සිංහල අලුත් අවුරුදු විකාශනය | සත්මඬල

සිංහල අලුත් අවුරුදු විකාශනය

කාලය පුදුමාකාර ය. එය ඇස, කන, දිව, නැහැය වැනි ඉඳුරන්ට ගොදුරු වන්නක් නොවේ. එසේ වුවද කාලය එළඹෙන සැටිත් ගෙවෙන සැටිත් අපට දැනේ. අපේ එදිනෙදා ප්‍රයෝජනය තකා කාලය වෙන් කර ගැනීමට ද අපට පුළුවන. තප්පර, විනාඩි, පෑ, දින, සති, මාස, අවුරුදු ආදි වශයෙන් කාලය බෙදා වෙන් කොට ගැනිම අනාදිමත් කාලයක සිට සිදු වෙමින් පවතින්නකි.

කාලය බෙදා වෙන් කිරීම පිළිබඳ එක් සම්මතයක් නම් එක් කාල පරිච්ඡෙදයක් අවසන් වූ මොහොතේ දී ම ඊළඟ කාල පරිච්ඡේදය ආරම්භ වීම යි. එනම් ඉරිදා අවසන් වනවාත් සමඟ ම සඳුඳාත්, දෙසැම්බරය අවසන් වනවාත් සමඟ ම ජනවාරියත් 2018 වැනි අවුරුද්ද අවසන් වනවාත් සමඟ ම 2019 වැනි අලුත් අවුරුද්දත් ආරම්භ වන්නාක් මෙනි.

එහෙත් මේ පොදු සම්මතයට ඉඳුරා වෙනස් වූ සිරිතක් සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් පවතී. සිංහල අප සිතන විදියට එක් අලුත් අවුරුද්දක් ආරම්භ වන්නේ පරණ අවුරුද්ද ගෙවී යන මොහොතේ දී ම නොවේ. පරණ අවුරුද්ද ගෙවී පැය ගණනක් ගෙවී ගිය පසුව ය.

එයින් හෙළි වන්නේ කුමක් ද? පරණ අවුරුද්ද ගෙවී ගොස් ඇති හෙයින් ‘පරණ අවුරුද්දටත්’ නැති, අලුත් අවුරුද්ද උදා වී නැති හෙයින් ‘අලුත් අවුරුද්දටත්’ නැති කාල පරිච්ඡේදයක් පවතින බව ය. පරණ අවුරුද්ද ගෙවී ගොස් ය; අලුත් අවුරුද්ද ලබා නැත.

පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද යන අවුරුදු දෙකට ම නැති මේ කාල පරිච්චේදය හැඳීන්වීමට නම් කීපයක් ම යෙදේ. පංචාංග ලිත්වල යෙදෙන්නේ ‘සංක්‍රාන්ති කාලය’ යන නම යි. එය සූර්යයා පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දට සංක්‍රාන්ති වන කාල පරිච්ඡේදය වන හෙයිනි. සිංහල ජන වහරෙහි යෙදෙන්නේ ‘නොනගතේ’ යන නම යි. එය කාලයෙන් පිට පවතින්නක් නිසා ‘නොකාලයක්’හැටියට සැලකිය යුතු ය.

නැකත් ඇත්තේ කාලය ඇතුළත ය. එහෙයින් ‘නොකාලයෙහි’ නැකත් නැත. ‘නැකත්’ යන පදය ආදියෙහි යෙදුණේ ‘නකත්’ යනුවෙනි. එහෙයින් නකත් නැති කාල පරිච්ඡෙදය ‘නොනකත’ විය. පසුව එය ‘නොනගත’ විය. සිංහලයා නොනගතේ වශයෙන් හඳුන්වන්නේ සූර්යයා මීන රාශියටත් මේෂ රාශියටත් අතර ගත කරන කාල පරිව්ඡෙදය යි.

නොනගතය යනු පරණ අවුරුද්දටත් නැති, අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡේදයක් නිසා ‘දෙකට ම නැති’ ඒ කාල පරිච්ඡේදය කෙරේ විමතියක් හා බියක් සිංහලයා තුළ පවතී. ‘දෙකට ම නැති කෙනකු’ හෝ ‘දෙකටම නැති දෙයක්’ හෝ වේ නම් ඒ ගැන විශ්වාසයක් සිංහලයා තුළ නැත්තාක් මෙනි. දෙකට ම නැති පුද්ගලයා විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නොවේ. දෙකට ම නැති වෙලාව ද පරිස්සම් විය යුතු කාල පරිච්ඡේදයක් සේ සැලකෙයි.

