දහසය වැනි සියවසේ බල පෙරැළිය | සත්මඬල

දහසය වැනි සියවසේ බල පෙරැළිය

සීගිරි කාශ්‍යප, පියා මරා දැම්මේ කලා වැවේ වැව් බැම්මට රිංගවා මැටි ගසා වසා දැමීමෙනි. ධාතුසේනට තම අවසන් මොහොතේ කෙබදු දේ සිතෙන්නට ඇති ද? ඒ ධාතුසේනගේ ඇටසැකිල්ල කලා වැව් බැම්මේ කොතැනක හෝ තවමත් තිබෙනු ඇත.

හයේ හතේ පන්තිවල ඩබ්. ඒ. සිල්වා සූරීන්ගේ විජයබා කොල්ලයේ ඇතැම් ඡේද අපේ පාඩම් පොතට එක්ව තිබුණි. ෂෙරිඩන්ගේ පිසාරෝ නාට්‍යයේ කොටස් ගෙන රචනා කළා යැයි විචාරකයන් කියූ ඒ නවකතාවේ කොටස් බෙහෙවින් ම රසවත් විය. එහෙයින් මම තාත්තාගේ පොත් මේසයෙන් ගෙන විජයබා කොල්ලය තුන් හතර වතාවක් කියැවූවෙමි. බොහෝ අවස්ථාවල එහි පරිච්ඡේද යළි යළිත් කියැවූයෙමි.

ඒ කතාවෙන් අප සිත් ගත්තේ නීලමණී නයනාන්දගේ ආදරය නොව පුත් කුමාරවරු තිදෙනකු තම පිය රජුගේ මාලිගය මංකොල්ලකා දයා විරහිත ව ඒ පියා මරා දැමූ ආකාරය යි. එසේම ඒ රජු පරංගි විරෝධී සටන සිදු කළ යුද්ධ පෙරමුණේ අසිරිමත් සංසිද්ධිය යි.

අපේ ඉතිහාස කතාවල බලය සඳහා ගිජුකමින් පුතුන්, පිය මහරජවරු මරා දමන ආකාරය විරල නොවේ. එයින් ප්‍රකම්පතීයම ඝාතනය නම් මගධයේ අජාසත්ත කුමරු තම පියා වූ සේතිය බිම්බිසාර රජුට දසවධ දී මරා දැමූ විදිහ ය. එය කෙතරම් අප්‍රසන්න වී ද යත් පසුකාලීන කිසිම අම්මෙක්, තාත්තෙක් තම පුතාට අජාසත්ත යන නාමය නොයෙ දී ය.

සීගිරි කාශ්‍යප, පියා මරා දැම්මේ කලාවැවේ වැව් බැම්මට රිංගවා මැටි ගසා වසා දැමීමෙනි. ධාතුසේනට තම අවසන් මොහොතේ කෙබඳු දේ සිතෙන්නට ඇති ද? ඒ ධාතුසේනගේ ඇටසැකිල්ල කලා වැව් බැම්මේ කොතැනක හෝ තවමත් තිබෙනු ඇත. සීතාවක ටිකිරි කුමරු රාජසිංහ තම පියා වූ මායාදුන්නේ මරා දැමූ බව ඇතැම් මූලාශ්‍රය සඳහන් කරයි. ඒ කොයි විදිහට දැයි කියන්න අපි නොදනිමු.

මේ සියලු පූර්ව කතා කියැවුණේ ක්‍රි. ව. 1521 දී කෝට්ටේ රජ මැදුරේදී හයවැනි විජයබා මරා දැමූ විජයබා කෝඩය යි. ඒ පරංගිත් විජයබා කොල්ලය හැඳින්වූ නාමය යි.

අපේ රටේ එක්සේසත් දේශපාලන බල අධිකාරිත්වය බිඳී යන්නේ ක්‍රි. ව. 1467 දී ය. ඒ හයවැනි පරාක්‍රමබාහුගේ මරණයෙන් ය. එයට පෙර අපේ රට එක්සේසත් ව තිබුණේ හත් අට වතාවක් පමණි. බෙදී වෙන්ව ස්වයං පාලනයක හිඳීම අප ප්‍රිය කළේ ය. එහෙත් මහා වංශය ප්‍රධාන වංශකතා ඒ ප්‍රාදේශීය පරිපාලනය පිළිබඳ ව තොරතුරු දැක්වීම බැහැර කර දමා ඇත.

