සාහිත්‍යයට කොහෙන්ද ලිංග බේදයක් | සත්මඬල

සාහිත්‍යයට කොහෙන්ද ලිංග බේදයක්

ගැහැනු ද මනුෂ්‍යයන් වන බැවින් ලේඛිකාවන් ද මනුෂ්‍යයෝ ය. ඔවුන් ලියා තබන්නේ ලිංගභේදය නිසා ලියා තැබිය යුතු දේ නොව මනුෂ්‍යයන් වන බැවින් ලියා තැබිය යුතු දේ ය.

ලේඛන කලාවෙහි ස්ත්‍රි පුරුෂ භාවය කවරාකාර බලපෑමක් ඇති කරන්නේ ද යන්න පිළිබඳ බොහෝ කතිකාවත් ඇත ද ලේඛන කලාවට ස්ත්‍රි පුරුෂ භේදයක් තිබෙන්නේ ද හෝ තිබිය යුතු ද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතු යැයි සිතමි.

වසර හාරදහස් තුන්සිය ගණනකට පෙර මෙසපො‍තේමියාවේ ජීවත් වූ එන්හෙදුවානා (Enheduanna) ලෝකයේ පැරණිතම ලේඛකයා හෝ ලේඛිකාව ලෙස සැලකෙයි. ඇය විසින් ලියූ ඉනන්නා දෙවිදුවට ලියන ලද ස්තෝත්‍ර ගීතිකා, ඉනන්නා දෙවිදුවට ලියූ උද්දාමය සහ පූජනීය ස්ථාන වෙනුවෙන් ලියූ ගීතිකා ඇයගේ ලේඛනාවලිය අතර විශේෂ වෙයි. සුමේරියානු සාහිත්‍යයේ ශේක්ස්පියර් වශයෙන් පසුකාලීනව ඇය හඳුන්වනු ලැබ ඇත.

සාහිත්‍ය, කාව්‍ය, ලේඛනය පිළිබඳ ඓතිහාසික තොරතුරු අනුව එබඳු ආරම්භයක් ඇතද, පසුකාලීනව සිදු වූ සමාජ පසුබෑම යැයි හැඳින්විය හැකි කාරණා‍වලට සමගාමීව අධ්‍යාපනය ‍හෝ සාක්ෂරතාව ලැබීමට, සමාජ කාරණා සම්බන්ධයෙන් අවදියෙන් සිටීමට කාන්තාවට අවස්ථා ලැබුණේ නැත. එහෙත් කිසිදු බාධාවකින් තොරවූ වරමක් අධ්‍යාපනයට, කාව්‍ය ශාස්ත්‍රයට, සාක්ෂරතාව ලබා ගැනීමට පුරුෂ පාර්ශ්වයට තිබිණි. කාන්තාවට මුහුණ දීමට සිදු වූ මේ සංස්කෘතික, සමාජ, දේශපාලන කාරණා හේතු කරගෙන ඇයගේ සමාජ පිවිසුම, සම්බන්ධ නොසලකා හැරීම සමාජයේ සංස්කෘතික කාරණාවක් ලෙසින් ස්ථාපිත විය.

පසුව, මේ තත්ත්වය සමාජයෙහි හොඳින් ස්ථාපිතවී, කුමන කාරණාවක් නිසා හෝ ගැහැනිය ලේඛන කලාවට නොපිවිසිය යුතුය යන්න පොදු පිළිගැනීමක් බවට පත් විය. ඇය ලියුවේ නම් එය පිරිමි ලේඛකයා සමඟ සසඳා බලන්නට වටිනාකමක් නොමැති ලේඛනයක් ලෙස සලකා බලන්නට හේතු කාරණා බොහෝ සේ ඉදිරිපත් විය.

ලේඛිකාවක සිය නිවස හෝ ගෙදර දොර කටයුතු පිළිබඳව ලේඛනයේදී අවධානය යොමු කළේ නම්, ඇගේ ලේඛනයෙහි විෂය කාරණය පලකට නැති, නොවැදගත්, වටිනාකමින් තොර ඒවා බව සඳහන් කරන්නට කිසිවකු එකල පසුබට නොවූ බව වාර්තා වෙයි.

