ලාබයි ලාබයි අවුරුදු ලාබයි | සත්මඬල

ලාබයි ලාබයි අවුරුදු ලාබයි

සිංහල අලුත් අවුරුද්ද යනු අපේ ජාතික මංගල්‍යයයි. අප ද ප්‍රජාව ද, භූමිය ද ඒ අනුව සමස්ත සමාජයීය, පාරිසරික, ක්‍රියාවලිය ද අලුත් වන කාලයයි. හිතේ සතුටට අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් චාරිත්‍රානුකූල ව සහ ජයට කරන්නට නොහැකි වන්නේ නම් ඊට වඩා සිංහලයා අසතුටට පත් කරන තවත් දෙයක් නැති තරම් ය.

එසේ වුවත් සිංහල අවුරුද්ද යනු කුමක්ද? ඒ සම්බන්ධ ව කතා කෙරුම මගේ අරමුණ නොවේ. මා කතා කරනුයේ ඊට අදාළ, ඒ සමඟ ගැටගැසී ඇති දේශපාලනය පිළිබඳ ව ය. ඒ දේශපාලනය සහ දේශපාලන ආර්ථීකය හරහා අවුරුද්දෙන් සිංහලයා ද, සිංහලකම ද පලවා හැරීමට දරන නොයෙකුත් ප්‍රයත්නයන් පිළිබඳ ව ය. එදා, සිංහල අපට තිබුණේ එක ම එක අවුරුද්දකි. ඒ අපේ බක්මහ උළෙල ය. නමුත් දැන් 21වන සියවසේ අපට අලුත් අවුරුදු දෙකක් ඇත. එකක් ජනවාරි පළමුවෙනිදා උදාවෙන නව වසරයි;

අනෙක බක්මාසයේ උදා වෙන අලුත් අවුරුද්ද ය.

පළමුවැන්න යුරෝපීයන්ගේ නැකැත් ශාස්ත්‍රය අනුව ජේසුස් වහන්සේගේ උපත අනුව ගණනය කරන්නකි. එය “අපේ” නොවේ; ඒ සිංහල අවුරුද්ද නොවේ. නමුත් එය උත්සවාකාරයෙන් යුතුව අපට බලෙන් ඔබ්බවන දවසකි. එදින ප්‍රකාශ වන්නේ අපගේ සිරිත් නොවේ. අතට අත දී, සිප වැළද ගෙන සුබ පැතුම් පත් එකිනෙකාට යවා ගන්නා අවස්ථාවක් මිස එහි කිසිදු ජාතිකත්වයක්, අපේ කමක් අඩංගු නැත. එය වැදගත් වන්නේ මේ රට බහුජාතික බහු ආගමික රටක් යැයි තර්ක කරන්නට පමණි. ජනවාරි 01, අවුරුද්දේ පළමුවැනිදා යැයි කීමෙහි ගැබ් ව ඇති යටත් විජිත මානසිකත්වය පිළිබඳ ඔවුන් කතා නොකරන්නේ මන් දැ යි අවබෝධ කර ගැනීම කිසිසේත් ම අපහසු නොවේ. ඒ ආකාරයෙන් දියත් වන සංස්කෘතික අධිරාජ්‍යවාදය ඔවුන් අනුමත කරනවා පමණක් නොව, ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බව ද සුපැහැදිලි ය. ඒ, ජනවාරි පළමුවැනිදා අවුරුද්ද ය.

බක් මාසයේ උදාවන අවුරුද්ද පිළිබඳ මෙවන් බලවේග කටයුතු කර ඇත්තේ කෙසේ ද, කටයුතු කරන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වටී. පළමුවෙන් ම මෙය තවදුරටත් සිංහල අලුත් අවුරුද්ද නොවේ. එය නිල වශයෙන් හඳුන්වන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෙසට ය. නමුත් දමිළයන් සියලු දෙනා අවුරුද්ද ලෙස දකිනුයේ මෙය නොවේ. පැහැදිලි ව ම තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන දමිළයන්ගේ ජාතික මංගල්‍යය මෙය නොවේ. ලංකාවේ දමිළයන්ට වුවත් බක්මහේ මංගල්‍යයට සමාන ව හෝ ඊට වඩා වැඩියෙන් “දීපාවලි උත්සවය” වැදගත් වන්නේ ය.

