මාක්ස්, එංගල්ස් හා සාහිත්‍ය කලාව | සත්මඬල

මාක්ස්, එංගල්ස් හා සාහිත්‍ය කලාව

විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ ආදි කර්තෘවරුන් වූ කාල් මාක්ස් (1818 - 1883) හා ෆෙඩ්රික් එංගල්ස් (1820 - 1895) ස්වභාව විද්‍යා, අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය හා ඉතිහාසය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කළ නමුදු ඔවුහු ප්‍රථම ගණයේ සාහිත්‍ය කලා රසිකයෝ ද වූහ. ඒ බව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන්ගේ ලේඛනයන්ගෙන් මෙන්ම මේ දෙපළ විසින් ලේඛකයන්, කලාකරුවන් හා සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ කලින් කල තබා ඇති සටහන්වලින් ද පැහැදිලි වෙයි.

ප්‍රංස හා අන්තර්ජාතික සමාජවාදි ව්‍යාපාරයේ නායකයකු වූ ද, මාක්ස්, එංගල්ස් දෙදෙනාගේ ශිෂ්‍යයකු වූ ද පෝල් ලපාර්ග් (1842 - 1911) පෙන්වාදී ඇති අන්දමට මාක්ස් පිළිසඳරෙහි යෙදුණු අවස්ථාවල ජර්මානු විප්ලවවාදි කවියකු වූ හෙන්රිච් හෙයින්ගේ (1797 - 1856) හා සම්භාවනීය ජර්මානු කිවිවර ග්යොතේගේ (1749 - 1832) කෘතීන්ගෙන් පාඨ උපුටා දැක්වීමට පුරුදු වී සිටියේ ය. ඔහු යුරෝපීය කවීන්ගේ කෘති නිතර කියැවී ය. මානව වර්ගයා විසින් ජනිත කරන ලද ශ්‍රේෂ්ඨතම කලාකරුවන් දෙදෙනා වශයෙන් ඔහුගේ ගෞරවයට පාත්‍ර වූවෝ නම්, පුරාතන ග්‍රීක නාට්‍ය රචකයකු වූ ඊස්කිලස් (ක්‍රි. පූ. 525 - 456) හා ඉංග්‍රීසි නාට්‍ය රචක ශේක්ස්පියර් (1564 - 1616) ය. ඔවුනතරිනුදු ඔහුගේ වැඩි ගෞරවය දිනා ගත්තේ ශේක්ස්පියර් ය. ඔහු ශේක්ස්පියර්ගේ කෘති කටපාඩමින් දැන සිටියේ ය. ඔහුගේ දූවරුන් තිදෙනාට ම ශේක්ස්පියර්ගේ නාට්‍ය කටපාඩමින් කිව හැකි විය. පෝල් ලපාර්ග් තවදුරටත් පෙන්වා දෙන අන්දටම මාක්ස් මුලින් ම රචනා කෙළේ කවි ය. ඔහු තරුණ වියේදී රචනා කළ මේ කවි ඔහුගේ බිරිය ආදරයෙන් ආරක්ෂා කළාය.

මාක්ස් - එංගල්ස් දෙපළගේ මිත්‍රයකු වූ ද, ජර්මානු හා අන්තර්ජාතික කම්කරු පන්ති ව්‍යාපාරයේ සම්භාවනීය නායකයකු වූ ද විල්හෙල්ම් ලීබ්ක්නෙහ්ට් (1826 - 1900), තමන් මාක්ස් හා ඔහුගේ දූවරුන් සමඟ ඇවිදින්නට ගිය අවස්ථාවල ලත් අත්දැකීම් විස්තර කරන අතරතුර සාහිත්‍ය කලාවලට මාක්ස් තුළ පැවැති බලවත් ආකර්ෂණය ද පහදා දෙයි. මේ ගමන්වලදී මාක්ස් ඉතාලියානු මහා කවි ඩාන්ටේගේ (1265 - 1321) ‘දිව්‍යමය සුඛාන්තය’ නමැති කාව්‍යයේ පිටු කිහිපයක් එක්වරම කටපාඩමින් කියැවී ය.

