ඩේවිඩ් ලීන්ගේ කෙටි හමුවීම හා දුහුලු මලක් | සත්මඬල

ඩේවිඩ් ලීන්ගේ කෙටි හමුවීම හා දුහුලු මලක්

ඩේවිඩ් ලීන් නමැති මහා සිනමාවේදියාගේ Brief Encounter නමැති රොමාන්තික වෘත්තාන්ත චිත්‍රපටය - ලොව හොඳම චිත්‍රපට ගොන්න අතරට ගැනෙන්නකි. ඇත්තට ම අපූර්ව ය. කළු සුදු චිත්‍රපටයක් වන මෙහි ධාවන කාලය මිනිත්තු 86කි.

චිත්‍රපටයක භාවිත තාක්‍ෂණය සහ අධ්‍යක්‍ෂවරයාගේ ශිල්ප ක්‍රම පිළිබඳව සාමාන්‍ය ප්‍රේක්‍ෂකයෙක් බොහෝවිට විමසීමක් නොකරයි. එහෙත් එවැන්නකුට වුව ද තමා බලන අනෙක් චිත්‍රපටවලට වඩා එහාට ගිය දෙයක් මේ දැන් නැරඹූ චිත්‍රපටයේ තිබේ නම් ඔහු ඒ ගැන සිතන්නට පෙලඹෙයි. ‘Brief Encounter’ එබන්දකි.

ඩේවිඩ් ලීන් මේ චිත්‍රපටය ප්‍රේක්‍ෂාගාරයට ඉදිරිපත් කරන්නේ 1945 වසරේ ය. ඒ දෙවන මහා ලෝක සංග්‍රාමයෙන් මුළු ලොවම සෙලැවී එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි ව කම්පාවට පත් ව සිටි සමයයි. ඒ දවස්වල මිනිසුන්ට චිත්‍රපට බලනවා හැර වෙනත් විනෝදාංශයක් තිබුණේ නැති තරම් ය.

පසු කලෙක ඔහු ‘ලෝරන්ස් ඔෆ් ඇරේබියා’, ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ වැනි දැවැන්ත යුද චිත්‍රපට නිර්මාණය කළේය. එහෙත් ඔහු සිය නිර්මාණ කළ මුල් සමයේ එතරම් ප්‍රබල තේමාවක් නොමැති සරල කතාවක් රැගත් විචාරකයන් අතර එතරම් කතාබහට ලක් නොවුණු රේඩියෝ නාට්‍යයකින් මේ චිත්‍රපටය තැනීමට කතා වින්‍යාසය ලබා ගැනීම සමහරවිට කාලයේ අවශ්‍යතාව වන්නට ඇත. එහෙත් එසේ කීමත් නිවැරදි නොවේ. ඔහු ඉන්පසු 1949 දී එච්.ජී. වෙල්ස්ගේ The Passionate Friends නවකතාව ඇසුරින් එනමින් ම මේ ආකාරයේ ම ආදර අන්දරයක් නිමැවූ නමුත් එය විචාරක අවධානය දිනා ගත්තේ නැත.

‘Brief Encounter’ චිත්‍රපටයට පාදක වූ Still Life නම් ඒකාංගික රේඩියෝ නාට්‍යය මෙන්ම ඒ ඇසුරින් තිර පිටපත ලියූ නොඑල් කොවාඩ් (1899 - 1973) ප්‍රකට නාට්‍ය පිටපත් රචකයකු මෙන්ම ප්‍රාසංගික ශිල්පියකු ද ගායකයකු ද වශයෙන් කීර්තිමත් පුද්ගලයෙකි.

ඒ 1938 වසරයි. ලන්ඩන් නගරෝපාන්තයක වෙසෙන ලෝරා ජෙසන් වයස තිස් ගණන් ගෙවමින් සිටින දෙදරු මවකි. ඇගේ සැමියා වන ෆ්‍රෙඩ් ජෙසන් යහපත් මිනිසෙකි. ඔවුන්ට තවමත් ළමා වියේ පසුවන පුතෙක් සහ දුවක් සිටිති. සාමාන්‍ය සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික ඉංග්‍රීසි පවුලක් සේ ඔවුහු දිවි ගෙවති. ඔවුන්ගේ පවුල් ජීවිතය තරමක් නීරස එකක් බව හැඟී යයි.

