සයිබර් අපරාධවල ගොදුරක් නොවීමට නම්... | සත්මඬල

සයිබර් අපරාධවල ගොදුරක් නොවීමට නම්...

සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිත භාවයට හෝ අපයෝජනයට ලක් වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මඟින් සිය පවුලේ සමීපතමයන් සහ මිතුරු මිතුරියන් සමඟ විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත් වන බවයි.

සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරා කාන්තාවන් සහ ගැහැනු ළමයි මුහුණපාන සුලබ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප්‍රවේශ සහ සයිබර් අපරාධ සම්බන්ධ නීතිය පිළිබඳ දැනුවත් කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි.

සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිත භාවයට හෝ අපයෝජනයට ලක් වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමයි බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මඟින් සිය පවුලේ සමීපතමයන් සහ මිතුරු මිතුරියන් සමඟ විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත් වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලාවල හුවමාරු කරගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදු කරන ක්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයන්ගේ විසින් හඳුනාගෙන ඇත.

මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක්‍රීය භාවයට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශයේ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල මඟින් හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ ප්‍රේම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම පෙම්වතා සමඟ සමාජ මාධ්‍ය තුළ සංවාදය, ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම නිරන්තර පුරුද්දක් වශයෙන් කරති. මෙවැනි අවස්ථාවක සයිබර් අපරාධකරුවන්ට අදාළ කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය මඟින් තම ඡායාරූප ඇතුළු අතිශයින් පුද්ගලික තොරතුරු හුවමාරු කරගන්නා පෙම්වතියන් අදාළ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණු විට සයිබර් අපරාධවල පහසු ගොදුරක් බවට පත් වන අවස්ථා නිරීක්ෂණය කළ හැකි ය.

මේ අතර සයිබර් විශේෂඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් සයිබර් අවකාශය තුළ සිදුවන තවත් දැවැන්ත සයිබර් අපරාධයක් දෙය සමාජයේ අවධානය යොමු කරනු ලැබේ. ඒ අන්තර්ජාලය මඟින් සිදු වන ලිංගික වෙළෙඳාම සහ ලිංගික සූරාකෑමයි. මෙය සයිබර් අවකාශය කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දරුණුතම අවස්ථාව වශයෙන් ඔවුහු හඳුන්වා දෙති.

සයිබර් අවකාශයට නිරාවරණය වන දරුවන්, විශේෂයෙන් ගැහැනු දරුවන් සම්බන්ධ තත්ත්වය ද කාන්තාවට නොදෙවැනි බව හඳුනාගෙන ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක්‍රීඩාවක් වශයෙන් ද මිතුරු - මිතුරියන් සමඟ වඩාත් සමීප සම්බන්ධතා පවත්වාගෙන යෑමේ මාධ්‍යයක් වශයෙන් ද, සමාජජාලා භාවිත කරන ගැහැනු ළමයි සේම පිරිමි දරුවන් ද, සයිබර් අවකාශය හරහා බහුල වශයෙන් හුවමාරු වන ලිංගික ප්‍රකාශන, නිරුවත් ඡායාරූප හෝ ලිංගික ක්‍රියා ඇතුළත් ඡායාරූප හෝ වීඩියෝ පට සඳහා යොමු වීමේ සුලබ අවදානමක් ඇත. ඒ අතර ඉතා සංවිධානාත්මක ආකාරයෙන් විවිධ විෂම පුද්ගලයන් සයිබර් අවකාශය හරහා දරුවන් සමඟ නොමනා සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රවණතාවක් මේ වන විට පවතින අතර දරුවන් එහි ගොදුරු බවට පත්වීම ද සුලබ බව හඳුනා ගෙන ඇත. මේ තත්ත්වයෙන් දරුවන් ද සයිබර් අවකාශයේ වින්දිතයන් බවට පත්ව හුදෙකලාව සිටිනු දැකිය හැකි වන්නේ බොහෝ දරුවන් මේ පිළිබඳ තම වැඩිහිටියන් දැනුවත් කිරීමට තබා තමන් සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටින බව පවා නොදන්නා නිසා ය. මේ තත්ත්වය සයිබර් අපරාධරුවන්ට පහසු ගොදුරු බිමක් නිර්මාණය කරන බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි.

