අංගරචනා කලාවේ විකාශය හා වර්තමානය | සත්මඬල

අංගරචනා කලාවේ විකාශය හා වර්තමානය

සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි ආරම්භයේදී ඉන්දීය ආභාසය දකින්නට ලැබෙන්නේ, නූර්ති නාට්‍ය කලාවේ හා ඉන්දීය සිනමාවේ බලපෑම දැඩි ලෙස බලපෑ සිංහල චිත්‍රපටවල දකින්නට ලැබුණු ගොරහැඩි අංගරචනා ශෛලිය නිසා යයි සිතන්නට සිදු වෙයි.

සිංහල වේදිකා නාට්‍ය අංග රචනා කලාව, කලාවක් ලෙස ඇගැයෙන්නේ, ඊට හිමි නිසි ස්ථානය හිමි වීම ඇරැඹෙන්නේ හැත්තෑව දශකයේදී ය. වේශ නිරූපණය වෙස් ගැන්වීම හෙවත් අංගරචනය (Make up) නාට්‍ය කලාව හා සම්බන්ධිත ආනුෂංගික අංග අතර ප්‍රධාන එක් අංගයකි. සංගීතය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර, රංග භූමි අලංකරණය, රංගාලෝකය, රංග භාණ්ඩ ආදී වර්ගීකරණ අතරේ අංගරචනය අයත් වන්නේ දෘශ්‍යාංග (Visuals) යන කාණ්ඩයට ය. අංගරචනය, රංග වස්ත්‍ර, රංග භාණ්ඩ, රංග භූමි අලංකරණය හෝ පසුතල නිර්මාණය දෘශ්‍යාංග කාණ්ඩයට අයත් ය. සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි ආරම්භයේදී ඉන්දීය ආභාසය දකින්නට ලැබෙන්නේ නූර්ති නාට්‍ය කලාවේ හා ඉන්දීය සිනමාවේ බලපෑම දැඩි ලෙස බලපෑ සිංහල චිත්‍රපටවල දකින්නට ලැබුණු ගොරහැඩි අංගරචනා ශෛලිය නිසා යයි සිතන්නට සිදු වෙයි. අංගරචනය යන වචනය පවා නාට්‍යයට හඳුන්වා දුන් මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘මනමේ’ (1956) නාට්‍යයේ අංගරචනය, වෙස් නිර්මාණ හා රංග භාණ්ඩ නිර්මාණ වැනි කලාත්මක අධ්‍යක්ෂණය භාරකර තිබුණේ, මහාචාර්ය සිරි ගුනසිංහ වැනි නිර්මාණකරුවකුට බව නාට්‍ය ඉතිහාසයෙහි සඳහන් වෙයි. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායෙහි අංගරචනය පිළිබඳ වැදගත් සන්ධිස්ථානය සලකුණු කරනු ලබන්නේ, ‘මනමේ’ හා ‘සිංහබාහු’ යන නාට්‍ය නිර්මාණවල ය. එහෙත් සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි ආරම්භක වකවානුවල නිෂ්පාදකවරුන් ඔවුන්ගේ නාට්‍ය රඟදැක්වීමේදී අංගරචනය සඳහා ප්‍රමුඛත්වයක්දී ඇති බවක් නොපෙනෙයි.

