බින්තැන්නට කරත්තයෙන් ගිය ගමනක් | සත්මඬල

බින්තැන්නට කරත්තයෙන් ගිය ගමනක්

මීට පනස් වසරකට පමණ පෙර දිගාමඬුලු බින්තැන්නේ ඈත එපිට පිහිටි කුරුඳුවින්න නමැති කැලෑ ගම්මානයේ පාසලට පත්වීමක් ලැබ මහඔයට පැමිණි මම දැඩි හිරු රැස විසින් වියළනු ලැබූ දුහුවිලි මුසු සුළඟින් පිරි අහස්ගැබ හා අවට පරිසරය දැකීමෙන් විමතියටත්, විස්සෝපයටත් පත් වූවෙමි.

බැලූ තෙක් මානයේ දිස් වන රූස්ස ගස්වැල් පවා අව් ගින්නට අසු වී හේබාව ගොස් ය. අව්ගින්න අවුරුවාලමින් නැඟී සිටීමට වෙර ගත් වෘක්ෂලතාවෝ විඩාපත්ව සිය අතුරිකිලි හකුළුවා ගත් සෙයින් සිටිති.

එහෙත් නානාවිධ ඇඳුම් පැලඳුම්වලින් සැරසුණු ජනයාගෙන් හා කර්මාන්තශාලා ගොඩනැඟිලි මංමාවත්, රථවාහන ආදියෙන් ද අවිවේකී මිනිසුන්ගේ කන්කරච්චලයෙන් ද තොර ශාන්ත සොඳුරු නිසංසල පරිසරයක පිහිටි බදුල්ල මඩකළපුව (A – 5) මාර්ගයේ පිහිටි බින්තැන්නේ අගනුවර වූ මහඔය කඩ විදියට පැමිණ මඳ වේලාවකින්, මගේ විමතියත් විස්සෝපයත් පහව ගියේ ය.

දියුණු වෙමින් පවත්නා යැයි කියන ඊනියා ජන සමාජයේ දක්නට ලැබෙන හැලහැප්පිලි පමණක් නොව පාරිසරික බලපෑම්වලින් තොර ස්වභාව ධර්මයාගේ පාරිශුද්ධ දායාදයන්ගේ පහස ලබන බින්තැන්න පාවඩයක් එළන ලද්දා සේ සිය භූමිභාගය විහිදුවාලූ ආකාරය චමත්කාරජනක ය.

වෙෙළඳසල් තුන හතරකින් යුක්ත පැරැණිම ගොඩනැඟිල්ල ලන්දේසීන්ගේ කාලයේදී ඉදිකරන ලද රජයේ රෝහලකි. සියවස් ගණනක පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන බොල්ලෑගල රාජමහා විහාරස්ථානය රෝහල ඉදිරිපසින් දිස්වන්නේ බින්තැන්නේ අතීත උරුමය සිහි ගන්වමිනි.

ඊට මඳක් ඔබ්බෙන් මහඔය වැවට මුහුණලා පිහිටි ගරා වැටෙමින් පවතින පැරැණි තානායම් පොළ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ නිල බළකොටුවක්ව පැවැතිණි (වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කර ඇති භූමිය). මහඔය පන්සලට මඳක් පහළින් නගරය මැද්දට වන්නට පිහිටා ඇත්තේ ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පය අනුව ඉදි කරන ලද, ඉංග්‍රීසි පාලන සමයේදී රටේ මහත්වරුන්ට සෙවණ දුන් අබලන් තත්ත්වයේ පවතින මන්දිරයකි. එහෙත් පැරැණි රටේමහත්වරුන්ගේ පාලනයේ තිබූ මහේශාක්‍ය විලාසය සිහිපත් කරවන්නට මෙන් ඒ මන්දිරය තිබුණ මිදුලේ වූ බෝගස තවමත් අතුපතර විදහා මහත් ප්‍රදේශයක් වසාගෙන නැඟී සිටියි. මේ සුන්දර දැකුම්කලු භූමි භාගයට මායිම්ව දකුණු දෙසට විහිදී ඇති අතුරු මාර්ගය නිල්ලබ, පොල්ලේබැද්ද කුරුඳුවින්න හරහා නිල්ගල බිංගොඩ හරහා වෙල්ලස්ස දක්වා විහිදී ඇත.

ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ සෙලිග්මාන්; ස්පිටල් වැනි සුදු හූරලා වැද්දන් සොයා බින්තැන්නේ මහ වන බැද්දට පියමං කළේ මේ අතුරු මාර්ගය ඔස්සේ ය. ගැමියන් විසින් රෝට්ටුව යනුවෙන් හඳුන්වන සිනිඳු වැලිතලයෙන් යුතු වන බූටෑව අස්සෙන් වැටී ඇති කරත්ත පාරේ ගමන් මල්ල ද කරේ ලා ගෙන මා ඉදිරියට පිය මැන්නේ නගරයේදී වැසියන්ගෙන් අසා දැනගත් ගමන් විස්තර හා තොරතුරු අනුව ය.

දැන් මා පැමිණ ඇත්තේ සුදෝ සුදු වැලිතලයෙන් යුතු මහඔය ගංතෙර වෙත ය. ඔය ඉවුර දෙපස ‘හැවන්’ නමින් හැඳින්වෙන පන් විශේෂයක් (බොරුපන්) දක්නට ඇත. ඉවුර දිගටම කුඹුක්, කරඳ, මකුළු, ගල්සියඹලා, මිදෙල්ල ආදි රූස්ස ගස් යෝධයන් සේ නැඟී සිටිමින් වන ගැබට ඇතුළු වන මඟ අවුරා සිටියේය.

ආරෝහ පරිණාහ දේහයෙන් යුතු වන අධිරාජ්‍යයේ ශක්ති සම්පන්න පුරුෂයන් සමඟ ප්‍රේමාලිංගනයෙන් වෙළී ගිය බඹර වැල්, ඵළවැල්, පුස්වැල්, කලවැල් ආදි ලතාවන් තම හිරිඔතප් බිඳ වැටෙතැයි බියෙන් ඒ මේ අතර ඇඹරී වසන් වන්නට නිරාර්ථක ප්‍රයත්නයක යෙදී සිටිති.

රුක්වදුලෙන් ඇසෙන බඹර මීමැසි ගුමු ගුමුවට සමච්චල් කරමින් වැලිතලය පිසගෙන මහඔය ගලා බසියි. බිනර මහේ පොද වැස්සත් සමඟ ගැබ්බර වන යුවතියක මෙන් මහඔය නදී ලාලනිය බැරි ගැසුණ බඩ දරු මවකගේ පෙනුම සිහිපත් කරමින් ඉදිමී පඬුපැහැ ගැන්වී ගලා බසියි.

එදා මහඔය අඩක් පිරී තිබිණි. දිය නාමින් සිටි කිහිපදෙනකුගේ මඟ පෙන්වීම හා අත් උදව්වෙන් ඇඳිවත උනා දිය කඩක් හැඳගත් මම දියට බැස්සෙමි.

“මහත්තෙයා මොනාට බිය ගන්නේ වතුර තීන්නේ තන මත්තක් පමණයි. මිනිහෙක් පොව්වන්ට වතුරු කොහෙන් මේ සංදියේ?”

කියමින් කුඩුම්බරයෙක් මගේ ගමන් මල්ල ද කර පින්නා ගෙන ඉදිරි විය. සතුට ද බිය ද මුසු සිතින් යුතු ව කරවටක් තරම් වූ වතුරෙ බැස මහඔය තරණය කළෙමි.

