සිංහල නිර්මාණකරුවා දුටු බුදු සිරිත හා බෝසත් සිරිත | සත්මඬල

සිංහල නිර්මාණකරුවා දුටු බුදු සිරිත හා බෝසත් සිරිත

ලොව හැම බසකටම පරිවර්තනය විය යුතු අගනාම ග්‍රන්ථය ලෙස මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හඳුන්වන පන්සිය පනස් ජාතක පොතෙහි සංගෘහිත කතා පන්සිය හතළිස් හතම පූර්ව බුද්ධ චරිතය පාදක කරගත් බව සුපැහැදිලි ය. පුරිස ධම්ම සාරථී ගුණය ප්‍රකාශ කිරීම උදෙසා විරචිත ගුරුළුගෝමී පඬිවරයාගේ “අමාවතුර” විද්‍යා චක්‍රවර්ති පඬිඳුන්ගේ “බුත්සරණ” බුද්ධ චරිතය වටාම නිර්මිත ය. මයුරපාද හිමිගේ “පූජාවලිය” කෘතියෙහි කොටසක් පමණක් අරහං ගුණය විවරණයෙහි අපේක්ෂාව මුදුන් පත් කර ගැනීම උදෙසා රචනා කර තිබේ.

ඉන් අනතුරුව ගීයෙන් හා සිව්පදයෙන් බැඳුණු මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය නැවතත් පූර්ව බුද්ධ චරිතයට පාදක කර ගැනීමට ප්‍රෝත්සාහී වූ බව පැහැදිලි ය.

මේ සියල්ලට මුල්වන්නේ ප්‍රතිභාවයි.

සෑම නිර්මාණකරුවකුටම අත්‍යවශ්‍ය අංගයක් වූ පරිකල්පන ශක්තියයි. අන්තර්ජාතික කීර්තිධර එකම සිංහල විචාරකයා වූ මහාචාර්ය විමල් දිසානායක පවසා ඇත්තේ ලේඛකයකුගේ කවර අඩුපාඩුවක් වසන් කළ හැකි වුවත්, පරිකල්පන ශක්තියෙහි අඩුපාඩු සැඟවිය නොහැකි බවයි. විමල් දිසානායක, ගුණදාස අමරසේකර ළඟට ධරමාන මහා කවියා වූ පරාක්‍රම කොඩිතුවක්කු 2018 වසර අවසානයේ පාඨකයා අතට පත් කළ “මම කතා කරනවා 2 “ නම් අලුත්ම කෘතියේදී පරිකල්පන ශක්තිය පිළිබඳව මෙවැන්නක් ඉදිරිපත් කර තිබේ.

“අවුරුදු 5 සිට 30 දක්වා අධ්‍යාපනය ලබා P H D සහතිකයක් අරන් එන යුරෝපීය විශ්වවිද්‍යාල සිසු පිරිසක් ගැන අධයාපනඥයන්, මනෝවිද්‍යාඥයන්, නිර්මාණකරුවන් කළ හවුල් සමීක්ෂණයකින් හෙළි වුණේ කුමක්ද? ඔවුන්ගේ පරිකල්පන ශක්තියෙන් සියයට 70ක් විනාශ වී ඇති බව යැයි සෘෂි විශ්වකුමාර් කපූර් හෙළි කරනවා. බටහිර විශ්වවිද්‍යාලවල අදහස් නැහැ. එය මනස වසා දැමුවක්. එය යන්ත්‍රයක් ඇතුළේ භූතයකු වගෙයි.”

උක්ත මහාචාර්යවරයාට 2016 වසරේ පාඨකයාට පිරිනැමූ “වින්දනය හා චින්තනය” නම් විචාර ග්‍රන්ථයේදී විද්‍යාචක්‍රවර්ති පඬිවරයාගේ ප්‍රතිභාව හා පරිකල්පන ශක්තියට අදාළ ප්‍රකාශයක් මෙසේ පළ කර තිබේ.

“බුත්සරණ අගනා ගද්‍ය කාව්‍යයකි. මා එහි දකින විශේෂත්වයක් නම් මනෝරූප ප්‍රසවයෙහිලා කතුවරයා දක්වා ඇති චතුරත්වයයි. විවිධ සන්නිවේදනාත්මක අරමුණු ඉටුකර ගැනීම සඳහා විවිධාකාර උපමා රූපක වහල් කර ගැනීමට විද්‍යා චක්‍රවර්තීන් දැඩි ආයාසයක් ගත් බව පැහැදිලි ය. (පළමු මුද්‍රණය 170 වැනි පිටුව)