දෙකට ම නැති එවැනි කාල පරිච්ඡේදයක දී තමාගේ ආරක්ෂාව සලසා ගැනීම තමා සතු වගකීම යි. එබැවින් එවැනි වේලාවක දී තමාට ඉතා ම ආරක්ෂා සහිත ස්ථානයකට ගොස් කාලය ගත කිරීම සිංහලයාගේ සිරිත යි. තමාට ඉතා ම ආරක්ෂිත ස්ථානය සේ සිංහල බෞද්ධයා සලකන්නේ පන්සල යි. එබැවින් නොනගත කාලයෙහි දී පන්සල් යෑම අනිවාර්ය චාරිත්‍රයක් බවට පත් වෙයි.

නොනගතය අනතුරුදායක කාල පරිච්ඡේදයක් නිසා ඒ කාලය තුළ දී තමාගේ ජීවිතයට නැතිව ම බැරි කිසිවක් ස්පර්ශ කිරීමට වත් සිංහලයා නොසිතයි. සිංහලයකුට නැතිව ම බැරි මූලික දේවල් මොනවා ද? ගින්දර, වතුර හා කිරි යි.

ගින්දර යනු මිනිසාට නැතිව ම බැරි දෙයකි. ඔහු ආහාර පිස ගන්නේ ළිපෙහි ඇවිලෙන ගින්දරෙනි. එබැවින් නොනගතේ උදා වන්නට කලින් කුස්සියෙහි ළිප් නිවා දැමීම අනිවාර්යයෙන් ම කළ යුතු කාර්යයකි. නොනගත කාලයෙහි දී සිංහල ගෙයක ගින්දර නොදැල්වේ. අලුත් ගින්දරකින් ළිප දැල්වෙන්නේ නොනගතය අවසන්ව අලුත් අවුරුද්ද උදා වුණු පසුව ය.

වතුර යනුත් ගින්දර මෙන් ම මිනිසාට අවශ්‍ය ම දෙයකි. එබැවින් නොනගතය තුළ දී ළිඳ හා කිසිදු ගනුදෙනුවක් සිදු නොවේ. ගෙදරට අවශ්‍ය ජලය නොනගතය ලබන්නට කලින් ගෙන ආ යුතුය. නොනගත කාලයෙහි දී කිසිවෙක් ළිඳට නොයයි. ළිඳ සමඟ පළමුවෙනි ගනුදෙනුව ආරම්භ වන්නේ අලුත් අවුරුද්ද උදා වුණු පසුව ය.

මේ ගනුදෙනුව හැඳීන්වෙන්නේ ‘ළිඳ අලෙයි කරනවා’ යන වහරිනි. ළිඳ අලෙයි කරන විට සිදු වන්නේ කළයක් ද රැගෙන ළිඳට යන කාන්තාවක යම් යම් භාණ්ඩ සහිත රෙදි පොට්ටනියක් ළිඳට දැමීමෙන් අනතුරුව පළමුවෙනි වතුර බාල්දිය උඩට ඇද ගැනීම යි.

ළිඳට දමන වස්තූන් අතුරෙහි අඟුරු කෑලි කීපයක් ද සමන් මල් කීපයක් ද තඹ කාසියක් ද වෙයි. දිය පිරිසිදු කිරීමේ ශක්තියක් අඟුරු කෑල්ලෙහි ඇතැයි කියනු ලැබේ. තඹ කාසිය අවශ්‍ය වන්නේ මිනිස් සිරුරට තඹ අවශ්‍ය හෙයිනැයි කිය වේ.

ළිං දියට තඹ කාසියක් දමන්නේ එහි ඇති මූල්‍යමය අගය ගැන සිතා නොව එහි ඇති තඹ ගැන සිතා ය. දියට වැටෙන තඹ කාසිය අවුරුද්දක් තිස්සේ ළිඳෙහි දිය වෙයි. අවුරුද්දක් තිස්සේ ඒ වතුර බොන්නා‍ගේ ඇඟට නොදැනුවත්ව ම මෙන් තඹ ඇතුළු වෙයි. තඹ මිනිස් සිරුරට අවශ්‍ය ම දෙයක් සේ සැලකේ.