රාජ්‍ය අනුග්‍රහයෙන් සිංහල නාට්‍ය උත්සවයක් පළමු වරට පවත්වා ඇත්තේ 1959 වර්ෂයේදී ය. එතැන් පටන් 1961 දක්වා වාර්ෂික නාට්‍ය උලෙළ පවත්වා තිබුණ ද ඒ උලෙළ සඳහා තෝරාගත් නාට්‍ය ප්‍රදර්ශනය කිරීම විනා තරගකාරී මට්ටමකින් එකී නාට්‍ය නිර්මාණකරුවන්ට සම්මාන පිරිනැමීමක් සිදු වී නැත. මෙහිදි අංගරචනය පිළිබඳ විමසීමේදී මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය සඳහා පවා ආනුෂංගික අංග යටතේ අංගරචනය විශේෂ කර සඳහන් නොකළ අවස්ථා‍ ද වෙයි. ඒ සඳහා ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘වෙල්ල වැහුම්’ වැනි නාට්‍ය නිදසුන් ය. ප්‍රථම වරට තාත්වික හා ශෛලිගත නාට්‍යය යනුවෙන් වර්ගීකරණය කර සම්මාන පිරිනැමීම ඇරැඹුණු 1962 නාට්‍ය උත්සවයේදී පවා අංගරචනය සඳහා සම්මාන පිරිනැමීමක් සිදු නොවුණු අතර, උලෙළට ඉදිරිපත් වූ ඇතැම් නාට්‍ය නිෂ්පාදකවරයකු විසින් අංගරචනය පිළිබඳ සඳහනක් නොකර තිබීම විශේෂ කරුණකි. ඒ උලෙළේදී සම්මාන දිනූ සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නිර්මාණයට අදාළව පවා අංගරචනය පිළිබඳ තොරතුරු හමු නොවේ. එතැන් පටන් ඇතැම් වර්ෂවල නාට්‍ය උලෙළ නොපවත්වා ඇත ද අද දක්වා පවත්වා ගෙන එනු ලබන රාජ්‍ය නාට්‍ය උලෙළ සම්මාන පිරිනැමීමේදී අංගරචනය සඳහා පළමු වතාවට රාජ්‍ය සම්මානයක් හෝ කුසලතා සහතිකයක් පිරිනැමීම ආරම්භ වී ඇත්තේ 1976 ජාතික නාට්‍ය උත්සවය සමඟිනි.

මෙමඟින් වේදිකා නාට්‍යයක අංගරචනය යනු එහි කලාත්මක පරිසමාප්ත බව කෙරෙහි බලපාන වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.

අංගරචනය, වේදිකාවක් මත රංගනයට එක්වන නළු නිළි කණ්ඩායමක චරිත ස්වභාව උද්ධීපනය‍ කර ප්‍රේක්ෂකයන් වෙත සමීප කෙරෙන කලාවක් වුව එහි ඉතිහාසය ගෝත්‍රික මිනිසුන්ගේ ඇතැම් උත්සව අවස්ථා දක්වා පවා දිව යන්නකි. පුරාතන ගෝත්‍රික ජන සමාජවල ඔවුන්ගේ විනෝදජනක අවස්ථාහිදී පරිසරයෙන් සොයා ගත් ද්‍රව්‍යවලින් තනාගත් වර්ණ භාවිතයෙන් තම මුහුණු අත් පා හා සි‍රුරේ ඇතැම් කොටස් අලංකාර කර ගෙන ඇති බව පෙනෙයි. විවිධ වර්ණ පාෂාණ, අඟුරු, ගහකොළ යුෂ, පොතු ආදියෙන් තනාගත් වර්ණාලේප ඔවුන්ගේ අංගරචනා භාණ්ඩ විය. එහෙත් වර්තමාන අංගරචනා භාණ්ඩ ලොව ප්‍රසිද්ධ වෙළෙඳ නාම සහිත Krylon වැනි මිල අධික භාණ්ඩයි. ශ්‍රී ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසයේ ආරම්භක වකවානුවේ බහුලව භාවිත කළ අංගරචනා භාණ්ඩ වූයේ ජර්මනියේ නිෂ්පාදිත Leichuer වෙළෙඳ නාමය සහිත ග්‍රීස් ජෙන්ට් (ආවසා) කූරු ය. පදනම් ආලේපනය ලෙස අංක 9, ගඩොල් රතු (Number 9 Brick Red) එවකට ජනප්‍රිය වූ අංගරචනා භාණ්ඩ වර්ගය විය. අංක 9 පදනම් ආලේපනය ඉවත් වූ අතර විවිධ අංක යටතේ අනෙකුත් සියලු වර්ණ මිලට ගැනීමට හැකි විය. 1970 – 77 කාලයේ ආනයනික භාණ්ඩ සීමා හේතුකර ගෙන මේ භාණ්ඩ වෙළෙඳ පොළෙහි හිඟ වූ අතර, ඒවා සඳහා ආදේශන ද්‍රව්‍ය ලෙස දේශීයව නිෂ්පාදනය කළ අංග රචනා ද්‍රව්‍ය තිබිණි. ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය අංගරචනා ශිල්පියකු වූ සිරිල් වෙඩික්කාර එවන් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ එක් කලාකරුවෙක් විය. මේ තත්ත්වය වෙනස් වී ලෝක වෙළෙඳ පොළෙහි ප්‍රචලිත අංගරචනා ද්‍රව්‍ය ආනයනයට ඉඩකඩ සැලසුණේ 1977න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟය. පදනම් ආලේපන ලෙස ජල වාහක Pan cake (ඉන්දියාවේ හා යුරෝපයේ නිෂ්පාදිත) භාණ්ඩ භාවිතයට අංග රචනා ශිල්පීහු පුරුදු වූහ. නාට්‍ය සම්ප්‍රදාය හෝ ශෛලිය කුමක් වුවත් ලෝක ධර්මී හෝ නාට්‍ය ධර්මී (Realistic Stylized) වුවත් අංගරචනය වැදගත් වන්නේ එමඟින් නළු නිළියන්ගේ භූමිකාවලට උචිත වේශය නිර්මාණය කිරීමෙන් නාට්‍ය නිෂ්පාදකයාට, නළු නිළියන්ට මෙන්ම නරඹන ප්‍රේක්ෂකයන්ට ද පූර්ණ නාට්‍යාස්වාදයක් ලැබෙන බැවිනි. කෙසේ වෙතත් ‍මේ යුගයේ සිංහල වේදිකා නාට්‍ය අංගරචනය සඳහා සුදුසුකම් ලැබූ පිරිස ඉතා සීමිත වූ බව පෙනෙයි.

