ජනප්‍රිය සාහිත්‍යය ද? විදග්ධ සාහිත්‍යය ද? | සත්මඬල

ජනප්‍රිය සාහිත්‍යය ද? විදග්ධ සාහිත්‍යය ද?

මේ ජනප්‍රිය සාහිත්‍ය කෘති පරිශීලනය කරන්නෝ බොහෝ විට ප්‍රබුද්ධ පාඨකයෝ නොවෙති. මෙය අද ඊයේ සිට සිදුවූවක් නොවේ. ඕනෑ ම සමාජයක සාහිත්‍ය තුළ ගැඹුරු, විදග්ධ සාහිත්‍යාංගයක් සහ පොදු ජනයාට රස විඳිය හැකි සාහිත්‍යයක් පැවතීම සාමාන්‍ය ලක්ෂණයකි.

ලොව පාඨක ප්‍රසාදය දිනාගත් ලේඛකයන්ගේ කෘති ජනප්‍රිය සාහිත්‍ය කෘති වශයෙන් හැඳින්වෙන බව පොදු පිළිගැනීම වන්නේ ය. මේ අනුව, එංගලන්තයේ චාල්ස් ඩිකන්ස් හා ඩී. එච්. ලෝරන්ස්, ඇමරිකාවේ අර්නස්ට් හෙමිංග්වේ හා ග්‍රැහැම් ග්‍රීන්, රුසියාවේ මක්සිම් ගෝර්කි හා ලියෝ තොල්ස්තෝයි, ඉන්දියාවේ රබීන්ද්‍රනාත් තාගෝර් හා ආර්.කේ. නාරායන්, ඉතාලියේ ඇල්බටෝ මොරේවියා සහ ජර්මනියේ හර්මන් හෙස හා ෂෝන් පෝල් ශාත්‍රේ වැන්නන් රචනා කළ කෘති ලොව ජනප්‍රිය කෘති වශයෙන් එක් අතකින් හඳුනා ගැනෙයි. මේ ලේඛකයන්ගේ කෘති ලෝකය පුරාම ජනප්‍රියය. මේ අනුව එලෙස ජනප්‍රසාදය දිනාගත් කෘති ජනප්‍රිය සාහිත්‍ය බවට ද පත් වේ.

මෙහි දෙවන කරුණ වන්නේ ජනප්‍රිය සාහිත්‍යය (Populer Litreture) නමැති සංකල්පයයි. දෙවැනි ලෝක මහා යුද්ධයත් සමඟ ම වඩාත් ප්‍රචලිත වූ මේ සාහිත්‍ය සංකල්පය පහත්, නිසරු සාහිත්‍යාංගයක් සේ සැලකීමට බො‍හෝ දෙනා පුරුදුව සිටිති. ඒ කෘති න්‍යායාත්මක ගැඹුරක් නැති බොළඳ කරුණු කාරණා අන්තර්ගත වූවක් ලෙසින් ගැරහුම් ලබයි. මුලින් සඳහන් කළ ජනප්‍රිය ලේඛකයන්ගේ කෘති උත්තම ගනයේ සාහිත්‍ය කෘති, එසේත් නැති නම් විදග්ධ සාහිත්‍යය වශයෙන් බුහුමන් ලබන විට ජනප්‍රිය සාහිත්‍යය නමැති සංකල්පය ඔස්සේ බිහි වන කෘති අවර ගණයේ කතා, එසේත් නැතිනම් ‘පල්ෆ්’ සාහිත්‍ය කෘති වශයෙන් අවමන් ලබයි.

මේ ජනප්‍රිය සාහිත්‍ය කෘති පරිශීලනය කරන්නෝ බොහෝ විට ප්‍රබුද්ධ පාඨකයෝ නොවෙති. මෙය අද ඊයේ සිට සිදුවූවක් නොවේ. ඕනෑ ම සමාජයක සාහිත්‍ය තුළ ගැඹුරු, විදග්ධ සාහිත්‍යාංගයක් සහ පොදු ජනයාට රස විඳිය හැකි සාහිත්‍යයක් පැවතීම සාමාන්‍ය ලක්ෂණයකි.