බුදු සිරිත පාදක කරගත් මේ බිමෙහි චිරන්තන සාහිත්‍යයේ හා සාහිත්‍යකරුවාගේ තතු එසේ වුවත් වත්මන් නිර්මාණකාරකයන් ඊට හාත්පසින් වෙනස් මඟක් ගත් බව ඉතා පැහැදිලි ය. ඊට මූලිකම හේතුව අනවශ්‍ය බැතිමත් බවින් ඈත්ව යථාර්ථයට නැඹුරු වීම යැයි පැවැසීම සාවද්‍ය නොවන්නකි. එපමණක් නොව, නූතන නිර්මාණකරුවෝ බුද්ධ චරිතය මෙන්ම සිදුහත් චරිතය ද සමසේ විවරණයට පසු බට නොවූහ.

කෙටි කතා සංග්‍රහයන් නවයක් නවකතා දහතුනක් සිංහල පාටකාස්වාදයට පිරිනැමූ හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විරචිත අවසාන නවකතාව “බව තරණය” කෘතියයි. නවකතා කෙටිකතා සංග්‍රහයන් මෙන්ම විචාර ග්‍රන්ථ රැසකින් සිංහල සාහිත්‍ය පෝෂණය කළ වික්‍රමසිංහයෝ මේ වන විට බුදුදහමට සම්බන්ධ කෘති රැසක් ද පාඨකයාගේ විචාර ප්‍රඥාව උදෙසා පිරිනමා තිබිණි. “බෞද්ධ දර්ශනය හා මාර්ගය”, “බුදු සමය හා සමාජ දර්ශනය”, “බව කර්ම විකාශය”, “නිවන් මුහුණුවර” හා “බමුණු දිට්ටිය” ඒ අතර විය. ඒ හේතුවෙන් රචකයාගේ පරිණත බව පිළිබඳ ගැටලුවක් ද මේ වන විට නොවූ බව ද පැහැදිලි ය. අපේ පාසල් වියේදීම එතුමා වෘධතර වියට එළැඹ සිටියේය. ජී.බී. සේනානායක දෑස් අඳ වූ විට සිය සොහොයුරියකගේ මාර්ගයෙන් ග්‍රන්ථකරණයේ නිමග්න වූවාක් මෙන් වික්‍රමසිංහයන් ද “බවතරණය” රචනා කරද්දී සහයිකාවකගේ සහභාගිත්වය ලබාගත් බව ද අප මතකයේ රඳා පවතී. කෙසේ වුවත් 1973 වසරේ “බවතරණය” පළ කරද්දී ප්‍රවීණ චිත්‍ර ශිල්පී ඒ.ඩී. රන්ජිත් කුමාර ලවා අංචුක චිත්‍රය සකස් කළ බව ද අප අතීත මතකයෙහි තැන්පත්ව ඇත. අශ්වයාගේ පාදයෙහි ප්‍රමාණයට කුරයෙහි ප්‍රමාණය නොසරිලන්නේයි වික්‍රමසිංහයන් කී බව ද සඳහන් වූයේ චිත්‍ර ශිල්පියාගේ මුවෙනි. ඒ දැන් මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ නුගේගොඩ නිවෙසේදී ය. සිදුහත් සිරිත හා බුදු සිරිත ඈඳා ගෙන විරචිත කෘති අතර “බවතරණය” තරම් ආන්දෝලනාත්මක වූ වෙනත් නිර්මාණයක් නොවූ බව සඳහන් කිරීම ද කිසිසේත් අතිශයෝක්තියක් නොවේ. ඊට මූලික වූයේ එවකට විද්‍යාලංකාර පරිවේණාධිපති, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවියෙන් ද පුද ලැබූ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් පෑ බලවත් විරෝධයයි. දිවි මගෙහිදී මෙන්ම ලේඛන ම‍ඟෙහිදී ද සහමුලින්ම වෙනස් වූ ඒ හිමියෝ වික්‍රමසිංහයන් හා “බවතරණය” නිර්දය විචාරයාට ලක් කරමින්” බවතරණය හා යථාර්ථ රීතිය” නමින් කොටස් දෙකකින් යුතු ග්‍රන්ථයක් බිහි කළෝය. ‍(මේ කිසිවක අඩුවක් ඇතොත් තතු දන්නෝ’ කාරුණිකව පෙන්වා දෙනවා)