මාක්ස්ගේ බිරිය ද ශේක්ස්පියර්ගේ නාට්‍යවල කොටස් කටපාඩමින් කියැවූවා ය.

මාක්ස්ගේ දියණියක වූ එලෙනෝර් මාක්ස් - එව්ලින්ග් සම්පාදිත ලුහුඬු සටහනකට අනුව ඔහු නිවෙසේදී ළමයින්ට අසා සිටිය හැකි පරිදි යම් යම් කතා හඬනඟා කියැවී ය. හෝමර්ගේ කාව්‍ය ද, ‘දොන් ක්වික්ෂෝට්’ හා ‘එක්දහස් එක් රැය’ ද එසේ කියන ලද කතා අතර විය. කාල්මාක්ස්, බල්සාක්ගේ (1799 - 1850) හා ෆීල්ඩිංගේ (1707 - 1754) මෙන් ම වෝල්ටර් ස්කොට්ගේ (1771 - 1832) ද නවකතා කියැවී ය.

මාක්ස් - එංගල්ස් දෙදෙනාගේ හිතවතකුගේ දියචණිය වූ ප්‍රන්සිස්කා කුගෙල්මාන් විසින් 1928 වසරේ ලියන ලද ස්මරති සටහනක, මාක්ස් විද්‍යා විෂයයන් හා ලලිත කලා පිළිබඳ පුළුල් හා ගැඹුරු දැනුමක් ඇතිව සිටි අයකු බව කියැවෙයි. බහුශ්‍රැතයකු වූ ඔහුගේ ධාරණ ශක්තිය අසමසම විය. ඔහු තුළ පද්‍ය සාහිත්‍යය පිළිබඳ සියුම් දැනුමක් විය. ඔහු රදළ ක්‍රමයට එරෙහිව සටන් කළ ෂමිස්සෝ ඇල්බට් (1781 - 1838) නමැති ජර්මන් කවියාගේ ‘හිඟන්නා සහ සුනඛයා’ නමැති කාව්‍යය උපුටා දැක්වීමට හුරු වී සිටියේ ය. ඔහු ග්‍රීක්, ලතින්, ස්පාඤ්ඤ හා රුසියානු භාෂා හොඳින් දැන සිටි අතර සම්භාව්‍ය ස්පාඤ්ඤ නාට්‍ය රචකයකු වූ පේද්රෝ කල්ඩෙරොන්ගේ (1600 - 1681) නාට්‍ය ස්පාඤ්ඤ බසින් හඬ නඟා කියැවී ය. මිහයීල් ලෙර්මන්තොව් (1814 - 1841) නමැති රුසියානු කවියා තරම් දක්ෂ ලෙස ස්වභාව ධර්මය විස්තර කළ වෙනත් කවියකු වේ නම්, ඒ ඉතා විරල සිදු වීමක් බව මාක්ස් සඳහන් කෙළේය. ඉවාන් තුර්ගේනිව් නමැති රුසියානු ලේඛකයා (1818 - 1883) ස්වකීය ජනයාගේ අධ්‍යාත්මය නිසියාකාරයෙන් පිළිබිඹු කිරීමෙහිලා දැන්වූ සාමර්ථ්‍යය ද ‍ඔහුගේ සිත් ඇද ගති.

මාක්ස් දෙමහල්ලන් ශාස්ත්‍රීය සංගීතයට බෙහෙවින් ඇලුම් කළ බව ද ප්‍රන්සිස්කා කුගෙල්මාන් පෙන්වාදී ඇත. ඔවුහු හැන්ඩල්ගේ සංගීත නිර්මාණ උසස් විප්ලවවාදී ගණයට අයත් වෙතැයි පැවැසූහ. දක්ෂ ගායකයකු වූ ජොසෙප් රිස්සේ සන්ධ්‍යාභාගවල තමන් අභිමුඛයෙහි හිඳ ගායනා කළ අයර්ලන්ත ජනගීවලට මාක්ස් ලොකු උනන්දුවකින් යුතුව සවන් දුන්නේ ය.

