මනමේ හා රෂෝමොන් | සත්මඬල

මනමේ හා රෂෝමොන්

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාටකය ප්‍රථව වරට වේදිකා ගතවූයේ 1956 වර්ෂයේ නොවැම්බර් මස 03 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී ය. එනම් මීට හැට වසරකට ප්‍රථමයෙනි. එකල ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වූ මා ද එදින එහිදී ඒ නාට්‍ය නැරැඹූ එක් ප්‍රේක්ෂකයෙකි. ‘මනමේ’ නාටකය එදා සිට මෙදා දක්වා ම ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වන, ඔවුන් ඉමහත් ආස්වාදයක් විඳින නිර්මාණයක් වීම සුවිශේෂ සිද්ධියකි. වර්ෂ 1985 දී පළමු වරට පළ වූ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නමැති සරච්චන්ද්‍ර අාපදානයට ‘මනමේ’ නාටකයේ ප්‍රභවය පිළිබඳ මෙබඳු ප්‍රකාශයක් ඇතුළත් වෙයි.

“මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයෙහිදී හෝ අමෙරිකාවෙහිදී අකිර කුරොසව අධ්‍යක්ෂණය කරන ලද ‘රෂෝමොන්’ නම් චිත්‍රපටය බැලීමෙන් පසු ය. ‘රෂෝමොන්’ චිත්‍රපටයට ආශ්‍රය කරන ලද්දේ අකුතගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ලධනුග්ගහ ජාතකයටත් මනමේ ගැමි කතාවටත් සමාන ය.”

(194 පිටුව)

මින් අනාවරණය වනුයේ කුමක් ද? මනමේ නාටකයේ කතා වස්තුව කෙරෙහි ‘රෂෝමොන්’ චිත්‍රපටයේ කතා වස්තුව කිසියම් ආකාරයකින් බලපා තිබෙන බවයි. එහෙයින් චිත්‍රපටයේ කතා වස්තුව විමසා බලනු වටී. ‘රෂෝමොන්’ චිත්‍රපටයට වස්තු වනුයේ මධ්‍යකාලීන ජපානයේ අගනුවර වූ කියෝතො නගරය අවට පෙදෙසක සිදු වූ ස්ත්‍රී දූෂණයක්, මනුෂ්‍ය ඝාතනයක් හා මංකොල්ලයක් පිළිබඳ පුවතකි. එකී පුවත වූ කලි අලුතින් සරණ බන්ධනයට ඇතුළත් වූ තරුණයකු හා තරුණියක වනාන්තරයක් මැදින් ගමන් කරන අතර අනපේක්‍ෂිතව මුණ ගැසුණු මංපහරන්නකු නිසා ඔවුන්ට සිදු වූ උපද්‍රවයකි. ඊට අදාළ පුද්ගලයන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නඩු පැවරේ.

ඒ නඩු විභාගයේදී එකී සිද්ධියට සම්බන්ධ කිහිප දෙනකු විසින් දෙන ලද සාක්ෂි පදනම් කරගෙන කතා වස්තුව විකාශනය කෙරේ. මංපහරන්නා, බිරිය හා ඇගේ මියගිය සැමියා මේ සිද්ධියට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෝ තිදෙනායි.

පළමු කොටම අනාවරණය වනුයේ මංපහරන්නා අධිකරණය හමුවේ දුන් සාක්ෂියයි. එකී ස්ත්‍රී දූෂණය, මනුෂ්‍ය ඝාතනය හා මංකොල්ලය තමා අතින් සිදු වූවක් බව පිළි ගනිමින් ඔහු කරන ලද පාපොච්චාරණය යි. මංපහරන්නා ගසක් යට අඩ නින්දෙන් පසු වන අතර පාරේ ගමන් කරන සැමියා හා බිරිය හදිසියේම ඔහුට දක්නට ලැබේ. බිරියගේ මුහුණ දුටු විගසම ඔහු මහත් කැලඹීමට පත් වෙයි.

