භාෂා විචිත්‍රත්වයෙන් රමණීය වන කාව්‍ය | සත්මඬල

භාෂා විචිත්‍රත්වයෙන් රමණීය වන කාව්‍ය

ලේඛන ව්‍යවහාරය සඳහා ද පරිමිත භාෂා ස්වරූපයක් පවතින බැව් අප විසින් අමතක නොකළ යුත්තකි. තම නිර්මාණවලදී ගජමන් නෝනා කථන ව්‍යවහාරය සේම ලේඛන ව්‍යවහාරයෙන් ද පරිසේවිත ය.

සාහිත්‍යකරුවා විසින් ස්ව චිත්ත්‍යාභ්‍යන්තරයෙහි ගොඩනැඟුණු ප්‍රනිශ්ච සහෘදයා වෙත සම්ප්‍රේෂණය කිරීමෙහි ලා භාෂාව නම් වූ සන්නිවේදන උපකරණය භාවිත කරනු ලබයි. සිංහල භාෂාව ලේඛනය හා කථනය වශයෙන් ද්විරූප වුවත් නිර්මාණකරණයේදී කථන ව්‍යවහාරය ද උපචිත ය. නිර්මාණාත්මක භාෂාව පුද්ගල බද්ධ වූවකි. නිර්මාණාත්මක භාෂාවෙහි පවතින මේ පුද්ගලබද්ධ බව සමාජ වාග්විද්‍යාත්මකව වැදගත් වෙයි. මන්දයත් ඒ මඟින් නිර්මාණකරුවා ජීවත් වන හෝ ජීවත් වූ සමාජ පරිසරය මනා කියැවීමට ලක්කළ හැකි හෙයිනි. සමාජ වාග්විද්‍යාවේ සහ සාහිත්‍ය නිර්මාණකරණයේ පවතින මේ ඒකාබද්ධ වීම ඇසුරෙන් යම් පඨිතයක් බහුවිධ කියැවීම්වලට ලක්කළ හැකි සේම එය නව්‍ය පර්යේෂණ සඳහා වාග්වේදීන්ට මංපෙත් එළිපෙහෙළි කර දෙයි.

නිර්මාණකරුවකුට හුදෙක් ප්‍රතිභාව පමණක් ම ප්‍රමාණවත් නොවේ. ඔහු තුළ භාෂාව සම්බන්ධව පවතින දැනුම ද අතිශය වැදගත් වෙයි. මන්දයත් භාෂාවෙන් විනිර්මුක්තව සාහිත්‍ය නිර්මාණයක් බිහි නොවන හෙයිනි. භාෂාව සම්බන්ධව පවතින දැනුම ඔස්සේ ස්වකීය නිර්මාණයට යම් නව්‍යතාවක් ලබාදීමේ ශක්‍යතාව ද නිර්මාණකරුවා සතු වෙයි. ඇතැම් අවස්ථාවලදී නිර්මාණකරුවාගේ මැදිහත් වීමකින් විනිර්මුක්තව භාෂාව සම්බන්ධව සවිඥානිකව පවතින දැනුම ද නිර්මාණට ප්‍රවිශ්ට වෙයි. එමෙන්ම තවත් විටෙක නිර්මාණකරුවා උපක්‍රමශීලීව භාෂාව භාවිත කරයි. මේ ආකාරයෙන් විවිධ භාෂා භාවිත ඔස්සේ සාහිත්‍යකරුවා සමාජය සම්බන්ධ වෛචිත්‍ර ගොඩනඟයි. මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ නිර්මාණකරණයේදී භාෂාව උපයුක්තව සමාජය සම්බන්ධ වෛචිත්‍ර ගොඩනඟන ආකාරය පිළිබඳ ය. එහිදී අධ්‍යයන සීමාව ලෙස මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ කාව්‍ය භාෂාව සහ ගජමන් නෝනාගේ කාව්‍ය භාෂාව උපයුක්ත ය. මෙය වනාහි සමාජීය භාෂා අධ්‍යයනයක් සේ ම සාහිත්‍යයික භාෂා අධ්‍යයනයක් ද වෙයි.

