ග්‍රීක රෝම කලාවේ පුනර්ජන්මය හා ක්‍රිස්තියානියේ පුනරුදය | සත්මඬල

ග්‍රීක රෝම කලාවේ පුනර්ජන්මය හා ක්‍රිස්තියානියේ පුනරුදය

ප්ලොරන්ස් ජනරජයේ ඉතිහාසය එතරම් සාරවත් නැත. එය කුමන්ත්‍රණවලින් ගහන දරදඬු පාලකයන්ගේ රඟමඬලකි. මුදල් පොලී කරන්නන්ගෙන් ගහන මේ අශිෂ්ට අපිරිසුදු නගරයේ බිහි වූ ඩාවින්චි, රෆායල්, මයිකල් ඇන්ජිලෝ වැනි ශ්‍රේෂ්ඨයන් නිසා ඉහත කී දේ ලෝකයට අමතක විය. ඔවුහු එතරම්ම ශ්‍රේෂ්ඨයෝ ය.

(ශ්‍රී නේරු)

පුබුදු යුගය, පුනර්ජීවන යුගය, පුනරුද යුගය වශයෙන් හඳුන්වන යුරෝපයේ නව පිබිදීම ඇති වූයේ කවරදා දැයි ස්ථිරවම දින කිව නොහැකිය. දළ වශයෙන් ක්‍රි. ව. 1450 න් පසුව යුරෝපය දේශපාලන, ආර්ථික හා චින්තනමය වශයෙන් විශාල පිබිදීමකට ලක්වන්නට විය. මේ කාලයේ නව කවියන්, චින්තකයන්, කලාකරුවන් බිහිවීම හා නව නිර්මාණ ඉදිරිපත් කිරීම දැකිය හැකි විය. ඊට හේතු වූයේ යුරෝපයේ ඇති වූ ආගමික හා දේශපාලනික පෙරළියයි. උච්ච පුනරුදය ලෙස සලකන්නේ 1500 සිට 1520 අතර කාලයයි.

මේ වන විට යුරෝපයේ අවුල් වියවුල්, දූෂණ, පෙරළි, කැරලි ආදියෙන් හෙම්බත්ව පැවති රාජ්‍යයකි. ඉතාලිය, රෝමය මෙන්ම ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංසය, එංගලන්තය, ජර්මනිය, ඕලන්දය ආදි රටවල පොදු තත්ත්වය මෙයයි. මේ යුගය පරිවර්තන යුගයක් විය. ප්‍රධාන වශයෙන් මෙය සමාජ පරිවර්තනයක් විය. පුරාණ මිසර, ග්‍රීක, රෝම වහල් රාජ්‍ය අභාවයට පත්වී ක්‍රිස්තියානිය සමඟ නව රාජ්‍ය බිහිවීමත් නිසා යුරෝපය වැඩවසම් යුගයට අවතීර්ණ විය. සියවස් ගණනක් වැඩවසම් ක්‍රමය පැවැති යුරෝපයට ඉන් මිදීමට අවශ්‍ය විය. වහල්භාවයට පත්ව සිටි‍ ‍ගොවීන්, ප්‍රවේනි දාසයන්, ඉඩම් හිමියන්ට, රදලයන්ට, රාජාණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නට විය. මෙයට ප්‍රධානම හේතුව වූයේ නැඟී එන වෙළෙඳ පන්තියයි. ඉඩම් හිමි රදල අධිපතිත්වය අභිභවා මුදල් හිමි ධනපති පන්තිය සමාජයේ ඉදිරියට එන්නට විය. ඉඩම්වල දාසයන් බවට පත්ව සිටි ගොවීන් ඉඩම් අතහැර වෙ‍ෙළඳාම සමඟ මධ්‍යම පන්තියක් බවට පත්වෙමින් තිබිණි. මේ මධ්‍යම පන්තිය මුදල්, වෙ‍ෙළඳාම, උගත්කම ආදිය මඟින් සමාජයේ කැපී පෙනෙන බලවේගයක් බවට පත් විය.

මේ බලවේගය ඉදිරියේ අධිරාජ්‍යය හා පල්ලිය සසල වන්නට විය.

මේ වන විට පල්ලිය ඒකාධිපති පාලකයෙකුගේ තත්ත්වයට පත්ව තිබුණි. රෝම අධිරාජ්‍යය ශුද්ධ රෝම අධිරාජ්‍යය ලෙස නම් කෙරුණේ එහි දේශපාලන අධිකාරය පාප්ගේ බලපරාක්‍රමයට යටත්වීම නිසාය. රාජ්‍ය මෙන්ම පල්ලිය ද අන්ත දූෂිත ආයතනයක් බවට පත්විය. ජනතාවගේ විරෝධය රාජ්‍යයට මෙන්ම පල්ලියට ද එරෙහිව නැඟුණි.

