ආර්ථික නිදහස දිනා ගැනීමට නම්... | සත්මඬල

ආර්ථික නිදහස දිනා ගැනීමට නම්...

වර්තමානයේ රජයේ රැකියාවල කම්කරු, මුරකරු මෙන්ම සනීපාරක්ෂක කම්කරු වැනි තනතුරුවල පවා උසස් පෙළ සමතුන් පමණක් නොව කලා උපාධිධාරින් ද පත්වීම් ලබාගෙන ඇත.

රටක් ආර්ථික වෘද්ධිය තීරණය කරනු ලබන්නේ ‍යම් රටක සේවා නියුක්තිය විසිනි. සේවා නියුක්තිය තීරණය කරනු ලබන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය විසින් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රම බළකායෙන් කොතරම් ප්‍රමාණයක් ගුණාත්මක රැකියාවල යෙදෙනවා ද යන කාරණය මත ය. වේගයෙන් වෙනස් වන ලෝකයක වෙනස් වන තත්ත්ව හා ගැළපෙන අයුරින් ශ්‍රම බළකාය නිර්මාණය කර ගැනීමට අපොහොසත් වුවහොත් සිදු වන්නේ සේවා වියුක්තිය වර්ධනය වීමත් ඌන සේවා නියුක්තිය හෝ ගුණාත්මක නොවන සුදුසුකම්වලට සරිලන රැකියාවල යෙදීම නිසා ඔවුන්ට ද්‍රරිද්‍රතාවෙන් මිදීමට නොහැකි වෙයි. එසේම රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වීමේ අවස්ථාව මඟ හැරී යෑමයි. වර්තමානයේ රජයේ රැකියාවල කම්කරු, මුරකරු මෙන්ම සනීපාරක්ෂක කම්කරු වැනි තනතුරුවල පවා උසස් පෙළ සමතුන් පමණක් නොව කලා උපාධිධාරින් ද පත්වීම් ලබාගෙන ඇත. එසේම උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය ඉහළ මට්ටමක තිබියදී ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවල විශාල ශ්‍රම හිඟයක් පැවැතීම නිසා සමහර අංශ බිඳ වැටීමට ලක්ව ඇති බව පැවැසේ. මේ අනුව පැහැදිලි වන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් කිසිවිටෙකත් රටේ ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි සෘජුව දායක කර ගත හැකි ශ්‍රම බලකායක් නිර්මාණය නොකරන බවයි.

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක් සංවර්ධනය කරා යෑමට නම් ඉතාමත් ඉක්මනින් ආර්ථික නිදහස අත්පත් කර ගත යුතු වේ. මෑත කාලයේ සංවර්ධන වේගයක් අත්පත් කරගත් සියලු රටවල්වල හඳුනා ගත හැකි පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ආර්ථික බෙහෙවින් ස්වාධීනව හැසිරවීමට ඔවුන්ට හැකි වීමයි. යටත්විජිත වශයෙන් පැවැති රටවල් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස පවතින්නේ ඒ රටවල් බටහිර රටවල්වලින් දේශපාලන නිදහස අත්පත් කර ගත්ත ද ආර්ථික නිදහස දිනා ගැනීමට නොහැකි වීම නිසාවෙනි. ආර්ථික නිදහස උදෙසා මාවත ගොඩනැඟෙන්නේ යම් රටක අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය කරනු ලබන පුරවැසියා රටේ ආර්ථික ක්‍රියාවලියට දක්වන දායකත්වය මතයි. එහිදී සැලකිල්ලට යොමු කරන්නේ වෘත්තිය අධ්‍යාපනය බහුත්ව සමාජයක ගැටුම් අවම කර ගන්නා පුරවැසියා සතු දැනුම, ආකල්ප, කුසලතා සහිත බුද්ධි වර්ධනය පමණක් නොව සමාජ සංවර්ධනය සඳහා ද දායක වන සංකීර්ණ ක්‍රියාදාමයක නිරත වන පුරවැසියකු නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා යම් රටක් වසර 20 ක් 25 ක් අනාගතය ගැන සිතා අධ්‍යාපනය සැලසුම් කර යුතු වන්නේ ය. මිනිස් ජීවියා අධ්‍යාපනය ආරම්භ කරන්නේ මව් කුසයේදී ම බව තහවුරු කර ඇත. එමෙන්ම බුද්ධි වර්ධනයත්, ස්නායු පද්ධතිය වර්ධනය වීමත් කුඩා කාලයේදී ම සිදු වන නිසා පූර්ව ළමා වියේ සිට සිදු කරන අධ්‍යාපනය ඉතාමත් සැලකිල්ලෙන් සැලසුම් කළ යුතුය.