මිනිසාට නැතිව ම බැරි තවත් දෙයක් නම් කිරි යි. දරුවකු මුලින් ම බොන්නේ කිරි යි. විශේෂයෙන් ම මව් කිරි යි. එබැවින් නොනගත කාලයෙහි දී කිරි ස්පර්ශ නොකෙරේ. එහෙත් අලුත් අවුරුදු නැකත උදා වත්ම පිළියෙල කෙරෙන බතට කිරි මිශ්‍ර කිරීම අනිවාර්ය වෙයි. රස නහර පිනා යන වෙන කොතෙකුත් ආහාර පාන ඇතත් ‘කිරි බත’ පිළියෙල කිරීම සිංහල අලුත් අවුරුදු සිරිතක් වෙයි.

නොනගතය නමැති අශුභදායක කාල පරිච්ඡේදය තුළ දී නොකළ යුතු එක් දෙයක් ද ඇත. එනම් ‘වැඩ කිරීම’ යි. වැඩ කිරීමට පුළුවන් වීම මිනිසකු ජීවත් වන බවට හොඳ ම නිදසුන යි. මිනිසකු කිසියම් දිනක “මට දැන් නං වැඩ කරන්න බෑ” යැයි කිවහොත් එයින් නොකියා කියන්නේ ඔහු මළා හා සමාන බව යි.

එබැවින් ජීවත් වන පුද්ගලයාගේ ජීව ලකුණ සේ සැලකිය හැකි ‘වැඩ කිරීම’ නොනගත කාලයෙහි දී සිදු නොවිය යුතුය. මේ නිසා නොනගතේ උදා වන්නට කලින් ‘වැඩ නැවැත්වීම’ අනිවාර්යයෙන් ම සිදු කෙරේ. එසේ කළ සිංහලයා නැවත ‘වැඩ අල්ලන්නේ’ අලුත් අවුරුද්ද උදා වුණු පසුව යෙදෙන සුබ නැකතකිනි.

මෙහි දී ප්‍රශ්නයක් මතු වේ. නොනගතයෙහි දී වැඩ කළ නොහැකි නම් ඒ නොනගත කාලය ගත කළ යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නය යි. ‘වැඩ කිරීම’ යන්නේ විරුද්ධ අර්ථය ‘සෙල්ලම් කිරිම’ යි. එබැවින් පන්සල් යෑම හැරුණුවිට නොනගතයෙහි දී සිදු කළ හැකි අනික් කටයුත්ත නම් සෙල්ලම් කිරීම යි. මේ කාලයට ජන ක්‍රීඩා සමූහයත් අලුත් පණ ලබමින් ගමට එක් වෙයි.

සිංහල අවුරුද්ද සිංහල සමාජයට වැදගත් වන්නේ කරුණු කීපයක් නිසා ය. පළමුවැන්න ගේ දොර ශුද්ධ පවිත්‍ර කොට ගැනීම යි. අලුත් අවුරුද්ද එළැඹෙත් ම ගේ දොර පිරිසිදු කොට ගැනීම අඩු වැඩි වශයෙන් සිදු වේ. අවම වශයෙන් සිදු විය යුතු දෙයක් නම් කුස්සිය හෙවත් මුළුතැන් ගේ ශුද්ධ පවිත්‍ර කොට ගැනීම යි.

අවුරුද්දක් තිස්සේ උයන පිහන විට ළිප අවට පෙදෙස කුණු කසළවලින් පිරී යයි. ළිපෙහි අළු එක් වෙයි. එබැවින් ළිපෙහි අළු ඉවත් කිරීම මෙදා අවශ්‍යයෙන් ම සිදු කෙරේ.

ළිප ළඟ ම ඇති භාජනයක් නම් ලුණු සහිත පොල් කට්ට හෝ බෝතලය යි. අවුරුද්දක් යන විට මේ ‘ලුණු පොල් කට්ට’ හෝ ‘ලුණු පොල්බෙ’ යට නොයෙක් අපිරිසිදු දෑ එක් රැස් වෙයි. මේ අපද්‍රව්‍ය’ ඉවත් කොට ඒ වෙනුවට අලුත් ලුණු පොල් කට්ටක් හෝ ලුණු බෝතලයක් තැබීම වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙයි.