සයිබර් අපරාධවලට පුද්ගලයන් පෙලඹෙන හේතු මොනවා දැයි සමාජ විද්‍යාඥයන් සහ අපරාධ විද්‍යාඥයන් විසින් මේ වන විට නිවැරැදි ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව ප්‍රමුඛතාව අනුව එවැනි හේතු හතරක් ඔවුහු ඉදිරිපත් කරති:

* මූල්‍යමය වාසි

* සයිබර් අවකාශය තුළ නිර්ණාමිකව

සහ අතථ්‍ය ලෙස පෙනී සිටීම

* අත්හදා බැලීම

* පළි ගැනීම

සයිබර් අපරාධවලට පුද්ගලයන් පොලඹවන ප්‍රමුඛ හේතුව, එසේ නැත හොත් සයිබර් අපරාධවලින් සියයට 98ක් ම සිදු කිරීමට පුද්ගලයන් පොලඹවන්නේ මූල්‍යමය වාසි බව හඳුනා ගෙන ඇත. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු වන කාන්තාවන් සහ දරුවන් පිළිබඳ ලිංගික වෙළෙඳාම සහ සූරාකෑම මූල්‍යමය වාසි සඳහාම සිදු වෙයි.

නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීමට සයිබර් අවකාශයේ ඉඩ සැලසන බැවින් එය ප්‍රයෝජනයට ගනිමින් සයිබර් අපරාධ සිදු කිරීමට පුද්ගලයන් දිරිමත් වන බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මේ නිර්නාමික / අතථ්‍ය ලෙස පෙනී සිටීම ඇතැම් විට තම අතිශය සමීපතමයන් පවා සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වූ සිදු වීම් ලංකාව ඇතුළු බොහෝ රටවලින් වාර්තා වීම මේ වන විට සුලබ තත්ත්වයක් බවට පත්ව ඇත.

සයිබර් අපරාධවලින් සුළු ප්‍රතිශතයක් අත්හදා බැලීමක් වශයෙන් සයිබර් අපරාධවල නිරත වන බව හඳුනාගෙන ඇත. අධ්‍යාපනය ලබාදීමෙන් සහ උපදේශනය මඟින් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සමාජ විද්‍යාඥයෝ දරුවෝ ඇතැම් විට ස්වාභාවික කුතූහලය නිසා තම ඡායාරූප හෝ වීඩියෝ අන් අය සමඟ බෙදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් වන බව පෙන්වා දෙති.

සයිබර් අපරාධවල තවත් බිහිසුණු සහ සුලබ පැතිකඩක් පළි ගැනීම හේතුවෙන් සිදු කරන සයිබර් අපරාධ මඟින් හෙළි වෙයි. පෙම් සබඳතා බිඳ වැටුණු විට බහුල වශයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම හෝ සැබවින්ම ඒවා මුදා හැරීම මුළු ලෝකය පුරාම සයිබර් අවකාශයේ සිදු වන සුලබ අපරාධයක් බවට පත්ව ඇත.

සුලබ සයිබර් අපරාධ වර්ග

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව සුලබ වශයෙන් සිදු වන සයිබර් අපරාධ වර්ග 07ක් සමාජ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.

