භාරතීය බෞද්ධ කැටයම් කලාව | සත්මඬල

භාරතීය බෞද්ධ කැටයම් කලාව

ආදිවාසී මානවයාගේ ගල් ගුහා බිත්ති පෘෂ්ඨය බොහෝ විට අලංකරණය වූයේ සිතුවම්කරණයෙන් සහ උත්කිරණ නිර්මාණයන්ගෙනි.

ජාතියක් වශයෙන් කිසියම් ජන කොට්ඨාසයක් ගැන සලකා බලනවිට ඔවුන්ගේ සිතුම් - පැතුම් හා ක්‍රියාවන්ගේ සියුම් වූ ලක්ෂණ ඔවුන්ගේ ම සංස්කෘතිකාංගයන්ගෙන් පැහැදිලිව හඳුනා ගත හැකි වේ. කලාව මිනිස් සිරුරට සම්බන්ධ වී පවත්නා බවත්, අපේ ප්‍රජා උරුමයෙහි කොටසක් බවත් අර්වින් ඕ. ක්‍රිස්ටෙන්සන්ගේ “වෙස්ටර්න් ආර්ට්” නමැති කෘතියෙහි සඳහන් කරයි. ඔහුගේ විග්‍රහයට අනුව සියුම් කලාවන් කිහිපයක් වේ. එනම් චිත්‍ර කලාව, මූර්ති කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, නාට්‍ය කලාව, සංගීතය, නර්තනය ආදි වශයෙනි. මේ සෑම කලා මාධ්‍යයක ම මිනිසාගේ සිතුවිලි හා ක්‍රියා ඇතුළත් වේ. චිත්‍ර කලාව වූ කල්හි කොටස් දෙකකින් යුක්ත වේ. සිතුවම්කරණය සහ රූප නෙළීම යි. මූර්ති කලාව මින් දෙවැනි කොටසට අයත් වේ. පැරණි දෘශ්‍ය කලාව අධ්‍යයනය කිරීමේදී කැටයම්, මූර්ති සිතුවම් කලාවට විශේෂ ස්ථානයක් හිමි වේ. එයින් ද සිතුවම් හා කැටයම් කලාව ප්‍රාග් ඓතිහාසිකත්වයට දිවෙන්නකි. ආදිවාසී මානවයාගේ ගල් ගුහා බිත්ති පෘෂ්ඨය බොහෝ විට අලංකරණය වූයේ සිතුවම්කරණයෙන් සහ උත්කිරණ නිර්මාණයන්ගෙන් ය. උත්කිරණ යනු කැටයම් කලාවේ මුල් අවධියයි. එනම් කිසියම් ආයුධයක් මඟින් (ගල් පතුරු) බිත්ති පෘෂ්ඨය හැරීම මඟින් නිර්මාණයක් සිදු කිරීම මින් අදහස් කෙරේ. එහි වර්ධිත අවස්ථාව ශිෂ්ටාචාර යුගයේ කැටයම් කලාව ලෙස හැඳින්වේ. එනම් අල්ප හෝ අර්ධ උන්ත ආකාරයෙන් යම් තලයක (පෘෂ්ඨයක) මතු කිරීම, නෙළීම, ගොඩනැඟීම අදහස් කෙරේ.

බෞද්ධ මෙන්ම වෙනත් සංස්කෘතික සන්දර්භවල විවිධාකාර කැටයම් නිර්මාණ දැකිය හැකිය. එකී නිර්මාණ සෞන්දර්යාත්මක රසඥතාව ප්‍රේක්ෂකයාට ලබාදීමට මෙන්ම සන්නිවේදනය සඳහා ද ඉතිහාසයේ භාවිත විය. මේ ලිපිය මඟින් බෞද්ධ කැටයම් කලාවේ මූලික අපේක්ෂාව සහ එහි කේන්ද්‍රගත වී ඇති සංකිර්ණ අර්ථ නිෂ්පත්තිය පිළිබඳව විවරණයක් සිදු කිරීමයි.

