සිංහල කෙටිකතාවේ ප්‍රභවය, විකාසනය හා කාලානුරූපී ප්‍රවණතා | සත්මඬල

සිංහල කෙටිකතාවේ ප්‍රභවය, විකාසනය හා කාලානුරූපී ප්‍රවණතා

සිංහල කෙටිකතාව 19 වැනි සියවසෙහි අවසාන භාගයෙහි මෙරට පැවති ශාස්ත්‍ර පුනර්ජීවනයත් බටහිර ප්‍රචලිතව පැවැති කෙටිකතා සාහිත්‍යයේ ආභාසයත් හේතු කොටගෙන බිහි වූ කලා මාධ්‍යයකි. වාද විවාද හා ඒවා සන්නිවේදනය කිරීමේ අරමුණෙන් බිහි වූ පුවත්පත් සඟරා හේතු කො‍ටගෙන, මේ නව සාහිත්‍යාංගය සමකාලීන සිංහල පාඨකයනට සිංහල භාෂාව මඟින් හඳුනාගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසුණු බව පෙනෙයි. කෙසේ වුවද සිංහල කෙටිකතාවේ ප්‍රභවය අරභයා විද්වතුන් අතර මතභේද පවතී. (ගුණදාස අමරසේකර නූතන සිංහල කෙටිකතාවේ ප්‍රභවය සම්බන්ධව දැනට ඉදිරිපත්ව ඇති මත තුනක් ගැන සඳහන් කරයි. බලන්න; මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව). නූතන කෙටිකතාව සහ නවකතාව බටහිරින් ණයට ගෙන මෙහි රෝපණය කරන ලද්දක් නොව එය අපගේ පැරැණි කතා සාහිත්‍යයේ කාලීන පරිණාමය නිසා පහළ වූවකියි මාර්ටින් වික්‍රමසිංහ පුන පුනා සඳහන් කරයි. ‘වහල්ලු’ කෙටිකතා සංග්‍රහයේ ප්‍රස්තාවනාව, ‘බණකතා සාහිත්‍යය’, ජාතක කතා විමසුම ආදි කෘතිවලින් ඔහු සිය අදහස සනාථ කිරීමට උත්සාහ දරා ඇත. පැරණි සිංහල කතා කලාවේ ක්‍රම විකාසනයෙන් සිංහල කෙටිකතාව බිහි වූයේ යැයි වික්‍රමසිංහ පැවැසුව ද ඔහු වැඩි උත්සාහයක් ගෙන ඇත්තේ ජාතක කතා කලාවේ පරිණාමයෙන් සිංහල කෙටිකතාව ප්‍රභවය වූ බැව් අවධාරණය කිරීමට ය.

(වික්‍රමසිංහ, මාර්ටින් 1 වැනි වෙළුම,(1969)

සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවනැල්ල,

කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.)

ගුණදාස අමරසේකර විසින් වික්‍රමසිංහ මතය තහවුරු කරනු ලබන අතර එයට ආලෝකයක් විය හැකි නව අරුතක් මතු කර දැක්වීමට විමසිලිමත් වූ බැව් පෙනෙයි.

කතා වස්තුව හෝ වස්තුබීජය අතින් සලකා බලන විට වර්තමාන කෙටි කතාවට බොහෝ දුරට සමාන කතා පැරැණි සිංහල ගද්‍ය ග්‍රන්ථවලින් දැකිය හැකිය. එහෙත් අභිප්‍රායත්, කතා වින්‍යාසයත්, සන්දර්භයත් විසින් මේ කතා කෙටිකතාවලින් බොහෝ දුරට ඈත් වෙයි. පන්සිය පනස් ජාතක පොතෙහි ඇති ඇතැම් ජාතක කතා බාහිර ස්වරූපයෙන් වර්තමාන කෙටිකතා කලාවට සමාන ලක්ෂණ ප්‍රකට කළ ද කෙටිකතාව වූ කලි සිංහල සාහිත්‍යයට ඇතුළු වූ නව සාහිත්‍ය ශානරයකි.

වර්තමාන සිංහල කෙටි කතාව පැරැණි සිංහල කතා කලාවේ ක්‍රමික පරිණාමය හේතුකොට ගෙන උද්භවය වූවක් නොව, බටහිර කෙටිකතා ශානරයෙන් ලද ආලෝකය මත ප්‍රභවය වූ සාහිත්‍ය ශානරයක් බැව් එදිරිවීර සරච්චන්ද්‍ර මෙන්ම විමල් දිසානායක ද අවධාරණය කළහ.

(සරච්චන්ද්‍ර එදිරිවීර (1968) සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, කොළඹ, ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස්, කෙටිකතාව ලිපිය කියවන්න. දිසානායක විමල් (1964) සිංහල නවකතාවේ දේශීය පදනම, කොළඹ, රජයේ මුද්‍රණාලය 2, 3 පිටු)

බටහිර සාහිත්‍යයේ ආභාසයෙන් සිංහල නවකතාව හා කෙටිකතාව ප්‍රභවය වූයේය යන දිසානායකගේ අදහස ගුණදාස අමරසේකර විසින් හඳුන්වා දෙනු ලැබුයේ පේරාදෙණි සාහිත්‍ය විචාරක ගුරු කුලයේ මතය ලෙසිනි.

(මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව (1981) සම්. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය, කොලඹ, සීමාසහිත තිසර ප්‍රකාශකයෝ

xiiv පිට.)

දිසානායකගේ මත ප්‍රකාශනය තියුණු විවේචනයට ලක් කරනු ලැබූයේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි. ඒ ‘සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවණැල්ල’ නමැති විචාර ග්‍රන්ථයෙනි.

