ග්‍රැෆික් රූපයේ අැරඹුම සොබාදහම ඉක්මවා යෑමයි | සත්මඬල

ග්‍රැෆික් රූපයේ අැරඹුම සොබාදහම ඉක්මවා යෑමයි

අක්මුල් නැති සන්නිවේදනයේ වපසරිය කොතෙක් පමණ දැයි ගණන් බැලීම අසීරු ය. එය අගණිත ය; අපරිමිත ය; එතරමට ම පුළුල් ය; දිගක් - පළලක් හෝ උසක් - ගැඹුරක් හෝ දැකීමට නොහැකිය. ආරම්භයේ පටන් ම විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව, විද්‍යාඥ මතයයි. සන්නිවේදනය ද ඒ මතයට සමගාමී ය.

සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන මාතෘකාව, අද්‍යතනයේ ඉස්මතු වන තැනක් නැති තරම් ය. විවිධ සන්නිවේදන ක්‍රියාදාම අතර මුද්‍රණ ශිල්පයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මුද්‍රණ ශිල්පයේ ආරම්භය කුමන අවස්ථාවක ඇති වී ද? කුමක් අරභයා එසේ සිදු වී ද? අද්‍යතනයේ ඇත්තේ ‘සමුත්කර්ෂණ මුද්‍රණ ශිල්පය’යි.

මේ පිළිබඳ හැදෑරීමක් කරන්නට පෙර, සන්නිවේදනයේ ආගමනය ගැන ගවේෂණයක යෙදිය යුතු වෙයි. “මානව උත්පත්තියේදී, සන්නිවේදනය ද ආරබ්ධ ය” යනුවෙන් උපකල්පනය කරගත හැකිය. සන්නිවේදනයේ පරම අර්ථය වන්නේ, යම් සන්දේශයක් (message - මෙසිජ්) විකාශය කිරීම ය. මෙහිදී එකී සන්දේශය බැහැර (cast) කරන්නකු ද සිටිය යුතුය. එමෙන්ම ඒ අස්න විකාශය කිරීමට සුදුසු මාධ්‍යයක් (medium) ද තිබිය යුතු වෙයි. එහෙත් ඒ ස‍ඳෙස ලැබගන්නකු නොවී නම්, අවකාශයහි (space) ඒ අන්තර්ධාන වී යයි.

මේ විෂයය අරබයා සන්දේශය බැහැර කරන්නා වෙතින් ලැබ ගන්නා හඳුන්වන්නේ ග්‍රාහකයා (receiver) යනුවෙනි. ග්‍රහණය කරන්නේ ග්‍රාහකයා (receiver) ය. යම් හෙයකින් ග්‍රාහකයකු සිටියේ වී නම්, පණිවිඩය ග්‍රහණය කර ගැනුමට, ඒ ග්‍රාහකයාට ද එය බැහැර ලූ මාධ්‍යය ස්පර්ශ කර ගැනුම පිණිස සැදුණු උපාංගයක් තිබිය යුතු වෙයි. අංගය යනු, ඇඟ ය. නොහොත් ශරීරය ය. එබැවින් උපාංගය යනු සිරුරට සම්බන්ධ වී තිබෙන උප - අංගයකි. එය, ආයුධයක් හෝ ආයුධයක් නොහොත් මෙවලමක් හෝ උපකරණයක් (implement) විය හැකිය. එසේ හෙයින් එයට ස්පර්ශකයක් (antenna) යැයි කිව හැකිය. ඒ නම් විසිර යමින් පවතින සන්දේශයක්, ස්පර්ශ කරගෙන, ඒ අත්පත් කර ගැනීම (receiving) ය. එවිට ඒ පණිවිඩයට ග්‍රාහකයා ප්‍රතිචාර දක්වයි. එය හරියට ම ආසාදනයක් ඇති වන්නාක් මෙන් ය.