අපරදිග හා පෙරදිග මූර්ති කලා නිර්මාණවල වෙනස්කම් විද්‍යමාන වේ. බාහිර ලෝකායතික අදහස් පදනම් වූ නිර්මාණ අපරදිග කලාකරුවන්ගෙන් වැඩි වශයෙන් බිහි වූහ.

 පෙරදිග මූර්ති කලාව ආගම් දර්ශනය, ලේ නෑකම් හා ස්වභාව ධර්මයේ විවිධ ලක්ෂණවලින් පෝෂණය විය.

විශේෂයෙන් භාරතීය මූර්ති හා කැටයම් කලාව අධ්‍යයනයේදී ඒ සඳහා බලපාන ලද ආගමික පසුබිම දකුණු හා උතුරු ඉන්දියානු ආගමික ස්මාරකයන්ගෙන් ප්‍රත්‍යක්ෂ වේ. භාරතීය මූර්ති කලාව අධ්‍යාත්මයට නැඹුරු වූ කලාකාමී සෞන්දර්යාත්මක අගය පිළිබඳව පළ කළ අදහස් සංකේතකරණ කළ කලා මාධ්‍යයක් විය. අශෝක අධිරාජ්‍යාගේ සමයෙහි ව්‍යප්ත වූ මූර්ති කලාව පෝෂණය වූයේ බෞද්ධ ධර්මයට අදාළ සිද්ධි දාමයන්ගෙන් ය. භාරුත් හා සාංචි නම් වූ පුරාවිද්‍යාත්මක ශේෂයන්ගෙන් එළිපෙහෙළි වන එක ම සත්‍ය නම් බුදු දහමේ ලක්ෂණයි. එසේ ම අමරාවතී හා ගාන්ධාර කලා ශිල්ප ක්‍රමවල වුව ද අනාවරණය වන්නේ බෞද්ධ කලා ලක්ෂණයි. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියේ කතා වැඩි වශයෙන් කැටයම් කර ඇත්තේ භාරුත් ශිල්පීන් විසිනි. මහාවාර්ය බරුවා සහ සිංහ යන විද්වතුන් විසින් ලියන ලඳ ‘භාරුත් සෙල් ලිපි’ නම් වූ ප්‍රකරණයෙහි එකී ජාතක කතාවල නාමාවලියක් ඇතුළත් වේ. එනම් අන්දභුත, ඉසිමිගිය, කින්නර, භෝජාජානීය, කුක්කුට ජාතකය ආදි වශයෙනි. මීට අමතරව ජාතක කතා වැඩි වශයෙන් කැටයම් කර ඇත්තේ සාංචියෙහි ය. මහජනයා අතර වඩාත් ජනප්‍රිය වූ වෙස්සන්තර, ඡද්දන්ත, මහාකපි වැනි ජාතක කතා ඉතා සියුම්ව හා සවිස්තරව කැටයම් කර තිබේ. එහෙත් ජාතක කතා විශාලතම සංඛ්‍යාවක් ඇත්තේ භාරුත්වල වේ.

මේ අන්දමට චිත්‍ර කලාවෙන් ඉවත් වී අඩු වැඩි වශයෙන් සවිස්තරව ජාතක කතා කැටයම් කරන ලද්දේ කවර අරමුණකින් දැයි ප්‍රථමයෙන් සොයා බැලිය යුතු වේ. එසේ ම ගලින් රූප නෙළීමේදී ජාතක කථාංගම යොදා ගත්තේ ඇයි දැයි විමසීම වැදගත් වේ. කැටයම් ශිල්පියාගේ අභිප්‍රාය දැන ගැනීමට ජන කතා ආභාසය ලැබූ වෙනත් සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම ද වැදගත් වේ.