කෙසේ වුවද සිංහල කෙටිකතාව, බටහිර කෙටිකතා ශානරයෙන් ලද ආභාසය මත ඕපපාතික ලෙස මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි රෝපණය වූ සාහිත්‍ය ශානරයක් නොවේ. විසිවැනි සියවස සමාරම්භයේදී නවකතාව හා කෙටිකතාව උද්භවය වීමට උචිත පසුබිමක් 19 වැනි සියවසේ දෙවැනි භාගයෙහි මෙරට පැවැති ශාස්ත්‍ර පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැඟී පැවැතිණි.

19 වැනි සියවසේ දෙවැනි භාගයෙහි ඇති වූ වාදවිවාද පුවත්පත් සඟරා, ආගමික හා ආගමික නොවන ගද්‍ය ආඛ්‍යාන, පරිවර්තන කෘති, අාපදාන, සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල නව සංස්කරණ චාරිකා සටහන්, පද්‍ය ආඛ්‍යාන නාට්‍ය පිටපත්, විචාර නිබන්ධන හා විනෝදාස්වාදය අරමුණු කරගත් ප්‍රබන්ධ කතා යන මේ විවිධ සාහිත්‍යයික ව්‍යාපෘති හේතු කරගෙන විසිවැනි සියවස උදා වන විට සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි මහත් විපර්යාසයක් ඇති විය. එය සිංහල කෙටිකතාවේ ප්‍රභවය සම්බන්ධව වැදගත් වන ආකාරය මූලික වශයෙන් අංශත්‍රයකින් විවරණය කළ හැකිය.

(කුමාරසිංහ කුලතිලක (1999) සිංහල කෙටි කතාවේ ප්‍රභවය හා විකාසනය - ප්‍රථම භාගය, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ, පිටු 75 – 88 බලන්න.)

එනම්;

1. බෞද්ධාගමික මුහුණුවරක් ගත් 19 වන සියවස තෙක් විකාශනය වූ සාහිත්‍යයේ අන්තර්ගතය හෙවත් අනුභූති ක්ෂේත්‍රය, ලෞකික ජීවන ප්‍රශ්න හා ගැටලු විවරණය කෙරෙහි යොමු වීම.

2. සාහිත්‍යය රස වින්දනය ‍කෙරෙහි යොමු වුණු පාඨක පිරිසක් බිහි වීම.

3. ග්‍රාමය, කඨෝර තත්ත්වයක පැවැති සිංහල භාෂාව සුඛනම්‍ය තත්ත්වයකට පරිවර්තනය වීම.

මෙකී පසුබිම විසිවැනි සියවස ආරම්භ වන විට සිංහල නවකතාව හා කෙටිකතාව උද්භවය වීමට තුඩු දුන්නේ ය.

1860 ගණන්වල සිට කෙටිකතාවේ ප්‍රාථමික ලක්ෂණ ප්‍රකට කරන කතා පුවත්පත් එකල පළ වූ පුවත්පත් සඟරාවල පළ වූයේය. ඒ අනුව 19 වැනි සියවසේ අවසාන භාගයේ සිට අද දක්වාම විකාසනය වෙමින් පෝෂණය වූ කෙටිකතා සාහිත්‍යයක් අප සතුව තිබේ. විග්‍රහයේ පහසුව තකා සිංහල කෙටිකතාවේ විකාසනය දළ වශයෙන් අදියර පහකට බෙදා දැක්විය හැකිය.

1 අවවාද අනුශාසනා හා විනෝදාස්වාදය අරමුණු කරගෙන කතා රචනා වූ ප්‍රාථමික අවධිය

1860 ගණන්වල සිට 1920 දක්වා කාලය දළ වශයෙන් මේ ප්‍රාථමික යුගය නියෝජනය කරයි. මේ කාලය අතරතුර පළ වූ ‘ලක්රිව් කිරණ’, ‘ලක්මිණි පහන’, ‘ඥානාර්ථ ප්‍රදීපය’, ‘සරසවි සඳරැස’, ‘සිංහල ජාතිය’, ‘සිංහල බෞද්ධයා’, ‘දිනමිණ’, ‘සිළුමිණ’ ආදි පුවත්පත් සඟරාවල සෑම සතියකට වරක් ‘කතා වස්තු’ යනුවෙන් හඳුන්වා දෙන ලද ආඛ්‍යාන විශේෂයක් පළ වූයේය. ‘කතා වස්තු’ යනුවෙන් ඒ ලේඛකයන් විසින් නම් කරන ලද කෙටි කතන්දර බටහිර දිග ඒ වන විට ප්‍රචලිතව පැවැති Shoot Story යනුවෙන් හඳුන්වන ලද සාහිත්‍ය ශානරයට අනුරූපී කතා මග අනුගමනය කිරීමට දරන ලද උත්සාහය ප්‍රකට කරයි. කොටස් වශයෙන් පුවත්පත් සඟරාවල පළ වූ කතා තරම් දීර්ඝ නොවූ මෙබඳු ලඝු කතාත් (මේ යෙදුම මුලින්ම භාවිත කරනු ලැබ ඇත්තේ කුමාරතුංග මුනිදාස සූරීන් විසිනි. ප්‍රබධොපදේශය කියවන්න) පිටු බාගයකට හෝ තීරු දෙක තුනකට පමණක් සීමා වූයේ ය. මේ කතාවල වස්තු සන්දර්භය හා ආකෘතිකමය ලක්ෂණ විවරණය කරන විටද වර්තමාන කෙටිකතාවල ආකෘතික හා සන්දර්භමය ව්‍යූහගත අංගෝපාංගවල ආකෘතික හා සන්දර්භමය ව්‍යූහගත අංගෝපාංගවලට බොහෝදුරට සමාන ලක්ෂණ ‘කතා වස්තුවලින්’ ප්‍රකට වන්නේ ය. මේ බැව් පුවත්පත් සඟරාවල පළ වූ ප්‍රාණය මාරුකර ගැනීම පිළිබඳ ‘කතා වස්තුව’ ‘මිතුරෙක් වෙනුවට මිතුරෙක් ඇපවීම’ ,‍ ‘ලෝබයෝ දෙන්නෙක්ගේ කතාව’ , ‘ලී හත ‍නොහොත් එකඟකම ගුණය’ , ‘අන්ධයා සහ කොරා’, ‘පීතර ලොරැක්ස්ගේ දුර පරීක්ෂාව’ යන කතා වස්තු (Short Story) විමර්ශනයේදී පැහැදිලි ලෙස පෙනෙයි.