ආසාදනය යනු, කෙනකුගෙන් තවත් කෙනකුට රෝගයක් බෝවීම ය. ඩෙංගු මදුරුවා විසින් පුද්ගලයකුට දෂ්ට කරනු ලබයි. එවිට ඩෙංගු රෝග බීජයක් මදුරුවාගෙන් බැහැර වෙයි. දෂ්ටය ලද්දා ග්‍රාහකයා බවට පත් වෙයි. එකල්හි, දෂ්ටය ලද්දාගේ රුධිරය තම මාධ්‍යය කොට‍ ගන්නා ඩෙංගු ‍රෝග බීජය, මුළු සිරුර පුරා ධාවනය කරවීමට එය තම අවකාශය කොට ගනී.

ඒ හේතුකව ලැබෙන ප්‍රතිඵලය වන්නේ, දෂ්ට ලද්දා, ඩෙංගු ආසාදිතයකු බවට පත් වීම ය. වැඩිදුරටත් පවසතහොත්, ඩෙංගු මදුරුවකුට මේ ආසාදිතයාගෙන් තවත් අයකුට ඩෙංගු රෝගය ආසාදනය කර හැකිය. මෙකල්හි මේ සිදුවීම චක්‍රයක් බවට පත් වෙයි.

මේ සංසිද්ධිය, සන්නිවේදන හා මාධ්‍ය ලෝකයේ ආකාරයට “විකාශය කරන්නකු විසින් බැහැර කරනු ලබන සන්දේශය ග්‍රහණය කරගන්නකු විසින් අත්පත් කරගෙන, ඊට දක්වන ප්‍රතිචාරය, යළිඳු විකාශය කළ හැකි ය. එවිට ග්‍රාහකයා විකාශකයා ලෙසට වෙස් පෙරැළෙයි” යනුවෙන් සංක්ෂිප්ත කළ හැකිය. ‍

අක්මුල් නැති සන්නිවේදනයේ වපසරිය කොතෙක් පමණ දැයි ගණන් බැලීම අසීරු ය. එය අගණිත ය; අපරිමිත ය; එතරමට ම පුළුල් ය; දිගක් - පළලක් හෝ උසක් - ගැඹුරක් හෝ දැකීමට නොහැකිය. ආරම්භයේ පටන් ම විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව, විද්‍යාඥ මතයයි. සන්නිවේදනය ද ඒ මතයට සමගාමී ය.

වසර හතරක් පමණ මා වයස් වූ කල, ගුරුවරයකු වූ මගේ තාත්තා හා සමඟ සංවාදයේ යෙදෙත්දී, ඔහු මට කියා දුන් අපූර්ව පාඩමක් වෙයි. ඒ මෙසේ ය. වඩු කාර්මිකයකු වූ මගේ සීයා - තාත්තා පාන්දර හතරට වැඩ පටන් ගනී. ඒ වකවානුව වූකලි, විසිවැනි සියවසේ දෙවැනි දශකයයි. ‍

“ඉතිං ඒ කාලෙත් එලාර්ම් ඔරලෝසු තිබුණ ද?”

“තිබුණා! එත් අපේ ගෙදර “එලාර්ම්” එකක් තිබුණෙ නෑ!!”

“එතකොට කොහොම ද, සීයා, තාත්තා හරි වෙලාවට නැඟිට ගන්නේ?”

“ඇයි තාත්තම්මා කෝපි වත්කරලා කතා කරනවනේ, අපි ඔක්කෝට ම; අපිත් කෝපි බීලා පාඩම් කරන්න පටන් ගන්නවා”

“ඉතිං තාත්තම්මා නැඟිට ගන්නේ....?”

“කුකුළා හඬලන සද්දෙට!”

“එතකොට කුකුළා හඬලන්නේ..?”

“ඒක නං මං දන්නෙ නෑ පුතා... ඒක දෙවියන් වහන්සේගේ වැඩක්”

මම දස අතේ කල්පනා කරන්නට වීමි.