* ඉලෙක්ට්‍රොනික තැපෑල මඟින්

කෙරෙන අඩන්තේට්ටම්

* සයිබර් අවකාශය ඔස්සේ රහසේ ලුහුබැඳීම

* සයිබර් ආශ්‍රිත කාමෝද්දීපන නිරුවත්

ප්‍රකාශන

* සයිබර් අවකාශය ආශ්‍රිත

නොමනා ක්‍රියා

* අපහාස කිරීම

* මෝෆිං

* විද්යුත් ලිපි ස්පූෆිං

ඊමේල් මඟින් කෙරෙන අඩන්තේට්ටම් නව සංකල්පයක් වශයෙන් සැලකිය නොහැකි බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට එය දීර්ඝ කාලයක් පුරා සිදු වූ සාමාන්‍ය තැපැල් ලිපි මඟින් ද සිදු විය හැකි හිරිහැර හෝ අඩන්තේට්ටම් කිරීම්වලට අතිශය සමීප ය. මෙහිදී අවමාන, තර්ජන, අයුතු බලපෑම් සහ වංචා කිරීම් යනාදිය සුලබ වශයෙන් සිදු වන බව හඳුනාගෙන ඇත. සයිබර් අතවර / අඩන්තේට්ටම් ලිපි මඟින් කෙරෙන අතවරවලට සමාන වුවද ව්‍යාජ හැඳුනුම්පත් යොදා කෙරෙන සටහන් හේතුවෙන් බොහෝ විට ප්‍රශ්න රැසකට මුහුණපෑමට සිදු වෙයි.

සයිබර් අවකාශය මඟින් රහසේ ලුහුබැඳීම යන්නෙන් අදහස් වන්නේ වින්දිතයා නිතර නිතර පරිහරණය කරන අන්තර්ජාල දැන්වීම් පුවරු, චැට් කාමර යනාදියෙහි බොහෝ විට තර්ජනාත්මක පණිවිඩ සටහන් කිරීමයි. එමෙන්ම වින්දිතයා ඉලෙක්ට්‍රොනික් හසුන් මාලා මඟින් වෙහෙසට පත් කිරීම වැනි ක්‍රියා මඟින් අන්තර්ජාලය පුරා කෙනකු යන එන ස්ථාන අනුව පසුපස යෑමයි. පුරුෂයන් සෝදිසියෙන් යුතුව කාන්තාවන් පසුපස යෑමෙන් ද, වැඩිහිටි ගොදුරු සොයන්න වුන් හෝ ළාබාල දරුවන් කෙරේ කාමාශාවෙන් පෙළෙන්න වුන් දරුවන් පසු පස යෑමෙන් හෝ මේ තත්ත්වය නිර්මාණය වෙයි. මෙහිදී වැඩි වශයෙන් මේ අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත් වන්නේ කාන්තාවන්, ළමුන් සහ චිත්තවේගී දුබලකම් ඇති අය හෝ අස්ථාවර අය බව හඳුනාගෙන ඇත.

සයිබර් අපරාධවල පහසු සහ වඩාත් පුළුල් ව්‍යාප්තියක් ඇති ප්‍රභේදය වශයෙන් සයිබර් අවකාශය ආශ්‍රිත කාමෝද්දීපන නිරුවත් ප්‍රකාශන සැලකිය හැකිය. කාමෝද්දීපන නිරුවත් ප්‍රකාශන සහිත වෙබ් අඩවි මීට අයත් වන අතර පරිගණක සහ අන්තර්ජාල යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද කාමෝද්දීපන නිරුවත් ප්‍රකාශන අඩංගු සඟරා ආදිය මේ අතර වෙයි. මේ ප්‍රකාශන බාගත කිරීමේදී එමඟින් සිදු වන ඍජු හානියට අමතර වශයෙන් මැල්වෙයාර් වෛරස් යනාදිය ද පහසුවෙන් අදාළ ප්‍රකාශන සමඟ බාගත වීමට වැඩි අවකාශයක් ඇති බව හඳුනාගෙන ඇත.

 

සයිබර් ආශ්‍රිත නොමනා ක්‍රියා වශයෙන් හඳුන්වන්නේ දරුවකු, පෙර යොවුන් වියේ කෙනකු තවත් එවැනිම කෙනකු විසින් අන්තර්ජාලය ඔස්සේ අන්තර්ක්‍රියා හෝ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් වද දීම, තර්ජනය කිරීම, හිරිහැර කිරීම, අවමන් කිරීම, අපහසුතාවට පත් කිරීම හෝ වෙනත් අතවරවලට භාජනය කිරීම සයිබර් අයුතු බලපෑමක් කිරීමයි.

