මනස චිත්‍රයට නැඟීම | සත්මඬල

මනස චිත්‍රයට නැඟීම

වර්ණ හැඩතල සමඟ සිතීම මිශ්‍ර කිරීමෙන් ගැඹුරු ආධ්‍යාත්මික සංකල්පනා නිර්මාණය කළ හැකිය. වර්ණවලින් කවි ලිවිය හැක්කේ එවිටයි. සෑම කෙනකු තුළ ම කවියෙක් ජීවත් වෙයි; සෑම කෙනකු තුළම චිත්‍ර ශිල්පියෙක් ද ජීවත් වෙයි. ඒ ශිල්පියා අතට පින්සල හා වර්ණ දුන්විට ඔහු තම හදවත හා මනස චිත්‍රයට නඟනු ඇත.

චිත්‍ර කලාව මඟින් මනස සුවපත් වෙයි. එනමුත් චිත්‍ර කලා විෂයයෙහි නිරත වන්නෝ මනස සුවපත් කිරීමේ අරමුණින් ම එය භාවිත නොකරති. එය එහි අතුරු ඵලයක් පමණි. එසේ නොමැතිව මානසික සුවය ම ඉලක්ක කරගෙන චිත්‍ර කලාව භාවිත කරන්නේ නම් එය “මනෝ සායනික චිත්‍ර කලාව” ලෙස සරල ව හැඳින්විය හැකිය.

චිත්‍ර කලාව යනු ඇඳීම පමණක් නොවේ. එහි සිතීම ද ඇත. සිතීම හා ඇඳීම යනු නිර්මාණාත්මක චින්තනයයි. නූතන චිත්‍ර කලාව තව දුරටත් හුදු ඇඳීම ම පමණක් නොව ඊට වඩා ඉහළට එසවුණු නිර්මාණාත්මක සිතීම පුරුදු කරන විෂයයන් බවට පත්ව ඇත. මේ අනුව “චිත්‍ර ඇඳීම” යන්න ක්‍රමයෙන් අවලංගු වන වචනයක් බවට පත්වෙමින් තිබේ. ඇඳීම අතේ වැඩකි. නිර්මාණය සිතේ වැඩකි. එසේ නම් “චිත්‍ර ඇඳීම” වෙනුවට “චිත්‍ර නිර්මාණය” යන වචන ආදේශ කිරීම වඩාත් උචිත වෙයි.

නිර්මාණය යන්න චින්තනය හා බැඳුණු දෙයකි. ඇඳීම යනු ශිල්පීය දක්‍ෂතාව හා අත හුරුව හා බැඳුණු යාන්ත්‍රික විදියකි. මේ අනුව චිත්‍ර කලාව “ශිල්පීය දක්‍ෂතාව” යන කරුණෙන් ගැලවී යන බව පෙනෙයි. එසේ නම් ශිල්පීය දක්‍ෂතාව නැති, ඇඳීමේ හැකියාව නැති ඒත් සිතීමේ හැකියාව ඇති නිර්මාණාත්මක චින්තනයක් ඇති ඕනෑ ම කෙනකුට චිත්‍ර නිර්මාණය කළ හැකිය.

ළමා චිත්‍ර කලාවේ මේ බව කදිමට දැක ගත හැකිය. ස්වාභාවික දේ එලෙස ම ප්‍රතිනිර්මාණය කිරීම චිත්‍ර කලාව නොවේ. එය පිටපත් කිරීමේ ශිල්පීය අභ්‍යාසයකි. වර්ණ හැඩතල සමඟ සිතීම මිශ්‍ර කිරීමෙන් ගැඹුරු ආධ්‍යාත්මික සංකල්පනා නිර්මාණය කළ හැකිය. වර්ණවලින් කවි ලිවිය හැක්කේ එවිටයි. සෑම කෙනකු තුළ ම කවියෙක් ජීවත් වෙයි. සෑම කෙනෙක් තුළම චිත්‍ර ශිල්පියෙක් ද ජීවත් වෙයි. ඒ ශිල්පියා අතට පින්සල හා වර්ණ දුන්විට ඔහු තම හදවත හා මනස චිත්‍රයට නඟනු ඇත. ළමයින් කරන්නේ එයයි.

