ළමා ඇසින් දුටු බුදු ගු ණ | සත්මඬල

ළමා ඇසින් දුටු බුදු ගු ණ

දරුවන්ට ගෝචර වන පරිදි, දරුවන් ලවා හෝ වැඩිහිටි ගායක ගායිකාවන් මඟින් ගැයුණු බුදු ගුණ ගීත ඉතා සීමාසහිත බව නොකියා බැරි ය. එදා මෙදාතුර සිංහල ගේය පදමාලා සාහිත්‍යය පිරික්සා බැලුවෙමු. අතළොස්සක් සොයා ගතිමු.

සිංහල ගේය පදමාලා සාහිත්‍යය පෝෂණය කළ ‍උත්තම බොදු බැති ගී රාශියකි. අගනා ගේය පදමාලා සාහිත්‍යයක් ස්ථාපිත කිරීමට ප්‍රෝත්සාහී වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විරචිත අමරදේවයන්ගේ තනු නිර්මාණයෙන්, සංගීතයෙන් හා ගායන ලීලයෙන් ශ්‍රාවක සවන් සදාතනිකව රස ගන්වන ‘පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ’ අජන්තා රණසිංහ, අමරදේව, සනත් නන්දසිරිගේ සම්මාදමින් පිරිනැමුණු ‘ජගදානන්දන මහා කාරුණික’, අජන්තා හා සනත් එක්ව පිරිනැමූ ‘නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්’, රඹුකන සිද්ධාර්ථ හිමි සමඟ වික්ටර් රත්නායකගේ සම්මාදමෙන් දායාද වූ ‘බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති’ ඉන් කිහිපයක් පමණකි. පළමු වැන්න මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ ‘රන්මුතුදූව’ චිත්‍රපටයට ඇතුළත් වූවක් වන අතර අන් සියල්ල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායනා වැඩසටහන් මඟින් බිහි වූ නිර්මාණ ය.

වැඩිහිටියන් උදෙසා නිර්මාණකරණයට වඩා දරුවන් උදෙසා නිර්මාණකරණය ඉතා අපහසු කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලොකු අකුරින් විවිධ වර්ණයන්ගෙන් බිහි වන පොතපත ළමයා උදෙසා වුවත් ඒවා බහුතරය ළමා මනසට ගෝචර නොවේ. ඒ ළමා නිර්මාණකරණයෙහි උගහට බවයි. දරුවන්ට ගෝචර වන පරිදි, දරුවන් ලවා හෝ වැඩිහිටි ගායක ගායිකාවන් මඟින් ගැයුණු බුදු ගුණ ගීත ඉතා සීමාසහිත බව නොකියා බැරි ය. එදා මෙදාතුර සිංහල ගේය පදමාලා සාහිත්‍යය පිරික්සා බැලුවෙමු. අතළොස්සක් සොයා ගතිමු. මේ ලිපිය ඒ ගී අතළොස්ස විමැසුමට කැපවේ.

 

“බුදු සාදූ බුදු සාදූ

සඳුන් ගසක් වෙන්නම්

මම, සමන් වැලක් වෙන්නම්”

 

මේ දශක ගණනාවක් පුරා අප සවන් සනහන, ළමා මනසට මැනවින් ගෝචර වන සුරම්‍ය බුදු ගුණ ගායනයකි. මෙහි රචකයා පිළිබඳ ගේය පදමාලාකරුවන්ගේ නාමාවලිය සඳහන් වන කවර අවස්ථාවක ලියැවී ඇද්දැයි අපි නොදනිමු. මගේ මතකය නිවැරැදි වේ නම් මේ හැර ඔහු රචනා‍ කර ඇත්තේ තවත් එක් පදමාලාවක් පමණකි. ඒ සුජාතා අත්තනායක නම් සුදුර්ලභ ගායිකාවගේ හඬින් ගැයෙන ‘මුහුද කලඹවන්න එපා පාලම ඔහෙ තිබුණා වේ’ යන ගීත නිර්මාණයයි.

ඊට ප්‍රධාන හේතුව අසෝක කොළඹගේ නම් මේ නිර්මාණකාරකයා කෙටිකතා රචනය කෙරෙහිම සිය අවධානය යොමු කිරීමයි. ‘අනුන්ගේ මුහුණු’, ‘සියල්ල මෙතනම නැවතියන්’, ‘ඉර කොහේද හැංගිලා’ නිර්මාණ සංග්‍රහ ත්‍රිත්වයෙන් අවසන් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පුද ලැබීය. මේ රචකයා අකල්හි දිවියෙන් සමුගැනීම ද සිංහල කෙටිකතා සාහිත්‍යයට සිදු වූ බලවත් පාඩුවකි.

