යුද බිමක් වන් සිතක් | සත්මඬල

යුද බිමක් වන් සිතක්

මම ඔබට යෝජනාවක් කරන්නට සිතුවෙමි. ඔබ, මම, අපි නිරන්තරයෙන් ම අනුන් කියවාගන්නට උත්සාහ කරන්නෙමු. මේ අය සිතන පතන ආකාරය, ඒ අය සිතන දෙයින් අපට කුමක් වේද; ඔබ ගැන ඔවුන් කෙසේ සිතයි ද; මේ සියලු කාරණා ගැන අපි නිරන්තරයෙන් සිතන්නෙමු. මේ සියලු සිතීම් අතර වඩාත් වැදගත් වන්නේ තමා තමා ගැනම ඉගෙනීම යැයි මා යෝජනා කළ හොත්; කුමක්ද ඒ ගැන ඔබේ අදහස? මා මේ ඔබට ආරාධනා කරන්නේ තමා ම නිරීක්ෂණය කරමින්, තමා ම තමා ගැන ඉගෙනීමයි. ලෝකය වෙන කිසිවක් ම නොව තමා ම යැයි එවිට ඔබට පැහැදිලි වනු ඇත.

ජීවත් වෙද්දී අපට විවිධ ස්වරූපවල, විවිධ ගතිගුණ, විවිධ ප්‍රතික්‍රියා ඇති බොහෝ දෙනා මුණගැසෙති. ඒ අය විවිධ අවස්ථාවල ජීවිතයට මුහුණ දෙන විවිධ ආකාර ද අපට පෙනෙයි; දකියි; ප්‍රතික්‍රියාද දක්වයි. ඒ ඒ පුද්ගල චරිත ස්වභාව ගැන අප වරෙක විස්මයට පත් වන්නෙමු. එහෙත් මඳක් කල්පනා කර බලන්න. මේ සියලු පුද්ගල ස්වරූප ඔබට ඔබේ ජීවිතයෙන් ද හමු නොවනවා ද කියා.

කැමැති දේ ම සිදු වන විට සතුටින් පිරෙන ඔබේ සිනහව, විටෙක වෛරයෙන් පිරෙන ඔබේ සිත, ජාතිවාදී හැඟීම් පොපියන ඔබේ මනස, දැඩි ආගම් භක්තියෙන් පිරෙන ඔබේ සිත, සමහර දෑ විශ්වාස කරන; ඒ දෑ ම තවත් මොහොතකදී අවිශ්වාස කරන, අනෙකාට ප්‍රශංසා සේම අපහාස කරන, යම් විටෙකදී බියට පත් වන මේ සියල්ල ඔබට, ඔබගෙන් ම හමු වනු ඇත. ඔබ අනෙකාගෙන් දකින සියල්ල විවිධ අවස්ථාවල ඔබගේම ප්‍රතිරූප බැව් ඔබටම වැටහෙනු ඇත. මේ ගැටලු දෙස ඔබ සවිඥානකව බලන්නේ නම් ඒ සියල්ල ද ඔබම බැව් වැටහීමෙන් ලබන අපූරු ආනන්දය ඔබට අත්කර ලබාගත හැකි වෙයි.

ජීවිතය යනු භය, සංකාව, අවිනිශ්චිත බව, වදය හා ආයාසයයි. ප්‍රේමය, සුඛය හා මරණය ද ජීවිතයට අයත් ය. මිනිසා, පොදුවේ ඔබ මම සදාකාලිකව ම අසමින් සිටින ප්‍රශ්නය; මේ සියල්ලට එහා කෙසේ හෝ සොයාගත හැකි යමක් තිබේ ද යන්න ද ජීවිතයට අදාළ ය. ලැබෙන දෙයට වඩා නොලැබෙන දෙයට ප්‍රේම කිරීම ඔබ, මම, අප සියල්ලන් ම සදාකාලිකව ම කරන්නකි. අප නිරන්තරයෙන් සිටින්නේ ප්‍රශ්න අසමින් ය. සදාතන දෙයක්, අකාලික යථාර්ථයක් තිබේදැයි දැන ගැනීමට ද අපට අවශ්‍යය ය. මෙලෙස බලන කල අපට ඇත්තේ එක් ගැටලුවක් පමණක් නොවේ. මේ ගැටලු අතරින් ඔබට වඩාත් ම සමීප හා බලපාන ගැටලුව තේරුම් ගත හොත් ඉතිරි ඒවා ළිහාගන්නට එය ප්‍රයෝජනවත් වනු ඇත.

මට, ඔබගෙන් ප්‍රශ්නයක් අසන්නට අවශ්‍යයයි. මේ ගැටලු අතරින් ඔබට වඩාත් ම දැනෙන, වඩාත් ම ඔබ සසල කරන ගැටලුව කුමක් ද? එය, භය යැයි මා කිව හොත් ඔබ එකඟ ද? මා එසේ කීවාට එය විශේෂිත භයක් යැයි වරදවා නොසිතුව මැනවි. අප සැමට ම මේ මා කියන්නට තනන ‘භය’ සාමාන්‍ය ජීවිතයේදී නිරන්තරයෙන් හමු වන්නකි.