හයවැනි පරාක්‍රමබාහු දිවයින එක්සේසත් කළේ අරං හදාගත් දෙමළ පුතුන් දෙදෙනාගේ උපකාරයෙනි.

එයින් වැඩිමලා සෙම්බගන් පෙරුමාල් ය. චම්පක පෙරුමාලි යනු ඔහු‍ට තවත් නාමය කි. ඔහු සිංහලට කුල වද්දවා තිබුණේ සපුමාල් කුමරු යනුවෙනි. දෙවැනි පුතා අම්බුළුගල කුමරු ය. ඒ දෙදෙනාගේ පියා මළමාරයේ පනික්කිල ය. ඒ මදිවාට පරාක්‍රමබාහු තම දුව පාවා දෙන්නේත් දෙමළ කුමාරයකුට ය. ඒ උලකුඩය දූ කුමරියට දෙමළ කුමරු ලැබීම සඳහා පරෙයි සන්දේශයෙන් දෙවියන් යැද්දේ තොටගමුවේ රාහුල හිමියන් ය. උන්වහන්සේත් සවැනි පරාක්‍රමබාහු රජු හදාගත් පුතෙකි.

හයවැනි පරාක්‍රමබාහුට සුජාත පුතකු නොවූ නිසා දුව උලකුඩය දේවිය රාජ්‍ය බලය අත්පත් කරගත්තේ තම පුතා බලයට පත් කිරීමෙන් ය. එය මව් පාර්ශ්වයට බලය හිමි වීමකි. එහි ප්‍රතිඵලය වන්නේ රට සිවිල් අරගල වෙත යොමු වීම ය. මේ අවස්ථාවේදී සපුමල් කුමරුන් අම්බුළුගල කුමරුන් සිහසුනට පත්වන්නේ මොන උරුමයෙන් දැයි නොපැහැදිලි ය. ප්‍රාදේශීය පාලනයේ උරුමක්කාරකම එයට හේතු වූවා විය හැකිය. ඒ අනුව ක්‍රි. ව. 1505 නොවැ. 15 දින පෘතුග්‍රීසින් මෙරටට පැමිණෙන විට කෝට්ටේ පාලකයා වූයේ අම්බුළුගල කුමරු හෙවත් අටවන වීර පරාක්‍රමබාහු ය.

කඩු දුනු, හීවලින් යුතු කුඩා හමුදා සේනාංකයක් තිබූ අටවැනි පරාක්‍රමබාහු කාලතුවක්කු බයිනෙත්තු සහිත නාවික හමුදා ශක්තියක් තිබූ පෘතුග්‍රීසින් ඉදිරියේ ගිවිසුම්ගත වීම විය හැක්කකි. එය මෙතෙක් රජුට හිතවත් ව කොළොම්තොට වෙළෙඳාම් කළ හිතවත් මුස්ලිම්වරුන්ට එරෙහි වීමකි.

මේ කාලයේ ප්‍රාදේශීය කුඩා පරිපාලන ඒකකයක් ද විය. බිසෝවරුන්ගේ, සහෝදරියන්ගේ දරුවන් ද මෙකල බලයට පත්ව තිබේ. ඒ පාලකයන් අතර එකමුතු බවක් විය. මේ හැම කෙනෙකු ම සැලකුවේ කෝට්ටේ පාලකයා අග රජු වශයෙනි.

සමකාලීන යුගය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේදී රාජාවලියත්, අලකේශ්වර යුද්ධයත් වැදගත් ය. ඒ හැරුණු විට රජවරුන්ගේ සන්නස් සහ ලිපි අපට නිවැරැදි නිගමන සඳහා පාදක වේ. ඒ හැරුණු විට පෘතුග්‍රීසි ලේඛකයන්ගේ සටහන් පක්ෂපාතී වූවද තොරතුරු දක්වයි.