මට උදව් කළ ගැමියන්ට ප්‍රශංසා කළ මම සුපුරුදු ඇඳුමෙන් සැරසී රුක්වදුලේ ඉදිරියට පිය නැගුවෙමි. මිනිස් කටහඬක් හෝ මිනිස් වාසයක් පිළිබඳ හෝඩුවාවක් හෝ නොමැති බිං කළුවර බින්තැන්නේ වන වදුල අස්සෙන් වූ රෝට්ටුව දිගේ සැතපුමක් පමණ යද්දී මහ කැලය තුනී වී යන සෙයක් දැනිණි. දැන් ඇත්තේ තැනින් තැන ඉතිරි වූ වන කුට්ටි සහිත ලඳු පෙත් ය.

ඈත එක් තැනක මහ ගසක් මුදුනේ වූ දිරාගිය උඩ පැලක් ද අතහැර දමන ලද කුඩා පැල්පතක් ද මිනිස් වාසයක නෂ්ටාවශේෂ කියා පෑය. ‘පුරේ’ නමින් හඳුන්වනු ලබන ගස් මුදුන්වල ඉදිකරන උඩපැල හේන් රැකීම සඳහා ගොවියන්ට මහත් සේ උපකාරී වේ. පැරණි හේන් ගොවියා සතු මේ අපූරු නිර්මාණ ශක්තිය ගැන සිතමින් බැද්ද මැදින් ටික දුරක් ඉදිරියට ගමන් කළ මට ඈතින් කරත්තයක හඬ ඇසෙන්නට විය. කරත්තයේ රෝදවලින් නැගෙන චිරි.. චිරි.. හඬත්, කරත්තය දක්කන්නාගේ ජඃ...මඃ... හඬත් නිසා මගේ හිතේ තිබුණ තනිකමත්, කාන්සියක් මැකිණි.

බඩ ඉරිඟු ඇට පටවාගෙන මහඔය කඩ වීදියට ගොස් ආපසු එමින් තිබූ ඒ කරත්තය නිසා මගේ දෙපාවලට මඳ විරාමයක් ලැබිණි. ඉස පුරා බැඳුණ තිරසර ජටාවෙන් ද කට පුරා හැපුණු බුලත්විටකින් ද යුතු උඩුකය නොවැසූ එක් තලැත්තෑනියෙක් පැදුරක් එළන ලද කරත්තය මත ඇනබාගෙන සිටියේ ය. කරත්තය දැක්කුවේ අවුරුදු 12ක - 13ක තරමේ කොලුවෙකි. මා කරත්තයට ගොඩ වූ විගසම තලැත්තෑනියා මුන්ඩස්සනය ගලවා දෙවුර මත හෙළා ගත්තේ බුලත් කෙළ පීරක් බිමට එල්ල කරමිනි. මඳ හිනාවක් මුවගට නඟාගත් හෙතෙම මා හා කතාවට පිළිපන්නේ ය.

“මහත්තයා, උඹ කොයි කොන යන්නේ?” යි

ඔහුගේ පැනයෙන් මම විපිළිසර වීමි. මගේ දෙසවනට නුපුරුදු වුවද ඒ දෙඩුම් විලාසය තුළ හෙළ බස් ඇති මිහිරියාව ද අරුත්බර බව ද ගැබ් වී තිබිණි. එදා මා සමඟ අපූරු බස් වහරකින් දෙඩූ වියපත් ගැමියා අද ජීවතුන් අතර නැතත් ඔහු දෙඩූ බස් වහරෙහි වූ සරු වදන් රැසක් තවමත් මගේ මතකයේ රැඳී පවතී.

හොඳින් පීරා පසු පසට කොට බඳින ලද දොඩම් ගෙඩියක් තරම් වූ කොණ්ඩයකින් යුතු ඔහුගේ ඇඟපත කේඩෑරි ද නො වී ය; ස්ථුල ද නො වීය. ගමේ ගමරාල ද වූ ඔහු නමින් ගමණ්ඩි නම් විය.

