ඩායම් දෙක ම ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම හා පෙර පුහුණුවීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණි අතර ක්‍රීඩාව සඳහා සකසා තිබූ තණතිල්ල දුටු එංගලන්ත නායක කීත් ෆ්ලෙචර් මවිත විය. ඒ සාමාන්‍ය තත්ත්වයට වඩා තණතිල්ල මත වතුර ඉස තිබීම නිසාවෙනි. තණතිල්ලේ පැවති තෙතබරිත ස්වභාවය නිසා ම තමන්ට කාසියේ වාසිය හිමි වුවහොත් ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දීමට කැඳවීම ඔහුගේ බලාපොරොත්තුව විය.

කාසියේ වාසිය උරගා බැලීම සඳහා කාසිය උඩු ගුවනට යොමු කිරීමේ දී එය කැරකුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි වන ලෙස ය. ඒ නිසාම ෆ්ලේචර්යේ තීරණය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති වුවත් සැවොම පුදුම කරමින් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ටෙස්ට් තත්ත්වය හිමිකරගත් අටවැනි රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වීමට පෙර හත්වැන්නා ලෙස එහි සාමාජිකත්වය ලබා තිබුණේ පාකිස්ථානය යි. ඒ ඊට වසර තිහකට පමණ පෙර ය. ටෙස්ට් තත්ත්වය ලබාගැනීමට නම් සෑහෙන දුෂ්කර ක්‍රියා කළ යුතු බව එයින් මනාව පෙනී යයි. ඉහත කැපකිරීම් කරමින් ලබාගත් ටෙස්ට් තත්ත්වය අහඹුවක් නොවන බව පෙන්වීමට වගබලා ගත යුතු වූ අතර එය ඒ අයුරින් ම ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටියහ.

මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ඉතා ම හොඳ කණ්ඩායමක් මයිකල් තිසේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් නිලධාරීන් විසින් නම් කර තිබූ අතර ජයග්‍රාහී දෙවැනි එක්දින තරගයේ දී පෙන්නුම් කළ සුවිශේෂී ක්‍රීඩා රටාව නිසාවෙන් අර්ජුන රණතුංග හා මහේෂ් ගුණතිලකට ද ටෙස්ට් කණ්ඩායමේ ඉඩකඩ වෙන් ව තිබුණි.

සුපුරුදු පරිදි මේ තරගයේදීත් සිදත් ආරම්භ පිතිකරුවා වූ අතර බන්දුල ඔහුගේ සගයා විය. ක්‍රීඩාව ඇරැඹීමට මත්තෙන් ක්‍රීඩාංගණයට ඉහළින් යන සේ බැලුන් ගුවන්ගත කිරීමක් සිදු වූ අතර දෛවෝපගත ලෙස තරගයේ ප්‍රථම පන්දුවට මුහුණ දීමේ භාග්‍යය හිමි ව තිබුණේ බන්දුලට ය. බොබ් විලීස් එවූ ඒ පන්දුව ආරක්ෂා සහිත ව පිළිගත් බන්දුල අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ලකුණ ද රැස් කළේ ය.

තණ තිල්ලේ පැවැති තෙත්බරිත ස්වභාවය නිසාවෙන් පළමු පැයේ ලකුණු රැස් කිරීම සෑහෙන අපහසු කාරණයක් වූ අතර එංගලන්තයේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ විලිස් සහ බෝතම් යන දෙදෙනා ම හොඳීන් පන්දුව දෝලනය කරන්නට වූහ. පිටතට දෝලනය වන පන්දු කිහිපයක් හරහා කිහිප වතාවක් ම ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන්ගේ පිති පැරදවීමට ඔවුන් සමත් වූ අතර, මනා වූ පන්දු පාලනයක් සහිත ව ඔවුහු පන්දු යවමින් සිටියෝ ය.