මාර්ටින් වික්‍රමසිංහගේ කෘතියෙන් පන්නරය ලැබූ ජයසේන ජයකොඩි 1975 ඔක්තෝබර් 22 වනදා “අමාවැස්ස” පාඨකාස්වාදය උදෙසා පිරිනැමීය. මේ වන විටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ අග්‍රගණ්‍ය නවකතාවක් වූ “අස්වැන්න” කෘතිය ලියා පළ කරමින් මොහු සිය අනූපම ප්‍රතිභාව පළ කර තිබුණි. “අමාවැස්ස”, “බවතරණය” මෙන් ආන්දෝලනාත්මක නොවූවත් රමණීය බසකින් සුපෝෂිත ය. ඇතැම් නිර්දය විචාරකයෙක් “අමාවැස්ස” දුටුවේ “බුත්සරණ” ලිහිල් බසට නැංවීමක් ලෙසිනි. එහෙත් නිහඬ උගතෙකු වූ මෙකී කෘතිය රචනා කිරීමට කිසියම් සහායක් පළ කළ ඒ කළෙක විද්‍යාරත්න පරිවේනාධිපතිව වැඩ විසූ හොරණ පඤ්ඤාසේකර මාහිමියෝ “අමාවැස්ස” “බව තරණය” කෘතියටත් වඩා අගය කළෝය. “අමාවැස්ස” මෙකී ලේඛකයාගේ කෘති අතර ද වෙනසක් පෙන්නුම් කළේය.

අප රට බෞද්ධ කාව්‍ය මාර්ගයක ගමන් ගන්නා සුවිසෙස් නිර්මාණකාරකයන් දෙදෙනෙකි. දෙදෙනාම පුවත්පත් කලාවේදීහුද වෙති. මේ වන විටත් දෙදෙනාම බෞද්ධ සාහිත්‍ය සම්මාන ද කිහිපවරක් පුද ලබා ඇත්තාහ. පළමු වැන්නා දිවයින ඉරිදා සංග්‍රහයෙහි ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකරයි. දෙවැන්නා කලක් ලංකාදීප පුවත්පතෙහි වීමංසා අතිරේකය සංස්කරණය කළ සමුද්‍ර වෙත්තසිංහයි. 1982 වසරේ “වදිමි සිදුහත්” නවකතාවට ද සුමනසේකර බෞද්ධ සාහිත්‍ය සම්මානය දිනාගනු ලැබීය. සමුද්‍රගේ “හිම දිය නදිය” ගෞතම බුද්ධ මුනිවරයාගේ සැඟව ගිය දිවි සමය, නවකතාව සහෘදයා වෙත පිරිනැමෙන්නේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී ය. එහි පෙරවදනෙහිලා වෙත්තසිංහයෝ මෙවන්නක් සඳහන් කරති.

“බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ අද්විතීය මහා පුරුෂයා ය යන ආකල්පයේ සිටින මම ත්‍රිපිටකය පෙරළ පෙරළා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතයෙහි අපූර්වතාව රසවිඳිමි. ඒ අනුව බුද්ධ චරිතයෙහි සැඟව ගිය යුගයක්, නොලියැවුණු යුගයක් ඇති බව මට පැහැදිලි විය. සූත්‍ර පිටකයෙහිත්, විනය පිටකයෙහිත්, ඇතුළත් විවිධ මූලාශ්‍රය ගවේෂණය කරමින් ඒ යුගය මනසින් මවා ගන්නට ගත් උත්සාහයක් ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. එහෙත් මෙය හුදෙක් පරිකල්පනාත්මක ප්‍රබන්ධයක්ම නොවේ”

මේ කෘතියෙහි ඇතුළත් ඇතැම් සිදුවීම් ලේඛකයා කෙරෙහි අප තුළ අතිමහත් ගෞරවයක් පහළ වීමට හේතු වෙයි. සමුද්‍ර එපමණටම අදීන ය; අභීත ය. මෑත අවධියේ අප පරිශීලනය කළ නවකතා අතුරින් අතිරමණීය බසකින් සුපෝෂිත කෘතියක් ලෙස මෙය හඳුන්වා දීමට මැළි නොවෙමි. මේ ඒ උදෙසා එක් උද්ධෘතයක් පමණකි.

“මනුෂ්‍ය ශබ්ද මාත්‍රයෙකින් පවා තොර හිමාලගිරි ශිඛරයෙහි හුදෙකලා පර්වත ගුහාවක දිය නොරැදෙන පවිත්‍ර නිල් උපුලක් සදිසි භාග්‍යවත් මුනිරජාණෝ වැඩ වෙසෙති. පැහැදිලි දිය සහිත පුලුල් ගල්තලා ඇති මේ හිමව් පියස නිහඬ මුනිවරුන්ගේ සොඳුරු අඩවියකි. ධූත ගුණයෙන් අග්‍රස්ථාන දරන මහාකාශ්‍යප මහ තෙරණුවෝ බුද්ධ මුනීන්ද්‍රයාණන්ට උපස්ථානයෙහි යෙදෙමින් සමීප පර්වත කුහරයෙහි වසති. දුර ඈතට විහිදී යන මේ පර්වතයෙහි විවිධ ලෙන්වල අතීත ඍෂිවරුන් වැඩ සිටින්නට ඇත.”

