කුස ජාතක කතාවට වඩා පබාවතී නාට්‍යය ප්‍රාණවත් | සත්මඬල

කුස ජාතක කතාවට වඩා පබාවතී නාට්‍යය ප්‍රාණවත්

පබාවතී නාටකය රචනා කර ඇත්තේ ඒ කතා පුවත අලළා පැරණි කවීන් විසින් රචිත කාව්‍යයන් ඇසුරින් බව පැවසේ.

පබාවතී යනු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914.06.03 – 1996.08.16) විසින් රචනා කර නිෂ්පාදනය කරන ලද දෙවන ස්වතන්ත්‍ර නාට්‍යයයි. ඒ නාට්‍යය එකල කොළඹ පිහිටි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය සිංහල නාට්‍ය මණ්ඩලය මඟින් වර්ෂ 1952 සැප්තැම්බර් මස 16 වැනි දින ජෝජ් රාජ ශාලාවෙහිදී පළමු වරට වේදිකා ගත කෙරිණි.

සරච්චන්ද්‍රගේ ‘බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්’ (1951) යන මුළුමනින් ම ස්වාභාවික සංවාද නාට්‍යය මෙන් නොව, පබාවතී ශෛලීගත ලක්ෂණයකින් ද යුත් ස්වාභාවික සංවාද නාට්‍යයකි. ඊට හේතුව නාඩගම් සම්ප්‍රදායට ආවේණික වූ පොතේ ගුරුගේ චරිතය ඊට ඇතුළත් කර තිබීමයි; කොටස් දෙකකින් යුත් නාට්‍යයේ පළමු වැනි කොටසේ ආරම්භයේදීත්, දෙවැනි කොටසේ ආරම්භයේදීත් පොතේගුරු එක් ගීතයක් බැගින් ගායනා කරයි. තවද පළමු වැනි කොටසේ පළමු වැනි ජවනිකාව ආරම්භයේදීත්, සතර වැනි ජවනිකාව අවසානයේදීත් ප්‍රධාන චරිතයට ද එක් ගීතයක් බැගින් ගායනා කිරීමට සලසා තිබීමයි. කෙසේ වුව ද නාට්‍යයේ සෙසු කොටස් සියල්ල ම ස්වාභාවික සංවාද නාට්‍ය කලාවට අනුකූලයි.

පබාවතී නාටකයේ ආරම්භයේදී ම, වේදිකාවේ තිරය ඉවත් කිරීමට පෙර, පොතේගුරු තිරය ඉදිරියෙන් පැමිණ, මුද්‍රා සහිතව ප්‍රාරම්භ ගීතය ගායනා කරයි. තිරයට පිටුපසින් තාලයකට අනුව මද්දලයක් වාදනය කෙරේ. එකී ගීතය මඟින් කුස ජාතකයේ කතා වස්තුව කෙටියෙන් අනාවරණය වේ. තවද නාටකය රචනා කර ඇත්තේ ඒ කතා පුවත අලළා පැරණි කවීන් විසින් රචිත කාව්‍යයන් ද ඇසුරින් බවත් පැවසේ.

එකී ගීතයට අනුව දඹදිව මලලදේශයේ කුසාවතී නුවර ඔකාවස් නරනිඳුට දාව සීලවතී බිසව ලද් කුමරා, පෙර ආත්මයකදී ‍පසේ බුදුවරයකුගෙන් කැවුම් උදුරාගත් පාපකර්මය හේතුකොට ගෙන, විරූපී මුහුණක් සතුව සිටියි. එසේම කුස කුමරු, පෙර ආත්මයක කරන ලද පුණ්‍ය ක්‍රියා හේතුකොටගෙන හැම කලාවකට ම හැම ශිල්පයකට ම දක්ෂයෙක් වෙයි. එමෙන්ම ඔහු යුද ශිල්පයට මෙන්ම වීණා වැයුමට හා ප්‍රතිමා නෙළීමට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔහු බෙහෙවින් විරූප හෙයින්, විවාහ නොවීමටත් තපසට යෑමටත් අපේක්ෂාවෙන් සිටියි. එසේ වුව ද, තමාගේ සිත්ගත් රූපශ්‍රීයෙන් යුත් කාන්තාව යොදුන් සිය ගණනක් දුරින් සිටිය ද ඇය බලහත්කාරයෙන් හෝ රැගෙන අවුත් සිය අඹුව කර ගැනීමට පෙර ආත්මයකදී කුස කුමරු කළ පැතුම ඉටුවුණු ආකාරය නරඹන ලෙස ප්‍රේක්ෂකයන්ට ආයාචනා කරමින් පොතේගුරුගේ ගීතය කෙළවර කර ඇත්තේ මෙසේ ය.

“රුසිරෙන් යුත් ලඳ සියක් යොත්නෙක

උන්නත් බලයෙන් ඇරගෙන විත් මම

අඹු තනතුරට ම පත් කරමියි කළ

පැතුම ඉටුවුණු සැටි දැන් නරඹනු”

 

පබාවතී නාටකයේ පළමු වැනි ජවනිකාවට පසුබිම් වනුයේ කුස කුමරුගේ ප්‍රතිමා නෙළන ගෘහයයි. එහි ප්‍රතිමා කිහිපයක් ද කොකනද වීණාවක් ද තිබෙනු දැකිය හැකියි. තවද කුස කුමරු ඉතා රූමත් ස්ත්‍රියකගේ ප්‍රතිමාවක් නෙළා නිමකර ඊට හැඩවැඩ දමමින් සිටියි. එසේ සිටින අතර ඔහු තමාට ම පහත සඳහන් ගීතය ගායනා කරයි.

“තිර නෑ කිසිවක් මේ ලොවේ

මිරිඟුව මෙන් නැතිවේ සැණිනේ

මොහොතින් මොහොතට

පෙරළෙන දහමේ

ආලය කරමින් ලෝසත දුක් වේ”

 

ඔහු ගීතය ගායනා කරමින් සිටින අතර චේතියා නම් සේවිකාව පැමිණ මහරජතුමා හා බිසව කුස කුමරු හමුවීමට එහි එන බව දන්වා එතනින් නික්ම යයි. එවිට කුස කුමරු තමාටම මෙසේ කියා ගනියි.

