තිරසර සංවර්ධනයක් සඳහා නව ප්‍රවණතාවක් | සත්මඬල

තිරසර සංවර්ධනයක් සඳහා නව ප්‍රවණතාවක්

බුදුන් වහන්සේ අපේක්‍ෂා කළේ තම ශ්‍රාවක පිරිස හික්මීමක් ඇති, ධර්මය පිළිබඳ උගත්, ස්වවාද ස්ථාපනය කොට පරවාද මථනය කිරීමේ හැකියාවෙන් යුත් පිරිසක් විය යුතු බව ය.

මෙය ශ්‍රී ලාංකේය සමාජයේ විශාල බෞද්ධාගමික ප්‍රබෝධයක් දැකිය හැකි යුගයකි. මෙසේ ජනතාව අතරට දහම රැගෙන යෑමේදී ජනසන්නිවේදන මාධ්‍යයන්ගෙන් ඇති කළ බලපෑම ඉතා විශාල ය. ධර්මය ප්‍රචාරය වීම යහපත් දෙයක් වුවද එය සිදු වන ආකාර පිළිබඳව ද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. වර්තමානයේ භාවිත වන දියුණු විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් සහ විහාරස්ථානවලින් ද සමාජගත වන ධර්ම දේශනාවල ථේරවාදී ත්‍රිපිටකයෙහි අනුදත් ක්‍රමවේද හා අරමුණු අන්තර්ගත වී තිබේදැයි විශේෂයෙන් සොයා බැලිය යුතුය. බුදු දහමට පමණක් අනන්‍ය වූ ධර්ම දේශනා සම්ප්‍රදායක් පිළිබඳව ථේරවාද ත්‍රිපිටකයේ කරුණු පැහැදිලිව දක්වා ඇත. බුද්ධ භාෂිතය ලොවට දේශනා කිරීමටත් එහි යථාර්ථය ලොවට පහදා දීමටත් බෞද්ධ ශ්‍රාවකයකු සතු වගකීම බුදුන් වහන්සේ අපේක්‍ෂා කළ අයුරු මෙලෙස හඳුනා ගත හැකිය.

“පවිටු මාර ය, යම්තාක් මාගේ භික්‍ෂූහු ව්‍යක්ත වූ විනීත වු විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්ම ප්‍රතිපන්න වූ සාමීචි ප්‍රතිපන්න වූ අනුධම්මචාරී වූ ශ්‍රාවකයෝ නොවන්නාහු ද, ස්වකීය ආචාර්යවාදය උගෙන නොකියන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපනවන්නාහු ද, නොපිහිටවන්නාහු ද, විවෘත කොට නොදක්වන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ප්‍රකට කර නොදක්වන්නාහු ද, පහළ වූ පරවාද කරුණු සහිතව මැඬලා නෛර්යාණික කොට දහම් නොදෙසන්නාහු ද, ඒ තාක් මම පිරිනිවන් නොපාමි.”

(බුද්ධජයන්ති ත්‍රිපිකට ග්‍රන්ථමාලාව, 2006 පි.163)

මෙමඟින් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ අපේක්‍ෂා කළේ තම ශ්‍රාවක පිරිස හික්මීමක් ඇති, ධර්මය පිළිබඳ උගත්, ස්වවාද ස්ථාපනය කොට පරවාද මථනය කිරීමේ හැකියාවෙන් යුත් පිරිසක් විය යුතු බව ය. මෙසේ බැලූ කළ ධර්ම දේශනාවක් යනු හුදු දේශනාවක් ම නොවේ. ලෝකය, සත්ත්වයා, පුද්ගලයා පිළිබඳ විග්‍රහ කරන බුද්ධ භාෂිතය විකෘති කිරීම කිසිසේත් නොකළ යුත්තකි. විශේෂයෙන් වත්මන් ශ්‍රී ලාංකේය සමාජයේ දැකිය හැකි ධර්ම දේශනාවල තම තම නැණ පමණින් අර්ථකථනයන් ලබාදීම හා තමන් දරන මතවාදය සඳහා බුද්ධ දේශනය යොදා ගැනීම බහුලව දැකිය හැකිය.

ධර්ම දේශනා කර පවත්වගෙන යෑම අවශ්‍ය වන්නේ දේශනා නොකිරීමෙන් ධර්මය වහා අතුරුදන් වන නිසා ය. ධර්මය උගෙන අනුනට සවිස්තරව නොදෙසත් නම්, ධර්මය උගෙන ප්‍රගුණ කර සවිස්තරව අනුනට ප්‍රගුණ නොකරවත් නම්, උගෙන ප්‍රගුණ කළ ධර්මය සවිස්තරව සජ්ඣායනා නොකරත් නම්, ධර්මය උගෙන ප්‍රගුණ කොට මෙනෙහි නොකරත් නම්, ධර්මය අතුරුදන් වන බව අංගුත්තර නිකායේ ද්විතීය සද්ධම්ම සම්මෝස සූත්‍රයේ ද සඳහන් වෙයි. මෙයින් අදහස් වන්නේ ධර්මය නිවැරැදි පෙළ ඇසුරෙන්ම හදාරා දේශනා කිරීම අත්‍යවශ්‍ය බව ය. මෙසේ ධර්මය නෛර්යාණික කොට දේශනා කිරීමට නම් ධර්ම දේශකයා බහුශ්‍රැත අයකු විය යුතුම ය. බහුශ්‍රැත යන්නෙහි වාච්‍යාර්ථය බොහෝ කොට අසා ඇති නමුත් ත්‍රිපිටකයේ බහුශ්‍රැත යන්නෙන් අර්ථවත් වන්නේ මෙයට වඩා උසස් කුසලතාවකි.