විලියම් බ්‍රයිට් ප්‍රකාශිත ආකාරයට කිසියම් භාෂා සමාජයක රූපිත විවිධතා කරුණු ත්‍රිත්වයක් ඔස්සේ පැහැදිලි කළ හැකිය. එනම්

1. භාෂකයාගේ සමාජ තත්ත්වය

2. ඇමතුම ලබන්නාගේ හෝ කතාවට පාත්‍රවන්නාගේ සමාජ තත්ත්වය

3. භාෂාමය කාර්යයට පසුබිම් වන සමාජ පරිසරය

භාෂකයාගේ සමාජ තත්ත්වය සම්බන්ධව අවධානය යොමුකිරීමේදී වැදගත් වනුයේ භාෂකයා තමා වෙසෙන ප්‍රදේශයේ ව්‍යවහාර යොදා ගැනීම සේ ම භාෂකයා ස්ව සමාජ තරාතිරමට අනුකූල වන්නා වූ ව්‍යවහාර යොදා ගැනීමයි. මොණරාගල ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ භාෂා ව්‍යවහාරය, බස්නාහිර පළාතෙහි වෛද්‍යවරයකුගේ භාෂා ව්‍යවහාරයට වඩා වෙනස් වීම නිදර්ශනයක් ලෙස ගත හැකිය. එහිදී සමාජ තරාතිරමත් ප්‍රාදේශීය විසමතා ඔහුගේ පුද්ගල භාෂණය කෙරෙහි බලපා තිබේ.

සමාජ තරාතිරම - ප්‍රාද්ශීය විසමතා = පුද්ගල භාෂණය

ඉහත වාග් සමීකරණය මඟින් එය ගම්‍යමාන වෙයි. ඇමතුම ලබන්නාගේ හෝ සාකච්ඡාවට බඳුන් වන්නාගේ සමාජ තත්ත්වය ද භාෂා ව්‍යවහාරයේදී වැදගත් වෙයි. සමාජයේ ගරු කටයුතු පුද්ගයකු පිළිබඳව තවත් අයෙක් සමඟ කථනයේදී අප වාග් ස්වරූපය ආචාරශීලී වන අතර පහත් සමාජ ස්තරයක සිටින අයකු සමඟ කථනයේදී වාග් ස්වරූපය විපරිවර්තනයට ලක් වෙයි.

විලියම් බ්‍රියිට්ට අනුව භාෂාමය කාර්යයට පසුබිම් වන සමාජ පරිසරය ද භාෂා භාවිතයේ විසමතා පැවැතීමට හේතු වෙයි. සමාජවිද්‍යා පර්යේෂණයක නියැළෙන්නකු ස්ව පර්යේෂණ සඳහා අන්‍යෝන්‍ය සන්නිවේදනයේදී උපයුක්ත භාෂාව උපහැරණයක් ලෙස දැක්විය හැකිය. උක්ත සාධක සමඟ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ සහ ගජමන් නෝනාගේ පද්‍ය නිර්මාණ ආශ්‍රිත භාෂාව විශ්ලේෂණාත්මකව පිරික්සිය හැකිය. මේ කිවිඳියන් දෙදෙනාගේ ම නිර්මාණවල උපයුක්ත භාෂාවෙහි මුඛ්‍ය විසමතාවක් දර්ශනය වෙයි. ගජමන් නෝනා සිය නිර්මාණ රචනයේදී බොහෝවිට වස්තු විෂයය කර ගනුයේ සැබෑ ජීවිතයයි. එහිදී නිර්මාණාත්මක භාෂාව උපචිත ආත්ම කථනයක් සිදු කිරීම උදෙසා ය. එහෙත් මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ නිර්මාණවල භාවිත භාෂාව මඟින් කිසියම් සමාජ සංකථනයක් සිදු වෙයි. මොනිකා රුවන් පතිරණ කිවිඳිය ස්වීය කාව්‍ය කෘතියක ගජමන් නෝනා සම්බන්ධව සිදු කරන හඳුන්වා දීම ඊට සාක්ෂි දෙයි.

“වැඩවසම් සමාජ පසුබිමක එදා ගතකළ ජීවිතයට වඩා අද කාන්තාවගේ ජීවිතය සංකීර්ණ ය. ඇගේ ප්‍රශ්න ද ව්‍යාකුල වෙමින් පවතී. අනෙක් අතින් ඇගේ උගත්කම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ නැඟ ඇත. කාන්තාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් ඇයගේ ජීවිතය දෙස සියුම්ව එබී බලමින් රචිත කාව්‍ය රචනා සමූහයක් මෙහි අඩංගු ය.”

