උඩරට වෙස් නැටුම බවට පත්වූ යක්ෂ නැටුම | සත්මඬල

උඩරට වෙස් නැටුම බවට පත්වූ යක්ෂ නැටුම

නර්තන ඉතිහාසය සම්බන්ධයෙන් අපට මෙහිදී ඇසිය හැකි ප්‍රශ්න දෙකක් ඇත. වර්තමානයේ “උඩරට නැටුම්” ලෙස හඳුන්වන නැටුම් යටත්විජිත සමයේදී “යක්ෂ නැටුම්” ලෙස හැඳින්වූයේ ඇයි ද යන්න ඉන් පළමුවැන්නයි. දෙවැනි ප්‍රශ්නය වන්නේ එසේ යක්ෂ නැටුම් ලෙස යටත්විජිත සමයේදී හැඳින්වූ නැටුම් පසු-යටත්විජිත අවධියේදී උඩරට වෙස් නැටුම ලෙසින් ගෞරවාර්ථයට පත් වන්නේ කෙසේද යන්නයි.

වර්තමානයේ “උඩරට වෙස් නැටුම” සිංහලයන්ගේ සංස්කෘතික සහ ජාතික අනන්‍යතාව විදහා දක්වන ගම්භීර නැටුමක් ලෙස සැලකුණද, එයට ජාතිකත්වය ආරෝපණය කිරීමේ ඉතිහාසය එතරම් ඈතකට නොයයි. ඒ ජාතිකත්වය පසුගිය ශතවර්ෂයේදී නැටුමට ආරෝපණය කෙරුණකි. පොදුවේ ගත් කල අප අද “උඩරට නැටුම” ලෙස හඳුන්වන නැටුම්, යුරෝපීය යටත්විජිත සමයේ හඳුන්වන ලද්දේ “යක්ෂ නැටුම්” (devil dance) ලෙස හෝ “සිංහල යක්ෂ නැටුම්” (Sinhalese devil dance) ලෙසිනි. මෙය යටත්විජිත සමයේ විවිධ සටහන්වල ඉංග්‍රීසියෙන් “Singhalese devil dance” හා “Cingalese devil dance” ලෙසද හමු වේ. නර්තන ඉතිහාසය සම්බන්ධයෙන් අපට මෙහිදී ඇසිය හැකි ප්‍රශ්න දෙකක් ඇත. වර්තමානයේ “උඩරට නැටුම්” ලෙස හඳුන්වන නැටුම් යටත්විජිත සමයේදී “යක්ෂ නැටුම්” ලෙස හැඳින්වූයේ ඇයි ද යන්න ඉන් පළමුවැන්නයි. දෙවැනි ප්‍රශ්නය වන්නේ එසේ යක්ෂ නැටුම් ලෙස යටත්විජිත සමයේදී හැඳින්වූ නැටුම් පසු-යටත්විජිත අවධියේදී (postcolonial period) උඩරට වෙස් නැටුම ලෙසින් ගෞරවාර්ථයට පත් වන්නේ කෙසේද යන්නයි. මේ ලිපියේ දී සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ මෙයින් පළමුවැනි ප්‍රශ්නයයි.

උඩරට නැට්ටුවන් “ඩෙවිල් ඩාන්සර්ස්” ලෙසින් හඳුන්වා ඇති බව මා ප්‍රකාශ කරන අවස්ථාවලදී බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයක් ඇත. ඒ “ඩෙවිල් ඩාන්සර්ස් (එහෙම නැත්තම් යක්ෂ නැටුම්) තියෙන්නේ වෙරළබඩ පහතරට ප්‍රදේශවල නේද? උඩරට කොහෙන්ද යක්ෂ නැටුම්?” කියන ප්‍රශ්නයයි.