මෙයින් පර්නා ඕ කේරෝස් පියතුමා දිවයිනට නොපැමිණියෝ ය. ගෝවේ සිට අසා දැනගත් තොරතුරු එතුමා පදනම් කර ගත්තේ ය. ජුවාන් ද බැරෝක් පෘතුගාල ලේඛනාගාරයේ සිට මෙරට පිළිබඳ ලීවේ ය. වැඩි තොරතුරු ලබාගැනීමට ඔහු ගෝවේට පැමිණ තිබේ. දියාගෝ ද කූතෝ, ජුආඕ රිබෙයි රෝ ද මේ යුගය පිළිබඳ සිතන්නට යමක් අපට ඉතිරි කර තිබේ.

අටවැනි වීර පරාක්‍රමබාහු ක්‍රි. ව. 1509 ජූනි මස හත්වැනිදා මියයයි. ඉන්පසු බලයට පත්වන්නේ නමවැනි ධර්ම පරාක්‍රමබාහු, ද හයවැනි විජයබාහු ද යන්න විවාදාසම්පන්න ය. මෙහිදී ධර්ම පරාක්‍රමබාහුට අයත් කිසිම ලියැවිල්ලක් හමුනොවීමෙන් ඇතැම් විද්වතුන් සිතන්නේ එතුමා කැලණිය කොළොම්තොට පමණක් පාලනය කළ බවයි.

මේ හයවැනි විජයබාහුගේ බිසව වූයේ කීරවැල්ලේ මහ කුමාරිහාමි ය. ඇයගේ අනෙක් ස්වාමියා වූයේ මැණික්කඩවර සිටි රාජසිංහ කුමරු ය. මේ දෙදෙනාට පුතුන් සිව්දෙනෙකි. ඔවුන් පිළිවෙළින් මහ රයිගම් බණ්ඩාර, බුවනෙකබාහු, පරරාජසිංහ සහ මායාදුන්නේ නම් විය. මේ බිසවගේ මරණයෙන් පසු විජයබාහු ඇයගේ බාල සහෝදරියක වූ කීරවැල්ලේ කුමරිය පාවාගෙන ඇත. ඇගේ කුඩා පුතා හෝ සහෝදරයා දේව ප්‍රතිරාජ නම් කුඩා කුමරු ය.

විජයබා කොල්ලයේ හේතු සාධක උපදින්නේ මෙතැන් සිට ය. ඒ අනුව ඉහත කී කුමාරවරු හතරදෙනාගෙන් ප්‍රථමයා මියගොස් සිටි අතර ‍අනෙක් කුමාරවරු තිදෙනාව විජයබාහු පිය රජු නිවාස අඩස්සියේ තැබුවේ ය. ඒ කීරවැල්ලේ කුමරියගේ ඉල්ලීමට ය. ඇයට අවශ්‍ය වූයේ දේව ප්‍රතිරාජ කුමරුට රාජ්‍යත්වය ලබාදීම ය. මේ වියවුලේදී කඳුරේ බණ්ඩාර සහ ඒක නායක මුදලි යන ප්‍රභූ පවුල් දෙකක් කීරවැල්ලේ කුමරියට සහය ලබාදී ඇත.

බොහෝ රාජ්‍ය පාලකයන් ළාබාල බිසෝවරු විවාහ කරගෙන අකරතැබ්බවලට මුහුණදී තිබේ. ඇතැම් විට විජයබාහු තමාට වඩා බොහෝ බාල මේ කුමරියගේ බහට අවනත වූවා විය හැකිය. නැත්නම් පියවරු දෙදෙනෙකුගේ පුතුන් වූ අර පුත් කුමාරවරු තිදෙනාට පුබ්බ චාරීත්ත මග්ගයට අනුව රජකම අහිමි ව තිබුණා විය හැකිය.

