අපගේ කවියේ සැඟවුණු අතීතය | සත්මඬල

අපගේ කවියේ සැඟවුණු අතීතය

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සත්වැනි සියවසින් පසු අපි අනුකාරකයන් බවට පත් වී අපගේ ජාතික අනන්‍යතාව නැති කරගත් පිරිසක් වූ බව පැහැදිලි කරුණකි. මේ බව මාර්ටින් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම පෙන්වාදී තිබේ. සත්වැනි සියවසින් පමණ පසු අප අනුකාරක ජාතියක් බවට පත් වී වැනසී ගිය සැටි පෙන්වන හොඳම කැඩපත අපගේ කාව්‍ය වංශය කියා මම සිතමි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘සිංහල සාහිත්‍යයේ නැඟීම’ හුදු ශාස්ත්‍රීය සාහිත්‍යයික විචාරයක් නොවෙයි; ඊට වඩා බෙහෙවින් පුළුල් ගැඹුරු නිර්මාණාත්මක අධ්‍යයනයකි. එය අපගේ සාහිත්‍ය වංශය අපගේ සංස්කෘතිය මත තබා දැක බලා ගැනීමට, අගය කිරීමට වත්මන් යුගයේ වසන ප්‍රඥයකු විසින් ගන්නා ලද මාහැඟි ප්‍රයත්නයකි. මින් අඩ සියවසකට පෙර ලියැවුණු එය අපගේ ජාතික පුනරුදයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස අපට සලකන්නට හැකිය.

එවැනි නිර්මාණාත්මක නිබන්ධයක එහි නිර්මාතෘ ප්‍රාඥයාගේ අන්තර්ඥාන නිරීක්ෂණ නොමඳව ගැබ් වී තිබීම අප විසින් අපේකෂා කළ යුත්තකි. වික්‍රමසිංහයන්ගේ ‘සිංහල සාහිත්‍යයේ නැඟීම’ තුළ ද එවැනි අන්තර්ඥාන නිරීක්ෂණ නොමඳව අවධානයට යොමු විය යුතු බව මගේ වැටහීමයි. ඒ අන්තර්ඥාන නිරීක්ෂණ හිතලු අපගේ නැණ නුවණ පුබුදුවා නව චින්තන ක්ෂේත්‍ර වෙත අප ගෙන යෑමට මහෝපකාරී වෙනවා ඇත.

වික්‍රමසිංහයන් විසින් මේ කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ අපගේ කවිය අරභයා දක්වා ඇති එවැනි අන්තර්ඥාන නිරීක්ෂණයකිනුයි, එවැනි හිතලුවක් ඇසුරෙනුයි. සිංහල කවිය පිළිබඳ දක්වා ඇති ඒ හිතලුව මවිසින් තෝරා ගැනීමට ‍හේතුව අන් කිසිවක් නොව පසුගිය කාලයේම වික්‍රමසිංහයන් ගිය මඟ ඔස්සේ යමින් අපගේ කාව්‍ය වංශය දෙස බැලීමට තැත් කිරීමයි. අපගේ මුළු මහත් කාව්‍ය වංශය අපගේ සමාජ - සංස්කෘතික ජීවන රටාව මත තබා පිරික්සා බැලීමට තැත් කිරීමයි.

සිංහල කවිය අරභයා මාර්ටින් වික්‍රමසිංහයන් දක්වා ඇති ඒ අන්තර්ඥාන නිරීක්ෂණය මෙයයි.

“අනුරාධපුර අවධියෙහි ගල් කැටයමෙන් කලා කෞශල්‍යයක් හා උසස් රුචිකත්වයක් ද දක්වන ලද ඔවුන් හෙළ බසින් ගද්‍ය පද්‍ය කාව්‍යයන් ද රචනා නොකළහයි සිතිය හැකි නොවේ. චිත්‍ර, ප්‍රතිමා කලා ඉතා දියුණු වූ කාලයක ගද්‍ය පද්‍ය කාව්‍යයන් ද පහළ විය යුතුයි. මේ කාලය චිත්‍ර, ප්‍රතිමා කලාවල පමණක් නොව සිංහල කාව්‍යයේ ද ශ්‍රේෂ්ඨ අවධිය වූහයි මහාචාර්ය පරණවිතාන මහතා කල්පනා කරයි. එසේ නම් ‘මුවදෙව්දාවත’, ‘සසදාවත’, ‘කව්සිළුමිණ’ යන පද්‍ය කාව්‍යයන්ට පෙර රචිත පද්‍ය කාව්‍යයන් නොලැබීමට හේතුව කුමක්ද?”