මේ ප්‍රශ්නය මතුවීමට එක් හේතුවක් වන්නේ යටත්විජිත සමයේ දේශීය නර්තනය පිළිබඳ පළ වී ඇති ශාස්ත්‍රීය කරුණු අල්ප වීමයි. පහතරට යැයි සම්මත ප්‍රදේශවල, විවිධ යක්ෂයන්, රාක්ෂයන් සංකේතවත් කරන වෙස්මුහුණු සහිතව කරන නැටුම් යක්ෂ හෝ රාක්ෂ නැටුම් ලෙස අපි අදටත් හඳුන්වමු. උඩරට ප්‍රදේශවල පවතින නැටුම්වලට අපි අද යක්ෂ නැටුම් යැයි නොකියමු. එහෙත් යටත්විජිත සමයේ උඩරට නැටුමේ ඉතිහාසය සම්බන්ධ මගේ ආචාර්ය උපාධි පර්යේෂණවලින් පෙනී යන්නේ වෙස් නැටුම්, බෙරවාදකයන්, සහ කළගෙඩි දරා සිටින කාන්තාවන් පවා යුරෝපීයයන් හඳුන්වා ඇත්තේ “යක්ෂ නැටුම්” ලෙස බවයි. මේ ලිපියේ අන්තර්ගතව ඇති යටත්විජිත සමයේදී ගන්න ලද ඡායාරූපවලින් මෙය සනාථ කරගත හැකිය.

දේශීය නැටුම් සම්බන්ධව පර්යේෂණ සිදු කළ ජර්මන් මානව විද්‍යාඥවරියක වන එවා ඇම්බෝස් (Eva Ambos) “The Changing Image of Sinhalese Healing Rituals: Performing Identity in the Context of Transculturality” ලිපියේ දක්වන පරිදි යටත්විජිත ලේඛනවල “ඩෙවිල් ඩාන්ස්” නැත හොත් යක්ෂ නැටුම් යන පදය අපහැදිලි, අස්ථාවර ලෙස යෙදී ඇත (2011). යටත්විජිත පාලන සමය තුළ උඩරට වෙස් නැටුම යක්ෂ නැටුම ලෙස හඳුන්වා ඇත්තේ ඇයි දැයි අසන්නකුට එළඹිය හැකි උපන්යා ස දෙකක් පවතී. යුරෝපීයයන් සිංහල “යක්” යන පදය වැරදි ලෙස අර්ථකථනය කරන්නට ඇතැයි සිතීම ඉන් එකකි. සිංහල භාෂාවේ “යක්” යන පදයේ යක්ෂ යන සහ දේව යන අර්ථ දෙකම ගැබ්ව තිබුණද යුරෝපීයයන් එම පදයේ සංකීර්ණතාව වටහා නොගෙන එහි ඇති යක්ෂ අර්ථය පමණක් සලකා වෙස් නැටුම යක්ෂ නැටුම ලෙස හැඳින්වූවා ද? මෙය යම් තරම් දුරකට විශ්වාස කළ හැකි අදහසක් වුවත් සාක්ෂි වැඩිපුර ලැබෙන්නේ මා මෙහිදී දක්වන දෙවැනි අදහසටයි. ඒ යුරෝපීයයන් දේශීය ඇදහිලි හා බැඳි නර්තන, ක්‍රිස්තියානි ඒක දේව දෘෂ්ටියකින් විග්‍රහ කිරීම නිසා උඩරට වෙස් නැටුම යක්ෂ නැටුම ලෙස හඳුන්වා ඇති බවයි.

උඩරට වෙස් නැටුම ලෙස අද අපි හඳුන්වන නැටුම උඩරැටියන්ට පූජනීය නැටුමක් වුවත් යටත්විජිත සමයේදී ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටියකින් බැලූ අයවලුන් ශාන්තිකර්ම ආශ්‍රිත වූ බැවින් වෙස් නැටුම යක්ෂ නැටුමක් ලෙස හඳුන්වා ඇත. මන්ද ක්‍රිස්තියානි ඒක-දේවවාදී දෘෂ්ටියෙන් බැලූ කල පැවතිය හැකි ලබ්ධීන් දෙක වන්නේ දෙවියන් ඇදහීම හා යක්ෂයා ඇදහීමයි. එබැවින් උඩරට ප්‍රදේශවල වැසියන් කොහොඹා දේව ඇදහිල්ල වෙනුවෙන් කරන කොහොඹා යක් කංකාරි ආදී ශාන්තිකර්ම යටත්විජිත පාලකයන් සහ මිෂනාරි ආගමික නායකයන් දැක ඇත්තේ යක්ෂයන් ඇදහීමක් ලෙසයි. උඩරැටියන්ට එය දෙවියන් වෙනුවෙන් කරන කංකාරියක් නැතහොත් ශාන්තිකර්මයක් වුවත් යුරෝපීයයන් එය දැක ඇත්තේ යක්ෂයා වෙනුවෙන් කරන නැටුමක් ලෙසයි.