එහෙත් එය සාමකාමී යහපත් එකකි. අප මෙහිදී දකින්නේ සිය නිවස තුළදී පවා බැහැර යන්නට මෙන් සැරසී සිටින යුවළකි.

චිත්‍රපටය ඇරඹෙන්නේ බැහැර ගොස් පමාවී නිවසට එන ලෝරා විසිත්ත කාමරයේ ෆ්‍රෙඩ් ඉදිරියේ වෙනත් අසුනක හිඳ ඔහු සමඟ සිතෙන් ඒක භාෂණයක යෙදෙමිනි. ඇය මෙසේ කියයි. (සිතයි):

“ෆ්‍රෙඩ්ල මට ඔයා එක්ක ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේක අහන්න; අහලා වටහා ගන්න ප්‍රඥාවක් තියෙන කරුණාවන්තකමක් තියෙන මේ ලෝකේ එකම එක්කෙනා ඔයායි. ඒත් ඒ ඒක මගේ නොවී වෙන කාගේ හරි එකක් වුණා නම්. ඉතිං ඒ නිසා මේක කියන්න පුළුවන් ලෝකේ එකම එක්කෙනා වුණ ඔයාට මේක කියන්න මට කවදාවත්ම බෑ. අපි දෙන්නාම වයසට ගියාට පස්සේ වුණත් කවද හරි දවසක මං මේක ඔයාට කිව්වොත් එදාට වුණත් ඔයාට රිදේවි. ඔයාට රිදවන්න මට උවමනා නෑ”

ලෝරා කෙටි හමුවකදී දැන හැඳිනගත් ඇලෙක් හාවේ නමැති වෛද්‍යවරයකු හා එසැණ පෙමක බැඳී හුන්නා ය. අද ඔවුන්ගේ අවසන් හමුව සිදු විය. ඇලෙක් නැවත ඇයට කිසිදා හමු නොවනු ඇත. මන්ද යත් ඔහු සිය දරුපවුලත් සමඟ තව නොබෝ දිනෙකින් ජොහැන්නස්බර්ග් වෙත යාත්‍රා කරන හෙයිනි. ඔහුට එහි රෝහලක පත්වීමක් ලැබී තිබේ.

ලෝරා නොකීවත් ෆ්‍රෙඩ් යමක් වටහා ගනී. සිය උරිස වැලඳ හඬන ඇයට ඔහු මෙසේ සැනසිලි වදන් තෙපලයි. අනතුරුව ඔවුන් අතර වන සංවාදය මෙපරිදි ය.

ලෝරා කියන පරිදි ඇත්තටම ෆ්‍රෙඩ් කරුණාවන්ත මනුෂ්‍යයෙකි. ඔහු සිදු වූ ආකාරය නොදනිතත් යමක් සිදු වූ බව දනියි. දැන දැනත් එය හාරා නොඅවුස්සන අතර ඇයට සුපුරුදු සෙනෙහස පායි.

ලෝරා පසුගිය සති හතරක කාලයේ වෙනත් පිරිමියකු හා පෙමින් වෙළී සිටියේ එබඳු පසුබිමක් සිය නිවසේ තිබියදී ය. ෆ්‍රෙඩ් කරුණාවන්ත බව, සෙනෙහෙන් සිටිනා බව මේ සියල්ල ඇත්ත ය. ඒත් ඕ, කෙටි කලකට ඇලෙක් හා බැඳුණා ය.

එය සිදු වූයේ අහම්බෙනි.

සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් වන ලෝරා සෑම බ්‍රහස්පතින්දාවක ම මිල්ෆෝඩ් නම් කුඩා නගරයට යන්නී ය. ඇයට සාමාන්‍ය ගෘහිණියකට මෙන් සුළු සුළු වැඩ තිබේ. තනිවම දුම්රියෙන් පිටත්ව යන ඕ සාප්පුවලට, ෆාමසියට, පුස්තකාලයට ගොස් අවන්හලකින් දිවා ආහාරය ගෙන මැටිනි චිත්‍රපට දර්ශනයක් ද නරඹා සවස්වී නිවෙස බලා පැමිණීම සිරිතකි. ආපසු ගමනේදී දුම්රිය ස්ථානයේ අවන්හලෙන් තේ කෝප්පයක් බීම ද සිරිත් පරිදි කෙරෙන්නකි. අවන්හල අසල වේදිකාවෙන් නික්ම යන ශීඝ්‍රගාමී දුම්රිය යන අයුරු ඒ වේදිකාවේ සිට බලා සිටීම ද ඇයගේ පුරුද්දකි. එදා ඇය එසේ බලා සිටින විට ඒ දුම්රිය නිසා ඇවිස්සුණු දූවිල්ලත් සමඟ ගසාගෙන ආ සියුම් රොඩ්ඩක් ඇගේ ඇසට ඇතුළු විණි. ක්‍ෂණික වේදනාවට පත් ඇය අවන්හලට ආපසු දිව ගොස් වතුර වීදුරුවක් ගෙන එය ඉවත් කිරීමේ අසාර්ථක වෑයමක නිරත වෙයි. ඒ අවස්ථාවේ මේසයක තේ කෝප්පයක් තොල ගාමින් සිටි පුද්ගලයෙක් වහා ඉදිරිපත් ව සිය ලේන්සුවෙන් ඇගේ ඇසේ රොඩ්ඩ ඉවත් කරයි. තමා වෛද්‍යවරයකු බව ඔහු ඒ අවස්ථාවේ ඇයට කියයි. එපමණකි.

ඊළඟ බ්‍රහස්පතින්දා සාමාන්‍ය පරිදි නගරයට පැමිණෙන ඇයට මහමඟදී ඔහු හමුවෙයි. ඔවුහු ආචාර සමාචාර කරමින් දෙපසට යති. එදින දිවා ආහාරය සඳහා ඇය අවන්හලකට පිවිසේ. ආහාර ඇණවුම් කළ මුත් තවම ලැබී නැත. ඔහු ද ආහාර ගැනීම සඳහා ඒ අවන්හලට ම පැමිණේ. දුරදී ම ඇය දකින ඔහු හිඳ ගන්නට වෙනත් මේසයක් නොතිබුණෙන් ඇය සිටි මේසයට ම හිඳ අහර ගනියි. දෙදෙනාම ගන්නේ එක ම ආහාර වර්ග ය. ඔහු තමා ඇයට හඳුන්වා දෙයි. නම ඇලෙක් හාවේ ය. වෛද්‍යවරයෙකි. සෑම සතියකම බ්‍රහස්පතින්දා සිය මිතුරු වෛද්‍යවරයකුගේ අවශ්‍යතාව මත මේ රෝහලේ සායනවලට පැමිණෙයි. වෙනදා දිවා ආහාරය ගන්නේ රෝහලේ කැන්ටිමෙනි. එහෙත් අද වාට්ටුවේ රෝගීන් දෙදෙනකු මියගිය නිසා හිතට ටිකක් හරි මදි බැවින් දිවා ආහාරය පිටතින් ගන්නට තීරණය කර ඇත.

ඇය සවස කුමක් කරන්නේදැ යි දැන ගන්නට ඔහු කැමැතියි. තමා සවස චිත්‍රපටයක් නරඹන්නට යන බව ඇය කියයි. තමාත් එන්නට කැමැති බව ඔහු කියයි. ඇයගේ විරුද්ධත්වයක් නොමැති බැවින් ඔහුත් ඇය සමඟ එයි. දෙදෙනා බැල්කනි අසුන්වල එක ළඟ හිඳ චිත්‍රපටය නරඹති.