උක්ත කරුණු සඳහා පෙර අපරදිග විද්වතුන් විවිධ මතවාද පළකර තිබේ. බුදුන්වහන්සේ ජීවමාන ස්වරූපයෙන් තවම වැඩ වෙසේ යැයි ජනතාව තුළ හැඟීමක් ඇති කිරීම කැටයම්කරුවන්ගේ අරමුණ වන්නට ඇති බවට මතයක් පවතී. බුදු දහම පොතපතේ ලිවීමේන් හෝ කට වචනයෙන් කීමෙන් හෝ සිදු වන සේවයට වඩා කැටයම් ජනයා වැඩි වශයෙන් එක්රැස් වන මෙවැනි ස්ථානවල ප්‍රදර්ශනය කිරීම මඟින් ධර්මාවබෝධ පහසු කිරීමක් ලෙස කැටයම් ශිල්පීන් සිතන්න ඇති බව තවත් විචාරක මතයක් වේ. ස්තූප වන්දනාවේ යෙදුණු සැදැහැවතුන්ට පහසුවෙන් බලා දැන ගැනීමට හැකි වන සේ ගල්වැටක හෝ තොරණක හෝ ජනකතා කැටයම් කරන්නට ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයක් වේ. ආගමික උපදෙස් ලබාදීම සඳහා අනෙකුත් කලාකරුවන් මෙන්ම ජනකතා කැටයම්කරු විසින් ද ජාතක කථා උපයෝගී කර ගනු ලැබුවේ යැයි සමහරු පෙන්වා දෙති.

වින්සන්ට් ස්මිත් මහතා ලියූ “භාරතයේ හා ලංකාවේ සියුම් කලා ඉතිහාසය” ග්‍රන්ථයේ මෙසේ දැක්වේ. “සාංචි හා භාරුත් යනාදි ස්ථානවල දක්නට ලැබෙන මෙවැනි දර්ශනයෙන් පෙනී යන්නේ, කිසියම් කතාවක් ඥනාභිවෘද්ධිය සඳහා පැවැසීම පමණක් කලාකරුවාගේ අභිප්‍රාය නොවූ බවයි. ශාස්තෘෘන් වහන්සේ ජීවමානව වැඩ වසනා සේක යැයි නරඹන්නාට ඒත්තු යන ආකාරයට ඒ කතාව කීම ද ඔවුන්ට අවශ්‍ය විය.”

ජාතක කතා වූ කල්හි ‘ගලෙ හි කෙටූ අනුශාසනා’ ලෙස ද ඇතැම් විචාරකයන් හඳුන්වනු ලබයි. ඊ.බී හැවල් මහතා ලියූ “භාරතිය මූර්ති කලා සිත්තම්” යන ග්‍රන්ථයේ මෙසේ දක්වයි. “ජාතියක ඉතිහාසය සහ පොදු විශ්වාස වටා එල්බ ගත් ජන සම්මත කතා, කවීන්, දාර්ශනිකයන් විසින් උපයෝගී කරගනු ලැබුවේ සදුපදේශ හා ආගමික ඉගැන්වීම් සඳහා වූ අඩිතාලමක් වශයෙනි. කාව්‍ය, උපමා කතා සහ දෘෂ්ටාන්ත මාර්ගයෙන් බුදුන් දෙසූ උත්කෘෂ්ට ජීවන න්‍යාය ඔවුහු පිළිබිඹු කළහ.”

බුදුන් පිරිණිවන් පෑමෙන් පසු ජනතාවගේ ශාස්තෘෘවරයා ලෙස සලකන ලද්දේ බුදුන් දෙසූ ධර්මය යි. භාරුත් ස්තූපයේ කැටයම් යොදනු ලැබුවේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ය. ඒ බැවින් බුද්ධ ධර්මයේ එකම උපදේශකයා හැටියට සැලකූ බව පෙනේ. සාංචි හි ගල් කැටයම්වල ඇති ඡද්දන්ත හා වෙස්සන්තර වැනි ජාතක කතාවන්ගෙන් භාවෝචිත අවස්ථා මතුවන පරිදි කැටයම් තහවුරු වනු ඇත. නිදසුන් වශයෙන් වෙස්සන්තර ජාතකය නිර්මිත සාංචියේ උතුරු තොරණේ පහත අවස්ථා පැහැදිලිව දැකිය හැකි වේ.