“එලාර්ම් ඔරලෝසු නැතිව, කුකුළාගේ හඬට අවදි වෙන හැටි... හරිම පුදුම දෙයක්! ඒත් තාත්තා කියා දුන් අපූරු පාඩමේ, ඔහු නොදත් කොටස පිළිබඳ ඉන් එහාට කිසිවකුගෙන් නොවිමසූ හෙයින්, එය මගේ මතක‍යේ යටපත් ව ගියේ ය. ඊට වසර දහයකට පසු ව, මම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පන්තියේදී, භෞතික විද්‍යාවට මහත් සේ ඇලුම් කෙළෙමි. ආලෝකය හා වර්ණාවලිය පිළිබඳ ඉගෙන ගනිද්දී, භෞතික විද්‍යාවට මහත් සේ ඇලුම් කෙළෙමි. ආලෝකය හා වර්ණාවලිය පිළිබඳ ‍ඉගෙන ගනිද්දී, මිනිස් ඇසට පෙනෙන වර්ණ සතට එහායින්, පාරජම්බූල හා අධෝරක්ත කිරණ ඇති බවත්, ඒවා ශබ්ද තරංග ලෙස පවතින බවත්, ෙව්ල්ස් විදුහලේ, අපට භෞතික විද්‍යාව ඉගැන්වූ මොහාන්දාස් කලුපහණ මහතා කියා දුන්නේ ය. ඒ තරංගයන්ගෙන් අපගේ වායු ගෝලය ස්පර්ශ කරන්නේ පාරජම්බුල කිරණ බවත්, එවිට ඒ ගැටීම නිසා ඇති වන ශබ්දය මිනිස් අපගේ සවනට නො ඇසෙන මුත්, කුකුළන් හා කුරුල්ලන්ට ඇසෙන බවත් ඔහු පැවසුවේ ය. නිදගත් මගේ මතකය යළි අවදි විය. ඒ වසර දහයකට පසුව ය. මම එදා රෑ තාත්තාගේ පාඩමේ වූ හිඩැස, ඔහුට සම්පූර්ණ කර දිනිමි.

පාරජම්බුල කිරණ, අපගේ වායු ගෝලය ස්පර්ශ කරත්ම, ඉන් නැ‍ඟෙන හඬට සැවුලෝ ප්‍රතිචාර දක්වති. සැවුල් නාදය කන වැකෙන තාත්තම්මා අවදිව, ළිප ගිනි දල්වා, කෝපි වත් කරයි. තාත්තම්මාගේ පමණක් නොව, අගේ ද සවන ද, නිරන්තරයෙන් ම අවදියෙනි. ඇස පියවුණ ද සවන විවර ය. ඒ වනාහි මේ පෘථිවියේ වෙසෙන සෑම සත්ත්වයකුට ම පොදු ලක්ෂණයකි. වත්මනෙහි වටපිටාව නිසල නොවන නිසාත්, විවිධ සන්නිවේදන මෙවලම් හා පුරුදු නිසාත්, සැවුල් හඬට අවදි වන්නෝ විරලයහ. අද වටපිටාවේ සැවුලන් ද හිඟ ය.

රාත්‍රී ගන අඳුර විනිවිද, ආකාසයේ අරුණලු දිස්වන්නට පෙර පවත්වන සැවුලන් ගේ නාදය හේතුකව සිය නින්දට වූ බාදාවෙන් ඇස ඇරුණු ආදි මානවයා, හිරුගේ ආලෝකය විසින් ගගන තලය ස්වර්ණාලේපිත කරමින් මවන චමත්කාරය දැක ගත්තේ ය. ඉන් මානවයාගේ පරිකල්පන ශක්තිය අවදි වන්නට පටන් ගත්තේ ය. එදා පටන් දිය දම් දිනිතිය සිය ගුරුවරයා කර ගත් ඔහු ඇයගෙන් උගත්තේ ය. ඒ උගත් සියල්ල, තම දරුවන්ට කියා දුන්නේ ය. අ‍ඳෝ මැයි! කියා දෙන්නේ කෙසේ ද බසක් නැති කොට?