මේ කතා සියුම් ලෙස විශ්ලේෂණය කරන විට අත්දැකීම හා බැඳුණු සිදු වීම් විකාසනය වන කාලය සීමිත වීම, සිදු වීමක් හෝ දෙකක් පාදක කොටගත් අත්දැකීමක් කතාවට වස්තු විෂය කරගැනීම, එක් චරිත ලක්ෂණයක් හෝ චරිතාංගයක් මතු කර දැක්වීම, සංක්ෂිප්ත වීම හා ප්‍රමාණයෙන් කෙටි වීම බඳු ලක්ෂණ ‘කතා වස්තු’ යනුවෙන් නම් කරන ලද කතාවලින් ද දැකිය හැකි හෙයින් සිංහල කෙටිකතාවේ ආරම්භක ස්වරූපය ඒවායින් විද්‍යමාන වන බව අවධාරණයෙන් පැවැසීමට පුළුවන. කෙටිකතාව සාහිත්‍යයික ශානරයක් ලෙස ඒකීය ධාරණාවෙහි අතිප්‍රාථමික ස්වරූපය හඳුනා ගත හැකි අයුරින් මේ වන විට ‘කතා වස්තු’ රචනා වෙමින් පැවැතීම කිසියම් ප්‍රවණතාවක් ලෙස දැක්විය හැකිය.

 

2. කෙටිකතාව සාහිත්‍යාංගයක් ලෙස ස්ථාපිත වෙමින් පැවැති අවධිය

ජනකතා, උපදේශ කතා, විත්ති කතා, බණ කතා හා කෙටි කතා අතර වෙනස හඳුනා ගත හැකි ආකාරයේ කතා මේ කාලයෙහි රචනා වෙමින් පැවැතිණි. 1920 ගණන්වල සිට 1944 දක්වා කාල පරාසය සිංහල කෙටිකතාවේ දෙවැනි අදියර ලෙස සැලකිය හැකිය. වර්ෂ 1923දී පමණ ප්‍රථම සිංහල කෙටිකතාව ලෙස වී. ඩී. ද ලැනරෝල්ගේ ‘උපාසක මහත්තයා’ රචනා වූ අතර එය ඒ වසරේදීම දිනමිණ පුවත්පතේ පළ විය. ‘මාර්ටින් වික්‍රමසිංහ’ කෙටි කතා පළමු වෙළුමට සිංහල කෙටිකතාවේ ප්‍රභවය යන මැයෙන් ලිපියක් සම්පාදනය කරන ඒ. වී. සුරවීර, වර්ෂ 1924 අප්‍රේල් 25 දින දිනමිණ පුවත්පතෙහි මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියනු ලැබ පළ වූ ‘අභිරහස’ ප්‍රථම ලෙස කෙටිකතාව ලෙස හඳුන්වා දුන්නේය. ඒ කතාවත් 1923 ජුනි මස පළ වුණු ‘උපාසක මහත්තයා’ කතාවක් සසඳන විට මා දුටු විශේෂයක් නම් ‘කතා වස්තුවලින්’ මිදී බොහෝදුරටම කෙටිකතාවේ ශානරමය විශේෂත්වය ග්‍රහණය කර ගනිමින් කතාව ගොනු කිරීමේ කුසලතාවක් ‘අභිරහස’ කතාවට වඩා ‘උපාසක මහත්තයා’ කතාවෙන් ප්‍රකට කෙරේ.

(කුමාරසිහ කුලතිලක (2018) විසිවන සියවසේ සිංහල කෙටි කතා, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ 195-202 පිටු)

වී. සී. ද ලැනරෝල්, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, කුමාරතුංග මුනිදාස හා ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා යන ලේඛකයෝ මේ යුගය නියෝජනය කරති. පළමු සිංහල කෙටිකතා සංග්‍රහයක් පළ කෙරුණේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි. ඒ 1924 ඔක්තෝබර් මසදී නිකුත් වූ ‘ගැහැනියක්’ කතා එකතුවයි. එහි අන්තර්ගත ‘ඉරුණු කබාය’, ‘ගැහැනියක්’ හා ‘නරක් වූ පිටිබඳුන’ කලාත්මක ගුණයෙන් කිසියම් ප්‍රමාණයකට හෝ සාර්ථකත්වයක් ප්‍රකට කළ නිර්මාණ ලෙස දැක්විය හැකිය. ඉන්පසු වික්‍රමසිංහ විසින් ‘මඟුල් ගෙදර’ හා ‘චරිතාදර්ශ කතා’, ‘පව්කාරයාට ගල් ගැසීම’, ‘හඳ සාක්කි කීම’, ‘මගේ කතාව’, ‘බිල්ල සහ අපූරු මුහුණ’, ‘වහල්ලු’ යන කතා සංග්‍රහ ද රචනා කෙරිණි. ගැමි ජීවිතය විනිවිද දකිමින් අත්දැකීම් නිරුපණයේ අපූර්ව කුසලතාවක් ඔහු ප්‍රකට කළේය. නාගරික මධ්‍යම පාන්තික සමාජයේ ව්‍යාජත්වය හා අටෝපසහගත ස්වභාවය නිරූපණය කිරීමට ද ඔහු පෙලඹුණේය. ඔහු යථාර්ථවාදී රීතිය අනුගත කෙටි කතාකරුවෙකි. යථාර්ථවාදී ලෙස පුද්ගල ක්‍රියාකාරකම් සමාජ ජීවිතය අවලෝකනය කරන අතරම, නිර්මාණයට ස්වාභාවික ලෙස ආරෝපණය කළ යුතු කතා සන්දර්භය කලාත්මක ලෙස සකස් කිරීමට ඉහත කතා සංග්‍රහවල ඇතුළත් ඇතැම් කෙටිකතාවලින් ඔහු විමසිලිමත් වූයේය. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි කෙටිකතාව ස්ථාපිත කිරීමට පමණක් නොව මේ නව සාහිත්‍යාංගයට ප්‍රතිචාර දැක්වූ පාඨක හා ලේඛක පිරිසක් හැඩගැස්වීමට ද ඔහු පුරෝගාමී වූයේය.

