සංස්කෘතික ඉතිහාසයේ බුද්ධිමය කියැවීම | සත්මඬල

සංස්කෘතික ඉතිහාසයේ බුද්ධිමය කියැවීම

19 වැනි සියවසේදී යුරෝපයේ සහ ඇමෙරිකාවේ කාර්මික ධනවාදයේ වර්ධනය නිසා ඇති වූ වෙනස්කම් පිළිබඳ අමනාපයෙන් සිටි ඇතැම් චින්තකයන්, කලාකරුවන් සහ දාර්ශනිකයන් බුදු දහම වෙත ආකර්ෂණය වූ බව පෙනෙයි.

බුදුදහම ගැන ගැන අපි බොහෝ දේ දනිමු. කුඩා කල සිට බෞද්ධ සංස්කෘතියක් තුළ හැදී වැඩීමෙනුත්, කුඩා කල සිට දහම් පාසලේදීත්, පාසලේදීත් බුදු දහම නැවත නැවතත් ඉගෙනීමෙනුත් අපට බුදු දහම ගැන සැලකිය යුතු අවබෝධයක් ඇත. අපගේ ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදී පමණක් නොව, සෑම පෝය දවසක ම, ප්‍රධාන රාජ්‍ය උත්සව පැවැත්වෙන සෑම විටෙක ම බුදු දහමට අයත් යම් යම් දේ අසන්නට ලැබේ. බුදුන් වහන්සේ විසින් පසක් කරන ලද ගැඹුරු සත්‍යය අපට අවබෝධ වී ඇතැයි ඉන් අදහස් නොවේ. මේ රචනය මගේ නමින් පළ කිරීමෙන් ම පෙනෙන්නේ මගේ මමත්වයයි. එය ම පවා බුදුන් වදාළ දහමට එරෙහි වීමකි.

අපට ඉබේ ම මෙන් උරුම වී ඇති බුදු දහම සහ සංස්කෘතිය ලෝකයට අනාවරණය වූ ආකාරය සිත් ගන්නා කතාවකි. 17-18 ශතවර්ෂවල බුදු දහම සොයා ගැනීමට තැත් කළ ඇතැම් යුරෝපීය ජාතිකයෝ සිය ජීවිතය ඒ වෙනුවෙන් පූජා කළහ.

එසේ ජීවිත පරිත්‍යාගයෙන් බුදු දහම සෙවූ ඇතැම් යුරෝපීය ජාතිකයන්ට හමු වූ දේ නිසා ඇතැම් ඉන්දියානුවන්ට පවා තමන්ගේ රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ චින්තකයකු ගැන දැන ගැනීමට හැකි විය. ‘An End to Suffering’ නමින් පංකජ් මිශ්රා ලියූ පොත බුදුදහම ගැන මෑතකදී ලියැවුණු රමණීය ග්‍රන්ථයකි. එය හුදෙක් බුදුදහම ගැන පොතක් නොවේ. බුදුදහම කේන්ද්‍ර කරගත් සංස්කෘතික ඉතිහාසය ගැන ළ ගන්නා පොතකි. අන්තර්-සංස්කෘතික අවබෝධය මේ යැයි පෙන්වන දර්පනයක් වැනි ග්‍රන්ථයකි. ඉන්දියානුවකු වන පංකජ් මිශ්රාට බුදුන් වහන්සේ ගැන දැන ගැනීමට විසි වැනි සියවස අගදී පමණ ඇති වූ කුතූහලය නිසා 18 සහ 19 වැනි සියවස්වල බුදුන් කවුදැයි යන්න ගැන සෙවූ යුරෝපීය ජාතිකයන් කිහිපදෙනකුගේ ජීවිතය ගැන දැනගන්නට ලැබේ. මනුෂ්‍යයන් එකිනෙකාගේ සංස්කෘතිවලින් ඉගෙනීමට තැත් කිරීම පිළිබඳ රසවත් කතාවක් ඒ තුළ අඩංගු වන නිසා අප ද ඒ කතාව වෙත අවධානය යොමු කිරීම උචිත ය. දකුණු ආසියානු සංස්කෘතික ඉතිහාසය ගැන වැදගත් කතාවක් ද එහි අඩංගු වන බැවිනි.