ශෛලිගත සම්ප්‍රදායට අයත් නාට්‍ය අංගරචනය ස්වාභාවික හෙවත් සංවාද නාට්‍ය සම්ප්‍රදායේ නාට්‍ය අංගරචනයට හාත්පසින්ම වෙනස් වූවක් විය. ශෛලිගත සම්ප්‍රදායට අයත් නාට්‍ය සියල්ලම පාහේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ නිෂ්පාදන වූ අතර (මනමේ සිංහබාහු, මහාසාර, පෙමතී ජායතී සොකො (ඔපෙරා) කදාවළලු, වෙස්සන්තර, ලෝමහංස) ගුණසේන ගලප්පත්තිගේ නිර්මාණ අතර ‘සඳ කිඳුරු’ වැනි ශෛලිගත සම්ප්‍රදායේ නිෂ්පාදන ද ඔහුගේම ‘මුහුදු පුත්තු’, දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා’ හෙන්රි ජයසේනගේ ‘කුවේණි’, ‘හුනුවටයේ කතාව’ වැනි අර්ධ ශෛලිගත නාට්‍යය ද ආරම්භක යුගයේ වේදිකා නාට්‍ය අංගරචනය පිළිබඳ කැපී පෙනුණු නාට්‍ය නිෂ්පාදන විය. තාත්වික හෙවත් ලෝක ධර්මී නාට්‍ය නිෂ්පාදකවරුන් වූ සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන (ජනේලය, මනරංජන වැඩවර්ජන, තවත් උදෑසනක් වැනි), නාමෙල් වීරමුණි, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, ධර්මසිරි වික්‍රමරත්න, ආර්. ආර්. සමරකෝන්, සයිමන් නවගත්තේගම, ගුණසේන ගලප්පත්ති (ලියතඹරා), ධම්ම ජාගොඩ, එස්. කරුණාරත්න, ප්‍රේම රංජිත් තිලකරත්න ආදින්ගේ නාට්‍ය සඳහා ස්වාභාවික ශෛලියේ අංගරචනය භාවිත විණ.