වෙළෙඳ අරමුණු පෙරදැරි කරගත් සම්මාන උලෙළවල විනිසුරුවන්ටත්, සංස්කෘතික දෙපාර්තමේන්තුවට සම්බන්ධ තීන්දු තීරණ ගන්නවුන්ටත් මෙවන් කෘති අනවකතා වීම සැබෑ ලේඛකයන්ටත්, බුද්ධිමත් පාඨකයන්ටත්, කරන අගෞරවයක් බව ලියා තැබීමට සිදුවීම ද අවාසනාවක්ම බව නොබියව ප්‍රකාශ කරමු.

සුනිල් ආරියරත්නයන්ගේ “බිම්බාදේවී හෙවත් යශෝධරා” සිනමා කාව්‍ය පිළිබඳව ද මෙහිදි අමතක නොකළ යුතු යැයි හැ‍ඟේ. එහි සිනමාත්මක වටිනාකම පිළිබඳව බොහෝ කතාබහ දෙසවන් වැකුණි. එහෙත් ලොව උත්තරීතරම කාන්තා රත්නය වූ යශෝධරාව ගැන විවරණයේදී බුදු සිරිතට කවර හානියක් වේදැයි අපි විමතියෙන් තිරය දෙස නෙත් විදහා සිටියෙමු අධ්‍යක්ෂවරයාගේ පරිස්සම අපට ඔහුගේ “සතර පෙර නිමිති” සිනමාපටය සිහිපත් කළේය. ප්‍රේකෂකා කාර්ෂණයෙන් අනූන වූ මෙය සිදුහත් චරිතය කැමරා ඇසට යොමු කළ අවස්ථාවකි. මෙවැන්නකට

“ඇය බුද්ධ පතිව්‍රතාවයි” යන්නට ගර්හා කළෝ ලැබූ ඵලය කුමක් වෙත්දැයි අපි තවමත් සිතමු. “මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට” සුළු වැරදි මත හෝ යමක් කළ යුතුමය.

නූතන කවි කිවිඳියන්ට වඩාත් ගෝචර වූයේ බුදු සිරිත ද, සිදුහත් සිරිත ද යන්න පිළිබඳව ගණන් මිනුම් සැකසීම කිසිවකුට කළ නොහැක්කකි. හෙට දවසේත් එවන් දෑ ලියැවීමේ ඉඩහසර ඇති බැවිනි. ඉහත කී සියලු නිර්මාණකාරකයන් පරයාලමින් ඉමහත් විප්ලවකාරී ස්වරූපයෙන් සිදුහත් චරිතය විවරණය කළ පළමු සිංහල නිර්මාණකාරකයා සිරි ගුනසිංහ බව සඳහන් කිරීම බින්දු මාත්‍රයක වරදක් නැති බව අපේ පෞද්ගලික හැඟීමයි. 1958 වසරේ ඔහු ලියා පළ කළ “අබිනික්මන” කාව්‍ය සංග්‍රහයෙහි ග්‍රන්ථ නාමයට ගත් පැදි පෙළ ඊට පැහැදිලි නිදසුනකි. පද්‍ය රචනය ආරම්භයේදීම ඔහු සිදුහත් කුමරුගේ මෙතෙක් ආ සසර ගමන විවරණය කරන්නේ අපූරු කාව්‍යෝක්ති රැසක් උත්පාදනය කරමිනි.

“දුර බැහැර ගමනක්ය

දුක් පිරුන ගමනක්ය

අඳුරකින් අඳුරකට

මාරුවුනු ගමනක්ය

 

අඳුර සමඟ පොර බදමින්

විඩාවෙ හඬ නිහඬ කරන්

සැලෙන මසේ හති පෙරමින්

පැමිණියෙමි විකාරෙන් ගෙවාගෙන දුරුකතර

නේරංජරාවෙන් ‍ෙගාඩ වෙන්න විමසමින්”

ඕනෑම බුද්ධිමතකුට අභිලාෂයක් ඇත. සිදුහත් කුමරුගේ අපේක්ෂාව උත්තරීතර වූවකි. එය ලෞකිකත්වය ඉක්මවා ලෝකෝත්තරත්වයට පිය නැඟීමයි. එහෙත් එහිද සංශයකි. සිරි ගුනසිංහයෝ සම්ප්‍රදායික සිදුහත් චරිතය නිරූපණය කළවුන්ට සහමුලින්ම වෙනස් මඟක් ගනිති.” කවියාගේ අභ්‍යන්තරය ආලෝකමත් වීමේ ශක්තිය හෙවත් සඥා ප්‍රභාව ප්‍රතිභාවයි.” මේ රාජශේඛර නම් සකු අලංකාරවාදියාගේ මතයයි. ආනන්දවර්ධන පඬිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. “ප්‍රතිභා අපූරු වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා”

“නේරංජරාවෙන්

යා යුතුය එගොඩ වී

නේරංජරාවෙන්

යා හැකිද එගොඩ වී..”