මිහිරි ශබ්ද කන හරහා මනසට ගමන් කිරීමෙන් තුළින් සිත සුවපත් වනවාක් මෙන්ම සුන්දර වර්ණ හා හැඩ ඇස හරහා මනසට ගමන් කිරීමෙන් ද සිත සුවපත් වෙයි.

මුහුද අද්දර ගල්තලාවක් මත හිඳ මුහුද දෙස පැය ගණන් බලා සිටීමට මිනිසුන් යොමු වන්නේ අන් කිසිවක් නිසා නොව මුහුදේ හා අහසේ ඇති චලනය වන චමත්කාර වර්ණ හා හැඩ ආස්වාදනය කිරීමට ය. සුන්දර වනයක පැය ගණන් කල්ගත කිරීමට අයකු පෙලඹෙන්නේ ද එහි ඇති සිත සුවපත් කරන වර්ණ හා හැඩ නිසා ය. දිය ඇල්ලක් හෝ කඳු යායක් දෙස අපට පැය ගණනක් බලා සිටිය හැකිය. ඒ එහි ඇති විවිධ වර්ණ හා කලාත්මක හැඩ කෙරෙහි අපේ සිත බැඳී යන නිසා ය.

ස්වභාව ධර්මය අපට නිපදවා දී ඇති ඒ දසුන් දැකීමෙන් සිත සුවපත් කර ගන්නා අපට ඊට සමාන සුන්දර හැඩතල තමාටම නිපදවා ගත හැකිය. නිපදවා ගනිමින් ඒ තුළ ජීවත් විය හැකිය. මහා සතුටක් විදිය හැකිය. ඒ චිත්‍ර නිර්මාණවලින් වර්ණ හා හැඩතල බිහි කර ගැනීමට හා එයින් ස්වයං වින්දනයක් ලැබීමයි. මේ ස්වයං වින්දනය සිත සුවපත් කරයි. ඒ තුළ ඒ ක්‍රියාවලියේ වර්ණ එහා මෙහා කරමින් හැඩතල ගොඩනඟමින් නව හැඩතල හා තව තවත් සුන්දර වර්ණ සංකලනය මතු කර ගනිමින් චිත්‍රයේ අපට පැය ගණන් ජීවත් විය හැකිය. ඒ කාලයේ බාහිර ලෝකය පිළිබඳ කිසිවක් අපට නොදැනෙයි. සිත සමාධි ගතවෙයි. අපූර්ව වින්දනයකින් මුළු සිත ම පිරී ඉතිරී යයි. මහත් වූ ආස්වාදයකින් මුළු ගත ම ප්‍රාණවත් වෙයි. සියලු දුක් දොම්නස් මනසින් ඉවත් වී සිත සුවපත් වෙයි.

තමන් නිම කළ චිත්‍රය දෙස ඈත සිට බලා සිටීම ද තව තවත් සිත සුවපත් වීමට හේතු කාරක වෙයි. එවිට තමන්ගේ චිත්‍රය තමා සමඟ කතාබහ කරයි. එහි ඇති වර්ණ සෙමින් සිත සුවපත් කරයි. මනෝ සායනික චිත්‍ර කලාව යනු මෙයයි.

පිරිසුදු හුස්ම ගැනීම, හොඳින් ලේ ගමන් කිරීම, ශරීරය සුවපත් වීමට බලපාන ප්‍රධාන සාධක වෙයි. ලේ ගමනාගමනය යහපත් වීමට නම් හදවත හොඳින් ක්‍රියාත්මක විය යුතුය. හදවත හොඳින් ක්‍රියාත්මක වීමට නම් මනස ප්‍රීතිමත්ව තිබිය යුතුය. එසේ නොමැති නම් හදවතේ පීඩනයේ සමබරතාව වෙනස් වෙයි. එය අධිරුධිර පීඩනයට ද හේතු කාරක වෙයි. මේ තත්ත්වය පාලනයට මනස සෘජුව ම බලපාන බව අද වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇත. මානසික අසතුට, දොම්නස, කලකිරීම, පසුතැවීම, කනස්සල්ල සෘජුව ම හදවතට බලපානු ලබයි. එවිට හදවතේ ක්‍රියාකාරීත්වයේ සමබරතාව බිඳ වැටේ. එය අධිරුධිර පීඩනය හෝ අවරුධිර පීඩනය ලෙස ප්‍රකාශයට පත් වෙයි. එයින් ශරීරයේ ලේ ගමනාගමනය අක්‍රමවත් වෙයි.