‘බුදු සාදූ’ ගීතයට තනුව හා සංගීතය සැපයූ සංගීතඥයා සිරුරෙන් අප හැර ගියත් කිසිදු ශ්‍රාවක හදවත්වලින් නොමියෙන්නෙකි. ඩී. ඩී. ඩැනී නම් මොහු රසාලිප්ත ගී තනු නිර්මාපකයෙකි. ගායකයෙකි. මොහුගේ තනුවකින් හා සංගීතයෙන් සුපෝෂිත ‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ - ඔබට මෙතරම් දරුවෝ’ යන චන්ද්‍රා කබ්රාල්ගේ ගායනයත් මේ මොහොතේ අපේ මතකය වැලඳ ගනී. ජාතියේ ගායිකාව ලෙස විරුදාවලී ලබා ඇති නන්දා මාලනීගේ හඬින් බුදු සාදූ ගීතය අප දෙසවන් වෙත පිදෙයි. ‘සාදු’ යන්න කුඩා දරුවන් බොහෝ විට භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන පදයක් බවට පත්වී තිබේ. එහෙත් මෙකී ආමන්ත්‍රණය භික්ෂුන් ඇමතීමට නොගැළපෙන්නක් බවත්, ‘සාදු’ යනු හින්දු ආගමට අයත් පූජකයන් හඳුන්වන පදයක් ය යන්න උගත් යතිවරයාණ කෙනෙක් වරක් සඳහන් කළෝය. එනමුත් බොහෝ මවුපිය වැඩිහිටියන් හේතු කොටගෙන ම මේ ඇමතීම බැහැර කිරීම අපහසු වී ඇති බවට අප සමාජය සාක්ෂි දරයි.

අසෝක කොළඹගේ ළමා මනසට ගෝචර වන පරිදි මෙය රචනා කිරීමේදී පරිසරය ඈඳාගෙන ඇති ආකාරය ප්‍රශංසනීය වෙයි. සඳුන් ගස, සමන්වැල, නෙළුම් මල ආදි සියල්ල සුවඳ කැඳවන දෑ ය. සමන් මල්, නෙළුම් මල් සුවඳින් බුදුන් පුදන අතර සඳුන් ගසින් සිසිලස ලබාදෙන බව ද පවසයි. ඒ සියලු දෙයින් බුදුන් පුදා, බුදුන්ගේ පියවර මැනුම් ඉදිරියේ සිනිඳු පා පිස්නක් වන බව ද සඳහන් කරයි. මේ සියල්ල සවන්පත් සිප ගනිද්දී කුඩා දරුවන් තුළ බුදු බැතිය දැනවෙයි. මෙහි පැනෙන කිසි වදනක්, කිසි යෙදුමක් ළමා මනස වෙහෙසට පත් නොකිරීම ද වෙසෙසින් අගය කළ යුත්තකි.

“ඔබගේ පාමුල සමන් වැලක් වී

සුවඳ මලින් සරසන්නම්”

 

“ඔබ වැඩි අරණේ සඳුන් ගසක් වී

සිසිල සෙවණ ‍රඳවන්නම්”

 

“ඔබගේ පියවර මැනුම් ඉදිරියේ

මුදු පා පිස්නක් වෙන්නම්”

 

යන සියල්ල අපගේ මතය තහවුරු කරන අතර, අවසාන පාදද්වය ඉන්ද්‍රීය රූප මැවීමේ ගුණයෙන් අනූන බව පැවැසීම කිසිසේත් අතිශයෝක්තියක් නොවේ. බුදුරදුන්ගේ ශාන්ත වූ ගමන මෙයින් කදිමට ධ්වනිත කර තිබේ. මෙය ගීතයෙහි රසය තියුණු කරන්නකි. විද්‍යා චක්‍රවර්ති පඬිවරයාගේ ‘බුත්සරණ’ කෘතියෙහි පැනෙන නාලාගිරි දමනයෙහි ‘මිහිකත සනහා වඩිනා’ බුදුරදුන්ගේ ශාන්ත ගමන විස්තර කර ඇති ආකාරයත්, මීගොඩ විල්සන්, සෝමතිලක ජයමහ යන කලාකරුවන් එක්ව පිරිනැමූ උත්තම ගේය පදමාලාවකුත් අපේ මතකයට නැඟීම කිසිසේත් වැළැක්විය නොහැක්කකි.