“කුස කුමරු: අනුමානයත් නෑ ආයෙත් මේ විවාහෙ ගැන කතා කරන්න තමයි එනවා ඇත්තේ. ඒ පාර තාත්තා ලවා කියවන්න වෙන්න ඇති තාත්තාවත් ඇදගෙන එන්නෙ. අම්මා මොකුත් හිතාගත්තොත් ආයෙත් බේරිල්ලක් නෑ කිසිකෙනකුට ඒක ඉෂ්ට වෙන කල්.”

විටම පාහේ ඔක්කාක රජු සමඟ සීලවතී බිසව එහි පැමිණේ. විවාහය සඳහා කුස කුමරු කැමැති කරවා ගැනීමට බිසව මහත් ප්‍රයත්නයක යෙදේ.

“සීලවතී බිසව: කොහොම කිව්වත්, රජ කෙනෙක් වුණා ම විවාහ වෙන්න එපායැ. නැත්නම් වැසියො කැමැති වෙන්නෙ නෑනේ.

කුස කුමරු: ඇත්ත කියනවා නම් අම්මේ, මම රජකමට කැමැති නෑ. විවාහෙට කැමැතිත් නෑ. මම කැමැති මෙහෙම තනියම ජීවත් වෙන්නයි.

සීලවතී බිසව: ඇයි පුතා එහෙම කියන්නෙ? මොකක්ද රජකමේ ති‍යන වරද? ඇයි විවාහ වෙන්න ඔයතරම් මැළි?

කුස කුමරු: රජකමට කැමැති නැත්තෙ අම්මෙ, රජකෙනෙක් වුණා ම තමන්ගේ නිදහස නැතුව යනවා. මිනිස්සු කියන කියන විදිහට හැම දෙයක් ම කරන්න වෙනවා. අනිත් එක, අම්මා කිව්වා වගේ ම විවාහ වෙන්නත් සිද්ද වෙනවා. සාමාන්‍යයෙන්... මම... විවාහ ජීවිතයට කැමැති නෑ.

සීලවතී බිසව: ඇයි පුතා, රජ නූනත්, ඔය වයසට ආවාම විවාහ වෙන්න ම එපායැ. හැමදාම ඔහොම ඉන්න පුළුවන් ද?

කුස කුමරු: අනිත් කාරණාව, මම සිරිත් පරිදි විවාහ වෙලා රජකම් කළොත්, මගේ මේ ප්‍රතිමා ශිල්පයට, සංගීතයට එහෙම විවේකයක් ලැබෙන්නෙ නෑ. මම මේ ලෝකෙ කිසි දේකට ආදරේ නෑ ප්‍රතිමා ශිල්පෙටයි, සංගීතෙටයි තරම්... අනිත් එක, මම දැන් හුඟක් කල් හිටන්, මේ ප්‍රතිමා ශිල්පෙටයි සංගීතෙටයි මගේ ජීවිතය කැප කරලයි තියෙන්නෙ. මගේ මුළු ජීවිතයම රඳා පවතින්නෙ ඒවා උඩයි. ඒ නිසා, මට ඒවා ලේසියෙන් අමතක කරන්න බෑ.”

අවිවාහකව සිටීමට තවදුරටත් හේතු දක්වන කුස කුමරු ස්ත්‍රීන් වැඩිපුර කැමැති හොඳ පෙනුම තියෙන පිරිමින්ට බවත්, තමාගේ හොඳ පෙනුමක් නොමැති බවත් පවසයි. ඊට පිළිතුරු වශයෙන් බිසව කියා සිටිනුයේ කිසිවකුටවත් නොමැති තරම් පිරිමි ගතිගුණ කුස කුමරු තුළ පිහිටා තිබෙන බවත්, ස්ත්‍රීන් ඒවා පිළිබඳවත් සැලකිල්ලක් දක්වන බවත් ය. එවිට ඔහු අවිවාහකව සිටීමට වෙනත් උපක්‍රමයක් යොදයි. තමා තනා තිබූ අතිශයින් රූමත් ස්ත්‍රියගේ ප්‍රතිමාවට සමාන කුමාරියක් සොයා දුන්නොත් පමණක් ඇය සමඟ විවාහ වන බව ඔහු පවසයි. එබඳු කෙනකු සොයා ගත හැකි ද යන්න පිළිබඳ සැකයක් ඔක්කාක රජු තුළ පහළ වෙයි. කෙසේ වුව ද එබඳු කෙනකු සොයාදීමට සීලවතී බිසව පොරොන්දු වේ. අනතුරුව රජු සමඟ බිසව එතනින් නික්ම යයි. ඉන්පසු කුස කුමරු ඒ ප්‍රතිමාවට සමාන කුමරියක සොයා ගත නොහැකි බවත්, එහෙයින් තමාට අවිවාහකව සිටිය හැකි බවත් සිතා සතුටට පත්ව මුලින් ගායනා කළ ගීතය නැවත වරක් තමාට ම ගායනා කර ගනියි. ගීතය ගායනා කර අවසාන වීමත් සමඟ ම තිරය වැසී පළමු වැනි ජවනිකාව නිමාවට පත් වෙයි.

දෙවැනි ජවනිකාවට පසුබිම් වනුයේ මාලිගාවේ කාමරයකි. රජ හා බිසව කතාබහ කරමින් සිටිති. කුස කුමරු සෑදූ රූමත් ස්ත්‍රියකගේ ප්‍රතිමාවට සමාන කුමරියක සෙවීමට දින කිහිපයකට පෙර දූතයන් යැවූ බව ඉන් අනාවරණය වෙයි. එසේ සිටින අතර මඟුල් බෙරහඬක් ඇසේ. සේවිකාව අවුත් ප්‍රතිමාව රැගෙන ගිය දූතයන් ආපසු පැමිණි බව දන්වා සිටියි. එවිට ම මෙන් දූතයෙක් අවුත් රජුට හා බිසවට නමස්කාර කර ‍තොරතුරු දන්වා සිටියි.

