ඩිජිටල් විප්ලවයෙන් නිර්මාණශීලී විප්ලවයකට... | සත්මඬල

ඩිජිටල් විප්ලවයෙන් නිර්මාණශීලී විප්ලවයකට...

ඩිජිටල් යුගයේදී මිනිස් නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරන ආර්ථිකයක් දැකීම අපේ ප්‍රාර්ථනාව නම් ඩිජිටල් පරිවර්තනයක් සමඟ ම සමාජ - සංස්කෘතික පරිවර්තනයක් ද විය යුතු වේ. මේ සඳහා නව සමාජ පරිවර්තන ක්‍රියාදාම යොදා ගත යුතුය. පසුගිය ශතවර්ෂයේදී අප අත්පත් කර ගත් සමාජ පරිවර්තන අදට නොගැළපේ.

අපේ එදිනෙදා ජීවිතයේ ගලා යෑමට අදාළ නව අදහස් බිහි වන්නේ අප සතු නිර්මාණශිලීත්වයෙනි. සමාජ ප්‍රගමනයට උර දෙන තැනුම් ඒකක වනුයේ එවැනි නව අදහස් ය. අතීතයෙන් රැගෙන එන නා නා විධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වඩාත් ඵලදායි අවස්ථා අනාගතයට උදාකර දෙන්නේ, නිර්මාණශීලී අදහස් මත වර්තමානය අද පවතින තැනින් ඉහළට ඔසවා තබමිනි.

නවෝත්පාදන මත පිහිටුවමින් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යෑම සඳහා ජනතාවගේ නිර්මාණශීලීත්වය ඉතාමත් වටී. මුළු ලෝකය ම එක ම ගම්මානයක් බවට පත්ව ඇති මෙවන් යුගයක නොදියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ නවෝත්පාදන හැකියාව මත ය. එනිසා රටක ජනතාවගේ නිර්මාණශීලිත්වයට අද හිමි වන්නේ අන් කවරදාවත් නොතිබූ තරම් වැදගත් තැනකි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය, සරල ව කිවහොත් පරිගණක සහ අන්තර්ජාල භාවිතයට ඇති හැකියාව මත සමාජයේ බෙදීමක් දක්නට ලැබෙන අතර එය ‘ඩිජිටල් බෙදීම’ ලෙස හැඳින්වේ. නිර්මාණශීලී හැකියාව අසමතුලිත ය. සමාජයේ සමහර කොටස් සාපේක්ෂ ව උසස් පරිකල්පන හැකියාවකින් හෙබි බැවින් ඔවුන් වැඩි නවෝත්පාදන හැකියාවක් පෙන්වයි. සමහර ජාතීන් ‍අනෙක් ජාතීන්ට වඩා ශීඝ්‍ර ස්වයං - සංවර්ධනයක් පෙන්නුම් කරන්නේ එබැවිනි.

මිනිසා ස්වභාවයෙන් ම නිර්මාණශීලී ය. මිනිසා උපදින්නේ තම හැඟීම් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමේ සහජ හැකියාව උරුම කරගෙන ය. භාෂාව, චිත්‍ර, සංගීතය මෙන්ම නැටුම් එවන් වූ ප්‍රසිද්ධ ආකාර වේ. මිනිසුන් අතර පසුව සිදුවන සන්නිවේදනයට මඟ පෑදෙන්නේ ද මේ ආකාර මඟිනි. මිනිසා හැරුණු කොට අනෙක් ජීවීන් නිර්මාණශීලී නොවන බවක් හෝ සන්නිවේදනය නොකරන බවක් එයින් අදහස් නොකෙරේ; වෙනස නම් අනෙක් ජීවීන් මෙන් නොව උපතින් ලබන නිර්මාණශිලීත්වය වර්ධනය කිරීමට මිනිසාට ඇති හැකියාවයි. මේ නිසාම මිනිස් සංහතියේ දියුණුව ලෙස සැලකෙන්නේ ඔවුන්ගෙන් පිළිබිඹු වෙන නිර්මාණශීලීත්වයේ දියුණුවයි.

“7 Habits of Highly effective people” ග්‍රන්ථය ලියූ ස්ටීවන් කෝවේ ට අනුව මිනිසා සහජයෙන් ලද උරුම සතරක් වේ. ඒවා නම් ස්වයං අධ්‍යයනය, හෘදය සාක්ෂිය, නිදහස් චින්තනය සහ නිර්මාණශීලී පරිකල්පනයයි. මිනිසා අවසානයේදී බලාපොරොත්තු වන නිදහස එනම් කැමැති දේ තෝරා ගැනීමට, කැමැති අයුරින් ප්‍රතිචාර දැක්වීමට මෙන්ම වෙනසක් ඇති කිරීමට අවැසි බලය ලැබෙන්නේ මේවායෙන් බව ඔහු වැඩි දුරටත් පවසයි. විමසිලිමත් ව බැලූ විට මේ ගුණාංග සතර සියලු ම මිනිසුන් සතුව ඇති බව පැහැදිලි ය. ඒවා පෝෂණය කරමින් වැඩි දියුණු කිරීමට එක් එක් පුද්ගලයා දක්වන හැකියාව මත එකී පුද්ගලයාගේ ජීවන ඉරණම තීරණය කරනු ලැබේ. ඔවුන් අයිති සමාජයේ ඉරණම ද තීරණය කරනු ලබන්නේ එමඟිනි.