එබැවින් හේ පළමු කොට ම, බස උගත්තේ ය. ඔහුගේ බසෙහි පළමු අදියර, මුවින් නිකුත් කළ හැකි “හූ” හඬ වන්නට ඇත. ඒ “හූ” ව ග්‍රහණය කර, ඊට ප්‍රතිචාර දැක්වූවකුට අරුණලු නැඟි අහස් කුස දෙසට තම ඇඟිල්ලක් දිගුකර, ඒ දැක ගැනුමට ඇරැයුම් කරන්නට ඇත්තේ, තම මුහුණෙහි නැඟි විස්මයාර්ථය ද දක්වමින් විය හැකිය. එය දුටු ග්‍රාහකයා ද, තමා දුටු දේ ගැන ඇති වූ සතුට පිළිබඳ ප්‍රතිචාරය, ඒ පණිවිඩය දුන් විකාශකයාට දන්වාලූයේ, තම මුහුණේ නැඟි සතුටු සිනාවෙන් ද, මුවින් නැ‍ඟෙන ආහ්ලාදජනක ශබ්දයෙන් ද, ළඟට ඇවිත් පිටට තට්ටු කිරීමෙන් ද විය හැකිය.

ඉතිහාස යන වදන තැනී ඇත්තේ “ඉති” “ඉහ” යන නිපාද දෙකත් “ආස” යන ධාතුවත් සන්ධි වීමෙනි. “ඉති” යනු “කියන ලද” හෙවත් “මෙසේ ද”, “ඉහ” යනු “ස්ථානය” නොහොත් “මෙහි” ද, “ආස” යනු (සිදු) විය” ද, වශයෙන් අරුත් එක් තැන්ව ගත් ඉතිහාසය නම් වන්නේ “මෙසේ මෙහි විය” යනුවෙනි.

මෙකී හැම, අපගේ උපකල්පන ය. සන්නිවේදනයේ හා මාධ්‍යවල ඉතිහාසය, කිසිවකටත් කිසිම විටෙක ස්ථිරව ම කිව නො හැකිය. ‍ඒ එසේ වුව ද, අද්‍යතනයේ ගෙවී යන සෑම තත්ත්පරයක් පාසා ම, පුරාවිද්‍යා ගවේෂණ සිදු කෙරෙයි. ඒවායින් හෙළිදරව් කර ගැනෙන පෞරාණික තොරතුරු සමහරක් අප විස්මයට පත් කරවයි.‍

එක්දහස් නවසිය අනූ හතර (1994) වන ක්‍රිස්තු වර්ෂයේ ද, ගිනිකොන දිග තුර්කියේ කරන ලද කැණීම්වලදී හමුවූයේ දෙවොලක නෂ්ටාවශේෂ ය. ඉන් කියැවුණේ මෙතෙක් සොයාගෙන ඇති ඒවා හා සසඳන විට එය, ලොව පළමු වැනි දෙවොල සේ සැලැකිය හැකි බව ය. මෙහි අරුමය කිම?

එකී අවශේෂ වෙතින් හෙළිදරව් වන ආකාරයට, ඒ ඉදිකිරීම් වනාහි වාස්තු විද්‍යාත්මක ව්‍යූහ සඳහා වන පළමු වැනි නිදර්ශන කිහිපයෙන් එකක් වන බව ය.

වත්මනෙහි, ඉතිහාසය විෂයය ඉගැන්වුමෙහිදී, ආදි මානවයාගේ සාංස්කෘතික දියුණුව පිළිබඳ මෙලෙසින් විග්‍රහ කෙරෙයි; එදිනෙදා සිය දිවිය දඩයමින් සරි කරගත් මානවයාට සෑම දිනෙක ම තම අහර වේල උදෙසා වෙහෙස වන්නට සිදු විය. දඩයම් හිඟ වූ ඇතැම් දිනෙක වනයේ ගස්වල ඵල නෙළා අනුභව කරන්නට හේ පෙලැඹිණි. දඩයමේ යෑමෙන් හෙම්බත් වූ හෙතෙම, වනයේ හමුවන ඇතැම් සතුන් ඇති කරන්නට පටන් ගත්තේ ය. එසේ කිරීමෙන් වනය පුරා දිව යමින් කළ වෙහෙස වීමෙන් හේ ඉසුඹු ලැබී ය. සත්ත්වයන්ගේ මාංසය මෙන් ම කිරි ද, තම අහර වේලට ඔහු එකතු කැරැ ගත්තේ ය. සමහර දිනෙක තමන්ට අහර වුණු තුරු-ඵල හා ධාන්‍යවලට ඔහු රස වැටිණි. ඒවා පසු කලෙක ඔහුගේ අහර වේලට නිරන්තරව ම එකතු විය. එබැවින් වනයේ අතැන මෙතැන වැටෙන ඇතැම් පැළෑටි තමන් ආසන්නයේ ම වගා කැරුම, මානවයාගේ ඊළඟ ප්‍රයත්නය වූයේ ය. ඒ තමන් ලද අත්දැකීම් හේතුකව ය. ඉන් සිදු වූයේ කෘෂිකර්මාන්තයේ ඇරැඹුම ය. එතෙක් තමන් සිටි නිර්වස්ත්‍ර භාවය අබිනික්මන් කළ මානවයා, ගස්වල පොතු හා කොළවලින් තම ඉණ වැසුම් සාදා ගත්තේ ය.