ඒ තත්ත්වයෙන් ලකුණු ලබා ගැනීම කිසිසේත් ම පහසු නොවූ අතර ලකුණු ලබා ගන්නවා වෙනුවට කඩුලු ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා උත්සාහ ගත්හ. කෙසේ වෙතත් මුළු ලකුණු සංඛ්‍යාව නවයක් පමණ වෙද්දී විලීස්ගේ පන්දුවක් බන්දුලගේ පිත්තේ වැදී ඩේවිඩ් ගවර්ගේ දෑතෙහි නතර වූයේ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල බිඳ වැටෙමිනි. අනතුරුව පැමිණි රෝයි ඩයස්ට ද තැන්පත් වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් විලීස් තවත් ලකුණු දෙකක් ලකුණු පුවරුවට එක් වද්දී ඔහු ව ද ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ය. මෙතුවක් වේලා විලීස්ට පමණක් කතා කිරීමට ඉඩ දුන් බෝතම් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එයින් අනතුරුව ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රහාරාත්මක පිතිකරුවකු වන දුලීප් මෙන්ඩිස් පිටියට පැමිණි විගස ම ඇලට්ගේ පන්දුවකට ගැසූ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර හතරේ සීමාව කරා විදුලි වේගයෙන් පියෑඹුවේ එය ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ටෙස්ට් තරගයකදී ලැබූ පළමු හතරේ පහර බවට පත් කරමිනි. පසුව තවත් හතරේ පහරක් ද දුලීප් ගැසූ මුත් ඔහුගේ පිති හරඹයේ වෙනදා දැකගත හැකි විශ්වාසය පෙනෙන්නට නොවීය. සිදත් ලකුණු 6කට දැවී ගොස් සුළු වේලාවක් ඇතුළත දුලිප් ද දැවී ගිය අතර, එවිට ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 34කට කඩුළු 4ක් ලෙසට ය.

දිවා ආහාර විවේකයට පෙර සැසිය එලෙස මුළුමනින් ම එංගලන්ත ආදිපත්‍යයට නතු වූවත් තරගයේ ඊළඟ සැසිය ශ්‍රී ලංකා පිල දෙසට ඇද ගැනීමට අර්ජුන රණතුංගත් රංජන් මඩුගල්ලත් සමත් විය. තම හිසට ඉහළින් ගිය පන්දුවක් රැක ගැනීමට ග්‍රැහැම් ගූච් හට නොහැකි වීමේ වාසිය උපරිමයට ගත් මඩුගල්ල මීට දින කිහිපයකට පෙර අස්ගිරියේදී මේ පන්දු යවන්නන් ඉදිරියේ පෑ පිතිහරඹය යළි සිහිකරන්නාක් බඳු පිතිහරඹයකට අවතීර්ණ වෙමින් සිටියේ ය.

කෙසේ වෙතත්, රංජන් - අර්ජුන සුසංයෝගය අතුරින් වඩාත් ආක්‍රමණශීලී පිතිහරඹය පැමිණියේ අර්ජුනගේ පිත්තෙනි. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අර්ජුනගේ වයස ඒ වන විට අවුරුදු 18කුත් දින 75 පමණ වුවත් ඔහු ඉංග්‍රීසි පන්දු යවන්නන්ට සැලකුවේ පළපුරුදු පිතිකරුවකු ලෙසිනි. පා ඉන්න පෙදෙසේ පන්දු රකින්නන් දෙදෙනකු පමණක් රඳවමින් සිදු කළ එංගලන්ත පන්දු යැවීම හමුවේ අර්ජුන වඩාත් සාහසික වූ අතර පා ඉන්න දෙසින් ඔහු වෙත ආ බොහොමයක් පන්දු නතර වූයේ හතරේ සීමාව පසුකරමිනි. ඒ නිසාම මඩුගල්ලට පෙර අර්ධ ශතකය කරා පැමිණීමට ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට දැඩි ප්‍රියතාවක් දැක් වූ වමතින් පන්දුවට පහර දුන් මේ හුරුබුහුටි කොලු ගැටයාට හැකිවුණ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ ප්‍රථම ටෙස්ට් අර්ධ ශතකය විය.