(සි. සා. නැ. 27 පිටුව)

මේ කරුණම වික්‍රමසිංහයන් විසින් තවත් තැනක මෙසේ සඳහන් කර තිබේ.

“සංස්කෘත කාව්‍යයන් අනුකරණයෙන් නිපදවන ලද පණ්ඩිත ප්‍රිය ගී කාව්‍යයන්ට පෙර, දේශීය මාර්ගය ගත් ජන කවීන් විසින් රචනා කරන ලද පද්‍ය දුර්ලභ වී යැයි සිතිය හැකි නොවේ.”

(සි. සා. නැ. 81 පිට)

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් මෙසේ දක්වා ඇති සිය අන්තර්ඥාන නිරීක්ෂණය පදනමකින් තොර හුදු හිතලුවක් ද? නැත් නම් අපගේ අවධානයට යොමු විය යුතු හරවත් නිගමනයක් ද? මෙවැන්නක් පිළිගැනීමට අවශ්‍ය සාක්ෂ්‍ය, සාධක අපට සොයා ගත හැකි ද? මේ කරුණු දැක්වීමෙන් මා අදහස් කරන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සැකෙවින් සැපයීමටයි. සිංහල කවියේ ඉතිහාසය ගී යුගයෙන් බොහෝ ඈතට ගෙන යන, එමෙන්ම කාව්‍ය වංශයට නව මානයක් ගෙන දෙන මේ නිගමනය ඉතා වැදගත් එකක් බව කිවමනා නොවේ.

මාර්ටින් වික්‍රමසිංහයන් මේ නිගමනයට බසින්නේ එක්තරා න්‍යායක් පදනම් කරගෙන බව අපට පෙනෙයි. ඔහුගේ න්‍යායට පදනම් වනුයේ අනුරාධපුර යුගය විසින් පිළිබිඹු කරන උසස් කලා රුචිකත්වයයි. ප්‍රතිමා චිත්‍ර කලා විසින් පිළිබිඹු කරනු ලබන ඒ උසස් රුචිකත්වය ඒ රුචිකත්වයට සරිලන ආකාර ගද්‍ය පද්‍ය කාව්‍යයන් ද පහළ කළ යුතු යැයි ඔහු තර්ක කරයි. වික්‍රමසිංහයන්ගේ මේ තර්කය - න්‍යාය සදොස් එකක් සේ අපට බැහැර කළ හැකි නොවේ. උසස් රුචිකත්වයක් එක් අංශයකින් ප්‍රකාශ වන්නේ නම් එය අනෙක් අංශවලින් ද ප්‍රකාශ විය යුතුයි යන්න කලා ශිල්ප අරභයා අප බොහෝ විට දකින නියාමයකි. එහෙත් මෙවැන්නක් හැම විටෙකම දකින්නට ලැබෙතියි අපට ඉඳුරා කිව හැකි ද? එබැවින් මේ තර්කය මතම පිහිටා මේ අවධියේ අපට උසස් කාව්‍යය වංශයක් වී යැයි නිගමනයකට එළැඹීම එතරම් ප්‍රඥාගෝචර නොවන බව සහෘදයාට පෙනෙනවා ඇති.

එ‍සේ නම් මෙවැනි නිගමනයට එළැඹීම පිණිස තවත් ප්‍රබල සාක්ෂි අවශ්‍ය බව අප විසින් පිළිගත යුතුයි. එවැනි සාක්ෂි අප සතුව ඇති ද?

මේ අවධිය තුළ - අනුරාධපුරයුගයේ මුල් අවධිය තුළ - සත්වැනි සියවස පමණ තෙක් උසස් පද්‍ය සාහිත්‍යයක් තිබෙන්නට ඇතැයි යන සැකය විචාරකයන් කීපදෙනකු විසින් ම පෙන්වාදී තිබේ. සිංහල සැහැලි පිළිබඳ දීර්ඝ නිබන්ධයක් ලියා ඇති මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා මේ කාරණාව දක්වා තිබෙන්නේ මේ ලෙසයි.