19 වැනි සියවසේදී යුරෝපයේ සහ ඇමෙරිකාවේ කාර්මික ධනවාදයේ වර්ධනය නිසා ඇති වූ වෙනස්කම් පිළිබඳ අමනාපයෙන් සිටි ඇතැම් චින්තකයන්, කලාකරුවන් සහ දාර්ශනිකයන් බුදු දහම වෙත ආකර්ෂණය වූ බව පෙනෙයි. එය ගැඹුරු අවබෝධයකින් යුතු ආකර්ෂණයක් නොවී යැයි තර්ක කරන අය ද සිටිති. කෙසේ වෙතත් 19 වැනි සියවසේදී පමණක් නොව විසි වැනි සියවසේ මුලදී ලොව ප්‍රකට වූ ඇතැම් චින්තකයෝ බුදු දහම ගැන ප්‍රසාදයෙන් කතා කළහ. ශෝපන්හවර් සිය ජීවිතයේ අවසාන කාලයේදී බුදු දහම අගය කළේය. වාග්නර් බුදුන් වහන්සේ ගැන ඔපෙරාවක් ලියන්නට සැලසුම් කර තිබුණේය.

 

 හෙන්රි ඩේවිඩ් තෝරෝ ලෝටස් සූත්‍රය ප්‍රංස පරිවර්තනයකින් ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. හර්මන් හෙස බුදුන්ගේ චරිතය කේන්ද්‍ර කරගෙන නවකතාවක් ‘සිද්ධාර්ථ’(1922) නමින් ලිව්වේය. නීට්ෂ තමාගේ අවසන් පොත්වලදී ක්‍රිස්තියානියට පහර දෙන විට කිතු දහම සහ බුදු දහම සැසඳුවේය. ප්‍රකට ජර්මානු කිවි රේන මරියා රිල්ක තමා යන යන තැන කුඩා බුද්ධ ප්‍රතිමාවක් රැගෙන යන්නට පුරුදුව සිටියේය. ප්‍රංස මානව විද්‍යාඥ ක්ලෝඩ් ලුවී ස්ට්‍රාවුස් සිය මතක පොත වන ‘Tristes Tropiques’ (1955) කෘතිය අවසන් කළේ “බෝ ගහ යට භාවනා කර, බුද්ධත්වය ලත් මුනිවරයා සොයා ගත් ප්‍රඥාවට” සාපේක්ෂව තමා නිර්මාණය කළ දැනුම ඉතා අල්පයක් බව කියමිනි. එය බුදුන්ගේ ප්‍රඥාවේ විශාලත්වය සේම ලුවී-ස්ට්‍රාවුස්ගේ නිහතමානිත්වයේ විශාලත්වය පෙන්වන කියුමකි. නූතන මානව විද්‍යාවට ලුවී-ස්ට්‍රාවුස් කළ දායකත්වය අනුස්මරණීය ය.

බුදුදහම ගැන යුරෝපීය උනන්දුව සෑම විටෙක ම සාධනීය වූවක් ම නොවීය. නීට්ෂෙ පවා බුදුදහම මිනිසා අකර්මණ්‍ය කරවන ශූන්‍යතාවාදයක් සේ සලකා යුරෝපය ඒ වෙත ආකර්ෂණය වීම භයානක යැයි සිතුවේය. රුසියානු කවි ඔසිප් මැන්ඩෙල්ස්තම් 1922 දී ලියූ ලිපියකින් තර්ක කළේ බුදු දහම “ක්‍රියාකාරී ප්‍රජානනය” හෙවත් ආයාසයෙන් දැනුම සපයා ගැනීමට දායක නොවන්නක් බව ය. 19 වැනි සියවසේ යුරෝපීය බුද්ධි ප්‍රබෝධ චින්තකයන්ගේ විචාරාත්මක දර්ශනවලට සාපේක්ෂව මැන්ඩෙල්ස්තම් බුදුදහම දුටුවේ බුද්ධි විරෝධී ආගමක් ලෙස ය. ඔහු මේ නිගමනයට එන්නට පාදක කරගත් ලේඛන මොනවා ද යන්න අපි නොදනිමු. පංකජ් මිශ්රා දකින හැටියට නම් 1920 ගණන් වන විට මැන්ඩෙල්ස්තම්ට බුදු දහම ගැන නියම අවබෝධයක් ලබාගැනීම පහසු කරවන තරම් පොතපත යුරෝපීය භාෂාවලින් ලියැවී නොතිබිණි.

මේ රචනයේදී මගේ අවධානය යොමු වන්නේ බුදුදහම නමැති ප්‍රපංචය සමඟ යුරෝපීයන් ගැටුණු සංස්කෘතික ඉතිහාසය වෙත සිංහල පාඨකයාගේ ද අවධානය යොමු කිරීමට ය. එය බුද්ධිමය ඉතිහාසය පිළිබඳ අපූරු කතාවක් ද වන බැවිනි.