වික්‍රමසිංහ සිංහල කෙටිකතාව නව මගකට යොමු කර එහි වර්ධනයට අවශ්‍ය පදනම දැමීය. ඔහු විසින් එසේ කරනු ලැබූයේ යථාර්ථවාදී රීතියෙන් මානව භක්තියෙන්, නිර්මාණාත්මක බස් වහරෙන් හා විදේශීය සාහිත්‍ය කෘතිවලින් ලද ආභාසයෙන් ස්වකීය නිර්මාණ පෝෂණය කිරීමෙනි. ඔහුගේ ඇතැම් නිර්මාණ කලාත්මක ඵලාස්තියට සමීප වුවද පරිපූර්ණත්වයට පත් නොවූයේ කතා තේමාව නිරූපණයට අදාළ නොවන සිදු වීම් හා සංසිද්ධි විවරණයට දැක්වූ දැඩි ආශක්ත භාවය හේතු කරගෙන ය. ඒ කෙසේ වුවද මාර්ටින් වික්‍රමසිංහ සිංහල කෙටිකතා ශානරයේ සමාරම්භක අවධියේදී ගී ද මෝපසාං, ඇන්තන් චෙකෝෆ්ගේ බඳු විශ්ව කෙටිකතාකරුවන්ගේ කෙටිකතා ඇසුරෙන් අනුප්‍රාණය ලැබ කෙටිකතාව පෝෂණය කිරීමට මහත් ප්‍රයත්නයක් දැරූ ලේඛකයෙකි.

‘උපාසක මහත්තයා’ කෙටිකතාව රචනා කිරීමෙන් පසු තවත් කෙටිකතා රැසක්ම ‘දිනමිණ’ පුවත්පතට රචනා කිරීමට වී. ඩී. ද ලැනරෝල් පෙලඹුණේය. අනතුරුව මේ සියලු කෙටිකතා ඇතුළත් කර වර්ෂ 1927දී ‘බකතපස්’ නමින් පළ කළේය. එනමින්ම එහි දෙවැනි මුද්‍රණය 1944දී ඔහු පළ කෙරිණි. එහි සංඥාපනයෙහිලා ලැනරෝල් මෙසේ ප්‍රකාශ කරයි.

1927 වර්ෂයෙහි මේ පොත පළ කිරීමෙන් පසු කැලණි ග‍ඟේ ගලා ගිය ජල ප්‍රමාණය අප්‍රමාණ ය. එසේම එයින් පසු පළ වූ කෙටිකතා ද අනන්ත ය.

(ලැනරෝල් වී. ඩී. ද (1927) බකතපස්)

1962 වර්ෂයෙහි පළ වූ තෙවැනි මුද්‍රණයෙහි තවදුරටත් ඔහු මෙසේ පවසයි.

“දැනුදු ග‍ඟේ වතුර ගලා යයි. එසේම රටේ කෙටිකතා ද ගලා යයි.

බක තපස් දැන් ඉවර ය. ‘ආලය’ නමින් මේවර පළකර ඇත්තේ ඒ පොතමය. කතා එකක්වත් වෙනස් කර නැත. වෙනස් කර ඇත්තේ ඒ ඒ කතාවල මාතෘකා පමණකි.”

(ලැනරෝල් වී. ඩී. ද (1962) ආලය, කොළඹ. ඇම්. ඩී. ගුණසේන සහ සමාගම සංඥාපනය)

මෙහි කෙටිකතා නවයක් ඇතුළත් ය. ‘උපාසක මහත්තයා’, ‘නවකතාවක්’, ‘මුරණ්ඩු ළමිස්සි’, ‘කිවිඳගේ බිරිඳ’, ‘තොප්පිය’, ‘ආලය’, ‘මාතලීගේ විහිළුවක්’, ‘චන්ද්‍ර විමානය හා හතර රියනයි’ යනුවෙනි. මේ අනුව සිංහලෙන් පළ වූ දෙවැනි කෙටිකතා සංග්‍රහය වන්නේ ‘බකතපස් හෙවත් ආලය’යි. මාර්ටින් වික්‍රමසිංහට ගැමි සමාජය ඔහුගේ කතාවලට පාදක නොවීය. මධ්‍යම පන්තිය හා බැඳුණු අත්දැකීම් සරදම් සහගත උපහාසයකින් යුතුව විවරණය කිරීමට ඔහු පෙලඹුණේය. එකිනෙක කතා විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ මෝපසාංගේ කෙටිකතා කියැවීමෙන් ලද උත්තේජනයෙන් යුතුව සිය කෙටිකතා රචනා කිරීමට පෙලඹී ඇති බව ය.

මේ අවධියේදී සිංහල කෙටිකතාව පෝෂණය කිරීමට නැඹුරු වූ ඩබ්ල්යූ. ඒ. සිල්වා බොහෝ විට රොමාන්තිකවාදී කතා රීතියට වඩා සමීපස්ථ වූ ලේඛකයෙකි. ඔහු කලාතුරකින් යථාර්ථවාදී රීතියට අනුව ද කෙටිකතා රචනා කළ බව පුරුද්ද, ‘වයිරෝඩිය’, ‘පමාව’, ‘තෑග්ග’, ‘අස්න හා විතරණය’ ආදි කෙටිකතාවලින් පෙනෙයි. ඔහු විසින් 1927 සිට 1957 දක්වා කාලය අතරතුර ‘දෙයියන්ගේ රටේ සහ තවත් කතා’, ‘ජෙනීගේ කතාව සහ තවත් කෙටි කතා’, ‘ලේන්සුව සහ තවත් කතා’, ‘සක්විති රජය සහ තවත් කෙටිකතා’, ‘අමතක හස්තය සහ තවත් කතා’ හා ‘දළ කුමාරි’ යනුවෙන් කෙටිකතා සංග්‍රහ හයක් රචනා කරනු ලැබී ය.