පාලිත: යම් සේ විෂ්ණු දේවේන්ද්‍රයාට ශ්‍රී කාන්තාව ගැළපෙන්නේ ද, එසේම කුස කුමාරයන්ටත් ගැළපෙන එක්තරා කුමාරිකාවක් ලැබුණා, දේවයන්වහන්ස.

ඔක්කාක:... මේ රූපය වගේම ද?

පාලිත: එහෙමයි, දේවයන්වහන්ස. යම් සේ කිරි මුහුද හා සඳරැස් එකින් එක වෙන්කොට හඳුනාගැන්ම උගහටවන්නාක් මෙන්ම මේ රූපයත්, කුමාරිකාවත් අතර වෙනසක් නම් සොයාගන්න බැහැ, දේවයන්වහන්ස.

ඔක්කාක: මේ රූපය තරම්ම ලස්සන ද?

පාලිත:... එහෙමයි, දේවයන් වහන්ස.

ඔක්කාක:.... මොකද්ද එයාගෙ නම?

පාලිත: ඈට තියෙන්නෙ, දේවයන් වහන්ස, අන්වර්ථ නාමයක්. ඇගේ රූප සෞන්දර්ය මැනවින් කියාපාන එකක්.

ඔක්කාක: මොකක් ද?

පාලිත: අඳුරු ගෙයක් ආලෝකවත් කිරීමට තරම් වූ රශ්මි මාලාවක් ඇගේ ශරීරයෙන් පිටවෙන නිසා ඈට කියන්නෙ ‘ප්‍රභාවතී’ හෙවත් පබාවතී කියලයි, දේවයන්වහන්ස.”

කුමාරයාට ගැළපෙන කුමාරිකාවක පිළිබඳ තොරතුරු සොයා ඒම ගැන සීලවතී බිසව දූතයන්ට ප්‍රශංසා කරයි. එවිට කුස කුමරුත් එහි පැමිණ දූතයන්ගෙන් තවදුරටත් කරුණු විමසා බලයි. ඒ කුමරිය තමා සෑදූ ප්‍රතිමාවට සමාන බව දන්නේ කෙසේදැයි ඔහු දූතයන්ගෙන් ප්‍රශ්න කර සිටියි. එවිට දූතයෝ, කිරි මව් වන කුදී ප්‍රතිමාව දැක නියම පබාවතී කුමරිය යැයි රැවටී එහි කම්මුලට පහරක් ගැසීම පිළිබඳ පුවත විස්තර කර එතනින් නික්ම යති.

තමා සෑදූ ප්‍රතිමාවට සමාන කුමරියක සිටින බව අසා කුස කුමරු පොරොන්දු වූ පරිදි විවාහයට කැමැත්ත පළකර සිටියි. ඉන් පසු ඔහු එතනින් නික්ම යයි. අනතුරුව සීලවතී බිසව විවාහය සිදු කළ යුතු ආකාරය පිළිබඳ තම අදහස රජු සමඟ මෙසේ පවසයි.

“පබාවතී වගේ ලස්සන කුමාරිකාවක් අපේ කුසව දැක්කොත් කවදාවත් බඳින්න කැමැති වෙන්නෙ නැහැ. ඒ හන්දා තමයි මම කිව්වේ එයා නැතුව විවාහය සිදුකරලා පබාවතීව මෙහාට ගේන්නෙයි කියලා.”

තවදුරටත් විස්තර කරන බිසව අපේ කුල සිරිතට අනුව විවාහ වී අවුරුද්දක් පසුවෙන කල් බිරියට සැමියා දකින්න නොලැබෙන බව කලින්ම දන්වන ලෙසත් කියා සිටියි. බිසවගේ එකී යෝජනාවට ඔක්කාක රජ මුලදී විරුද්ධත්වය පළ කරයි. එහෙත් පසුව ඔහු ඊට එකඟ වෙයි. පසුවදා ම සාගල නුවරට ගොස් මදුරජු මුණගැසීමටත් කුස නැතිව විවාහය සිදුකර පබාවතී කැඳවාගෙන ඒමටත් ඔක්කාක රජ තීරණය කරයි. ඒත් සමඟ ම තිරය වැසී දෙවැනි ජවනිකාව නිමාවට පත් වෙයි.

තුන්වැනි ජවනිකාවට පසුබිම් වනුයේ ඔක්කාක රජුගේ මාලිගාවේ සීලවතී බිසවගේ කාමරයයි. සාගල නුවරට ගිය ඔක්කාක රජු පබාවතී කුමරිය කැඳවාගෙන පැමිණීම අපේක්ෂාවෙන් බිසව හා කුස කුමරු කතාබහ කරමින් සිටිති. පබාවතී එනවිට ඇයට නොපෙනෙන ලෙස තිරයෙන් මුවා වී සිටින ලෙස බිසව කුමරුට පවසයි. ඔහු ඊට එකඟ වෙයි. ඊට සුළු මොහොතකට පසු ඔක්කාක රජ, පබාවතී හා ඇගේ කිරි මව් වන කුදී කැටුව එහි පැමිණෙයි. සීලවතී බිසව පබාවතී කුමරිය සාදර‍යෙන් පිළිගනියි. තිරයට මුවා වී ඔවුන් දෙස බලාගෙන සිටින කුස කුමරු පබාවතී අතිශයින් රූමත් කුමරියක බව වටහා ගනියි. ඇගේ රූප සෞන්දර්යෙන් ඔහු වශී වෙයි. විවාහය පිළිබඳ ඔහු තුළ මෙතෙක් පැවැති අප්‍රසාදය මහත් විපර්යාසයකට භාජන වූවාක් සේ ය.

“පබාවතී: කෝ හැබෑටම කුස කුමාරයා? මං හිතුවේ මාව පිළිගන්න මඟට ඒය කියලයි. කොහෙවත් ගිහිල්ල ද?

සීලවතී: අපේ කුල සිරිත්වල හැටියට නම් දුවේ, සාමාන්‍යයෙන් භාර්යාවකට බැහැ ස්වාමිපුරුෂයා දකින්න අවුරුද්දක් විතර යන කල්.