සිංහලයාගේ යක්ෂ නැටුමක් ලෙස අවමාන අර්ථයෙන් මෙම නැටුම හැඳින්වුවද යටත්විජිත ප්‍රේක්ෂකයන් සඳහා මෙම නැටුම ප්‍රදර්ශන අංගයක් ලෙස ශ්‍රී ලංකාවේදීත් පිටරටවල දීත් ඉදිරිපත් කොට ඇත. මේ හා සම්බන්ධ ප්‍රධානම සිද්ධිය 1875 දී වේල්ස් කුමරු ලංකාවට පැමිණෙන අවස්ථාවේදී සිදුවන අතර, පසුව “ඩෙවිල් ඩාන්සර්ස්” ලෙසින් යුරෝපයේ සහ ඇමරිකාවේ පැවති යටත්විජිත ප්‍රදර්ශනවලට (colonial exhibitions) වෙස් නැට්ටුවන් ඉදිරිපත් කරන ලදී. මුල් කාලයේ ඡායාරූප සහ සංචාරක වර්තා චිත්‍රපටවලද උඩරට නැට්ටුවන් හඳුන්වා ඇත්තේ “ඩෙවිල් ඩාන්සර්ස්” ලෙසිනි.

උඩරට වෙස් නැටුමට “ඩෙවිල් ඩාන්සර්ස්” ලෙසින් ප්‍රබලම ප්‍රචාරණයක් ලැබුණු අවස්ථාවක් ලෙස 1875දී වේල්ස් කුමරු ලංකාවට පැමිණීම සඳහන් කළ හැකිය. මේ අවස්ථාවේදී යටත්විජිත රාජ්‍ය නිලධාරීන් සහ උඩරට රදලයන් වේල්ස් කුමරුගේ වින්දනය වෙනුවෙන් දෙසැම්බර් 2 විශේෂ පෞද්ගලික පෙරහරක් සහ දෙසැම්බර් 3 දින මහනුවර වීදි සංචාරය කළ පෙරහරක් සංවිධානය කෙරිණි. එතෙක් කොහොඹා යක් කංකාරිය සහ වලි යක් මංගල්‍යය වැනි ශාන්තිකර්මවල යෙදුණු යක්දෙස්සන් මුල්ම වතාවට විනෝදාර්ථය සඳහා යෙදවීමක් අපට දැකගත හැකි වන්නේ මේ අවස්ථාවේදීය. උඩරට වෙස් නැට්ටුවන් විනෝදාර්ථය වෙනුවෙන් වීදිවල නැටූ අවස්ථාවක් අපට මීට පෙර ඓතිහාසික සාධකවලින් හමු නොවේ. රාජකීයයන් සඳහා සංවිධානය වුණු මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා ලන්ඩනයේ සිට The Graphic සහ Illustrated London News යන සඟරාවල සනිදර්ශකයන් (Illustrators) පැමිණි අතර ඔවුන් ඇඳි රූපසටහන් ලිතෝග්‍රාෆ් මුද්‍රණ ලෙසින් ලන්ඩනයේ පළ විය. ඔවුන් එහිදී වෙස් නැට්ටුවන් හඳුන්වා ඇත්තේ “ඩෙවිල් ඩාන්සර්ස්”ලෙසයි.

වේල්ස් කුමරු වෙනුවෙන් මහනුවර දී ඉදිරිපත් කළ පෙරහර දේශීය නර්තන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කරයි.