ඊළඟ බ්‍රහස්පතින්දා සවස දුම්රියපොළට ඔහු එතැයි ලෝරා නොඉවසිල්ලෙන් බලා ඉන්නා නමුත් ඔහු දිව එන්නේ අවසන් මොහොතේ ය. ඔහුගේ දුම්රිය එන බවට නිවේදනය කෙරේ. ලෝරා ඔහු සමඟ දුම්රිය දක්වා ගොස් ඔහු දුම්රියේ නඟින තෙක් සිටියි. ඉදිරියට ඇදෙන දුම්රියෙන් හිස එළියට දමන ඔහු ‘ඊළඟ බ්‍රහස්පතින්දා’ කියයි. ‘ඔව් ඊළඟ බ්‍රහස්පතින්දා’ ඇය හඬ නඟා කියන්නී ය.

ඊළඟ බ්‍රහස්පතින්දා ඔවුහු නැවත හමුවෙති. එදින උද්‍යානයකට යන ඔවුහු සිත් සේ විනෝද වෙති. එහි තිබෙන විලක ඔරු පදිති.

එදින වෙන් ව යන්නට පෙර ලෝරා හා ඇලෙක් අතර සංවාදය මෙසේ ය.

ඇලෙක්: මං ඔයාට ආදරෙයි. ඒක එහෙම නෙවෙයි කියලා අපට, අපට ම බොරු කරගන්න බෑ. එහෙම එකක් තිබුණා.

ලෝරා: ඔව්. එහෙම එකක් තිබුණා. මට ඔයාටවත් වෙන කාටවත් මවා පෙන්නන්න උවමනාවක් නෑ. ඒත් දැන් මේ මොහොතෙ ඉඳන් එහෙම කරන්න වෙනවා. ඒක වැරදියි.

ඒක හැම දෙයක් ම නරක් කරාවි. ඒකයි අපි මේ හැම දෙයක් ම නවත්තන්න ඕන, දැන් මෙතන ඉඳල, අපි මේ වගේ කතා කරන එක. අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ආදරේ කරන්න නිදහස් නෑ. ඉදිරියට ගොඩක් දේ තියෙනවා. තාම වෙලාව තියෙනවා. අපි අපිව පාලනය කර ගන්නවා නම්, බුද්ධිමත් විධියට, මනුෂ්‍යයන් විධියට හැසිරෙනවා නම්, තව වෙලා තියෙනවා.

ඇලෙක්: නෑ. කොහෙත්ම වෙලාවක් නෑ

එදින ආපසු නිවෙස බලා එන ගමනේදී දුම්රිය කවුළුවෙන් පිටත බලා ගෙන ලෝරා ඔහු සමඟ තමා කළ කී දෑ සිහිපත් කරමින් ප්‍රමෝදයට පත් වෙයි. තමා පාසල් දැරියකගේ මට්ටමට වැටී සිටින්නේ යැයි ඇය අපට කියයි. ඔහු සමඟ යුරෝපය පුරා සිතින් සවාරි ගසමින් සිටින ඇයගේ සිහිනය බිඳ වැටෙන්නේ දුම්රිය ඇයගේ ගම් පියස වන කෙච්වර්ත් හි දුම්රියපොළ වෙත ළඟා වන නිසා ය.

ඊළඟ බ්‍රහස්පතින්දාත් ඔවුහු හමුවෙති. එදා සවස කුලියට ලබා ගන්නා කාරයකින් සැරිසරන ඔවුහු උයනකට පිවිස එහි පාලමක් මතදී සිප ගනිති.