පරිගණකය හෝ අන්තර්ජලය මඟින් අපහාස කිරීම ද සයිබර් අපරාධ අතර සුලබ අපරාධ වර්ගයක් වශයෙන් හඳුනා ගෙන ඇත.

‘මෝෆිං’ යනුවෙන් හැඳින්වෙන්නේ අසම්මත පරිහරණය කරන්නකු හෝ ව්‍යාජ අනන්‍යතාවක් ඇති අයකු හෝ ඡායාරූපයක් සංස්කරණය කිරීමයි. කාන්තාවන්ගේ ඡායාරූප මෙහිදී බහුල වශයෙන් මෝෆිං කිරීමට ලක් වෙයි. පරිගණක භාවිත කරන ව්‍යාජ පුද්ගලයන් විසින් කාන්තාවන්ගේ ඡායාරූප සංස්කරණය කිරීමෙන් පසු (බොහෝ විට නිරුවත් ඡායාරූප ලෙස සංස්කරණය කර) වෙනත් අය සේ ව්‍යාජ තොරතුරු සමඟ වෙනත් වෙබ් අඩවිවල සටහන් කෙරෙන බව හඳුනාගෙන ඇත. වර්තමානයේදී කාන්තාවන් බහුල වශයෙන් මේ සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වන අතර ඇතැම් ජනප්‍රිය හා බලවත් පුද්ගලයන් ද මෝෆිං ගොදුරු බවට පත් වන බවක් හඳුනා ගත හැකිය.

කාන්තාවන් වින්දිතයන් බවට පත් වන තවත් සුලබ සයිබර් අපරාධයක් වශයෙන් විද්යුත් ලිපි ස්පූෆිං හඳුනා ගෙන ඇත. මෙනමින් අදහස් වන්නේ විද්‍යුත් ලිපියක මූලාරම්භය වරදවා විස්තර කිරීම ය. එහි නියම ආරම්භයට වෙනස් වූ ආරම්භයක් පෙන්වීම සුලබම තත්ත්වය වෙයි. නිදසුනක් ලෙස තමා ‘සී’ බව හඟවමින් ‘ඒ’ විසින් ‘බී’ ට විද්යුත් තැපෑලක් යවනු ලැබේ. මෙහිදී විද්යුත් තැපෑල යවන්නා තමාගේ නියම අනන්‍යතාව සඟවන අතර වෙනත් පුද්ගලයකුගේ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම සිදු වෙයි.

කාන්තාවන් මෙහිදී වින්දිතයන් බවට පත් වන සුලබ අවස්ථාවක් වන්නේ ඇතැම් පිරිමින් විසින් තමාගේ අසභ්‍ය ඡායාරූපයක් ඊමේල් ඔස්සේ කාන්තාවකට යවා ඇයගේ රුව වර්ණනා කර ඇයගෙන් හමුවීමට දිනයක් හෝ ඇයගේ සේවා සඳහා කොපමණ මුදලක් අය කරන්නේ ද යන්න විමසීමයි.

අක්‍රිය සහ සක්‍රිය සයිබර් අපරාධ

ඉහත සඳහන් කළ සුලබ සයිබර් අපරාධවලට අමතරව සයිබර් අපරාධකරුවන් විසින් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව අක්‍රිය හෝ සක්‍රීය ප්‍රහාර එල්ල කිරීමට ද ඉඩ ඇත.