තවද සිංහල වුවද දෙමළ වුවද යමෙක් බෞද්ධයෙක් හෝ හින්දු භක්තිකයෙක් නොවන්නේ නම් ඔහුට හෝ ඇයට මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වැදගත් වන්නේ නැත. ඔවුන්ගේ මංගල්‍යය නම් පාස්කු ඉරිදා වේ. එසේත් නැත්නම් නත්තල වේ. අවුරුදු සිරිත් විරිත්, ළිප ගිනි මොළවිම්, නෑගම් යෑම්, හිසතෙල් ගෑම් මොවුන්ට වැදගත් වන්නේ නැත. එසේ නම් මොවුන් සිංහලයෝ නොවන්නේ ද? එසේ නම් අප මෙය සිංහල බෞද්ධ සමහරක් දමිළ ලෙස නැවත නම් කළ යුතු උත්සවයක් ලෙස හඳුනාගත යුතු ද යන්න ගැටලු පැන නඟී.

යෙදුම් හැරුණු විට දේශපාලනය, සංස්කෘතික පහර දීම් මේ උත්සව මඟින් ක්‍රියාත්මක වන බව ද මනාව පෙනී යයි. අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කරගත්තක් ම නොවේ. අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව විවේක කාලයේ ඒ කටයුතු නිම කිරීමේ ප්‍රීතිය සංකේතවත් කරන්නක් ද නොවේ. අද අපිට දක්නට ලැබෙනුයේ එය උලෙළක් නොව සැණකෙළියක් ලෙස පවත්නා තත්ත්වයකි. ගැඹුරු අරුත් ඇති අපේකම සටහන් ව ඇති සිරිත් විරිත් පද්ධතියකින් සමන්විත වූවක් ලෙස වෙනුවට, වෙළෙඳ වටිනාකම් ගැබ් ව ඇති වාණිජකරණයට ලක් වූවක් ලෙස අද අපිට එය දක්නට ලැබේ.

මේ සඳහා උදාහරණයක් අවශ්‍ය නම් අප්‍රේල් මාසයේ ජාතික පුවත්පත් පෙරළා බැලීමම ප්‍රමාණවත් ය. අවුරුදු සුබ පැතුම්පත් සමඟ දහසකුත් එකක් ආරාධනා එවිට ඔබට දැකගත හැකිය. මේ දැන්වීම් අපට ආරාධනා කරන්නේ සිංහලකම, සිංහල සිරිත රැකගන්න කියා නොවේ. ඒ සිරිතෙහි ගැඹුරු සමාජ දැක්ම, දාර්ශනික කාරණා පිළිබඳ කල්පනා කොට ඒවාට උචිත වූ අනුකූල වූ ජීවිත වැළඳ ගැනීමට ද නොවේ. ඒ වෙනුවට මේවායෙන් අපට ආරාධනා කරනුයේ ඒ සිරිත් ඒ සමාජ දැක්ම, දර්ශනය යනාදියට පටහැනි වූ ඒවාට නිරතුරුව පහර දෙන පරිභෝජන සංස්කෘතියක් වැළඳ ගැනීමට ය. වසර කිහිපයකට පෙර එක්තරා පුවත්පතක අතිරේකයක මුල් පිටුවෙන් පාඨකයාට එක්තරා සමාගමක් සමඟ අවුරුද්ද “එන්ජෝයි” කරන්නැයි ආරාධනා කොට තිබුණේ පිරිමියකු ගැහැනියක ඔහුගේ උකුළේ හිදවාගෙන ඔන්චිලි පදින රූපයක් ඉදිරිපත් කිරීමෙනි. එතැනදී ඉතා ම අශෝභන ආකාරයෙන් ලිංගිකත්වය නිරූපණය කොට තිබුණි. ලිංගික කාරණා සිංහල සංස්කෘතික කතිකාවේ හෝ භාවිතයේ යටපත් කළ යුතු නැත; යටපත් වී ද නැත. එය බලෙන් පැටවිය හැක්කක් ද නොවේ. එහෙත් මා දකිනා ආකාරයට ඒ සියලු දේට ම අවස්ථාවක් තැනක් ඇත. මේ ආකාරයන් කිසිදා ඔන්චිලි පැද නැත්තේ එසේ කිරීම නොහැකි නිසා නොවේ. සියලු දේ එක්තරා හැඳීයාවකට හික්මීමකට යටත් බැවින් යැයි මම සිතමි. හික්මීම හැඳීයාව යනු බෙලහීනතාවය නොවේ. නිසිතැන අනිසි තැන නොදැන හික්මීමක් තොරව කුමක් හෝ කරන්නේ නම්, ප්‍රකාශ කරන්නේ නම් එතැන යම් බෙලහීනතාවක් ඇත.