එදා හොඳටම සවස් වෙයි. ඇලෙක් මිතුරාගේ නිවස්නයේ නවතින අතර ලෝරා තනිව දුම්රිය ස්ථානයට යයි. ඇගේ දුම්රිය පැමිණේ. දුම්රියට ගොඩවන ඇය නිමේෂයකින් තීරණය වෙනස් කර දුම්රිය ගමන් අරඹන්නට පෙර ඉන් බැස ඔහුගේ නවාතැනට යයි. පොද වැස්සක් පවතියි. ඔහු සිටින කාමරයට යනවිට ඇය යම් තරමකට තෙමී සිටියි. ඔහු ඇය වැලඳ සිප ඇගේ පිට කබාය ගලවා ගෙලවටා ඇති කර ලේන්සුව ඉවත් කරයි. නැවත ඔවුහු සිප ගනිති. මේ අවස්ථාවේ දොරට පිටතින් තට්ටු කෙරේ. ඒ කාමරය කුලියට ගෙන සිටින ඇලෙක්ගේ මිතුරා ය. ලෝරා පෑල දොරින් පිටමං කරන ඇලෙක් දොර විවෘත කරයි. කාමරයට පිවිසෙන මිතුරා ලේන්සුව අතට ගෙන ඇලෙක්ට පෙන්වයි. කලින් දැනුම්දී තිබූ වේලාවට පෙර පැමිණීම ගැන ඔහු ඇලෙක්ගෙන් සමාව අයදියි. ඔහු සිතන්නේ ඇලෙක් කාමරයට අභිසාරිකාවක කැඳවාගෙන ආවේ යැයි කියායි. ඔවුන් අතර තරමක් උණුසුම් සංවාදයක් ඇති වෙයි.

මේ සිද්ධිය ලෝරා මහත් වික්‍ෂොභයට පත් කරවයි. පිටතට එන ඇය වැස්සේ ම ඉබාගාතේ මෙන් පාරේ යයි. නාගරික උද්‍යානයේ යුද ස්මාරකය ඉදිරිපිට බංකුවක හිඳ සිගරැට්ටුවක් දල්වා ගන්නා ඇය දුම් වළලු පිට කරමින් සිටින විට රාත්‍රි මුර සංචාරයේ යන පොලිස් නිලධාරියෙක් පැමිණ ඇගේ වත ගොත විමසා උදව්වක් අවශ්‍ය දැයි අසයි. අනවශ්‍ය බව ඔහුට දන්වන ඇය එතැනින් නික්ම දුම්රිය ස්ථානයට යයි. වේලාව රෑ නමයහමාර පමණ වන්නට ඇත. කෙච්වර්ත් බලා යන්නට ඊළඟට ඇත්තේ දහයයි දහයට පිටත්වන දුම්රිය පමණි. ඇය දුම්රිය ස්ථාන අවන්හලෙන් බ්‍රැන්ඩි පෙග් එකක් මිලදී ගෙන ලියුම් ලියන කඩදාසියක් සහ කවරයක් ද ලබා ගනියි. ඇය සැරසෙන්නේ ඇලෙක්ට ලියුමක් ලියන්නට විය යුතුය. ඒ සඳහා හිඳ ගන්නවාත් සමඟ ම ඇලෙක් එහි ඇතුළු වෙයි.

“මට ඔයාව මෙහෙම අත්හැර දමා යන්නට බෑ”

ඔහු කියයි.

“ඒත් ඔයා එහෙම කරන්නම ඕන”

ඇය කියයි.

“ඔයා මහා දරුණු විධියට නපුරුයි. එයා ආපහු ආවෙ හදිසියෙ. එයා ඔයාව දන්නෙ නෑ.”

ඒ ඔහු කියන නිදහසට කරුණු ය.

“මං හිතන්නෙ එයා මට හිනාවෙන්න ඇති. මං හිතන්නේ මේ ලෝකේ අනිත් පිරිමි වාගේ ම එයා මං ගැන කතා කරන්න ඇති”

“අපි ඔයා ගැන කතා කළේ නෑ. ඒත් නමක් සඳහන් නැති කෙනෙක් ගැන කතා කළා”

“ඇයි ඔයා එයාට කිව්වේ නැත්තේ අපි බාල සහ පහත් සහ ....”