මෙහිදී අක්‍රිය සයිබර් ප්‍රහාර වශයෙන් නිර්වචනය වන්නේ නීති විරෝධී ක්‍රියාවකට සහය වීමට හෝ වැඩි දියුණු කිරීමට පරිගණකයක් යොදා ගැනීමට යමෙක් උත්සාහ කිරීමයි. අක්‍රිය පහරදීම් බහුල වශයෙන් දත්ත සොරකම් කිරීම කෙරෙහි යොමු වන අතර ‘ස්ටෝකිංවලට’ සමාන අක්‍රිය පහර දීම් පරිගණක හෝ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ තොරතුරු එක්රැස් කිරීමෙන් ආරම්භ වෙයි. තොරතුරු එක්රැස් කිරීමෙන් පසු නියම පහර දීම ඩිජිටල් කේෂ්ත්‍රයේ හෝ ඉන් බැහැරව සිදු විය හැකිය. ඍජු අන්තර් ක්‍රියාවෙන් තොරව හිංසා කිරීමේ අරමුණින් තොරතුරු යොදා ගන්නා හෙයින් එය අපරාධයක ප්‍රාරම්භක අවස්ථාවක් සේ සයිබර් අපරාධ විශේෂඥයෝ හඳුන්වති.

සක්‍රිය ප්‍රහාරයක් හෝ අපරාධයක් වන්නේ යමකු අපරාධ කිරීමට පරිගණකයක් උපයෝගි කර ගැනීමෙන්, එනම් ආරක්ෂිත පරිගණක පරිශ්‍රයකට හෝ විද්යුත් සන්දේශ උපකරණයකට අනවසරයෙන් ප්‍රවේශයක් ලබා ගැනීමයි. සක්‍රීය ප්‍රහාර පද්ධතියෙහි දෝෂ හෝ හුදු ශක්තිය හානි කිරීමට උත්සාහ ගැනීම මඟින් සිදු වෙයි. වින්දිතයාගේ පරිගණකයෙහි වේගය හීන වන පරිදි, නවතින පරිදි හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන සේ දැරිය නොහැකි තරම් වැඩි බර පැටවීමට ද සක්‍රීය ප්‍රහාර මඟින් උත්සාහ දරනු දැකිය හැකියි.

සක්‍රීය ප්‍රහාර හෙවත් අපරාධ තවත් අංශ රැසක් තුළ ක්‍රියාත්මක වෙයි. උදාහරණයක් ලෙස යමකුට විශාල මුදලක් දිනා ඇති බව හෝ ශිෂ්‍යත්වයක් දිනා ඇති බව දන්වමින් තවත් කෙනකු විසින් විද්යුත් ලිපියක් එවීම වැනි ව්‍යාජ පරිගණක කාර්යයක් හෝ විය හැකිය. මෙවැනි දැන්වීමක් මඟින් අපරාධකරු විසින් අදාළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු ද සපයන මෙන් ඉල්ලීමක් කරයි නම් එය සක්‍රීය ප්‍රහාරයක් හෙවත් සක්‍රිය සයිබර් අපරාධයක් වශයෙන් සැලකිය හැකිය. පරිගණක අපරාධවල මේ අංශය සමාජ සම්බන්ධතා ජාලගත කිරීම් යටතට අයත් වෙයි. ඇතැම් විටෙක පරිගණක අපරාධ සඳහා ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු සමඟ මුසු කර භාවිත කරනු ද දැකිය හැකිය. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ව්‍යාජ ‍ෙපෟද්ගලික තොරතුරු සත්‍ය ඒවා සේ ඉදිරිපත් කරනු සුලබව දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී අපරාධයක් කිරීමට පරිගණකය සක්‍රිය ලෙස භාවිත වෙයි. මේ තත්ත්වය නිදසුනක් මඟින් පැහැදිලි කරන්නේ නම්, පිරිමියකු ගැහැනු දරුවකු සේ පෙනී සිටි වෙනත් ගැහැනු දරුවකු හා මිත්‍රත්වයක් ගොඩනඟාගෙන ඇය පිළිබඳ සියලු පෞද්ගලික තොරතුරු ලබා ගැනීම දැක්විය හැකිය. ඔහු මේ අවස්ථාවේදී සක්‍රිය කායික ක්‍රියාවක් මඟින් පරිගණක අපරාධයක් කරනු බව සැලකිය හැකිය.

සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් නොවීමට නම්

ඉහත සඳහන් කළ සියලු ආකාරයේ සයිබර් අපරාධවලට කාන්තාවන් සහ ළමයි ලක් වන්නේ ඔවුන් තුළ ම පවතින නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමයි සයිබර් අපරාධවල වින්දිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා ගත හැකි සක්‍රීය හා ඵලදායී පියවර රැසකි.

මුහුණුපොත වැනි සමාජ ජාල සම්බන්ධතා තුළ ආරක්ෂාව

කාන්තාවන් සහ ගැහැනු ළමයි වැඩි වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ මුහුණුපොත වැනි සමාජ ජාලාවල බව හඳුනාගෙන ඇත. එවැනි අවස්ථාවකදී තම ආරක්ෂාව සඳහා ගත හැකි පියවර රැසකි.

ආරක්ෂාකාරී ලෙස මුහුණුපොතට සේන්දු වීම. එමඟින් ඔබගේ රහස් වචනය (මුරපදය) සොයා ගෙන ඔබේ ජාලයේ සිදු වන දේ රහසින් දැනගැනීමට ඇති පහසු අවකාශය වළකාගත හැකි වෙයි.

* උපන් දිනය, ජීවත් වන ස්ථානය හා ඔබව සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු වැනි පෞද්ගලික තොරතුරු මුහුණුපොතේ සටහන් කිරීම සීමා කිරීම.

* පෞද්ගලිකත්වය රැක ගැනීමේ උපක්‍රම භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ ඉඩකඩ මිතුරන්ට පමණක් සීමා කිරීම.

* සීමිත තොරතුරු ලැයිස්තු සකසා සැක සහිත මිතුරන් ලැයිස්තුව වෙන් කර ඔවුන් ගැන සුපරික්ෂාකාරීව සොයා බලා පසුව ඔබ ගැන වැඩි විස්තර ලබා ගත හැකි ලැයිස්තුවකට ඇතුළත් කිරීම.

* සෙසු අයට ගවේෂක යන්ත්‍රවලට හෙළි වන තොරතුරු පාලනය කිරීම සඳහා පෞද්ගලිකත්වය රැක ගැනීමේ උපක්‍රම භාවිත කිරීම.

* මුහුණුපොතේ ව්‍යාජයෙන් හෝ වෙනත් සැක සහිත සම්බන්ධතා මඟින් ලැබෙන ව්‍යාජ ඉලෙක්ට්‍රොනික ලිපිවලින් ප්‍රවේශම් වීම.

* ඔබ මිතුරකු ලෙස කෙනකු පිළිගැනීමට පෙර දෙවරක් සිතන්න. එසේ පිළිගැනීමට පෙර ඉල්ලීම කළ අය සමඟ හැකි නම් ඊමේල් මඟින් හෝ දුරකථනය මඟින් සම්බන්ධ වී සත්‍යතාව විමසා බලන්න.

* චැට් කිරීමේ සම්ප්‍රයෝගයක් මුහුණුපොතේ අන්තර්ගත වෙයි. නොදන්නා අය සමඟ චැට් කිරීමෙන් හෝ ඔවුන්ට ඔබ හඳුනා ගැනීමට හැකි වන තොරතුරු ලබාදීමෙන් වළකින්න.

* කිසිවකු අනුමාන නොකළ හැකි හරස් වචනයක් තෝරා ගන්න. එය නිතර වෙනස් කරන්න.

* විශ්වාසය තැබිය හැකි පරිගණක පමණක් භාවිත කර මුහුණුපොතට එක්වන්න. පරිගණක පද්ධතියක ඔබ භාවිත කරන සෑම යතුරු සලකුණක්ම සටහන් කරන කී ලොගාර්ස් නම් මෘදුකාංගය එහි තිබෙන්න පුළුවන.

