කියවන්න කාලය ගන්න; එය දැනුමේ අත්තිවාරමයි | සත්මඬල

කියවන්න කාලය ගන්න; එය දැනුමේ අත්තිවාරමයි

ශ්‍රේෂ්ඨ ලේඛක මැක්සිම් ගෝර්කි තරම් කියැවීමේ ඇබ්බැහි වූවකු හා පොත් අරබයා කෘතවේදී වූවකු සාහිත ලෝකය තුළ තවත් නම් සොයා ගැනීම දුෂ්කර විය හැකිය.

“මා තුළ ඇති යහපත් හැම දෙයකටම මම පොත්වලට ණයගැති වෙමි. මනුෂ්‍යයන්ට වඩා කලාව ත්‍යාගවන්ත බව මම මගේ තරුණ කාලයේදීම පසක් කළෙමි. මගේ අතට පොතක් පත් වූ විට ජීවමාන දෙයක්, ආශ්චර්යවත් දෙයක්, මා අමතා කතා කළ හැකි දෙයක්, මගේ අතට, මගේ ජීවිතයට ඇතුළු වූවාක් මෙන් දැනෙයි”

ඒ පොත් සම්බන්ධයෙන් ගොර්කිගේ ස්ථාවරයයි.

“හොඳ පොත් පත් තමාටත් අනුන්ටත් ගෞරව කරන හැටි කියා දෙනු ඇත. ඔබගේ හදවත මානව භක්තියෙන් හා දයාවෙන් පුරවනු ඇත. අදහස් හැඟීම් හා සිදුවීම් නමැති විවිධාකාර කලබල සහිත අවුල් තත්ත්වයක් තුළින් මඟ සොයා යෑමට මිත්‍රයකු මෙන් ඔබට හොඳ පොත්පත් සහාය වනු ඇත.”

කුඩා වියේදීම මවුපිය ආදරයෙන් තොරව ගෝර්කි ගෙවූ අතිශය කටුක දිවි පෙවෙත ඔහු හොඳ පාඨකයකු බවට පත් කළේය. සමහර විට ඔහු ජන්මයෙන්ම කියවීමේ ආශාව හා පොත්පත් වලට ගරු කිරීමේ ගුණය ගෙන ආවා වන්නටද පුළුවන.

එමෙන්ම මුරණ්ඩු මිනිසකු වනවා වෙනුවට ඉතා දැමුණු ගති පැවතුම් ඇති දැඩි සේ හික්මීමෙන් යුතු එඩිතර, අවංක වටිනා පුද්ගලයකු බිහි වීමට ඔහු සහජයෙන් ගෙන ආ මේ උතුම් ගති පැවතුම් හේතු වූවා විය යුතුය.

“කියවීම” විශිෂ්ට මිනිසකු ජනිත කළා පමණක් නොව ලොව නොමැකෙන නමක් තැබූ සාහිත්‍ය දැවැන්තයකු ද බිහි කළේය.

“මාක්ස්ගේ කාමරය පිහිටියේ දෙවැනි මහලේය. එහි වූ විශාල කවුළුවෙන් කාමරයට හිරු රැස් ඇතුළු විය. කවුළුව අසල විශාල පොත් රාක්ක කීපයකි. ඒවා පොත්වලින් පිරී තිබිණ. බැලූ බැල්මට ඔහුගේ පොත් රාක්ක නිසි ලෙස අසුරා නැති බව පෙනුණ ද, නිසි ලෙස අසුරා තිබිණි. තම සිරුරේ අංග මෙන් ඔහු සිය පොත් පාලනය කර ගත්තේය. ශරීර අවයව මෙන් පොත් ද ඔහුට කීකරු විය. මාක්ස් පොත්වල විශාලත්වය අනුව ඒවා වර්ග නොකළේය. ඔහු ඒවා වර්ග කළේ මාතෘකා විෂයයන් අනුව ය. ඔහුට පොත් අාධ්‍යාත්මික ආහාර විය.

 

මාක්ස් හා එංගල්ස් ගැන ස්මෘති සටහන්’ ලියමින් ලේඛක පෝල් ලපාර්ග් එසේ සඳහන් කරන්නේය. පොත් ගුල්ලකු වූ කාල් මාක්ස් “පොත් මාගේ වහලුන් බවත් ඒවා මට ඕනෑ හැටියට සේවය කළ යුතු බවත්” කියා ඇත. විශිෂ්ට වූත්, සදාතනික වූත් දේශපාලන දර්ශනයක නිර්මාතෘවරයකු බිහිව ඇත්තේ පොත්පත්වල අනුහසිනි.

“කෙනකු ලබන දියුණුවෙන් දැඩි ප්‍රමාණයක් ලබන්නේ කියැවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කියැවීම සියලු දැනුම එළිදරව් කරගැනීමේ සහ නිවැරදි අවබෝධය ලබා ගැනීමේ ප්‍රධාන මඟකි. අප සතු කියැවීමේ පුරුද්ද සහ චින්තනයේ පුරුදු බොහෝ දුරට සමාන්තර වේ. යහපත් චින්තකයන් වීමට නම් අප හොඳ පාඨකයන් විය යුතුය.”

