පුරාවිද්‍යා විෂය සාමාන්‍ය ජනතාව අතරට ගෙන ගිය පඬිවරයා | සත්මඬල

පුරාවිද්‍යා විෂය සාමාන්‍ය ජනතාව අතරට ගෙන ගිය පඬිවරයා

එක්තරා කැණීම් බිමක පිකැසයකින් (පිකැස් යනු කැණීම් කටයුතු සඳහා භාවිත කරන කුඩා උපකරණයකි) පුරාවිද්‍යා සේවකයෙක් කැණීමක් කරමින් සිටියේ ය. ඒ කැණීමේදී මැටි භාජනයක් මතු වෙමින් තිබිණි. මැටි භාජනයේ උඩු කොටස පිකැසය වැදීම නිසා පුරාවිද්‍යා සේවකයා අතින් මඳක් පලුදු වූයේ ය. ඒ සමඟම ඔහු අපේක්ෂා නොකළ පුද්ගලයකු ඒ දෙසට පැමිණෙන බව ද දුටුවේය. එසේ පැමිණෙමින් සිටියේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ය. කැණීම කරමින් සිටි පුරාවිද්‍යා සේවකයා වහාම කෙළ ටිකක් ගාමින් බිඳුණු මැටි භාජනයේ ගැට්ට ඇලෙව්වේ ය. පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා කැණීම කරමින් සිටි පුරාවිද්‍යා සේවකයා ළඟට පැමිණ මතු වෙමින් තිබුණු ඒ මැටිබඳුන සෙමෙන් පාදා දෙන ලෙස පැවැසුවේය.

මෙහිදී අප අවධාරණය කරන්නේ පුරාවිද්‍යා සේවකයාගේ ශික්ෂණය පිළිබඳව ය. මේ අවස්ථාව යම් කෙනකුට වංචාවක් ලෙස අර්ථ ගැන්විය හැකිය. එහෙත් එසේ නොසිතනු මැනවි. පුරාවිද්‍යා සේවකයා තුළ පුරාවිද්‍යා කොමසාරිස්වරයා ගැන තිබුණේ හුදු බියක් නොවේ. ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකි. ඒ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම කුමක් නිසා ද? තමා අතින් ඒ අගනා පුරාවිද්‍යාත්මක භාණ්ඩය (මැටිබඳුන) මඳක් හෝ කඩතොලු වූ නිසා තමා අතින් වරදක් සිදු වූ බව ඒ පුරාවිද්‍යා සේවකයාට හැඟී ගිය නිසා ය. එදා ඒ පුරාවිද්‍යා කොමසාරිස්වරයා මීට වසර 41කට පෙර එනම්, 1977 පෙබරවාරි මස 11 වැනිදා අභාවයට පත් වූයේ ය.

පුරාවිද්‍යා ක්ෂේත්‍රය අද ඉතා ජනප්‍රිය විෂයයක් බවට පත් ව තිබේ. ආචාර්ය සෙනරත් පරණවිතාන විද්වතා මෙරට ප්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස 1940 සිට 1956 තෙක් ඉතා සුවිශේෂ සේවාවක් ඉටු කළේය. ඊට පසු පුරාවිද්‍යා කොමසාරිස් තනතුරේ වැඩ බැලීම සඳහා එවක ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ මෙරට මෙන්ම ලොව ප්‍රකට විද්වතකු වන ආචාර්ය පී.ඊ.පී.දැරණියගල මහතා පත් කරන ලදි. 1957 හා 1958 කාලයේ ඔහු එහි කටයුතු කළේය. 1960 සිට 1967 තෙක් පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සේවය කළ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ආචාර්ය සෙනරත් පරණවිතාන විද්වතාණන්ට පසු ඒ පුරාවිද්‍යා ශික්ෂණය ඉදිරියට ගෙන ගිය විද්වතකු ලෙස හැඳින්විය හැකිය.

පුරාවිද්‍යාව යන විෂයය සඳහා භාෂා හා සාහිත්‍ය ඥානය ද පුරාවිද්‍යාත්මක දත්ත පිළිබඳ අවබෝධයක් මෙන්ම ක්ෂේත්‍ර පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ද අවශ්‍ය වන්නේය. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර ද ඒ කාලයේ තිබූ එකම විද්යුත් මාධ්‍යය වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය සමඟ ද, මෙරට මුද්‍රිත මාධ්‍යයට අදාළ වූ පුවත්පත් සමඟ ද ඉතා සමීප සබඳතාවක් පැවැත් වූයේය. ඔහුගේ ශාස්ත්‍රීය සේවාව විහිද යන්නේ තමා විසින් පොත-පත ලිවීම සඳහා පමණක් නොවේ. හේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂයන් ලවා පොත-පත ලියැවීමටත් උනන්දුවක් දැක්වූ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකි.

චාල්ස් ගොඩකුඹුර මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් සහ මහනුවර සංඝරාජ පිරිවෙනෙන් ද ඉගෙනීම ලැබූවෙකි. සිංහල, පාලි හා සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා මෙන්ම සාහිත්‍යය පිළිබඳව ද ඔහුට තිබුණේ සුවිශේෂ දැනුමකි. ලංකා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට පසුව ගොඩකුඹුර මහතා 1938 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉන්දු ආර්ය භාෂා පිළිබඳ ශාස්ත්‍රපති (MA) විභාගය ද සමත් විය. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි ප්‍රාචීන සහ අප්‍රිකානු අධ්‍යයන අංශයෙහි සිංහල හා ඉන්දියානු අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය.