පබාවතී: අවුරුද්දක්? මම කවදාවත් බලාපොරොත්තු නූන එකක් නෙවැ මේක...

කුදී: ඒක ඔක්කාක රජ පවුලේ සිරිතක් නම්, දූ කුමරියේ, කුමාරිකාව ඒක පිළිපදින්න එපායැ?

පබාවතී: රජ පවුලක උපදිනවාට වඩා හොඳයි හිඟන්නෙක් වෙලා උපදින එක. ඒ මිනිසුන්ට නැහැනෙ මෙහෙම කුල සිරිත්. මම හරි කාලකණ්ණි ගැහැනියෙක්. විවාහ වෙච්ච පුරුෂයා දිහා බලන්න අවුරුද්දක් යනවා.”

කුස කුමරු තමා පිළිගැනීමට නොපැමිණීම නිසාත්, ඔහු දකින්ට නොසිටීම නිසාත් කෝපයට පත්වන පබාවතී සිය මව්පියන් වෙත ආපසු යෑමට තීරණය කරයි. එවිට ඔක්කාක රජ පබාවතීට කුස කුමරු එක්වරක් පෙන්නීමට කැමැත්ත පළ කරයි. සීලවතී බිසවත් ඊට එකඟ වෙයි. එවිට පබාවතී මඳක් සැනසීමට පත්වී මෙසේ පවසයි:

“මට සැරයක් බලා ගත්තොත් එච්චරයි ඕනෑ. එතකොට මට ඕනෑ කාලයක් තනියම ඉන්න පුළුවන්. මගේ ස්වාමිපුරුෂයා කොයිවගේ කෙනෙක් ද කියලයි මට දැනගන්න ඕනෑ.”

අනතුරුව යහන් ගබඩාවට ගොස් වෙහෙස නිවාගන්නා ලෙස සීලවතී බිසව කුමරියට පවසයි. ඊට කැමැති වන පබාවතී කුදීත් සමඟ එතනින් නික්ම යයි.

පබාවතී කුමරියගේ සිත දිනා ගැනීම පිණිස, කුස කුමරු යැයි, ඔහුගේ බාල සොහොයුරු රුවැති ජයම්පති කුමරු පෙන්නීමට රජ හා බිසව තීරණය කරති. කුස කුමරු මුලදී ඊට අකැමැති වන නමුදු පසුව ඊට එකඟ වෙයි. තවද ඔහු ජයම්පති කුමාරයා සමඟ ඇතා පිට නැඟී නගරය පැදකුණු කිරීමට ද කැමැත්ත පළ කරයි. කෙසේ වුව ද පබාවතී වැනි ළඳ බොළඳ තරුණියක රැවටීමට යොදන උපක්‍රමය ගැන ඔහු තුළ අප්‍රසාදයක් ද හට ගනියි. කුස කුමරු තුළ පබාවතී කෙරෙහි ඇල්මක් ඇතිවීම ගැන රජ හා බිසව ඉමහත් සතුටට පත්වෙති. ඒ සමඟ ම තිරය වැසී තුන්වැනි ජවනිකාව නිමාවට පත් වෙයි.

සතරවැනි ජවනිකාවට පසුබිම් වනුයේ ඔක්කාක රජුගේ මාලිගාවේ උද්‍යානයයි. තිරය ඔසවනවාත් සමඟ ම දකුණු පසින් කුස කුමරු පැමිණේ. ඔහු තමාට ම මෙසේ කියා ගනියි.

“මට මොනව වෙලා ද කියන්න මමවත් දන්නෙ නෑ. මට වෙච්ච දේට මටම පුදුමයි. මගේ හිත දැන් හැම තිස්සෙම කැලඹිලා... මං මගේ ප්‍රතිමා හැදීමටයි, සංගීතෙටයි කාලෙ ගත කරමින් හිටිය දවස්වල හොඳ සැනසිල්ලෙන් හිටියා. ලස්සන පිළිමයක් නෙළාපුවම මට ඒකෙන් කොයිතරම් සැනසිල්ලක් ලැබෙනවා ද? මගේ හිතට කාංසියක් දැනුණාම මම සින්දුවක් කියනවා. දැන් මට ඒවා එකක්වත් කරන්න හිත නැහැ. පබාවතී දකින ආසාවෙන්මයි දැන් මම පහුවෙන්නෙ. ඇය වරක් දුටුවාම ආයෙත් දකින්න හිතයි. ආයෙත් දැක්කාම කතා කරන්න හිතයි. නමුත් කතා කරන්න තියා දකින්නවත් හම්බවෙන්නෙ කොච්චර අමාරුවෙන් ද?”

ඒ අවස්ථාවේදී ම, පෙර දිනක කුස කුමරු කළ ඉල්ලීමකට අනුව, ඔහුට පබාවතී පෙන්වීම සඳහා කුදී ඇය උයනට කැඳවාගෙන එයි. ඇයට නොපෙනෙන පරිදි ඇය හොඳින් දැකබලා ගැනීම පිණිස කුස කුමරු පොකුණ ඇතුළට බැස සිටියි. කුදීත් සමඟ උයනට පැමිණි පබාවතී පොකුණ අසලට ගොස් ඊට නැඹුරු වී නෙළුම් මලක් කඩා ගැනීමට තැත් කරයි. පොකුණෙහි සැඟවී සිටි කුස කුමරු සැණින් තම හිස ඔසවා ඇගේ අත අල්ලයි.

 එවිට ඈ බිය වී වහා නැඟිට කෑ ගසමින් දියරකුසකු වැනි භයානක මුහුණක් තියෙන මිනිසකු තමාගේ අත ඇල්ලූ බව කුදීට පවසයි.