එසේ කියන්නේ පඬිවර ෆැරැන්සිස් බේකන්ය. කෙනෙකුගේ දැනුම, බුද්ධිය, අවබෝධය සහ චින්තනය නිවැරදි කර ගැනීම උදෙසා ‘කියවීම’ ඍජුව දායක වන බව මේ අනුව පෙනී යයි. කියවීම මනසට අහාරයක් වන්නේ එහි පෝෂණය පිණිස පොතපත හේතු වන නිසා ය.

‘කැත්‍රිනා මේයර්’ අපූර්ව අදහසක් පළ කරන්නීය. “පොත්පත් කියන්නේ මැජික් එකක්. මොකද? ඔබ පුටුවේ සිටිද්දිම එයට පුළුවන් ඔබව ගව් ගානක් ඈතට රැගෙන යන්න” මෙයින් කියැවෙන්නේ චිත්තරූප මැවීමයි. චිත්තරූප මැවීමම මනසේ විචිත්‍රත්වයට හේතු වන්නකි. එය එක් අතකින් මතකය ආවර්ජනය කිරීමක් ද වන්නේය. චිත්තරූප ලෙස අප මනසේ මැවෙන්නේ බොහෝ විට අප සතු අතීත මතකයන්ය.

“රොබින් ෂර්මා” පවසන්නේ හොඳම විනය පොත් කියවීම බවය. ශ්‍රේෂඨයෙකුගේ පොතක් කියවීම යනු ඔහුගේ හිස අසලින් හිඳ සංවාදයක් කිරීම බඳු යයිද ඔහු කියයි. “පුස්තකාලයක පොත් රාක්ක අතරින් ඇවිද යන්න. ඔබට පඬිවරුන් මුණ ගැසෙනු ඇත.” ඒ ඊටම සමාන අදහසකි.

“නොකියවීමේ කලාව ඉතාම වැදගත්ය. කිසියම් දේශපාලනික හෝ ආගමික හෝ පොත් පිංචක් හෝ නවකතාවක් හෝ කාව්‍යයක් හෝ මහා කලබැගෑනියක් ඇති කරමින් තිබෙන විට ඔබ මතක තබා ගත යුත්තේ මෝඩයන්ට ලියන තැනැත්තාට හැම විටම විශාල ජනකායක් සිටින බවයි. හොඳ පොත් කියවීමේ පූර්ව කොන්දේසියක් වනුයේ නරක පොත් නොකියවීමය. මන්දයත්?

ජීවිතය කෙටි වූවක් හෙයිනි.”

එසේ කියන්නේ චින්තක ආතර් ෂෝ පෙන් හෞවර් ය.

ඒ අතර මහාචාර්ය කාල් සාගන් පොත් ගැන පවසන්නේ මෙවැනි අදහසකි.

“පොත්වලට අප සමඟ ඕනෑම තැනකට යා හැකිය. අවබෝධ කරගැනීමෙහිලා අප මන්දගාමී වන තැන්හිදී පොත් ඉවසිලිවන්ත වන්නේය. අප කැමති තරම් කාලවේලාවක් ගෙන දුෂ්කර කොටස් අවබෝධ කරගැනීම කෙරෙහි කිසි කලෙකත් විවේචනාත්මක නොවන්නේය. ලෝකය අවබෝධ කර ගැනීමෙහිලා සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සහභාගී වී මෙහිලා යතුර වන්නේ පොත් ය.”

පොත්වලට ඇබ්බැහි වූ තැනැත්තා නිහඬ, සන්සුන් පුද්ගයෙකි. කියැවීමෙන් කෙනෙකුට තැන්පත් විය හැකිය. රූපවාහිනියෙන් එසේ සිදු නොවේ. පොතක් ශාන්තුවරයකු වන තරමට පුද්ගලයාට සමීප වේ. විචාර බුද්ධිය වැඩි වේ.

රස වින්දනය උදෙසා කියැවීම එකකි. දැනුම සඳහා කියැවීම තවත් එකකි. හොඳ නවකතාවක් කියවන්නේ රසවින්දය සඳහා ය. ප්‍රායෝගික මනෝ විද්‍යාව වැනි විෂයයක් දැනුම සඳහා ය.

සංස්කෘතික ජීවිතයක් අත්කර ගැනීම සඳහා නිවෙසේ පොත් කියවීමේ පුරුද්දක් තිබිය යුතුය. පොත් ගැන විවේක සුවයෙන් කතාබහ කිරීමක් පැවැතිය යුතුය. ප්‍රංසයේ බහුතරයක් නිවෙසක සාලයේ පොත් රාක්කයක් ඇත්තේය. එවැන්නක් නොවේ නම්, ඒ නිවෙසේ සංස්කෘතික මිනිසුන් නැති බවට ද නිගමනයක් හා කියමනක් ඔවුන් අතරේම ඇත්තේය.

මිනිසුන් පොත් කියවන්නේ නැති නම්, චින්තනයක්ද ඇති නොවේ. පළමුව කියවන්න පෙලඹෙන ජන සමාජයක් ඇති කළ යුතුය. කියවන්න කාලය ගන්න. එය දැනුමේ අත්තිවාරමයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.