2019 අජටාකාශ යුගයක උදාවයි | සත්මඬල

2019 අජටාකාශ යුගයක උදාවයි

සාමාන්‍ය වශයෙන් නම්, නව වසරක උදාව එතරම් ම සුවිශේෂ සිද්ධියක් නොවේ. දෙසැම්බර් මාසයේ තිස්එක් වැනිදා මධ්‍යම රාත්‍රිය ගෙවී ගිය විට, ඊළඟ වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා එළැඹෙන්නේය. භෝජන සංග්‍රහ, මධුපානෝත්සව, නැටුම් - ගැයුම්, නව වසරක් පිළිගැනීමේ සම්මත චාරිත්‍ර රටාව වශයෙන් ලොව පුරා පිළිගැනේ.

එහෙත්, මෙවර 2019 නව වසර ගෙන එමින් ජනවාරි මාසය පැමිණි කල්හි ලොව මුළුල්ලේ හැම දේශයකම පාහේ ජනී ජනයා බල ප්‍රවෘත්ති ප්‍රවාහයකින් ඇලළී ගියහ.

ඒ පුවත්වලින්, ලොව ජනතාවගේ සිත් - සතන් තියුණු කුහුලකට පත් කරන ලද්දේ 2019යේ නව වසර ආරම්භයේ සිටම, අසන්නට ලැබුණු අජටාකාශ පර්යේෂණ සිද්ධි ධාරාව මඟිනි. 2019යට මුල පිරූ ඒ සක්වළ චාරිකා කතා අතිශයින්ම විස්මය දනවන සුලු ය. ඒවා අතුරින් ප්‍රධාන පර්යේෂණ කිහිපයක් දෙසට අපි සිත් යොමු කළ යුතු වෙමු.

මින් පෙර කිසිවිටෙක සිදු නොවූ ආකාරයේ අජටාකාශ චාරිකාවක යෙදෙමින්, චීනයේ “චාං ජේ - 4” යානය, සඳ තලයේ අඳුරු පැත්තට ගොඩබැස්සේ, ජනවාරි තුන්වැනිදා බ්‍රහස්පතින්දායි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යවන ලද ඇපොලෝ චාරිකා, යොමු වූයේ සඳ මඬලෙහි, අපට පෙනෙන, ආලෝකවත් පැත්තට පමණි. එහෙත් මේ චීන යානය සඳෙහි අඳුරු පැත්තට ගොඩ බැස්සේ, ඒ පෙදෙස ගැන විද්‍යාත්මක තොරතුරු එතරම් බහුලව නොමැති හෙයිනි.

චීනය විසින් යවන ලද “චාංජේ - 4” යානයට දෙන ලද නම ආශ්‍රිතව විචිත්‍ර කතාවක් ඇත්තේය. “චංජේ” යනු “චන්ද්‍ර දේවතාවිය” සඳහා භාවිත වන චීන පදයයි. මේ චන්ද්‍ර දේවිය, අමෘත ඖෂධයක් වැළඳුවාය. ඒ හේතු කර ගෙන, මනු ලොවදී අභාවයට පත් වූ ඒ හේතුකර ගෙන, මනුලොවදී අභාවයට ඒ දේවතාව පියඹා ගොස් සදාකාලික ජීවය සහිතව සඳෙහි උපත ලැබුවාය.

‘චාංජේ - 4 ‘ යානය සඳතලයට ගොඩ බැස්සේ ජනවාරි මස තුන්වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.20ටයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් නම් එදා උදේ 6.55ටයි.

චීන චන්ද්‍ර පර්යේෂණායතනය කොටස් දෙකකින් යුක්තයි. ඒ දෙකින් ප්‍රධාන කොටස විසින් කරනු ලබන්නේ, සඳේ සැරිසරන උපයානය, සඳතලය මතට බැස්සවීමයි. උපයානය, ඉන් පසුව මව් යානයෙන් වෙන්වී, සඳතලය මත චාරිකාවේ යෙදේ. එසේ ඒ චාරිකාවේ යෙදෙමින් සඳේ අදුරු පෙදෙසේ තොරතුරු සොයන උපයානය නම් කෙරෙන්නේ “මැණික් හාවා” වශයෙනි. අපේ රටට පුරුදු “හඳේ හාවා” පිළිබඳ කථාවද, අපගේ දේශයේ අයට මාත් මතක්වනු නිසැකය.