උගත් නූගත් භේදයක් නැතිව 6 වැනි ශත වර්ෂයේදී මහජනයා සඳහා සිංහල පද්‍යයක් විය. සත්වැනි ශත වර්ෂය නිර්මල සිංහල පද්‍ය සාහිත්‍යයේ ආදීම ස්වර්ණ යුගය වශයෙන් ඉදිරිපත් වන්නේය. ආරම්භයේ මෙවැනි තත්ත්වයක පැවැති සිංහල කවියත්, කවිකමත් 9 වැනි ශත වර්ෂයේදී පමණ පුදුම වෙනසකට භාජනය වූ බව පෙනෙයි. නිදහසේ මූර්තිය වූ කවියාට නිදහස්ව සිතීමටත්, ප්‍රකාශ කිරීමටත් නිදහස නැති වුණි. අහසේ පාවෙන පුළුන් පෙඳක් මෙන් තිබූ කවි සිතෙහි නොයෙක් නොයෙක් ප්‍රමාණයේ බර බද්දල එල්විණි. ඔහුගේ සිතුවිලිත්, වචනත් හැඩ ගස්වනු සඳහා එකම මාර්ගයක ගෙන යනු සඳහා අප්‍රමාණ නීති රීති ඇති වී සම්මත විය. තණ බිමක් කරා ගෙන යන බැටළු රංචුවක් මෙන් කවියන් දැක්වීමෙහි ව්‍යාකරණකාරයෝත්, අලංකාරිකයෝත් උත්සුක වූහ.

මෙවැනි විචාර මහා වික්‍රමසිංහයන්ගේ හිතලුව සනාථ කරන සුලු වුවත් ඒවා අනියම් සාක්ෂ්‍ය විනා ඍජු සාක්ෂ්‍ය වශයෙන් අපට පිළිගන්නට අසීරු ය. ඍජු සාක්ෂ්‍ය වශයෙන් සැලකිය හැකි කිසිවක් මෙහිලා සොයාගන්නට නැති ද?

මා සිතන අයුරු වික්‍රමසිංහයන්ගේ හිතලුව සනාථ කරන අප සතුව ඇති ප්‍රබලම සාක්ෂ්‍ය සපයනු ලබන්නේ සීගිරි ගී විසිනුයි. 8 වැනි 9 වැනි සියවස්වල සීගිරි කැටපත් පවුරේ ලියැවී ඇති ගී සමුදාය විසිනුයි.

මේ සීගිරි ගී සමස්තයක් වශයෙන් ගත් කල උසස් තත්ත්වයක් උසුලන නිර්මාණ බව ද ඒවා පසු කලෙක ලියැවුණු ගී කාව්‍යත්‍රයට වඩා බෙහෙවින් වෙනස් මඟක් ගෙන ඇති බව ද විචාරකයන්ගේ මතයයි.

සීගිරි ගී පිළිබඳ මේ කරුණු මුලින්ම පෙන්වා දුන් පරණවිතාන සූරීන්ගේ මතය මෙවැන්නකි:

“අපගේ මේ ගීවල විෂය ක්ෂේත්‍රයත්, ඒවායේ කෙටි ස්වභාවයත් සලකා බලන වට ඒවා නිර්මාණය කළ කවීන් කෙරෙහි සියබස්ලකරේ ගුරු උපදෙස් බලපා ඇති බවක් නොපෙනේ.”

මේ ගී සියල්ල සලකා බලන විට සංස්කෘත අලංකාරවාදය මේ ගී ලියූ කවීන් කෙරෙහි එතරම් බලපෑමක් කර ඇති බව නොපෙනෙයි.

අපේ කවීන් කාව්‍යයෙහි ආත්මය රසය වශයෙන් සලකා ඇති බැවින් භාරතීය කාව්‍ය ශාස්ත්‍රයෙහි ප්‍රධාන තැනක් ගන්නා ලද අලංකාරවාදය ඔවුන්ගේ නිර්මාණවලට බලපා ඇත්තේ මඳ වශයෙනි.

ඔවුන්ට බලපා ඇත්තේ ආනන්දවර්ධනයේ කාව්‍ය රීති බව පෙනෙයි.

පරණවිතාන මහතා දක්වන මේ අදහස්වලට සමාන වන අදහස් බොහෝ විචාරකයන් විසින් සීගිරි ගී අරභයා දක්වා ඇති බව අපට පෙනෙයි. වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ සීගිරි ගී සිරි නිබන්ධයට හැඳින්වීමක් සපයන දො.ඩ. ඩයස් මහතා මේ කරුණුම උලුප්පා දක්වා තිබේ.

අටවැනි සියවසේදී පමණ ලියන ලද දණ්ඩීන්ගේ කාව්‍යාදාර්ශය දහවැනි සියවසේදී පමණ සිංහලට පරිවර්තනය විය. එසේ නම් හත්වැනි සියවසේදී පමණ ලියැවුණු භාමහගේ ‘කාව්‍යාලංකාරය’, අටවැනි සියවසේදී වාමන විසින් ලියන ලද ‘කාව්‍යාලංකාර සූත්‍රය’ ආදි කාව්‍ය විචාරවාද අන්තර්ගත කෘති සීගිරි කවීන්ට පරිශීලනය කරන්නට අවකාශ නොලැබුනැයි කෙසේ සිතමු ද? එසේ සීගිරි ගීවලින් පෙනෙන්නේ සංස්කෘත කාව්‍ය රීතියක ලක්ෂණ බව විචාරකයෝ පවසති. සංස්කෘත කාව්‍ය විචාර ග්‍රන්ථවල එන උපමා රූපක, උත්ප්‍රේක්ෂා වැනි අලංකාර සීගිරි ගීවල ඇති නමුත් එපමණකින් සකු කවීන් අනුව ගිය බවක් පිළිගැනීමට ඉඩ නැත.