මා යන ඉසව්ව දැනගත් ඔහු බුලත් කොක්කනය ඇද දුම්කොළ කැබැල්ලක් කටේ රුවා ගනිමින් නැවත මා හා දොඩන්නට වූයේ ය.

“මහත්තෙයා... ඈ... උඹ ඒ කොන ‍ ගාටන්නේ? ඒ කොන කියවන්ට ගුරුන්නැහේ කෙනෙක් ඉන්නවා හෙමයි නේ?” යි

කියූ ගමණ්ඩිගේ කතාවෙන් කුරුඳුවින්න පාසලේ තවත් ගුරුවරයකු සිටින බව දැනගත් මගේ සිතට සතුටක් ඇති විය.

මෙසේ අනන් මනන් දොඩවමින් මයිලයක් දෙකක් ගමන් කරද්දී මා නෙත ගැටුණේ එකිනෙකට ඈතින් පිහිටි කටුමැටි බිත්තියෙන් යුතු ඉළුක් හෙවිලි කළ ගෙවල් කිහිපයකින් යුතු කුඩා ගම්මානයකි. ඒ අතර වූයේ ඉළුක් සෙවණ කළ පාසලකි. ඒ අසලම ටකරං තහඩු යෙදූ වහලකින් යුතු ගුරු නිවාසයක් ද විය.

නිල්ලබ නමින් හැඳින්වූ මේ කුඩා ගමේ තිබූ සිංහල උළු සෙවණ කළ සුදු හුනු ගෑ එකම ගෙය වූයේ ටී.බී. ගමණ්ඩි නම් වූ ආරච්චිලාගේ ගෙය ය.

ඇඟ පුරා වැවී ගිය රෝමයෙන් ගැවසී ගත් සිහින් සිරුරකින් යුතු ආරච්චිල මට සිහිපත් කළේ මුවන්පැළැස්සේ ආරච්චිල ය. එහෙත් මොහු ආර්.එල්. ස්පිටල්ගේ හිතවතෙකි. වෙදකමටත්, මන්තර ගුරුකම්වලටත් නම් දරා සිටියෙකි.

‍පසුකලක ස්පිටල්ගේ හා වැද්දන්ගේ රස කතා ද ඔහු මට වරින් වර කීවේය.

ඔහුගේ නිවෙස ඉදිරිපිට වූ පින්තාලියෙන් පිපාසය නිවාගත් අපි වහ වහා කරත්තයට ගොඩ වී නැවතත් ගමනට පිළිපන්නෙමු. මේ ගම්මානයේ සිට සැතපුමක් පමණ ඉදිරියට ගිය විට හමු වන්නේ තරමක් ඝනව වැඩුණු ලඳු කැලයකි. කුකුරුමහන්, මාදං, ‍කෝන් වැනි ගස් වදුලු තැන්තැන්වල දක්නට ලැබිණි. අතර ඉළුක් මානන් හා එරමිණියා කටු පඳුරු ද, හිඟුරු ගාල් ද, වරා පඳුරු ද වැඩිමනක් පැතිරී තිබිණි. ඇතැම් තැනක විසකුරු වරාමල් හා තරගයට මෙන් විචිත්‍රවත් ව නියගලා මල් පොකුරු පිපී තිබිණි.

“මහත්තෙයා අරෙයි පොල්ලේබැද්දේ වැදි ගම්මානේ” ගමණ්ඩි උන්දෑ, නිහඬතාව බිඳිමින් කතාවට එන්නේය.

“පොල්ලේබැද්දේ වැද්දෝ ඉන්නවද?”

“හෙනම්මා, ස්පිටල් මහත්තෙයා රුකුලෙ ඉඳන් කැන්දන් වැද්දෝ ඉන්නෙ එබ කොන නේ”

ගමණ්ඩි ගමරාලගේ කතාවෙන් මට පුදුම සිතිණි. ඒ නිසා වැද්දන් ගැන මම නැවත කතාවට වැටු‍ණෙමි.