ගජමන් නෝනා වනාහි යටත් විජිතවාදී සමාජ පරිසරයක ජීවත් වූ කාන්තාවකි. මොනිකා රුවන් පතිරණ කිවිඳිය නියෝජනය කරන්නේ පශ්චාත් යටත් විජිතවාදී සමාජ තලයකි. එමෙන්ම ගජමන් නෝනා හිටිවන කවියට ද බුහුටි වූ ස්ත්‍රියකි. ඇගේ නම කොරණේලියා වුවත් ඇය ගජමන් නෝනා යන නාමයෙන් හැඳින්වූයේ පියා ගජමන් ආරච්චි වූ හෙයිනි. එවක නෝනා යනුවන් හැඳින්වූයේ ද ලන්දේසි විලාසිතාවලට අනුව සැරසුණු උසස් කාන්තාවන් ය. එකී ආමන්ත්‍රණ පදයම ගජමන් නෝනා සම්බන්ධ අපූර්ව සමාජමය කියැවීමකට අප යොමු කරවයි. විලියම් බ්‍රයිට් විසින් සූචනය කරන ලද ප්‍රස්තුත මෙහිදී සුවිශේෂ වෙයි.

සමාජ ව්‍යුහයේ යම් පුද්ගලයකු ගත කරන වයස් සීමාව ද ඒ පුද්ගලයාගේ වාග්කෝෂය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරයි. ගජමන් නෝනා ස්වීය නිර්මාණාත්මක භාෂාව අනුසාරයෙන් රෝෂය ප්‍රකාශ කරන ආකාරය ඊට නිදසුන් දෙයි.

ගජමන් නෝනා කුඩා අවධියේදී ඇගේ කළය, මාමා කෙනකු විසින් සඟවනු ලබයි. ඇය කුපිත වනුයේ පහත අයුරෙනි.

“පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ

වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ

අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ

ගෙදර යන්න දෙනව ද මගෙ පුංචි කළේ”

එහෙත් ගජමන් නෝනා වැඩිහිටි ගැහැනියක වූ මතු භාවිත භාෂාව මඟින් ඇගේ කුපිත බව රූපණය වනුයේ විසම අයුරෙනි. ඇය තම ඥාතියකුට සරදම් වශයෙන් ප්‍රකාශිත පැදියකි පහතින් වනුයේ.

“කාත් නැති අපට මේවා හරිද අ නේ

මාත් අරන් මගෙ දුව ගත්තු හිමිය නේ

ඈත් තමුසේට දුව නොවෙද දෙවිය නේ

ආත්තත් අරන් පලයන්න ගජම නේ”