අංගුත්තර නිකායේ ඒ කුසලතා කිහිපයක් මෙසේ දක්වයි.

01. අත්ථකුසලෝ හෝති - අටුවා උගෙන අවශ්‍ය තැන අටුවා විවරණ සැපයීමටත්, අර්ථකථනයෙහි දක්‍ෂයකු වීමත් අවශ්‍යය.

02. ධම්මකුසලෝ හෝති - පාලි ත්‍රිපිටකය හදාරා නියම ධර්මය උකහා ගැනීමේ දක්‍ෂයකු විය යුතුය.

03. ව්‍යඤ්ජනකුසලෝ හෝති - අක්‍ෂර, පද බෙදීම් ආදිය පිළිබඳ දක්‍ෂ ව විශේෂ වචන යෙදීමෙහි දක්‍ෂයකු විය යුතුය.

04. පුබ්බාපරකුසලෝ හෝති - පූර්වාපර සන්ධි ගැළපීයේ දක්‍ෂයකු විය යුතුය.

(බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව,

2006, පි.227)

මෙමඟින් පැහැදිලි කෙරෙන්නේ ධර්ම දේශකයා ශාස්ත්‍රීය කුසලතාවෙන් යුත් බහුශ්‍රැතයකු විය යුතු බවත්, ධර්ම දේශනයේ හිතලූ අර්ථ තිබිය නොහැකි බවත් ය.

එපමණකින්ම ධර්ම දේශනාවක් සම්පූර්ණ වන්නේ නැත. එය සකසා දේශනා කළ යුත්තකි. සූදානමක් ඇතුව සිදු කළ යුත්තකි. කරුණු සහිතව සිදු කළ යුත්තකි.

“මහණෙනි, තථාගතයෝ සිව් පිරිසට දම් දෙසීම සකසා ම සිදු කරති. නො සකස්ව දහම් නොදෙසති. යටත් පිරිසෙන් පුහුදුන් ජනයාට දම් දෙසතත් තණ කපන්නකුට, ලිහිණි වැද්දකුට දම් දෙසතත් නො සකස්ව දහම් නොදෙසති.”

ගැඹුරු දහම සූදානමකින් තොරව දේශනා කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. පෞරුෂ වර්ධන, උපායමාර්ගික, විනෝදජනක ආදි නොයෙකුත් දේශනාවලින් ධර්ම දේශනාව වෙනස් වන්නේ මේ නිසා ය. දේශනයෙහි හා භාෂණයෙහි දක්‍ෂ වූ පමණින් ත්‍රිපිටකාගත ඉගැන්වීම් අනුව හේ ධර්ම කථිකයකු ලෙස සැලකෙන්නේ නැත. යහපත් ධර්ම කථිකයකු වන්නේ කවර අර්ථයකින් ද යන්න අංගුත්තර නිකායේ ධම්මකථික සූත්‍රයෙන් මනාව පැහැදිලි වෙයි.

මෙලොව එක් ධර්ම කථිකයකු කියන්නේ ස්වල්පයකි. එය ද හරයක් නැති ප්‍රලාප ය. එය අසන අය ද සරු නිසරු දේ තෝරා ගැනීමට අසමත් ය. එබඳු පිරිසක් අතර ඒ කථිකයා ධර්ම කථිකයකු ලෙස සැලකේ. තවත් ධර්ම කථිකයෙක් කියන්නේ ද ස්වල්පයකි. එහෙත් එය හරවත් ය. අසන පිරිස ද සරු නිසරු දේ තෝරා ගැනීමට සමත් ය. එබඳු පිරිසක් අතර ඒ කථිකයා ධර්ම කථිකයකු ලෙස සැලකේ. තවත් ධර්ම කථිකයෙක් දිගින් දිගටම බොහෝ දේ කියයි. ඒ සියල්ල නිසරු ය. අසන පිරිස ද සරු නිසරු දේ තීරණය කරන්නට අසමත් ය. ඒ කථිකයා එබඳු පිරිසක් අතර ධර්ම කථිකයෙකු සේ සැලකෙයි. තවත් ධර්ම කථිකයෙක් බොහෝ දේ කියයි. අසන පිරිස ද සරු නිසරු දේ තෝරා ගැනීමට සමත් ය. එබඳු පිරිසක් අතර ඒ කථිකයා ධර්ම කථිකයකු සේ සැලකෙයි.

අන්තර්ගතය අතින් පමණක් නොව දේශකයාගේ දැක්ම මඟින් ද ධර්ම දේශනයට ගුණාත්මක ආලෝකයක් ලැබේ. වරෙක බුදුන් වහන්සේ ධර්ම දේශනා කිරීම පිළිබඳව මෙසේ වදාළහ.

