දැනගෙන කතරගම යෑම හෙවත් මාධ්‍ය ජීවිතය වරද්දවා නොගැනීම | සත්මඬල

දැනගෙන කතරගම යෑම හෙවත් මාධ්‍ය ජීවිතය වරද්දවා නොගැනීම

සමාජයේ පුද්ගල චරිතයක් ලෙස මතුවීමට ඇති පහසු ම ක්‍රමයක් ලෙස විද්‍යුත් ජනමාධ්‍යයක ට සම්බන්ධ වීම අද දවසේ ඉහළ වටිනාමක් තිබෙන දෙයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය වේගවත් ආකාරයෙන් ප්‍රමාණාත්මක ව පුළුල් වීම ඇරැඹුණේ දැනට දශක දෙකකට මඳක් වැඩි කාලයක සිටයි. මේ ප්‍රමාණාත්මක වැඩිවීම හුදෙක් ලංකාවට පමණක් ආවේණික වූවක් ද වන්නේ නැත. ලෝකය පුරා ම ඇති වූ තත්ත්වය එබඳුයි. ඒ හේතුව වන්නේ සන්නිවේදන තාක්ෂණය පසුගිය කාලයේ අත්කර ගත් ශීඝ්‍ර දියුණුවයි. අනෙක් අතට සමස්ත ජනමාධ්‍ය පාලනය ව්‍යාපාරික ප්‍රජාව අතට පත් වේ. අද ලෝකයේ ජනමාධ්‍යයන්ගෙන් 90% කට වඩා මෙහෙය වන්නේ ව්‍යාපාරිකයන් විසිනි. එක්කෝ ඔවුන් ඍජු ව ම ජනමාධ්‍ය කර්මාන්තයට පිවිස ඒවායේ හිමිකරුවන් බවට පත් වේ. නැතිනම් සිය මූල්‍ය ශක්තිය පදනම් කරගෙන ගෙන විශේෂයෙන් විද්‍යුත් ජන මාධ්‍යයන්ගේ කාලය මිලදී ගැනීම් කර ඔවුන්ට අවශ්‍ය ආකාරයට ඒවා පාලනය කරයි. මේ නිසා අද සමස්ත ජනමාධ්‍ය ම පවතින්නේ ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයේ ය. මෙහි අනිවාර්යය ප්‍රතිඵලය වී තිබෙන්නේ විද්‍යුත් මාධ්‍ය සරල විනෝදායන මාධ්‍යයක් බවට පත්වීමයි. ඒ නිසා සාමාන්‍ය මිනිසුන් තුළ ද ඇති තේරුම් ගැනීම වන්නේ සිය ජීවිත වෙහෙස නිවාගන්නා ආම්පන්නයක් ලෙස එය භාවිත කිරීමයි. මේ නිසා විද්‍යුත් මාධ්‍යට ඇත්තේ නිර්මාණය කරන ලද ජනප්‍රියත්වකි. මේ ජනප්‍රියත්වය නිසා ම ඒවායේ පෙනී සිටීමට තරුණ තරුණියන් දක්වන්නේ දැඩි උනන්දුවකි. එක අතකින් මූල්‍යමය වශයෙන් ඔවුන්ට යමක් ඉපැයීමට හැකි වේ. අනෙක් අතට විද්‍යුත් මාධ්‍ය හරහා ඇති කරගන්නා ජනප්‍රියත්වය නිසා යම් පමණක සිවිල් බලයක් ද සමාජයේ අත්පත් කරගනියි. සමාජයේ විද්‍යුත් මාධ්‍ය වෙත ඇති මේ ආකර්ෂණය නිසා බොහෝ තරුණ- තරුණියෝ මේවා ගැන කිසිදු හසරක් නොදැන මේවාට සම්බන්ධ වී ජනමාධ්‍ය වෘත්තිකභාවය විනාශයට ඇද දමති. මේ නිසා කිසියම් විද්‍යුත් ජනමාධ්‍යයකට සම්බන්ධවීමට කලින් කළ යුතු ගෙදර වැඩ රාශියකි.

කටහඩ හෝ රූපය ගැන සැලකිලිමත්වීමට කලින් ලෝකය ගැන සැලකිලිමත් වෙන්න

බොහෝ විද්‍යුත් මාධ්‍යයන්ගේ තෝරාගැනීම කටහඬ හෝ රූපය. නමුත් තමන් මයික්‍රෆෝනයක් හෝ කැමරාවක් ඉදිරියට යාමට කලින් තමන්ගේ සාමාන්‍ය දැනීම ගැන තමන් විසින් ම සොයා බැලිය යුතුය. තමන්ගේ අවට ලෝකයේ සිදුවන දේවල් පිළිබඳ ව ( සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ) අවබෝධයක්, දැනුමක් හෝ උනන්දුවක් ඇති කර ගත යුතු වෙයි. නැත්නම් ඔබ කැමරාවක් ඉදිරිපිට, මයික්‍රෆෝනයක් ඉදිරිපිටදී කියන්නේ මොනවාද? හිස් තේරුමක් නැති දොඩමලුවීම් ද? (දොඩමලුවීම යනු නිෂ්ඵල දේ දෙඩවීමයි.) ඒ නිසා තමන්ගේ දැනුම් පරාසය තමන් විසින් හැඩ ගස්සවා ගත යුතු වෙයි. එයට හුදෙක් ඇකඩමික් සහතික පමණක් මදි වේ. ලංකාවේ සිදුවන දේවල් පමණක් නොවේ ලෝකයේ මේ මොහොතේ සිදුවන දේවල් ගැන ඔබේ අවධානයක් තිබිය යුතුයි.