1947 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු ලෙසින් සේවයට බැඳීමට පෙර මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස ද සේවය කළ අයෙකි. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයක් ඇති කළේ ඔහුගේ සේවා කාලයේදී ය. මේ ලේඛකයා ද සේවය කළේ ඒ ප්‍රකාශන අංශයෙහි ය. ආචාර්ය සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස් ලෙසින් සේවය කළ යුගයේදී ප්‍රකාශන නමින් අංශයක් නොතිබූ නමුදු ඒ කටයුතු නොපිරිහෙළා සිදු වූ බව මෙහිදි සඳහන් කළ යුතුව ඇත. ඒ ප්‍රකාශන අංශයට පුරාවිද්‍යා ගවේෂණ නමින් තවත් අංශයක් ඇති කර ඒ අංශ දෙකම එක සහකාර කොමසාරිස්වරයකු යටතේ පාලනය විය.

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර හා ආචාර්ය සෙනරත් පරණවිතාන විද්වතාණන් සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැතිණි. එමෙන්ම ආචාර්ය චාල්ස් ගොඩකුඹුර සඳකඩපහණ, මුරගල, බුදුපිළිම, තිවංක පිළිමගෙයි බිතුසිතුවම් ආදි පුරා විද්‍යා වස්තු පිළිබඳ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ග්‍රන්ථ රාශියක්ම ලියා පළ කළේය. ඒ ග්‍රන්ථ ඉතා සරල භාෂාවෙන් ලිවීම නිසා ම බොහෝ ජනප්‍රිය වූයේ ය. දැදිගම කොට වෙහෙර ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ මූලිකත්වයෙන් කරන ලද කැණීමකි. මහා පරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානයේ ඉදි කළ සුනිඝර දාගැබ (දැදිගම කොටවෙහෙර) අනෙක් ස්ථානවල දක්නට ලැබෙන දාගැබ්වලට වඩා වෙනස් ය. සාමාන්‍යයෙන් ස්තූපයක් හෙවත් දාගැබක් පුරාණ කාලයේ සාදන්නේ විහාරස්ථානයක අංගයක් ලෙසිනි. එයට වැඳුම්-පිදුම් කිරීම ද සඳහා ය. එහෙත් දැදිගම කොටවෙහෙර වැඳුම්-පිදුම් කිරීම පිණිස සාදන ලද දාගැබක් නොවේ. මේ දාගැබ පුරාවිද්‍යා ස්මාරකයකි. අප රට මහ විජයබාහු රජතුමාට පසු රට එක්සේසත් කර සහලින් ස්ව්‍යංපෝෂිත කළ මහ පැරකුම්බා රජතුමා උපන් ස්ථානය වටකර මේ දාගැබ සාදා ඇත. මෙය ‘සූතිඝර චේතිය’ ලෙසින් හඳුන්වන්නේ ඒ නිසා ය. මෙවැනිම විශාල දාගැබක් දකුණු පළාතේ යුදඟනාවේ ද නිර්මාණය කර ඇත. ඒ දාගැබ ද ස්මාරකයකි. එය මහා පරාක්‍රමබාහු රජුගේ මව්තුමිය වූ රත්නාවලි බිසව අභාවයට පත් වූ පසුව ආදාහනය කළ ස්ථානයේ ඉදි කළ දාගැබකි. එය ද කොටවෙහෙර සම්ප්‍රදායට අයත් දාගැබකි. ඒ නිසා එය ද පුරාවිද්‍යා ස්මාරකයකි. මේ දාගැබ් දෙකම පොලොන්නරු රාජධානි සමයට අයත් ය.

අප මෙහිදි විශේෂ අවධානය යොමු කරන්නේ 1951දී දැදිගම කොටවෙහෙර කැණීම් කටයුතු කරන අවස්ථාවේදී (සංරක්ෂණය සඳහා) හමු වූ සුවිශේෂ ඇත් පහන නමින් ප්‍රකට පහන ගැන ය. මෙවැනි පහන් දෙකක් හමු විය. දැදිගම කොටවෙහෙරේ මේ පුරාවිද්‍යා කැණීම හා සංරක්ෂණය පිළිබඳ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් ‘KOTAVEHERA AT DEDIGAMA’ නමින් ග්‍රන්ථයක් ද ලිව්වේ ය. මේ ඇත් පහන් දෙකෙන් එකක් මේ ස්ථානයේම සාදා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. අනෙක් ඇත් පහන කොළඹ ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබේ. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කොටවෙහෙර කැණීම් හා සංරක්ෂණය සිදු විණි. එහිදි හමු වූ අනෙකුත් පුරාවස්තු ද මේ අසල ඇති දැදිගම කොට වෙහෙර කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.

මේ ඇත් පහන අප රටේ වාස්තු විද්‍යා ක්ෂේත්‍රයේ ඒ ශිල්පීන්ගේ දක්ෂතාව පිළිබිඹු කෙරෙන විශේෂිත නිර්මාණයක් ලෙසින් ලොව ප්‍රකට වී ඇත.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.