සඳේ අඳුරු පැත්තට යානයක් බැස්සවීම, ඉතාම බැරෑරුම් අජටාකාශ පර්යේෂණ ක්‍රියාවකි. එහි අපහසුම පක්ෂය නම්, සඳේ අඳුරු පැත්තත්, පෘථිවියත් අතර විද්යුත් සම්බන්ධතා පවත්වා ගැනීමයි.

සඳේ ආලෝකවත් පැත්තේ සිට, සෘජුවම පෘථිවියට විද්යුත් සන්දේශ එවිය හැකියි. එහෙත්, අඳුරු පැත්තේ සිට සඳ මඬල තුළින්, පෘථිවියට විද්‍යුත් සංඥා එවිය නො හැකිය. මේ ගැටළුව විසඳාගන්නා පිරිස, චීන සන්නිවේදන විද්‍යාඥයෝ සඳතලයට ඉහළින් කඩින්, කඩ විද්යුත් පණිවිඩ සංඥා යැවිය හැකි චන්ද්‍රිකා පිහිටුවාලූහ.

සඳේ, ආවාට බහුල අඳුරු පැත්තට යානයක් යවා, ඒ අඳුරු ප්‍රදේශයේ ස්වභාවය පිළිබඳ පර්යේෂණ ධාරාවක් පවත්වන්නට සාර්ථඛ පියවරක් ගනිමින්, චීනය විසින් සඳ ගමන් පිළිබඳ වීර පියවරක් ඉදිරියට තබා ඇත්තේය.

2019යේ නව වසර ආරම්භයේදී, සඳේ අඳුරු පැත්තට, චාරිකා යානයක් යැවීම, චීනයේ අජටාකාශ පර්යේෂණ ව්‍යාපෘතියේ එක් අංශයක් පමණි. සඳතලයේ විවිධ වස්තු ලබාගෙන ඒවා පෘතිවියට ගෙන ආහැකි අජටාකාශ යානයක්ද, චීනය විසින් සැලසුම් කොට ඇත්තේය.

කිහිපවිටක්ම භාවිත කළ හැකි ආකාශචාරී යානා තැනීමද චීනය විසින් ආරම්භ කොට ගෙන ඇත්තේය. මේ අජටාකාශ යානා 2021 වන විට භාවිතයට පත්කොට ගත හැකිවේ යැයි චීන අජටාකාශ විද්වත්තු සිතති.

සඳේ අඳුරු පැත්ත අස්තගාමී උෂ්ණ - ශීත ගුණ සහිතය. ඒ අඳුරු පැත්තේ රාත්‍රිකාලය පෑ 14කි. ඒ කාලය තුළ පවත්නේ ඉතාම දැඩි ශීතලකි. දාවල් පෑ 14 තුළ ඉතා දැඩි උෂ්ණයක් දැනෙන්නේය. චීන චන්ද්‍රයානය, සිය පර්යේෂණ පවත්වන්නේ, ඒ කාලගුණ තත්ත්වයට මූණ පාමිනි.

චීනය, සඳේ අඳුරු පැත්තට යානයක් යවමින් 2019 ය ආරම්භයේදී - අජටාකාශ පර්යේෂණ වාර්තාවක් පිහිටුවන විට අමෙරිකාවේ විද්‍යාඥයෝත්, මිනිස් ඉතිහාසයෙහි මෙතෙක් නොවූ විරූ සක්වළ තරණයක ප්‍රවෘත්තිය ලොවට ප්‍රකාශ කොට සිටියහ.

ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනයේ අජටාකාශ ගවේෂණ ජයග්‍රහණය සිදු වුණේ නව වසර උදාවූ දා (2019 යේ ජනවාරි පළමුවනදා) අපරභාග 12.33ටයි.

සිදු වූයේ කුමක්ද? ඒ මොහොතේදී ‘නිව් හොරයිසන්ස්” නම් ඇමෙරිකානු චන්ද්‍රිකාව, “අල්ටිමා කූලේ” නම් අජටාකාශ වස්තුවට, ඉතා කිට්ටුවෙන් යාත්‍රා කළේය.

පෘථිවි තලයේ සිට “අල්ටිමා කූලේ” උඩුගහන වස්තුවට යන්නට, ඒ චන්ද්‍රිකාව විසින්, සැතපුම්, කෝටි 400ක් තරණය කළ යුතු විය.

කෘත්‍රිම වස්තුවක්, එතරම් ඈත අජටාකාශ වස්තුවක් කිට්ටුවට ගමන් කළ ප්‍රථමවාරය මෙයයි.