පැරණි ගෙදරක කුස්සියෙහි ළිපක ළිප් ගල් තුනක් විය. ඒ ගල් තුන මැටි ගෑමෙන් ඔප මට්ටම් කරන ලදුව මැටි වළං තැබීමට සුදුසු තැනක් බවට පත් කෙරේ. අලුත් අවුරුද්දට “ළිප් බැඳ ගිනි මොළවා” අලුත් බතක් පිළියෙල කළ යුතු බව අවධාරණය කෙරුණේ එහෙයිනි.

මෙසේ ළිපේ අළුත්, ලුණු පොල් කට්ටත්, ළිප ළඟ අතු ගෑ කුඩා ඉළපතත් කොළපතකට එක් කොට එහි පහනක් ද දල්වා ‘ළිබ්බොකු ආචිචිට’ හෝ ‘ළිබ්බොකු මුත්තාට’ හෝ පිදීම සමහර ගමක සිදු වේ.

කුස්සියෙහි ඇති හැළි වළං ද අවුරුද්දක් යන විට ඉරි තලා බි¼දී යන්නට ඉඩ තිබේ. එබැවින් අලුත් අවුරුදු උදාවත් සමඟ අලුත් හැළි වළං ද කුස්සියට එක් වෙයි. කුස්සියෙහි කෙරෙන මේ සියලු කටයුතුවල මූලික අරමුණ වන්නේ හැම දා ආහාර පිසෙන ස්ථානය පිරිසිදුව තබා ගැනීමට කාන්තාව පෙලඹවීම යි.

සිංහල අලුත් අවුරුද්දේ දෙවෙනි වැදගත්කම අපේ ශරීරය පිරිසිදුව පවත්වා ගැනීමට අනුබල දීම යි. මනුෂ්‍ය ශරීරයේ උත්තමාංගය වශයෙන් සැලකෙන්නේ හිස යි. ශරීරයේ සියලු කොටස් හසුරුවනු ලබන්නේ හිසෙන් බැවිනි. එදිනෙදා ජීවිතයෙහි දී ඉස් හොරි ආදී නොයෙක් අපවිත්‍ර ද්‍රව්‍ය හිසෙහි එක් රැස් වෙයි. මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම මනා ශරීර සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය වෙයි.

මේ අරමුණින් සිංහල අවුරුද්දෙහි දී පැවැත්වෙන එක් චාරිත්‍රයක් නම් ඉස තෙල් ගෑම හා ස්නානය යි. බෙහෙත් පැළෑටිවලින් පිළියෙල කෙරෙන තෙලක් වැඩිහිටියකු විසින් සුබ නැකතකට හිසේ ගැල්වීම මේ චාරිත්‍රය යි. දෙහි ඇඹුල් මිශ්‍ර ඖෂධවලින් හිස් සෝදා නෑමෙන් හිසේ රැඳුණු සියලු අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් වීමෙන් හිස නිරෝගීමත් වෙයි.

සිංහල අවුරුද්ද වැදගත් කොට සැලකීමට තෙවෙනි හේතුව වන්නේ පවුලේ එකමුතුකම ආරක්ෂා වීම යි. සමකාලීන අවශ්‍යතා නිසා පවුලක දරු දැරියන් අද වෙසෙන්නේ සිය දෙමාපියන් වෙසෙන මහගෙදරින් ඈත් ව ය. එවැවින් අවුරුද්දකට වරක් වත් ඔවුහු ගමේ මුල් ගෙදරට අවුත් දෙමාපියන් බැහැදකිත් නම් එය පවුලේ එකමුතුකම දිගට ම පවත්තා ගෙන යෑමට උපකාරී වෙයි.

දරුවන් සිංහල අවුරුද්දට ගමට යෑම නිසා පවුලේ සමඟිය දෙයාකාරයකින් වැඩේ. එකක් දෙමාපියන්ට දරුමුනුපුරු පරම්පරාව දැක ගත හැකි වීම යි. අනික සහෝදර සහෝදරියන්ට මෙන් ම මුනුපුරු මිනිපිරියන්ට ඔවුනොවුන් දැක හඳුනා ගැනීමට අවස්ථාව සැලසීම යි. මෙසේ හමු වී කෙරෙන සුහද කතා බහත් කෙළි සෙල්ලමුත් නිසා කලක් තිස්සේ පැසවමින් ආ හිත්අමනාපකම් ද අමතක වීමට ඉඩ තිබේ.