“වැද්දෝ දැන් ඉන්නේ ගෙවල්වල ද?”

“මොන ගෙවල් උන්ට...? ආණ්ඩුවෙන් දීපු ටකරන් පොතු ටිකත් උන් විකුණන් කෑවා.. පැල් කෙංචි තමා උන්ගේ නිවහන්.”

කතාබහ මැද අපි පොල්ලේබැද්දට පිවිස සිටියෙමු.

“අරෙයි මහත්තෙයා බලාපන්කෝ”

වැද්දන්ගේ පැල් කෙංචි ගමණ්ඩි අත දිගු කර පෙන්නුවේ ය.

කුඩා බිම්කඩේ කටු අකුල් හා කුකුරුමහන් මණ්ඩි අතර අතු සෙවණ කළ පුංචි පැල්පත් තුන හතරක් දක්නට ලැබිණි. උසින් අඩි හයක්වත් ‍නොවූ තරම් වූ කඳන් පොද රුකුල්ලා සෑදූ බිත්තිවලින් ද ඇතැම් විට කිසිදු ආවරණයක් නොවූවා වූද මේ පැල්පත් තුළ වැරහැලි ඇඳගත් හුදුවිලි තැවරුණ සිරුරෙන් යුතු වැදි ලියන් ද නිරුවත් කොලු කෙල්ලෝ ද බලු කූට්ටෝ ද ද පිරී සිටියහ. ඈත පැල්පතක ඇනබාගෙන සිටි වැදි ලියක් අපට පිටුපා උඩුකයේ නිරුවත මුවා කර ගත්තාය. කාලවර්ණ සිරුරෙන් යුතු මේ වැද්දන් බිංගොඩ, හේනේ බැද්ද, දානිගල, සීත වන්නිය, නුවරගල ආදි ගල්ලෙන්වල සිට ආර්.එල්.ස්පිටල් විසින් පොල්ලේබැද්දට ගෙනැවිත් පදිංචි කරවන ලද්දේ.. ආහාර හිඟයෙන් හා වසංගත රෝගාබාධවලට ලක්ව දුක් පීඩාවලට ලක්ව සිටියදී ය. ආහාර හිඟය හා වසංගත රෝග හේතුවෙන් බින්තැන්නේ මහ වනරුප්පාවල සිටි වැද්දන් සිය ගණනක් අකාලයේ මිය ගිය බව ස්පිටල්ගේ වාර්තාවල සඳහන් වේ.

පොල්ලේබැද්දේ වැද්දන් කෙරෙන් දිස් වූයේ අන්ත අසරණ බවකි. බැද්දටත්, ගමටත් නැතිව දෙලොවක් අතර අතරමංවූ ලංකාවේ ආදිවාසී ජන කොටසක් වූ වැද්දන්ගේ දර්ශන පථයෙන් ඈත් වී කරත්තය රෝට්ටුව දිගේ දිවෙන්නට වූයේ ඒරු කඳ මත නැඟී සිටි කොල්ලා ගොන්බානට කළ දිරි ගැන්වීමක් නිසා ය.

ඈතින් දිස් වන නුවරගල, හීන වන්නිය, යකුන්නේ හෙල පිළිබඳ කතා පුවත් ඇදබාමින් ගමණ්ඩිගේ කතාබහ මැද ගමන් කාලය ගෙවී යන්නට වූයේ නොදැනීම වගේ ය. හිරු රැස් කෙමෙන් බොඳ වී යද්දී තුරුහිස් මුදුන්හි සිට ඈත වන ගැබින් ඇහෙන සියොතුන්ගේ හඬින් පරිසරය සංගීතවත් වන්නට විය.