“දසබිම්බර මාර සෙනඟ

තණ්හා රති රඟා සමඟ

පළවා හළ වීතරාගි

බුදුන් වඩිනවා

හද වෙත බුදුන් වඩිනවා”

 

බුදු ගුණ ගීයක ගැබ් විය යුතු ශාන්ති සමාධි ගුණය මැනවින් ග්‍රහණය කරගත් නිර්මාණයක් හැටියට මෙය අපි අගය කරමු. අසෝක ‍කොළඹගේ, ඩී. ඩී. ඩැනී, නන්දා මාලනී පිරිනැමූ ‘බුදු සාදු’ ගීතය, එකී කලාකරුවන් දෙදෙනා දිවියෙන් සමුගත්තත්, ඔවුන් හා කලාකාරිනිය කාලයෙන් කාලයට ශ්‍රාවක සවන් සනහමින් වැජඹෙන බව නිසැක ය. එහි සංගීතයෙහි, ගායන ලීලයෙහි සංයමය වචනාර්ථය තීව්‍ර කිරීම ඊට හේතුව බව ද දැක්විය හැකිය. බොහෝ බුදු ගුණ ගීත ශාන්ත සමාධි ගුණයෙන් ඈත්වීම ප්‍රබල දුබලතාවක් ලෙස අපි දකිමු. ප්‍රේමකීර්ති ද අල්විස් මෙන්ම, වික්ටර් රත්නායකයන්ගේ සම්මාදමෙන් සිංහල ගේය පදමාලා සාහිත්‍යය සුපෝෂණය වීම පිළිබඳ කිසිවකුට කිසිදු ගැටලුවක් තිබිය නොහැකිය.

“මලක් නෙළා ගෙනැවිත් බුදු සාදුට පිදුවා

ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා

බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තයි

මේ මල මම නෙළා ගත්තෙ මගෙ මල් වත්තෙන්”

මෙලෙස බුදුන් පුදන කුඩා කතිකාවට ගැටලුවක් පැන නඟී. ඒ බුදුරදුන් ‍ඈ දෙස බලා අමුතු ආකාරයකින් හිනැහීම ය. ඊට හේතු දෙකකි. එකක් දහම් පාසල් නොයෑමයි. අනෙක ඔහු සිව්වැනි සිල්පදය බිඳ දැමීමයි. මේ කාරණා දෙක දරුවාගේ සිතට කරදරයක් ගෙන එයි. ඒ අතරින් ද දෙවැන්න, පළමු වරද පරයා පෙරට ඇදී එයි. කාට බොරු කළත් හිතට බොරු කළ නොහැකිය, යන්න මේ කුඩා කතිකාවට සිතෙන්නා සේ ය. ඈ නැවත මෙසේ ගයන්නීය.

“අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙළන්නේ

මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ

සමාවෙන්න හිමියනි බොරු නොකියමි හිතකින්

නෙළා ගත්තෙ මේ මල නංගිගෙ මල් ගසකින්

නංගිගෙ මල් ගසකින්”

රචකයා කුඩා දරුවකුගේ සිතට පිවිස, මුළු මහත් දරු පරපුරටම අගනා පණිවිඩයක් පිරිනමන අයුරු අගය කළ යුතුය. ගීත ලියූ නොව, ලියැවුණු ප්‍රේමකීර්තිට එය එතරම් ගැටලුවක් නොවූ බව ද අපි හොඳින් දනිමු. ඉහත ගී ඛණ්ඩයෙන් අනතුරුව ඍජුව දරුවන්ට පිරිනමන පණිවිඩයක් ලෙසින් මෙසේ කියවෙයි.

“දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ

හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ”

පිරිනැමූ පණිවිඩය තියුණු මදි යැයි රචකයාට සිතුණා සේ ය. අනෙක් පසින් එය ප්‍රේමකීර්තිට අනන්‍ය කවි ක්‍රමය වීද යන්නත් අප සිත්හි ජනනය වෙයි. ඊට හේතුව ඔහු ප්‍රෙඩී සිල්වා ගායකයා උදෙසා විරචිත ගීත සමුච්චයයි. මෙය ගායනා කරන දැරිය ගැන සොයා බැලූ මුත් සොයාගත නොහැකි වූ බව ද මෙහිදී නොසඟවා පවසමු. තවත් දරුවෝ කිහිප දෙනෙක් ද ගායනයට සම්මාදම් වෙති.