“අන්න ඒ මොහොතෙදි, මිනිහ මරල දාල හරි ගෑනි පැහැර ගන්ඩ ඕනැයි කියල මම තීරණය කර ගත්තා”

යනුවෙන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඔහු පවසයි.

මංපහරන්නා ඔවුන් පසුපස ලුහුබඳියි. ඔහු බොරුවක් කියා සැමියා රවටාගෙන වනය මැදට කැඳවා ගෙන එයි. එහිදී ඔහු ලණුවකින් සැමියා බැඳ දමයි. ඉන් පසු ඔහු බොරුවක් කියා බිරියත් එහි කැඳවාගෙන අවුත් සැමියා බැඳ දමා තිබෙන අයුරු ඇයට පෙන්වයි. එය දුටු විගස ඈ තමා ළඟ තිබූ කුඩා කඩුව රැගෙන මං පහරන්නාට ඉන් පහර දීමට තැත් කරයි. ඔහුට ලෙහෙසියෙන්ම ඇය පාලනය කරගත හැකි වෙයි. ඈ ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට උත්සාහ කරයි. එවිට ඔහු ඇගේ මුහුණ තදින් සිප ගනියි. ඔහු නොනවත්වාම ඇගේ මුහුණ සිප ගනිමින් සිටියි. එවිට ඇගේ දකුණු අතින් ග්‍රහණය කරගෙන සිටි කුඩා කඩුව ගිලිහී බිමට වැටෙයි.

දහඩියෙන් තෙත් වූ ඔහුගේ සිරුර ඈ බියෙන් මෙන් තම සුදු පැහැති දෑතින් වෙළාගනියි. ඇය ඔහුගේ ප්‍රයත්නයට දැක්වූ විරුද්ධත්වය හීන වූ බව, ඇය ඔහුට ගොදුරු වූ බව ඉන් ප්‍රකාශ වෙයි. මංපහරන්නා සැමියාගේ ඇස්පනාපිට ම බලහත්කාරයෙන් බිරිය දූෂණය කරයි.

අනතුරුව නැඟී සිටින ඈ පිරිමින් දෙදෙනකු අතින් ම තම හිරිඔතප් බිඳීම මරණයටත් වඩා බිහිසුණු දෙයකැයි පවසයි. එබැවින් ඔවුන් දෙදෙනාට සටන් කරන ලෙසත්, ඉන් ජය ගන්නා තැනැත්තාට තමා බිරිය වන බවත් ඈ කියා සිටියි. ඊට එකඟ වන ඔවුහු එකිනෙකා සමඟ සටන් කරති. ඔවුන් අතර සිදු වන බිහිසුණු සටනකින් පසුව මංපහරන්නාගේ දිග කඩුවෙන් සැමියා ජීවිතක්‍ෂයට පත් වෙයි. එකී කඩු සටන සිදු වන අතර බියට පත් වන බිරිය එතනින් දුවගොස් වනයේ සැඟවෙයි. මංපහරන්නාට ඇය සොයාගත නොහැකි වෙයි. ඔහු සැමියාගේ දිග කඩුවත් රැගෙන එතනින් පලා යයි.

ඉන් පසු අනාවරණය වනුයේ අධිකරණය හමුවේ, විපතට පත් බිරිය දුන් සාක්ෂියයි. එය මංපහරන්නාගේ සාක්‍ෂියට වඩා බෙහෙවින් වෙනස් වූවකි. සැමියා ලණුවකින් බැඳ තිබෙනු දුටු විගස ම ඈ තම කුඩා කඩුව රැගෙන මං පහරන්නාට ඉන් පහර දීමට තැත් කරයි. ටික වේලාවකින් ඇගේ කඩුව උදුරාගැනීමට ඔහු සමත් වෙයි. ඔහු සැමියා ඉදිරිපිටදීම බලහත්කාරයෙන් බිරිය දූෂණය කරයි. ඉන් පසු ඔහු නැඟී සිට සැමියා දෙස බලා උපහාසාත්මකව සිනා සෙයි. බිරිය නැඟිට තම සැමියා ළඟට දුවගෙන යෑමට තැත් කළ විට ඔහු පා පහරක්දී ඇය බිම හෙළයි. ඉක්බිති මංපහරන්නා සැමියා අසලට ගොස් ඔහුගේ දිග කඩුව රැගෙන එතනින් පලා යයි.