එක් වෙළෙඳ දැන්වීමක් පමණි. අවුරුද් සමයේදී පුවත්පත්වල පිටු අතරේ, වෙළෙඳ සැල්වල කිරි ඉතිරේ, බුලත්කොළ, හෙප්පු, ඔන්චිල්ලා, සූර්යයන්, රබන්, අවුරුදු කුමාරියන්, පංච කෙළි ඇතුළු අලුත් අවුරුද්දට අදාළ සංකේත ඇති තරම් දක්නට ලැබේ. නමුත් මේ වෙළෙඳ සැල්වල වෙළෙන්දන් සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනවල සේවය කරන බොහෝ දෙනාගේ හදවතෙහි ඔවුන්ගේ මනස් තුළ බුලත් කොළ නැත. ඔවුන් ට රබන් රිද්මය නුහුරු ය. සිරිත ඔවුනට විදෙස් බසක වදනක වැනි ය. ඒ හා බැඳී භාවිත ඔවුන්ට නුහුරුය. එසේත් නැත්නම් අදාළ නැත.

වෙළෙන්දා සුබ පතන්නේ සිරිතට ගරු කරන නිසා ම නොව සිරිත දඩමීමා කරගෙන භාණ්ඩ හා සේවා විකුණා ගැනීමට ය. දේශපාලකයා සුබ පතද්දී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි කීව ද ඔහු හෝ ඇය නොකියා කියන්නේ ඡන්දය දෙන විට මා අමතක නොකරන්න කියා ය. වසරේ අනෙක් තුන්සිය හැටහතර ම සිංහලකම හා සිංහලයා අමතක කරනවා පමණක් නොව සිංහලයාට සිංහලකමට අනුකම්පා විරහිතව සෘජු ව හෝ වක්‍ර ව පහර දෙන මේ පාර්ශ්වයන් පැහැදිලි ව ම සිංහල අලුත් අවුරුද්දෙහි සංස්කෘතික හා ජාතික වැදගත්කම හීන කරන්නන් ම ය. නැතහොත් සිංහල අලුත් අවුරුද්ද තමන්ගේ වාණිජමය හා දේශපාලන අවශ්‍යතා සඳහා අලෙවි කරන්නන් ය. සිරිත යනු ඔවුන්ට පරිභෝජනය වේ. සිංහලයා යනු පාරිභෝගකයා වේ. සිංහලයා යනු ඡන්ද දායකයා වේ. ඒ නිසා ඔවුන්ට මේ මංගල්‍යය, මේ මහා උලෙළඑහි ගැඹුරු අරුත් හා බැඳී වටිනාකමකින් සමන්විත නොවූවක් ම ය. ඒ අර්ථයෙන් තවමත් අඩුවකට ඇත්තේ අලුත් අවුරුදු කාඩ්පත් වෙළෙඳ පොළක් බිහි නොවීම පමණි.

මේ සියල්ලෙන් ම පැහැදිලි වනුයේ භෞතික වූ සිංහල අවුරුදු සිරිතක් භාවිතයක් අපට මේ වනවිට ඉතිරි වී නැති බව නම් නොවේ. මේ සියලු අවාසිදායක තත්ත්වයන් මදි පුංචිකම් හමුවේ ද අපේකම යන්න තවමත් ජීවත්වන බව මම විශ්වාස කරමි. බොහෝ දෙනා මුලින් කියූ ඔන්චිල්ලා වෙළෙඳ දැන්වීම පිළිකුල් සහගත යැයි පැවසුවේත් කඩසාප්පු වල දිසිසෙන අලුත් භාණ්ඩ මිලදී ගත්ත ද ඒවා දෙස බලමින්, හූල්ලමින් හිස් අතින් ගෙදර ආව ද ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් නැකැතට සියලු චාරිත‍්‍ර නිසි ආකාරයට නිමා කරන්නේත්, වැඩිහිටියන්ට බුලත් දී වඳීන්නේත් හා නෑගම් යන්නේත් ඒ නිසා ය.

මා දකිනා ආකාරයට තවමත් සිංහල අලුත් අවුරුද්ද වාණිජකරණයට හෝ විජාතික සංස්කෘතික ආක්‍රමණවලට මුළුමනින් ම ගොදුරු වී නොමැත. එසේ ගොදුරු වන්නේ නැති බව ද මම විශ්වාස කරමි. ඒ අපේකම යනු පහසුවෙන් වඳ වෙන වඳ කළ හැකි කාරණයක් නොවන නිසාවෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.