සිංහල අවුරුද්දේ සිව්වෙනි වටිනාකම නම් ගෙදරත් පන්සලත් අතර පවත්නා සම්බන්ධතාව අලුත්වැඩියා වීම යි. සිංහල බෞද්ධයකුට ඕනෑ ම දවසක ඕනෑ ම වෙලාවක පන්සල් යත හැකි වුවත් නොනගතේ දී පන්සලට යෑම අනිවාර්ය වේ. ඒ වේලාව ‘පුණ්‍ය කාලය’ යනුවෙන් වෙසෙසා හැඳීන්වෙන්නේ එහෙයිනි.

වෙන දාට තනි තනිව වුවත් පන්සල් යා හැකි ය. එහෙත් පුණ්‍ය කාලයට පන්සල් යන්නේ තනි තනිව නොව පවුලේ සියලු දෙනා ම එක් වී එක ම පවුලක් වශයෙනි. මේ හේතුවෙන් පවුලක හැම දෙනා ම මෙන් හඳුනා ගැනීමේ අවස්ථාව පන්සලේ හාමුදුරුවන්ට ලැබේ.

සිංහල අවුරුද්දේ පස්වෙනි අගය නම් ගෙදරත් අසල්වැසියනුත් අතර පවත්නා සම්බන්ධයට නව පණක් ලැබීම යි. එක් ගෙදරක සැදෙන රස කැවිලි සහිත බන්දේසි තවත් ගෙදරකට යැවේ. ඒ බන්දේසි ආපසු එන්නේ තවත් රස කැවිලි සමඟ යි.

මේ බන්දේසිය තැන රසමුසු සටහනක් මාර්ටින් වික්රනමසිංහ මහතාගේ ‘උපන් දා සිට’ නම් කෘතියෙහි එයි.

“අප අවුරුදු කැවිලි යැවූ බන්දේසිය අල්මාරියකින් එළියට ඇද ගන්නා ලද ලාච්චුවක් විය. ඒ ලාච්චුව වෙදා, නෑයන් හා මිතුරන් යන මොවුන්ගේ ගෙදරවලට පිළිවෙළින් ගොස් යළිත් අල්මාරියේ පහළ තට්ටුවේ විවරයට පිවිසෙයි.

සියලුම ගැමියන්ගෙන් අවුරුදු තෑගි ලැබූ දෙදෙනෙකුගෙන් අපේ තාත්තා ද එකෙකි. අනිකා උපාලිස් වෙදා ය. අලුත් අවුරුද්දට දෙදවසකට පමණ පෙර සිට තෑගි ගෙන එන්නෝ පෙරහැරක් මෙන් පැමිණෙති. බොහෝ දෙනකුන්ගේ අවුරුදු තෑග්ග කැවිලි බන්දේසියකි. ගමේ වෙළෙන්දෝ තුන් හතර දෙනා හාල් සිල්ලර බඩු රෙදිපිළි හා කැවිලි බන්දේසිය ද බැගින් ගෙනෙති...” (22 පිට)

සිංහල අවුරුද්දේ වටිනාම ගුණාංගය නම් එය මුළු මහත් සිංහල බෞද්ධ සමාජය ම එක ම නැකත් වෙලාවකට යම් යම් සිරිත් අනුගමනය කිරීමට සැදී පැහැදී සිටීම යි. ළිප ගිනි නිවීම, ළිප ගිනි දැල්වීම, වැඩ නැවැත්වීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභව කිරීම හා හිස තෙල් ගෑම යන සියලු කටයුතු මුළු මහත් සිංහල බෞද්ධ සමාජය ම ඉටු කරන්නේ එක ම මොහොතක ය. මෙය වෙනත් කිසිදු සමාජයක දැක්නට ලැබෙන බවක් අසා නැත.

සිංහල අවුරුදු සිරිත් විරිත් ගමින් ගමට ද කලින් කලට ද වෙනස් වේ. උඩරට ඇතැම් සිරිත් දකුණු පළාතෙහි නැත. අලුත් අවුරුද්දට නව සඳ බලන විට පැණි රස යමක් අනුභව කිරීම දකුණු පළාතේ සිරිතකි. උඩරැටියන් අවුරුද්දට නෑදෑයන් බලන්ට යන්නේ පරණ අවුරුද්දෙහි වුවත් දකුණු පළාතේ සිංහලයන් එසේ කරන්නේ අලුත් අවුරුදු උදාවෙන් පසුව ය.