තණ බිම මත වැතිර හඬමින් වැලපෙමින් හුන් බිරිය නැඟිට සැමියා සමීපයට ගොස් ඔහුගේ ඇගේ එල්ලීමට තැත් කරයි. හදිසියේ ම ඈ බියට පත් වී ඔහුගෙන් ඈත් වෙයි. ඊට හේතුව ඔහු ඇය පිළිකුල් කරන ආකාරයේ අනුකම්පා විරහිත බැල්මකින් ඇය දෙස බලාගෙන සිටීමයි. ඈ ඔහුගේ බැල්ම මඟහැරීමට මෙන් දෑතින් මුහුණ වසාගෙන හඬමින් සිටියි. හදිසියේ ම ඈ නැඟී සිට තණකොළ ගොන්නෙහි වැටී තිබූ ඇගේ කුඩා කඩුව රැගෙන, සැමියාගේ ඇඟ වටා බැඳ තිබූ ලණුව, ඉන් කපා දමයි. ඈ තම කුඩා කඩුව සැමියා දෙසට දික්කර ඉන් තමා මරා දමන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියි. ඔහු එය ගැනීමට තම අත දික් නොකර නිහඬව සිටියි. ඈ කුඩා කඩුව තදින් ග්‍රහණය කරගත් ගමන් ඔහුගේ ළය මත ඇද වැටෙයි. එවිට ඇයට සිහිසන් නැති වී යයි. ටික වේලාවකට පසු ඇයට සිහිය අවුත් බැලූ විට ඇගේ කුඩා කඩුව ඔහුගේ පපුවේ ඇනී ඔහු මිය ගොස් සිටිනු දක්නට ලැබේ. ඉන් කම්පාවට පත් වන ඈ සියදිවි නසාගැනීමට තැත් කරයි. එහෙත් ඈ සියදිවි නසාගැනීමට අපොහොසත් වෙයි.

අනතුරුව අනාවරණය වනුයේ මියගිය සැමියා අධිකරණය හමුවේ දුන් සාක්ෂියයි. මියගිය සැමියාගේ සාක්ෂිය ප්‍රකාශයට පත් වනුයේ ඔහුගේ ආත්මයට ආවේශ වූ දේවදාසියකගේ මාර්ගයෙනි. ඔහුගේ සාක්‍ෂිය මංපහරන්නාගේත්, බිරියගේත් සාක්ෂිවලට සහමුලින් ම වෙනස් වූවකි. ඊට අනුව මංපහරන්නා බිරිය දූෂණය කළාට පසු ඇය අමතා මෙසේ පවසයි:

“එක සැරයක් හරි පිට කෙනකු අතින් සිරුර කෙ‍ෙලසුණාට පස්සෙ ආයෙත් සැමියත් එක්ක සමාදානෙන් ජීවත් වෙන්ඩ පුළුවන් වෙන එකක් නෑ. සැමියත් එක්ක අසමගියෙන් ඉන්නවට වඩා මගේ බිරිය වෙන එක හොඳ නැද්ද? මම මේ විදිහෙ බිහිසුණු ක්‍රියාවක් කළේ ඔබට තියෙන ආදරය හින්දයි.”