* භාවිත කරන රහස් වචනය වෙනත් අය අතට පත් කිරීමේදී පරීක්ෂාකාරී වන්න. එය දුර්වල ආකාරයෙන් භාවිත කළහොත් එය ඔබ අමාරුවේ වැටීමට පහසු මඟක් විය හැකිය.

විද්යුත් තැපෑල භාවිතයේදී ආරක්ෂාකාරී වීම

වර්තමානයේ බහුලම සන්නිවේදන මාධ්‍ය විද්යුත් තැපෑල හෙවත් ඊමේල් බවට පත්ව ඇතත්, කාන්තාවන් හා ළමයි සයිබර් අපරාධවලට ලක් කරනු සුලබම මාධ්‍යයක් වශයෙන් ද එය ඉහළ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එහෙත් පහත සඳහන් ආරක්ෂක පියවර මඟින් ඔබට මේ සුවිශේෂ සන්නිවේදන මාධ්‍ය යහපත් මිතුරකු බවට පත් කර ගත හැකිය.

අවම වශයෙන් සංකේත අටකින් යුත් මුරපදයක් නිර්මාණය කළ යුතු අතර ඒ මුරපදය සඳහා නම් හෝ පහසුවෙන් අනුමාන කළ හැකි වචන ඇතුළත් නොකළ යුතුය. කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සංඛ්‍යා සහ වෙනත් සංකේතාත්මක අකුරු මුරපදයක් ලෙස භාවිත කළ යුතුය.

ඩිජිටල් සහතික දෝෂ පණිවුඩයක් ලැබුණහොත් ඒ වෙබ් පිටුවට ඇතුළු වීමෙන් වළකින්න.

මුරපදය වෙනත් අය සමඟ බෙදා ගැනීමෙන් වළකින්න.

අන්තර්ජාලයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් පණිවිඩ සඳහා තමා භාවිත කරන සාමාන්‍ය මුරපදය භාවිත නොකළ යුතුය.

නූතනම වයිරස් විරෝධී ස්කෑනරයක් පාව්චිචි කරන්න.

අන්තර්ජාල සේවා සපයන ස්ථානවල පරිගණක පාවිච්චි කිරීමේදී සුපරික්ෂාකාරී වන්න. පාවිච්චි කරන සෑම පරිගණක යතුරක්ම සටහන් කර ගන්නා පරිගණක යතුරු කපනයක් සාමාන්‍යයෙන් මේ ස්ථානවල පරිගණකවලට ඇතුළත් කර ඇත.

හැකි සෑම අවස්ථාවකදීම ක්ෂණික පණිවිඩ මඟින් නැති වූ මුරපදය නැවත ලබා ගැනීමට උත්සාහ කරන්න.

මුරපදය යළි ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අසන රහස් ප්‍රශ්න අනුමාන කිරීම දුෂ්කර ය.

 

නොදන්න අය විසින් එවන ලද ඉලෙක්ට්‍රොනික් පණිවිඩවල ඇමුණුම් විවෘත කිරීමෙන් සහ සන්ධාන බොත්තම් තද කිරීමෙන් වළකින්න.

චැට් කාමරයේ ආරක්ෂාව

වර්තමානයේ බහුලවම භාවිත වන සන්නිවේදන ක්‍රමයක් වන ‘චැට්’ කිරීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් දැඩි සේ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙයි. එහිදී චැට් කාමරයේදී යම් හිංසනයක් පිළිබඳ සැකයක් ඇති වුව හොත් ඒ චැට් සැසියේ පිටපතක් ලඝු ගණකය තුළ සුරක්ෂිත කර ගන්න.

වීඩියෝ බාගත කිරීමේදී ආරක්ෂා සහිත වීම

වීඩියෝ බාගත කරගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසීමට පෙර අශ්ශීල නිරුවත් ඡායාරූප පමණක් නොව, හිංසනය, ජාතිවාදය, ත්‍රස්තවාදී බෝම්බ සකස් කිරීම ප්‍රචලිත කිරීම හෝ ප්‍රවර්ධනය කරන තොරතුරු සහ වෙනත් අයුතු තොරතුරු ඇතුළත් අනිසි අන්තර්ගතවලට අවසර නොදීමට හා පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් පරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

සෙවුම් අඩවිවල ආරක්ෂාව

ගූගල් සහ “බිංග්” වැනි සෙවුම් අඩවි පාවිච්චි කිරීමේදී අයුතු අන්තර්ගත වැළැක්වීම සඳහා පරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

ඉහත සඳහන් කළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම මඟින් විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමයි සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගත හැකිය.