 

මේ 1956 වර්ෂයේ දී “මස් ලේ නැති ඇට” කාව්‍ය සංග්‍රහයෙන් ඇරඹූ ගමනේ උත්තරීතර දිගුවක්ම නොවේද? මෙතරම් අභීතව අදීනව සිදුහත් චරිතය විවරණය කළෝ කවුරුවෙත් ද? සිරි ගුනසිංහගේ කවිත්වයට හිස නමා ආචාර කළ යුතුම ය. පරාක්‍රම කොඩිතුවක්තු 2007 වසරේ පළ කළ “සංසාරෙට මං ආසයි” පද්‍ය සංග්‍රහයේදී පිටු දොළොසක් ඉක්මන “සිරි ගුනසිංහ සොයා” නම් පද්‍ය රචනයෙන් මොහු අමතන්නේ එබැවිනි.

ඕනෑම තැනැත්තකුට, තැනැතියකට තමන් වාසය කරන පරිසරයෙන් ශාරීරික වශයෙන් මොහොතකින් ඉවත් විය හැකිය. එහෙත් කිසි ලෙසකින් මානසික වශයෙන් එසේ කළ නොහැකිය. මේ මනෝවිද්‍යාත්මක සත්‍යය සිරි ගුනසිංහ කෙතරම් අදීනව සිදුහත් චරිතයට බද්ධ කර තිබේද?

 

“නිදන අන්තඃපුරය හැරදා

බිරිය හැරදා, පුතු ද හැරදා

ආ නමුත් මා මැදියමේ

ඒ මගේ එක ජීවයයි.”

 

උත්පාදක ශක්තිය, බන්ධනාචාතුර්ය, රසාවේශන ශක්තිය යන කවියකු සතු විය යුතු ගුණාංග ත්‍රිත්වයම සිරි ගුනසිංහයන් සතු බව මෙතැනින් පසක් නොවේද? මෙහි රූපකාර්ථවත් බස අතිශයින් නැවුම් ය; රමණීය බවින් පිරිපුන් ය.

“ජීවිතය හොරවමින්” “ජීවිතය හඬ නගා” “ජීවිතේ දම්වැලක්” “බුද්ධියේ ඇල්වතුර ඉරක්” “බුද්ධියේ ජූජකට” ඉන් කිහිපයක් පමණකි.

කුඩා දිවි ගමනක මහා සාහිත්‍ය අස්වැන්නක් අපට පිරිනැමූ මහගමසේකර 1970 දෙසැම්බර් මාසයේ දී පාඨකයාට තිළිණ කළ “බෝඩිම” පද්‍යා සංග්‍රහයෙහි පැනෙන “මාරයුද්ධය” සිදුහත් චරිතය දෙස විප්ලවවාදී ඇසකින් බැලූ තවත් උත්තරීතර නිර්මාණයකි. මෙය උත්තරීතර වන්නේම ඉහත කී දෘෂ්ටිය හේතු කරගෙන බව ද පැවැසීමේ වරදක් නොපෙනෙයි. මෙය “අබිනික්මන” පද්‍ය පන්තියට පසුව නිර්මාණය වුවත් “බවතරණය” නවකතාවට පෙරාතුව බිහි වූ බව පැහැදිලි ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ වෙසක් සඟරාවක මෙය මුලින්ම පළ වූ බව ද සඳහන් කළ යුතුය. අනූපම වූ සිදුහත්, යශෝධරා බැඳීමේ උච්ච බව සේකර මාරයුද්ධය රචනයෙන් විවරණය කරන්නේ ද අදීන දෘෂ්ටියකින් යුතුව ය.

“අහස පොළොව ඉර හඳ තරු

ගං හෝ වැව් නදී කඳුරු

මලින් පිපුණු ගන වනතුරු

ඔබ මා වෙත කෙරෙයි නුදුරු

ඔබෙන් දුරුව සිටිනා මට

තදින් දැනෙයි ඔබේ ගුණය

 

බවුන් වැඩීමට වනගත වූ සිදුහත් තවුසාට රමණීය පරිසරය සිහිපත් කරන්නේ යශෝධරාවයි. ඇගෙන් දුරුව සිටින තරමටම ඇය සිහිපත් වන බව ධ්වනිත කරයි. මෙය කිසිසේත් සම්මත සිදුහත් සිරිත වැනීමක් නොවේ. අපූරු යමක් බිහි කිරීමට ගත් තැතකි.