දිනපතා දඩයමේ ගිය මිනිසාට නිවාඩු ගැනීමට ඉඩකඩ ලැබිණි. එතෙක් තමන්ට නිවහන් සැපැයූ ගල්ලෙන් අතැර, පල්ලි හෙවත් නිවෙස් ඉදිකැරුමට හේ උත්සුක වූයේ ය. වනයේ වෘක්ෂයන්ගේ අතුපතර එකට බැඳී සැදුණු වියන සේ, දැවැන්ත වෘක්ෂ කපා හෙළමින්, ඒවායින් සුවිසල් පල්ලි ඉදිකැරුම ඔහුගේ අභිලාශය වූයේ ය. මහ ගස් කපා හෙළනට වානේ ආයුධ තිබිය යුතු විණි. එසේ නම්, එදා මානවයා වානේවලින් ආයුධ තනා ගත්තේ කෙසේ ද?

මේ වකවානුවට පෙරාතුව හෙතෙම ආයුධ ලැබ ගන්නට ඇත්තේ අකුණු සැර වැදීමෙන් ගිනියම් වී හුණු වූ යපස් කුට්ටිවලිනි. ඒවයේ මුවහත් පැති. තම කැපුම් සැත් බවට යොදා ගත්තේ ය. අකුණු සැර වැදී හටගන්නා ලැව් ගිනිවලට හසු වූ සත්ත්වයන්ගේ මාංස‍යේ ගන්ධයට ඉව වැටී, එහි රස බැලූ මිනිසා ගින්දර භාවිතය පටන් ගත්තේ ය. සත්ත්ව මාංස අමුවෙන් අනුභව කරනවාට වඩා, ගින්නේ පළහා ගැනීමෙන් වඩාත් රසවත් වන බව වටහා ගත්තේ ය. වත්මනෙහි ද මානවයෝ, එලෙස ම සත්ත්ව මාංස ගින්නේ පළහා ගනිති. ඒවාටදී ඇත්තේ “බාබක්‍යු” යන නම ය.

කාලගුණය වියළි කල, වනයේ ළැව් ගිනි හට ගනී. ළැහැබ් හි හටගන්නා ගිනි, ළැව් ගිනි ය. වියළි කෝටු කැබැලි දෙකක් එකට අතුල්ලා, ඒ රත් වීමෙන් පැන නඟින ගිනි පුපුරුවලින් තමන්ට වුවමනා ගින්දර, මානවයා මවා ගත්තේ සුළඟ නිසා එකට ඇතිල්ලෙන ගස් අතු රත් වී වන ළැහැබ්හි හටගන්නා ගිනි ගැන විමසා බැලීමෙනි.

වනයේ වෘක්ෂවලින් නිවෙස් තනා ගැනුමට මානවයා දක්ෂ විය. එහෙත් ඔහු තනා ගත් පල්ලිවල ආකෘතිය තම මුල් නිවහන් වූ ලෙන්වලින් උකහා ගත් බවට සාධක තිබෙයි. ඒ ද, යකඩ සොයා ගැනුමට පෙර ය. ස්වාභාවික ව පිපිරී වෙන් ව ගිය පාෂාණ, එක මත එක පිහිටුවමින්, ගල් ටැම් සෑදීමටත්, ඒ මත රඳවා ගත් දිගැටි ගල් කුට්ටි මත ගල් පතුරු අතුරා, වහලයක් තනා ගැනුමටත් ඔහුට හැකි විණි.