ටෙස්ට් තරගයකදී ලකුණු පනහක් ලබා ගැනීමෙන් පසු පිත්ත ඉහළට එසවීමේ භාග්‍ය අර්ජුනට හිමි වූ අතර අනිවාර්යනේ ම එය හැඟුම්බර මොහොතක් විය. අන්ඩර්වුඩ්ගේ පන්දුවක් අර්ජුනගේ පිත්ත පරයමින් පිට ඉන්න ස්පර්ශ කරද්දී ඔහු ලකුණු පනස් හතරක් ලබා සිටි අතර අලංකාර හතරේ පහර හතක් එයට අන්තර්ගත වී තිබුණි. ඒ වෙනුවෙන් පන්දු අනූහයකට අර්ජුන මුහුණදී සිටි අතර පැය දෙකහමාරකට ආසන්න කාලයක් ඔහු කඩුල්ලේ රැදී සිටියේ ය. අර්ජුන දැවී යද්දී ශ්‍රී ලංකා පිලේ ලකුණු තත්ත්වය කඩුලු පහකට ලකුණු 133ක් වූ අතර ඔහු හා රංජන් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් වූ සබඳතාවේ වටිනාකම ලකුණු 99ක් විය. ඒ නිසා ම මුලදී තිබුණු අවදානම් සහගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාව බොහෝ දුරට මිදී තිබුණි. සුපිරි ඉනිමක් නිම කරමින් අර්ජුන ක්‍රීඩාගාරයට යද්දී උණුසුම් ප්‍රතිචාර එදින ක්‍රීඩාංගණයට රැස්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් හිමිවුණු අතර පිත්ත වනමින් ඔහු ඒ ආචාරය පිළිගත්තේ ය.

පළමු දිනයේ දී ක්‍රීඩාව හමාර කොට ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයට පියමනින විට ශ්‍රී ලංකා පිල කඩුලු අටක් දැවී ලකුණු 183ක් ලබා සිටි අතර රංජන් මඩුගල්ල නොදැවී ලකුණු 64ක් ලබා සිටියේ ය. පැය හතරකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් මඩුගල්ල මුල් දිනයේ දී පෙන්නුම් කළ පිතිහරඹය ප්‍රදර්ශනාත්මක හා අලංකාර එකක් ම විය. විශේෂයෙන් ම දඟ පන්දු යවන්නන් හමුවේ ඔහු වඩාත් සාහසික වූ අතර ජෝන් එම්බියුරිගේ පන්දුවකට මඩුගල්ල ගැසූ පහරක් නතර වූයේ ස්ක්වෙයර් ලෙග් කලාපයට ඉහළින් සීමාවෙන් පිටතට යමිනි. එය ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු එල්ල කළ මුල් ම හයේ පහර ලෙස ඉතිහාසයට එකතු විය. දෙවෙනි දිනයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 35ක් තම ලකුණු පුවරුවට එක් කර ගත් අතර ඉන් ලකුණු 28ක් ම පැමිණියේ අවසාන කඩුල්ල වෙනුවෙනි.

ලකුණු 218ක් යන විශාල ලකුණු සංඛ්‍යාවක් නොවූවත් තණතිල්ල හැසිරෙමින් තිබුණු ආකාරය අනුව එය සටනක් දිය හැකි මට්ටමේ ලකුණු සංඛ්‍යාවක් විය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කෙතරම් අත්දැකීම් එංගලන්ත පිතිකරුවන්ට තිබුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දීම එංගලන්ත පිතිකරුවන්ට පහසු නොවූ අතර අසන්ත ද මෙල්ගේ පන්දු තේරුම් බේරුම් කර ගැනීම ඔවුන්ට මහත් හිසරදයක් වී තිබුණි. එක් නිත්‍ය වේගපන්දු යවන්නකු පමණක් සමඟින් තරගයට එක් ව සිටි නිසා මේ තරගයේදී අසන්ත සමඟින් අනෙක් පසින් පන්දු යැවීම ඇරැඹුවේ නායක වර්ණපුර ය. කෙසේ වෙතත් නව පන්දුවෙන් පන්දුවාර තුනකට වඩා වර්ණපුර යැව්වේ නැත. පන්දුවේ ඔපය හොඳීන් තිබියදී ඔහු ඩී. ඇස් ද සිල්වාට පන්දු යැවීමට කැඳවූවේ ය.