“මහණෙනි, අනුනට දහම් දෙසීම පහසු කරුණක් නොවේ. අනුනට දහම් දෙසන්නා තමන් කෙරෙහි කරුණු පහකින් සමන්විතව දම් දෙසිය යුතුය.” ඒ

01. ආනුපුබ්බි කථා - අනුපිළිවෙළ කතාවට අනුව දම් දෙසීම

02. පරියායදස්සාවි - හාත්පස කරුණු ගෙනහැර දක්වමින් දම් දෙසීම

03. අනුද්දයතං පටිච්ච - අනුකම්පා පෙරදැරිව දම් දෙසීම

04. න ආමිසන්තරෝ - ලාබ සත්කාර බලාපොරොත්තු නොවී දම් දෙසීම

05. න අත්ථං ච පරං ච අනුපහච්ච - තමන්ගේ හෝ අනුන්ගේ දොස් දැක්වීමකින් තොරව දම් දෙසීම ලෙසිනි. (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව,

2006, පි 125.)

අනුපුබ්බි කථා යනු දාන කතා, සීල කතා ආදී වශයෙන් ක්‍රමයෙන් සැදැහැවත් දායකයා දාන ශීල ගුණවල පිහිටුවා අනතුරුව ගැඹුරු දහම් කරුණු අවබෝධය දක්වා ධර්ම දේශනය සිදු කිරීම ය. පරියායදස්සාවි යනු හාත්පසින් කරුණු දැක්වීමයි. දේශකයා තමන් විසින් දේශනා කරනු ලබන කරුණු විවිධ ආකාරයෙන් ධර්ම න්‍යාය, ධර්ම අර්ථ, පද විවරණ ආදිය උදාහරණ දක්වමින් දේශනා කිරීම, මේ මඟින් අදහස් කෙරේ. ‘අනුද්දයතං පටිච්ච’ යන්නෙන් අදහස් කෙරෙන්නේ අනුකම්පාව පෙරදැරි කරගෙන දහම් දෙසිය යුතු බවයි. ‘න ආමිසන්තරෝ’ යනුවෙන් අදහස් කෙරෙන්නේ ආමිසය මැදිහත් කර නොගෙන දහම් දෙසීමයි.

“මහණෙනි, යම් භික්‍ෂුවක් ඉදින් මහජනයා මාගේ ධර්මය අසත්වා, අසා මාගේ දේශනාවට පැහැදෙත්වා, පැහැදී පැහැදුණු බව ලාභ සත්කාරයෙන් පෙන්නුම් කෙරෙත්වා” යන මේ සිතින් අනුනට දහම් දෙසයි නම් එබදු භික්‍ෂුවගේ ධර්ම දේශනාව අපිරිසිදු දේශනාවක් වෙයි. ‘න අත්ථං ච පරං ච අනුපහච්ච’ යන්නෙන් අදහස් කෙරෙන්නේ අත්තුක්කංසනය හා පරවම්භනය ධර්ම දේශනාවකින් ඉටු නොවිය යුතු බවයි. ධර්ම දේශකයා කවර නම් හික්මීමක පිහිටා ධර්මය දේශනා කළ යුතු දැයි මෙමඟින් පැහැදිලි වෙයි.

දේශකයකුගේ ප්‍රධාන මෙවලම වන්නේ භාෂාවයි. එහි ප්‍රමිතිය පිළිබඳව ද ත්‍රිපිටකයේ කරුණු දක්නට ඇත. ‘මුඛ විකාර, හස්ත විකාර මෙන් ම ගීත ස්වරය ද ධර්ම දේශනයට උචිත නොවේම ය. දැහැමි ප්‍රීතියකදී මන්දස්මිතිය පමණක් සෑහෙන බව අංගුත්තර නිකායේ ගීතස්වර සූත්‍රයේ සඳහන් වේ. මෙමඟින් පැහැදිලි වන්නේ ධර්ම දේශනය විධිමත් පදනමක පිහිටා සිදු කළ යුතු බවයි. අන්තර්ගතය, අරමුණ, දේශනා විලාසය ආදී සියල්ලෙහිම ගුණාත්මක භාවය, ධර්ම ගෞරවය සුරැකෙන ලෙස පැවැතිය යුතු බව මේ මඟින් පසක් වෙයි. මෙය කෙතරම් විධිමත් ලෙස අපේක්‍ෂා කළේ දැයි පැහැදිලි වන්නේ ථේරවාදී බෞද්ධ ධර්ම දේශනා තුළ දේශකයා පමණක් විධිමත් වීම ප්‍රමාණවත් නොවන අතර ශ්‍රාවකයාගේ ද විධිමත් බවක් අපේක්‍ෂා කළ බැවිනි. එසේම සේඛියා ධර්මවල අඩංගු වන පැනවීම්වලින් ද පැහැදිලි වන්නේ ධර්ම ගෞරවය ආරක්‍ෂා කළ නොහැකි අයකුට දහම් නොදෙසිය යුතු බවයි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.