මේ නිසා ම, යම් රටක සිදු වන ඕනෑ ම ආකාරයක පරිවර්තනයක්, මූලික වශයෙන් ම පුද්ගල නිර්මාණශීලීත්වය ආරක්ෂා කිරීමත්, වැඩි දියුණු කිරීමත් ඉලක්ක ‍කර සිදු කළ යුතු වේ.

මුළු ලොව ම ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරන අවස්ථාවක ප්‍රධාන වශයෙන් පිළිතුරු ලබා ගත යුතු පැනයක් වනුයේ “මෙවන් ඩිජිටල් පරිවර්තනයක ඉලක්කය ඩිජිටල් බෙදීම ආමන්ත්‍රණය කිරීම පමණක් ද?” යන වගයි. ඩිජිටල් බෙදීම, පෑහීම ආසන්නත ම වැදගත් කමකින් යුක්ත වූවත් ඒත් සමඟ ම නිර්මාණශීලීත්වයේ බෙදීම ගැන සැලකිල්ලක් දැක්වීමත් වැදගත් බව සිහියේ තබා ගත යුතුය. ඩිජිටල් විප්ලවයකින් නිර්මාණශීලීත්වයේ බෙදීමට අවස්ථාවක් ලැබෙන බව සිතීම අසාධාරණ නොවන්නේ මිනිසාගේ නිර්මාණකරණයට අතහිත දීමේ හැකියාවක් ඩිජිටල්කරණයට තිබෙන නිසා ය.

 කෙසේ වුව ද, මීළඟ පරපුර වඩාත් පරිකල්පන ශක්තියකින් හෙබි, නවෝත්පාදනය හඹා යන නිර්මාණශීලීන් වීම එමඟින් තහවුරු කළ යුතු වේ.

ක්‍රිස් ස්කිනර් ඔහුගේ ‘Digital Human’ නොහොත් ‘ඩිජිටල් මානවයා’ ග්‍රන්ථයේ මනුෂ්‍යත්වයේ අවධි හතරක් ගැන සඳහන් කරයි. අප අද ජීවත් වනුයේ ඉන් හතරවැනි අවධියේ ය. මේ යුගයේදී ව්‍යාපාර විධි, බැංකුකරණය, සමාජය සහ රාජ්‍ය පාලනය ගැන විශ්ලේෂණයක් සිදු කෙරේ.

එකී අවධි සතරෙන් පළමු වැන්න මිනිසා බිහිවීම කරණ කොට පවතී. දෙවැන්න මිනිසාගේ ශිෂ්ටත්වය පිළිබඳව වූ එකකි. තෙවැන්නේදී මිනිසා වාණිජකරණය වීම ගැන කතා කෙරේ. හතර වැනි අවධිය ඩිජිටල් මානවයාගේ බිහි වීමයි.

මේ පොතේ සඳහන් වන ආකාරයට මානව සංහතියේ සිවුවැනි අවධියේදී තාක්ෂණයෙන් මිදීමට අපේ ජීවිතවලට ඉඩක් නොලැබෙන අතර අප ස්වේච්ඡාවෙන් ම අපේ හැසිරීම් වෙනස් කරමින් ඩිජිටල් මිනිසුන් වනු ඇත. අපේ චර්යාවන්ගේ වෙනස කොතරම් ද යත් එය විප්ලවකාරී වෙනසක් කරා රැගෙන යනු ඇත. එවන් විප්ලවයකින් අපේ කතාබහ; අන්‍යෝන්‍ය සම්බන්ධතා; වෙළෙඳාම්; මිතුරු දම් මෙන් ම ප්‍රේමාදරයන් ඇති වන සැටි ද වෙනස් වනු නියත ය.

එවන් තිගැස්සෙන සුළු පසුබිමක් යටතේ වුව ද ඕනෑ දෙයක් වීමට ඉඩ දෙමින් අප අන්ධ ව සිටින්නේ තාක්ෂණ දියුණුවෙන් ඩිජිටල්කරණය වීම යන්නේ සැබෑ අරුත අමතක කර දමමිනි. “ඩිජිටල් වීම යනු වඩාත් මානුෂික වීම” බව අප විසින් පැහැදිලි ව අවධාරණය කරගත යුතු වේ. ඩිජිටල් තාක්ෂණයේ අරුත මිනිසුන්, නොමිනිසුන් කිරීම නොවේ. එමඟින් වඩාත් මානුෂික වීම උදෙසා කාලය වඩාත් අර්ථවත් ලෙස යොදා ගැනීමට ‍අවස්ථාවක් උදාකරලීමට ඩිජිටල් ලෝකයට හැකි වෙතැයි යනු කාගේත් අපේක්ෂාවයි.