කෙටිකතාව හා නවකතාව අතර පවත්නා වෙනස පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඩබ්ල්යූ. ඒ. සිල්වාට නොතිබුණු බව ‘දෙයියන්ගේ රටේ’ බඳු කතාවකින් පැහැදිලි වෙයි. කෙටිකතා අනුසාරයෙන් බණ කීමට නැඹුරු වූ අයුරු ‘පෝයදා’, ‘වයිරෝඩිය’ ආදි කෙටිකතාවලින් ප්‍රකට කෙරේ. එසේම කතාන්තරයට මුඛ්‍ය ලක්ෂණය වන කුතූහලය විෂයෙහි සාතිශය අවධානයක් යොමු කිරීමට ඔහු පෙලඹුණේ ය.

හේමපාල මුනිදාස මේ යුගය නියෝජනය කරන කෙටිකතාකරණයෙහි යම් කුසලතා ප්‍රකට කළ ලේඛකයෙකි. ඇතැම් විට මාර්ටින් වික්‍රමසිංහටත් වඩා කෙටිකතාකරණය පිළිබඳ අවබෝධයක් මුනිදාස සතු වූයේය. එමඟින් නිර්මාණකරුවකු ලෙස ශික්ෂණයකින් යුතුව කාලීන පුද්ගල හා සමාජ ජීවිතයෙහි දක්නට ලැබුණු අඩුපාඩු හා දුර්වලතා විවරණය කිරීමට ඔහු ප්‍රයත්න දැරූ බැව් පෙනෙයි. අද්භූත කතා රීතිය මෙන්ම යථාර්ථවාදී කතා රීතිය ද ළැදිව ප්‍රගුණ කිරීම හේතුකර ගෙන ඒ කතා රීතින් දෙකම නියෝජනය කරන කතා ඔහු විසින් යම්බඳු සාර්ථකත්වයකින් යුතුව රචනා කරන ලදි. ඔහු ‘මනාලිය’, ‘වහල් වෙන්දේසිය’, ‘ස්ත්‍රී රත්නය’, ‘යකා බාස්’, ‘කිණ්ණර’, ‘විස්සුම’, ‘රතුකැට හා සැකය’ යන කතා සංග්‍රහ රචනා කළේය. සමකාලීන වෙනත් ලේඛකයන් විසින් අතගැසීමට එඩිතර නොවූ ලිංගික ජීවිතය විවරණය කෙරෙන කෙටිකතා ද ඔහු රචනා කළ බව ‘කිණ්ණර පිස්සුව’, ‘දතට දත’ බඳු කෙටිකතාවලින් ප්‍රකට කෙරේ. විසිවැනි සියවසේ මුල් දශක කීපයේ දේශපාලනීය, ආර්ථිකමය හා සංස්කෘතිකමය වශයෙන් මෙරට වැටී තිබුණු ශෝචනීය තත්ත්වය ද, ජාතියක් වශයෙන් සිංහලයන් පත්ව සිටි ඛේදජනක ස්වභාවය ද පිළිබඳ දැඩි සංවේගයෙන් හා භාව ප්‍රකම්පනයෙන් යුතුව සිය ප්‍රබන්ධ රචනා කිරීමට හේමපාල මුනිදාස සැලකිලිමත් වූයේය.

ප්‍රබන්ධ කතාකරුවකු ලෙස මෙරට විචාරකයන්ගේ අවධානයට ලක් නොවුණු කුමාරතුංග මුනිදාස ද සමකාලීන සමාජ අවශ්‍යතා හඳුනාගෙන කතාකරණයෙහි නිරත වූ ලේඛකයෙකි. අධිරාජ්‍යවාදයටත්, යටත් විජිතවාදයටත්, ධනවාදයටත් එරෙහිව ජාතික ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය, ස්වදේශානුරාගය හා සමාජවාදය නගා සිටුවීම සඳහා ප්‍රබන්ධය ප්‍රබල අවියක් ලෙස යොදා ගැනීමට කුමාරතුංග පෙලඹුණේ ය. ඔහු විසින් රචනා කෙරුණු ප්‍රබන්ධ කතා සරල වෘත්තාන්ත ඇසුරින් සමාජය ගැඹුරින් විවරණය කරන කතා හා සංකීර්ණ වෘත්තාන්ත ඇසුරින් ජීවිතය, සමාජය, මානව ධර්මතා හා ලෝක ස්වභාවය විවරණය කරන කතා යනුවෙන් ශානර දෙකකට බෙදා දැක්විය හැකිය. 1930 දශකයේදී රචනා කෙරුණු ප්‍රබන්ධෝපදේශයෙහිදී කුමාරතුංග මුනිදාස

