ඔබ, මම සහ ඊර්ෂ්‍යාව | සත්මඬල

ඔබ, මම සහ ඊර්ෂ්‍යාව

බසයක් එන තුරු මම බස් නැවතුමේ සිටියෙමි. මා අසල බසයක් බලාපොරොත්තුවෙන් තම දෙදරුවන් හා මවක් සිටියා ය. වසර දෙක තුනකට වඩා එකිනෙකා අතර පරතරයක් නැති මේ දරුවෝ දෙදෙන කුමක් හෝ දෙයකට රණ්ඩු වෙමින් සිටියෝ ය. ටිකෙන් ටික රණ්ඩුව දරුණු වූ අතරම දරුවන් දෙදෙනා මවගේ අත අතහැර ගහ ගන්නට වූයේ ය. මව ආයාසයෙන් දරුවන් දෙදෙනා දෙපැත්තට කළ අතර, අයියාගෙන් ගුටි කා කඳුළු වගුරවමින් සිටි නැඟණියට සැනසිලි බස් දෙඩුවා ය. ‘දුවටත් මම අයියගෙ ජාතියෙම එකක් අරන් දෙන්නම්කො...’ මව දියණිය අස්වසන විට ම වැඩිමල් පිරිමි දරුවා නැවත මව දෙස හැරී හැඬුම්බරව එහෙත් තරහෙන් පැවසුවේ ‘නංගිට මොකටද මගේ ජාතියෙ ම එකක් අරන් දෙන්නේ... එයා ගෑනු ළමයෙක්නෙ... ගෑනු ළමයින්ට මොකට ද බයිසිකල්’ කියා ය.

ඊර්ෂ්‍යාව, සංසන්දනය අපේ ජීවිත වසා පැතිර තිබෙන්නේ නොවේද? මා මෙසේ පැවසූ ඇසිල්ලේ ඔබ “මා නම් කිසිවකුටත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ” කියා පවසනු නියත ය. එහෙත් ඊර්ෂ්‍යාව අප සැම සිත් පුරා, සිත් වසා පවතින්නකි. මඳක් කල්පනා කර බලන්න; ඔබේ සහෝදරයා, සහෝදරිය හෝ පන්තියේ ඔබ අසල සිටි මිත්‍රයා ඔබට වඩා ලස්සනයි නම්, දක්ෂයි නම්, ධනවත් නම්, බලවත් නම් ඔබට ඊර්ෂ්‍යාව ඇති වේ. ක්‍රමයෙන් වයසින් වැඩෙත්ම මේ ඊර්ෂ්‍යාව තරගයක් බවට පත් වේ. එවිට ඔබට සෑම විටම තමා අවට සිටින්නන් සමඟ සංසන්දනයක් ඇති වේ.

වයසින් ක්‍රමයෙන් වැඩෙත් ම ඊර්ෂ්‍යාව ද වඩ වඩාත් වර්ධනය වන බව ඔබ දන්නවා ද? පයින් යන්නෝ බයිසිකලයක යන්නන්ට ද, බයිසිකලයේ යන්නෝ යතුරුපැදියේ යන්නන්ට ද, යතුරුපැදියේ යන්නෝ වාහනයක යන්නන්ට ද ඊර්ෂ්‍යා කරති. වාහනවල යන්නන් ද වඩා සුඛෝපභෝගී වාහනවල යන්නන්ට ඉරිසියා කරති. කවියෝ, නවකතාකරුවෝ සමස්තයක් ලෙස ගත් කල නිර්මාණකරුවෝ තමාට වඩා හොඳින් නිර්මාණකරණයේ යෙදෙන්නන්ට ඊර්ෂ්‍යා කරති; වඩා හොඳ වීමට, වඩා වටිනා කෙනකු වීමට, වඩා රැස් කිරීමට, වඩාත් බැබළීමට ආශා කරති; ඒවාට අවැසි දේ එක්රැස් කරති.

මඳක් විමසිල්ලෙන් බැලුව හොත් අප බොහෝ දෙනකුගේ සහජ ගතිය වන්නේ එක්රැස් කිරීමයි. ඒ සඳහා වැඩි වැඩියෙන් ඉපැයීමට සිදු‍ වේ. අන් කවර කෙනකුට හෝ ඉතා වැඩියෙන් අප දන්නේ යැයි ද පෙන්වීමට බොහෝ අයට අවශ්‍ය ය. එය කෙතරම් ඔඩු දුවා ඇත්තේ ද යන්න සිතා බැලුව හොත් පන්සල් යන්නේ ද, පල්ලි යන්නේ ද, ආගම අදහන්නේ ද තරගයට ය.

ආධ්‍යාත්මිකව පවා අන් අයට වඩා දන්නේ යැයි, ගුණවත් යැයි පෙන්වන්නට අපි උත්සාහ කරමු. මෙය ඔබට, මට පමණක් නොව අති බහුතරයක් දෙනකුට තිබෙන ගැටලුවකි.