අලුත් අවුරුද්දට ‘ගනුදෙනු කිරීම’ නම් සිරිතක් ද වේ. එහි දී බොහෝ විට සිදු වන්නේ අතේ හොඳට මුදල් ගැවසෙන කෙනෙකු ගෙන්වා ඔහුගෙන් යම් මුදලක් ලබා තැනීම යි. ඒ පුද්ගලයා වාසනාවන්තයකු නිසා ඒ වාසනාව තමාට ද ලැබෙතියි විශ්වාසයක් ගැමියන් අතර පවතී. එහෙත් මේ වෙනුවට අද මැදිහත් වන්නේ බැංකුව යි.

සිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ මාසයක මැද හරියෙහි ය. එනම් බක් මසෙහි දී හෙවත් අප්‍රේල් මැද හරියෙහි දී ය. මාසයක් මැද අවුරුද්දක් එන්නේ කෙසේ ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. ඊට හේතුව අප අනුගමනය කරන්නේ ‘ශක වර්ෂ’ නම් වර්ෂ ක්‍රමය වීම යි.

අද ලෝකවාසීන් භාවිත කරන වර්ෂ ක්‍රම කීපයක් ම ඇත. ක්‍රිස්තු වර්ෂය, බුද්ධ වර්ෂය හා මුස්ලිම් වර්ෂය යනාදී වශයෙනි. මේ අතුරින් ‘ශක වර්ෂය’ යනු ඉන්දියාවෙහි විසූ ‘ශක’ නම් රාජවංශිකයන් විසින් පිහිටුවන ලද වර්ෂ ක්‍රමයකි. මේ වර්ෂ ක්‍රමයට පදනම් වූයේ සූර්යයාගේ ගමන යි.

නක්ෂත්‍ර යෙහි ඉගැන්වෙන ආකාරයට හිරු දෙවියෝ එක් තැනක නොසිට ගමනක යෙදී සිටිති. ඉරු දෙවියන් ගමන් කරන්නේ චක්‍රයක ය. මෙය ‘රාශි චක්‍රයකය’ නම් වේ. ඒ චක්‍රයෙහි කොටස් දොළහකි. එක් කොටසක් ‘රාශියක්’ නම් වේ. මේ රාශි චක්‍රයේ පළමුවැන්න සේ සැලකෙන්නේ ‘මේෂ රාශිය’ යි. දොළොස්වැන්න සේ සැලකෙන්නේ ‘මීන රාශිය’ යි. ‘මේෂ රාශිය’ බැටළුවකුගෙන් ද ‘මීන රාශිය’ මත්ස්‍යයන් දෙදෙනකුගෙන් ද සංකේතවත් වේ.

ඉරු දෙවියන්ට මේෂ රාශියේ සිට මීන රාශියට ගමන් කිරීමට අවුරුද්දක් ගත වේ. ඉරු දෙවියන් මීන රාශියෙහි ගත කරන අන්තිම දවස ‘පරණ අවුරුද්ද’ සේ සැලකේ. ඉරු දෙවියන් මේෂ රාශියෙහි ගත කරන මුල් ම දවස ‘අලුත් අවුරුද්ද’ සේ සැලකේ. මීන රාශියෙන් පිටත් වූ ඉරු දෙවියන්ට මුළුමනින් ම මේෂ රාශියට ඇතුළු වීමට පැය කීපයක් ගත වේ. ‘නොනගතය’ හෙවත් ‘සංක්‍රාන්තිය’ යනුවෙන් හැඳීන්වන්නේ මේ පැය ගණන යි.

ශක වර්ෂය හඳුනාගන්නේ කෙසේ ද? ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 78 ක් අඩු කිරීමෙනි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 2018 බක් මහේ දී උදා වන්නේ 1940 වැනි ශක වර්ෂය යි. අවුරුදු 78 ක් අඩු කිරිමට හේතුව ශක රාජවංශය ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂයෙන් 78 දී බැවිනි.

 

සම්මානිත මහාචාර්ය,

ජේ.බී.දිසානායක

කොළඹ විශ්වවිද්‍යාලය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.