‘කව්සිළුමිණ’, ‘සසදාවත’, ‘මුවදෙව්දාවත’ යන ගී කාව්‍ය අද අප හමුවේ ඇති පැරැණිම නිර්මාණාත්මක කාව්‍ය ග්‍රන්ථ තුනක් සේ සැලකේ. මේවා සම්මත විරිතකට අනුව ගීයෙන් බැඳුණු කාව්‍ය යන සංකල්පය මත පමණක් සීගිරි ගීවලට සමානත්වයක් දක්නා ලැබේ.

සීගිරි කවීන් සාටෝප සංස්කෘත රිතිය බැහැර කර එසමයෙහි පැවැති ස්වාධීන රීතියක් අනුදත් බවට ඔවුන්ගේ නිර්මාණවලින් ලැබෙන සාක්ෂිය අපමණ ය. ‘කව්සිළුමිණ’, ‘සසදාවත’, ‘මුවදෙව්දාවත’ යන ගී කාව්‍ය බිහි වන සමය වන විට සංස්කෘත කාව්‍යාලංකාර ගුරු කොට ගැනීමත් ඒවා තමන්ගේ කෘතිවලට අබරණ සේ සැලකීමත් එදා කවීන්ගේ අභිමතය විය. සීගිරිය කවියා ඒ මඟින් ඈත් වූවෙකි. සමහර තැනක ඉඳහිට ගතානුගතික උපමා රූපක භාවිතයට ගෙන ඇති නමුත් පොදුවේ සලකන කල ඔහුගේ සමස්ත නිර්මාණ කාර්යයම නිර්ව්‍යාජ දේශීය කවිත්වයක් පිළිබිඹු කරයි.

සීගිරි ගී මෙවැනි ස්වාධීන මඟක් ගත් උසස් ලක්ෂණයෙන් යුතු නිර්මාණයක් නම් මෙහිදී මතුවන ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම් ඒවාට පිටුදුන් හරවත් වැදගත් කාව්‍ය සම්ප්‍රදායක් සහ කාව්‍ය වංශයක් ඊට පෙරාතුව තිබිය යුතු නොවේද? සීගිරි ගී එවැනි සම්ප්‍රදායකින්, කාව්‍ය වංශයකින් ශේෂ වූ නිර්මාණ සමූහයක් නොවේ ද? නැත් නම් නැති වී යමින් පැවැති කාව්‍ය වංශයක නටබුන් විය නොහැකි ද?

කිසිදු සාර්ථක උසස් නිර්මාණයක් ඕපපාතිකව බිහි නොවන බව අප දන්නා කරුණකි. එසේ නම් සීගිරි ගීවලට මුල් වූ උසස් කාව්‍ය සම්ප්‍රදායත්, කාව්‍ය වංශයත් ඊට පෙරාතුව තිබෙන්නට ඇතුවා නොඅනුමානයි. මේ කාරණය සීගිරි ගී ගැන කතා කරන බොහෝ විචාරකයන්ට අමතක වූ කාරණාවක් බව අපිට පෙනෙයි.

කෙසේ නමුත් පරණවිතාන සූරීන්ගේ තියුණු විචාරක්ෂියට නම් මේ වැදගත් කරුණ යොමු වී තිබුණු බව අපට පෙනෙයි. ඒ පිළිබඳ දිගන් දිගට කරුණු දක්වා නැති නමුත් මේ කරුණ ඔහුගේ මනසට ප්‍රබල ලෙස යොමු වී තිබුණු බවට පරණවිතානයන්ගේ ‍මේ කියමන්වලින් පෙනෙයි.

සීගිරි ගී ලියූ කවීන් එකල වූ කාව්‍ය වංශය පිළිබඳ අවබෝධයක් ලබා උන් පිරිසක් වූ බව ගැන සැකයක් ඇති විය නොහැකිය. අපට මෙන් එදා විසූ ඔවුන්ට ද ඔවුන් අගයන, ගුරු තනතුරෙහි ලා සලකන සම්භාව්‍ය කවීන් සිටින්නට ඇත. සිය ගී ලියන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ඒ තමන්ගේ හද බැඳගත් කවීන් අනුගමනය කරන්නට ඇත.