පුරුෂයා ශාස්ත්‍රිය ප්‍රබන්ධ ලියද්දී ස්ත්‍රීය කාන්තාවන්ට සරිලන ප්‍රබන්ධ ලියන බව, කාන්තාව ලියන එකී ප්‍රබන්ධ බැහැර කළ හැකි ඒවා බව ද සඳහන් කරන්නට එදා සමාජය පසුබට වූයේ නැත. ඒ නිසාම ප්‍රකාශන ක්ෂේත්‍රයේ මුල්බැස ගත් ව්‍යවසායක පිරිස සාහිත්‍යය හෝ ලේඛනය යනු ස්ත්‍රින්ට පා තැබිය හැකි තැනක් ලෙස නොසැලකූහ. ඒ නිසා ම මුල්කාලීනව ලේඛනයේ යෙදුණු හෝ ලේඛනයේ යෙදෙන්නට කැමැත්තක් තිබූ ස්ත්‍රිය තමා ලියන ප්‍රබන්ධය වේවා, කාව්‍ය වේවා ප්‍රකාශයට පමුණුවා ගැනීම උදෙසා පිරිමි නමක් භාවිත කිරීමට උත්සුක වූහ.

මේ අය අතරින් බ්‍රොන්ටේ සහෝදරියන් විශේෂ ය. විසිහැවිරිදි චාලට් බ්‍රොන්ටේ තමා ලියූ කාව්‍යය සංග්‍රහයක් එංගලන්තයේ සම්මානනීය කවියකුට යැවීය. ඇයට ලැබුණු පිළිතුර පහත පරිදි ය.

“සාහිත්‍යය ගැහැනියකගේ ජීවිතයට අදාළ කාරණයක් නොවේ.”

වාසනාවකට ‘ජේන් අයර්’ ලියන්නට නියමිතව සිටි අනාගත කතුවරිය එය නොසලකා හැරියා ය. එමිලි සහ ඈන් සහෝදරියන් සමඟ ඇය තීරණය කළේ තමන් තිදෙනා පිරිමි නම් ආරූඪ කරගෙන ලිවිය යුතු බවයි. ඒ අනුව,

චාලට් බ්‍රොන්ටේ - කියුරේ බෙල්

ඈන් බ්‍රොන්ටේ - ඇක්ෂන් බෙල්

එමිලි බ්‍රොන්ටේ - එලිප් බෙල්

යනුවෙන් ලිවීමට අදාළ නම් ආරූඪ කරගනු ලැබීය.

විශ්ව සාහිත්‍යයේ ස්ථායි ස්ථානයක් සටහන් කර ගැනීමට හැකි වූ අපූර්ව නිර්මාණ ශක්ති‍යකින් හෙබි මේ කාන්තාවන් තිදෙනාට ඒ ස්ථාන ලබාගත හැකි වූයේ කාන්තා නම් වෙනුවට පුරුෂ නම් ආරූඪ කර ගැනීම නිසා ය. 19 වැනි ශත වර්ෂයේ බ්‍රොන්ටේ සොහොයුරියන් මතු වන්නේ සාහිත්‍ය උත්සාහයක කොටස්කාරියන් ලෙසිනි.

මෙයට පෙර ජේන් ඔස්ටන් සිය කාන්තා නම භාවිතා නොකළ ද, කර්තෘත්වය සඳහන් කළේ ‘A lady’ යන නමිනි. එයින් ඇය කළේ කර්තෘත්වයෙහි ස්ත්‍රි බව කියා පෑම ය. ‘Sense and sensibility’ නවකතාවේ කවරයේ ඇගේ නම සඳහන් කර ඇත. වෙනස් ආකාරයෙන් සලකනු ලැබීමට රිසි නොවූ බ්‍රොන්ටේ සහෝදරියන්, ජේන් ඔස්ටන් මතු නොව, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ නිවන්හැට් කොලිජියේ හා ගර්ටන් කොලීජිය පවත්වන ලද දේශනා ඇසුරින් වර්ජිනියා බුල්ක් ලියූ ‘The History of the Dominatrix’ නම් කෘතිය ප්‍රකාශයට පැමිණ වූයේ වෙනත් නමකිනි. ඇය පසුව සඳහන් කර ඇත්තේ ‘ඉතිහාසයේ බොහෝ කාලයක්, නිර්නාමිකව සිටියේ ගැහැනියයි’ යනුවෙනි.