එසේ නම් මනස සුවපත් වීම හදවතේ නිසි ක්‍රියාකාරීත්වයට හේතු කාරක වන බව තර්කානුකූල දෙයකි. හදවත යහපත්ව ක්‍රියා කරන විට ලේ ගමනාගමනය සමබර වෙයි. ශරීරය නිරෝගී වෙයි. නිරෝගී සිරුරක් සඳහා නිරෝගී මනසක් යන්න ඉතාමත් තර්කානුකූල තත්ත්වයකි. මනස සුවපත් කිරීම නිරෝගී සිරුරක් හා නිරෝගී ජීවිතයක් ලැබීමට මාර්ගය වෙයි.

මනෝ සායනික චිත්‍ර කලාව විසින් කරනු ලබන්නේ මනස සුවපත් කිරීම නම් එහි ඊළඟ සෘජු ප්‍රතිඵලය වන්නේ ශරීරය සුවපත් වී නිරෝගී භාවය ළඟා වීමයි.

මෙයින් ඇති වන ප්‍රබෝධය ආත්මවිශ්වාසය, ආත්මශක්තිය, ධෛර්ය හා අධිෂ්ඨානය ගොඩනැංවීමට හේතු කාරක වී උසස් මානසික ශක්තියක් ඇතිව ජීවිතයට මුහුණ දීමේ ජීවිතය ජය ගැනීමේ ගමන් මග ද එය වනු ඇත.

එසේ නම් මනෝ සායනික චිත්‍ර කලාවේ අරමුණ ද මනා ආත්මශක්තියකින් හා ධෛර්යකින් ජීවිතය ජය ගැනීමට අවශ්‍ය මානසික හා ශාරීරික ශක්තිය ලබා දීමයි. නිරෝගී මනසක් හා නිරෝගී සිරුරක් ලබා දීමයි.

මනෝ සායනික චිත්‍ර කලා අභ්‍යාසයේ ස්වභාවය චිත්‍ර බලා රස විදීම නොවේ. සංගීතය ආස්වාදනයට සලස්වා සිත සමාධිගත කිරීමේ ක්‍රමවේදය මෙන් චිත්‍ර නරඹමින් චිත්ත සමාධිය ඇති කිරීම මෙහි මූලික විදිය නොවේ.

අදාළ පුද්ගලයා චිත්‍ර නිර්මාණයට ප්‍රායෝගිකව යොමු කර එමඟින් චිත්ත සංතුෂ්ටිය හා සමාධිය ඇති කිරීම මෙහි මූලික ක්‍රමවේදයයි. මනෝ සායනික චිත්‍ර කලා අභ්‍යාසය ට යොමුවන තැනැත්තා පින්සල අතට ගෙන තමා ම නිර්මාණකරණයේ යෙදෙනු ලබයි. ප්‍රායෝගික නිර්මාණ අභ්‍යාසයේ තමා ම නිරත වෙයි. වර්ණ හැඩතල තමා ම නිපදවනු ලබයි. ශිල්පීය නිපුණතාවක් මෙහි අපේක්‍ෂා නොකෙරේ.

මුළු ජීවිත කාලයේ කිසි දිනක පින්සලක් අතින් නෑල්ලූ අයකුට වුව ද මේ අභ්‍යාසයේ නිරත විය හැකිය. අනෙකුත් මනෝ සායනික අභ්‍යාසවලින් චිත්‍ර කලා අභ්‍යාස වෙන් වන්නේ එමඟිනි. මෙහි ශිල්පියා හා රසවිඳින්නා දෙදෙනකු නොව තමා ම ය. රස විඳින්නා ම ශිල්පියකු වී තමා ම චිත්ත සමාධිය ලබා ගැනීම මෙහි මූලික ක්‍රමවේදය වෙයි.