එකී සිද්ධියෙන් පසු පබාවතී තුළ තිබූ සැකය තහවුරු වෙයි. තමාගේ අත ඇල්ලූ තැනැත්තා කුස කුමරු බවත් ඔහු බෙහෙවින් විරූපී කෙනකු බවත් ඈ පළමුවරට අවබෝධ කර ගනියි. එවැනි අජූව මිනිසකුට තමා විවාහ කරදීම ගැන ඈ කම්පාවට පත්වෙයි. තමා රැවටීමට සම්බන්ධ වීම ගැන ඈ කුදීටත් දොස් නඟයි. කෝපයට පත් පබාවතී තමා වහා ම මව්පියන් වෙත ආපසු යන බව පවසා එතනින් නික්ම යයි. කුදීත් ඇය පසුපස්සෙන් යයි.

එකෙණෙහි ම පොකුණෙන් පිටට එන කුස කුමරු තමා අතින් සිදු වූ වරද ගැන පසුතැවිලි වෙයි. එවිට සීලවතී බිසව එහි අවුත් පබාවතී ආපසු යෑමට සූදානම් වන බව කියා ඇයට මෙසේ දොස් නඟයි.

“ඉතින් උඹ දැක්ක පලියට ආපහු යන්න ඕනෑයැ? මහ නැහැදිච්ච ගැහැනියෙක්නෙ.”

ඊට පිළිතුරු දෙන කුමරු මෙසේ පවසයි.

“අනේ අම්මෙ, එහෙම කියන්න එපා. මගේ වැරැද්දෙන් ඒක වුණේ. මම ඈව බය ගැන්නුවා.”

සුළු වේලාවකට පසු රජ හා බිසව එතනින් නික්ම යති. හුදකලාව උයනට වී සිටින කුස කුමරු පබාවතී ගැන සිහිපත් කරමින් තමාටම මෙසේ කියාගනියි.

“ඈ ගියාට මොකද මගේ හිත නම් කවදාවත් ඈ ගැන වෙනස් වෙන්නෙ නැහැ. මට කොහේ ගියත් ඈව සිහිවෙන දේවල් තමයි පෙනෙන්නෙ. මාලිගාවට ගියත්, මේ උයනට ආවත්, මම දකින දකින දෙයින් සිහි වෙන්නෙ පබාවතීමයි. පබාවතී... මට පිනක් නැහැ එහෙම කෙනෙක් ලබා ගන්න. එක එක්කෙනාගෙ ලැබීමෙ හැටි තමයි... මට ආදරේ නොකළත්, නිකම්වත් මෙහෙ හිටියා නම් මට ඇති. ඉඳලා හිටලාවත් දැකගන්න තිබුණ. මං දන්නවා ඈ කවදාවත් මට ආදරේ වෙන්නෙ නැති බව. නමුත් එයාට මගේ ආදරය පෙන්නන්න බැරි වුණ එකයි මට කනගාටු.”

කුස කුමරු තවදුරටත් පබාවතී ගැන සිහිපත් කරමින් පහත සඳහන් ගීතය ගායනා කරයි.

“සොඳුරේ - සොඳුරේ - ඇයි ගියේ මා හැරදා

ඇයි ද ගි‍යේ ‍ප්‍රේමියේ මා හැර දා

සෝ ගිනි හද තුළ එයි හෝ ගාගා

මා හද වෙවුලයි ප්‍රේමී එනු මා

ඔබ නැති මෙමටා රජ සැප කුමටා එනු මා

වෙතටා සොඳුරේ...”

ගීත ගායනය අවසන් වීමත් සමඟ ම ක්‍රමයෙන් අඳුර පැතිරී තිරය වැසී සතර වැනි ජවනිකාව නිමාවට පත්වෙයි.

පබාවතී නාටකයේ දෙවැනි කොටස ආරම්භ වනුයේ පොතේගුරු ගායනා කරන විරහා ගීතයකිනි. ඒ ගීතය මඟින් කුස ජාතකයේ මෙතැන් සිට කතා පුවත කෙටියෙන් දැක‍්වෙයි. කුස කුමරු දැක ඔහුගේ කටහඬ අසා බියපත් වූ පබාවතී තම මව්පියන් වෙත ආපසු යයි. ඉන් බලවත් ශෝකයට පත් කුස කුමරුට ඇය නොදැක ගත කරන එක් රැයක් අවුරුදු සියයක් මෙන් දැනිණි. පබාවතී සොයා යන ඔහු ඇගේ මාලිගයට සම්බන්ධ ඇත්හලට ගොස් වෙහෙස නිවාගෙන මිහිරි හඬින් ගී ගයමින් කොකනද වීනාව වාදනය කරයි. පබාවතී එය අසා විස්මයට හා බියට පත්වෙයි. එකී ගීයෙන් කොටසක් මෙසේ ය.

 

“සොබමන් ඒ කුස රජ හඬ බිස ඇසූ සඳ

රකුසු හඬ මෙන් වැකුණි සවනට

එදා ගියෙ බිසො තමන් රජ ගෙට

පබවතී නැති යහන හිස් වී

තුළ තිබෙන කුසුම් කටු ලෙස් වී

පබවති නැති එක රෑ දින කුස රජ

පසුවුණිය වස් සියයක් විලසින්

බිසව නැති තද සෝක පත්වුණි”