සමහර විට එය බොළඳ වූත්, නොගැඹුරු වූත් ලක්ෂණයන්ගෙන් හා භාෂා ව්‍යවහාරයෙන් යුක්ත වූවා විය හැකි ය. ලොව ජන සාහිත්‍ය වශයෙන් හඳුනාගත හැක්කේ ද මෙකී සාහිත්‍ය ධාරාවයි. මෙරට සාහිත්‍ය ධාරාවලියේ බුත්සරණ, අමාවතුර වැනි කෘති විදග්ධ සාහිත්‍යය ලෙසත්, යසෝදරාවත, ගුත්තිල කාව්‍යය හෝ ලෝවැඩ සඟරාව වැනි කෘති ජනප්‍රිය සාහිත්‍යය ලෙසත් සමස්ත ජනතාව අතර ධාරා දෙකක් ලෙසින් වැඩී ගොස් ඇත්තේ එබැවිනි.

සෑම ජන සමාජයක ම, සෑම රටකම ජනප්‍රිය සහ විදග්ධ වශයෙන් වූ මේ ධාරා ද්විත්වය සමාන්තරව දැකිය හැකි ය. ජනප්‍රිය ධාරාවේ විශේෂත්වය වන්නේ එතුළ නිරූපණය වන්නා වූ චරිත ජීවිතයේ ඇති ගැඹුර එතරම් දුරට ස්පර්ශ නොකිරීමයි. එසේම එකී නිර්මාණකරුවන් ඒ කෘති ගැඹුරු අත්දැකීම් ආශ්‍රිත ව හා සංකීර්ණ සන්දර්භ ක්‍රම ඔස්සේ ඉදිරිපත් කිරීමට පෙලඹෙන්නේ ද නැත. පියදෝර් දොස්තයෙව්ස්කි සිය “අපරාධය සහ දඬුවම” කෘතියේදී මිනිස් සන්තානය ගැඹුරින් නිරූපණය කළත් ජනප්‍රිය සාහිත්‍ය ධාරාවේ කෘතියක් තුළ එසේ සිදුවන්නේ නැත.

ගැඹුරු වූත්, හරයාත්මක වූත්, සාහිත්‍ය ධාරාවක් පැවැතෙන අතරම ජනප්‍රිය සාහිත්‍යය නමින් ද සංකල්පයක් වර්ධනය වූයේ කුමක් නිසා ද යන්න විමසා බැලිය යුත්තකි. පොදුවේ ඉංගිරිසි සාහිත්‍ය තුළ මෙන්ම චීන, ජපන්, ජර්මන්, රුසියන් සාහිත්‍යයේ ද ජනප්‍රිය ධාරාවේ සාහිත්‍ය කෘති විශේෂයෙන් නවකතා ආදිය ශීඝ්‍රයෙන් බිහිව ඇත. මෑත යුගයේ සරල රසාස්වාදයක් අපේක්ෂා කළ පාඨක රසික ප්‍රජාවක් නිර්මාණය වීම මෙයට හේතුව වශයෙන් හැඳින්විය හැකිය.

මෙසේ සරල රසවින්දනයක් අපේක්ෂා කරන පිරිසක් මෑත යුගයේ බිහිවූයේ ප්‍රධාන කරුණු දෙකක බලපෑම මත ය.

කාර්මික විප්ලවයෙන් පසුව ග්‍රාමීය ජනතාව ශීඝ්‍රයෙන් නගර කේන්ද්‍ර කරගෙන සංක්‍රමණය වන්නට පටන් ගැනීම මෙහි ප්‍රබල සාධකයක් වෙයි.

ආර්ථික පරිහානිය, රැකියා, නිවාස, සෞඛ්‍ය, සන්නිවේදන, පොදු පහසුකම්, පරිසර දූෂණය, විවිධ විසමාචාර, අනාථ දරුවන්, මත්ද්‍රව්‍ය වැනි බොහෝ සාධක මත ගමෙන් නගරය කරා සංක්‍රමණය වූ මේ පිරිස මත ධනපතියන් විසින් සිය ආධිපත්‍යය පතුරුවා හරින ලදී.