ඔහුගේ යෝජනාවට එකඟ වන බිරිය, “කොහේ හරි කමක් නෑ මාව එක්කරගෙන යන්ඩ” යනුවෙන් ඔහුගෙන් ඉල්ලා සිටියි. ඔහු සැමියාගේ දිග කඩුවත් පැහැරගෙන ඇය කැටුව යෑමට සූදානම් වෙයි. එවිට බිරිය මංපහරන්නා අමතා මෙබඳු ප්‍රකාශයක් කරයි.

“මගේ සැමියා මරල දාන්ඩ. ඔහු ජීවතුන් අතර ඉන්නකම් මට ඔබත් එක්ක එන්ඩ බෑ. ඔහු මරල දාන්ඩ.”

ඇගේ එකී ඉල්ලීම ඇසුණු විගසම මංපහරන්නා තුළ මහත් විපර්යාසයක් ඇති වෙයි. තම සැමියා මරාදමන ලෙස ඉල්ලා සිටි ඇය කෙරෙහි ඔහු තුළ මහත් කලකිරීමක් ද, පිළිකුලක් ද හට ගනියි. හදිසියේම ඔහු පා පහරක්දී ඇය බිම හෙළයි.

“ඕයි, මේ ගෑනිට මොක ද කරන්නෙ? මරන්ඩ ද? සමාව දෙන්ඩ ද?”

යනුවෙන් ඔහු සැමියාගෙන් අසයි. මෙවිට හදිසියේ ම නැඟී සිටින බිරිය කෑගසා ගෙන වනයට දුවගෙන යයි. මංපහරන්නා ඇය පසුපස ලුහුබඳින නමුදු ඔහුට ඇය අල්ලාගැනීමට නොහැකි වෙයි. ඔහු ආපසු පැමිණ සැමියා බැඳ තිබූ ලණුව කඩුවෙන් කපා දමා එතනින් පලා යයි. අනතුරුව හුදෙකලා බවට පත් සැමියා, අසල තණකොළ ගොන්නක වැටී තිබූ බිරියගේ කුඩා කඩුව රැගෙන ඉන් තම පපුවට ඇනගෙන සියදිවි නසාගනියි.

චිත්‍රපටය මඟින් නිරූපණය කෙරෙන ප්‍රධාන චරිත තුන දුන් සාක්ෂි අතර සමානකම්වලට වඩා අසමානකම් බහුලයි. මංපහරන්නා සැමියාගේ ඇස්පනාපිටම බලහත්කාරයෙන්ම බිරිය දූෂණය කරන ලද බව තිදෙනාගේම සාක්‍ෂි මඟින් හෙළි වෙයි. කෙසේ වුවද සැමියාගේ මරණය තමා අතින් සිදු වූවක් බව මංපහරන්නා කියා සිටියි. බිරියට අනුව සැමියාගේ මරණය ඇය අතින් සිදු වූවකි. සැමියා කියා සිටිනුයේ තමා සිය දිවි නසා ගත් බවයි.

‘රෂෝමොන්’ චිත්‍රපටයේ කතා වස්තුව හා ‘මනමේ’ නාටකයේ කතා වස්තුව අතර සමානකම් කිහිපයක් දැකිය හැකියි.

චිත්‍රපටය හා නාටකය යන දෙකටම වස්තු වනුයේ අලුතින් සරණ බන්ධනයට ඇතුළත් වූ තරුණ යුවළක් වනාන්තරයක් මැදින් ගමන් කරන අතර ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ බිහිසුණු උවදුරකි. කතා දෙකටම පසුබිම් වනුයේ වනාන්තරයකි. ප්‍රධාන චරිතවල සිත් තුළ හටගත් අවුල් ජාලය එමඟින් සංකේතවත් කර දැක්වෙයි.