මෙයට හේතු වන්නේ ඒ පෙරහර ලංකාවේ අනන්‍යතාව දක්වන සංස්කෘතිකාංගයක් ලෙස පසු කාලයේ ලෝකයේ ජනප්‍රිය වීමයි. පසු කාලයේ විදේශිකයන් හමු වේ සිය සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්වීමට ශ්‍රී ලාංකිකයෝ පෙරහර නැමැති මේ සංස්කෘතික සංකේතය යොදා ගැනීම ආරම්භ කළෝය. වේල්ස් කුමරු වෙනුවෙන් කළ පෙරහර සහ එහි නැටුම් අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය කරවීමට මූලිකත්වය සැපයුවේ ජර්මන් ජාතික සත්ත්ව පුහුණුකරුවකු සහ ආයෝජකයකු වූ කාර්ල් හාගන්බෙක් (Carl Hagenbeck) සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනායි. හාගන්බෙක් 1886 ලන්ඩනයේ පැවැත්වූ Hagenbeck’s Great Ceylon Exhibition නම් ප්‍රදර්ශනය සඳහා සැකසූ දැන්වීමේ සඳහන් කර තිබුණේ “වේල්ස් කුමාරයා අවසන් වරට ලංකාවට ගිය අවස්ථාවේ මහනුවරදී ඔහු ඉදිරියේ දැක්වූ පෙරහර වගේම පෙරහරක්” ලන්ඩන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන බවයි. හාගන්බෙක් සහෝදරවරුන් එවක යුරෝපයේ විවිධ රටවල පැවැති යටත්විජිත ප්‍රදර්ශන සඳහා දේශීය නැට්ටුවන්, බෙරවාදකයන් සහ අලි ඇතුන් රැගෙන ගියහ. යුරෝපීයන්ගේ සහ යටත්විජිත පාලකයන් ගේ මහේශාක්‍ය ප්‍රදර්ශනය කෙරුණු මේ යටත්විජිත ප්‍රදර්ශනවල උඩරට වෙස් නැට්ටුවන්ව “ඩෙවිල් ඩාන්සර්ස්” ලෙසින් ප්‍රදර්ශනය කෙරිණි. යටත්විජිත ප්‍රදර්ශනවල උඩරට නැට්ටුවන්ගේ ඇතැම් අත්දැකීම් සටහන් කොට ඇති බ්‍රිතාන්‍යය ජාතික නර්තන විචාරක බෙරිල් ඩි සූ සිය Dance and Magic Drama in Ceylon (1957) කෘතියේ දක්වන ආකාරයට ඒ ප්‍රදර්ශනවලදී සිංහල නැට්ටුවන් “වනචාරි මිනිසුන්” (wild men) ලෙස හඳුන්වා ඇති අතර උඩරට නර්තන සේදරමන් මහතා නැට්ටුවන්ට වූ අගෞරවය හේතුවෙන් හාගන්බෙක් වගඋත්තරකරු කොට නඩුවක් ද පවරා ඇත.

මේ අනුව අපට පෙනෙන්නේ වර්තමානයේ ‘උඩරට වෙස් නැටුම’ ලෙසින් සලකනු ලබන නැටුම් යටත්විජිත අවධියේදි ‘යක්ෂ නැටුම්’ ලෙස හඳුන්වා ඇති බවත්, උඩරට නර්තනය ලෙස අද අප සලකන නර්තන සම්ප්‍රදායේ ඉතිහාසය හා සම්බන්ධ ඉතා වැදගත් කරුණු රැසක් ශ්‍රී ලංකාවේ යටත්විජිත ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් අනාවරණය කරගත හැකි බවත් ය. මේ කරුණු මඟින් වර්තමානයේ දේශීය නැටුම් ඉතිහාසය සම්බන්ධයෙන් ගොඩ නැඟී ඇති ඇතැම් අදහස් හා විශ්වාස අභියෝගයට ලක් වෙයි. ඒ වගේම ඒ ඉතිහාසය අධ්‍යයනයෙන් අතීතයේ නැට්ටුවන් ප්‍රභූන්ගේ වින්දිතයන් පමණක් නොව තමාගේ තත්ත්වය යහපත් කර ගැනීම සඳහා අරගල කළ පිරිසක් ලෙසත් අපට හඳුනාගත හැකිය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.