මීළඟට අපගේ මුඛ්‍යාධ්‍යාශය වෙත යොමුවීමේ වරදක් නොදකිමු. චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ “සුදට සුදේ මහ ගොඩක් වලාකුළු” (ළදරු හැඟුම්) නිර්මාණය විචාරයට ලක් කිරීමයි. එය මෙකලට වඩා ගෝචර යැයි සිතෙන්නේ කැලැන්ඩර පත්තර කලාව නිසා යැයි ඇතැමකු සිතුවත්, එහි වරදක් ද නොදකිමිනි.

මහගම සේකර නම් අතිවිශිෂ්ට ගේය පදමාලාකරුවා බිහි වන්නේ ද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හේතු කොටගෙන බව ද ඉතා ප්‍රචලිත කරුණකි. කොළඹ යුගයේ දෙවැනි පරපුර නියෝජනය කරන කවියකු ලෙස මානවසිංහයන් නාම ගැන්වුණත්, ඔහුගේ නිර්මාණයවලින් පිළිබිඹු ගේය කාව්‍ය නිර්මාණයෙහිලා ඔහු සතු පරිචය බව පැවැසීම කිසිසේත් අසාධාරණ නොවේ. මහාචාර්ය ආරිය රාජකරුණා මානවසිංහයන්ගේ නිර්මාණ ගණනාවක්ම විමසමින්, ඒවායින් විඳිය හැක්කේ කවි නොව, ගී රසය යැයි පවසන්නේ එබැවිනි. එහෙත් කවීත්වයකින් තොර කිසිවකුට සාර්ථක ගේය පදමාලාකරුවකු විය නොහැකිය. ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි දරුවන් උදෙසා කාව්‍ය නිර්මාණ බිහි කරද්දී මානවසිංහයන් දරුවන් උදෙසා ගේය පදමාලා බිහි කළේ යැයි පැවැසිය ‍හැකිය. ඒ අතරින් දරුවන් උදෙසා බුදු ගුණ පිරිනැමූ රමණීය අවස්ථාද්වයක් පිළිබඳ අපි දනිමු.

“මොනවද අම්මේ අකුරු ජාතියක්

මල්පෙතිවල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේවා ලියන්නේ

පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට

වනන්තරේ හරි වැඩ කෙරෙතී

බෝසත්වරු බණ කතා ලියද්දී

වන දෙවඟනො මල්වල ලියතී”

මෙසේ ඇරැඹෙන මේ ගේය පදමාලාවේ තනු නිර්මාණය කිංස්ලි ජයසේකරගේ ය. ගායනය කිංස්ලි ජයසේකර සමඟ ප්‍රිසිලා ඕපාතගේ ය. මේ පාද සතරින්ම මානවසිංහයන් ගැන බොහෝ දෑ පැවැසිය හැකිය. හොඳින් වියරණ දන්නා ඔහු නිර්මාණයට අවශ්‍ය තැනදී දැන දැන වියරණ බිඳීම ඉන් එකකි. ‘බෝසත්වරු බණ කතා කියද්දී’ යන්න එය තහවුරු කරයි. සුන්දරත්වයේ කෙළවරට ගමන්කර වෙනම සොඳුරු ලෝකයක් නිර්මාණයට ද මානවසිංහයෝ වෙහෙසෙති. මෙය මායා යථාර්ථවාදය ද නැද්ද යන්න විමසීම විචාරකයන් සතු යුතුකමක් වෙයි. මල්පෙතිවල අකුරු ලිවිය හැකි ද?

“බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්

පුංචි කුරුල්ලන් ඉගිළෙනවා

සෑමදාම ඇයි‍ මෙහෙමම නැත්තේ

මල් ද කුරුල්ලන් කොයි යනවා

 

බුදුහාමුදුරුවො ඉපදුණු කාලෙට

කවදත් ඔහොමයි පුතුනි මගේ

මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

ගහකොළවලටත් සතුට නැ‍ඟේ”

දරුවකුගේ දෘෂ්ටියෙන් මෙලෙස ගේය පදමාලා විරචිත පළමු රචකයා මානවසිංහ යැයි පැවැසීමේ වරදක් නැති බව ද අපේ පෞද්ගලික හැඟීමයි. මේ ගේය පදමාලාවෙහි උපයුක්ත හැම වදනක් හැම යෙදුමක් මඟින් ම දරුවන් තුළ බුදු බැතිය දැනවෙන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

“සුදට සුදේ මහ ගොඩක් වලාකුළු”

ළදරු හැඟුම් මැයෙන් හඳුන්වා ඇති නිර්මාණයට තනු නිර්මාණයෙන් හා ගායනයෙන් ප්‍රධාන වශයෙන් සම්මාදම් වන්නෝ අමරදේවයෝම වෙති. මෙය පෙර සාකච්ඡා කළ මානවසිංහයන්ගේ බුදු ගුණ ගී නිර්මාණයත් පරයන සෞන්දර්යාත්මක බවින් ආඪ්‍ය වූවකි.

“සුදට සුදේ මහ ගොඩක් වලාකුළු

තරු යට අහසේ දිව යන්නේ

කවුරුද අක්කේ මේව හදන්නේ

කොහෙ තිබිල ද මේ හැටි එන්නේ”

 

තරු පිරුණු අහසක් පිළිබඳ කදිම ඉන්ද්‍රිය රූපයක් මේ පාද සතරින් මැවෙයි. අනතුරුව බුදුරදුන්, දෙව් කුමාරියන් ආදීන් ගැන කියැවෙයි. දෙවි කුමාරියෝ බුද්ධ වන්දනාවේ යති. ඔවුන් තනිව ගමන් කිරීම පිළිබඳ ගැටලුවක් ද ළමා සිතෙහි ජනනය වෙයි. මල්ලිගේ ගැටලුවලට අක්කා පිළිතුරු සපයයි. දෙවිකුමාරියන් තනිව නොව ඔවුන්ගේ ආරක්ෂාවට මවුවරු ගමන් කරති. මවුවරු සුළං රැළක් ලෙස දක්වති.

“මල්ලි දන්නෙ නෑ කුමාරියන්ගේ

අම්මලාගෙ ආදරෙ පිරිලා

සුළං රැළක් වී යනවා යනවා

පරෙස්සමට වටටම එතිලා”

 

කුඩා දරුවන්ට ආදරය, රැකවරණය අවශ්‍ය වන්නේය. එය සැපයිය යුතු වන්නේ ය යන පණිවිඩය ද රචකයා සියුම් ලෙස ධ්වනිත ය.

 

“වෙසක් පෝයදා හුළඟික් වෙන්නට

අම්මට කියනව හඳ පානේ

වලාකුළක් උඩ මාත් නැඟිලා

යනවා හැම තරුවක් ගානේ”

 

බොදු බැතිය සමඟ කුඩා දරුවන්ගේ ලෝකය බද්ධ කරන ආකාරය ඉතා රමණීය වෙයි.

 

“එතකොට මල්ලී වෙහෙරක් ගානෙම

හඳ එළියේ රන්කොත් දැකලා

හඳට යටින් රිංගාගෙන යත හැකි

ඔළුව නමාගෙන පහත් වෙලා”

 

සඳට යටින් රන්කොත් මුදුනෙන් ගමන් කරන ආකාරය කොතරම් සෞන්දර්යාත්මක ද? මෙයින් මවන ඉන්ද්‍රීය රූපය කොතරම් ප්‍රබල වූවක් ද? මානවසිංහයන්ගේ මෙවන් රචනා පිළිබඳ කිව යුතු තවත් විශේෂ කරුණක් වෙයි. ඔහුගේ ළමා ගීත වැඩි ප්‍රමාණයක් සංවාදාත්මක ස්වරූපයෙන් යුක්ත වීමයි ඒ. අප මෙහිදී සාකච්ඡා කළ නිර්මාණත්‍රයම ඊට පැහැදිලි නිදසුන් ය.

‘නූතන පද්‍ය සංග්‍රහය’ උදෙසා තෝරාගෙන ‘ළදරු හැඟුම්’ යනුවෙන් නම් කළත් මෙය ද කාව්‍ය නිර්මාණයක් නොවේ. අසීමිත කාව්‍යමය ගුණයකින් අනූන ළමා ඇසින් බුදු ගුණ විවරණය කළ සෞන්දර්යාත්මක උත්තම ගේය පදමාලාවකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.