චිත්‍රපටයේ මංපහරන්නාගේ සාක්ෂියට අනුව ස්ත්‍රිය තුළ තමාගේ බිරිය වීමට කැමැත්තක් තිබූ බව හෙළි වෙයි. මියගිය සැමියාගේ සාක්ෂියට අනුව ඇය තමා අතහැර මංපහරන්නාගේ බිරිය වීමට නිශ්චය වශයෙන්ම සූදානමින් සිටි බව කියැවෙයි. එහෙත් බිරියගේ සාක්ෂියට අනුව එබඳු හැඟීමක් ඇති නොවේ. චිත්‍රපටයට අනුව බිරියගේ චරිතය නිරූපණය කර ඇත්තේ ප්‍රේක්ෂකයා තුළ ඇය පිළිබඳ නිශ්චිත හැඟීමක් ඇති නොවන ආකාරයෙනි.

සරච්චන්ද්‍ර නිරූපණය කළ මනමේ බිසවගේ චරිතයෙහි ද මේ ලක්ෂණය දැකිය හැකිය. මනමේ බිසවට වැදි රජු මුලින් ම දක්නට ලැබුණු අවස්ථාවෙහි ඈ තම සැමියාට මෙසේ පවසයි.

“මොහුගේ නම් භයංකර විලාසයක් නොමැත්තේ ය, හිමිතුමනි. ඔහුගේ තේජස් පෙනුමෙන් ඔහු රජකු විය යුතු යයි සිතමි.”

වැදි රජුගේ හිස ගසාදැමීමට මනමේ කුමරු කඩුව ඉල්ලූ විට ඈ ඔහු අතට කඩුව දීමට අදිමදි කරමින් මෙසේ කියා සිටියි:

“මේ වැදි රජුට තම සෙනඟ සමග, එක වරට අප විනාශ කරලන්ට ඉඩ තිබුණේ නොවේද, හිමියනි? එහෙත් ඔහු ඔබ සමඟ තනියම සටන් කළේය. ඔහු වනචරයකු වුව ද, ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනකු බව පෙනේ. ඔහු මරාදැමීම නොවටනේ ය, හිමියනි.

ඔහුට සමාව දෙනු මැනවි.”

කෙසේ වුවද මනමේ කුමරා වැදි රජු අතින් මරණයට පත් වූ විගස ඈ තම සැමියා මරා දැමීම ගැන ඔහුට දොස් නඟමින් මෙසේ පවසයි:

“මා ප්‍රිය සැමියා මරුමුව වැටුණා -

කිම ද කළේ ඔබ මේ අපරාදේ

යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා -

මේ ඔබ දෝසා - මේ ඔබ දෝසා”

 

කුමරිය තම සැමියා මරණයට පත් වීම ගැන අවංකව ම ශෝක වන බව මින් පෙනී යයි. මීට අනුව නම් ඇය තම සැමියා මරා දැමීමට අනුබල දුන් බවක්, ඇය වැදි රජු කෙරෙහි පහළ වූ අනුරාගයෙන් ක්‍රියා කළ බවක් කිව නොහේ. මනමේ කුමරාගේ මරණය පිළිබඳ සම්පූර්ණ වගකීම කුමරිය පිට පැටවීමට පොතේ ගුරු පවා පසුබට වන අයුරු ඝාතනය සිදු වූ විගස ම ඔහු කරන පහත සඳහන් ප්‍රකාශයෙන් හෙළි වෙයි.

“අනේ එවිපත සිදු වුණි නොදනිමි කාගෙ දොසා.”

මනමේ කුමරාගේ මරණය පොතේගුරුට පවා ප්‍රහේලිකාවක් වූසේ ය. කුමරාගේ මරණය කාගේ වරදින් සිදු වූවක් ද? කුමරියගේ පතිද්‍රෝහය නිසා, ඇය තුළ වැදි රජු කෙරෙහි පහළ වූ අනුරාගය නිසා සිදු වූවක් ද? එසේත් නැතහොත් වැදි රජු කෙරෙහි පහළ වූ අනුකම්පාව නිසා සිදු වූවක් ද? එය කවර හේතුවක් නිසා සිදු වූවක් දැයි නිශ්චය වශයෙන් කිව නොහේ. මෙසේ කුමරිය පිළිබඳ සත්‍යය අවිනිශ්චිතව තැබීමට, ප්‍රේක්‍ෂකයාට කිහිප ආකාරයකින් සිතා ගැනීමට ඉඩ තැබීමට කතුවරයා පෙලඹෙන්නට ඇත්තේ ‘රෂෝමොන්’ චිත්‍රපටයේ නිරූපණය කෙරෙන බිරියගේ චරිතයේ බලපෑමෙන් බව කිව හැකිය.