ශෛලිගත සම්ප්‍රදායට අයත් සිංහල වේදිකා නාට්‍ය අංගරචනය සඳහා වර්තමානය දක්වාම මොඩල ලෙස භාවිත කරනු ලබන්නේ ‘මනමේ’, ‘සිංහබාහු’ අංග රචනා ශෛලියයි. වැදි රජුගේ වේශය, ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාගේ වේශය, ‘නරිබෑනා’හි නරියාගේ මුහුණ, මේ මොඩල අතර වෙයි. ජපන් කාබුකි, නෝ නාට්‍ය සම්ප්‍රදායට අයත් වෙස් මුහුණ මෙන්ම බීජිං හෝ පීකිං ඔපෙරා චීන නාට්‍ය සම්ප්‍රදායට අයත් අංගරචනය ද ශ්‍රී ලංකාවේ ශෛලිගත නාට්‍ය කලාවට අයත් නිෂ්පාදන සඳහා වර්තමානය දක්වාම ආභාසය ලබයි.

එහෙත් නාට්‍ය ධර්මී හෙවත් ලෝක ධර්මී සම්ප්‍රදායෙන් නිෂ්පාදනය වන සිංහල වේදිකා නාට්‍ය අංගරචනය, නව නිර්මාණකරුවන් විසින් කරනු ලබන විවිධ අත්හදා බැලීම් හා පර්යේෂණාත්මක ස්වභාවයේ නිර්මාණ මඟින් පෝෂණය වනු පෙනෙයි. අසූව දශකයේ පමණ සිට වර්තමානය දක්වා සිංහල නාට්‍ය අංග රචනා විෂයයෙහි සාධනීය වෙනස්කම් මෙන්ම හානිකර වර්ධනයක් ද දක්නට ලැබේ. වෙනස් වන ආර්ථික දේශපාලනීය හා කලා මාධ්‍ය ප්‍රභේදවල සිදු වෙමින් පවතින වෙනස්කම් මේ තත්ත්වයන් කෙරෙහි බලපානු දක්නට ලැබේ.

හැත්තෑව හා අසූව දශක මැද භාගය වනතෙක් සිනමාව හා වේදිකා නාට්‍යයට පමණක් සීමා වී තිබූ අංගරචනා කලාව රූපවාහිනියේ ආගමනයත් සමඟ ව්‍යාප්ත වූයේ වේගයෙනි. සිනමාව, වේදිකාව, රූපවාහිනිය, ඡායාරූපකරණය, දැන්වීම්කරණය යනාදී ක්ෂේත්‍රවල නිර්මාණ සඳහා අංගරචනය අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වීම නිසා මේ කලාව සඳහා විශාල නිර්මාණකරුවන් පිරිසකගේ සහභාගිත්වය ද ඕනෑ වී තිබිණ. මියුසික් වීඩියෝ Music Video, Commercials සඳහා පෙනී සිටින නිරූපණ ශිල්පීන් හා නිරූපිකාවන් හැඩ වැඩ ගැන්වීමට අංගරචනා ශිල්පීන් බහුලව අවශ්‍ය වීම නිදසුනකි. රූපවාහිනි නාළිකා රැසක් විසින් සතිපතා විකාශය කරනු ලබන ටෙලි නාට්‍ය සංඛ්‍යාව වර්ෂයකට සියයකට ආසන්න බව සත්‍යයකි. මෙවැනි නිර්මාණ සඳහා ද අංගරචනා ශිල්පීන්ගේ අවශ්‍යතාව පැන නගී. වේදිකා නාට්‍ය අංගරචනය ඊටම සුවිශේෂී වූ එකක් වන අතර සජීව ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඉදිරියේ වේදිකාවක රඟන නළුනිළි කණ්ඩායමක භූමිකා රංග ‍කාර්යයක් ප්‍රබල රංග කාර්යයක් කිරීමට ඉවහල් වන ප්‍රේක්ෂක විශ්වසනීයත්වය නොබිදෙන අංගරචන නිර්මාණයක් වීම අත්‍යවශ්‍ය වෙයි.