පරණවිතානයන්ගේ තවත් කියුමක් මෙසේයි:

“අපගේ සීගිරි ගී කවීන්ගෙන් වැඩි දෙ‍නකු විසින් දැඩි සේ පිළිපදින ලද කවිබසක් එකල වූ බව පෙනෙන්නට තිබේ. කවියට සුදුසු යැයි සලකන ලද කවි බසක් ඒ වන විට පැලපැදියම් වී තිබෙන්නට ඇත. ඇතැම් වදන් හා යෙදුම් ඒවා සතුව තිබූ කවි ශක්තිය නිසා කවීන් විසින් වහරන ලද කාව්‍යෝක්ති බවට පත්ව තිබෙන්නට ඇත. මේ නයින් බලන කල අපගේ මේ කුරුටු ගී ඒ අවධිය තුළ වූ දැන් අප කෙරෙන් ගිලිහී ගොස් ඇති කාව්‍ය වංශයක ස්වභාවය පිළිබිඹු කෙරෙන නිර්මාණ ලෙස සැලකිය හැකියි.”

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අන්තර්ඥාන නිරීක්ෂණය තවදුරටත් හිතලුවක් නොව පිළිගත යුතු ඇත්තක් බව සනාථ කිරීමට තව අවශ්‍යව ඇත්තේ එකම සාක්ෂ්‍යයක් බව සහෘදයාට දැන් පෙනෙනවා ඇති. ඒ අවශ්‍ය සාක්ෂ්‍ය නම්, පරණවිතානයන් කියන ඒ නැතිව ගිය කාව්‍ය වංශය පාදා ගැනීමයි; අඩු තරමෙන් ඒ කාව්‍ය වංශයේ නටබුන්වත් දැකගැනීමයි.

ඒ කාව්‍ය වංශය අද අපට දැක ගන්නට නොහැකි බව අපි කවුරුත් දනිමු. ඒත් එවැනි උසස් කාව්‍ය වංශයක නටබුන් වත් අපට දැක ගන්නට නොහැකි ද?

එවැනි නටබුන් අපට සොයා දැකගත හැකි බවත් අපගේ පරිකල්පන ශක්තිය යොදා ඒ නටබුන් පිරික්සා බැලුව හොත් ඒ නැති වී ගිය උසස් කාව්‍ය වංශය පිළිබඳ අවබෝධයක් අපට ලබාගත හැකි බවත් මගේ වැටහීමයි.

මේ නටබුන් සොයාගත හැකි ග්‍රන්ථ දෙකක් අප සතුව තිබේ. ඒ දෙක නම් ‘සිදත් සඟරාව’ සහ ‘එළුසඳැස් ලකුණ’ය. මේ පොත් දෙකම ලියැවී ඇත්තේ දහ හතර වැනි ශත වර්ෂයේ පමණ ය. ඒ අනුව අර උසස් දේශීය කාව්‍ය සම්ප්‍රදාය, ‘මුවදෙව්දාවත’, ‘සසඳාවත’, ‘කව්සිළුමිණ’ ආදි වූ අනුකාරක කෘති ලියූ යුගයේ ඊට පටහැණි මඟක් ගත් කවීන් පරපුරක් අතරේ නොමැරී පැවැතුණ බව මම විශ්වාස කරමි.

‘සිදත් සඟරාව පුරාණ සන්නසේ’ අසක්දා කව නමැති කාව්‍යයෙන් ගත්, ඉතා රමණීය කාව්‍ය පාඨ හතරක් තිබේ. ඒවා මෙසේයි:

1. තමා වදනය ‍ෙපාමින් - නොඉකතැයි හැඟේ

2. රතතන, දිදී ඉහිල් - වසනතුරෙන් රසන් දම්

කියව කර හකුළා - පැහැබර දිගු නුවන් ලා

3. සක් කැබලි සියො අගිනි - එක් පසක් යව් දිව්

4. තුනුහොළ වට හළ - යත ලබ සතොස් සිත් හළ

මේ කාව්‍ය පාඨ හතර අරභයා එය අසක් දා කවට වස්තු වූ කතා පුවතේ විවිධ අවස්ථා හා සම්බන්ධ කර, අසක්දා කව පිළිබඳ ලියන ලද අගනා විස්තරයක් ආචාර්ය යූ. ඩී. ජයසේකර මහතාගේ ‘ගී කවේ වග තුග’ නමැති පොතේ තිබේ. එය අපේ පාඨකයන් විසින් කියැවිය යුතු අගනා විස්තරයකි.