‘රෂෝමොන්’ චිත්‍රපටයේ මංපහරන්නාගේ චරිතයත් මනමේ නාටකයේ වැදි රජුගේ චරිතයත් අතර ද සමානකම් දැකිය හැකිය. වැදි රජ තේජාන්විත පුරුෂයෙකි. ඔහු වනචරයකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනකු බව මනමේ කුමරු හා තනියම සටන් කිරීමෙන් ඔප්පු වෙයි. ඔහුගෙන්, ඇය රැවටීමක් හෝ ඇගේ ඇඳුම් පැලඳුම් පැහැරගැනීමක් හෝ සිදු නොවේ. එහෙත් ඔහු ස්ත්‍රී ලෝලයකු බව ඇය දුටු විගස ඇය අත්පත් කරගැනීමට තැත් කිරීමෙන් පෙනෙයි. ඇගේ රූප සෞන්දර්යයෙන් ඔහු උමතු වෙයි. ඔහුට ඇය සරණපාවාගැනීමට අවශ්‍ය වෙයි. ඔහු තුළ ඇය කෙරෙහි ප්‍රබල ආලයක් හටගත් බව ඇය සිය වාසභවනයට කැඳවා ගෙන යන අතර ඔහුගේ මුවින් පිටවන පෙම් බස් මඟින් අනාවරණය වෙයි. ඊට පිළිතුරු වශයෙන් මනමේ කුමරිය මෙසේ කියා සිටියි:

“දිරියෙන් යුද කළ - ඔබ දුටු වේලේ

මොහොතින් සිත මා - පිරුණයි ආලෙන්”

වැදි රජුගේ සිත දිනා ගැනීම් වස් තවදුරටත් ඈ මෙසේ පවසයි:

“මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා

කඩුව ඉල්ලු සඳ - ඔහු වළකන්ටා

කළ තැත දුටුව ද - ඔබ ගලවන්ටා

සිතුණෙ කඩුව ඔබ - අතට ම දෙන්ටා

ඔබේ දිවි මම ගලවාගතිමි, වැදි රජාණෙනි. ඔබට ආල නුවූයෙම් නම් කුමකට එසේ කෙළෙම් දැයි සිතා බලනු යෙහෙකි.”

කෙසේ වුවද වැදි රජ ඇගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරයි. තමා ජයග්‍රහණය කළේ තමාගේ දක්ෂකමෙන් විනා ඇගේ උපකාරයෙන් නොවන බව ඔහු කියා සිටියි. තමාගේ ගෙල සිඳීම සඳහා සිය සැමියාට කඩුව දීමට ඇය සැරසුණු අයුරු තමා දුටු බවත් ඔහු ප්‍රකාශ කරයි. එවිට මනමේ කුමරිය,

“මා කඩුව අතට ගත්තේ ඔබට දීම සඳහා මිස, මනමේ රජුට දීම සඳහා නොවේ” යැයි පවසයි.

අගේ පිළිතුර ඇසුණු විගස ම වැදි රජු තුළ කිසියම් කම්පනයක් හටගනියි. ඔහුගේ සිතුම් පැතුම්වල මහත් විපර්යාසයක් සිදුවෙයි. ඔහු,

“මේ සත්‍යයක් ද? මට නම් ඇදහිය නොහැකිය. මෙතරම් ඔබට ප්‍රේම කළ ඔබගේ සැමියා, මා නිසා ඔබ මරන්ඩ තැත් කළා ද?”