ප්‍රබන්ධකරණය පිළිබඳ දීර්ඝ විවරණයක යෙදෙන කුමාරතුංග වර්ෂ 1935දී ප්‍රබන්ධ සංග්‍රහය රචනා ‍කළේ ඔහු විසින් පැහැදිලි කෙරුණු තෙවැදෑරුම් කතා වස්තුවලට (වෘත්තාන්ත ඉතිහාස හා චරිත) නිදසුන් කතා රචනා කිරීම සඳහා ය. විසිවැනි සියවසේ මුල් භාගයෙහි ප්‍රබන්ධකරණය අරබයා මෙබඳු ස්වතන්ත්‍ර කෘතියක් රචනා වූයේ ප්‍රථම වතාවට ය. ප්‍රබන්ධ සංග්‍රහයෙහි ඇතුළත් කතා බොහෝදුරට කෙටිකතා ලෙස අගය කළ හැකි ශක්‍යතාවෙන් යුක්ත ය. නිදසුන් ලෙස ‘අස් බිජුව’ ‘හා අලියා පාසල් ගිය සැටි’ යන නිර්මාණ දැක්විය හැකිය. එසේම ප්‍රබන්ධ සංග්‍රහයෙහි (කුමාරතුංග මුනිදාස (2012 - නවතම මුද්‍රණය), ප්‍රබන්ධ සංග්‍රහය, බොරලැස්ගමුව, විසිදුනු ප්‍රකාශකයෝ) කල්ප්‍ය වස්තු යටතේ නිර්මාණය කර ඇත. ‘අලුත් සතා’, ‘බල්ලාට වල්ගය එපා වී’, ‘මා මැරුණු සැටි’, ‘බුදු පුබුදුව’ බඳු කතා දේශජ ගුණයෙන් පෝෂණය වූ කෙටිකතා ගුණයෙහිලා සැලකිය හැකිය.

මේ අවධිය නියෝජනය කරන ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මෙරට පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත වූයේ ශ්‍රී ලාංකේය උපහාස කෙටිකතාකරුවා ලෙසට ය. ඔහුගේ බොහෝ කතා පළ වූයේ සමකාලීන පුවත්පත් සඟරාවල ය. ඔහුගේ බොහෝ කතාවලට පාදක වූයේ සමාජීය දුර්වලතා, විෂමතා හා ඌනතා විවේචනයට හා උපහාසයට ලක් කෙරෙන අත්දැකීම් ය. මේ නිසා සිල්වාගේ කෙටිකතා සමාජ දූෂිතාංග හා විෂමතා පිටුදකින විවේචනාත්මක උපහාස කතා ලෙස හඳුන්වා දිය හැකිය. ‘භගලවතී ඉස්කෝලෙ හාමිනේ’, ‘ඔල්මොරොන්දන්’, ‘පණ්ඩිත ජගත්රාම්’, ‘පත්පාඩගම’, ‘කාකද්වීපය’, ඇහිටුල්ල’ ආදි කල්පිත පුද්ගල නම් ගම් හා පෙදෙස් නාම ඔහුගේ කතාවල සුලබ ලෙස දැකිය හැකිය. පුවත්පත් සඟරාවල පළ කරන ලද කතා පසු කාලයේදී ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් ලිහිණි පොත් ලෙස පළ කරන ලදි. නිදසුන් ලෙස ‘පත්පාඩගම’, ‘පුදුම දොස්තර’, ‘හොඳ ඔළුව’, ‘රූප රැජිනිය’, ‘තහනම් කවිය’, ‘දවල් සිහිනය’, ‘දේශපාලන කෙටිකතා’, ‘සිකුරු මඟුල’, ‘අවංක මිනිහා’, ‘යක්ෂ ගෙදර’, ‘ප්‍රගතිශීලි භාර්යාව’, ‘දේශපාලන උපහාස’, ‘කසාද බැම්ම’ දැක්විය හැකිය.

මේ අදියර නියෝජනය කරන මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ ලේඛකයන් සයදෙනාගෙන් සිංහල කෙටිකතාව සාහිත්‍ය ශානරයක් ලෙස ස්ථාපිත කිරීමට සිදු වූ මෙහෙය ප්‍රශස්ත ය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට විදේශීය කෙටිකතාවල දෝංකාරය උකහා ගෙන ඊට අනුරූප වන සේ කෙටිකතාකරණයෙහි යම් කුසලතා ප්‍රකට කළ බව අවිවාදයෙන් පිළිගත යුතුය. සමස්තයක් වශයෙන් ගත් විට 1920 සිට 1945 දක්වා කාලය කලාත්මක කෙටිකතාව සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමු කලා අවධියක් ලෙස දැක්විය හැකිය.

(කුමාරසිංහ කුලතිලක (2018) කෙටිකතාව, කෙටිකතා මූලධර්ම හා සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා විකාශනය, කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 32 පිට)

3. සිංහල කෙටිකතාව සාහිත්‍ය ශානරයක් ලෙස කලාත්මක මගට පිවිසීම.

වර්ෂ 1945 – 1960 දක්වා කාල අන්තරය දළ වශයෙන් මේ අදියරට ඇතුළත් කළ හැකිය. 1945 වර්ෂය සිංහල කෙටිකතා සාහිත්‍යයේ කඩඉමක් ලෙස සලකන්නේ ජී. බී. සේනානායකගේ ‘දුප්පතුන් නැති ලෝකය’කෙටිකතා සංග්‍රහය පළ වීම හේතුකර ගෙන ය. මෙහි අන්තර්ගත වෙසක් පහන ප්‍රථම සිංහල කලාත්මක කෙටිකතාව ලෙස දැක්විය හැකිය.