අසක්දා කව ලියැවී ඇත්තේ සවැනි සියවසේ අග්බෝ රජුගේ කාලයේයි. ඒ කාලයේ මහා කවීන් දොළොස් දෙනකු පමණ සිටිය බව නිකාය සංග්‍රහයේ කියවෙයි. අසක්දා මල ඒ ‍දොළොස් මහා කවීන්ගෙන් කෙනෙකි. අසක්දා කව ලිවීම නිසා අසක්දා මල යන නමින් ඒ කවියා හඳුන්වන්නට ඇති බව අපට සිතාගත හැකිය.

මේ අසක්දා කව කෙබඳු නිර්මාණයක් ද? ඊට වස්තු කොට ගෙන ඇත්තේ ජාතක පොතේ ඇති ආසංඛවතී ජාතකයයි.

ඒ කතාව ඉතා ලුහුඬින් මෙසේයි:

හිමාල වනයේ විල් තෙරක් අසල බවුන් වඩන තාපසයෙක් අසපුවක් තනාගෙන ජීවත් වෙයි. ඔහු දිනපතා උදෑසන මුව දෝවනය පිණිස විල්තෙරට යයි. මෙසේ යන ඔහුට දිනක් විල මැද පිපී ඇති විශාල නෙලුම් මලක් පෙනෙයි. මේ නෙලුම දින ගණනක් පර නොවී තිබෙන බව දකින තවුසාට සැකයක් පහළ වෙයි. පියුම වෙත ගොස් බලන තවුසාට ඔහුගේ දෑස අදහා ගන්නට බැරි වෙයි. ඒ තුළ කුඩා කුමාරිකාවක් සිටියි. කුඩා කුමාරිකාව දැකීමෙන් වශි වී ගිය සිත් ඇති තවුසා ඈ රැගෙන අවුත් සිය අසපුවේ රඳවා ගනී. කුමාරිකාව ක්‍රමයෙන් වැඩී දිව්‍යාංගනාවක බඳු රූප ශ්‍රීයෙන් යුතු ස්ත්‍රියටක් බවට පත් වෙයි. ඈ ද තවුසාට උවැටන් කරමින්, ඔහුගේ දියණියක් ලෙස අසපුව තුළ වාසය කරයි. දිනක් දඩයමේ පැමිණි වැද්දෙක් මේ කුමාරිකාව දකියි. වැද්දා ආපසු නගරයට ගොස් ඒ රටේ රජ්ජුරුවන්ට මේ පුවත අසවල් අසපුවෙහි දිව්‍යාංගනාවක් බඳු ස්ත්‍රියක් ඉන්නා බව කියයි. ඒ අසන රජ ආසාවෙන් වෙළී ගොස් පිරිවර සේනාවක් රැගෙන හිමාල වනයට පැමිණ තවුසා හමු වෙයි. මේ කුමරිය තමාට පාවා දෙන ලෙස රජතුමා තවුසාට කියයි. එවිට තවුසා‍ගේ පිළිතුර වන්නේ කුමාරියගේ නම කීමට රජු සමත් වේ නම් ඈ ඔහුට පාවා දෙන බවයි. අසපුවෙහිම ලැගුම් ගන්නා රජ ඉන්පසු කරන්නේ තවුසා වෙත විවිධ නම් ඉදිරිපත් කිරීමයි. ඒත් ඒ එකක් වත් ඇගේ නම නොවෙයි. මෙසේ අවුරුද්දක් ගිය තැන රජතුමා කුමාරියගේ නම කිව නොහැකිව ආපසු යන්න හදයි. සිය මනෝරථය පුරා නොගෙන ආපසු නොයන ලෙස කුමාරිය රජුට කියයි. රජු තවත් අවුරුද්දක් ඉඳගෙන පෙර ලෙසම විවිධ නම් ඉදිරිපත් කරයි. ඒත් ඒ එකක්වත් ඇගේ නම නොවෙයි. රජු යළිත් ආපසු යන්න හදයි. කුමාරිය එවිට ඔහු වළක්වා සිය මනෝරථය සපුරාගෙන යන ලෙස කියයි. රජු යළිත් අවුරුද්දක් අනේක ප්‍රකාර දුක් විඳිමින් ඇගේ නම කීමට තැත් කරයි. අවසානයේ රජතුමා කුමාරිය වෙත පැමිණ මෙසේ කියයි. දැන් මෙහි පැමිණ අවුරුදු කීපයක්ම ගතවී අවසානයි. මෙහි විසීම නිසා මගේ ගත ද අබලන්ව ගොස් කුෂ්ඨ රෝගයක් ද වැලඳී තිබේ. දැන් මගේ හද තුළ ඇති ආසාව ද නැතිවී ගොසිනි. මම දැන් ආපසු යමි. එවිට කුමාරිය කියයි; “දැන් ඔබ කීවේ මගේ නමය, ආසා තමයි මගේ නම.” රජතුමා තවුසා වෙත ගොස් ඇගේ නම ආසා බව කියයි. තවුසා ඉන්පසු කුමාරිය රජුට පාවා දෙයි.