කාල් මාක්ස් කලාව හා ආගම පිළිබඳ සැලකිය යුතු මට්ටමේ කෘතියක් සම්පාදනය කළ ද, එය ප්‍රකාශයට පත් නොවී යැයි කියැවෙයි. ඔහු බල්සාක් පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක නියැළුණු බව ද, සෞන්දර්ය විද්‍යාව පිළිබඳ නිබන්ධයක් රචනා කළ බව ද, නාට්‍ය විචාරය පිළිබඳ සඟරාවක් පළ කළ බව ද සඳහන් වෙයි. එහෙත් ඔහු බල්සාක් හා සෞන්දර්ය විද්‍යාව පිළිබඳව සම්පාදනය කළ නිබන්ධ ප්‍රකාශයට පත් නො වීය.

ෆෙඩ්රික් එංගල්ස් ද කාල් මාක්ස් මෙන් ම උසස් ගණයේ සාහිත්‍ය කලා රසිකයෙක් විය. ඔහු පුරාතන ග්‍රීක මහා කවි හෝමර්ගේ ‘ඉලියඩ්’ හා ‘ඔඩිසි’ යන වීර කාව්‍යද්වය ළැදිව පරිශීලනය කෙළේය. අයිරිෂ් ජන සංගීතය, පැරැණි ජර්මන් කතාන්තර හා උපමා කතා ද ඔහුගේ ආස්වාදයට පාත්‍ර විය.

පුනරුද යුගය හෙබවූ ඩාන්ටේ, පෙට්‍රාක් (1304 - 1374), බොකෑෂියෝ (1303 - 1375) සර්වන්තේස් (1547 - 1616) හා ශේක්ස්පියර් ද ඔහුගේ රසාස්වාදයට පාත්‍ර වූහ. ඔහු ඇරිස්ටෝට්ල්, රූසෝ (1712 - 1778), චෙර්නිෂෙව්ස්කි (1828 - 1883), හා ඩුබ්රලිබොව් (1836 - 1861) ද හදාළේ ය. චෙර්නිෂෙව්ස්කි හා ඩුබ්රලිබොව් රුසියානු විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදි විචාරකයෝ වූහ. ඔහු අධ්‍යයනය කළ, එමෙන්ම වින්දනය කළ ලේඛකයන් අතර ඩැනියල් ‍ඩෙෆෝ (1660 - 1732), වෝල්ටෙයාර් (1694 - 1778), වෝල්ටර් ස්කොට් (1771 - 1832), ෂිලර් (1759 - 1805), බල්සාක්, හෙයින්, පුෂ්කින් (1799 - 1837), වික්ටර් හියුගෝ (1802 - 1885), මෝපසාං (1850 - 1893) හා බර්නාඩ් ෂෝ (1856 - 1950) ද වූහ. පුනරුද යුගයට අයත් ඉතාලියානු චිත්‍ර ශිල්පියකු වූ තිතියන් (1477 - 1576) ඔහුගේ ප්‍රශංසාවට පාත්‍ර විය.

එක් අවධියක එංගල්ස්ට කවියකු වීමට අවශ්‍යව තිබිණි. මාක්ස් මෙන් ම ඔහු ද යොවුන් වියේදී කාව්‍ය රචනා කෙළේය. මාක්ස් හා එංගල්ස් සම්භාව්‍ය ලේඛකයන්ට අමතරව අප්‍රකට ලේඛකයන්ගේ කෘති ද පරිශීලනය කළහ. ඒ නිර්මාණ පිළිබඳව ඔවුන් ලියූ සටහන් ප්‍රකාශයට පත් වී ඇත.