මේ ලිපිය අවසන් කිරීමට පෙර වර්තමානයේ බහුල වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු බවට පත් වන ගැහැනු ළමයි අන්තර්ජාලය තුළ අපරාධවල ගොදුරු බවට (වින්දිතයන් බවට) පත් වීම වළක්වාගත හැකි ආරක්ෂක පියවර ගැන ද දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙයි.

ගැහැනු දරුවන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කර ගැනීම

* දරුවන් භාවිත කරන පරිගණකවලට ෆයර් වොල් හෝ මවුපිය පාලනය සලසන මෘදුකාංග ඇතුළත් කිරීම. මේ මෘදුකාංග මඟින් අදාළ ක්‍රියාකාරකම්වල ඉතිහාසය සහ වෙබ් අන්තර්ගතවලට ප්‍රවේශ වීම සීමා කිරීම ද මවුපියන්ට කළ හැකිය.

* දරුවන් නිතර පරිහරණය කරන සියලු වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීම හා ඔවුන්ගේ පරිගණක ක්‍රියා අධීක්ෂණය කිරීම.

* අන්තර්ජාල කටයුතුවලදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරයත්, වින්දිතයකු වීමේ අවදානමත් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා දරුවන් සමඟ සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම.

* සෑම දෙනාටම දරුවාගේ ඉරියව් පෙනෙන පරිදි පරිගණකය විවෘත ස්ථානයක තැබීම (වැඩිහිටියකු කාමරයට ඇතුළු වන විට දරුවා කලබල වීම අන්තර්ජාල අඩවි වෙනස් කිරීම වැනි ක්‍රියාවක යෙදෙන්නේ නම් එය විමසිලිමත් වීමට සලකුණකි)

* දරුවන් අධීක්ෂණයෙන් තොර පරිගණක භාවිතයෙන් වළක්වාලීම

* දරුවන් අන්තර්ජාලයේ වැඩ කරන විට කල්පනාකාරී වීම

* දරුවා නොදන්නා අය සමඟ ඉලෙක්ට්‍රොනික ලිපි හුවමාරු කර ගැනීමෙන්, චැට් කිරීමෙන් සහ දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් වළක්වාලීම

* දරුවා නොදන්නා ද්‍රව්‍ය අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙන් දරුවාට විය හැකි හානි සහ පරිගණකයට විය හැකි හානි පිළිබඳව දරුවා දැනුවත් කිරීම

* දරුවා වෙනත් අයගේ අන්තර්ජාල ප්‍රවේශ මාර්ග භාවිත කිරීමෙන් වැළැක්වීම

* දරුවන් පරිගණක භාවිත කරන විට තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන විට විශේෂයෙන් පරීක්ෂාකාරී වීම

* දරුවාගේ පරිගණකයෙහි අසභ්‍ය රචනා නොමැති බවට සහතික කිරීම.

නොහඳුනන අය සමඟ දරුවා කරන සංවාද අධීක්ෂණය කිරීම

* දරුවන් අවසර නැතිව ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීමෙන් වළක්වාලීම

ඉහත සඳහන් ක්‍රමෝපා අනුගමනය කිරීම මඟින් කාන්තාවන් සහ ගැහැනු ළමයි සයිබර් අවකාශයේදී අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වීම පහසුවෙන් සහ ඵලදායී ආකාරයෙන් වළක්වාගත හැකි ය.

 

(ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද “කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා නීති නාමාවලිය)

ඇසුරෙන් සකස් කරන ලදි)

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.