ආසංඛවතී ජාතකයේ කතාව මෙයයි

මේ රමණීය කතාව ගැබ්කොට ගත් අසක්දා කව නොඅනුමානව ශ්‍රේෂ්ඨ කාව්‍යයක් වන්නට ඇතැයි අපට කියන්නට පුළුවනි. මන්ද: මේ කතා වස්තුවම උසස් ගණයේ කාව්‍ය චින්තාවක් පසු කලෙක අපේ ගී කව් තුනට වස්තු වූ ආකාර දුඹුලු නීරස පුවතක් නොවෙයි. එපමණක් නොව, මේ ආසංඛවතී ජාතක කතාව බුදු දහමේ හරය, බෞද්ධ ජීවන දෘෂ්ටියේ සාරය ගැබ්කොට ගත්තක් බව අප‍ට පෙනී යා යුතුයි. බෞද්ධ ජීවන දෘෂ්ටිය විසින් අපට කියනු ලබන්නේ තෘෂ්ණාවෙන් වෙළී ඇලී ගැලී විසීම අත්හළ යුතු බවයි. ඇලීම වෙනුවට විඳීම මුල් කරගත් මඟක් අප විසින් සේවනය කළ යුතු බවයි; “පදුමංච නෝයේන අලිම්පමානෝ” යන පියුමේ වත අප විසින් වැඩිය යුතු බවයි. අසංඛවති ජාතකය ඒ පියුම් වත අපට පෙන්වා දෙන කතාවක්. තෘෂ්ණාවෙන් පීඩිත වූ රජතුමාට කුමාරිය ලබාගත හැකි වන්නේ ඒ තෘෂ්ණාව මැඩ ගත් විටයි. මෙවැනි බෞද්ධ ජීවන දෘෂ්ටිය ගැබ් කොටගත් එකද කාව්‍යයක් දැනට අප සතුව ඇතැයි අපට කියන්න පුළුවන් ද?

ආසාංඛවතී කතාව විවිධ අරුත් ගැබ් කොට ගත් ඉතා අර්ථාන්විත ජීවන පුවතක් බව අපට පෙනී යා යුතුයි. එහි ඉන්න රජු අද අප අතර ඉන්නා අනුකාරක උගතුන්ගේ සංකේතයක් බඳුයි. ලොව ඇති සියලු දැනුම දැන සිටියත් තමන්ගේ හදවත දෙස බලා එහි ඇත්තේ කුමක් දැයි දැකගැනීමට මෙවැන්නවුන් අසමත් ය. කතාවේ ඇති තවුසාගේ චරිතය ද මිනිස් හදවතේ ඇති අඳුරු ආගාධ පිළිබිඹු කරන චරිතයකි.

මෙවැනි අර්ථාන්විත ගැඹුරු පුවතක් ගැබ් කොටගත් කාව්‍යයක් නිර්මාණය කිරීමට පෙලඹෙන කවියා නොඅනුමානව ඉතා උසස් රුචිකත්වයක් ඇති කෙනකු විය යුතුයි. අනුරාධපුරයේ ගල් කැටයමෙන් පිළිබිඹු කරන රුචිකත්වයට සරිලන රුචිකත්වයක් ඇත්තකු විය යුතුයි.

මේ කරුණු සලකා බලන විට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සැක කළ, අන්තර්ඥානයෙන් දුටු ශ්‍රේෂ්ඨ කාව්‍ය වංශයක් මේ යුගයේ තිබෙන්නට ඇති බවත් අසක්දා කව ඒ කාව්‍යවංශය හෙබවූ එක් නිර්මාණයක් වන්නට ඇති බවත් අපට එකහෙළාම පිළිගත හැකියි. මේ කරුණ එළුසඳැස් ලකුණේ ඇති කව්වලින් ද තවදුරටත් ඔප්පු වේ යැයි මම සිතමි. ‘එළු සඳැස් ලකුණේ’ නිදර්ශන වශයෙන් ඇති ගී සිව්පදවලින් වැඩි ගණනක් දේශීය මඟක් ගත්, අලංකාරවාදයට ගැති නොවූ උසස් නිර්මාණ බව අපට පෙනෙයි. ඒවා එක්කෝ අසක්දා කව පහළ වූ යුගයේ ලියන ලද ඒවා විය යුතුයි. අසක්දා කවෙන් හෙළි වන දේශීය සම්ප්‍රදායේ පිහිටා අනුකාරක අලංකාරවාදය පිටුදකිමින් කාව්‍ය නිර්මාණයෙහි යෙදුණු කවීන් පරපුරක් දිගින් දිගටම අපේ කාව්‍ය ක්ෂේත්‍රයේ ඉන්නට ඇතැයි නිගමනය කිරීමට නොයෙක් සාක්ෂි අපට තිබේ. සසඳාකරුවන් විසින් “මුව පදයෙහි යුහු දෙන නොවත පද ඇල තරණට” යනුවෙන් නිගාවට ලක් කරන්න ඇත්තේ මේ දේශීය මඟ ගත් කවීන් විය යුතුයි.