මූකළාන නමින් හැඳින්වෙන මහ වනපෙත දස දෙසින් නැඟී සිටියි. මෙතෙක් වේලා දක්නට ලැබුණ කටු ළැහැබ්, ලඳුපෙත් හා තරමක් දුරට වැඩුණු ළදරු කැලය වෙනුවට රූක්ෂ ගස්කොළන්වලින් යුතු මේ වනගහනය මගේ සිතට භීතිය සන්ත්‍රාසය හා මුසු වූ ප්‍රීතිය ගෙන දෙන්නක් විය. අතුපතර පනිමින් දඟලන වඳුරන්ගේ කීලන හඬ ද කන්අඩි කීරි ගන්වන රැහැයියන්ගේ ක්‍රීස්... ක්‍රීස්... හඬ ද සිතට ප්‍රීතිය ගෙන දෙන්නක් වුවද ඒ සෝෂා නවතාලමින් හිටිහැටියේ වනය පුරා පැතිර යන දැඩි නිහඬතාව මහත් භීතියක් ඇති කරවයි.

කුඩා අතු රිකිල්ලක් ගසකින් වැටුණ ද මහා දෝංකාරයක් මතු කරවන මේ නිහඬතාව වනයට අරක්ගත් යක්ෂ භූතාදීන්ගේ දිෂ්ටියකින් සිදු වන්නකියි මට සිතිණි. ඒ ගූඪ වූ නිශ්ශබ්දතාව බිඳ හරිමින් ගල්කුළක සිට හඬතළන්නට වූ වලසුන්ගේ ‘හූ’ හඬින් මුළු වන පෙතම ගිඟුම් දෙන්නට විය. හෘදයස්පන්දනය නැවතී ගියාක් මෙන් මට දැනිණි. මගේ උගුර කට ද වේළීගොස් ඇති සෙයකි. ඇඟ හිරිගඩු පිපී ඇත.

මා භීතියට පත් ව ඇති බව දැනගත් ගමණ්ඩි “මහත්තෙයා.. ඔයි වලස්සු ‘හූ’ තළන්නේ අරෙයි ඈත පේන ගොඩන්වල උඹ මොනාට බිය ගන්නේ? වනේ හැටි ඔහේ තමා; කැලේ අයිතිය කැලේ උපන් වන්සතුන්ට, උන් ඔහේ.. ‘හූ’ තළාපුදෙන්” යි

කියමින් “හපාපන් බුලත් විටක්”

යැයි කියා මා අතට බුලත් විටක් දුන්නේ ය. බුලත් විට හැපීමෙන් මගේ ගතට නව පණක් ලැබිණි. ඒත් සමඟම නැඟී ආ ගෝනුන්ගේ ‘ටං.. ටං..’ ගෑවිල්ලක් කිරළන්ගේ චීක්.. චීක්.. හඬත් නිසා මගේ සසල හද නිසල විය. එහෙත් එය මඳ වේලාවකට සීමා විය. යළිත් මා නොදන්නා වන සතුන්ගේ හඬින් හදවත ගැහෙන්නට විය. බියත්, සංත්‍රාසයත් විටින් විට නැඟී ආවේය.

මේ බියකරු බව ගෙනදෙන ගොඩන් මැද මූකළාන රූස්ස කළුවර බුරුත හා උයන් ගස්වලින්ද එළකිරිත්ත, පුස්වැල් හා නැව්වැල්වලින්ද සමන්විත විය. අතොරක් නොමැතිව නැගෙන වන සතුන්ගේ හඬ අතරට සිත දිය කඳුරක ඝෝෂාකාරී හෝ.. හෝ.. හඬ ද එක්වන්නට විය. ඒ අතරින් පිවිසීමට සිදු වූයේ කලින්දා වට වැස්සෙන් තරමක් දුරට පොහොසත් වී තිබුණු දේවාලේ ඇළෙන් කරත්තයේ කරත්ත තට්ටුව තෙමී යන තරම් ජල ධාරාවක් තරණය කර ගෙන ය.