යනුවෙන් ඇගෙන් ප්‍රශ්න කර සිටියි. තවදුරටත් ඔහු මෙසේ පවසයි:

“අන්දමන්ද වූයේ මසිතා - මෙපුවතින

කිම්ද වුයේ නොදැනේ අරුමා

 

සින්දවූ ගෙල සැමියා - කවර සෙනේ

යන්ට යව වනේ නොසිටා

අමන ගති ඇති මෙවැනි අඟනන්

මවැනියන් හට කුමන සරණ ද ?”

යනුවෙන් පවසා වැදිරජ ඇය වනයේ අතරමං කර යන්නට යයි.

මීට සමාන වූ අවස්ථාවක් ‘රෂෝමොන්’ චිත්‍රපටයට ද ඇතුළත් වන බව ඉහතින් කරන ලද විස්තරයෙන් පැහැදිලි විය යුතුයි. එහි සඳහන් වන මියගිය සැමියා විසින් දේවදාසියගේ මාර්ගයෙන් කරන ලද ප්‍රකාශයට අනුව මංපහරන්නා තම සහකාරිය වන ලෙස බිරියට දන්වයි. ඔහුගේ යෝජනාවට එක හෙළාම එකඟ වන ඈ තමා කොහේ හරි එක්කරගෙන යන ලෙසත්, ඊට පෙර තම සැමියා මරාදමන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියි. තම සැමියා මරාදමන ලෙස ඇය කළ ඉල්ලීම ඇසුණු විගස ම ඔහුගේ සිත ක්ෂණික විපර්යාසයකට භාජන වෙයි. ඔහු තුළ ඇය කෙරෙහි තිබූ විශ්වාසය නැති වී යයි. එවිට ඇය මරා දැමීමට පවා යෝජනා කරන ඔහු ඇය බිරිය කරගැනීමේ අදහස සහමුලින් ම අතහැර දමයි. මනමේ කතා වස්තුව කෙරෙහි රෂෝමොන් කතා වස්තුවේ බලපෑම ගැන සඳහන් කරමින් සරච්චන්ද්‍ර තවදුරටත් මෙසේ පවසයි:

“රෂෝමොන් කතාව මනමේ කතාවට වඩා බෙහෙවින් සංකීර්ණ බව කාට වුව ද පෙනෙනු ඇත. එහෙත් එයින් මට, මනමේ කතාවෙහි නොකියවුණු බොහෝ දේ අවබෝධ විය. වැදි රජුගේ චරිතය මැවීමට එයින් මට ලැබුණු ඉඟිය වැදගත් යයි කිව යුතුය.” (197 පිටුව)

‘රෂෝමොන්’ චිත්‍රපටයේ බිරියගේ චරිතය හා ‘මනමේ’ නාටකයේ මනමේ කුමරියගේ චරිතය අතරත්, මං පහරන්නාගේ චරිතය හා වැදි රජුගේ චරිතය අතරත් සමානකම් තිබෙන බව නිසැකව ම කිව හැකිය. කරුණු මෙසේ හෙයින් සරච්චන්ද්‍ර විසින් ‘මනමේ’ නාටකයේ කතා වස්තුවේ ප්‍රභවය පිළිබඳ ඉහතින් පළ කෙරුණු මතය අවිවාදයෙන් පිළිගත හැකියි. කෙසේ වුව ද ‘මනමේ’ නාටකයේ කතා වස්තුව ‘රෂෝමොන්’ චිත්‍රපටයේ කතා වස්තුවේ අනුකරණයක් ලෙස සැලකිය නොහේ. ‘මනමේ’ නාටකයේ කතා වස්තුව ‘රෂෝමොන්’ චිත්‍රපටයේ කතා වස්තුවේ ආභාසයෙන් රචිත ස්වාධීන නිර්මාණයක් බව කිව මනා ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.