චන්ද්‍රිකාව විසින් ඉළක්ක කොට ගන්නා ලද අජටාකාශ වස්තුව කුමක්ද?

චන්ද්‍රිකාව ගමන් කළේ “අල්ටිමා කූලේ” නම් ග්‍රහකය කිට්ටුවෙනි. ඒ වස්තු(ග්‍රාහකය) කුඩා ග්‍රහයකු වැනි ය. එය පිහිටියේ අපගේ සෞරග්‍රහ වළල්ල අද්දරයි.

සූර්යයා සතු ග්‍රහ වළල්ල කොනේ තැනී තිබෙන “අල්ටිමා කූලේ” නම් වූ මේ වස්තුව, දිගින් සැතපුම් 19කි. එයට, සිය අක්ෂය වටා වරක් කැරකෙන්නට පැය 15ක් ගත වේ.

අපගේ පෘථිවියට, එහි අක්ෂය වටා වරක් කැරකෙන්නට පැය විසිහතරක් ගත වන බව අපි දනිමු.

ඒ ස්ථානයේදී, සූර්යයාගේ රශ්මිය, පෘථිවියේදී එහි රශ්මියෙන්, 1600 පංගුවකින් පමණ අඩුය. ඒ පෙදෙස කොපමණ ශීතල විය හැකිදැයි අපට සිතාගන්නටවත් බැරි තරම්ය.

මේ අපූරු ග්‍රහවස්තුවේ ස්වරූපය, පෙනුම, ප්‍රථමවරට දළ ඡායාරූපයකින් දුටු නාසා ආයතනයේ ප්‍රධාන පර්යේෂක නිලධාරී ඇලස් ස්ටර්ස්ටන් සිනා පහළ වූයේය.

මක් නිසාද යත්, එහි රූපාකාරය, දරුවන් විසින් පෘථිවියේ හිම ඍතුවේදී, අයිස් ගුළිවලින් තනනු ලබන හිම මිනිසෙකුගේ වැනි වූ හෙයිනි. එවැනි හිම මිනිසුන් ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ “ස්නෝ මෙන්” වශයෙනි.

මේ වස්තුව තැනී ඇත්තේ, ඉතාම දැඩි ශීතලෙන් ඒක ඝනලූ හිම ගුළි දෙක් එකට ඇලීමෙනි. ඒ “ගුළි” දෙකින්, විශාල ගුළිය “අල්ටිමා” නම් වේ. කුඩා ගුළිය, එයට වඩා තුන් ගුණයකින් පමණ කුඩා ය.

එය ‘කූලේ’ යැයි නම් ලැබීය. දෙක එකට එලී, එක වස්තුවක් බවට පත්ව තිබෙන නිසා, එය දැන් ‘අල්ටිමා කූලේ’ යැයි හැඳින්වේ. මේ ග්‍රහ වස්තුව රතු පාටයි.

මේ ග්‍රහ වස්තුව නිසා අපට, සූර්යයාගේ ග්‍රහ වළල්ලේ කටාවත් පැහැදිලිව දැකගත හැකිවේ.

පෘථිවියේ මහා ගොඩනැඟිල්ලක් තනන, බිම් පෙදෙසක් ගැන සිතමු. ඒ විශාල ගොඩනැඟිල්ල තනා නිමවූ විට, ඒ බිමේ, ගඩොල්, වැලි, ගල් ගොඩ ගැසේ. ඒවා ගොඩනැඟිල්ල තැනුවාට පසුව ඉතිරි වූ දේවල් ය.

සූර්යයාගේ ග්‍රහ වළල්ල තැනී නිමා වූ සිට, ඒවායේ ඉතිරි කොටස්, සෞරග්‍රහ මණ්ඩලය අද්දර ගොඩ ගැසුනේය. ඒ ගොඩවල්වල, ග්‍රාහක, උල්කාපාත ආදිය, ලක්ෂ ගණනින් ඉතිරි වී පවතී. ඒවායින් ඇතැම් වස්තු, සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට අසුවී, සූර්යා දෙසට ඇදී එති. වල්ගා තාරකා, එවැනි ආදී එන වස්තුය.

තවත් ඇතැම් ඒවා, සූර්යායාගේ ගුරුත්වාකර්ෂනයට අසුනොවී තාමත් රැඳී සිටී.

මේ නාසා ආයතනයේ චන්ද්‍රිකාවට හමුවූ “අල්ටාමා කූලේ” එවැන්නකි.