‘වදරින් හයිට්ස්’ නවකතාව එමිලි බ්‍රොන්ටෙගේ වුවද එය 1847 දී ප්‍රකාශයට පැමිණ වූයේ එලිස් බෙල් නමිනි.

1954 දී ප්‍රකාශයට පැමිණ වූ ‘Story of O’ කෘතියෙහි කතුවරයා වශයෙන් සඳහන් වූයේ පෝලින් රිග් යන නමයි. කතුවරයා ගැහැනියක විය නොහැකි බවත් මේ කෘතිය ලියන්නට හැකි වන්නේ පිරිමියකුට පමණක් වන බවටත් වාද විවාද ඇති විය. 1994 දී එනම් කෘතිය ප්‍රකාශයට පමුණුවා දශක හතරකට පසුව 86 හැවිරිදි විද්වතියක වූ ඩොභිරක් අවුරි අනාවරණය කළේ ‘Story of O’ කතුවරිය තමා බව ය. කතාව එතැනින් නවතින්නේ නැත. ඩොමිනික් අවුරි යන නම ද ආරෝපණය කරගත් නමක් විය. කෘතියෙහි සැබෑ කතුවරිය අවුරි නමින් පෙනී සිටි ඈන් සිසිලි ඩෙස්ක්ලොස් ය. 1998 අප්‍රියෙල් 26 වැනි දින ඇය ප්‍රංසයේදී මිය ගියාය.

ජෝර්ජ් එලියට් ලියූ ‘The Mill on the floss’ කෘතිය විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් සේ සැලකෙයි. ඇගේ ‘Middlemarch’ කෘතිය ද විශ්ව සම්භාවනාවට පාත්‍ර විය. ජෝර්ජ් එලියට් නමින් ඉංග්‍රීසි භාවිතයේ ජයකෙහෙළි නැංවූයේ ‘Mary Ann Evens’ නම් සැඟවී සිටි කතුවරියයි.

ඒ . එම්. බර්නාඩ් නමින් ‘Little women’ සහ ‘Behind a work’ කෘතියේ ලියුවේ 1832 ඉපිද 1888 මියගිය ලුවියා මේ ඇල්කොට් ය. ඇය තමා ස්ත්‍රියක බව සඟවා ගෙන පිරිමි නමක් ගත්තේ 1800 ගණන්වල මැද භාගයේදී පොත් ප්‍රකාශන ආයතන ලේඛිකාවන් සම්බන්ධයෙන්, ලේඛකයන්ට වඩා වෙනස් ආකාරයකින් සැලකූ නිසා ය. ඇය ලියූ කෙටිකතා, පිරිමියකු නොව ගැහැනියක ලීවේ යැයි ප්‍රකාශකයන් සිතුවේ නම් තමාට ජීවනෝපාය සපයා ගත නොහැකි වනු ඇතැයි සිතූ බව ඇය පසුකලෙක කීවාය. ඇල්කොට්ගේ අන්වර්ථ නාමය පසුපස සිටි තැනැත්තිය කවුද යන්න හෙළි වූයේ වසර සියයකට පමණ පසුව ය. 1970 දී, ලියෝනා රොස්ටෙන්බර්ග් නම් ඉතිහාසඥවරියට, ඇල්කොට් වෙත බොස්ටන් ප්‍රදේශයේ ප්‍රකාශකයන් කිහිප දෙනෙක් ඒවා තිබූ ලිපි හාවර්ඩ් හි ‘Houghton’ හෝටන් පුස්තකාලයේදී කියවන්නට ලැබිණි. 1865 සහ 1866 වර්ෂවල ලියැවුණු මේ ලිපිවලින් ඒ. ඇම්. බර්නාඩ් යනු ලුවිසා මේ ඇල්කොට් බව අනාවරණය විය. ඇය සිය ජීවිත කාලයෙන් වැඩිකොටසක් ගත කළේ කාන්තා අයිතීන් වෙනුවෙනි.