විද්‍යුත් මාධ්‍ය පිළිබද දැනුම හා අවබෝධය පුළුල් කර ගන්න

ගුවන් විදුලිය හා රූපවාහිනිය යනු එකිනෙකට වෙනස්කම් ඇති මාධ්‍ය දෙකකි. මේ දෙකෙහි ඉදිරිපත් කරන්නන් හෝ නිවේදකයන් ලෙස හෝ නිෂ්පාදකයන් ලෙස සම්බන්ධ වන්නේ නම් ඔබ මේ මාධ්‍ය දෙකෙහි ඇති සුවිශේෂතා පිළිබඳ ව නිවැරදි ව අවබෝධකර ගත යුතු වෙයි. මයික්‍රෆෝනයකට කතා කිරීමේදී තමන්ගේ මුඛය හා මයික්‍රෆෝනය අතර තබා ගත යුතු දුර ප්‍රමාණය, කැමරාවකට කතා කිරීමේ දී කැමරාව සමඟ ඇස් සබඳතා පවත්වා ගතයුතු ආකාරය වැනි සරල තාක්ෂණික කාරණා පමණක් නොව එක් එක් මාධ්‍යයන්ගෙන් කළ හැකි හා කළ නොහැකි දේ මොනවාද යන්න පිළිබඳ ව අවබෝධයක් තබා ගත යුතු වෙයි. මූලික වශයෙන් ම ගුවන්විදුලිය යනු ශබ්ද මාධ්‍යයක් ලෙසත්, රූපවාහිනිය යනු රූප හා ශබ්ද මාධ්‍යයක් ලෙසත් ඒ දෙකෙහි ඇති වෙනස්කම් මොනවාද යන්න පිළිබඳත් මූලික දැනුම අවශ්‍ය වේ.

වැඩසටහන් පිළිබඳ ව ගෙදර වැඩ කරන්න

එක් එක් වැඩසටහන්වල වෙනස, ඒවායේ දී ඉදිරිපත් කරන්නා ගේ කාර්ය වෙනස්වන ආකාරය, වැඩසටහනක් කිරීමට පෙර ඒ වැඩසටහනේ අන්තර්ගතයට අදාළ ව ගෙදර වැඩ කිරීම, තොරතුරු මූලාශ්‍රය සොයා යෑම, තොරතුරු ගවේෂණය කිරීම අදාළ වන තොරතුරු පෙරා භාවිතයට ගැනීම ආදිය පිළිබඳ ව සැලකිලිමත් විය යුතු වෙයි. හුදෙක් තමන් හට වැඩසටහනක් බාර දුන් පසුව එය ඉදිරිපත් කිරීම සඳහා අතවන වනා පැමිණෙන ඉදිරිපත් කරන්නන් යනු සිය නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීම පැමිණෙන මල්පෝච්චි බඳු ප්‍රදර්ශන භාණ්ඩ පමණයි.

තමන් කතා කරන සෑම වචනයකට ම තමන් වග කියන්න

මාධ්‍ය වෘත්තිය යනු වෛද්‍ය වෘත්තියට හා සමාන වෘත්තියකි. වෛද්‍යවරයකුට සිය වෛද්‍ය කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය හැකියාව හා බලපත්‍රය මූලිකව ම ලැබෙන්නේ විශ්වවිද්‍යාල ගතව වසර 5ක කාලයක් වෛද්‍ය උපාධිය හදාරා වසරක සීමාවාසික පුහුණු කාලයකට යටත් කොට ඉන් පසුවයි, වෙදකම් කිරීම සදහා බලපත්‍රය ලැබෙන්නේ. එහෙම දිගු ක්‍රියාවලියකට ඔවුන් යටත් කරන්නේ වෛද්‍යවරයා නිරන්තරව කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟ වන නිසා ය. මාධ්‍යකරුවාගේ වෘත්තිය නිරන්තරව ගැටෙන්නේත් මිනිස් ජීවිත සමඟ ය; පොදුවේ ගත් විට මිනිස් සමාජයක් සමඟ ය. වෛද්‍යවරයාගේ වැරදි රෝග නිශ්චයක් හෝ වැරදි ඖෂධ නිර්දේශයක් රෝගියා සදාකාලික ආබාධිතයකු කිරීමට හෝ මරණය කැඳවීමට හේතු වේ. මාධ්‍යකරුවා ගනු ලබන වැරදි තීන්දුවක් මුළු සමාජයක් රෝගීභාවයට පත් කිරීමට හේතු වේ. මාධ්‍යකරුවා භාවිත කරන්නේ භාෂාව ය. ඒ නිසා වැරදි වචනයක් භාවිත කළහොත් එය පොදු සමාජයේ තනි පුද්ගලයකුට හෝ සමාජ කණ්ඩායමකට හෝ සමස්ත සමාජයට හෝ හානිකර විය හැකිය; සමාජයක් විනාශය කරා ගෙන යා හැකිය. ඒ නිසා වෛද්‍යවරයාට වගේ ම මාධ්‍යකරුවාටත් පුහුණුව හා හැදෑරීම අවශ්‍ය ය. එය තමන් විසින් ම කරගත යුත්තකි. එයට හේතුව මාධ්‍ය ආයතන භාවිත කරන්නේ “බොයිලර් න්‍යාය“ නිසා ය. මාධ්‍යකරුවකු තමන්ගේ මුළු ජීවිත කාලයේ ම හැදෑරීමකට යටත් විය යුතුයි. එය ස්ව කැමැත්තෙන් ම කළයුතු දෙයකි.