“සුවහසක් තරු පිරුණු රාත්‍රිය

නිල් අහස් වියන් යට

තනිව මා බවුන් දම් පුරන කල

සුවහසක් සිත් රැගෙන ඔබගෙ රුව

ඉපදි ඉපදී කෙණෙහි දැවී යයි

ඔබ ගතෙහි මුදු මෙලෙක

ඊට වැඩි බලවත්ව

ඔබ සිතෙහි මුදු මෙලෙක

මා පෙළයි”

 

සාම්ප්‍රදායික ඇසින් බලා නිරූපිත සිදුහත් චරිතයට වඩා මෙය කොතරම් යථාර්ථවාදී ද?

සම්, මස්, ඇට, නහර වියළි ගොස් ක්ලාන්ත ඇද වැටුණත්, සිද්ධාර්ථයන්ට බවුන් වැඩීමට ඇති සැබෑ බාධකය යශෝධරාවම ය.

“එහෙත් ඔබ ගැන මතක මොහොතකින්

ඒ සියලු වෙර බිඳැර

පැන නැඟී

අවුල් කරවයි මසිත්”

තිරිසන් යෝනිගතවත්, අනේක වූ මිනිස් ආත්මභාවයන්හිත් බැඳුණු බැම්ම පහසුවෙන් අත්හළ හැකිද? වෙනත් ගේය පදමාලාකරුවකුට මහාචාර්ය සනත් නන්දසිරිට නිර්මාණයක් සැපයීමේ ඉඩ හසර සැලසුවේ ද මේ ගීතය බව ද සඳහන් නොකර බැරි ය.

1974 පෙබරවාරි 20 වැනි දින සහෘදානන්දයට දයාසේන ගුණසිංහයන් පිරිනැමූ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද “රන්තැටියක කඳුළු” කාව්‍ය සංග්‍රහය විසි වසක කාව්‍ය නිද්‍රාව බිඳ දැමූ බව සඳහන් කළෝ ද මහාචාර්ය විමල් දිසානායකයෝම ය. එය පැනෙන “අබිනික්මන” පද්‍ය රචනය සිරි ගුනසිංහයන්ගේ “අබිනික්මන” රචනයට නොදෙවැනි නිර්මාණාත්මක ගුණයෙන් සන්නද්ධ ය.

 

“සඳුන් තිලක රූරා බැස

දෙබැම අඳුන් හා මුසුවෙයි

විඩාවෙ පලසෙහි තැන තැන

නිදන නළඟනන් මුහුණෙහි

දහදිය කැටයම් ගැන්වූ

විසුළ වෙසකි ළය රිදවන

 

නුරා විදුලි කෙටුව දෙතන

දඟ යුග පුළුලුකුල නිතඹ

නින්දෙන් වැහැරී වැහිරෙයි

තනපට මිණිමෙවුල් තුළින්

මෙයදැයි විමතියකි සිතට

මල්මඳ උලෙළක ඉතිරිය”

 

මේ ප්‍රබල කාව්‍යමය ගුණයකින් යුතුව නළඟනන්ගේ විප්‍රකාර ස්වරූපය හා සිදුහත් කුමරු අසුබවාදී දෘෂ්ටියකින් ඒ දෙස බැලූ ආකාරය විවරණය කිරීමයි.

මුද්‍රණ වර්ෂයක් නොසඳහන් දයාසේන ගුනසිංහයන්ගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “නොවැඳිමි සිදුහත්” කෘතියෙහි ග්‍රන්ථ නාමයට පත් පැදිපෙළ කිසියම් ආකාරයකින් සම්මතයෙන් බැහැරව සිදුහත් චරිතය ආවරණය කිරීමකි. ඉහළ මාලයක රන් පලසක ගැටුණු සිදුහත්ගේ පා නොවඳින බව පවසන රචකයා සුවහසක් දනන් වෙනුවෙන් මහ මඟට පිවිසි බුදුන්ගේ පාවඳින බව පවසයි. එහිදී දයාසේන ගුණසිංහයන් පළ කළ කවිත්වය හඳුන ගැනීමට එක් පද්‍ය ඛණ්ඩයක් උපුටා දැක්වීම ප්‍රමාණවත් යැයි හැඟේ.