එය කලාත්මක ශක්‍යතාවලින් පරිපූර්ණ වූ නිර්මාණයකි. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, නන්දසේන රත්නපාල හා මඩවල ඇස්. රත්නායක මේ කලාව නියෝජනය කරන්නෝ වෙති. මේ හැම ලේඛකයෙක්ම කෙටිකතා රචනයේදී එඩ්ගා ඇලන්ගේ, ගී ද මෝපසාං හා ඇන්තන් චෙකෝෆ් යන බටහිර මහා කෙටිකතාකරුවන්ගේ කතා රීතීන්ගෙන් සමීප ආභාසයක් ලදහ. සේනානායක මෙන්ම සමකාලීන සෙසු කෙටිකතාකරුවන් වැඩි වශයෙන් උත්සාහ ගෙන ඇත්තේ විඥානවාදී දෘෂ්ටියෙහි එල්බගෙන මධ්‍යම පාන්තික සමාජ යථාර්ථය ගවේෂණය කිරීමටය. ගෘහස්ථ ජීවිතය ගැඹුරින් විශ්ලේෂණය කර නිරූපණය කිරීමට ඔවුහු සැලකිලිමත් වූහ. පසුකාලයේදී මාර්ටින් වික්‍රමසිංහ ඉහළ මධ්‍යම පාන්තික සමාජය මෙන්ම පහළ මධ්‍යම පාන්තික සමාජය ද වෙළා පවත්නා ව්‍යාජත්වය හා අර්ථ ශූන්‍යත්වය ගැඹුරින් විවරණය කිරීමට පෙලඹුණු අයුරු ‘කුරක්කන් පාන්’, ‘සිංහල නඩුව’, ‘විනෝදාස්වාදය’ බඳු කෙටිකතාවලින් පෙනෙයි.

සේනානායක විසින් ‘දුප්පතුන් නැති ලෝකය’ (1945), ‘පළිගැනීම’ (1946), ‘මිතුරිය’ (1961), ‘ගමන’ (1983), ‘නැටුම’ (1990), ‘මුලාව’ (1990), ලේඛකයා’ (1999) යන කතා සංග්‍රහ පසුකාලයේදී රචනා කර පළ කරන ලදි. මේ අතුරෙන් සේනානායකගේ නිර්මාණ ශක්‍යතා සූක්ෂ්ම පරිකල්පනය හා ජීවිතාවබෝධය මැනවින් ප්‍රකට වන්නේ මුල් කතා සංග්‍රහයෙනි. ඔහු බොහෝ කෙටිකතාවලින් පොදු සාමාජික ජීවිත ප්‍රශ්න හා ගැටලුවලට වඩා මිනිස් ගැටුමෙන් හටගන්නා බැරෑරුම් පුද්ගල ජීවන අවස්ථා නිරූපණය කිරීමට ඔහු වැඩි උනන්දුවක් දැක්වූයේය. විවිධ ජීවන අර්බුදවලට හා චිත්ත පීඩනයට මැදි වූ ළමා ජීවිත ස්වභාවය හා ළමා සිත ක්‍රියාකරන ආකාරය ගැඹුරින් විවරණය කිරීමට ද ඔහු කෙටිකතාව සූක්ෂ්ම සාහිත්‍ය ශානරයක් ලෙස උප‍යෝගි කර ගත්තේය. තත්කාලීන සෙසු කෙටිකතාකරුවන් අතර ජී. බී. වඩාත් කැපී පෙනෙන්නේ කතා ප්‍රයෝග හා ශිල්පීය උපක්‍රම කතා වස්තුවෙහි සංකීර්ණත්වය තියුණු වන අයුරින් නිරූපණයෙහි පෑ කුසලතා හේතු කරගෙන ය. අරපිරිමැස්මෙන් යුතුව වචන තෝරා බේරා ගෙන අතිශයින් නිර්මාණාත්මක ලෙස බස හැසිරවීමට ද සේනානායක සැලකිලිමත් වූයේය.

සිංහල කෙටිකතා ශානරය කලාත්මක ගුණයෙන් වර්ණවත් කිරීමට ජී. බී. සේනානායක පුරෝගාමී මෙහෙයක් ඉටු කළ බව අවිවාදිත ය. එසේ හැම අතින්ම පෝෂණය කිරීමට පෙලඹුණු ලේඛකයා වන්නේ ගුණදාස අමරසේකර ය. වික්‍රමසිංහ හා සේනානායක යන ලේඛකයන්ගේ නිර්මාණ හේතු කරගෙන පර්යේෂණාත්මක පසුබිමක පැවැති සිංහල කෙටිකතාව විකාශනයේදී උපයෝගි කරගත යුතු කලාත්මක ප්‍රයෝග හා ස්වාධීන රීතියක ලක්ෂණ ඔහු ‘රතුරෝස මල’ (1952), ජීවන සුවඳ’ (1956) යන කතා සංග්‍රහද්වයෙන් ප්‍රකට කළේය. ඉන් පසු අමරසේකර ‘එකම කතාව’ (1969), ‘එක්ටැමෙන් පොළොවට’ (1972), ‘කතා පහක්’ (1975), ‘ගල්පිළිමය සහ බොල් පිළිමය’ (988), ‘මරණ මංචකයේ දුටු සිහිනය’ (1998), ‘පිළිම ලොවයි පියෙවි ලොවයි’ (2001) ‘විල්තෙර මරණය’ (2007) හා ‘කියනු මැන’, ‘දිවි අරුත’’ යන කතා සංග්‍රහ පළ කළේය. ‘රතු රෝස මල’ හා ‘ජීවන සුව‍ඳ’ කෘතිවල ඇතුළත් කතා රචනයේදී අමරසේකර විදේශීය කෙටිකතාකරුවන්ගේ කෙටි කතාවලට පාදක වූ අත්දැකීම් ක්ෂේත්‍රය, වස්තු සන්දර්භය හා වස්තු විකාශනය අතින් සමීප ආලෝකයක් ලැබීමට පෙලඹුණු අයුරු ‘බයිසිකලය’, ‘රතුරෝස මල’, ‘අවුරුදු සිහිනය’, ‘අව්ව’, ‘ශිෂ්‍යයා, අඳුර සහ වැස්ස’ ආදි කෙටිකතාවලින් ප්‍රකට කෙරේ. මුල් කතා සංග්‍රහද්වය විඥානවාදී පුද්ගල බද්ධ දෘෂ්ටියකින් රචනා කර ඇත ද පසුව ඉන් මිදී යථාර්ථවාදී රීතියට විරුද්ධ වූ අයුරු ‘එකම කතාව’, ‘එක්ටැමෙන් පොළොවට’ යන කතා සංග්‍රහවලින් පෙනෙයි. යථාර්ථවාදයේ සීමා හේතු කරගෙන ‘කතා පහක්’, ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ හා පසුකාලීන කතා සංග්‍රහ රචනයේදී විවේචනාත්මක යථාර්ථවාදී රීතියට සමීප වූයේය.