ලෝක සාහිත්‍යය හා කලාව විෂයයෙහි වගාකර ගන්නා ලද ඥානය ඉවහල් කරගෙන සෞන්දර්යවාදය පිළිබඳ විද්‍යාත්මක මූලධර්ම ස්ථාපිත කිරීමට මොවුන් දෙදෙනාට හැකි විය. මාක්ස් හා එංගල්ස් සාහිත්‍යය හා කලාව පිළිබඳ ප්‍රමුඛ ලේඛන ප්‍රකාශයට පත් කෙළේ නැත. සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳව ඔවුන් තන්හි තන්හි පළ කර ඇති අදහස් සමස්තයක් වශයෙන් ගත් කල එහි මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවෙහි සාරය ගැබ් වී ඇති ආකාරය දැකිය හැකි වෙයි.

මාක්ස් හා එංගල්ස් සාහිත්‍යය හා කලාව විමර්ශනයට පාත්‍ර කෙළේ භෞතිකවාදී දෘෂ්ටියෙනි. එහිලා ඔවුහු අපෝහක භෞතිකවාදය හා ඓතිහාසික භෞතිකවාදය ඉවහල් කරගත්හ.

ඔවුන් දෙපළ සාහිත්‍යය හා කලාව දුටුවේ කිසියම් යුගයකට අයත් ආර්ථික අඩිතාලම මත ඉදි වන දෘෂ්ටිවාදාත්මක උපරි ව්‍යුහයේ අංගයක් වශයෙනි. ‘දේශපාලන අර්ථ ශාස්ත්‍රයට එකතු කිරීමක්’ (ඒ ඛ්ධදබපඪඡභබඪධද බධ ඊඩඥ ඛ්පඪබඪඳභඥ ධට නධතඪබඪජචත ඡ්ජධදධථර) නමැති කෘතියෙහි කාල් මාක්ස් මෙසේ සඳහන් කළේය.

“තම පැවැත්ම සාමාජිකව නිෂ්පාදනය කර ගැනීමේදී මිනිස්සු අනිවාර්යයෙන් ම නිශ්චිත සම්බන්ධතාවලට ඇතුළු වෙති. මේ සම්බන්ධතා මිනිසුන්ගේ කැමැත්තට පරිබාහිර වන අතර නාමිකව සඳහන් කළොත් නිෂ්පාදනයෙහිලා ඔවුන් උපයෝගි කරගන්නා ද්‍රව්‍යමය බලවේගවල වර්ධනයෙහි දෙන ලද අදියරකට උචිත වන්නා වූ නිෂ්පාදන සම්බන්ධතා වෙයි. නිෂ්පාදනයෙහි මේ සම්බන්ධතා සමස්තයෙන් සමාජයේ ආර්ථික ව්‍යුහය සමන්විත වෙයි. ඒ ආර්ථික ව්‍යුහය සැබෑ පදනම වන අතර එය මත නීතිමය හා දේශපාලනික උපරි ව්‍යුහයක් ගොඩනැ‍ඟෙයි. මේ උපරි ව්‍යුහයට සමාජ විඤ්ඤාණයේ නිශ්චිත රූපාකාර අනුරූප වන්නේ ය. ද්‍රව්‍යමය ජීවිතය නිෂ්පාදනය කෙරෙන විධිය විසින් සාමාජික දේශපාලනික හා බුද්ධිමය ජීවිතයෙහි සාමාන්‍ය සන්තතිය සැකසෙයි. මිනිසුන්ගේ විඤ්ඤාණය මඟින් ඔවුන්ගේ පැවැත්ම නිර්ණය කෙරෙනවා නොවේ.

ඔවුන්ගේ සාමාජික පැවැත්ම විසින් ඔවුන් සතු විඤ්ඤාණය නිර්ණය කෙරේ.”