එසේම ආසියානු ආර්ථිකයේ අපට අයත් ස්ථානය වෙනුවෙන් සැලසුම් ඉලක්ක විය යුතු වෙයි.

රටක අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කැර දැක්වීම සංවර්ධිත රටවල ලක්ෂණයකි. එනම් සාමාන්‍ය අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපනයයි. සාමාන්‍ය අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයීක අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වශයෙන් කොටස් කෙරෙන අතර ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික අරමුණු වන්නේ සමබර පෞරුෂයකින් යුත් සන්නිවේදන කුසලතා දියුණු කර ගත්, රට සහ පුද්ගලයාගේ අනාගතය කෙරෙහි සුබවාදීව බැලිය හැකි පුරවැසියකු නිර්මාණය කර ගැනීම ය. ජපානයේ වැනි රටවල් පහේ පන්තිය තෙක් විභාග හෝ විෂයය මාලාවක් උගන්වනවාට වඩා පාසලේදී සිදු කරන්නේ පුරවැසි කුසලතා දියුණු කර ගැනීමට මඟ පෙන්වීමකි. මේ නිසා ජපන්නු බුද්ධිමත්, සුවතාවෙන් යුත් කරුණාවන්ත පිරිසක් වෙති. පින්ලන්තය වැනි රටවල් විභාගවලින් සම්පූර්ණයෙන් ඈත්වී පුද්ගල සංවර්ධනය ඉලක්ක කරගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය මෙහෙයවමින් සිටි මේ නිසා පින්ලන්තයේ ද්විතීයීක අධ්‍යාපනය යනු වෘත්තිය අධ්‍යාපනය වේ. දකුණු කොරියාව වැනි රටවල් ද තම අධ්‍යාපන ක්ෂේත්‍රය මැනවින් සංවිධානය කර ඇත. වෘත්තිය අධ්‍යාපනය ප්‍රධාන අංශ පහක් යටතේ සංවිධානය කර 11/12 ශ්‍රේණිවලදී සිසුන්ට වෘත්තිය විෂයයමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනාගත ශ්‍රමිකයාගේ පෞරුෂය ආකල්ප මෙන්ම අන්තර්පුද්ගල සබඳතා පැවැත්වීමේ හැකියාව සමඟ වෘත්තිය ‍ප්‍රවේශයක් ඇති කිරීම මත රටේ ආර්ථික සංවර්ධනය රඳා පවතින බව දන්නා බැවිනි. මේ නිසා දියුණු රටවල් අධ්‍යාපන ක්‍රමයෙන් සමාජගත කරන පුරවැසියා රට කෙරෙහි, එහි පුරවැසියන් කෙරෙහි ධනාත්මක ආකල්පයකින් යුක්ත වෙයි. එමෙන්ම ඔවුන් ශ්‍රම ඵලදායිතාව, කාලයේ ඵලදායිතාව මෙන්ම භූමියේ ඵලදායිතාව වර්ධනය කර ගනිමින් තම ආර්ථික ශක්තිය වර්ධනය කර ගන්නා ගමන් රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් උපරිම ලෙස දායක වෙයි. ඵලදායිතාව යනු පුරවැසියකුගෙන් ශ්‍රමිකයකුගෙන් බලාපොරොත්තු වන වැදගත් සංකල්පයකි.

හැත්තෑව දශකයේ ලංකාවට පැමිණි ඩඩ්ලි සියර්ස් සමාජ විද්‍යාඥයා පෙන්වා දුන්නේ ලංකාවේ ඇත්තේ විරැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නොව රැකියා සඳහා සුදුස්සන් නොමැති වීමේ ගැටලුවක් බවයි. ඒ තත්ත්වය අද දක්වා ම වෙනස් නොවී පවතින්නේ රැකියා සඳහා සුදුසු පුද්ගලයන් අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය නොකිරීම හේතුවෙනි. එහිදී වෘත්තිය පුහුණුවට අමතරව පුරවැසියා සතු මෘදු කුසලතා, ආකල්ප පුහුණුව මෙන්ම ශාරීරික යෝග්‍යතාව වැනි කරුණු ද සැලකිල්ලට ගනී.