එංගලන්ත පළමු ඉනිමේ නවවැනි පන්දුවාරයේ දී පිට පිට පන්දු දෙකකදී ජෙෆ් කුක් ව සහ ක්‍රිස් ටවාරේ ව දවා ගැනීමට ඒ වන විට විසිදෙහැවිරිදි වියේ සිටි අසන්ත සමත් වූ අතර ඒ අතරින් ටවාරේ ව දවාගැනීමට ඔහු අතින් ගිලිහුණු යෝකර් පන්දුව අතිවිශිෂ්ට මට්ටමක විය. තමන් යැවූ ඊළඟ පන්දු වාරයේ දී යළිත් ක්‍රියාත්මක වූ අසන්ත ඒ වන විට හොඳීන් පන්දුව දකිමින් සිටි ග්‍රැහැම් ගුච්ගේ ඉනිම නිමා කළේ කඩුල්ල මුවා කිරීමේ වදරට ඔහු ව හසුකර ගනිමිනි.

කෙසේ වෙතත් එය මතභේදයට තුඩුදුන් තීරණයක් වූ අතර ග්‍රැහැම් ගුච් නම් දැඩි ව විශ්වාස කළේ එය අසාධාරණ තීන්දුවක් බව ය. ගුච් දැවී යද්දී එංගලන්ත පිලේ ලකුණු තත්ත්වය කඩුලු තුනක් දැවී ලකුණු 40ක් විය. තමන්ගේ ප්‍රධානතම පිතිකරුවන් තිදෙනාම යළි ක්‍රීඩාගාරයට පැමිණ සිටි තත්ත්වය හමුවේ ඒ වන විට එංගලන්තය පසු වූයේ සෑහෙන දුෂ්කර තත්ත්වයක බව අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවන තරම් ය. ඒ මොහොතේ ඉක්මනින් ම තවත් කඩුල්ලක් දවා ගැනීමට හැකියාවක් ලැබුණේ නම් ශ්‍රී ලංකා පිලට තරගයේ පාලනය හිමි වීමට ඉඩ තිබුණි. ඒ අවසන් එංගලන්ත පිතිකරුවන්ට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තිදෙනා සමඟ කරන සටන පහසු නොවන තත්ත්වයක දී ය. තර්ජනාත්මක පන්දුකරණයක නිරත වෙමින් සිටි අසන්ත ද මෙල් ඒ ආසන්නයට ම ශ්‍රී ලංකා පිල ගෙන ආ මුත් “වාසනාව“ ශ්‍රී ලංකා පිලෙන් දුරස් වී තිබුණි. අසන්තගේ පන්දුවකට නායක ෆ්ලේචර් ලබාදුන් උඩ පන්දුව ෂෝට්ලෙග් හි පන්දු රකිමින් සිටි ඩී. ඇස්. ගේ අතින් ගිලිහුණේ අවසන් මොහොතේ ය. ඒ උඩපන්දුව සුරැකිව රැකගත්තා නම් එංගලන්ත පිලේ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලෙස වෙනස් වන්නට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ආරක්ෂා සහිත ව සෙමින් සෙමින් තම ඉනිම ගොඩනැංවූ පළපුරුදු ඩේවිඩ් ගවර් හා ෆ්ලේචර් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 80ක සබඳතාවක් පවත්වමින් සිටිය දී ක්‍රියාත්මක වූ අජිත් ද සිල්වා සිය ප්‍රථම ටෙස්ට් කඩුල්ල ලෙස ෆ්ලෙචර් දවා ගත්තේ තණතිල්ල අසල සිටි වර්ණපුර රැකගත් උඩපන්දුව ආධාරයෙනි. අනතුරුව පැමිණි ඉයන් බෝතම් වේගවත් හතරේ පහර දෙකක් එල්ල කරමින් තණතිල්ල මතට තමන්ගේ පැමිණීම සනිටුහන් කළේ එක්දින තරගයක් සිහිගන්වමිනි. ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නායකයා, බෝතම්ගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කිරීම සඳහා පාඉන්නෙන් පිටතට පන්දු යැවීමට, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට උපදෙස් ලබාදුන් අතර තමන්ට පහර දීමට නොහැකි සීමාවේ එවන ඒ පන්දු බෝතම් බොහෝ විට පිළිගත්තේ සිය පාදයෙනි. ඒ ආකාරයේ පන්දු යැවීමක් හරහා කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් නොමැති මුත් එවැනි උපක්‍රමයන් හරහා බෝතම් ව කොයි මොහොතක හෝ වැරදි පහරකට යොමුකර ගත හැකිය යන්න, ශ්‍රී ලංකා නායකයාගේ කල්පනාව විය. දඟපන්දු යවන්නන් හරහා කිසියම් කාලයකට බෝතම් ව ඇද බැඳ තබාගත් ශ්‍රී ලංකා නායකයා අසන්තට යළි පන්දුව භාර දුන්නේ බෝතම්ගේ ඉවසීමේ සීමාව පුපුරා යාමට ආසන්නව තිබූ මොහොතක ය.