පස්වැනි ජවනිකාවට පසුබිම් වනුයේ සාගල නුවර මදු රජුගේ මාලිගයේ පිහිටි පබාවතී කුමරියගේ කාමරයයි. පබාවතී යහන මත හිඳගෙන කල්පනා කරමින් සිටියි. ඇගේ නැඟණියන් වන රූපවතී හා පියවදනී දාං අදින ක්‍රීඩාවෙහි යෙදෙමින් විහිළු තහළු කරමින් ඒ කාමරයෙහි ම පසෙකින් සිටිති. පබාවතී හා කුස කුමරු අතර සිදු වූ ගැටුම පිළිබඳව ද ඔවුහු කතාබහ කරති. මෙසේ සිටින අතර පබාවතීට දීම සඳහා රජු දුන් මැටි බඳුන් කිහිපයක් රැගෙන කුදී එහි පැමිණෙයි. ඒ මැටි බඳුන් අතර පබාවතීට හා කුදීට සමාන මැටි බඳුන් ද තිබේ. ඒ ලස්සන මැටි බඳුන් රජවාසලේ කුඹලාගේ අතවැසියා විසින් සාදන ලද ඒවා බව කුදී පවසයි. මීට පෙර දෙදිනකදීම මැදියම් රෑ ඇත්ගාල පැත්තෙන් ඇසුණු, වීණාවක් වාදනය කරමින් මිහිරි ගීතයක් ගායනය කළ තැනැත්තාත්, ලස්සන මැටි බඳුන් සෑදූ තැනැත්තාත් පබාවතී ලුහුබැඳ පැමිණ වෙස් වළා ගෙන සිටින කුස කුමරු බව ක්‍රමයෙන් අනාවරණය වෙයි. කුස කුමරු තමා වෙනුවෙන් මෙතරම් වෙහෙසීම ගැන පබාවතී තුළ ඔහු කෙරෙහි තරමක අනුකම්පාවක් ඇති වෙයි. ඉන් සතුටට පත් වන කුදී හොඳ මුහුණක් පෙන්වා කුමාරයා සමඟ කතාබහ කරන ලෙස පබාවතීගෙන් ඉල්ලා සිටියි. ඊට එකඟ නොවන කුමරිය මැටිබඳුන් ටිකත් රැගෙන එතනින් පිටවී යන ලෙස කුදීට දන්වා සිටියි. කුදී මැටි බඳුන් ටික එකතු කරගෙන, තම අප්‍රසාදය පළ කරමින්, එතනින් පිටවීයෑමත් සමඟ ම තිරය වැසී පස්වැනි ජවනිකාව නිමාවට පත්වෙයි.

හයවැනි ජවනිකාවට පසුබිම් වනුයේ මදු රජුගේ මාලිගයේ බොජුන්හලයි. මදු රජු හා බිසව දවල් ආහාර අනුභව කර ආපසු ගොසිනි. අනතුරුව එහි පැමිණෙන කුදී ඒ ස්ථානය අස්පස් කරමින් සිටියි. එසේ සිටින අතර රජවාසලේ අරක්කැමියාගේ අතවැසියකු ලෙස වෙස් වළා ගෙන සේවය කරන කුස කුමරු වසුන් කදක් ඔසවාගෙන එහි පැමිණෙයි. අලුතින් පිසූ රසවත් වෑංජන කිහිපයක් රැගෙන තමා එහි පැමිණියේ තම අතින් ම පබාවතීට ඒවා දීමට බව ඔහු කුදී සමඟ පවසයි. එවිට කුදී කරුණු පැහැදිලි කරමින් ඔහුට කුමරිය මුණගැසීමට සුදුසු කාලය තවම එළඹ නැති බව දන්වා සිටියි. ඒ අවස්ථවේදී ම පබාවතී බොජුන්හලට පැමිණෙයි. වෙස් වළා ගත් කුස කුමරු එහි සිටිනු ඇයට දක්නට ලැබේ.

“පබාවතී:... ඔබවහන්සේ සාගල් පුරයට ඇවිදින් අඥාත වේශයෙන් ඉන්න බව මට දැනගන්න ලැබුණා. ඔබ වහන්සේ කොච්චර කල් මෙහෙම ඉන්න අදහස් කරනවා ද...?

කුස කුමරු: සොඳුර මා දෙස ආදරවන්ත බැල්මක් හෙළනකල් මම මෙහේම ඉන්නවා...

පබාවතී: ආපහු ගොහිල්ලා, ඔබවහන්සේට හිමි වූ ඒ රජ සැප විඳින එක මීට වඩා සියක් වාරයක් හොඳ නැද්ද?

කුස කුමරු: සොඳුර නැතුව විඳින රජ සැප මට කෙළ පිඩක් තරම්වත් වටින්නෙ නෑ. ඒ නිසා සොඳුර ලැබෙන තෙක් මට ඒවා ඕනැ නෑ.

පබාවතී: ඒක නම් ඔබ වහන්සේගේ අභිප්‍රාව, ඒක කවදාවත් ඉෂ්ට වෙන්න බෑ...

කුස කුමරු: මම හදාපු මේ අවුළු පිළිගන්න. මේ වතාවට පමණක්.

පබාවතී: එපා, මට ඕනැ නෑ. මට කිසි ආහාරයක් ප්‍රිය නෑ මේ දවස්වල. ඉතින් ඉන්න. (කුස කුමරු මඳක් සිට, අවුළු පිරි බඳුන ආපසු වසුන් ක‍දේ තබාගෙන එය සෙමෙන් කරට ගෙන, ඇය දෙස තවත් නොබලා ක්‍රමයෙන් නික්ම යයි. පබාවතී ඔහු යන මඟ බලා සිට, හදිසියෙන් තම දෑතින් මුහුණ වසාගෙන, ඉකිබිඳිමින් හඬන්ට පටන් ගනී.)”

තමා රැගෙන ආ කෑම-බීම ප්‍රතික්ෂේප කිරීම නිසා කලකිරීමට පත් කුස කුමරු වසුන් කදත් රැගෙන එතනින් නික්ම යෑමත් සමඟ ම පබාවතී ඉකිබිඳිමින් හඬන්නට වීම හේතු කරගෙන ඇගේ සිත තුළ කිසියම් විපර්යාසයක් සිදු වූ බව ධ්වනිත කෙරේ. එකී සිද්ධියත් සමඟ ම තිරය සෙමෙන් වැසී හයවැනි ජවනිකාව නිමාවට පත්වෙයි.