“නවත්තන්න ඕක. ඔයාව ඒකට ඇදල ගන්න එක. එතන වුණේ ඒ වාගේ දෙයක් නෙවෙයි. ඔයා දන්නවා අපි එකිනෙකාට ආදරෙයි. ඒක තමා සැලකිය යුතු කාරණේ”

“ඒක නෙවෙයි සැලකිය යුතු කාරණේ. ආත්ම ගරුත්වය, සහ විනීත කම. මට දිගටම මේක පවත්වාගෙන යන්න බෑ”

“ඔයාට පුළුවන්ද මට “ගුඩ්බායි” කියල කවදාවත් මාව නොදැක ඉන්න”

මේ දෙබස්වලින් කියැවෙන්නේ ඔවුන් දෙන්නා පත් ව සිටින අතීරණයේ ස්වභාවයයි. ඔවුන් අතර මෛථුනයක් නොතිබුණත් සමහරවිට එදා ඇලෙක්ගේ මිතුරා වේලාසනින් නොආවා නම් එවැන්නක් සිදු වන්නට ද ඉඩ තිබිණි. දෙදෙනාට ම දෙදෙනාගෙන් වියෝ විය නොහැකිය. එහෙත් ඊළඟ බ්‍රහස්පතින්දා එ දවස එළැඹෙයි.

එදා දුම්රිය ස්ථාන අවන්හලේදී ඔවුන්ගේ සමුගැනීමට ලෝරාගේ මිතුරියගෙන් බාධා පැමිණෙයි. ඔහුගේ දුම්රිය පැමිනුණෙන් ඔහු

“මං එහෙනම් යනවා ලෝරා”

කියා ඇගේ උරිස මිරිකා පිටව යයි.

“ඇයට ඔහු යන දුම්රිය තෙක් යන්නට වුවමනාව තිබේ. එහෙත් මිතුරියගෙන් ඊට බාධා ඇතිවේ. මිතුරිය මඳක් ඔබ්බට ගිය මොහොතේ ඇය වේදිකාවට දිව යයි. ඒ වෙලාවේ ඇයට ඔහු යන දුම්රිය නොපෙනෙන නමුත් අර එදා රොඩ්ඩක් ඇගේ ඇසට විසි වීමට හේතු කාරක වූ ශීඝ්‍රගාමී දුම්රිය නළා හඬවමින් ඇය පසු කර යයි. දුම්රියට පනින්නට පවා තමාට එක් නිමේෂයකදී සිතුණි”

ඇය වේගයෙන් ගිය දුම්රියේ පිටුපස විදුලි බුබුළු දෙස බලා සිටියි.

මේ චිත්‍රපටය සිනමාත්මක ගුණයෙන් ඉතා ඉහළ බැවින් බොහෝ ඇගයීම්වලට ලක් විය. එහෙත් මා මෝහනය කළේ එහි තිර පිටපතේ කතා වින්‍යාසය සහ ඊට ගැළපෙන දෙබස් ය.

කතාව කියන්නී ලෝරා ය. ඇය දිගින් දිගට ම තමා වැරදි කාරියක් ය යන හැඟීමෙන් පෙළෙමින් සිටින්නී ය.

 

මට ගෘහයක් තිබේ. මට සැමියෙක් සිටියි. මට දරුවෝ දෙන්නෙක් සිටිති යැයි ඇය වරෙක කියයි. (සිතයි) එහෙත් ඇය කාන්දමක් මෙන් ඔහු වෙත ඇදෙයි.

ඇලෙක් ගැන විස්තර වශයෙන් ප්‍රේක්ෂකයා දන්නේ ඔහු කියන දෑ පමණි. ඔහු විවාහක ය. බිරියගේ නම මැග්ඩලින් ය. ඇය නරක නැත; හොඳත් නැත; ලස්සන නැත; නැත්තේත් නැත; යනාදී වශයෙනි. එහෙත් ප්‍රේක්‍ෂකයා ලෝරාගේ සැමියා වන ෆ්‍රෙඩ් ගැන දනියි.

ලෝරාට ෆ්‍රෙඩ් හැර යන්නට අවශ්‍යතාවක් නැත. තමා රැගෙන යන ලෙස ඇය ඇලෙක්ට කියන්නේ නැත. ඇයට අවශ්‍ය ආදරයයි. ඒ ආදරය කුමක් ද, ඒ කවරාකාර ද, එහි සීමාව කොතැන ද, ඕ ඒ කිසිවක් නොදන්නීය. ඇයට මේ ආදරය අවශ්‍ය ය. එසේම එය නවතා දැමීමට ද අවශ්‍ය ය.