මෙහි කියැවෙන නිෂ්පාදන සම්බන්ධතා වනාහි වහල් යුගයෙහි නම් වහල් හිමියන් සහ වහලුන් ය. වැඩවසම් යුගයේ නම්, ඉඩම් හිමියන් හා ප්‍රවේණිදාසයන් ය. ධනවාදි යුගයේ නම්, ධනපතියන් හා කම්කරුවන් ය. මේ නිෂ්පාදන සම්බන්ධතාවන්හි ඓක්‍යයෙන් සමාජයේ ආර්ථීක පදනම නැත හොත්, ආර්ථික අධස්ථ ව්‍යුහය (ධ්දටපච ඵබපභජබභපඥ) සැදුම් ගනියි. මෙහි කියැවෙන්නේ හුදු වියුක්ත ආර්ථිකයක් පිළිබඳව නොව නිෂ්පාදනයෙහි, බෙදා හැරීමෙහි හා පරිභෝජනයෙහි නියැළෙමින් සමාජ පැවැත්ම හා බද්ධ වූ මිනිසුන් පිළිබඳ ය. මානුෂික විඤ්ඤාණය නිර්ණය කෙරෙන්නේ මෙකී සමාජ පැවැත්ම මඟිනි. එනම්, ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය මඟිනි.

මේ නිෂ්පාදන ක්‍රියාවලිය වූ කලි ස්වභාව ධර්මයට අයත් දෑ තමන් සඳහා වන දෑ බවට පරිවර්තනය කර ගැනීම් වස් මිනිසා ඔවුනොවුන් අතර සබඳතාවලට ඇතුළු වෙමින් සමාජ සත්ත්වයකු වශයෙන් පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරීත්වය වෙයි. වෙන් වෙන් වශයෙන් එක් එක් පුද්ගලයාගේ නිෂ්පාදන ක්‍රියාකාරීත්ව ලෙස හැඳින්විය හැකි දෙයක් නැත. සාමුහික ශ්‍රමකරණය නමින් හැඳින්වෙන මේ මානුෂික ක්‍රියාකාරීත්වයේදී ම මිනිසා නිෂ්පාදන තාක්ෂණය, භාෂාව යනාදී මානුෂික හැකියා අත්පත් කොට වර්ධනය කරගනියි.

මෙකී ආර්ථික අඩිතාලම මත දෘෂ්ටිවාදාත්මක උපරි ව්‍යූහය ගොඩනැ‍ඟෙයි. මනුෂ්‍ය විඤ්ඤාණයේ විවිධ රූපකා‍රයෝ, දේශපාලනය, ආගම, දර්ශනවාදය, නීතිය, සදාචාරය, සාහිත්‍යය හා කලාව යනාදි ස්වරූපයන්ගෙන් එහි පිළිබිඹු වෙත්.

පුරාතන ග්‍රීසියේ රචිත හෝමර්ගේ වීර කාව්‍යවල, විශේෂයෙන් ‘ඉලියඩ්’ කාව්‍යයෙහි අශිෂ්ටත්වයේ උසස් අවධියෙහි උච්ච ස්ථානය පිළිබිඹු වෙතැයි ෆෙඩ්රික් එංගල්ස් පෙන්වා දෙයි. මේ යුගයට අයත් ශ්‍රමිකයන් විසින් හොඳින් තනන ලද යකඩ උපකරණ ද, යුගයේ නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳුණු මයිනහම, අත්මෝල, සකපෝරුව, තෙල් හා මත්පැන් නිෂ්පාදනය, ගැල් හා යුද්ධ රථ තැනීම, නැව් තැනීම, ගෘහ නිර්මාණය කලාවක් වශයෙන් ආරම්භ වීම සහ නගර වටා ප්‍රාකාර කුලුනු ආදිය ඉදිකිරීම ද හෝමර්ගේ කාව්‍යවල පිළිබිඹු වෙයි. මේ වනාහි තත්කාලීන ග්‍රීසියේ නිෂ්පාදන විධියෙහි, නැත හොත් ආර්ථික අධස්ථ ව්‍යුහයෙහි යම් යම් ප්‍රකාර උපරි ව්‍යුහයට අයත් සාහිත්‍යයෙහි පිළිබිඹු වූ ආකාරය වෙයි. මෙයින් තහවුරු වන්නේ, මිනිසුන්ගේ පොදු නිෂ්පාදන ක්‍රියාවලිය මඟින් කලාව හා සාහිත්‍යය නිර්ණය වන බව ය. එහෙත් එය එක එල්ලේ යාන්ත්‍රික ලෙස සිදු වෙතැයි මෙයින් අදහස් නො කෙරේ.