“බැහැරින් මුඩු විය ඇතුළත

නැණ බිජුවට මෝරන සඳ

සවනක් රැස් වළලු සැදිණි

කුමර කිරුළු ගිලිහුණු හිස

සක්වල දුක් නසනු විලස

සක්විති රජ ඉසුරු හලෙන්

සඳු වඳින්නෙමි හිමියනි.”

 

විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගෙන් බොහෝ සෙයින් පාඨකයා හා ශ්‍රාවකයා අමතන අද්‍යතන කවි කිවිඳියන්ගෙන් කී දෙනකු වෙත මෙවන් උත්තුංග කවි කමක් රැඳී ඇද්ද?

මේ යුගයේ වේගවත්ම නිර්මාණකාරකයා ලෙස එරික් ඉලප්ආරච්චි හැඳින්විය හැකිය. වසරක් ඇතුළත ඔහු ලියා පළ කරන කෘති සංඛ්‍යාව වෙනත් කිසිදු නිර්මාණකාරකයකු පාඨකයාට පිරි නොනැමේ. අනෙක් නිර්මාණවල දුබලතා පෙනුණත් ඔහුගේ නවකතාවෙහි පරිහානි ලක්ෂණයක් විද්‍යමාන නොවේ. 1981 වසරේ එරික් ඉලලප්ආරච්චි විරස්ත “සිදුහත් ගේ අග මෙහෙසිය” කාව්‍ය සංග්‍රහයෙහි පැනෙන “සිදුහත්” නම් රචනය දයාසේන ගුණසිංහයන්ගේ “නොවඳිම් සිදුහත්” රචනය සිහිපත් කරවයි. තවත් අංශයකින් එය ඊට වෙනස් ය යන හැඟීමක් ද ජනනය වෙයි. මෙහි කථකයා සිද්ධාර්ථයන්ට බැඳෙන්නේ මහඟු උපත බුද්ධත්වයෙන් පසු විසඳාලු පැන, දෙසූ සූත්‍ර පෙන්වා දුන් නිවන මඟ නොවේ යැයි පවසයි.

පද්‍ය රචනය අවසානයේ මෙවන් නිගමනයක් දෙයි.

“දැඩි සෝ දුක් රළ බි‍ඳෙනා

අනිත්‍යයේ වෙරළ දිගේ

වැලපෙන සිතුවිලි ද රැගෙන

සක්මන් කළ සිදුහත්මය

යොවුන් තවුස් සිදුහත්මය

මගේ වියේ සිදුහත්මය

මහද බැතින් බැඳලන්නේ...”

 

දයාසේන ගුණසිංහයන්ගේ රචනයෙහි මෙන්, මෙහිදි සිදුහත් චරිතයත්, බුද්ධ චරිතයත් සම්මිශ්‍රණයෙන් නිර්මාණයක් බිහි කළ බව හැ‍‍ඟේ. අපි මෙහි ආරම්භයේදී පරාක්‍රම කොඩිතුවක්කුගේ නවතම කෘතියෙන් උපුටා දැක්වීමක් ඉදිරිපත් කළෙමු. සිදුහත් චරිතය හා බුදු සිරිත දෙස නූතන කවි කිවිඳියන් බැලූ ආකාරය පිළිබඳ පරාක්‍රමගේ නිර්මාණයක් නොගත හොත් එය මහත් අසාධාරණයකි. 1973 වසරේ “පොඩි මල්ලියේ” නම් ආන්දෝලනාත්මක කෘතියෙන් පාඨකයා ආමන්ත්‍රණය කොට ලේඛක බිමට පිවිසෙද්දීම “භාග්‍යවත් මිනිසා” යන රචනයෙන් බුදුන් දෙස බැලූ අයුරු ද වෙනස් ඇසක් පෙන්නුම් කරයි.

“ආනන්ද මා උපන් භාරතය කොයි තරම් සුන්දර ද අහෝ මේ මුදු පවන සිතට දෙන මල් සුවඳ”

යනුවෙන් පවසා එසේ දේශනා කිරීමට හේතුව විමසනු පෙනෙයි.

‍“පිළුණු බත් උළු කමින්

දොරින් දොර ඇවිදිමින්

කුණු බැණුම්

ගොම වැරටි ඉවසමින්

සිත පුරා - හද පුරා

ඇති තරම් ජීවිතය

උරා බිව් නිසා ද ඔබ”

මෙය මෙතෙක් කවියෙක් නුදුටු ඇසකි. අභීත ප්‍රශ්න කිරීමකි. සමුද්‍ර වෙත්තසිංහගේ “හිම දිය නදිය” නවකතාවෙහි අන්තර්ගත ඇතැම් කරුණු ද අපට සිහිපත් කරයි. මේ රචකයාම නැවත 1974 වසරේ පළ කළ මොහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වූ “අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය” කෘතියේදී පාටාචාරාවට මඟ ඇහිරීමක් ගැන ධ්වනිත කරමින්

“දෙව්රම් වෙහෙරේ

ගේට් එක වසා ඇත

ස්වාමි දරුවෝ ඇත / නැත”

යනුවෙන් සඳහන් කර තිබේ. මෙය ද බුදුන් දෙස කිසිවකු නොහෙළූ දෘෂ්ටියකි.