අතින් දිස් වන කළුවර කුටියක් බඳු යකුන්නේ හෙල දෙසින් වලසුන්ගේ ‘හූ’ හඬ නික්මුණේ නිමක් නැතිව ය. ඒ අතරතුර කිසියම් ව්‍යාජ ගෙරවිල්ලක් ඇසිණි. මගේ ඇඟ කිලිපොළා ගියේ මා ද නොදැනුවත්වම ය.

“මහත්තෙයා ඔයි ගොරාබාන්නේ කොටි හපුවා; ගස් උඩ කී ලන්නේ වඳුරෝ... ඔයි වඳුරු නාම්බෙක් ඩැහැගෙන තමයි කොටියා ගොරබානවා ඇත්තේ...”යි ගමණ්ඩි වනසතුන් පිළිබඳ විස්තරයක් මට කියාදෙන්නට වූවද බියෙන් තැතිගෙන සිටි මගෙන් හාවක් හූවක් නොවූයෙන්,

“මයෙ පුතා උඹ මුණා කේන්නේ... පැයට දැක්කාපං.. කොයි, මේ මහත්තෙයා තැතිගෙන හෙමයි නේ” යි කරත්තය දක්කන කොලුවාට කඩිනමින් කරත්තය දක්කන මෙන් අණ කළේ ය.

ඉක්බිති මා දෙසට හැරුණු උන්දෑ

“මහත්තෙයා.. උඹ ඈ මේ විස්සෝප ගන්නේ? තැති ගන්ට කාරි නෑ. අරෙයි අර පේන වටවල කණ්ඩිය පැන ගත්තම ඊමම; තව මුනා හූවක් නෑ හෙමයි. ඉස්කෝලාවත්තට”යි කියමින් බුලත් විටක් හපන්නට වූයේ ගම ගැනත් වටවල කණ්ඩිය ගැනත් ඉතිහාසය ද වමාරමිනි.

වැව් කණ්ඩිය දෙබෑ කරමින් වැටී තිබුණ පාර පැන කරත්තය පැරැණි නටබුන් (රඹකැන් ඔය වැවට) වැවට ඇතුළු විය. කුරුඳුවත්ත ගම්මානය වූ කලි පෙර රජදවස ඉදි කරවූ වැවක් ගොඩ වීමෙන් සෑදුණ සරුසාර පසින් යුතු බිමකි. මෙය කාලයක් තිස්සේ වල්බිහි වී තිබී 1818 කැරැල්ලෙන් දිවි බේරාගෙන පලා ආවවුන් පදිංචි වීම නිසා ඇති වූ ගමකි. මේ කතාබහ මැද්දේ ඈත වන ගැබ තුළින් කුරගැටෙන හඬක් ද, අතු බිඳ දැමෙන හඬක් ද ඇසිණි.

හිටි හැටියේ ම ගොන් බාන ගල් ගැහී නැවතුණහ. “මුත්තා අලි බොට්ටුයි, කුළොයි හද්ද කේනවා”

“එහේ තමයි මය පුතා... උඹ මෙහාට වෙයන්... මං කරත්තෙ දක්කද්දී”

කියූ ගමණ්ඩි කොලුවා කරත්තෙ පිටුපසට එවා කරත්තය දැක්කීමේ කාර්යභාරය ඔහු බාර ගත්තේ ය.

ගොන් බාන තවමත් ගල් ගිල්ලාක් මෙන් නිසොල්මන් ය. ඒ අතර

“මහත්තෙයා කරත්ත ඇන්ද හයි‍යෙන් අල්ලා ගනින්”

කිවූ ගමණ්ඩි ගොනුන්ට කෙවිටි පහර දෙමින් කරත්තය දක්කන්ට වූයේ ය. කරත්තයේ පිටුපසට පැමිණි කොලුවා කරත්ත ඇන්ද මතට සට්ටම වාරුකොට බස් එකේ පුට්බෝඩ් යන්නා වගේ ඉළන්දාරිකමට සිටියේය. කරත්ත රෝද දෙකෙන් නැගෙන චිරි චිරි හඬ මැඬුගෙන කඳුවැටියක් බවට පත්ව ඇති වැව් කණ්ඩිය මුදුනේ සිට අතුරිකිලි බිඳගෙන ගල් ගෙඩි පෙරළාගෙන වේගයෙන් දුවගෙන ආ අලි පැටවුන් තරම් විසල් වූ ද ඊට වඩා කුරිරු හා නපුරු වූ කුළු හරක් රංචුවක් ආඟිරිගාමින් පාර හරහා පැන දුවන්නට වූහ.