චීනය, කොරියාව, තායිලන්තය, බුරුමය, ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් ආසියානු රටවල් සංචාරය කළ යුරෝපීය ලේඛකයෝ 1820 ගණන්වලදී පමණ “Buddhism” යන වචනය නිපද වූහ. බුදුන්ගේ ඉගැන්වීම යුරෝපීයන්ට ඇස ඉදිරියෙහි ismඑකක් වූයේ ඉන් පසුව ය. 1844 වර්ෂයේදී කොලීජ් ඩි ෆ්‍රාන්ස්හි විද්වතකු වූ ඉයුජීන් බර්නෆ් පළ කළ කෘතියක් බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳ සම්පූර්ණ හැඳින්වීමක් යුරෝපීය බසකින් ඉදිරිපත් කරන්නට තැත් කළ පළමු අවස්ථාව විය. ඒ පොත ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර ගියේය. ඒ වසරේදී ම ඒ පොතෙහි කොටස් ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇමෙරිකාවේ පළ විය. ඒ ඉමර්සන් සහ තෝරෝ ආරම්භ කළ ‘The Dial’ සඟරාවෙහි ය. මෙසේ බුදු දහම පිළිබඳ යුරෝපය සහ ඇමෙරිකාව වෙත යන ගමන මුලින් ම ආරම්භ කළ යුරෝපීය රචකයන් සහ සංචාරකයන් අතර වූ කිහිපදෙනකු බුදු දහම සොයා ගැනීම සඳහා කළ වෙහෙස ඉගෙනීමට ආසා ඇති, කාගෙත් හදවත් උණුසුම් හැඟීමෙන් පුරවාලයි.

එසේ ඉන්දියාවේ දුෂ්කර පළාත්වල සංචාරය කරමින් බුදුදහම සෙවූ, ඒ නිසා ම “බුඩිසම්” යන විෂයය නිර්මාණය කිරීමට දායක වූ අය අතර කෙනෙකි, වික්ටර් ජැක්මන්ට්, ඔහු පැරීසියේ සිට ඉන්දියාවේ ස්වාභාවික ඉතිහාසය අධ්‍යයනය කරන්නට ආ තරුණ ජීව විද්‍යාඥයෙක් විය. 1820 ගණන්වලදී ඉන්දියාවේ හිමාල අඩවියේ කුඩා ප්‍රදේශයක් වූ සිම්ලාහි සංචාරය කළ ජැක්මන්ට් නිතර පාහේ ප්‍රංසයේ සිය පවුල වෙත ලියුම් ලිව්වේ ය. ඔහුගේ ලියුම් Letters From India නමින් 1834 දී පළ විය. ඒ ලියුම්වල බුදුදහම සොයා ගැනීමට දායක වූ තවත් යුරෝපීයයන් ගැන රසවත් සිත් ගන්නා තොරතුරු ඇත.

1828 දී වනවිට තාමත් වයස අවුරුදු තිහවත් එළැඹ නොතිබුණු ජැක්මන්ට් ඉන්දියාවට ආවේ ය. එවිට ඉන්දියාව පාලනය කළේ ප්‍රංස ජාතිකයන්ගේ දේශපාලනික සතුරකු වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් ය. බ්‍රිතාන්‍යයන් ඉන්දියානු සාගර කලාපයේ බලය අල්ලා ගැනීමේදී ඔවුන්ගේ බලසම්පන්න තරගකාරයන් අතර ප්‍රංසය ද සිටියේ ය. ප්‍රංස ජාතික ජැක්මන්ට් බ්‍රිතාන්‍ය යටත් විජිත අගනගරය වූ කල්කටාව වෙත එන්නේ ඒ ඉතිහාසය දැනගෙන ය. එනම් ඔහු එන්නේ මිතුරු දේශයකට නොවන බව ඔහු දැන සිටියේ ය. කල්කටාවේදී ඔහු බරණැසින් පැමිණි බ්‍රාහ්මණයකුගෙන් හින්දුස්ථානි භාෂාව උගත්තේ ය. ඉන්දියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරයා වූ බෙන්ටින්ක් ආදිපාදවරයා සමඟ ද මිතුදමක් ඇති කර ගත්තේ ය. ඉන්දියාවේ විවිධ පළාත්වල සිටි බ්‍රිතාන්‍ය යටත්විජිත නිලධාරීන්ට තමා කවුදැයි පහදන “හඳුන්වාදීමේ ලියුම්” මාලාවක් ද ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ගත් ජැක්මන්ට් උතුරු ඉන්දියාව බලා පිටත් වූයේය. ඒ 1829 දී ය. 1930 ජූනි මාසයේදී ඔහු හිමාල අඩවියේ සිම්ලා වෙත ළඟා විය.