එසේ අලුතින් බිහිවූ සමාජ පන්තියේ දැඩි අවශ්‍යතාවක් වශයෙන් කෙසේ හෝ මුදල් සෙවීම කෑදර අරමුණක් බවට පත් විය. මෙය නැඟී එමින් තිබුණ ධනවාදයට කම්කරු ශ්‍රමය සූරාකෑමේ පුළුල් අවකාශයක් විවර කර දුන්නකි. මේ නිසා කම්කරුවන් අතරම මුදල් සෙවීමේ කෙටි ක්‍රම ප්‍රචලිත වන්නට විය. ආරම්භයේදී විනෝදකාමීත්වයෙන් ඇරඹී මේ තත්ත්වය මංකොල්ලකෑම් වැනි සමාජයීය අපරාධ දක්වාත්, පසුව එය වඩාත් සංවිධාන වී සංවිධානාත්මක මාෆියාවක් බවටත්, වර්ධනය විය. මාරියෝ ෆූසෝ වැනි නිර්මාණකරුවන් “ගෝඩ් ෆාදර්” වැනි ජනප්‍රිය නවකතා මඟින් විවරණය කළේ එකී සමාජ තත්ත්වයයි.

පසුව මේ මාෆියාව පාතාල සහ දේශපාලන සමඟ නොබිඳිය හැකි සේ එකතු වන අයුරු අපට දැකිය හැකිය.

බටහිර රටවල ජනප්‍රිය සාහිත්‍ය සංකල්පය තුළ ‍මේ ප්‍රවණතාව වර්ධනය ඉතා හොඳින් දැකිය හැකිය. මයිකල් ක්‍රික්ස්ටන් විසින් රචිත “The Great Train Robbery (මහා දුම්රිය මංකොල්ලය) වැනි නවකතාවක් තුළ දිග හැරෙන්නේ සංවිධානාත්මක ව දුම්රියක් මංකොල්ල කෑම පිළිබඳ කතාන්දරයයි.

ඔහු ඒ නවකතාව ආරම්භයේදීම සමාජ වෙනස්වීම් තුළ මානව චර්යාවන්ගේ වෙනස්වීම්වලට පාත්‍ර වූ අයුරු පිළිබඳ ගැඹුරු විචාරයකට, සමාජ විග්‍රහයකට පෙ‍ලඹෙයි. එමඟින් ඔහු මනාව පැහැදිලි කෙරෙන්නේ ඒ නවකතාව බිහිවීමේ පදනම කුමක්ද යන්න ගැන ය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විටත්, ඉන් පසුවත් ලොව පුරා සිවිල් යුද වාතාවරණයක් ඇතිව තිබුණි. නව පාඨක ලෝකයක් බිහිවීමකට තව්ත හේතු සාධක සපයන්නේ ලොව පුරා පැතිර තිබූ ඒ අඳුරු සමාජ තත්ත්වයයි.

පළමු ලෝක යුද්ධයත්, දෙවන ලෝක යුද්ධයත් නිසා එතෙක් පැවති සාමකාමී සමාජය උඩු යටිකුරු වී තිබුණි. ස්පාඤ්ඤය සහ ඇමෙරිකාව පුරා පැතිර තිබූ සිවිල් යුද වාතාවරණය සහ දෙවන ‍ලෝක යුද තත්ත්වය විසින් බටහිර සමස්ත ජන ජීවතය ම චංචල කර තිබිණි. මේ සමාජය තුළ ගැඹුරු සාහිත්‍ය රසවින්දනයකට ප්‍රවේශ වනවාට වඩා එදිනෙදා විනෝදාස්වාදයට පාදක වන සරල සාහිත්‍ය පරිශීලනයට, සරල හා විනෝදාත්මක චිත්‍රපට නැරඹීමට අවශ්‍ය ප්‍රවණතාවක් ඉස්මතු විය. මුද්‍රණ ශිල්පය හා තාක්ෂණය නිසා මේ සරල විනෝදාස්වාදී සංකල්පය ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන්නට විය.

ඒ තත්ත්වයේ සැලකිය යුතු බලපෑමක් කලකට පෙර මෙරට සාහිත්‍යයට ද එල්ල වුණ ආකාරය අපට දැකගත හැකිය. මෙරට කාව්‍ය ක්ෂේත්‍රයේ බොළඳ කවි, කාම කවි මෙන්ම ශෘංගාරාත්මක නවකතා බිහිවන්ට පටන්ගත්තේ ද ඉහත සඳහන් කළ මේ දෙවන ලෝක යුද සමයට සමගාමීව බව සිතාගත හැකිය.