එහෙත් සිනමාවට හෝ ටෙලිනාට්‍යවලට අවශ්‍ය අංගරචනය හා වේදිකා නාට්‍ය අංගරචනයක් අතර ප්‍රධාන වෙනස මෙලෙස දැක්විය හැකිය. ඒ ඒ කැමරාවක් ඉදිරියේ රඟන නළුවකුගේ හෝ නිළියකගේ මුහුණෙහි සියුම් වූ වෙනස්කමක් පවා කැමරාවට හසු කර ගැනීමේ ශක්තිය ඇත. එනමුත් වේදිකා නාට්‍ය නිර්මාණයක් නරඹන ප්‍රේක්ෂකයකුට මුල්පෙළෙහි සිට අවසාන පේළිය දක්වා සිටින ඒ සියලු දෙනාගේම පියවි ඇසට හසු වන අංග රචනයක් නිර්මාණය කිරීම අසීරු කටයුත්තකි. වේදිකා නාට්‍ය අංගරචනයක් අතිශයෝක්ති ස්වරූපයක් ගන්නේ යැයි ඇතැම් පිරිස් පවසන්නේ මේ හේතුව නිසා විය යුතුය. එහෙත් නිර්මාණශීලී අංගරචනා ශිල්පියා ස්වභාවෝක්තියත්, අතිශයෝක්තියත් අතර සමබර අංගරචනයක් නිර්මාණය කිරීමට සමත්වන්නෙක් වෙයි. ඒ සඳහා මෙකී මාධ්‍ය ද්වයෙහිම ස්වභාව හා සීමා හඳුනාගත යුත්තකු විය යුතුය. සිනමාව හා වේදිකා නාට්‍ය නිර්මාණ සඳහන් පමණක් අවශ්‍ය වී හා සීමා වී තිබුණු අංගරචනා කලාව වෙනත් ප්‍රභේද කරා ව්‍යාප්ත වීමෙන් වේදිකා නාට්‍ය අංගරචනයෙහි පෙරදා තිබූ ජීව ගුණයට හානි සිදු වන බවයි පැහැදිලිවම පෙනී යන්නේ.

නාට්‍ය රචකයෝ හෝ නිෂ්පාදකයෝ අවශ්‍යතා මැනවින් හඳුනගත යුතු අංග රචනා ශිල්පියා තම කාර්ය ඉටුකිරීමේදී නාට්‍යයේ අනෙකුත් ආනුෂංගික අංශ වන රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකය යන අංශ සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගත යුතු වෙයි. මන්ද යත් අංගරචනය සඳහා තම සැලසුම් සකස් කිරීමේදී රංගවස්ත්‍ර වර්ණ මෙන්ම රංගාලෝකය මිශ්‍ර වන ආකාරය පිළිබඳව ද දැනුමකින් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වෙයි. මූලික වශයෙන් නිෂ්පාදකවරයාට අවශ්‍ය වන චරිතයට නළුවාට හෝ නිළියට පිවිසීමට හැකි වන්නේ අවසාන වශයෙන් අංගරචනා නිර්මාණ ශිල්පියා විසින් දෙනු ලබන වේශය මතයි. දෝෂ සහිත අංග රචනයකින් ඉතාම හොඳ නළුවකුගේ රංගනයට බාධා සිදු විය හැකි අතර සමස්ත නාට්‍යයේ කලාත්මක ගුණය බිඳ වැටීමට ද හේතුවනු ඇත. මේ අවශ්‍යතා වටහා ගත් නිෂ්පාදකවරු පුහුණු වීම් අතරතුර මෙන්ම රංග වස්ත්‍ර හා ආලෝක පුහුණු අතරවාරයේ අංග රචනා ශිල්පියා සමඟ සාකච්ඡා කරමින් නාට්‍යයට මෙන්ම නළු නිළියන්ට ද සාධාරණයක් ඉටුකිරීමට වගබලාගත යුතු වෙයි. කෙතරම් දක්ෂ නළුවකුගේ හෝ නිළියකගේ භූමිකාවක්, අනුචිත අංගරචනයකින් අසාර්ථක වීම වැළැක්විය නොහේ.