රැස් කිරීම වැඩි වූ තරමට අපගේ භේද ද වැඩි වේ. බොහෝ දේ රැස් කරන්නන් අතර අනවරත තරගයක්, ඊර්ෂ්‍යාවක් හට ගනී. ඔබ මෙන් ම ඔබ අවට සිටින්නන් අතර ද මේ වැනි ම‍නෝභාව, හැසිරීම් ඔබ දැක ඇතිවාට සැක නැත. එනිසාම රැස් කරන සටනේදී අපි ක්‍රෑර වෙමු. රැස් කිරීම, තණ්හාව, ඊර්ෂ්‍යාව ඇති වූ ඇසිල්ලේ ආදරය පලා යයි. ඒ හැඟීම සිතට නිරන්තරයෙන් ගෙන එන්නේ පීඩාවකි; බියකි.

ඔබට හමු වී ඇති පුද්ගලයන් අතර ඊර්ෂ්‍යාව සාධාරණීකරණය කරන අය සිටි බව මට විශ්වාස ය. බොහෝ අය ඊර්ෂ්‍යාව සාධාරණීකරණය කරන්නේ එය රහත් නොවූ සිතක සාමාන්‍ය තත්ත්වයක් ලෙස ය. ඊර්ෂ්‍යාව, තරගය නැත් නම් දියුණු වන්නේ කෙසේ ද කියා අපි සාටෝපවත් පැලැස්තරයකින් ඒ දුර්ගුණය අයිසින් කරන්නෙමු. එමෙන්ම ඊර්ෂ්‍යාව අප හදවත් අභ්‍යන්තරය අත්පත් කරගෙන ඇති බැව් නොදන්නා පිරිසක් ද වෙති. ඔවුහු නිරන්තරයෙන් සද්ගුණවත් බව ම පෙන්වති. එහෙත් ඊර්ෂ්‍යාව හා තරගය සිතෙහි නැති බව හෝ ඇති බව දන්නේ තමන් ම ය. ඊර්ෂ්‍යාවේ කේන්ද්‍රස්ථානය මනස බැවින් කෙනකුගේ ඊර්ෂ්‍යාව තව කෙනකුට දකින්නට අපහසු ය. යම් කිසිවකින් ඔබ තෘප්තිමත් වීම ගැන කාරණය හෝ රැකියාව, ඉගෙනීම ආදි ඕනෑ ම දෙයක් වඩා හොඳින් කිරීමේ වුවමනාව ආදී සියල්ල ඊර්ෂ්‍යාව, රැස් කිරීම හා තරගයට අයත් වේ. ඉදින් අප සියල්ලෝ ම මේ හැඟීමට යටත් ය.

ඔබට යෑමට අවශ්‍ය තැනට, ඔබට ළඟා කර ගත යුතු දෙයට, ඔබේ අරමුණට ඔබ ළඟා වූ විට ඔබට සතුටක්, තෘප්තියක් ලැබෙනු ඇතැයි ඔබ සිතනු ඇත. මමත් එසේ සිතමි. වෙනත් වචනවලින් කියන්නේ නම් තරගයෙන් ජය ගත් විට ඔබට සතුටක් දැනෙනු ඇතැයි සිතේ. මටත් ඒ අරමුණට ළඟා වන තෙක් දැනෙන්නේ එය ලබා ගත් පසු සතුටක් ඇති වේ ය කියා ය. එහෙත් අවංකව කියන්න, එසේ වූවා ද? ලද දෙයින් සතුටු වීම තෘප්තිය යැයි කිසිවකු හෝ කියතත්, සත්‍ය වශයෙන් ම එය තෘප්තිය නොවේ. ඔබට තෘප්තියක් ලැබෙන්නේ දිනෙන් දින ඔබේ ඇති සැටිය තේරුම් ගැනීමෙන් යැයි සිතේ.

ඒ ඔබේ ස්වභාවය තේරුම් ගැනීම ඔබට අපූරු අවබෝධයක් ලබා දෙනු ඇත. ඔබේ හොඳ සහ ඔබේ නරක වඩාත් ම හොඳින් දන්නේ ඔබ ය. උදාහරණයක් ලෙස ඔබේ සිතේ පවතින චංචල බව හොඳින් ම දන්නේ ඔබ ය. එය තේරුම් ගැනීම අවබෝධයේ මාවතයි. චංචල බව නැති කර ගැනීමට උත්සාහ කිරීම චංචල බවේම කොටසක් පමණි. මේ ඇති සැටිය අවබෝධ කර ගත් ඇසිල්ලේ ඔබ දැනීමේ මාවතට ප්‍රවිෂ්ට වෙයි. එය අත්දැකීමෙන් ම විඳීමට මම ඔබට ඇරියුම් කරමි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.