මානසික අසහනය - අසතුට - මානසික පසුගාමීත්වය වැනි තත්ත්ව සුවපත් කිරීමට මෙන්ම විවිධ රෝගාබාධ සඳහා මානසික ප්‍රතිකාරයක් ලෙස ද මේ අභ්‍යාසය භාවිත කළ හැකිය. විවේකය හා මානසික සුවය අපේක්‍ෂා කරන්නන්ට මේ අභ්‍යාසය විශේෂයෙන් වැදගත් වෙයි. අධික වෙහෙස අවිවේකය ආදිය නිසා තෙහෙට්ටුවට පත් කාර්යබහුල පුද්ගලයන්ට මානසික සුවය ලබා ගැනීමට මේ අභ්‍යාසය කදිම ඖෂධයකි.

පිළිකා සුවපත් කිරීමට මනෝ සායනික චිත්‍ර කලාව ඖෂධයක් නොවේ. එනමුත් ඖෂධයක් සමඟ මනෝ සායනික චිත්‍ර කලාව භාවිතා කිරීමෙන් පිළිකා සුවපත් කළ හැකි බව මහරගම පිළිකා රෝහලේ කුඩා දරුවන් සියයක් අරභයා මාසයක් තිස්සේ පවත්වන ලද මනෝ සායනික චිත්‍ර කලා අභ්‍යාසයේදී අත්දැකීමෙන් පසක් කරගැනීමට හැකි විය.

මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂවරයාගේ මැදිහත් වීම මත කරන ලද මේ මනෝ සායනික අභ්‍යාසය ඉතා ම සාර්ථක විය. මෙය ඇරැඹීමට පෙර වෛද්‍යවරයා පැවසුවේ පිළිකා රෝගය සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධ තමන් සතුව ඇති බවයි. දැන් ලෝකය පිළිකා සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධ සොයාගෙන ඇත. එනමුත් පිළිකා සුවපත් කිරීමට ඇති එකම බාධකය වී ඇත්තේ රෝගීන්ගේ මානසික කඩා වැටීමයි. බොහෝ රෝගීන්ගේ රෝගී තත්ත්වය සියයට විසිපහකි. සියයට හැත්තෑපහක් ම මානසික දුර්වලතා ය. මේ නිසා නිසි ලේ ගමන් කිරීමක් හෝ හදවතේ සමබර ක්‍රියාකාරීත්වයක් සිදු නොවේ. මේ නිසා ම ඖෂධ එන්නත් නිසි ලෙස ශරීර ගතවීම ප්‍රමාද කෙරේ. නැති නම් දුර්වල කෙරේ.

ඒ හේතුව නිසා රෝගියා සුවපත් කිරීම වෛද්‍යවරුන්ට තරමක ප්‍රශ්නයක් වී ඇත. මේ රෝගය සුවපත් කිරීමට නම් රෝගියාගේ මානසික ශක්තිය අත්‍යවශ්‍ය වෙයි. නිතර ප්‍රීතියෙන් සිටීම අත්‍යවශ්‍ය වෙයි. මේ තත්ත්වය ජය ගැනීම ඖෂධවලින් පමණක් කළ නොහැකිය. එයට මානසික සතුට අපේක්‍ෂාව වඩවන ක්‍රියාමාර්‍ග ගත යුතුය. මේ සඳහා මනෝ සායනික චිත්‍ර කලාව ඉතා ම උචිත බව වෛද්‍ය මතය විය.

ඒ පදනම මත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 100ක් අරභයා මේ අභ්‍යාසය ආරම්භ කරන ලදී. දරුවෝ චිත්‍ර ඇඳීමට බෙහෙවින් ප්‍රිය කරති. වර්ණවලට ආශා කරති. මෙය සෑම දරුවකුගේ ම පොදු තත්ත්වයකි. ඔවුන් වෙත ඩ්‍රෝවින් පොත්, අලුත් පැස්ටල් පෙට්ටි විවිධ වර්ණ තෑගි වශයෙන් ලබා දීම ද ඔවුන් තුළ ප්‍රථම ප්‍රබෝධකය ලෙස භාවිත කිරීමට හැකි විය.