මේ ජනප්‍රිය ප්‍රවණතාව තුළ බටහිර රටවල වඩාත්ම ජනප්‍රිය වූයේ නවකතාව ය. ඒ නවකතා බොහොමයක් මූලික වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකිය. එනම් අපරාධ පිළිබඳව ලියැවුණ නවකතා සහ ප්‍රේමය පදනම් කොටගෙන ලියැවුණ නවකතා වශයෙනි. අපරාධ පිළිබඳව ලියැවුණු නවකතා ආරම්භක අවධියේදී අබිරහස් කතා ලෙසත්, පසුව ත්‍රාසජනක කතා, රහස් පරීක්ෂක කතා, චරපුරුෂ කතා, දේශපාලන ඝාතන පිළිබඳ කතා සහ භීෂණ කතා ආදී විවිධ ප්‍ර‍භේද වශයෙන් ද හඳුනා ගැනෙයි.

ප්‍රේම කතා නමැති ප්‍රවර්ගයට වැඩි වශයෙන් පාදක වූයේ නව යොවුන් ප්‍රේමයයි. බොහෝ විට මේ කතා සන්දර්භය තුළ ප්‍රේමය උත්කෘෂ්ඨත්වයෙන් යුතුව නිරූපණය වූවා මිස කාමය රුදුරු ලෙස ඉස්මතු කර නිරූපණය නොකෙරිණි. යුතෝපියානු සංවේදිතාව, එනම් මනෝරාජික සංවේදීතාව නිරූපණය කළ කතා මුල් යුගය තුළ කැපී පෙනිණි. ඩෙනිස් රොබින්ස්, බාබරා කාට්ලන්ඩ්, වික්ටෝරියා හෝල්ට්, ඩී. මැරියර් වැන්නෝ එකී ප්‍රේමකතා කලාව ආක්‍රමණය කළ පිරිස් අතර ඉදිරියෙන් ම වූහ. පරමාදර්ශී වූ ප්‍රේමයත්, අභව්‍ය සිද්ධීන්ගේ ගහනතාවත් සේම, පැහැදිලි චරිත නිරූපණයක් මේ කතා තුළ දැකිය හැකිය.

මේ ජනප්‍රිය නවකතාකරුවන් ලියූ අපරාධ හා සම්බන්ධ කතාවලදී පැහැදිලිව හඳුනාගත හැකි අන්දමේ කළු සුදු චරිත දකින්නට ඇතුවා සේම කතා වස්තුවෙහි වේගවත් සිද්ධි නිරූපණ ද දැකිය හැකිය. සරල භාෂාව යොදා ගැනීම මොවුන්ගේ කතා කලාවේ ප්‍රමුඛ ලක්ෂණය ලෙසින් දැක්විය හැකිය.

මේ ජනප්‍රිය කතා රචකයන් අතර විශ්වවිද්‍යාල මහාචාර්යවරු පවා සිටිති.

 ‘ලව් ස්ටෝරි’ වැනි ඉහළ ජනප්‍රියතාවකින් යුක්ත ප්‍රේම කතා රචනා කළ මහාචාර්ය එරික් සීගල් එවැන්නෙකි. එවන් නිර්මාණ තුළ ගැඹුරු චරිත නිරූපණ පවා සමහර විට අපට දැක ගත හැකිය. මහාචාර්ය රොබට් පාකර් යනු ජනප්‍රිය කෘති රචනා කළ ලේඛකයකු සේම සාහිත්‍ය සඳහා වන එඩ්ගා ඇලන්පෝ සම්මානය හිමි කර ගත්තෙකි. ජපන් සාහිත්‍යය තුළ අද බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ බටහිර ජනප්‍රිය කතා සම්ප්‍රදාය ඔස්සේ නවකතා රචනයේ යෙදෙන ලේඛක ෙයා් ය. හරුකි මුරකාමී නමැති ලේඛකයා උදාහරණයක් ලෙසින් දැක්විය හැකිය.