ජීවත්වීමේ භය, මරණ භය, අපේක්ෂා ඉටු කර ගැනීමට නොහැකි වීමේ භය, අසමර්ථ වීමේ භය, යමකුගේ ආධිපත්‍යයට හෝ මර්දනයට යටත් වීමේ භය, ආරක්ෂා රහිත වීමේ භය, තනිකම පිළිබඳ භය, ආදරය නොලැබීම පිළිබඳ භය, ප්‍රතික්ෂේප වීමේ භය ආදි වශයෙන් වන සියලු භයවීම් මීට අදාළ ය. භය යම් තැනක පවතින්නේ නම් ආක්‍රමණශීලිත්වය ද එතැන පවතී. ඔබට ම අත්දැකීම් ඇති ඔබ බියපත් වූ විට තදින් ක්‍රියාත්මක වනවා නේද? විටෙක ඔබ ඒ භයෙන් ගැලවී යෑමට උත්සාහ දරන අතරේ තවත්විටෙක ඒ සඳහා ප්‍රතික්‍රියා දක්වන්නට ද යයි. මා මේ සියල්ලෙන්ම ඔබට ආරාධනා කරන්නේ මේ සියලු තත්ත්ව ඔබට, මට අප සැමට ම ජීවිතයේ විවිධ අවස්ථාවල උදා වන බැවින් ඔබව ම නිරීක්ෂණය කර ගන්නා ලෙස ය.

ඔබට සදහටම බයෙන් නිදහස් විය හැකි ද? භය විශ්ලේෂණය කරගැනීමෙන්, මඟ හැර යෑමෙන්, නොතකා සිටීමෙන් ඉන් නිදහස් විය හැකි ද? අතීතය ගැන, වර්තමානය ගැන, අනාගතය ගැන වන භයෙන් සිතක් මුළුමනින් ම නිදහස් වන්නේ කෙසේද ? ඒ සඳහා කොතරම් කාලයක් ගතවේද ? මේ සඳහා වන සරල ම පිළිතුර වන්නේ ඔබ මරණයට පත් වන්නේ භය ද තුරුලු කරගෙන බව ය. ඉදින් කුමක් කරමුද?

සියල්ල පැහැදිලිව දැකිය හැකි පරිදි සම්පූර්ණ සිත භයෙන් නිදහස් වන්නේ කෙසේ ද? අපේ සිතට සම්පූර්ණයෙන් ම භයෙන් නිදහස් වීමට හැකි වේ ද? හිංසාව හා යුද්ධය ජීවන රටාවක් ලෙස පිළිගෙන ඇති අපි භයත් ඒ ආකාරයෙන් ම අනිවාර්ය දෙයක්, නොවැළැක්විය හැකි දෙයක් සේ මෙතෙක් පිළිගන්නෙමු. අපි දහස් ගණන් යුද්ධ කර ඇත්තෙමු; අපි හැමදාමත් සාමය ගැන ද කතා කර ඇත්තෙමු. එහෙත් අප ගත කරන එදිනෙදා ජීවිතය යුද්ධයකි; රණබිමකි; ඝට්ටනයකි. සම්පූර්ණ සාමයෙන් හෝ සම්පූර්ණ යුද්ධයෙන් යුතු ජීවිතයක් අපට කිසිදිනෙක ගත කිරීමට නොලැබෙන්නේ ය. ඝට්ටනය පවත්නේ අප අතරත ඇති පරස්පර විරෝධය නිසා ය. එකකට එකක් පරස්පර විරෝධි ඉල්ලීම්, එකකට එකක් ප්‍රතිවිරුද්ධ ආශා අප සැමට ම තිබේ. මේවා පැවැත්මේ අංගයක් ලෙස පිළිගත්තා විනා අප කවරදා වත් මේවා ප්‍රශ්න කර නැත. භයෙන් නිදහස් වීමට නම් මේ සියල්ල ගැන යථාවබෝධයක් තිබිය යුතු වෙයි. ලෝභයෙන්, ඊර්ෂ්‍යාවෙන්, උන්නතිකාමයෙන්, තරගකාරිත්වයෙන්, ක්‍රෑරත්වයෙන් නිදහස ලැබිය හැකි නම්... එබඳු සිතක් නිර්මල වනු නියත ය. එය පුහුණුවකින් කළ හැක්කක් නො වේ; තමා විසින් ම කළ යුතු වන්නකි.

අපේ ජීවිතය ම ඝට්ටනයකි; යුද බිමකි. නිදහස් වූ සිතට ඝට්ටන නැත. ඒ සඳහා අවැසි වන්නේ තමා ගැන ම වන නිරීක්ෂණයකි. බුද්ධිමත් තැනැත්තා කිසිවිටෙක සංසන්දනය නොකරයි. ඔබේ සිත නිදහස් දැයි සරලව ම ඔබට දැනගත හැකි වන්නේ සංසන්දනය කොතෙක් ඔබේ ජීවිතයට බලපෑම් කර ඇත්තේ ද යන්න ගැන ඔබට තක්සේරුවක් ඇති විට ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.