රාජ්‍ය නාට්‍ය උලෙළ වැනි ඉහළම සම්මාන පිරිනැමීමක් සිදුවීම ආරම්භයත් සමඟ වේදිකා නාට්‍ය කලාවේ අංගරචනය නම් වූ විෂයයට පෙර යුගවල නොවූ වැදගත් කමක් පිළිගැනීමක් (Recognition) හිමි වීම නිසා දෝ මේ අංශය පිළිබඳ නිෂ්පාදකවරයාගේ සිට නළු නිළියන්ගේ ද, අංගරචනා නිර්මාණකරුවාගේ ද දැඩි අවධානයක් යොමු වීම පෙනෙන්නට තිබේ. අවශ්‍ය ඕනෑම වර්ගයක අංගරචනා ද්‍රව්‍ය ලබා ගැනීමට (මිල අධික වුවත්) ඇති හැකියාව, අන්තර්ජාලයට පිවිස ලෝකයේ අනෙකුත් රටවල වේදිකා නාට්‍ය රංග රචනා කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදීමට ඇති හැකියාව, අංග රචනයේ විවිධ ප්‍රභේද හඳුන ගැනීමට හා අවශ්‍ය තන්හි අංගරචනා කලාවෙහි මූලධර්ම මත පිහිටා නිර්මාණය කරන ලද චරිතාංග නළු නිළි මුහුණ හා විශේෂ ප්‍රයෝග (Special Efects) ඇතුළත් ඡායාරූප බාගත කිරීමෙන් පසු (Download) සියුම් අධ්‍යයනයක යෙදීමට ඇති පහසුකම් නිසා ද වේදිකා නාට්‍ය අංග රචනයේ ගුණාත්මක වර්ධනයක් අපේක්ෂා කළ හැකි මුත් එහි නිසි ඵල ලබාගත හැකි වන්නේ මේ දැනුම හා පහසුකම් ප්‍රායෝගිකව භාවිත කිරීමෙන් පසුව බව නොකිව මනා ය.

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය අංගරචනය හා එහි විකාශය පිළිබඳ තතු මෙවැනි කෙටි සටහනකින් ලියා නිම කිරීම අපහසු වුවත් මේ ක්ෂේත්‍රයෙහි දශක කිහිපයක් පුරා අඛණ්ඩ පළපුරුද්දක් හා අත්දැකීම් පිරි අංගරචනා නිර්මාණකරුවන් දෙදෙනකුගේ අදහස් සම්පිණ්ඩනය කර එක් කිරීම කාලෝචිත යැයි සිතමි. පළමුවැන්නා, සිංහල නාට්‍ය වේදිකාවෙහි මතු නොව සිනමාව හා රූපවාහිනි ක්ෂේත්‍රවල ද එකිනෙකට වෙනස් මාධ්‍ය හා ශෛලිවල අංගරචනයෙහි සුවිශේෂතා පිළිබඳ ප්‍රායෝගික දැනුමැති සම්මානිත රංගරචනා නිර්මාණකරු වසන්ත විට්ටච්චි ය.

වේදිකා නාට්‍ය අංග රචනයෙහි රාජ්‍ය සම්මාන වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති නිර්මාණකරුවා ඔහු ය. දෙවැන්නා සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීන න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් හා අත්දැකීම් ලබා ඇති රාජ්‍ය නාට්‍ය උලෙළ අවස්ථා රාශියකදී හොඳම අංගරචනා නිර්මාණකරු වූද රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ නිර්මාණයෙහි ද දක්ෂතා සතු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජගත් පද්මසිරි ය. වර්තමාන දේශීය නාට්‍ය කලාවෙහි අංගරචනා නිර්මාණකරුට හා ඒ ශිල්පයට ‍ක්ෂේත්‍රයේ හිමි ස්ථානය පිළිබඳ ඔවුන් දැක්වූ බොහෝ අදහස් කාලෝචිත ය.

ඒ කරුණු පහත පරිදි සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

1. ශාස්ත්‍රීය මට්ටමින් අංගරචනය පිළිබඳ දැනුමක් ලබා ගත හැකි ආයතනයක් ශ්‍රී ලංකාවේ නොවීම.

2. සිනමාව, ටෙලිනාට්‍යය, ඡායාරූපකරණය හා රූපලාවණ්‍ය යන ක්ෂේත්‍ර සඳහා අංගරචනය අවශ්‍ය වී ඇති බැවින් විශාල ශිල්පීන් සංඛ්‍යාවකගේ අවශ්‍යතාව නිසා මූලික දැනුමක් හෝ නැති පිරිස් මේ කලාවට පිවිසීම.

3. වේදිකා නාට්‍ය අංගරචනය යනු රූපවාහිනි හෝ සිනමා අංගරචනයක් හෝ රූපලාවණ්‍යාගාරයක කරනු ලබන අංගරචනා කලාවක් ය යන වැරදි හා හානිකර සිතිවිල්ල.