ජීවිත අවධි ද්වයක පුද්ගල භාෂණයේ විධි ක්‍රියා භාවිතයේ පවතින වෙනස මින් කැපී පෙනෙයි. කුඩා අවධියේදී ඇය දෙන්න යන විධි ක්‍රියාව පවා සෘජු ලෙස භාවිත නොකරයි. එයට ද කාරාර්ථය ඒකාබද්ධ කරමින් ප්‍රශ්නවාචී ස්වරූපයෙන ්ගෞරවයෙන් ඉල්ලීක් සිදු කරයි. කුඩා අවධියේදී ගජමන් නෝනාගේ චිත්තය සැකසී ඇත්තේ අපරිණත ආකාරයට ය. ඇය ඒ අවධියේ වෛරය, ක්‍රෝධය වැනි හැඟීම් නියමාකාරයෙන් අත්දැක නැත. ඇය සමාජයට අනුවර්තනය වෙමින් සිටින්නියකි. එහෙයින් සමාජ ක්‍රියාවලට ප්‍රතික්‍රියා දක්වන ආකරය ද විසම ය. උක්ත කවිය ඔස්සේ සම්ප්‍රේෂණය වන ඇගේ කෝපය ශිථිල වූවකි. අටපහ නොදන්නා ජඩයෙකි යනුවෙන් ඇය සුප්‍රකාශ කළ ද “දෙනව ද” යනුවෙන් ආයාචනය කිරීමෙන් අසන්නාට ඇය කෙරෙහි සානුකම්පාවක් ඇති වෙයි. එහෙත් ක්‍රමික වර්ධනයකත් සමඟ ඇගේ ප්‍රතික්‍රියාව විපරිවර්තනය වෙයි. ඇය යොදන පලයන්න යන විධි ක්‍රියාව මඟින් එය මොනවට පළට වෙයි. ජීවිතයේ විවිධ අවධි පසු කරත් ම මිනිස් අත්දැකීම් ධාරාව පෘථුල වෙයි. එහිදී පුද්ගල භාෂණයේ ද යම් වෙනසක් ඇති වෙයි. හුදෙක් කථා ව්‍යවහාරය උපයුක්තව නිර්මාණකරණයේ යෙදුණු කිවිඳියක වන ගජමන් නෝනාගේ නිර්මාණවල උපයුක්ත භාෂාව ඊට සංනිදර්ශන සපයයි. ‘පල යන්න’ යනුවෙන් යමකුට විධානයක් දීමට තරම් ඇය රෞද්‍ර වී ඇත්තේ ඇය වෙසෙන සමාජය ඇය වෙත දක්වන ප්‍රතිචාර හරහා ය. රූමත් නිර්මාණශීලී ගැහැනියක කෙරෙහි පුරුෂ චෛතසිකයේ තීව්‍ර ආශක්ත වීමක් පවතී. ඇය එවන් විටෙක භාෂාව යොදා ගනුයේ සමාජ අතවරවලින් මිදීමේ පළිහක් වශයෙනි. මේ නිර්මාණ ද්වයෙහි යෙදෙන භාෂාව එක ම කිවිඳියක ජීවන අවධි ද්වයක සිදුකරන ලද භාවිත වන හෙයින් එහිදී සමාජ පාඨනයකට ද අප මනස යොමු කරවයි.

“විවිධ අදහස් දරන විවිධාකාර පුද්ගලයන් ගොඩනඟා, ආනාදිමත් කාලයක් තිස්සේ විවිධාකාරයෙන් භාවිත කෙරෙන භාෂාවක සිදු වන විපර්යාස විවිධ වන්නා සේ ම සමාජයේ ඇති සංකීර්ණත්වය නිසා තනි පුද්ගලයාගේ භාෂාව වුව ද අවස්ථාවෝචිත පරිදි නන් අයුරින් වෙනස් කිරීමට සිදු වෙයි. ළමා බසෙයි හා වැඩිහිටියන්ගේ බසේ ලොකු වෙනසක් පවතී.”

උක්තිය විශද කරනුයේ වයස් සීමාවත් සමඟ පුද්ගල භාෂණයේ සිදු වන විපරිවර්තන කථන ව්‍යවහාරය ආශ්‍රිත නිර්මාණාත්මක භාෂාවට බලපෑම් එල්ල කරන ආකාරය සහ එමඟින් සමාජය සහ පුද්ගලයා සම්බන්ධ මනස් දර්ශනයකට සහෘදයා යොමුවන ආකාරය යි.

සමාජයේ අන්‍යෝන්‍ය සන්නිවේදනයේදී භාෂාවට මුඛ්‍ය ස්ථානය හිමි වෙයි. එහිදී අප ආමන්ත්‍රණය කරන්නාගේ සමාජ පරිසරය සහ අප අයත් වන සමාජ කුලකය තුලනාත්මකව පිරික්සමින් දෙබස් ගොඩනඟා ගනී. මේ ක්‍රියාවලිය සවිඥානිකව මෙන්ම අවිඥානිකව ද සිදු වෙයි. සමාජ වාග්විද්‍යාත්මකව ගතහොත් භාෂා ව්‍යවහාරයේ විසමතා ඇති වීමට හේතු ප්‍රත්‍ය වන විලියම් බ්‍රයිට් දක්වන ඇමතුම ලබන්නාගේ සහ කතාවට පාත්‍ර වන්නාගේ සමාජ තත්ත්වය යන ප්‍රස්තුතය මෙහිදී වැදගත් වෙයි. එය නිර්මාණාත්මක භාෂාව ඔස්සේ දර්ශනය වීම මෙහිදී සුවිශේෂ වෙයි. කථන ව්‍යවහාරය ආශ්‍රිතව රචිත ගජමන් නෝනාගේ පහත කවි ඊට සාක්ෂි දෙයි.