දවස පුරා විවිධ අයුරින් මේ අභ්‍යාසවල ළමයින් ජීවත් කරවීමේ කාල සටහනක් ද සකස් කෙරිණි. ඉතා ප්‍රසන්න ලෙස ඉතා ප්‍රබෝධයෙන් හා චිත්ත ප්‍රීතියෙන් නින්දට යන තෙක් ම ගත කිරීමට හැකිවන ලෙස ඒ වැඩසටහන සකසන ලදී.

උදේ දරුවන්ට ලබාදෙන එන්නත සඳහා විනාඩි කීපයක් ගතවෙයි. මේ එන්නත ශරීරගත වනවිට ඔවුන් තුළ කලාන්තරයක් නිදිමත ගතියක් ඇති වෙයි. සමහරුන්ට වමනය යයි. මෙය දිනපතා ම එන්නත දුන් විගස ඇතිවන පොදු තත්ත්වයකි.

එනමුත් මනෝ සායනික චිත්‍ර කලා අභ්‍යාසය ආරම්භ කිරීමෙන් පසුව මේ චර්යාව ටිකෙන් ටික වෙනස් වන්නට විය. වෙනදා නිදිමත ගතිය නිසා ටික වේලාවක් නිදා ගත්ත දරුවන්ට ඒ නිදි මත හෝ ක්ලාන්ත ගතිය ටිකෙන් ටික අඩුවී මුළුමනින් ම නැති වන්නට විය. වමනය ද නැතිව ගියේ ය. එන්නත දුන් විගස ළමයින් චිත්‍ර ඇඳීම සඳහා අදාළ ස්ථානය වෙත දුවගෙන එන්නට විය. දැන් ඔවුන්ට නිදිමත ක්ලාන්තය වමනය අමතක වී ඇත; මනස විසින් ඒ සියල්ල පාලනය කර ඇත; ඉවත් කර ඇත. මේ වෙනස වෛද්‍යවරු ද දුටුවිට කාර්ය සාර්ථක බව ඔවුන්ගේ ද මතය විය.

මේ අයුරින් ඉතා ප්‍රීතීයෙන් චිත්‍ර නිර්මාණයේ යෙදෙන දරුවන් ටිකෙන් ටික සුවපත් වන්නට විය. මනෝ සායනික ප්‍රතිකාරය සියයට සියයක් ම සාර්ථක විය.

මෙය කුඩා දරුවන්ට පමණක් නොව යම් අවබෝධයක් සහිත වැඩිහිටියන්ට ද භාවිත කළ හැකි බව මේ අතර ම දැන ගත හැකි විය. මේ කාලයේ ම ප්‍රතිකාර ලබමින් සිටි විශ්වවිද්‍යාල සිසුවකු ද මේ ප්‍රතිකාරය සඳහා යොමු වූ විට ඔහු තුළ ද වෙනස්කම් ඇති වන අයුරු දැනගත හැකි විය. දැඩි කනස්සල්ලෙන් අපේක්‍ෂාභංගත්වයෙන් ඇඳට වී සිටි මේ සිසුවාට කරුණු අවබෝධ කරදී චිත්‍ර නිර්මාණ අභ්‍යාසයේ යෙදවීමෙන් පසු ඔහු තුළ ද මානසික හා ශාරීරික වෙනස්කම් ඇතිවන අයුරු නිරීක්‍ෂණය කළ හැකි විය. සිරුර ප්‍රාණවත් වන අයුරුත් මානසික කලකිරීම ඉවත් වී සතුටක් අපේක්‍ෂාවක් දැනෙන බවත් ඔවුන්ගෙන් දැනගත හැකි විය. මේ සිසුවා ද ඉක්මන් සුවය ලබා ගන්නට ඖෂධ සමඟ මනෝ සායනික චිත්‍ර කලාව භාවිත කිරීම හේතු වූ බව ඉතා සතුටින් සඳහන් කළ හැකිය.

මේ අභ්‍යාස කරන ලද්දේ මහරගම පිළිකා රෝහලේදී ය.

වැඩසටහන මෙහෙය වන ලද්දේ සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ අධ්‍යාපනඥයන් පිරිසක් විසිනි.

චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ අධ්‍යාපනඥයන්ට අමතරව මේ වැඩසටහනට රංගන ශිල්පිනි අනෝජා විරසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.