උපරි ව්‍යූහයට අයත් දේශපාලනය, දර්ශනවාදය හා සාහිත්‍ය, කලා ආදිය ආර්ථික අධස්ථ ව්‍යූහයෙන් නිර්ණය වන්නා සේ ම පෙරළා එය‍ කෙරෙහි ද බලපායි. මේ සඳහා නිදර්ශනයක් වශයෙන් මාක්ස්වාදි දර්ශනවාදය රුසියාවේ ඔක්තෝබර් විප්ලවය සඳහා උපස්තම්භක වූ ආකාරය දැක්විය හැකිය. රුසියානු විප්ලවය මඟින් එහි ආර්ථික අධස්ථ ව්‍යූහය වෙනස් කිරීම සඳහා කටයුතු සම්පාදනය කෙරුණි. සාහිත්‍ය කලා ද අදෘශ්‍යමාන ආකාරයෙන් ඊට පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳුණු මානුෂික පැවැත්ම කෙරෙහි පෙරළා බලපායි. කලාකරුවා ආත්මය සඳහා විෂයයක් මෙන්ම විෂය සඳහා ආත්මයක් ද නිපදවතැයි මාක්ස් වරක් සඳහන් කළේය. ආත්මය සඳහා විෂයයක් නිපදවතැයි යන්නෙහි අරුත වශයෙන් රසිකයා තුළ රසාත්මක ආකාරයෙන් යථාර්ථ ඥානය සම්පාදනය කිරීම දැක්විය හැකි ය. මේ ඥානය වනාහි පවතින අප්‍රසන්න, පීඩාකාරි සමාජ යථාර්ථය ඉහිලුම් නොදෙනසුලු බව ද, එහෙයින් ම එය වෙනස් කළ යුතු බව ද, සුසංවාදි ජීවිතයක් අවශ්‍ය බව ද සිත් කාවදිනසුලු ආකාරයෙන් ජනිත කරනු ලබන්නකි. මේ ඥානය කලාකරුවා විසින් මහත් දුක් මහන්සියෙන් සම්පාදනය කරනු ලබන්නකි. මේ අසීරු දුෂ්කර කාර්යයේදී කලාකරුවාගේ ද ආත්මය වෙනස් වෙයි. පරිවර්තනය වෙයි. ඒ නිර්මාණය පරිශීලනය කරන රසිකයාට ද එමඟින් නව ඥානයක් සම්පාදනය කර දෙනු ලබයි. මෙහි අපෝහනාත්මක ස්වභාවය නම් විෂය, එනම්, වෙනස් කළ යුතු පීඩක සමාජ යථාර්ථය සඳහා කෘතිය මඟින් ම ආත්මයක් නිපදවනු ලැබීමයි. මේ ආත්මය පළමුව ගත් කල කලාකරුවාගේ ය. දෙවනුව රසිකයාගේ ය. එහෙයින් පවතින දිරාපත් සමාජ ක්‍රමය පෙරළා දමා නව සමාජයක් ගොඩනැඟීමේ අභිලාෂය පෙරදැරි කොට ගත් ප්‍රගතිගාමී මනුෂ්‍ය කොට්ඨාසයක් සමාජයට එක් වෙති.