ශුද්ධ බයිබලයේ, හෙබ්‍රෙව්වරුන් වෙත යවන පිණිස සැකැසුණු ලියැවිල්ලේ දිව්‍ය අධිකාරිත්වය පිළිබඳ හැඳින්වීම සඳහා යොදා ගැනෙනුයේ ‘ඩර්මියුජ්’ යන හෙලනික වදන ය. ඒ ග්‍රීක වදනේ අර්ථය නම්, ‘විශ්ව නිර්මාණ ශිල්පියා’ යන්න ය. ශුද්ධ බයිබලය, එසේ සඳහන් කරන්නේ දෙවිඳාණන් පිළිබඳ හැඳින්වීමට ය. විශ්ව කර්මයා හෙවත් මහා බ්‍රහ්මයා ද ඒ මය.

ඒ ශුද්ධ ලියවිලිවල ම දක්වා ඇත්තේ දිව්‍ය භාවයේ ස්වරූපයට හා සමානත්වයට අනුකූලව මිනිසාගේ භාවයත් හැඩගැන්වී ඇති බව ය. මිනිසා ද නිර්මාණශීලි සත්ත්වයකු වන්නේ එසේ හෙයිනි. දෙවියන් විසින් නිර්මාණය කරන ලද ස්වාභාවික පරිසරය ඉක්මවා නිර්මාණකරණයේ යෙදෙන්නට සැම විට ම මිනිසා උත්සුක වෙයි.

ස්වාභාවික අමුද්‍රව්‍ය, පිහිටි තත්ත්වයෙන් ම යොදා ගනිමින් කළ ඉදිකිරීම් අබිබවා තම නිර්මාණ ශක්‍යතා යොදා ගැනීම, ඔහු ඇරැඹුවේ ය.

ශුද්ධ බයිබලය පවසන පරිද්දෙන්, මිනිසාට ඇත්තේ දෘශ්‍යමාන පංචේන්ද්‍රියකි. ඇස, කන, නාසය, දිව හා සම නමැති ඉන්ද්‍රියයන් වෙතින් ඔහු ලැබගන්නා දැනුම, සිය අදෘශ්‍යමාන ඉන්ද්‍රියයන් වන ඥානය නමැති සවැන්නට ආරෝපණය කරගෙන එකී ඥානය සත්වැන්න වන බුද්ධිය අවදි කරගැනුමට ආරෝපණය කරන බව ශුද්ධ බයිබලය දක්වයි.

මෙකී අදෘශ්‍යමාන ඉන්ද්‍රිය ද්විත්වය අඩංගු වන්නේ “මනැස” යනුවෙන් වහරන, අදෘශ්‍යමාන ඉන්ද්‍රිය තුළ ය. දියදම් දිනිතිය වෙතින් උකහා ගන්නා දෑ හේතුක ව, ඒ ස්වාභාවික පරිසරය ඉක්මවා නිර්මාණකරණයේ යෙදෙන්නට, සැම විට ම මිනිසා උත්සුක වන්නේ මෙහි උපකාරයෙනි. වෙනත් ආකාරයකින් කිව හොත් දිය දම් දිනිතිය විකාශය කරන සන්නිවේදනය ග්‍රහණය කර ගනිමින් ආරම්භයක් නොදන්නා අතීතයක සිට මානවයා තම දියුණුව වෙත පිය මනිමින් සිටියි.

සිය අහර කිස උදෙසා දඩයමේ ගිය ඔහු ඉන් සෑහී තම කුස පුරවාගෙන රාත්‍රියේ ඈඳි ගත් කල, දැල්වෙන ගිනිමැලයේ ආලෝකය විසින් ලෙන් බිතු මත පතිත කරවන අනෙකුන්ගේ ඡායාවල චමත්කාරය දිටී ය. ඒ වනාහි නිසල සේයාරුවෙන් ආරබ්ධ සිනමාව පසු කර, රූපවාහිනි තිරය මත පරිගණකයෙන් මවන ග්‍රාෆික රූපවල ආරම්භය නොවේ ද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.