ඒකී තත්ත්වය විග්‍රහ කළ විට එළඹ ගත හැකි නිගමනයක් වන්නේ ජනප්‍රිය නවකතාකරුවන් නමින් හඳුන්වනු ලබන ලේඛකයන් අතර ද ගැඹුරු ජීවන දර්ශනයක් සහිතව ජීවිතය විවරණය කිරීමට සමත් ලේඛකයන් පිරිසක් සිටිනා බවයි. ඔවුන් විදග්ධ නවකතාකරුවන් පරිශීලනය කරන තේමා ම ඇසුරු කිරීමට පෙලඹී ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බලතහොත් කරුණාසේන ජයලත් මෑත යුගයේ මෙරටින් බිහිවූ ජනප්‍රිය නවකතාකරුවන් අතර ඉදිරියෙන් ම සිටින්නෙකි. ඔහු මෙරට සමාජයෙන් පැන නැංගාවූ චරිත නවකතාව සඳහා පාදකකොට ගත්තා පමණක් නොව, මෙරට සමාජ සංසිද්ධීන් හා සජීවීව ගැටෙන චරිත මනාව සිය නිර්මාණ තුළ හැසිරවූවෙකි. ඔහුගේ “ගැහැනු ළමයි”, “යහළු යෙහෙළි”, “ගොළු හදවත” වැනි නිර්මාණ මඟින් සජීවී බවට පත් කළේ යථාර්ථවාදී ජනප්‍රිය නවකතා සම්ප්‍රදායකි. ඒ නවකතා නිර්මාණයේදී චරිත නිරූපණය කෙරෙහි ඔහු දක්වන සැලකිල්ල ද සමාජ දෘෂ්ටිය ද සුළුවෙන් සලකා බැහැර කළ නොහැකිය. ඔහු ජනප්‍රිය නවකතා සංකල්පය විදග්ධ නවකතාව දෙසට යෙමු කිරීමේ කාර්යක නිරත වූ රචකයෙකි.

මේ බොහෝ ජනප්‍රිය නවකතාවන්හි රචකයන් තුළ කාලීන සමාජ සංවේදීතාව සමඟ වර්ධනය වූ සුවිශේෂ තත්ත්වයන් දැකිය හැකිය. එහෙත් එකී ධාරාව තුළ ම කිසිදු නිර්මාණශීලී ගති ලක්ෂණයන්ගෙන් තොරව සිද්ධි අමු අමුවේ ඉදිරිපත් කරන වාර්තා නවකතා ද පසුකලකදී බිහිවීම සුලබ ලක්ෂණයක් බවට පත් වෙයි.

එවැනි තත්ත්වයන් විචාරකයන් විසින් පොදුවේ හඳුනා ගැනෙන්නේ පොදුජන සාහිත්‍ය (Mass Literature) හෙවත් වෙළෙඳපොළ සාහිත්‍යය ලෙසිනි. එය අප ඉහත සඳහන් කළ ජනප්‍රිය සාහිත්‍ය සම්ප්‍රදායෙන් වෙනස් වෙයි. මේ පොදුජන නවකතාකරුවන් බොහෝ කොට ම සුලබ පෙම් පුවතක් හෝ කාම කතා ඉදිරිපත් කරමින් පාඨකයා රැවටීම හෝ පාඨකයා ඉල්ලන ඕනෑම දෙයක් ලබාදීම සිය අරමුණ ලෙස තහවුරු කොට ගනියි. කාලීන අවශ්‍යතා වෙනුවෙන් ලියැවුණ විවිධ විෂය පොත්පත් සියල්ල ද මේ ගණයට වැටෙයි.

ජනප්‍රිය තලයේදී සමාජ නිෂ්පාදන භාණ්ඩයක් වන කලාව සංස්කෘතික නිෂ්පාදනයක් ද (Culiural Art) වෙයි. එනම්, එමඟින් කාලීන සමාජයේ නිරූපණයක් ද සිදු වෙයි. කාලීන සමාජය සේම ඓතිහාසික නිරූපණ ක්‍රියාවලියක් වශයෙනුත්, සමාජ සංසිද්ධීන්ගේ අංශු මාත්‍රයක් හෝ නිරූපණය කෙරෙන්නක් වශයෙනුත් ජනප්‍රිය සාහිත්‍ය හැඳින්විය හැක්කේ ඒ නිසා ය. මේ අනුව ජනප්‍රිය නවකතාවත්, එහි අන්තර්ගතයත්, සාමාජ සංසිද්ධීන් හා බැඳුණු නිබන්ධයක් ද වන බැවින් එය ඉතිහාසය සහ සමාජ හැඩගැස්ම නිරූපණය කරනා ඓතිහාසික සාධකයක් බවට ද පත්වේ. මේ පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයන්ගේ නිරත වූ වියතුන්ගේ අදහස වන්නේ මෙකී සාහිත්‍ය ධාරාවෙන් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටු කෙරෙනා බවයි.