ගජමන් නෝනා සිය සැමියාට දයාබරිත වෙයි. ඔහු කිසියම් දුර බැහැරක යන අවස්ථාවක තම බිරියට ස්නේහ පුන් අවවාදයක් ලබාදෙයි. එනම් පරපුරුෂ සේවනයේ නොයෙදෙන ලෙසිනි. එවිට ඇය සරදමක ස්වරූපයෙන් පිළිතුරු දෙයි. එහි උපේත නිර්මාණාත්මක භාෂාව සම්බන්ධව විමසා බලමු.

“හිමි යන ගම්වල අඟනුන් නොව හා ද

එනු විගසින් එහි නොවමින් පරමා ද

හිමියනි දැන් ඔබ මට දුන් අවවා ද

මම ඉවසමි මඳ රද ඉවසුම් දේ ද”

උක්ත ප්‍රකරණය ම වෙනස් ආකාරයකින් සිදු වෙයි. ඇලපාත මුදලි වූ කලී ගජමන් නෝනා සම්බන්ධ සිත් ඇත්තෙකි. ගජමන් නෝනා ඔහු කෙරේ යම් ස්නේහයක් ඇතත්, ඔහුව ප්‍රතික්ෂේප කරයි. එවැනි අවස්ථාවක් පහත කවියෙන් කියාපායි.

“බැන්ද මගේ හිමි පරලොව ගිය බැවි න

නින්ද මෙමට පුරුදු වී තනි යහ න

වින්ද රති සැපත මට මතක නැති වු ණ

කින්ද තමුසේට විමසන්ට කාරණ”

මේ කාව්‍ය දෙකෙහි උපචිත ආමන්ත්‍රණ පද එකිනෙකට විසම වෙයි. පළමු වැන්නේ භාවිත හිමියනි යන පදය ලේඛන ව්‍යවහාරයට අනුකූල ගෞරවය සම්මිශ්‍රිත ඇමතුම් පදයකි. දෙවැන්නෙහි එන තමුසේට යන පදය හුදෙක් ම පහත් කොට සලකමින් ආමන්ත්‍රණය කිරීමට භාවිත කරන ලද්දකි. මෙලෙස ඇමතුම් පද ද්වයක් භාවිතය ඇය වෙසෙන සමාජය සම්බන්ධ චිත්‍රණය කිරීමකි. තම ස්වාමි පුරුෂයාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනුයේ ඔහු ඇය හා සම සමාජ තත්ත්වයක සිටින හෙයිනි. එමෙන් ඇයගේ චිත්තයෙහි ඔහු කෙරෙහි යම් ගෞරවයක් ද පවතී. ඇලපාත මුදලි කෙරෙහි පවතිනුයේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වූ ද ජුගුප්සාවකි. මෙහි ඇය කින්ද ඔබට විමසන්න කාරණ යනුවෙන් වදන් පරිසේවනය කළේ නම් එහිදී අර්ථය මීට හාත්පසින් ම වෙනස් වෙයි. අන්තර් භාෂණ ක්‍රියාවලියේදී ඇමතුම් පද භාවිතයේ පවතින මේ වෙනස නිර්මාණාත්මක භාෂාවට සම්ප්‍රේෂණය වීම මඟින් නිර්මාණයට උක්ත ලක්ෂණය යටි පෙළ අරුතක් එක් කරයි. ව්‍යාකරණ ප්‍රයෝග භාවිතයෙන් සමාජ භාෂා ව්‍යවහාරය වෙනස් කළ හැකි ආකාරය ද ඉන් ගම්‍යමාන වෙයි.

සියවස් ගණනාවකට සිට මිනිසා විසින් ම නිර්මාණය කරන ලද භාෂාව සාහිත්‍යකරුවා අතින් යළිත් වරක් නිර්මාණය වීමක් සිදු වෙයි. එහිදී සාහිත්‍යකරුවා ශිල්පීය උපක්‍රම රැසක් උප‍යෝගී කර ගනී.

