දන්නවද; ඒ කොළේ බිම වැටෙන්න පැය දෙකහමාරක් ගියා... | සත්මඬල

දන්නවද; ඒ කොළේ බිම වැටෙන්න පැය දෙකහමාරක් ගියා...

මම නිසලව ඈත පිහිටි ගස දෙස බලා හුන්නෙමි. මේ දිනවල පරිසරය තෙත් සිහිල් සුවදායි බවින් යුතු වුවද සෑම ගසක ම පත්‍ර මෝරා ඉදී යමින් තිබේ. ඒ අතර පඬුවන් පැහැව බිමට පොහොර වුණු පත්‍ර අතරින් ළා දලු ද මතුවෙමින් තිබේ. ගසක් සිය ජීවිත කාලයේ සෑම වකවානුවක් ම මෙසේ එකට ගත කරමින් සිටී. සෑම ගසකම, සෑම පත්‍රයක ම මනරම් යැයි මා කිව හොත් ඔබ එකඟවනු නිසැක ය. ඒ සෑම පත්‍රයක ම ඊට ම ආවේණික වූ අපූරු සුන්දරත්වයක් තිබෙන නිසා ය. මිය යමින් සිටින පත්‍රයකට පවා අපූරු විස්මිත සුන්දර බවක් හා තේජසක් තිබේ. මියගොස් පොළොවට පොහොර වෙද්දී පවා පත්‍ර මෙතරම් සුන්දර, ඒ තේජස හා ආවේණික සුන්දරත්වය නිසාය.

මඳ සුළඟක් හැමුවේ ය. සමුගැනීමට බලා සිටි පත්‍ර එකින් එක සුළ‍ඟේ පා වී යන්නට වීය. මඳ සුළ‍ඟේ ළයාන්විතව පැද්දුණු එක් පත්‍රයක් සුළඟ හා ගීතවත් ව ඔට්ටු වෙමින් මිහිකත දෙසට පා වී ආව ද, විස්මිත ලෙස ගසේ අලංකාරත්, මිහිකතත් මැද රැඳුණේ ය. බැල්කනියේ මා සිටින තැනට ඒ පත්‍රය ආධාරකයක් නැතිව රැ‍ඳෙන්නේ කෙසේදැයි පෙනුණේ නැත. අනෙක් සෑම මනුෂ්‍යයකු මෙන්ම මා සිත ද කුතූහලයෙන් බර විණි. දුරදක්නය අතට ගත් මම ආධාරයකින් තොරව රැඳුණු ඒ පත්‍රයට නොපෙනී ආධාර කරන්නේ කවුරුන්දැයි විමසිලිමත් වුණෙමි. සොබාදහම සෑමවිටම අපේ පුහුණු කරන ලද මනස් හා දෑස් පුදුම කරන්නේ ය. මේ විශ්වයේ රහස් කෙදිනකවත්; තව ආලෝක වර්ෂ සිය ගණනකින්වත් සොයා නිම කරගත නොහැකි බව ඔබ දනියි.

ඔබ දන්නවාද ඒ පඬුවන් පැහැ පත්‍රයට මිහිකතට පොහොර වන්නට නොදී රැකගත්තේ කවුරුන් ද කියා. දුරදක්නයේ පිහිටෙන් මා ඒ ආශ්චර්යවත් ආධාරකය දැකගතිමි. පියවි ඇසට සමීපව මිස ඈතට දර්ශනය නොවන කුඩා මකුළුවෙක් සිය සුන්දර නිවහන තනා තිබුණේ අර පත්‍රය සුළඟ හා නැළවෙමින් පා වී ආ මාවතේ ය. මකුළුවා තම නිවහන ආක්‍රමණය කළ මේ ආගන්තුකයා ගැන මහත් කලබලයෙනි. එහෙත් ඒ කුඩා මකුළුවාට මේ ආගන්තුකයා හා ඔට්ටු වීමට තරම් හැකියාවක් ද නැත. පත්‍රය නිසා ඇහිරුණු තම නිවෙසේ සෑම අඟලකටම දිවයමින් ඌ සිය නිවහන නිදහස් කරගන්නට වෑයම් කරන්නේය. සිය නිවහනේ බිත්තිවල මායමින් රඳවාගන්නා කෘමීන් ආහාරයට ගන්නා මකුළුවාට මේ පත්‍රය නිසා සිය ආහාර වේල ද අහිමි ව ගොස්ය.

පැයක හමාරක් ගත වන්නට ඇත. පත්‍රය රැඳුණේ කුමකදැයි දන්නා මම දුරදක්නය පසෙකලා ඒ මිය යන්නට ගිය පතට ලැබුණු මඳ විරාමය ගැනත්, මකුළුවාගේ සිතිවිලි ගැනත් සිතමින් සිටියෙමි. කාලය ගෙවී යන්නේ තිරිංග නැති සිතටත් වඩා වේගයෙනි.

දැන් පත්‍රය මකුළු දැලෙහි රැඳී පැය දෙකකටත් වැඩි කාලයක් නික්ම ගොස් ය. තවමත් නැළවෙමින් සුළඟ හා මන්දගාමීව නටමින් පත්‍රය මකුළු දැලෙහි ම රැඳී තිබුණේය.