පා ඉන්නට පිටතින් පන්දු යවමින් තමන් හෙම්බත් කරමින් සිටි ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ පමණ ඉක්මවා කලබල වී සිටි බෝතම්ට අසන්තගේ වේගපන්දු යම් සහනයක් ගෙන ආ අතර ඒ නිසා ම ඔහු පහරවල් කරා ඇදී යන්නට විය. නිසි කාල මැනීමකින් තොරව පුල් පහරක් එල්ල කළ බෝතම් තවත් එවැනි පහරකට උත්සාහ කිරීමට යාමේදී පිත්තේ ඇඟ දැවටුණු පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදුණු අතර එවිට එංගලන්තය ලබා සිටියේ ලකුණු 151ක් පමණි. කෙසේ වෙතත් එය දෙවැනි දිනයේ බිඳ වැටුණු අවසන් කඩුල්ල වූ අතර එදින ක්‍රීඩාව නතර කරන විට කඩුලු පහක් පමණක් බිඳ වැටී ලකුණු 186ක් එංගලන්තය ලබා තිබුණි.

ශ්‍රී ලංකා පිළි අබිබවමින් ප්‍රථම ඉනිමේ වාසිය ලබා ගැනීමට ඔවුන්ට තවත් අවශ්‍ය වී තිබුණේ ලකුණු 33ක් පමණි. හොඳීන් පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් ගවර් නොදැවී ලකුණු 79ක් ඒ වන විට ලබා සිටි අතර අනිවාර්යයෙන් ම එංගලන්තය, ශ්‍රී ලංකා පිලට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් තම ප්‍රථම ඉනිම සඳහා එකතු කරතැයි ක්‍රීඩාව නැරැඹූ බොහෝ දෙනකුගේ අපේක්ෂාව විය.

දින දෙකක ක්‍රීඩාවකින් අනතුරුව ඊළඟ දිනයේ දී තරගයේ විවේක දිනය යෙදී තිබූ අතර එය කණ්ඩායම් දෙකට ම අඩුපාඩු නිවැරැදි කරගෙන තම ඉදිරි සැලසුම් සකස් කර ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක් විය.