“ව්‍යවහාරයේ පවතින වචන සාහිත්‍ය කෘතිවලට විශේෂයෙන් කවි බසට ගැළපෙන පරිදි හැඩගසා සකස් කර ගැනීම තිබෙන වචන ආශ්‍රයෙන් අමුතු වචන නිපදවීම අමුතුවෙන් ම වචන ගොඩනැඟීම භාෂාන්තර වාංමාලාවන්ගෙන් වචන ගැනීම හා ඒවා ආශ්‍රයෙන් අමුතු වචන නිපදවීම ආදිය ඉන් සමහරෙකි.”

ලේඛන ව්‍යවහාරය සඳහා ද පරිමිත භාෂා ස්වරූපයක් පවතින බැව් අප විසින් අමතක නොකළ යුත්තකි. ගජමන් නෝනා තම නිර්මාණවල කථන ව්‍යවහාරය සේම ලේඛන ව්‍යවහාරය ද පරිසේවිත ය.

මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ නිර්මාණ සමඟ තුලනය කිරීමෙන් ඇගේ භාෂා භාවිතය සමඟ සමගාමීව පැමිණෙන සමාජීය කරුණ ද පිරික්සිය හැකිය.

ගජමන් නෝනාගේ ජීවන වෘත්තාන්තය වූ කලී ඛේදයකි. සැප ඉසුරු මැද දිවි ගෙවූ ඇය විවාහ දිවියෙන් මතු අඳුරු දිවි පෙවෙතක් ගත කරයි. තමා සම්බන්ධ පැවැති අභිමානය ක්ෂය වෙමින් ඇය හුදු ආත්ම තෘප්තියට නොව ජීවන වෘත්තියක් ලෙස කවි ලිවීම අරඹයි. ගජමන් නෝනා ජෝන් ඩොයිලි නම් දිසාපතිවරයාට යැවූ කාව්‍ය ප්‍රබන්ධය මෙහිදී සුවිශේෂ වෙයි. එහි උපයුක්ත භාෂාව ඇගේ සමාජ මානසික තත්ත්වය මොනවාට නිරූපණය කරයි.

“සතර අනු දෙස තෙධන කිත් යස

පසිඳු සරි වන සුර නිඳුන්

විතර නොම වන මේදය තුළ දන

කුමුදු පොබයන සොමි සඳුන්

පතර දිඩ බල අභිත රුපු

කැන් මතැන් ඔද හළ කෙස රිඳුන්

නිතර නමදිමි දිසාපිතුම ජෝන්

ඩොයිල් යුග පාර කර මුදුන්”

මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ නිර්මාණ පරිසරය මීට විසම ය. මෙහි හැඳින්වීමේ දැක් වූ ආකාරයට ඇය සිදු කරනුයේ සමාජ සංකථනයකි. ඇය දිසාපතිවරයකු විෂයය කර ගනිමින් යොදන කවි බස අභිමානවත් ය. ඊට හේතු වනුයේ එහි පවතින අව්‍යාජත්වයයි.

“තියුණු නැණයුත් දිසා පතිඳුනි

කුළුණු ගුණ යුත් දිසා පතිඳුනි

ම‍ගේ වදනට සවන් දුනහොත්

ඔබේ වදනට සවන් දෙන්නෙමි”

මේ නිර්මාණවල යෙදෙන ක්‍රියාපදවල පවතින වෙනස සලකා බලනු වටියි. ගජමන් නෝනා භාවිත සරල ක්‍රියා පදයකි. එහෙත් මොනිකා රුවන්පතිරණ කිවිඳිය උපචිත කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා පදයකි. ගජමන් නෝනාට අවශ්‍ය වනුයේ පිහිට ලබා ගැනීමට ය. එහිදී භාෂාව නම්‍යශීලී විය යුතුය. එමෙන්ම මෙහිදී ඇය අබියස සිටිනුයේ කාමාශක්ත පුද්ගලයකු නොව ප්‍රභූ තැනැත්තෙකි. ඇය තම කාර්යයට ඖචිත්‍යය වූ භාෂාවක් සේවනය කරනුයේ ‍එහෙයිනි.