මෙකී කතා සංග්‍රහවලින් ප්‍රකට වන්නේ සුළුතර සම්ප්‍රදායන් තැබීමට ඔහු විසින් දරනු ලැබූ ප්‍රයත්නයයි. ඒකීය ධාරණා සංකල්පයෙන් මිදී බහුවිධ ධාරණා ඉස්මතු කෙරෙන අයුරින් කතා රචනයට අමරසේකර විමසිලිමත් වූ අයුරු ‘දිසොන්චිනා හාමි’, ‘සමරසිංහ වෙද මහත්තයා’, ‘ගමනක අවසානය’, ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’, ‘පුතාට ශිෂ්‍යත්වයක්’ යන කතාවලින් ප්‍රකට කෙරේ. අද්‍යතන සමාජ, දේශපාලන හා ආර්ථික ප්‍රපංච හේතු කරගෙන ලාංකේය සමාජයේ ඇති වෙමින් පවත්නා විෂමත්වය විශ්ලේෂණය කිරීමට කෙටිකතාව උචිත මාධ්‍යයක් කරගෙන ඇති අයුරු ‘විල්තෙර මරණය’ හා ‘කියනු මැන දිවි අරුත’ යන කතාවලින් විශද කෙරේ. 1998දී මරණ මංචකයේදී දුටු සිහිනය කතා සංග්‍රහය රචනයේදී අද්‍යතන සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි සිංහල බෞද්ධ ජාතිකත්වය හා බැඳුණු චින්තනය ජාතික චින්තනයට අනුගත වීමට අමරසේකර පෙලඹුණේය.

කේ. ජයතිලක ද මේ අදියර නියෝජනය කරන කෙටිකතාකරුවෙකි. ඔහු වර්ෂ 1955දී පුනරුත්පත්තිය සහ තවත් කෙටිකතා රචනා කර කෙටිකතා නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වූවෙකි. ඔහු ගැමි හා නාගරික සමාජ ජීවිතයෙහි විවිධ අංශ නිරීක්ෂණය කොට ග්‍රහණය කරගත් අනුභූති කතා කලාව පිළිබඳ විවිධ අත්හදා බැලීම්වල නිරත වෙමින් පෘථුල ජීවිතාවබෝධයකින් යුතුව නිරූපණය කිරීමට පෙලඹුණු ලේඛකයෙකි. ‘කටු සහ මල්’ (1959), ‘වජිර පබ්බත’ (1961), ‘අතීරණය’ (1966), ‘එකගෙයි අවුරුද්ද’ (1971) ‘නොනිමි සිත්තම සහ තවත් කතා’ (1984), ‘දියණිය ආපසු’ යැයි යන කතා සංග්‍රහ ඔහු විසින් පළ කරන ලදි. ‘චම්මා’, ‘ගුරුවරයා’, ‘ශිෂ්‍යයාව සහ ගැහැනිය’, ‘මිනිසකුගේ ඉරණම’, ‘අපට වැසිකිළියක්’, ‘ජාත්‍යාල රූපවාහිනී’ බොහෝදුරට අගය කළ හැකි කෙටිකතා ලෙස දැක්විය හැකිය. ඔහු ඒ නිර්මාණ මඟින් ගැමි හා නාගරික සමාජ ජීවිතය විනිවිද දකිමින් චරිතාංග නිරුපණයෙහි අපූර්ව කුසලතාවක් ප්‍රකට කරයි.

‘නොලියූ පොත’ (1957), ‘රිදී පෝරු’ (1969), ‘ඒඩ්ස් සහ තවත්’ යන කතා සංග්‍රහ රචනා කළ නන්දසේන රත්නපාල පවුල් ඒකකය හා බැඳුණු ජීවන ගැටලු මෙන්ම නාගරික මධ්‍යම පාන්තික ජීවන අත්දැකීම් ද නිරූපණයෙහි කුසලතා ප්‍රකට කරන ලේඛකයෙකි. මේ කතා සංග්‍රහවල ඇතුළත් ‘බළල් පවුල’, ‘නොලියූ පොත’, ‘අලුත් අවුරුද්ද’, ‘උත්තමයෝ’, ‘මහගෙදර’, ‘රිදී පෝරු’ හා ‘අලිකාරයාගේ දුව’ යන කතා ඔහුගේ නිර්මාණ ශක්‍යතා හඳුනා ගැනීමට ප්‍රමාණවත් ය.

ගමේ ජීවත් වීමෙන් උකහාගත් ජීවිත අත්දැකීම් ගැමි සුවඳ වහනය වන අයුරින් නිරූපණයෙහි කුසලතා පෑ කෙටිකතාකරුවකු වන මඩවල ඇස්. රත්නායක ‘බුදු හිනාව’ (1957), ‘තවලම්කාරයෝ’ (1965), ‘නොමල මල්’ (1967), ‘සුවඳ පිරුණු අතීතයක්’ (1985) හා ‘උපන්දා සිට කරපු පව්’ (1986) යන කෙටිකතා සංග්‍රහ රචනා කළේය. එහෙත් මේවායෙහි ඇතුළත් කෙටිකතා මඟින් ජීවිතය හා සමාජය විනිවිද දුටු ලේඛකයෙක් නොවේ. සිංහල කෙටිකතාව කලාත්මක ගුණයෙන් විභූෂණය කිරීම සඳහා මේ ලේඛකයෝ සුවිසල් මෙහෙයක් ඉටු කළහ. එහිදී ඔවුහු එඩ්ගා ඇලන්ගේ, ගී ද මෝපසාන්ගේ හා ඇන්තන් චෙකෝෆ් යන ලේඛකයන්ගේ කතා රීතින්ගෙන් ආලෝකය ලදහ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.