විවේක දිනයෙන් අනතුරුව තරගය ආරම්භ වී සුළු වේලාවකින් හොඳීන් පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් ගවර් ව දවා ගැනීමට ඩී.එස් ද සිල්වා සමත් විය. හොඳීන් ගුවනට මුසුකරමින් යැවූ ඩී. එස් ගේ “ටොප් ස්පින්” පන්දුව ගවර්ගේ පිත්ත ස්පර්ශ කරමින් කඩුල්ල පිටුපස සිටි මහේෂ් ගුණතිලක වෙත ඇදී ගියේ ය. ඉන් අනතුරුව එංගලන්ත පිලේ කඩුලු එකිනෙක නොනවත්වා බිඳ වැටුණු අතර අවසාන පිතිකරුවා දැවී යද්දී එංගලන්ත ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 223ක් ලෙස ය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පිලට වඩා පළමු ඉනිමේදී ලබා තිබුණේ ලකුණු පහක වාසියක් පමණි. අවසාන එංගලන්ත ලකුණු පහ ලකුණු 23ක් ඇතුළත දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ඩී. එස් එයින් කඩුලු තුනකට වග කිවේය. ලකුණු

පහක වාසියක් යනු ටෙස්ට් තරගයකදී ඒ හැටි දෙයක් නොවන මුත් තණතිල්ල හොඳීන් දඟ කැවෙමින් තිබුණු තත්ත්වයක් තුළ කීත් ෆ්ලෙචර්ට ඒ පිළිබඳ ඒ හැටි කනගාටුවක් නොවීය.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරය දෙස සෝදිසියෙන් බලමින් ඒ පිළිබඳ අධ්‍යයනය කළ එංගලන්ත නායකයාට එක දෙයක් තේරුම් ගියේය. ඒ හැමවිට ම විශාල පහරවල් කරා යෑමට හා පන්දුවට තට්ටු දැමීමට ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන කැමැත්ත ය. පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කළ ලකුණු 218න් 17ක් අතිරේක ලකුණු වූ අතර අනෙක් ලකුණුවලින් සාතිශය බහුතරයක් පැමිණ තිබුණේ හතර හයේ පහරවලිනි. එකේ දෙකේ ලකුණු ලබා ගැනීමට වඩා ලංකා පිතිකරුවන් බොහේ විට උත්සුක වී තිබුණේ විශාල පහරවල් කරා යෑමට ය. අනෙක් අතට කිසිදු ලකුණක් නොගත් විශාල පන්දු සංඛ්‍යාවක් ද ශ්‍රී ලංකා පළමු ඉනිමේ විය. දෙවැනි ඉනිම සඳහා ක්‍රීඩාව ඇරැඹෙද්දී මෙය කීත් ෆ්ලෙචර් ගේ ඔළුවේ තදින්ම වැඩ කරන්නට විය. දෙවෙනි ඉනිම අරඹමින් පැයකට වඩා වැඩි කාලයක් තම කඩුලු ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සමත් වුවත් යෝකර් පන්දුවක් හරහා වෙත්තමුණි ව ක්‍රීඩාගාරයට හරවා යැවීමට විලිස් සමත් විය. ඒ වන විට තණතිල්ල හොඳීන් දඟ කැවෙමින් පැවැති අතර කඩතොලු ස්ථානවල වැදී පන්දුව ඉහළ නැඟීමක් ද දක්නට විය. එවැනි පසුබිමක පන්දුවට පහර දීම යනු අසීරු කාරණයක් වන මුත් දිවා ආහාරය හා තේ පානය අතර කාලය තුළ තම කඩුලු ආරක්ෂා කර ගැනීමට රෝයි හා බන්දුල සමත් විය. තේ පානයට පෙර වූ අවසන් පන්දුවාරය බෝතම් විසින් යවන ලද අතර ඒ පන්දුවාරයේ යැවූ දුර්වල පන්දු තුනකින් උපරිම ප්‍රයෝජන ගත් රෝයි ඩයස් තම අර්ධ ශතකය කරා පැමිණියේ ය.