එකල ඒ එම්. බර්නාඩ් ලියූ කෘතිවල තිබූ ඔත්තුකරුවන්, පළිගැනීමේ චේතනාවන් සහ පළිගන්නා විධි, ගංජා භාවිතය ආදි දේ ගැන ලියන්නට හැක්කේ පිරිමින්ට මිස ගැහැනුන්ට නොවන බව ප්‍රකාශකයනගේ පොදු පළිගැනීම විය. මෙහි උත්කර්ෂවත්ම අවස්ථාව වන්නේ ‘Little women’ ලියූ ලේඛකයා බැහැ දකින්නට පාඨකයන් පැමිණි අවස්ථාවලදී ඇය නිවසෙහි මෙහෙකාරිය ලෙසින් පෙනී සිටීම ය.

මෑත කාලයේ පිරිමි නමක් තම ලේඛන වෙනුවෙන් භාවිත කළ ලෝකය විමතියට පත් කරන්නට සමත් වූ ලේඛිකාව ජේ. කේ. රෝලින් ය. ප්‍රකාශකයන් බරපතළ ලෙස සලකනු ලබන්නේ පිරිමියෙක් කර්තෘත්වය දරන වට බවත්, කුසලතාව නිර්මාණශීලි බව පමණක් ම නොසැලකෙන බවත් දැන සිටි රෝලින් සිය පළමු නම වූ ජොඈන් යන්න අතහැර ජේ. කේ. රෝලින් යනුවෙන් ලියන්නට පෙලඹුණාය. ඇයගේ හැරී පොටර් කෘතිය ඓතිහාසික වාර්තා තබමින් මිලියන සිය ගණනාවක් පිටපත් අලෙවි විය. ඇය සිතන්නේ ජොඈන් නම් තම පළමු නම භාවිත කළේ නම් මේ සියල්ල වෙනස් වන්නට ඉඩ තිබුණු බවයි.

මගේ ප්‍රකාශකයා කිය සිටියේ මේ කෘතියෙහි පාඨකයන් වනු ඇත්තේ පිරිමි ළමුන් සහ ගැහැනු ළමයින් විය හැකි බවයි. ඉදින් මම එය කෙතරම් අගේදැයි කීවෙමි. එවිට ප්‍රකාශකයා මගෙන් ඇසුවේ අපට ඔබගේ නමෙහි මුල් අකුරු කර්තෘගේ නම ලෙස භාවිත කළ හැකි ද යන්නයි. මා ඉදින් තේරුම් ගත්තේ පිරිමි ළමුන්, කාන්තාවක ලියූ කෘතියක් කියවන්නට කැමැති නොවනු ඇති බවයි. ඉදින් මම ගැහැනියක එය ලියූ බව සැඟවීමි.

පසුව සිදු වූයේ මේ කෘතිය දසලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් ලොව පුරා අලෙවි වීම ය. ඒ අවස්ථාවේදී කුමන නමකින් ලියන්නට කීව ද තමා එයට අනුගත වනු ඇතැයි ඇය කීවාය. මන්ද ඇයට ඇවැසිව තිබුණේ පොත ප්‍රකාශයට පැමිණවීමය.

“ඔවුන් මට රූපට් යනුවෙන් ලියන්නට කීවේ නම් මා එය ද කරනු ඇත” යැයි ඇය කීවාය.

2013 වසරේදී රෝලින්, තම ‘The Cuckoo’s Calling’ කෘතිය ප්‍රකාශයට පැමිණවීමේදී වෙනත් නමක් කර්තෘ නාමය ලෙස යොදා ගත්තාය. ඒ රොබට් ගැල්බ්‍රේක් යන නමයි. එය අපරාධ සම්බන්ධ ව ලියැවුණු නවකතාවකි. ගැහැනියක ලියූ එබඳු නවකතාවක් පාඨකයා වෙත ආකර්ෂණය නොවනු ඇතැයි යන අදහසක් ප්‍රචලිතව තිබිණි. එහෙත් පසුව සැබෑ කර්තෘත්වය හෙළිදරව් විය. ජේ. කේ. රෝලින් යනුවෙන් හඳුන්වන්නේ ඇයගේ ජොඈන් නමෙහි මුලකුර ඇයගේ මිත්තණිය කැත්ලින්ගේ නමෙහි මුලකුර සම්බන්ධ කිරීමෙනි.