කුළු හරක් රැළට බිය වූ ගොන් බාන ආත බූත නැතුව එක පිම්මට දුවන්නට ගත්තේ කරත්තය ද සරුංගලයක් මෙන් එහාට මෙහාට පා කර හරිමිනි.

මේ සිද්ධියෙන් බියට පත් කොලුවා

“අම්මෝයි.. මුත්තා! අරෙයි පාර හරහා අලි බොට්ටු.. පැනපන් කරත්තෙන්...”

යැයි කියමින් මරුපිම්මක් පැන්නේ අලින් ගෙන් දිවි බේරාගැනීමට ය.

එක පිම්මට කරත්තයෙන් පැන්න කොල්ලා ඒත් සමඟම මුළු පළාතම දෙදරවන තරමට “හත්තණ්ඩෝ.. මයෙ නිවල් ඇටේ කැඩුණා.. බුදු අම්බෝ.. මා ඉවරයි.. අම්බෝ.. අම්බෝ.. උවා.. මා ඉවරයි.. උවා..” යි කියමින්

විරුගාතෙන් අඬා ඕ ගාන්ට වූයේ ය.

ගමණ්ඩිටත්, මටත්, කොලුවාගේ කෑගැසීම ඇසුණේ කරත්තය වේගයෙන් ඉදිරියට ඇදී යද්දී ය. ඒ වනවිට කොලුවාගේ වේදනාත්මක හඬින් බියපත් වූ කුළුහරක් රැළ පලා ගොස් තිබුණෙන්, කරත්තය හරවා ගෙන කොලුවා සිටි තැනට ඒමට අපට බාධාවක් නොවී ය.

මේ කලබැගෑනිය ඇසී බැදි අඹන්නට ගොස් සිටි කිහිපදෙනෙක් ‘හූ’ හඬ තබමින්, විදුලි පන්දම් එළි දල්වමින් අප සිටි දෙසට ආහ. ඔවුන්ගේ පැමිණීමෙන් මා තුළ වූ බිය සංත්‍රාසය පහව ගියේය.

කරත්තයෙන් පැන කකුල කඩාගත් පොඩි එකා කරත්තයට නංවාගත් අපි මහ රෑ මැද කුරුඳුවින්න පාසලට පැමිණියෙමු. ඒ වනවිටත් පාසල අවට ගම්වැසියන්ගෙන් පාසල පිරී තිබිණි. විනාඩි ගණනකදී දෙතුන් දෙනකු බද්දට රිංගා ගෙන අතු, කොළ, පොතු, මුල් අඹරා පත්තු බැඳීමෙන් හා තෙල් මතුරා ගෑමෙන් පසු නිවල් ඇටේ කැඩුණ කොලුවාගේ කෙඳිරි ගෑම නතර විය. ඔහුගේ කකුල කැඩීයෑම ගැන කිසිවකු විස්සෝපයට පත් වූ බවක් දක්නට නොවී ය.

“මොනා මහත්තයා.. ඔය විසාදිය හත්වරුවෙන් කම්මුතුයි. ඔහේ කැඩුම් බිඳුම් අපට මොනා? අප්පා මුත්තා දුන්නු සාස්තරේ අප ළඟ තියෙද්දී මොනාට බිය ගන්නේ...?” යි

කිවූ ගමණ්ඩි තම මුනුපුරා කරත්තයේ නංවාගෙන ගම ගෙදර වෙත නික්ම ගියේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.