වෙස්සන්තර රජු ඇතා දන් දීම, එතුමා දෙමාපියන්ගෙන් සමු ගැනීම, දේවිය ද සමඟ අසුන් බැදි රියෙන් වනයට යෑම,

දරුවන් දන්දීම, බමුණා දරුවන් රැගෙන පිටවී යෑම ආදිය වේ.

යමක් කියැවීමේන් ලබා ගන්නා හැඟීම්වලට වඩා විශාල වූ හැඟීම් සමුදායක් එය ඇසීමෙන් හෝ බැලීමෙන් හෝ ඇතිකර ගැනීමට සමත් වේ.

ස්මරණධාරණ ක්‍රමය, අධ්‍යාපනයෙහි අනිවාර්යය අංගයක් වූ ඒ කාලයෙහි මේ පිළිවෙළ මහෝපකාරි විය. ඒ බැවින් සිත් ඇදී ගියේ ය.

 සිත්තරා වූ කලී ප්‍රතිමාද්‍යමාන රසය තීව්‍ර කිරීම සඳහා බුදුරුව කෙරෙහි භක්තහාරාවනත සැදෑහැතියන්ගේ සිත් වඩ වඩා යොමු කරවීම සඳහා ගෞතමයන් වහන්සේගේ උත්තර මානුෂීය ගති ස්වාභාවය සහ බෞද්ධ කතා පුවත් මඟින් ගොඩනැඟිය හැකි දැහැමි සමාජ පැවැත්ම කැටයම් පුවරු මඟින් සමාජයට පහන් සංවේග සන්නිවේදනය කරනු ලබයි. ඒ තුළින් දැහැම් සමාජයකට අවශ්‍ය මඟ පෙන්වීමේ ධර්ම ඥානය සාංචි, භාරුත්, අමරාවති, ගාන්ධාරහි බෞද්ධ කැටයම් කලාකරුවා ගල් පුවරු මත අලංකාරව නිර්මාණය කර හුදී ජනයාට පුදකරදී තිබේ.

එසේ ම ඉතා නිරවුල් ව ජාතක කතා හා අනෙකුත් බෞද්ධ ප්‍රවෘත්ති හුදී ජනයා හමුවේ තැබීමේදී නිර්මාණකරුවාගේ සුවිශේෂී ප්‍රයෝග නැතහොත් ශිල්පීය විශේෂතා ගණනාවක් භාවිත කර ඇති බව පැහැදිලිව දැකිය හැකිය. එනම් කතාවක් ඉදිරිපත් කිරීමේ රීතිය එනම් ආඛ්‍යාන විලාසය ප්‍රේක්ෂකයාට නිරවුල්ව කතාව ඉදිරිපත් කිරීමට වමේ සිට දකුණට ක්‍රමානුකූලව කතාව විකාශනය කිරීම, නරඹන්නා මුලාවට පත් නොකිරීමට කැටයම් තුළ ප්‍රධාන චරිතය පුනරුත්තියක් ලෙස භාවිත කිරීම දැකිය හැකිය. එමෙන්ම බෞද්ධ සංස්කෘතියේ පිළිගත් සංකේත පද්ධතියක් ඇතුළත් කිරීම, මානව රූප හා අවශේෂ රූපවලට ප්‍රමුඛත්වයක් ලබාදීම, ජාතක කතාවේ හෝ බුද්ධ චරිතයේ සුවිශේෂී සිද්ධි මාලාව පමණක් කැටයම් සඳහා උපයෝගී කර ගැනීම යනාදි උපක්‍රම ගණනාවක් ශිල්පියා යොදා ගැනීම තුළින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට භාරතීය කැටයම් ශිල්පියා සමත් වී ඇත. එබැවින් පැරණි භාරතීය බෞද්ධ කැටයම් කලාව, අරමුණු, ථේරවාදී බෞද්ධ පසුබිම, ඉලක්ක ප්‍රේක්ෂකයා, නිර්මාණ ස්ථාපිත කරන ස්ථානය යනාදි කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් නිර්මාණකරණයේ නිරත වී ඇති බව පැහැදිලි වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.