විජයබා කොල්ලයේ ප්‍රථම පියවර වන්නේ පුත් කුමාරවරු තිදෙනා නිවාස අඩස්සියෙන් මිදී පලා යෑමෙන් ය. උඩරට ජයවීර බණ්ඩාර රජු මායාදුන්නේ කුමරුට යුධ ආධාර ලබා දෙන්නේ සිදු වූ අසාධාරණයට සාධාරණය ඉටු කිරීමට නොව තමාට අභියෝගයක් විය හැකි කෝට්ටේ රාජ්‍යය කොටස් තුනකට බෙදන්නට ය. කෙසේ වුව ද පොදු ජනතාව සිටියේ කුමාරවරු පක්ෂයේ ය. කෝට්ටේ හමුදාවත්, කුමාරවරුන්ට එරෙහිව සටන් නොකිරීමට තීරණය කර තිබූ බව සඳහන් වේ.

පුත් කුමාරවරු තිදෙනා සහ පියරජු අතර සමඟිය බිඳ වැටී යන්නේ කුමන්ත්‍රණකාරී ක්‍රියා නිසා යැයි රාජාවලිය සඳහන් කරයි. ඒ අනුව කුමාරවරුන්ගේ ඉල්ලීම පරිදි ඒකනායක මුදලි සහ කඳුරේ බණ්ඩාර ඔවුන්ට පාවා දෙයි. මෙහිදී ‍ඒකනායක කැලණි විහාරයට පැන ජීවිතය බේරාගත් අතර කඳුරේ බණ්ඩාර මරා දැමුණි.

විජයබාහු රජු පුත් කුමාරවරුන්ට රජමැදුරට හමුදාව රහිත ව පැමිණෙන ලෙසට ආරාධනය කරන්නේ සාකච්ඡා මඟින් ප්‍රශ්නය විසඳා ගැනීමට ය. එහෙත් රජු සූදානම් කර තිබුණේ පුතුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්නය නිමා කිරීමට ය. විස්මයට මෙන් මේ කුමන්ත්‍රණය කුමාරවරු දැන ගත්තේ ඒ වනවිට හත්හැවිරිදි වියේ සිටි යුවරාජ දේව ප්‍රතිරාජ කුමරුන්ගෙනි.

එයින් පසු උදාවන රාත්‍රිය ලංකා ඉතිහාසයේ තවත් බියකරු දුක්මුසු රාත්‍රියක් විය. එයට පෙර සිදු නොවූ කොල්ලයක් එහිදී නරුම ලෙස ක්‍රියාත්මක විය. මාලිගයේ සියලු භාණ්ඩ රාජකීය අංගණයේ ගොඩගැසුණි. මැදියම් රාත්‍රිය ගෙවී ගොස් තුන් පැයකට පසු පැමිණි සලොමොන් නම් මැලේ භටයා මායාදුන්නේ කුමරුට දන්වා සිටියේ ගබඩා කාමරයේ සැඟවී සිටින මහලු පියරජු හැර අන් සියල්ල ම පැහැරගත් බව ය.

එහිදී මායාදුන්නේගේ අණ ක්‍රියාත්මක විය. පසුදා පහන් වනවිට මාලිගයේ ගබඩා කාමරයේ ඉතිරි ව තිබුණේ හදවත සිදුරු කළ පිහි පහරකින් මියගිය විජයබා රජුගේ සිරුර යි.

සිදුවිය යුතු ලෙස කෝට්ටේ රාජ්‍යය කොටස් තුනකට බෙදී ගියේය. අගරජු වූ බුවනෙකබාහු කෝට්ටේ පාලකයා විය. පරරාජසිංහ හෙවත් රයිගම් බණ්ඩාරටත් සීතාවක මායාදුන්නේටත් හිමිව ගියේ ය. මෙසේ එක්ව බලය ලබාගත් සහෝදර බැම්ම ඉක්මනින් ම බිඳී යයි. එයට හේතු වන්නේ මායා දුන්නේ රයිගම් බණ්ඩාර සමඟ එක්ව කෝට්ටේ බලය ලබාගැනීමට යුද්ධමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ය.

එය පෘතුග්‍රීසින්ගේ බලය ස්ථාපිත වීමට බලපෑ ප්‍රධාන හේතුවක් විය. මන්ද යත් අන්ත අසරණ වූ හත්වැනි බුවනෙකබාහු තම පැවැත්ම සඳහා පෘතුග්‍රීසි ආධාර ලැබීමට හේතු වූ නිස යි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.