ලංකාවේ අ.පො.ස උසස් පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත අයගෙන් සේවා වියුක්ති අනුපාතය වාර්තා වීමෙන් අධ්‍යාපනයේ ඇති මේ නොගැළපීම පෙන්වා දෙයි. මහ බැංකු වාර්තා පවා පෙන්වා දෙන්නේ ආර්ථිකයේ ශ්‍රම ඉල්ලුම සපුරාලීම සඳහා මානව සම්පත සංවර්ධනය කළ යුතු බවයි. අපේ මෙතෙක් සිදුකර ඇත්තේ රැකියාවක් සඳහා සහතිකයක් දීම පමණි. මේ නිසා සේවාලාභීන් අපේක්ෂා කරන පිරිපුන් ශ්‍රමිකයකු ලබාදීමට අධ්‍යාපන ක්‍රමය ඉතා ඉක්මනින් වෙනස් විය යුතුය. 1977 න් පසු ඇති වූ විවෘත ආර්ථිකයත් සමඟ වැඩි වූ රැකියා ඉඩ ප්‍රස්තා ග්‍රහණය කර ගැනීමට සමත් වෘත්තික නිපුනයන් අධ්‍යාපන පද්ධතියෙන් නිර්මාණය නොවූ නිසා වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් වෙන ම අමාත්‍යාංශයක ඇති කිරීමට සිදු විය. අප මහත් බලාපොරොත්තුවෙන් ඇති කළ නිදහස් වෙළෙඳ කලාප ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවෙ‍ළ අසාර්ථක වන්නේ පිරිපුන් ශ්‍රමිකයන් ලබාදීමට අපගේ අධ්‍යාපන ක්‍රමය අපොහොසත් වූ නිසාවෙනි. අපට වඩා සන්නිවේදන කුසලතාවක් සහිත ඉන්දියාව කෙරෙහි ආයෝජකයන් ඇදී යන්නේ ලාබ ශ්‍රමයට වඩා ඉන්දියානු ශ්‍රමිකයාගේ සන්නිවේදන කුසලතාවත්, ආකල්ප වෙනසත් නිසාවෙනි. ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය අනුගමනය කරන ඉන්දියානු අධ්‍යාපන ක්‍රමය, අන්තර්ජාතික භාෂාවත්, හින්දු භාෂාවත්, ප්‍රාන්ත භාෂාවත් සන්නිවේදනය කළ හැකි පුරවැසියන් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කරනු ලබයි. ‍කොරියාවට යෑමට කොරියානු භාෂා ප්‍රවීණතාවත්, ජපානයට රැකියාවක් සඳහා යෑමට ජපන් භාෂාවත් අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේ මේ නිසාවෙනි.

පින්ලන්තය, ස්විට්සර්ලන්තය වැනි රටවල සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයෙන් ම වෘත්තිය අධ්‍යාපනය සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි. මේ නිසා පාසලෙන් ඉවත් වන්නේ වෘත්තිමය කුසලතාවක් සහිත පුරවැසියෙක් බව එරට අධ්‍යාපන ක්‍රමය සහිතක වේ. හත හෝ අට වැනි ශ්‍රේණියකදී පවත්වන විභාගයකින් වෘත්තිය විෂයය ධාරාවටත් සාමාන්‍ය උසස් අධ්‍යාපනයටත් කම්කරුවකු ලෙස නුපුහුණු ශ්‍රමිකයකු ලෙස රැකියාවක් කරමින් ඉගෙන ගැනීමටත් අවස්ථාව ලබාදේ. මේ නිසා වයස 13/14 පමණ වනවිට තම අනාගත ඉලක්ක සමඟ ජීවිතය ගළපා ගැනීමට අවස්ථාව ලැබේ. අඩු වයසින් තම වෘත්තිය පෙලඹවීම සිදු වීම නිසා උපරිම කාර්යක්ෂමතාවකින් සහ කැමැත්තකින් රැකියාවල නිරත වීම බොහෝ ගැටලු අවම කරනු ලබයි. ලංකාවේ වෘත්තිය අධ්‍යාපය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය අධ්‍යාපනයෙන් බැහැරව පවතී. මේ නිසා බොහෝවිට වෘත්තිය සුදුසුකම් සඳහා එළැඹෙනු ලබන්නේ අ.පො.ස. සා.පෙ. අසමත් වීම හෝ උසස් පෙළ අසමත් වීම මතයි. මේ නිසා වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයට ඇතුළත් වන්නේ දක්ෂ බුද්ධිමතුන් පිරිසක් නොවේ.