2019යේ නව වසර උදාවට, ඉතාම කිට්ටුවෙන්, “අඟහරු” ග්‍රහයා මතට යානයක් යැවින. එය, ගමනේ නොයෙදී එකම ස්ථානයක රැඳී සිටී. එසේ, අඟහරු ග්‍රහයා මත නැවතී සිටින “ඉන් සයිට්” නම් යන්ත්‍රය විසින් කෙරෙන්නේ අඟහරු තලය යට තත්වය පරීක්ෂා කරනු පිණිස, අඟහරු තලය තුළට, පරීක්ෂණ උපකරණ යැවීමයි.

2019 යේ වර්ෂය ආරම්භ වී මාස කිහියක් ගත වන්නට පෙර, අපට අත්‍යසත්‍යයෙන්ම වාස්මය දනවනු පුදුම තොරතුරු රැසක් ලැබෙන්නේය.

ඒවා ලැබෙන්නේ අලුතින් අජටාකාශගත වන “ජේම්ස් වෙබ්” නම් අජටාකාශ දූරේක්ෂයෙනි.

එයට විශ්වයේ කොපමණ ඈත පෙදෙසක් පෙනේදැයි විමසුවොත්, ලැබෙන පිළිතුර හිතා ගන්නටවත් බැරි තරම්ය. මුළු මහත්ම විශ්වය ආරම්භ වී ශතවර්ෂ කීපයක් ගත වූ සමයේ විශ්වය පැවති ආකාරය එයට පෙනෙයි.

සුර්යයා වැනි තාරකා සහිත ‘තරු මණ්ඩල’ පහළ වී ඒවා විකාශනය වූ ආකාරය බලා ගන්නටත් මේ අලුත්ම අජටාකාශ දූරේක්ෂය 2019 පිහිට වෙයි.

කොමිසම කිවහොත්, පෘථිවිය ‘ළමා කාලයත්’ අපට ඒ විස්මය උපදවන දූරේක්ෂයේ ආචාරයෙන් දැකගත හැකි වනු ඇත.

බුදුහිමියන් වැනි මහාපුරුෂයන්ගේ කටහඬ පවා අසා-දැනගත හැකි යුගයක්, මේ නාසා අජටාකාශ දූරේක්ෂයේ විකාශනය තුළින් 2019න් පසු කලෙක පහළ වන්නට ඉඩ ඇත්තේය.

ඊටත් වඩා ත්‍රාසදායි සිද්ධියක් විසින් අජටාකාශ පර්යේෂක විද්‍යාඥයන්ගේ සිත් සතන් අවුස්සන ලදි.

විශ්වයේ ඈතම ප්‍රදේශයකින් නිකුත් වූ ‘කෘත්‍රිම’ සංඥාවක්, මේ නොබෝදා, පෘථිවියේ විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වූයේය. ඒ සංඥාව හිතා-මතාම නිකුත් කෙරුණු සංඥාවක් වූ හෙයිනි. ආලෝක වර්ෂ විශාල සංඛ්‍යාවක් ඔස්සේ එවැනි ‘කෘත්‍රිම’ සංඥාවක් යැවිය හැකි තරමට, ඈත සක්වළ යම්කිසි ජීවින් පිරිසක් දියුණු වී සිටිද්දැයි අපට විස්මයෙන් ඇලළී විමසන්නට සිදු වේ.

එවැනි සක්වළ ජනපදයකින්, අපගේ ලොවට, පිට සක්වළයෝ එති දැයි කියාත් අප විමසිය යුතු වේ.

කෙසේ වෙතත් ලැබූ 2019 වන නව වසරේදී, මානව සංහතිය විසින් මූණ පෑ යුතු බැරෑරුම් ප්‍රශ්න රැසක් ඉස්මතු වන්නේය.

නොබෝදා අභාවයට පත්වූ ස්ටීවන් හෝකිං (1942 – 2018) නම් මහා විද්‍යාඥයා විසින් මානව ඉරණම ගැන, මුළු ලොවම කම්පා කරන ප්‍රකාශයක් කළේය.

‘තව ශත වර්ෂ කිහිපයකින්’ මිනිසා පෘථිවියෙන් තුරන් වී යා හැකිය. ඊට පෙර අප විසින් අලුත් නිවාස, සපයාගත යුතු වේ.’

ඒ භයානක කියමන, ලෝක විනාශය පිළිබඳ අනාවැකියක් වැන්න.