සමස්ත රචනාවලම නවමු දැක්මක් නොවූවත් දෙවැනි කවි පරපුරේ දැවැන්ත නිර්මාණකාරකයන් වූ විමලරත්න කුමාරගම හා පී.බී. අල්විස් පෙරේරා ඉහත කී පද්‍ය රචකයන්ට පෙරාතුව බුදුන් වෙනුවෙන්, විප්ලවීය යෙදුම් භාවිත කළ බව ද පද්‍ය සාහිත්‍ය පිළිබඳ නිමවුමට පෙරාතුව සඳහන් නොකළ හොත් බරපතළ අකටයුත්තක් බව නොකියා නොහැකිය.

“පියාපත් දා වැටුණු ගිරවකු පරිදි නිතරම දනුව තැන්වූ

දයා කරුණා වඳවගිය පසු උමතු ලෝකෙක අතරමං වූ

වියාකුල දිගු ගමන් යන පාපියෙකු හට නිසි හසර පෙන්වූ

පියාණනි මහ හිඟන්නාණනි කිරුළු මත පා රජස ගැන්වූ”

 

“නිති යොමු කරන ලද මහජන වැඩට හිත

පිළිගත් දිළින්දන්ගේ කැඳ සහිත බත

මගෙ බුදු හාමුදුරුවන් හැර තිලොව නෙත

ලොව මහ දේශපාලකයකු සිටියේ නැත”

 

එපමණ බුද්ධි මට්ටමකට හිමි නොකියන ශ්‍රාවකයා වෙතත්, සමීප වීමේ හේතු වෙන්දෝ ගේය පද මාලා සාහිත්‍යයේදී බුද්ධ චරිතය හා සිදුහත් චරිතය දෙස සම්ප්‍රදායික දෘෂ්ටිය පසෙක ලා බැලූ අවස්ථා ඉතා විරල බව නොකියා බැරි ය. ඇති විශිෂ්ට ගේය පදමාලා කරුවකු වූ විමල් අබේසුන්දරයන් 1982 වසරේ ජාතික ගුවන්විදුලියෙහි ගීත නාට්‍යයක් උදෙසා විරචිත පද මාලාවක වෙනස් මඟක ගිය බව පැහැදිලි ය. “ඇස රසඳුන් ගා” යනුවෙන් ඇරැඹෙන ගේය පද මාලාවෙහි ‍දෙවැනි තුන්වැනි අන්තරා කොටස් මෙසේ ය.

 

“පුතුනේ! පුතුනේ! සිදුහත් පුතුනේ!

මහමග ගැවසී සිඟමන් අපගේ සිරිත නොවේ.

සැකි කුල වහරේ ලැබෙනු නැතී.

 

කිම කිම මේ කුලයට නින්දා

නොකරනු මැනවී පුතුනි මගේ

නොකරනු මැනවී පුතුනි මගේ”

 

මහාචාර්ය සනත් නන්දසිරිගේ තනු නිර්මාණයෙන් හා සංගීත සංයෝජනයෙන් සුපෝෂිත මෙහිදි බුදුන්ගෙන් මෙලෙස ඉල්ලා සිටීමේ ඉඩහසර කාට ඇද්ද? යන පැනය මතු වෙයි. මෙහි කථකයා සුදෙවුන් රජු හැර අන් කවරකු විය හැකිද?

ඔව්. ඒ. අබේසිංහයන් ගේ උත්තමගේ ය පදමාලාවක් වූ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කර සුගානීය ලෙස ශ්‍රාවක සවන් ඇඳ බැඳලන පරිදි ඉදිරිපත් කළ ගායනය ඍජුව සිදුහත් සිරිත හෝ බුදු සිරිත ඈදා නොගත්තත් එහි “ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විරහකි යන යෙදුම් දක්නා ලැබේ. ගඩොල්, යකඩ වැනි පද රළු කටුක වුවත් අනෙක් වදන් හා මුසු කර රළු බවින් තොරව රචනා කිරීමට අබේසිංහයන් ගත් තැත පැසසිය යුතුම ය. ගීය ශ්‍රාවක සටන් සනහාලන පරිදි ගැයූ කපුගේ ද අපගේ පැසසුමට ලක්වන්නේම ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.