මේ මතය හා එකඟ නොවනා තවත් සමාජ විචාරකයන් පවසා සිටින්නේ ජනප්‍රිය සාහිත්‍යයෙන් පාඨකයා සිහින ලෝකයක අතරමං කරවන බවයි; පාඨකයන් සතු විචාරශීලිත්වය නැති භංග කර දමන බවයි;

පන්ති හැඟීම් මොට කරවන බවයි. එසේම ඔවුන් රාජ්‍ය පාලකයන්ට සහ රාජ්‍ය බලය පවත්වා ගැනීම සඳහා වක්‍රාකාරයෙන් අනුග්‍රහ දැක්වීමක් සිදු කරන බවද සමහරු පෙන්වා දෙති.

තවත් විද්වතුන් පිරිසක් දක්වා සිටින්නේ ජනප්‍රිය සාහිත්‍යය යනු ජීවන ගැටලුවලට මුහුණ දීමට නොහැකි ජනතාවට (ධනේශ්වර ක්‍රමය තුළ මිනිස් ජීවිතය පීඩනයකට හසුවෙලා, මානසික වශයෙන් සහ භෞතික වශයෙන් සමාජයත් නන්නත්තාර වෙලා තියෙනවා යන කාරණාවේදී) සමාජ ආර්ථික ගැටලුවලින් පලා ගොස් මනෝ ලෝකවල සැරිසැරීමට මාර්ගය නිර්මාණය කරදීමක් සිදු කරන බවයි. මේ නිසාම පුද්ගලයා සැබෑ ජීවිතයෙන් දුරස්ථ කර තැබීමකට, පලා යෑමට ඉඩකඩ විවර කරනා බවයි. “පලා යන නවකතාව” එනම් (Excapist Fiction) වශයෙන් මොවුහු එය අර්ථ ගන්වති. මෙය ම පලා යෑමේ වාදය ලෙසින් පුළුල් ව විග්‍රහ කරනු ලබයි.

නවකතාව හෝ සිනමාව තුළ පලා යෑමේ වාදය යනු කුමක්ද?

සාහිත්‍යය තුළ අප වින්දනයට හසු වන්නා වූ සෑම අත්දැකීමක් ම එක්තරා අන්දමකට රසිකයාට සමාජයෙන් පලා යෑම සඳහා ම නිර්මිත වූවක් බව කිව හැකිය. අප නවකතාවක් කියවන විට හෝ නාට්‍යයක් නරඹන විටෙක වීරයා සමඟ සමාරෝපණය වීම සාමාන්‍ය ස්වභාවයයි. ලොව උසස් ගණයේ නාට්‍ය නිර්මාණයක් වන “හැම්ලට්” නරඹන සියලු දෙනාම උත්සාහ ගන්නේ හැම්ලට්ගේ චරිතය බවට පත්වීමටයි. මෙය සාමාන්‍ය තත්ත්වයයි. මේ නිසා අප පුරුදුව සිටින්නේ සාහිත්‍ය, සිනමාව හෝ නාට්‍යයක් තුළ එන චරිතයක් අවට පවත්නා සමාජ යථාර්ථය නිරූපිත කොටසක් ලෙසින් සිතීමටයි.

මේ තත්ත්වය විදග්ධ නිර්මාණ කෘති අරබයා මෙන්ම ජනප්‍රිය සාහිත්‍ය අරබයා ද එක සමානව පවතින්නකි. මේ නිසා කලාව යනු සෑම විටෙක ම පලා යෑම සඳහා පවතින මාධ්‍යයක් බව පැවසිය හැකිය.

කවියේ පවතින උදාරත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිව් ආර්නෝල්ඩ් නම් සුප්‍රකට කවියා වරෙක මෙසේ පවසයි.

“අපේ ජීවිතය පැහැදිලි කර ගැනීමට,

අස්වැසිල්ලක් ලබාගැනීමට,

අපගේ පෝෂණයට,

කාව්‍ය අවශ්‍ය ම වන්නේය.”