ඕනෑ ම ක්ෂේත්‍රයක් ඉදිරියට යෑමට නම් ඒ ක්ෂේත්‍රයේ බුද්ධිමත් දක්ෂයන් ඇතුල් විය යුතු වෙයි. වෛද්‍ය වෘත්තිය ඉංජිනේරු වෘත්තිය රටේ වැදගත් වෘත්ති බවට පත් වන්නේ දක්ෂයන්ට විශ්වවිද්‍යාල හරහා උපාධි ලැබ වෘත්තිවලට එකතු වීමට හැකිවීම නිසාවෙනි.

හන්දෙස්ස ක්‍රමය, උඩුගම ක්‍රමය වැනි වෘත්තිය අධ්‍යාපනය පාසල්වලට ඇතුල් කිරීමේ උත්සාහයන් අතීතයේ වරින්වර අපේ පාසල් පද්ධතියට ඇතුල් කිරීමට උත්සාහ ගෙන තිබුණ ද ඒවා සාර්ථක නොවීය. එහෙත් තවමත් ලංකාවේ ශ්‍රම ඉල්ලුමට සරිලන පරිදි වෘත්තිකයන් බිහි කිරීමට අපේ රටේ වෘත්තිය අධ්‍යාපනයට හැකියාව ලැබී නොමැත. මේ නිසා වහාම සිදු විය යුත්තේ රටේ පාසල් පද්ධතියෙන් සෘජුව ම වෘත්තිය අධ්‍යාපනයට ප්‍රවේශයක් ඇති කිරීමයි. මේ වනවිට වෘත්තිය අධ්‍යාපනය වෙළෙඳ පොළ අවශ්‍යතා මත මැදිහත් වී විවිධාකාරයෙන් විවිධ මිල ගණන්වලට පාඨමාලා අලෙවි කිරීමයි. ඒ මඟින් රටක වෘත්තිය අධ්‍යාපනයක් දියුණු වේ යැයි විශ්වාස කළ නොහැක්කේ මේ පාඨමාලා ජනප්‍රියත්වය වෘත්තිය අවශ්‍යතා සමඟ නොගැළපෙන බැවිනි. රජයේ වෘත්තිය ආයතනවල පාඨමාලා හදාරන ප්‍රමාණය සහ ඔවුන්ගේ පාඨමාලා තෝරා ගැනීම ජනප්‍රිය තලයේ සිදු වන අතර වෘත්තිය අධ්‍යාපනය සඳහා පෙලඹවීම ඉතාමත් අල්ප ය. මෙයට හේතුව වන්නේ පාසල් අධ්‍යාපනය හමාර කරනවිට ඉතා ඉක්මනින් රැකියාවක් සඳහා හෝ ගැහැනු ළමයින්ට විවාහය සඳහා පෙලඹවීමක් හෝ ඇතිකර ඇති නිසාවෙනි. නැතහොත් කෙටිකාලීන ජනප්‍රිය වෘත්තිය පාඨමාලා හදාරා රැකියා විරහිතභාවයේ සිටීම සුලභ සිදුවීමකි. නිපුණතා සංවර්ධන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ප්‍රධාන ආයතන 12 ක් පාලනය වන අතර ඒවායේ පුහුණු මධ්‍යස්ථාන 357 ක් පමණ ලංකාව පුරා ක්‍රියාත්මක වුව ද, 2016 වසරේ පුහුණු අවස්ථා ලබාදී ඇත්තේ 109353 ක් වැනි පිරිසකි. එයින් බහුතරයක් ඉංග්‍රීසි, කොරියන් වැනි භාෂා මෙන්ම පරිගණක පුහුණුව වැනි පාඨමාලා වෙයි.