යම් නිර්මාණ කෘතියක් බරපතළ ලෙස සැලකිල්ලට ගනු ලබන්නේ එහි කර්තෘ පිරිමියෙක් වූයේ නම් ය යන සැකය රෝලින්ට පවා තිබිණි. ඇය ලියන්නේ 19 වැනි ශවර්ෂයේදී නොවන බව ද අප මෙහිදී මතකයේ තබාගත යුතුය. සැබෑවට ම කනගාටුවෙන් වුව සඳහන් කළ යුත්තේ සමහර ශානර එන්නේ නිර්මාණකරණයේ යෙදෙන විට වඩා ඵලදායි වන්නේ පිරිමි නමක් කර්තෘත්වය හා බැඳුණු විට බවයි. විශේෂයෙන් ම විද්‍යා ප්‍රබන්ධ හා අපරාධ සම්බන්ධ නවකතා ලියනවිට මෙය අදාළ වේ.

ඉහත සඳහන් කළ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ ලේඛකයෙක් වීම හා ලේඛනයෙන් සාර්ථක වීම පහසු කටයුත්තක් නොවන බව ය. නොබෙල් ත්‍යාගලාභී වී . එස් නායිපෝල් ඔහුට සමාන විය හැකි ලේඛිකාවක් නොමැති බව කීවේය. එමෙන්ම පොතක ඡේදයක් දෙකක් කියැවීමෙන් ලියා ඇත්තේ ගැහැනියක් ද, පිරිමියෙක් ද යන්න තමාට වටහාගත හැකි බව ද කීවේය. හෙන්රි ලෝසන්, නායිපෝල්ට හොඳ මිතුරෙක් විය හැකිව තිබූ කෙනෙකි. මයිල්ස් ෆ්‍රෑන්කලින්ගේ ‘my Brilliant Careev’ කෘතියෙහි අත්පිටපත කියවන්නට ලැබිණි. ඔහු ෆ්‍රෑන්ක්ලින්ට ලිපියක් ලියමින්

“ඔබ මට ලියලා එවනව ද ඔබ කවුරුන් ද යන්න? පිරිමියෙක් ද ගැහැනියක් ද? යැ“යි විචාළේය. 1901 දී මේ කෘතිය ප්‍රකාශයට පමුණු වනවිට ලෝසන් කෘතියට පෙරවදනක් ලියුවේය.

“පොතේ පිටු තුනක් කියවද්දීම මට එය ලියූ ඔබ ස්ත්‍රියක බව තේරුම් ගත හැකි වුණා.”

මා සිතන්නේ කාන්තා ලේඛනය සම්බන්ධයෙන් පූර්ව නිගමන ඇති බව ය. එය පැහැදිලි වන කාරණා අතරෙහි ප්‍රබල ම කාරණාව ලෙස සැලකිය හැක්කේ කාන්තාවන්ගේ නිර්මාණ කෘති දෙස විචාරකයා වපර කරගත් ඇසකින් බැලීම ය. අනෙක් අතට පිරිමි ළමුන් සහ පුරුෂයන් කාන්තාවන්ගේ නිර්මාණ කෘති කියැවීමට කැමැත්තක් නැත. බරපතළ අත්දැකීම් ගැහැනුන්ගෙන් ද බලාපොරොත්තු වන්නේ ඒ නිසා විය යුතුය. එය ලොව පුරා ඇති තත්ත්වයකි.