ඔහු පවසන ආකාරයට ජිවිතය පැහැදිලි කරගැනීමට හෝ අස්වැසිල්ලක් ලබාගැනීම සඳහා කාව්‍ය අවශ්‍ය වෙයි. එකිනෙකට බද්ධ වූ ඒ කරුණු ද්විත්වය විමසා බලන විට කලාව එක්තරා අන්දමකට පලා යෑම සඳහා උචිත සංකල්පයක් බව ඔප්පු කළ හැකිය.

ඕනෑම ජනප්‍රිය නවකතාවක් අවධානයෙන් යුතුව කියවා බලන විට පෙනී යන්නේ එම නවකතාවෙහි යම් ගලා යෑම ඔස්සේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන බවයි. බොහෝ ජනප්‍රිය සාහිත්‍ය කෘතිවල දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ කෘතිය අවසානයේදී උත්කෘෂ්ට කර දක්වනුයේ සදාචාර සම්පන්න මිනිස් ගුණාංග සමුදායක් බවයි.

ඉයන් ප්ලෙමින් නැමැති ජනප්‍රිය නවකතාකරුවාගේ “007 ජේම්ස් බොන්ඩ්” නවකතා පෙළ මේ සඳහා මහඟු නිදර්ශනයකි.

මේ කෘතිවල එන වීරයා ඉතාම සරල හැසිරීමකින් යුක්ත විනෝදකාමී පුද්ගලයෙකි. ඔහු සාම්ප්‍රදායික වීර චරිතයක භූමිකාව නිරූපණය කරන්නෙක් නොවේ. අනෙක් පසින් විදග්ධ නවකතාකරුවකු වූ දොස්තයෙව්ස්කි, රැස්කෝල් නිකොව් වැනි චරිත නිරූපණය කිරීමේදී මෙන් තම වීරයා මිනිස් චිත්ත සංතානයේ ගැඹුරු ම තලයේ තබා නිරූපණය කිරීමක් අපට දැකගත හැකිය.

සරල නවකතාකරුවන්, නොඑසේ නම් මේ ජනප්‍රිය සාහිත්‍යකරුවන් විදග්ධ නවකතාකරුවන් මෙන් එසේ ජීවිතය විනිවිද දැකීම පිණිස උත්සාහ කරන්නේ නැත. එවන් කතාකරුවන් තම වීරයා බොහෝ විට නිරූපණය කෙරෙන්නේ වීරයා භාවිත කරන බස, ඔහුගේ බාහිර පෙනුම ආදිය ආශ්‍රය කර ගනිමිනි. ඇඳුම් පැලඳුම් පිළිබඳ ව කෙරෙන විස්තර මඟින් කතාකරුවකුට මිනිසෙක් නිර්මාණය කිරීම අසීරු ය. එහෙත් ඒ මඟින් එකී පුද්ගලයා පිළිබඳ බො‍හෝ කරුණු කාරණා පාඨකයා වෙත සියුම් ව ගෙන හැර දැක්විය හැකිය. මේ නිසා ජනප්‍රිය නවකතාවක එන චරිතයක ඇඳුම් පැලඳුම් යනු ඒ චරිතය පිළිබඳ ව බොහෝ දෑ කියා පාන්නකි.

ජේම්ස් බෝන්ඩ් ගේ කළු කලිසම, කමිසය, ටයි පටිය, සම් පා වැසුම් යුවළ, හොංකොං පිජාමාව අපට ඒ චරිතය පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් සපයයි.

එසේම ජනප්‍රිය නවකතාවකින් නිර්මාණකරුවා තම චරිත පාඨකයා ඉදිරියට රැගෙන එන්නේ කෙසේද යන්න ගැන ඉංග්‍රීසි නවකතාකරුවකු හා විචාරකයකු වන කිංස්ලි ආමිස් The James Bond Doisser නමැති කෘතියෙන් මනාව පැහැදිලි කරයි. මේ තුළ ජනප්‍රිය නවකතා රචකයකු තම චරිත ගොඩ නඟන්නා වූ සුවිශේෂී ලීලාව කුමක් ද යන්න මැනවින් විග්‍රහ කරයි. මේ නවකතා රචකයන් වෙතින් රටකට සුවිශාල සමාජ මෙහෙවරක් සිදු වන බව ද ආමිස් පෙන්වා දෙයි.

ඉතිරි කොටස ඉදිරි කලාපයෙන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.