යුවාල් නෝවා හරාරි කතුවරයා ඔහුගේ “Home Dues” ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදය වෙන්කර තිබෙනුයේ ‘දත්ත ආගම (Data Religion) සංකල්පය උදෙසායි. ඒ පරිච්ඡේදයේ අවසානයේදී ඔහු විසින් තාක්ෂණයෙන් දියුණු අනාගතයකදී මිනිසාගෙන් විද්‍යමාන වන ක්‍රියාවලි තුනක් ගැන සඳහන් කරයි.

1.ජීවීන් ගණිතමය ඇල්ගොරිතමයන් (ගණිතමය රීතියක්) සහ ජීවය දත්ත සැකසුම් ක්‍රියාවලියක් බව.

2. ඥානාන්විත බව විඥානයෙන් බෙදී යන බව

3. අවිඥානික එහෙත් ඉතා උසස් ඥානාන්විත ඇල්ගොරිතමවලය අපට වඩා හොඳින් අප ගැන හඳුනා ගැනීමට හැකි බව.

ඒ අනුව මේ තාක්ෂණික යුගයේදී ඉහත ක්‍රියාවලි තුනට අප විසින් පිළිතුරු සොයා ගත යුතු පැන තුනක් ශේෂ කරන බව කතුවරයාගේ මතයයි.

1. ජීවීන් යනු නිකම් ම නිකම් ඇල්ගොරිතමයන් ද? එසේ ම ජීවය යනු නිකම් ම නිකම් දත්ත සැකසුම් ක්‍රියාවලියක් ද?

2. වඩාත් උසස් වනුයේ ඥානය ද? විඥානය ද?

3. අවිඥානික එහෙත් උසස් ඥානාන්විත

ඇල්ගොරිතමයන් අප ගැන අපට වඩා හොඳින් දන්නා විට සමාජයට, එදිනෙදා ජීවිතයට එය කෙසේ බලපානු ඇති ද?

සියල්ල දැන් සිදු වන සේ සිදුවන්නේ නම් අනාගතයේ යම් දිනයකදී අපට යුවාල් නෝවා සමඟ එකඟ වීමට සිදුවනු ඇත. එයට හේතුව තාක්ෂණය පමණක් වේගයෙන් වෙනස් වීමයි. තාක්ෂණය ලෙස නොහඳුනන අනෙක් සියල්ල වෙනස් වනුයේ මන්දගාමීව ය. එනිසා තාක්ෂණ පරිවර්තනය හා සමාජ පරිවර්තනය එකිනෙකෙන් වෙන් ව සිදු වේ. අද අප මුහුණ දෙන උභතෝකෝටිකය මෙයයි. තාක්ෂණයට පරිබාහිර වූ අංශය ගැන අප කරදර නොවීම අවාසනාවකි.

ඩිජිටල් යුගයේදී මිනිස් නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරන ආර්ථිකයක් දැකීම අපේ ප්‍රාර්ථනාව නම් ඩිජිටල් පරිවර්තනයක් සමඟ ම සමාජ - සංස්කෘතික පරිවර්තනයක් ද විය යුතු වේ. මේ සඳහා නව සමාජ පරිවර්තන ක්‍රියාදාම යොදා ගත යුතුය. පසුගිය ශතවර්ෂයේදී අප අත්පත් කර ගත් සමාජ පරිවර්තන අදට නොගැළපේ.

මේ ක්ෂේත්‍ර දෙකේ පවතින විෂමතාව නිසා මේ ශත වර්ෂයේ පළමු දශක දෙක තුන සමාජ - ආර්ථික මෙන්ම සමාජ - දේශපාලනික ව්‍යාකුලත්වයෙන් යුතුව ගෙවී යනු ඇත. ශීඝ්‍ර ඩිජිටල්කරණයේ දියුණුවෙන් සමාජයට ඇතිවෙන බලපෑම වෙනත් විප්ලව තුළින් ඇති වූ සමාජ පරිවර්තනයට වඩා අභියෝගාත්මක මෙන්ම බියසුලු විය හැකිය.

නිර්මාණශීලීත්වයට උද්‍යෝගයක් දක්වන සෑම මිනිසෙක් ම ප්‍රාර්ථනා කරනුයේ ඩිජිටල් විප්ලවයෙන් නිර්මාණශීලී විප්ලවයකට මඟ පෑදේවායි කියා ය. එසේ නොවුණහොත් කුමක් සිදුවේදැයි සිතා ගත හැකි නොවේ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.