එහෙත් අද පිරිමින්ගේ පෑන් තුඩට හමු වූ ශානර ගැහැනුන්ට ද විෂය වෙයි. එදාද එසේ විණි. ‘වදරින් හයිට්ස්’ හොඳම උදාහරණයකි. රෝලින්ගේ සාර්ථක බව, ටෝනි මොරිසන්ගේ අපූර්ව නිර්මාණ, ඉසබෙල් අයියන්දේගේ නිර්මාණ ලේඛනයේ ස්ත්‍රි පුරුෂ භේදයක් නොමැති බව හා එය මනුෂ්‍යත්වයේ ම නිමැවුමක් බවත් පෙන්වා දෙයි.

“මම ප්‍රබන්ධවලට ප්‍රියකරමි. මන්ද ප්‍රබන්ධයේදී ඔබ මිනිසුන්ගේ සිතිවිලි කරා පිවිසෙයි. පුංචි මිනිසුන්ගේ පරාජය වූ මිනිසුන්ගේ , දුගී ජනයාගේ ස්ත්‍රීන්ගේ, ළමුන්ගේ සිතිවිලි කරා පිවිසෙයි. කිසි‍දිනෙක ඒවා ඉතිහාස පොත්වල සඳහන් වන්නේ නැත.”

ඉසබෙල් අයියන්දේ පවසන්නේ එබැවිනි.

ඉසබෙල් අයියන්දේ මෙන්ම සියලු ම ප්‍රබන්ධකරුවන් සොයා යන්නේ මේ සත්‍යයි. එවිට ස්ත්‍රි පුරුෂ භේදයක් නැත.

මෙය ඉතිහාසයේදී අහන්නට සැලැස්වූයේ ගැහැනුන්ගේ කෘති පිරිමින්ගේ නම්වලින් පාඨකයා වෙත පිළිගැන්වීමෙනි. චාල්ස් ඩිකන්ස් සමඟ සමතැන් ගත හැකි ජෝර්ජ් එලියට් හෙවත් May Ann Evans ජෝර්ජ් එළියට් වූයේ ඒ හිස්තැන පුරවනු සඳහායි.

ශ්‍රී ලංකාවෙහි ඊවා රණවීර ‘සෙදෝනා’ ලියූ විට එකල එය බොහෝ දෙනෙක් කියැවුයේ නැත. එහෙත් එය විශිෂ්ට නවකතාවකි. ඇය එකල ප්‍රකටව සිටි පිරිමි ලේඛකයන් සමඟ සමතැන් ගත හැකි ලේඛිකාවක් වූවාය.

ලේඛනයේදී සලකා බැලිය යුත්තේ, විචාරයේදී සලකා බැලිය යුත්තේ නිර්මාණකරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය නොව නිර්මාණයේ සාර්ථක භාවය ය.

ඊවා ‍රණවීර, සුනේත්‍රා රාජකරුණානායක, කැත්ලීන් ජයවර්ධන, ශාන්ති දිසනායක, අමීතා හුසේන්, සිබිල් වෙත්තසිංහ, සීතා විජේසූරිය,අනුල ද සිල්වා, සේපාලි මායාදුන්නේ ආදි ලේඛිකාවන් ද, නවපරපුරේ තුෂාරි අබේසේකර, සමන්මලී හේවාමාන්න, සුමුදු නිරාගී සෙනෙවිරත්න, කත්‍යානා අමරසිංහ ප්‍රමුඛ කරගත් ලේඛිකාවන් ද ලිවීමේදී පිරිමි නම් යෙදා නොගත්ත ද ඔවුන්ගේ කෘතිද කෙරෙහි, 19 ශත වර්ෂයෙන් ලේඛිකාවන්ගේ කෘතින් ස්ත්‍රී නමින් පළ කළ විට ඇතිවිය හැකි අර්බුදවලට ම මුහුණ දීමට සිදුවී ඇතිවාට සැක නැත.

ගැහැනු ද මනුෂ්‍යයන් වන බැවින් ලේඛිකාවන් ද මනුෂ්‍යයෝ ය.

ඔවුන් ලියා තබන්නේ ලිංගභේදය නිසා ලියා තැබිය යුතු දේ නොව මනුෂ්‍යයන් වන බැවින් ලියා තැබිය යුතු දේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.