කිසිවිටෙක අනුගාමිකයෙන් නොවෙන්න

අප සියලුදෙනා ම විවිධ ජාතීන්ට, ආගම්වලට, කුලවලට, විවිධ සංස්කෘතීන්ට, විවිධ දේශපාලන මතයන්ට අයිති හෝ ඒවා විශ්වාස කරන අය විය හැකිය. එහෙත් මාධ්‍යකරුවකු ලෙස තමන්ගේ වෘත්තිය ජීවිතය අරඹන විට ඔබ තමන් මෙතෙක් දැරූ මත පැත්තකින් තැබිය යුතුය. එමෙන්ම මාධ්‍යවේදියකු ලෙස මයික්‍රෆෝනය ඉදිරිපිටදී හෝ කැමරාව ඉදිරිපිටදී කිසිම පක්ෂග්‍රාහී බවක් දැරිය යුතුද නොවේ. ඔබගේ මතය අසන්නාට හෝ නරඹන්නාට වැදගත් නැත.

යම් විදියකින් මාධ්‍යකරුවා කරන කියන කටයුතු හරහා ඔහුගේ පාට හෝ මතය එළිදරව් වුවහොත් ග්‍රාහකයන්ගෙන් අඩක් හෝ වැඩි ප්‍රමාණයක් ඔබගේ ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ඉවත් වන බව මතක තබා ගත යුතු කාරණයකි. මන්ද එළියේ සිටිනා ග්‍රාහකයන් සියලු දෙනා මාධ්‍යකරුවාගේ මතය නොදරන බැවිනි. “නානාත්ථ කායා - නානාත්ථ සංඥා“ කියන්නේ ඒ නිසා ය. මේ කාරණය වරද්දා ගතහොත් මාධ්‍ය ජීවිතයේ වඩාත් අසාර්ථක ම මාධ්‍යකරුවා බවට පත්වන්නේ ඔබ ය. ඒ නිසා සැමවිට ම පක්ෂග්‍රාහී නොවී හැකිතරම් මධ්‍යස්ථ පුද්ගලයකු ලෙස මයික්‍රෆෝනය ඉදිරිපිට හෝ කැමරාව ඉදිරිපිට ඉඳ ගත යුතු බවට ඉටා ගන්න.

මාධ්‍ය ජීවිතය යනු සරල, සුන්දර වෘත්තියක් නොවේ. එය වගකීම් සහගත බැරෑරුම් කාර්යයකි. රූපලාවණ්‍ය ආයතනයකට ගොස් රූපය සුරූපී බවට පත්කර ගැනීම හෝ කටහඩ පුහුණු කරන ආයතනයකට ගොස් කටහඬ හදා ගැනීම මේ වෘත්තියේ දී ප්‍රමුඛ වන්නේ නැත. ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ තමන්ගේ “මනස” නිවැරැදි ආකාරයෙන් නිර්මාණය කරගැනීම ය. දෙවනුව ඉහත සඳහන් කළ අනෙක් කාරණා සම්පූර්ණ කළ හැකිය. ඒ මයික්‍රෆෝනය හෝ කැමරාව ඉදිරිපස ඉඳගත යුත්තේ දැනුමක් නැති හිස් මිනිසුන් ලෙස නොවේ. දැනුම සහිත සම්පූර්ණ වූ මිනිසුන් ලෙසිනි. රටක් ඉදිරියට යෑමට නම් ඔළුවක් ඇති සමාජයක් අත්‍යවශ්‍යයි. එවැනි සමාජයක් ගොඩනැඟීමේ වගකීමෙන් කොටසක් මාධ්‍යයටත් බාරය. මාධ්‍යය එය ඉටු කරමින් සිටිනවා ද යන්න මේ මොහොතේ අප ට ඇති ප්‍රශ්නයයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.