4. කොණ්ඩ සැකසුමට, කේශාලංකරණ සඳහා රූපලාවණ්‍යාගාරයකට (Beauty Saloon) පිවිසෙන බොහෝ නිළියන් එහිදි ඔවුන්ගේ මුහුණ ද හැඩ වැඩ ගන්වා ගනිමින් වේදිකා අංගරචනයේ මූලික සිද්ධාන්තවලට පටහැණිව කටයුතු කිරීම.

5. ටෙලි නාට්‍ය අංගරචනයෙහි නිරත ශිල්පීන්ගෙන් බොහෝ දෙනාට ටෙලි නාට්‍ය අංගරචනය හා වේදිකා නාට්‍ය අංග රචනයෙහි මූලික වෙනස්කම් නොවැටහීම.

6. ශෛලිගත නාට්‍ය අංගරචනය මනමේ, සිංහබාහු අංගරචනා සම්ප්‍රදාය පමණක් යැයි සිතමින් ඒවා අනුකරණය කිරීම.

7. සංස්කෘතික දෙපාර්තමේන්තුව, රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය වැනි ආයතන විසින්, අංගරචනා ක්ෂේත්‍රයෙහි නිරත කලාකරුවන්ගේ හැකියා වර්ධනයට අවශ්‍ය පුහුණුව හෝ නිසි අධ්‍යයනයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් හෝ පහසුකම් නොසැපයීම (රාජ්‍ය සම්මාන පිදීමෙන් ඔබ්බට ගිය නිත්‍ය වැඩපිළිවෙළක්)

8. විදේශ රටක අංගරචනා විෂය පිළිබඳ පුහුණුවක් ලබාගැනීමට හැකි පාඨමාලා හැදෑරීමට අවස්ථාවක් ලබානොදීම ශිෂ්‍යයත්ව හෝ පුහුණු පාඨමාලා සඳහා සහභාගිත්වය.

9. වේදිකා නාට්‍ය අංගරචනා කලාවෙහි විශිෂ්ට කුසලතා සතු න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමැති නාට්‍යකරුවන් මෙරටට ගෙන්වා ඔවුන් යටතේ දේශන හා පුහුණු පාඨමාලා පැවැත්වීමට කටයුතු සම්පාදනය.

10. ආනයනික අංගරචනා ද්‍රව්‍ය මිල ඉතා අධික බැවින් නාට්‍ය නිර්මාණයක් සඳහා අංගරචනය වෙනුවෙන් අය කෙරෙන මිල ගණන් අධික වීම, නිෂ්පාදකට කෙරෙන බලපෑම. සහන මිලකට තීරු බදු රහිතව මේ ද්‍රව්‍ය ලබාදීමට රජය මැදිහත් වීම.

11. දිවයිනේ බොහෝ රංගශාලා නේපථ්‍යාගාර (Dressing Green Rooms) අංගරචනයට අවශ්‍ය මූලික පහසුකම්වලින් තොරවීම. උදා - ආලෝකය, වාතාශ්‍රය, අවශ්‍ය ප්‍රමාණයට ආසන

12. මෙරට බොහෝ නාට්‍ය නිෂ්පාදකවරු දේශීය දර්ශන සඳහා වගකීම් පවරනු ලබන අංගරචනා නිර්මාණකරුවන් ඔවුන්ගේ විදේශීය සංචාර සඳහා කපා හැරීම හා එතෙරදී අංගරචනය යනුවෙන් කිසිදු පුහුණුවක් නොමැති පාර්ශ්ව ලවා මුහුණේ කුමක් හෝ ආලේප කරවා ගැනීම.

13. අංගරචනය ප්‍රධාන කොටගත් අනෙකුත් දෘශ්‍යාංග නිර්මාණය සඳහා අධ්‍යයනයක් ලබාගත හැකි විද්‍යස්ථානයක් (Academy) නොවීම.