මාර්ටින් වික්‍රමසිංහයන් සිය අන්තර්ඥානයෙන් දුටු මේ කාව්‍ය වංශය, සම්ප්‍රදාය සත්වැනි සියවසින් පමණ පසු අපට අහිමි වූයේ කුමක් නිසා ද යන්න පිළිබඳත් අවසාන වශයෙන් ඉතා සැකෙවින් යමක් කීවොත් ප්‍රයෝජනවත් වන්නට පුළුවනි.

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සත්වැනි සියවසින් පසු අපි අනුකාරකයන් බවට පත් වී අපගේ ජාතික අනන්‍යතාව නැති කරගත් පිරිසක් වූ බව පැහැදිලි කරුණකි. මේ බව මාර්ටින් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම පෙන්වාදී තිබේ. සත්වැනි සියවසින් පමණ පසු අප අනුකාරක ජාතියක් බවට පත් වී වැනසී ගිය සැටි පෙන්වන හොඳම කැඩපත අපගේ කාව්‍ය වංශය කියා මම සිතමි.

අප වනසාලූ මේ අනුකරණය අපට මුලින්ම දකින්නට ලැබෙන්නේ අපේ භාෂාවෙහිය. මේ යුගයේ පහළ වූ ‘හලන්ත’ භාෂාව සම්පූර්ණ අනුකාරකයක් පණ්ඩිතයන්, විදග්ධයන් පොදු ජනයාගෙන් වෙන් කර, වෙනම පන්තියක් බවට පත් කළ මාර්ගය හලන්තය, මානවම්මගෙන් පටන් ගත් ‘සංස්කෘතය’ පස්සේ යෑම තුළින් පහළ වූ විකෘතියක් බවයි මගේ වැටහීම.

ඒ හලන්තයට අසු වූ අපගේ බස ඊළඟ සියවස් දෙක තුන තුළ දීන අනුකරණයට ඉතා හොඳ මාධ්‍යයක් වීම පුදුමයක් නොවෙයි. එහෙත් හලන්තයට අසු වුවද අපේ කවීන්ට තරමක් දුරට හෝ සිය දේශීය උරුමය රැකගැනීමට පුළුවන් වූ බව සීගිරි ගීවලින් පෙනෙයි. ඒ දේශීය උරුමය අප සහමුලින් නැති කරගන්නේ අලංකාරවාදය කරපින්නා ගැනීමෙන් පසුවය. සියබස්ලකර ඒ සන්ධිස්ථානය පෙන්නුම් කරයි. මේ අලංකාරවාදයට යට වීම කොතරම් දුරදිග ගියා ද යන්න අපට අපගේ ගී කව් තුනෙන් පෙනෙයි. මේ ගී කව් කියූ කාලය වන විට අප හලන්ත අනුකරණයෙන් මිදුණ ද අලංකාරවාදයෙන් මිදීමට අසමත්වන වන බව අපට පෙනෙයි. දහවන එකළොස් වැනි සිය වස වන විට අප අපගේ කව් බස, කාව්‍ය කෘති ආදිය අතින් පමණක් නොව ජීවන හර, පුරුෂාර්ථ අතින් ද අනුකාරකයන් බවට පත් වූ සැටි පෙන්වන ඉතා හොඳ කැඩපත ‘කව්සිළුමිණ’ මහා කාව්‍යය බවයි මගේ වැටහීම.

අපේ වත්මන් පඬුවන් ‘කව්සිළුමිණ’ අප සතු ශ්‍රේෂ්ඨම කාව්‍යය ලෙස හුවා දක්වන විට, වික්‍රමසිංහයන් සිය ‘සිංහල සාහිත්‍යයේ නැඟීම’ මඟින් එය අනුකාරක නිසරු කාව්‍යයක් ලෙස පෙන්වා දීම එතුමා සතුව පැවැති අදීන චින්තනය හෙළි කරන්නක් ලෙස අපට සැලකිය හැකියි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.