මෙහිදී විලියම් බ්‍රයිට් දක්වන සමාජ කාර්ය හා පුද්ගල භාෂණය අතර පවතින සබැඳියාව තහවුරු වෙයි. ඇය ස්වීය ආත්මය සම්බන්ධව පාපෝච්චාරණය කරමින් වෙනකකුගේ දෙපා අබියස වැඳ වැටෙනුයේ ඇගේ සමාජ තත්ත්වය ද පහතට වැටෙන හෙයිනි. පහත කවියේ උපේත භාෂාව ඔස්සේ එබැව් හෙළි වෙයි. එය ඇගේ ජීවිතයේ දීප්තිමත් අවධියක ලියන ලද්දකි.

“ලිපි කම කරන දෙස මැතිඳුගෙ ගුණෙ නූනා

මපියා ගැන ද නොතකා වැහි පස බානා

හැපි ඇඟෙ තවත් ආඩම්බර කම් පානා

තෙපි දැන ගනිවු මා බව ගජමන් නෝනා”

මේ නිර්මාණය හා ඩොයිලි වෙත යවන ලද නිර්මාණය සංසන්දනය ඔස්සේ සමාජ ව්‍යුහයේ වෙනස් වීමත් සමඟ භාෂා ව්‍යුහයේ ඇතිවන වෙනස්කම ගම්‍ය කර ගත හැකිය.

උක්තිය ඔස්සේ උත්සුක වූයේ නිර්මාණකරුවකු භාවිත භාෂාව ඔස්සේ පුද්ගලයා හා සමාජය සම්බන්ධ පාඨනයේදී සමාජ වාග් විද්‍යාත්මක දත්ත උපයෝගී කර ගන්නා ආකාරයයි. මෙහිදී වාග් විද්‍යාත්මක සිද්ධාන්ත ප්‍රායෝගිකව උපචිත හෙයින් මෙය වනාහි ව්‍යවහාර වාග් විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස හැඳින්විය හැකිය. අධ්‍යයන ප්‍රවේශයේදී මතු වූ මුඛ්‍ය ගැටලුවක් නම් ගජමන් නෝනාගේ නිර්මාණවල සත්‍යතාව තහවුරු කර ගැනීමයි. ක්‍රි.ව. 1814 පමණ විසූ මේ කිවිඳියගේ සමහරෙක් නිර්මාණ කට වහරින් පැමිණ පසුව රචනය කරනු ලැබූ දෑ ය. එහෙයින් පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද්දේ පවතින දත්ත වෙයි. උක්ත ලෙස වාග්විද්‍යාවත්, සාහිත්‍යයත් ඒකාබද්ධ වීම සාහිත්‍යකරුවාට මෙන්ම වාග්වේදියාට ද වාසිදායක තත්ත්වයකි. සමාජය සම්බන්ධව සවිඥානික වීමේදී භාෂාවෙන් විනිර්මුක්තව ඒ කාර්යය නිෂ්ඵල වෙයි. මේ තුළින් උක්තිය විශද වෙයි.

පාදක සටහන්

1. Bright, William. IntroductionThe Dimensions of sociolinguistics, Sociolinguistics,p 11 – 15

2. රුවන්පතිරණ, මොනිකා, ඇගේ ලෝකය 1995, පි. අ.01.

3. හේවාවසම්, ප.බ.ජි. මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන, 1966, පි.අ.63

4. ගමගේ, එච්.එච්.ගජමන් නෝනා , 1962, පි. අ.07

5. එම,පි. අ. 06.

6. ආනන්ද ජයසේකර ඇතුළු පිරිස, වාග්විද්‍යාත්මක ලිපි, 1996, පි. අ. 76

7. ගමගේ, එච්.එච්.ගජමන් නෝනා, 1962, පි. අ.06

8. එම, පි.අ.03

9. ආනන්ද ජයසේකර ඇතුළු පිරිස, වාග්විද්‍යාත්මක ලිපි, 1966, පි. අ.47

10. ගමගේ, එච්.එච්.ජගමන් නෝනා, 1962, පි. අ.47

11. රුවන්පතිරණ, මොනිකා, ඇගේ ලෝකය, 1985, පි.අ. 29

12. ගමගේ, එච්.එච්. ගජමන් නෝනා, 1962, පි.අ. 03

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.