14. 2011 සිට උසස් පෙළ නාට්‍ය හා රංගකලා විෂය ධාරාවල අංගරචනය විෂයට අදාළව ප්‍රායෝගික කොටසක්ද ඇතුළත්ව තිබෙන අවස්ථාවක එම විෂය ඉගැන්වීම සඳහා විෂයානුබද්ධ දැනුමක් ඇති ගුරුවරුන් හිඟවීම.

15. වේදිකා නාට්‍ය අංගරචනයේදී ඇතැම් ස්ත්‍රී චරිත නිරූපණය කරනු ලබන නිළියන් තම චරිතයේ වයසට, ස්වභාවයට උචිත අංගරචනය සඳහා කැමැත්තක් නොදක්වා, වයස් සඟවා ගැනීමට උත්සාහ කිරීම.

16. ක්ෂේත්‍රයේ තරගකාරිත්වය හේතුකර ගෙන අංගරචනා නිර්මාණකරුවන්ට නිශ්චිත හා සාධාරණ ගෙවීම් ලබාගැනීමට අපහසු වීම (Under cutting)

17. සම්මාන උලෙළ කිහිපයක්ම පැවැත්වෙන බැවින් (රාජ්‍ය නාට්‍ය, යොවුන් නාට්‍ය හා පළාත් සභා නාට්‍ය උලෙළ) සම්මාන සඳහා තරග වැදීමට ඇති අවස්ථා පුළුල් වීම. 18. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විෂය මාලාවට අංගරචනය විෂයයන් ලෙස ඉගැන්වීම ඔස්සේ පෙර යුගවල පිරිමි අංගරචනා නිර්මාණකරුවන්ට පමණක් සීමා වී තිබූ කලාවට කාන්තා ආගමනය සිදු වීම හා මෑත කාලයේ බොහෝ සම්මාන උලෙළවලදී ඔවුන් සම්මාන දිනා ගැනීම.

වසන්ත විට්ටච්චි හා ජගත් පද්මසිරි, අංගරචනා නිර්මාණකරුවන් දෙදෙනාගේ නිරීක්ෂණ මාලාවකින් තෝරා ගත් නිරීක්ෂණ කිහිපයක් පමණි ඉහත දක්වා ඇත්තේ.

පනහ දශකයේ සිට දෙදහස දශකය අවසානය අබියස සිටින වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ, ලෝලීන්ගේ හා විද්‍යාර්ථින්ගේ දැන ගැනීම සඳහා මේ විෂයයෙහි දක්ෂතා පෙන්වූ පූර්වගාමී කලාකරුවන් රාශියකගේ නම් ගම් සඳහන් කළ යුතු යැයි සිතමි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින පුරෝගාමී අංගරචනා නිර්මාණකරුවන් වන්නේ විමලධර්ම දියසේන හා අභය අත්තනායක (මනමේ, සිංහබාහු, නරිබෑනා හා තවත් නාට්‍ය) පද්මකුමාර එදිරිවීර (මනමේ, සිංහබාහු, මහාසාර, පෙමතො ජායතී සොකො, බර්නදාගේ සිපිරිගේ) හා චන්ද්‍රසේන දසනායක, (මනමේ, රංකඳ, සක්කාය දිට්ඨි) ආදීන් ය. සිංහල වේදිකා නාට්‍ය, අංගරචනා, ඉතිහාසයෙහි පූර්ව නාමාවලියෙහි පුරෝගාමීන් ලෙස ලියැවී ඇති නම් ගම් අතර මහාචාර්ය සිරි ගුනසිංහ, ඒ. පී. ගුණරත්න, හපුආරච්චි වෛද්‍යසේකර, අයිලින් සරච්චන්ද්‍ර, රෝස්මලී කුක්, ගාමිණී වික්‍රමසූරිය, සරච්චන්ද්‍ර සමර‍ක්කොඩි, සිරිල් බී. වෙඩික්කාර, ගෝමස් හේවා (අසම්පූර්ණ සටහනකි) ආදීහු වෙත්. දශකයෙන් දශකයට සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි ආනුෂංගික අංග අතර විශේෂ සම්මානයක් ගනු ලබන අංගරචනය විකාශය වීම පිළිබඳ දළ සටහනක් වූ මේ ලිපිය අපගේ අතීත මතකයට පිවිසීමට ගනු ලැබූ මූලික උත්සාහයක් පමණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.