අජටාකාශ පර්යේෂණ මගින්, සක්වළ යම් යම් තැන්වල, අනාගත මිනිසාට වාසය කළ හැකි ජනපද පිහිටුවාලීමේ අවශ්‍යතාව, හුදෙක් ප්‍රබන්ධයක් නොව, අනාගතයට වාසිදෙන සත්‍යයක් විය හැකිය.

2019යේ අජටාකාශය ආශ්‍රිත සිද්ධි මාලා සඳහන් කරන ගමන්ම මේ නව වර්ෂයේ වැඩිහිටි ලෝකය විසින් දරුවන්ට උගන්වා ලිය යුතු ප්‍රබල මානව ගුණයක් ගැනද පැවසිය යුතුම වන්නේය.

අද, ලොව දරුවෝ පවා ආතතියෙන්, නොඉවසිලිබවින් යුක්ත වෙති. මෛත්‍රී කරුණාගුණ මානව සමාජයෙන් බැහැර වන්නේ අති ශීඝ්‍ර වේගයෙනි. මෙය ලෝක විනාශ කෙරේ වුවද බලපෑ හැකි ආකාරය, සුප්‍රසිද්ධ විද්‍යාඥයකු විසින් පෙන්වා දී ඇත්තේය.

විද්‍යාඥයාගේ නම: පවුල් කාට්සන්. ඔහුගේ මතය මෙයයි. ‘මිනිසා කෲර වෙයි. ඔහුට නොබෝ කලකින්, අතේ ගෙනයා න්‍යෂ්ටික අවි පවා තනාගත හැකි වනු ඇත. මෙවර, ලෝකය න්‍යෂ්ටික අවි සහිත යුද්ධයකට පැටලුණොත්, ඒ බෝම්බයෙන් ගිනි ගන්නා හැමදෙයක් නිසාම මහා ගිනිමැල තැනෙයි. එහෙත්, වහාම මානව විනාශය සිදුවන්නේ ඒ ගිනිමැලවලින් අහසට නඟින දුම් ක‍ඳෙනි. ඒ දුම්කද දින පහකට වැඩි කලක් සූර්යයා වසාගෙන පැතිරී ගියොත්, මුළු මහත් මිහිතලයම සහ හිම තට්ටුවෙන් වැසේ. පෘථිවි තලයේ ජීවිහු ඒ හිමතට්ටුව විසින් නසා දමනු ලැබේ. පොළොව යට වළක සිටියද, ඉන් වැළකිය නොහේ. මිනිසාගේ විනාශයෙන් සුව, දුමාරය ඉවත්ව ගියවිට, හිරු යළි බැබළේ. එවවර හිරු වෙනදාටත් වඩා දීප්තිමත්ය. අර, දුම්වලින් ඉතිරි දේ, හිරු රැසින් බැබළෙන හෙයිනි. හිර උදා සහ හිරු අස්තංගත වීම් අත්‍යන්තයෙන්ම විභූතිමත්ය. එහෙත්, ඒ විභූතිය නරඹන්නට, මිනිස්සු නොසිටිති. ඒ අතිදැවැන්ත ශීතලට ඔරොත්තු දී, වෙසෙන්නේ, ඇඳ මකුණන් හා කැරපොත්තන් පමණි. විභුතිය ඔවුන්ටද මේ මතය නම් කෙරෙන්නේ ‘නියුක්ලියර් වින්ටර් (න්‍යෂ්ටික ශිශිරයා) වශයෙනි. අජටාකාශ පර්යේෂණ පෙරටුව කරගෙන යා යුත්තේ මේ නිසයි.

ඒ තද ශීතලෙන් යම් කිසි හේතුවකින් ශාන්තිකර සාරගයේ දූපතක හෝ මිනිසුන් කීප දෙනකු ඉතිරි වුවහොත් යළි මානව වංශය තනන්ට වන්නේ ඔවුන්ටයි.

සුප්‍රසිද්ධ මහා දර්ශනවාදී බර්ට්‍රන්ඩ් තුමාගෙන්, වරක් මෙසේ විමසන ලදී. ‘මහතාණෙනි, තෙවන ලෝක මහා යුද්ධයකදී කවර අවි භාවිත වේද?’

පිළිතුර : තෙවන ලෝක මහා යුද්ධය ගැන නොකියමි. සිව්වන ලෝක යුද්ධයේ අවිවනු ඇත්තේ පොලු සහ මුගුරුය. යුද ඇඳුම වන්නේ අමුඩයයි. ‘රසල් තුමාගේ ඉඟිය තේරුම් ගෙන යහපත් අජටාකාශ පර්යේෂණ සඳහා සහාය දිය යුතුය.

කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.