පිතිකරණ තාක්ෂණය අතින් ඉහළම මට්ටමේ පසු වු රෝයිගේ පිතිහරඹය සුපිරි මට්ටමක පැවති අතර අලංකාර කවර් ඩ්‍රයිව් පහරවල් කිහිපයකින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. රෝයි හා බන්දුල දෙවෙනි කඩුල්ලට ලකුණු 83ක් එක්කළ මුත් දිගු වේලාවක් තමන් සමඟ ක්‍රීඩාකළ සගයා නික්මීමේ අඩුව දැනීදෝ මෙන් රෝයි ඩයස් ද බන්දුල දැවී ගොස් කෙටි වේලාවක් ඇතුළත ලකුණු 77කට දැවී ගියේය.

සන්ධ්‍යාවේ තීරණාත්මක පන්දුවාර හතර පහකට සාර්ථක ව මුහුණ දුන් දුලිප් හා මඩුගල්ල තවත් කඩුලු එංගලන්ත පිලට දවා ගනීමට ඉඩ ලබා නොදුන් අතර, දිනයේ ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු තුනක් දැවී ලකුණු 153ක් ලබා සිටියේ ය.

සිවුවන දිනයේ ක්‍රීඩාව අරඹද්දී ශ්‍රී ලංකාව ශක්තිමත් ස්ථානයක පසු වූ මුත් තත්ත්වය සුළු මොහොතක් තුළ වෙනස් වන්නට විය. අන්ඩර්වුඩ්ගේ පන්දුවකට ලෝන්ග් ඕෆ් කලාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් දුලිප් විශාල ලකුණු සංඛ්‍යාවක් සඳහා වූ තමන්ගේ සූදානම ආරම්භයේදී ම පෙන්නුවුවත් මඩුගල්ලගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පිලේ “පෙරහර” පටන් ගත්තේය. ඉන් අනතුරුව පැමිණි එකදු පිතිකරුවකු හෝ ලකුණු තුනකට වඩා ලබා නොගත් අතර ශ්‍රී ලංකා අග පෙළ පිතිකරුවන්ගේ ලකුණු සටහන ටෙලිෆෝන් නොම්මරයක් කියවන්නාක් බඳු විය. විශේෂයෙන් ම දඟ පන්දු යවන්නන් හමුවේ පමණ ඉක්මවා ආරක්ෂාකාරි වීමට යෑමෙන් ඒ සෑම පිතිකරුවකු ම පාහේ අමාරුවේ වැටුණු අතර ලකුණු අටක් ඇතුළත කඩුලු හතක් දවා ගැනීමට එංගලන්ත පිල සමත්විය.

තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට අවශ්‍යව තිබුණේ ලකුණු 171ක් පමණි. එය බැලූ බැල්මට පහසු ඉලක්කයක් වුවද කිසිදු ලකුණක් ලබාගැනීමට ඉඩ නොදී ජෙෆ් කුක් ව දවා ගැනීමට අසන්ත ද මෙල් සමත් වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. එසේ දෙවැනි කඩුල්ලට ලකුණු 81ක් හා තෙවැනි කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් පවත්වමින් කඩුලු තුනක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් තරගය ජය ගැනීමට එංගලන්ත පිල සමත් විය.

දින දෙකේ, තුනේ තරගවලට හුරුවී සිටි ශ්‍රී ලංකා පිලට දින පහක් දිවෙන ටෙස්ට් තරගයක් යනු සෑහෙන ආගන්තුක දෙයක් බව හැමඅතින් ම පෙන්නනට තිබිණි. හැකියාව, උනන්දුව අබිබවා පළපුරුද්ද ටෙස්ට් තරගවලදී වැදගත් බව අවසානයේ එංගලන්තය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන ලදී. තරගයේ මුල්දින තුනේ ක්‍රීඩාව මුළුමනින් ම පාහේ තමන් සතු කරගෙන සිටියදී එක් තරග සැසියකදී සිදු වූ දුර්වලතාවක් නිසා තරගයෙන් පරාජයෙන් පත්වීමට සිදුවීම පිළිබඳ සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ම අතිශයින් ම කනගාටුවට පත්ව සිටි මුත් එය ඉදිරි තරග සඳහා ඔවුනට හොඳ “පාඩම් පොතක් ම” විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.