නාට්‍යයේ හත්වැනි ජවනිකාවට පසුබිම් වනුයේ මදු රජුගේ මාලිගයේ උඩුමාලයේ සඳලු තලයයි. එහි සිට මාලිගයේ අවට සිදු වන සියල්ලක් ම දර්ශනය වෙයි. ජවනිකාව ආරම්භ වනවිට පබාවතී හා කුදී කතාබහ කරමින් සිටිති. කුස කුමරු වෙස් වළා ගෙන අරක්කැමියාගේ අතවැසියකු ලෙස සේවය කිරීම ගැන ඔවුහු සිය කනස්සල්ල පළ කරති. ඒ වනවිටත් කුස කුමරු වළන් හෝද හෝදා සින්දු කියමින් සිටිනු සඳලු තලයේ සිටින ඔවුන්ට පෙනෙයි. හදිසියේ ම, සීලවතී බිසව, පබාවතී හමුවීම සඳහා එහි පැමිණෙයි. පබාවතීගේ විවාහය සඳහා ස්වයංවරයක් පවත්වන බවට මදු රජු විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කර ගෙන පිට ප්‍රදේශවල කුමාරයන් හත්දෙනකු ම යුද්ධයට සූදානම් වන බව බිසව දන්වා සිටියි. ඒ අවස්ථාවේ ම මදු රජ පැමිණ, දැනටමත් කුමාරයන් හත්දෙනාගේ ම සේනාව නගරය වටකර ගෙන සිටින බවත්, මේ උවදුර සිදු වූයේ පබාවතී කුස කුමරු අතහැර දමා පැමිණි නිසා බවත්, ඇය හත් කඩකට කපා හත්දෙනාට දීමට සිදු වන බවත් කියා සිටියි. එවිට කුදී ඉදිරිපත්වී කුස කුමරුගේ පිහිට දැන් වුවත් ලබාගත හැකි බවත් ඔහු වෙස් වළා ගෙන මාලිගයේ ම සිටින බවත් රජුට හා බිසවට පළමු වරට දන්වයි. ඉන් පුදුමයට පත්වන මදු රජ කුස කුමරු සොයා වහාම එතනින් නික්ම යයි. ඉන්පසු සිදුවන දැය ප්‍රේක්ෂකයන්ට දැනගන්නට ලැබෙන්නේ සඳලුතලයේ සිදු කෙරෙන කතාබහ මඟිනි. ‘මාලිගයෙන් එළියට ගිය මදුරජ වෙස් වළා ගෙන සිටින කුස කුමරු හමුවේ දණ ගසා සමාව අයදියි. ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන කුස කුමරු මදු රජු සමඟ ටික වේලාවක් කතාබහ කරමින් සිටියි.

ස්වල්ප වේලාවකට පසු අශ්වාරෝහකයෙක් පැමිණ, වේදිකාවෙන් පිටත සිට, සිදු වූ දෙය විස්තර කරයි. සටන ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී කුස කුමරු පැමිණ අභීත සිංහනාදයෙන් ගර්ජනය කර සටනට කැඳවූ බවත්, බියට පත් වූ සතුරු සේනා පලා ගිය බවත් ඔහු දන්වා සිටියි.

එවිට ම මෙන් මදුරජ කුස කුමරු කැඳවා ගෙන මාලිගයේ සඳලු තලයට එයි.

මදුරජ: ඔබ වහන්සේ අපේ ඉෂ්ට දේවතාව වගේ, අපිව මේ ලොකු අනතුරකින් ගලවා ගත්තා. ඔබවහන්සේගේ පිහිට ලබන්න අපි වටින්නෙ නෑ. නොදැනුවත්ව ම මගේ අතින් කෙරුණු වරදට ඔබ වහන්සේ සමාවුණා වගේ ම මේ මගේ දුවගේ අතින් වෙච්ච වරදටත් සමාවෙන්න. (පබාවතී කුස කුමරු ඉදිරියේ දණින් වැටේ. ඔහු ඇය ඔසවයි.)

කුස කුමරු: කාගෙ අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඒවාට සමාවෙන එක තමයි උසස් ගුණය. මගේ අතිනුත් වැරදි කෙරුණෙ නැතෙයි කියලා මම කියන්නෙ නෑ.

පබාවතී: ඔබවහන්සේට මම දිගටම වැරදි කළා. නමුත් ඔබවහන්සේ මට කළේ එක වරදයි.

කුස කුමරු: ඒ මොකක්ද?

පබාවතී: ඔබ වහන්සේ ජයම්පති කුමාරයත් එක්ක ඇතා පිටින් යනකොට මට විහිළු කළා. ඔබ වහන්සේ මම කියාපු වෙලාවෙ ආපහු ගියානම්, මේ තරම් දුක් විඳින්නෙ නෑ නේ.

කුස කුම‍රු: එතකොට මට මීට වඩා ලොකු දුකක් විඳින්න වෙනවා.

පබාවතී: නෑ, ඔබවහන්සේ ගියා නම් මම ආපහු එන්නයි හිටියෙ. ඔබවහන්සේ කොහොමද මාව දකින්නෙ නැතුව මගේ හැඩහුරුකමට රූපයක් නෙළුවෙ?

කුස කුමරු: සොඳුරගෙ රූපෙ මගේ හිතේ ඇඳිලා තියෙන්න ඇති මම උපදින කොටම. ඒක තමයි ඉබේම මගෙ අතින් ඒ විදියෙ රූපයක් නෙළුණේ.”

ජය පානය කිරීම පිණිස උත්සවයක් පැවැත්වීමට තීරණය කිරීමෙන් අනතුරුව තිරය වැසී හත්වැනි ජවනිකාව කෙළවර වී නාටකය නිමාවට පත්වෙයි.

වර්ෂ 1952 දී මුල්වරට වේදිකා ගත කෙරුණු පබාවතී වනාහි ඓතිහාසික කතා පුවතක් ස්වාභාවික සංවාද නාට්‍යයක ස්වරූපයෙන් මෙරට රඟ දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකියි. එහි රජවරුන්ගේත් බිසෝවරුන්ගේත් චරිත බොහෝවිට නිරූපණය කර ඇත්තේ සාමාන්‍ය පුරවැසියන් ලෙසිනි. “පබාවතී නාටකයෙහි ක්‍ෂත්‍රියන්ගේ සංවාද හොඳ වුවද ඇතැම් තැනකදී ඔවුන් ගැමියන්ගේ තැනට බස්සන තරම් ඒ සංවාද අරුතින් හා බසින් අනුචිත වීය” යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇත්තේ ද එහෙයින් යැයි සිතිය හැකිය.

පබාවතී නාටකයට පදනම් වනුයේ කුස ජාතකයේ කතා පුවතයි. ඊට ඇතුළත් චරිත නාටකයෙහි නිරූපණය කර ඇති ආකාරය විමසා බලනු වටී.