ඒ වනවිට සිම්ලා අඩවිය පාලනය කළේ සී. පී. කෙනඩි නම් කපිතාන්වරයෙකි. ඔහුට අතිවිශාල බලයක් තිබිණි. ඔහු සහ තවත් හුදෙකලා අවිවාහකයන් පිරිසක් වූ යටත් විජිත නිලධාරීහු තමන් අතරට අලුතින් ආ ප්‍රංස ජාතිකයා සාදරයෙන් පිළි ගත්හ. ආණ්ඩුකාරයාගෙන් ලියුම් ද රැගෙනා පැමිණි තරුණ ප්‍රංසකාරයා සැක කරන්නට හේතුවක් ද නැත. ජැක්මන්ට එහිදී ලැබුණු සැපවත් කුමාර ජීවිතය ගැන ඔහු ප්‍රංසයට යැවූ ලියුම්වල සඳහන් වෙයි. එහෙත් ඔහුගේ සැලැස්ම වූයේ හිමාලය අඩවිය අභ්‍යන්තරයට ගොස් ඉන්දියාව ගවේෂණය කිරීම ය. මාස කිහිපයකට පසු ඔහු ඒ ගමන නික්මුණේ ය. ගුර්කා සොල්ලාදු කණ්ඩායමක් ද සමඟ ඔහු ටිබෙටයේ දේශසීමාව කරා යන්නට වූයේ ය. එහිදී ඔහුට බුදුන් මුණ ගැසුණේ ය.

“ඉන්දියාවේ අනෙක් ප්‍රදේශවල බ්‍රහ්මයාට පිදෙන සුවඳ දුම්වලා මේ ප්‍රදේශයේදී බුදුන් විසින් සොරා ගැනේ”

යැයි ඔහු සිය පියාට යැවූ ලියුමක ලා කීය.

තමන්ට බුදුන් දකින්නට ලැබිණියි ජැක්මන්ට් ලියූ නමුත් 1830 ගණන් වනවිටත්, ඉස්ලාම්කරණයට පෙර ඉන්දියාවේ ආගමික නටඹුන්, අශෝක අධිරාජ්‍යයා කර වූ මහා ස්තූප, ඇෆ්ඝනිස්ථානයේ පිහිටි ග්‍රීක සහ ඉන්දියානු ලක්ෂණ දෙක ම රැගත් බුද්ධ ප්‍රතිමා ආදී සියල්ල එක්කෝ ඝන වනයෙන් නැතිනම් පස්වලින් වැසී තිබුණේ ය. අපි ජැක්මන්ට පෙර බුදුදහම සොයන්නට දායක වූ යුරෝපීය මනුෂ්‍යයන් කිහිප දෙනකු ගැන සැකෙවින් සලකා බලමු. ගන වනයෙන් සහ ඝන පස් තට්ටුවලින් වැසී පැවැති බෞද්ධ නෂ්ටාවශේෂ හමුවන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පුරාවිද්‍යා ගවේෂණ සමඟිනි. ඒ ගවේෂණවල ආරම්භයට විලියම් ජෝන්ස්ගේ දායකත්වය ගැන අපි හොඳ හැටි දනිමු. නඩුකාරයකු වූ විලියම් ජෝන්ස් 1774 වර්ෂයේදී බෙංගාලයේ ආසියාතික සංගමය පිහිට වූයේ ය. භාෂා විසි අටක් උගත් ඔහු ග්‍රීක භාෂාව සහ සංස්කෘත අතර සමානකම් හඳුනා ගත්තේ ය. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජේම්ස් ප්‍රින්සෙප් බ්‍රාහ්මී අක්ෂර මාලාව මුල්වරට කියැවූයේ ය. ඉන්දියාව පුරා විසිර තිබූ නොයෙක් ශිලා ලේඛන ඒ නිසා කියවා ගන්නට හැකි විය. එහෙත් තමන් පාලනය කරන යටත්විජිතයේ ඉතිහාසය සෙවූ සෑම යටත් විජිත නිලධාරියා ම ඉන්දියානු ශිෂ්ටාචාරය ගැන ගෞරවයක් ඇත්තෝ නොවූහ.

සමහරු මංකොල්ලකාරයෝ වූහ. සමහරු කලාවිහීන නරුමයෝ වූහ. ඒ සමහරු ඉන්දියානු සංස්කෘතික ස්මාරකවලට කළ හානිය ඒවා ගිලගෙන සිටි වනාන්තරය ද මහපොළොව ද කළ හානියට වැඩිය.

එහෙත් විලියම් ජෝන්ස් සහ ජේම්ස් ප්‍රින්සෙප් වැනි අය ඉන්දියාව තුළ ග්‍රීසියේ සහ රෝමයේ පැවැතියාක් වැනි ශිෂ්ටාචාරයක කතාව සැඟව ඇති බව විශ්වාස කළහ.

1820 වර්ෂයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයකු වූ ඊ. ෆෙල් මධ්‍යම ඉන්දියාවේ වනාන්තරය මැද සැඟ වූ තිබුණු සාංචි ස්තූපය සොයා ගත්තේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.