ඇන්ටන් චොකොව්ගේ ‘බල්ලා කැටුව යන කාන්තාව’ නම් කෙටිකතාව ඇසුරින් නිපදවන ලද ‘දාමා ස් සබාශ්කෂි’ නම් සෝවියට් චිත්‍රපටය මීට තරමක් දුරට සමාන ය. එය ඉසොෆ් හෙයිෆ්ට්ස් නම් සෝවියට් සිනමා ඇකඩමියක සිසුවකු විසින් සිය උපාධි නිබන්ධය සඳහා ඉදිරිපත් කරන ලද්දක් වන නමුත් විචාරක ප්‍රශංසාවට පාත්‍ර වූ එකකි. නොඑල් කොආඩ් චෙකොව්ගේ කෙටිකතාවෙන් ආභාසයක් ලැබුවා හෝ නොලැබුවා හෝ වේවා! මේ චිත්‍රපට දෙකේ කිසියම් සාම්‍යයක් තිබේ. එසේ ම අසමානතා ඊට වැඩි ය. ආන්නා සර්ගෙයෙව්නා ලෝරා මෙන් නොව සිය සැමියාට නොකැමැති ය. එහෙත් ඇය හා හාදවන ගුරොව් ඇය ඔහුගෙන් වෙන්කර රැගෙන යන්නට කැමැති නැත. සිය බිරිය නිසා බොහෝ විඩාවට පත් ව හිඳින නමුත් ගුරොව් සිය කුටුම්භය හැරපියා යන්නට නොසිතයි. ගුරොව් සහ ආන්නා ශාරීරික ව ද එක්වෙති. එහෙත් ගුරොව් පසුව ඇය හැර යයි.

විජය ධර්මශ්‍රීගේ ‘දුහුලු මලක්’ චිත්‍රපටය ද සැපවත් පවුලක සුවසේ හිඳින ගමන් ම තරුණයකු හා පෙමින් බැඳෙන හා පසුව ඔහු හා යහන්ගත වන තරුණ බිරියක් ගැන කතාවක් කියන්නකි. 1978 වසරේ එය තිරගත වූ දවස්වල ම එය සහ ‘බ්‍රීෆ් එන්කවුන්ටර්’ අතර සම්බන්ධයක් ගැන කවුදෝ විචාරකයකු අදහස් පළ කර තිබුණා මතක ය. එහෙත් පෙම්වතා වන රොහාන් අවිවාහකයෙකි. දොස්තර ඇලෙක් මෙන් නොව ඔහු ඇගේ නිවෙස පැත්තේ සිය කාරයෙන් සැරිසරන අතර රොහාන්ගේ සැබෑ පෙම්වතිය නිලූපාගේ ගෙවල් ඉදිරිපිට කාරය නවත්වා සිට නැවත පණ ගන්වා ගෙන යයි. නිලූපා සිය විවාහ ජීවිතය ගැන අසන්තෝෂ වන්නේ මන්දැයි නිශ්චිත ව පෙන්වා දෙන්නට හේතුවක් නොමැති නමුත් දඟකාර තරුණියක වන ඇයගේ ඇතැම් වැඩවලට සරසවි ඇදුරකු මෙන්ම පැසුණු මිනිසකු වන සුරේගේ එකඟත්වය නොලැබීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. ඇය ලෝරා මෙන් නොවේ.

“ඔහුගෙන් දෝ ඔබගෙන්දෝ මා හෙට දින සමු ගන්නේ...”

සිතමින් සිටියි.

කෙසේ වෙතත් ලෝරාත්, ආන්නාත්, නිලූපාත් කුණාටුවලට හසු වූ දුහුලු මල් බව නම් ප්‍රේක්ෂකයන්ට පැහැදිලි වෙයි.

මීට තරමක් සමානකම් දක්වන පුවතක් රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘ඝාරෙ බහිරෙ’ නවකතාව ඇසුරින් සත්‍යජිත් රායිගේ අධ්‍යක්‍ෂණය කළ එනමින් යුත් චිත්‍රපටයේ එයි.