එහෙත් මෙහි කියැවෙන්නේ හුදු ප්‍රවණතාත්මක, ප්‍රචාරක කෘති විශේෂයක් පිළිබඳ නොව යථාර්ථය ගැඹුරින් විනිවිද දැක උච්චතර අයුරින් කලා තාක්ෂණය ඉවහල් කර ගත් සාර්වත්‍රික, විශ්ව සම්භාව්‍ය කලා නිර්මාණ පිළිබඳ බව සඳහන් කළ යුතුය. මාක්ස් හා එංගල්ස් විශේෂයෙන් අගය කෙළේ එවැනි විශිෂ්ට ගණයේ කෘති ය. මාක්ස් කටපාඩමින් දැන සිටියේ ඩාන්ටේ හා ශේක්ස්පියර් ආදි සම්භාව්‍ය ලේඛකයන්ගේ සාහිත්‍ය කලා නිර්මාණ ය. පවතින සමාජ ක්‍රමයට විරෝධය පාන හුදු සටන්කාමි, ප්‍රචාරක කෘතිවල මිනිසාගේ ආධ්‍යාත්මික ආඪ්‍යත්වයට පත් කෙරෙන ශක්තිය ගැබ් නොවේ. ප්‍රචාරක කෘතීන් මඟින් ආමන්ත්‍රණය කෙරෙන්නේ මිනිසාගේ රළු පරළු ඕලාරික හැඟීම්වලට ය. මේ කෘති මිනිසුන්ගේ හැඟීම් අවුස්සා ඔවුන් ප්‍රකෝප කරවයි.

විචක්ෂණ භාවයෙන් තොර මේ ප්‍රවණතාත්මක කලාවට මාක්ස් - එංගල්ස් දෙදෙනා ම ‍එරෙහි වූහ. සදාචාරාත්මක දේශනා, දේශපාලන තර්ක විතර්ක හා උපදේශ වාක්‍ය අන්තර්ගත වූ මේ ගණයේ කෘති ඔවුහු කලා නිර්මාණ වශයෙන් නො සැලකූහ.

පසුකාලීනව ජෝර්ජ් ප්ලෙඛානොෆ්, වී. අයි. ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද්දේ මාක්ස් - එංගල්ස් දෙපළ ස්ථාපිත කළ මෙකී භෞතිකවාදී සෞන්දර්ය විද්‍යාත්මක මූලධර්මය ය. ඒ මූලධර්මවලින් ප්‍රකාශිත වැදගත් ම කරුණ නම් කලාව හුදු විනෝදාත්මක මාධ්‍යයක් නොව මිනිසාට ලෝකය පිළිබඳ සම්‍යක් ඥානය ප්‍රදානය කරන ශික්ෂණයක් බව ය. මේ කරුණ ලියොන් ට්‍රොට්ස්කි ‘සංස්කෘතිය හා සමාජවාදය’ නමැති පුස්තිකාවෙහි විශද කෙළේ මෙසේ ය.

“කලාව වනාහි මිනිසා ලෝකයේ සිය සබඳතා හා මංපෙත් පාදාගන්නා මාර්ගයන්ගෙන් එකකි. මේ අර්ථයෙන් කලා උරුමය විද්‍යා හා තාක්ෂණික උරුමයෙන් වෙනස් නොවේ. කලා උරුමය විද්‍යා හා තාක්ෂණික උරුමයට වඩා අඩු ප්‍රතිවි‍රෝධතාවලින් යුක්ත ද නොවේ. එහෙත් විද්‍යාවට වෙනස් ලෙසින් කලාව ලෝකය නියාම ධර්ම පද්ධිතයක් සේ නොව සංකල්ප රූප සමූහයක් මෙන් ඥානනය කරන්නා වූ විධියක් ද, ඒ අතර ම ඇතැම් හැඟීම් හා මනෝගති පුබුදුවන්නා වූ මාර්ගයක් ද වෙයි.”

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.