මූලාශ්‍රයවලට අනුව කුස කුමරු විවාහ වීමට මුලදී අකැමැති වීමට ප්‍රධාන හේතුව ඔහුගේ විරූප භාවයයි. නාටකයට අනුව විවාහ වීමට මුලදී අකැමැති වීමට ප්‍රධාන හේතුව විවාහය, සංගීත කලාව හා ප්‍රතිමා ශිල්පය ප්‍රගුණ කිරීමට බාධාවක් වීමයි. ඊට අමතරව තවත් හේතු තිබේ. එනම් රජ කෙනකු වූ විට නිදහස නැතිව යෑම, මහජන මතයට එකඟ වීමට සිදු වීම, යුද්ධ කිරීමට සිදු වීම, විරූප බව ආදියයි. කුස කුමරුගේ චරිතය නාටකයේ නිරූපණය කර ඇති ආකාරය ගැන සඳහන් කරමින් මාර්ටින් වික්‍රමසිංහ මෙසේ පවසයි.

“කුස කුමාරයාගේ චරිතයෙහි ගැඹුරු අරුත් පබාවතියගෙන් තරම් සියුම් ලෙස පැරණි සිංහල කාව්‍යයකින් පවා ප්‍රකට නොවීය.”

පබාවතීගේ චරිතය නාටකයේ නිරූපණය කර ඇති ආකාරය ගැන සඳහන් කරමින් කතුවරයා මෙසේ පවසයි.

“එහෙත් මේ නාටකයෙන් මා ප්‍රධාන වශයෙන් නිරූපණය කරන්ට තැත් කෙළේ පබාවතියගේ චරිතය ය. පබාවතියගේ චරිතය ගැටලු වූවක් නොවේ. එහෙත් අලගියවන්නයන් මෙන් ඇය තද සිත් ඇත්තියක කිරීමට මම නොසිතීමි. ඔහුගේ කෘතියෙහි පබාවතිය කුස කුමරු වෙත යන නමුදු, ඇය එසේ යන්නේ ඇය තුළ චිත්ත විපර්යාසයක් සිදු වූ නිසා නොව, ඇය මරණ භයින් භීත වූ නිසා ය. කව්සිළුමිණෙහි පබවතගේ චිත්ත විපර්යාසයක් දැක්වෙන නමුදු, මෙය ක්‍රමයෙන් සිදු වන්නක් නොවේ. මේ නාටකයෙහි, පබාවතියට ටිකින් ටික තම සැමියාගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ පෙනී යයි. ඔහු ගැන කිසිවක් කලින් නොදැන සිටි ඈ, තමා රවටනු ලැබුවේ යැයි වඩාත් කෝප වේ. ප්‍රයෝගයෙන් තමා වෙත විරූප නෝංජලයකු පවරන ලදැයි ඈ මුලදී සිතයි. එහෙත් රන් රුව පිළිබඳ පුවත අනාවරණය වූ විට ද, කුස කුමරුගේ නොයෙක් දස්කම් ඇය පසක් කළවිට ද ඇයගේ සිත ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙයි. ඔහුගේ ස්ථිර ප්‍රේමය ද ඇයට පෙනෙයි.”

පබාවතී නාටකයෙහි කතා පුවත තවදුරටත් විමර්ශනයට භාජන කරමින් කතුවරයා මෙසේ පවසයි:

“කෙනකු විසුළුව උපදින හොත්, ඔහු තුළ කෙතරම් ශ්‍රේෂ්ඨ ගුණාංග පිහිටිය ද ඔහුට අස්වැසුමක් නොලැ‍බේ. තනිකමෙන් තප්ත වූ ඔහුගේ හෘදය නමැති වාලුකා කාන්තාරයට මිනිස් කරුණාව නමැති වැහි බින්දුවක් ලැබෙන්නේ කලාතුරකිනි. කුස කුමරුගේ අභාග්‍යය මෙය ය. එය මෙලොව කවර රටක වුව ද කවර කලක වුව ද පැන නැ‍ඟිය හැකි තත්ත්වයකි.

කුස ජාතකය ඇසුරු කර ලියන ලද මේ නාටකයෙන් මා අදහස් කෙළේ, ඒ පැරණි කතාවේ සාර්වත්‍රික - සර්වකාලීන ලක්ෂණ රුවා දක්වා වර්තමාන රසිකයාගේ අත්දැකීමට සම්බන්ධ කර එයින් ආස්වාදයක් ලබා දීම ය. කෙනකුගේ ගතිගුණ ඔහුගේ බාහිර රූපයෙන් මැන ගැනීම වූ කලි මනුෂ්‍ය ස්වභාවයකි. එහෙත් එය මනුෂ්‍ය දුර්වලකමක් ද බව දත යුතුයි. බාහිර ලකුණුවල අනුසාරයෙන් කෙනකුගේ අභ්‍යන්තර ස්වභාවය ගැන තීරණය කිරීමෙන් බොහෝ විට අපි මුළාවෙහි වැටෙමු. චිර කාලයක් ඇසුරු කිරීමෙන් මිස කෙනකු හොඳින් හඳුනා ගත නොහැකිය. පිටස්තර රළු ගතිවලින් බොහෝ විට ඇතුළෙහි තිබෙන මොළොක් හදවතක් වැසී තිබේ. කුස ජාතකයෙහි හරය මෙය ය. එය සාර්වත්‍රික ය; සර්වකාලීන ය.”

කුස කුමරුගේ චරිතයත්, පබාවතී කුමරියගේ චරිතයත් පමණක් නොව සෙසු චරිතත් එනම් ඔක්කාක රජු, මදු රජු, සීලවතී බිසව හා කුදී යන අයගේ චරිතත් මූලාශ්‍රයවලට වඩා අර්ථවත් ලෙස හා ප්‍රාණවත් ලෙස නිරූපණය කිරීමට නාට්‍යයේ කතුවරයා සමත් වී තිබෙන බව අවසාන වශයෙන් කිව යුතුය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.