ලංකාවේ වෘත්තිය විෂයයන් අධ්‍යාපනයට දක්ෂයන් ඇතුළත් නොවන බවට ඇති හොඳම උදාහරණය වන්නේ වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් වූ නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යාංශය වෘත්තිය පුහුණුව සහතික කරන ප්‍රමාණයයි. එහිදි නිකුත් කරනු ලබන ජාතික වෘත්තිය සහතිකය හෙවත් NVQ සහතික ලබාදීම සිදු කරන තෘතීයීක සහ වෘත්තිය අධ්‍යාපන කොමිසන් සභාවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 වසර සඳහා NVQ 3 මට්ටම සඳහා සහතික 14753 ක් හා NVQ 4 සඳහා 6150 ලබාදෙන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු සිදු කරන NVQ ලෙවල් 5 සඳහා 1028 ක්, NVQ 6 සඳහා සහතික පත් ලබාදී ඇත්තේ 27 ක් සඳහා ය. මෙයින් පැහැදිලි වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව අවම මට්ටමක පවතින බවයි. දක්ෂ සිසුන්ට පාසල් පද්ධතියෙන් වෘත්තියම ය අධ්‍යාපනය සඳහා යොමු කිරීමක් කළ හැකි නම් මේ තත්ත්වය වෙනස් වනු ඇත. එසේම 2017 වසර සඳහා පර්යේෂණ යෝජනා ඉදිරිපත් වී ඇත්තේ 9 කි. මෙය සංවර්ධනය වෙමින් පවතින රටක සංවර්ධනයේ ඛේදවාචකයකි. රටක් ඉදිරියට යෑමට නම් ශාස්ත්‍රීය අංශයේ පමණක් නොව වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පර්යේෂණ ඉතාමත් වැදගත් වෙයි.

වෘත්තිය අධ්‍යාපනයේ අනෙක් ගැටලුව වන්නේ රාජ්‍ය අංශයේ වුවද, වෘත්තිය අධ්‍යාපනය ලබාදෙන ආයතන විශාල සංඛ්‍යාවක් පැවැතෙයි. නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු කිරීමේ අමාත්‍යාංශය යටතේ මෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජාතික තරුණ සේවා සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය වැනි විවිධ අමාත්‍යාංශ අධිකාරි, දෙපාර්තමේන්තු වෘත්තිය පුහුණුව ලබාදීමට කටයුතු කරන බව පෙනෙයි. එහෙත් ගැටලුව වන්නේ තවමත් රටට අවැසි ශ්‍රම ඉල්ලුමට සරිලන වෘත්තිය අධ්‍යාපනයක් නොලැබීමයි. වාර්ෂිකව තවත් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන විශාල ප්‍රමාණයක් වෘත්තිය පුහුණුව ලබාදීම සඳහා බලපත්‍ර ලබාදීම හා අලුත් කිරීම සිදු කරනු ලබයි. එහෙත් මේවායේ අතර ඇති විවිධත්වයත්, මනා සම්බන්ධීකරණයක් නොමැති වීමත්, නියාමනයක් නැතිවීමත් නිසා වෘත්තිය අධ්‍යාපනයේ විශාල ගැටලු රාශියක් නිර්මාණය කර ඇත. බොහෝ වෘත්තිය අධ්‍යාපනය ආයතන බිඳ වැටෙමින් පවතී. බිලියන ගණන් වටිනා උපකරණ සමහර කාර්මික විද්‍යාලවල නිකරුනේ දිරායමින් ඇත. මෙයට හේතුව වී ඇත්තේ පුහුණුව සඳහා සිසු - සිසුවියන් යොමු නොවීමයි.

මෙවැනි තත්ත්වයක් පවතින අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන හෙවත් වෘත්තිය ප්‍රවේශය යනුවෙන් වැඩසටහනක් නියාමන ව්‍යාපෘතියක්

 ලෙස, 2017 වසරේ පාසල් 47 ක ආරම්භ කරනු ලැබීය. මෙහි අරමුණ අ.පො.ස. සා.පෙළ අසමත් සිසුන් තවදුරටත් පාසලේ රඳවා ගෙන වෘත්තිය අධ්‍යාපනය ලබාදීමයි. නැතහොත් පාසල මඟින් වෘත්තිය ප්‍රවේශයක් ඇති කිරීමයි. මේ හරහා හඳුනා ගත හැකි ගැටලු රාශියකි. එකක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති බිඳ වැටීම තුළ මෙවැනි නව අත්හදා බැලීමක් සඳහා පරිසරය නිර්මාණය කළ හැකි ද යන්නයි. එමෙන්ම අකාර්යක්ෂම පරිපාලන ව්‍යුහයක් නඩත්තු කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලනය මේ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරයේ ස්වභාවයයි.