නික්ලේශ් නමැති තරුණ ධනවතාගේ බිමාලා නමැති නව යොවුන් බිරිය දේශානුරාගයෙන් මත්කර කාමයෙන් පොලඹවා ගන්නා සුමිත්‍ර නම් වංචනිකයකු ගැන එහි කියැවෙයි. සිය මිතුරා වන සුමිත්‍ර අතින් එබන්දක් සිදු වන්නට ඉඩක් ඇතැයි නික්ලේශ් කිසි විටෙකත් නොසිතයි. එහෙත් එය සිදු වෙයි. නික්ලේශ් සියල්ල වටහා ගනියි. ඒ එක්කම ඔහු කැරලිකරුවන් අතින් මරණයට පත් වේ.

ඩේවිඩ් ලීන්ගේ ලෝරා නමැති චරිතය තරම් ඉහත කී අනෙක් ස්ත්‍රී චරිත සංකීර්ණ මනෝභාව පෙන්නුම් නොකරති. මේ චිත්‍රපට හතරේ එන භාර්යාවන්ගෙන් ආන්නාගේ සැමියා හැර අනෙක් තුන්දෙනා ගැන ම අපි දනිමු. ලෝරාගේ සැමියා වන ෆ්‍රෙඩ් සහ නිලූපාගේ සැමියා වන සුරේ තරමක් ‘වෙනස් සහ බැරෑරුම්’ ඇවතුම්-පැවතුම් ඇත්තවුන් ය. නික්ලේශ් අවංක මෙන්ම අහිංසක මනුෂ්‍යයෙකි. ආන්නාගේ සැමියා අප ඉදිරියේ පෙනී නොසිටින නමුත් ඔහු වැදගත් රාජ්‍ය සේවකයකු බවත් එහෙත් නිවටයකු බවත් ඇය අපට කියයි.

ඉතින් මේ විවාහක තරුණ විය නොඉක්ම වූ ස්ත්‍රීන් වෙනත් පිරිමින් හා කෙටි කලකට වුව බැඳෙන්නේ ඇයි දැයි කිසිවකු විමසුවහොත් ඊට හේතුව ඔවුන්ගේ චපල බව යැයි එක්වරම පිළිතුරු ලැබෙනු ඇත. එසේ නම් ඔවුන් හා සම්බන්ධ වන පිරිමින් ගැන කියන්නට ඇත්තේ කුමක් ද? මේ එකදු ගැහැනියක් පිරිමින් පස්සේ පන්නා ගොස් ඔවුන් සිය මායම් දැලට හසු කැර ගත්තහු නොවෙති. දැල එලුවේ පිරිමි ය. ඔවුහු ඊට හසු වූහ.

බ්‍රීෆ් එන්කඋන්ටර් චිත්‍රපටයේ අවසානයේ ෆ්‍රෙඩ්ල ලෝරා අස්වසයි. දැන් ඇලෙක් යන්නට ගොසිනි. නැවත කිසිදා ඔවුන් මුණ ගැසෙන්නේ නැත. තමා ලිපි ලියන්නදැයි ඇලෙක් අසනවිට ලෝරා ‘එපා’ යැයි කියයි. ඇයට අවශ්‍ය මෙය නවතා දමන්නට ය. ඇලෙක්ගේ වෙන්වීම් ඇත්තට ම ඇය තුළ දනවන්නේ සහනයකි. මොනවා වුණත් ඇයට සිය ආත්ම ගෞරවයත්, කුටුම්භයත් වටී. එහෙත් ආන්නා එසේ නොවේ. සිය නියාලු සැමියාගෙන් ගුරොව් තමා ගලවා ගන්නවා නම් මැනවැයි ඇය සිතයි. මේවා අතරින් නරකම අවසානය තිබුණේ ‘දුහුලු මලක්’ හි ය. එය අනෙක්වායේ නොමැත්තකි. උඩුකය ඇඳුමක් නොමැති සුරේ මෙහෙකාරිය වැලඳ සිටිනු අධ්‍යක්‍ෂවරයා අපට පෙන්වයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.