සුළඟ ටිකෙන් ටික වේගවත් වූයේ වැස්සක පෙරනිමිති පහළ කරමිනි. පැහැබර අහස අඳුරු රේඛා මතින් ‍සෝබර ව අප දෙස බලන්නට පටන් ගත්තේ ය. කුඩා පිනිබිඳු වන් වැහි බිඳු මිහිකත මතට පාවී එන්නට විණි. දැලෙන් ගැලවුණු පත්‍රය සෙමෙන් මිහිකත දෙසට සෝබරව පාවී එමින් තිබිණි. පත්‍රය මිහිකතට පතිත වන්නට නටුවෙන් ගිලිහුණු තැන් පටන් මිනිත්තු 150ක් පමණ ගුවනේ රැඳී තිබිණි. ඒ පැය දෙකහමාරක කාලය පුරා මම පත්‍රය දෙසත්, සොබාදම් චලන ගැනත් නිශ්චල ව බලා හුන‍්නෙමි.

ඒ පත්‍රයත් හරියට අපේ ජීවිත වාගේ ම ය. සමහර අවස්ථාවල ගිලිහෙන තැන්වලදී අප නොසිතන ආධාරක අපට රුකුලක්, රැකවරණයක් වන්නේය. එහෙත් කොතෙක් ආධාරක තිබුණත්, රැකවල් තිබුණත් යන්නට තිබෙන ගමන නම් යා යුතු ම ය.

ඇත්ත ඇති සැටියෙන් දකින්නේ අප අතරින් කීයෙන් කී දෙනා ද? ඇත්ත ඇති සැටියෙන් දැකීම යනු කුමක් ද; සමහර විට ඔබ ප්‍රශ්න කරනු ඇත. මෙසේ සිතමු ද? ගංගාවක් බාධකයක් හමු වූ විට කරන්නේ කුමක් ද? ඔබ විවිධාකාර පිළිතුරු දෙනු ඇත. සිය මුළු වැර යොදා ඒ බාධකය ඉවත් කරගෙන ගඟ සුපුරුදු ලෙස ගලා යනු ඇතැයි කෙනකු පවසනු ඇත; තවකකු එයට උඩින් හෝ යටින් හෝ වටෙන් හෝ ගොස් මාර්ගය සොයාගෙන ගලා යනු ඇතැයි පවසනු නියතය. මඳක් සිතන්න; මේ පිළිතුරු දෙක ගැන. ඔබ, මා දන්නා පරිද්දෙන් ම ගංගාවක් කිසි විටෙකත් නිශ්චල නැත. ක්‍රියාත්මක ව ගලා යෑම හැර එයට අන් විකල්පයක් නැත. ඉදින් එය අර කී මාර්ගයක් අනුගමනය කිරීම නියතියකි. ගංගාව තමාට ගලා යෑමට පහසු මාර්ගය තෝරා ගනී. ඒ ඇති සැටිය පිළිගැනීමට සොබාදහමේ පවතින නියත අවනත බව නිසා ය. එවිට ස්වභාවයෙන් ම තෝරාගැනෙන්නේ හානිය අවම දේ ය. අපේ ජීවිතවලට යම් බාධකයක් ආ විට ඒ බාධකයට එහා තිබෙන දේ ලබාගැනීමේ දැඩි ආශාව නිසා ම ඒ බාධකය සමඟ අපි ගැටෙමු. බාධකය ජය ගත හැකි නියම ක්‍රමය ඉන් අපට මඟහැරෙන්නට ඉඩ තිබේ. අපේ මනස නිරන්තරයෙන්ම සැකයෙන් පිරී පවතියි. ඒ සැකය නිසාම බොහෝ දේ වැරදියට පෙනෙයි. ඒ නිසාම අපට පහසු දේවල් මඟහැරෙන්නට ඉඩ තිබේ. ජීවිතය යනු සීරුමාරුවට යා යුතු ගමනක් බැව් වැටහෙන්නට අපට කල් ගත වන්නේය. බාධක මඟහැරීම වෙනුවට බාධක සමඟ අප ගැටෙන්නේ ඒ නිසා ය. සැම විටම බාධක මඟහැරිය නොහැකිය. එහෙත් ජීවිතයේ අසීරු අවස්ථා මඟහරින්නට නම් ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන ඍජු ගැටීමට වඩා අත්හැරීම සුවදායී බව ඔබට කවදා හෝ වැටහෙන්නේ නම්, ඔබ සුවදායී ජීවිතයක් ගෙවන්නකු වනු නියතය.

ඒ සඳහා අවැසි වන්නේ ඔබ, ඔබ ගැන ම අවදියෙන් සිටීම පමණකි. එක ම සිතිවිල්ලකටවත් ලිස්සා යෑමට ඉඩ නොතබන්න. හෙළා දැකීමක් හෝ විනිශ්චයක් නැතිවම ඒ සිතිවිලි ගැන අවදියෙන් සිටියොත් ඔබ ඇතුළතින් ක්‍රියාත්මක ව සිටින්නකු බවට පත් වේ. අවුරුදු ගණනාවක අත්දැකීම්, වේදනාව සහ ප්‍රමෝදය අප්‍රසන්න විපත් හා වෙන්වීම් පිළිබඳ ක්ෂණික මතක ඈ මේ සියල්ලම සුන්දරත්වය ප්‍රදානය කරන දෑය. වැදගත් වන්නේ කිසිවක් නොව, ඔබේ හද‍වතේ ඇති ඉඩයි. ඒ ඉඩ උතුරා යන තරමට ප්‍රසන්න නම් මේ ලෝකය ඔබට නොදෙන්නේ මොනවාද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.