 

දෙවැන්න නම් වෘත්තිය පුහුණුව සඳහා අවැසි මානව හා භෞතික සම්පත් ඒකරාශී කිරීමට අමාත්‍යාංශයට හැකි ද යන්නයි. ගුරුවරුන්ගේ උසස්වීම්වල හිඟ වැටුප් ගෙවීමටත්, උසස්වීම් ලබාදීමටවත් නොහැකි අමාත්‍යාංශයක මූල්‍ය හැකියාව ප්‍රමාණවත් වේ ද යන්නයි. මේ අතර සමහර ජාතික පාසල්වල පවා තොරතුරු තාක්ෂණය කරන සිසුන් සඳහා සුදුසු ක්‍රියාකාරී පරිගණකයක් නොමැති බව වාර්තා වෙයි. වෘත්තිය අධ්‍යාපනයේ සාර්ථකත්වය රඳා පවතින්නේ පුහුණුව සහ රැකියා වෙළෙඳ පොළ සමඟ කරන ගනුදෙනුව මත වන නිසාවෙන් පාසල් රැකියා වෙළෙඳ පොළ සමඟ පවත්වන සබඳතාව හා විශේෂීකරණයක් සිදු වන්නේ ද යන්න ගැටලුවකි. අනෙක් ගැටලුව වන්නේ අසමත් සිසුන් වෙනුවෙන් වන පාඨමාලා අන්තර්ගතය පිළිබඳ ගැටලුවයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මඟින් වෘත්තිය ප්‍රවේශයක් නිර්මාණය නොකිරීම නිසා පාසලේත්, සමාජයේත් වෘත්තිය අධ්‍යාපනය පිළිබඳ ඇති කතිකාව බෙහෙවින් වෙනස් කළ යුතුව ඇත්තේ ඒ නිසාවෙනි. පාසල්වල අවු.13 ක් රඳවා ගැනීම සඳහා වෘත්තිය ප්‍රවේශයක් ඇති කිරීම අර්ථවත් කළ හැක්කේ දරුවන්ගේ අනාගත අපේක්ෂා පිළිබඳ සිහින උදා වන වයස 13 ත්, 15 ත් අතර කාලයේ ඔවුන්ට තම වෘත්තිය පිළිබඳ අවබෝධයක් සහ මාවතක් තනාදීම මඟිනි. පාසලේ වසර 13 ක් සහ තවත් අවස්ථා දෙකක් උසස් පෙළට පෙනී සිටින විට සිසුවා තරුණයකු වී ඇත. තරුණයන්ට අවශ්‍ය කරනුයේ ඉක්මනින් මුදල් සෙවිය හැකි මාර්ග ය. මේ නිසා සමාජ අපචාර පමණක් නොව අපරාධ, දූෂණ, මත්ද්‍රව්‍ය වැනි දේ බහුල වීම වැළැක්විය නොහැකිය. ලංකාවේ ත්‍රීවීලර් රියදුරන් ලක්ෂ 14 ක් නිර්මාණය වන්නේ මේ පරිසරයේ ය. මේ නිසා අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති පුපුරා ගිය පදනමේ ගැටලු වැසීමට පැලැස්තර අලවනවාට වඩා දැන් කළ යුත්තේ ඉදිරි වසර 20 ක් 25 ක් ඉලක්ක කර ගනිමින් අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර ගැනීමයි. ඒ මඟින් අපේ ආර්ථික පිළිවෙත කුමක් ද? ඒ සඳහා කොපමණ පර්යේෂකයන් සැලසුම්කරුවන්, තාක්ෂණවේදීන්, කළමනාකරුවන් හා පුහුණු ශ්‍රමිකයන් පිරිසක් අවශ්‍ය ද යන්න මත අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතු වෙයි. රටක ආර්ථික නිදහස දිනාගත හැක්කේ මෙවැනි සැලසුමකින් පමණි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.