පෙට්රාච්, ඩාන්ටේ වැනි කවීන්ගේ නව සිතුවිලිවලින් සමාජය කුල්මත් වෙත්ම විවිධ කලාකරුවෝ ප්ලොරන්ස් නගරයෙන් මෙම විප්ලවයේ චින්තන මෙහෙවර ඇරඹීය. විද්‍යාඥයන් නව සොයාගැනීම් කරමින් පල්ලියට හා බයිබලයට අභියෝග වන අන්දමේ සිතුවිලි සමාජයට මුදාහලේය. කොපර්නිකස් විසින් ලෝකය වටකුරු බවත්, එය සූර්යයා වටා ‍කැරකෙන බවත්, තාරුකා යනු ග්‍රහලෝක හා සූර්යයන්ම බවත් ප්‍රකාශ කළේය. ගැලී‍ලියෝ දුරදක්නය නිපදවා එය ඔප්පු කළේය. මෙම විද්‍යාත්මක සොයාගැනීම් පල්ලියේ මතවාදයන්ට මුළුමනින් පටහැනි විය. ඒ නිසා පල්ලිය කළේ බුද්ධිමතුන් හා විද්‍යාඥයන් දඩයම් කිරීමය. ගැලීලියේ හිරගෙට යැවීය. බ්රූනෝ පුලුස්සා මරන ලදි.

මේ කිසිදු දෙයකින් නැඟී එන පුනර්ජීවය වළකාලිය නොහැකි විය. මේ අතර පල්ලිය තුළද මහා දෙදරීමක් ඇතිවිය. පල්ලියට විරුද්ධව ක්‍රිස්තියානිය තුළම විරෝධතාවයක් ඇතිවී රෝමානු කතෝලික හා රෙපරමාදු වශයෙන් ක්‍රිස්තියානි ආගම දෙකඩ විය.

ප්‍රධානම විපර්යාසය සිදු වූයේ ආර්ථික ක්ෂේත්‍රයේය. එනම් යුරෝපය රටවල් යටත් කරගැනීම, ඒවායේ ධනය තම රටවල්වලට ගෙනැවිත් එම රටවල් පොහොසත්වීම හා අධිරාජ්‍යවාදයක් බිහිවීමයි. පෘතුගාල, ස්පාඤ්ඤ, ප්‍රංස, ඕලන්ද, ඉංග්‍රීසි අධිරාජ්‍ය බිහිවෙමින් පෙරදිග ලෝකය ඔවුන්ගේ යටත් විජිත බවට පත්වූයේ මේ පුනරුදයේ ප්‍රතිඵල ලෙස ය.

නැඟී එන මධ්‍යම පන්තික වෙළෙන්දන් රටවල් සොයාගැනීමේ තරගයක නිරත විය. අප්‍රිකාව සොයා ගැනීම, අමෙරිකාව, ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල් සොයාගැනීම නිසා යුරෝපයට කුළුබඩු, මුදල්, රන් රිදී, මුතු මැණික් ඇතුළු ධනය සොයමින් ලොව පුරා යාත්‍රා කරන්නට විය. ඔවුන්ගේ බළඇණිවලට ආසියාව, අප්‍රිකාව, අමෙරිකාව යටත් විය. ඒ යටත් රාජ්‍යවල ධනය පෘතුගාල, ස්පාඤ්ඤ, ප්‍රංස, එංගලන්ත අධිරාජ්‍ය වෙත ඇදී ගොස් ඒවා ධනවත් රාජ්‍ය බවට පත් විය.

මේ රාජ්‍ය සොයා යෑම, රටවල් යටත් කරගැනීම හා ඒවා තම රාජ්‍යයේ යටත්විජිත බවට පත් කරගැනීමේ ක්‍රියාමාර්ගයට රාජ්‍ය නායකයන් හා පල්ලියේ නායකයා වන පාප් පූර්ණ අනුග්‍රහය දැක්වීය. මේ අනුව මුළු ලොවම ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට හැකි බව පාප් කල්පනා කර ඊට පූර්ණ සහය දුන්නේය. මේ අනුව ගමන් කළ පෘතුගීසි, ස්පාඤ්ඤ නැව්වල පූජකයන්ද පිටත්කර හැරීමට පාප් කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම යටත් විජිතයකම පල්ලි ඉදිවීම හා ක්‍රිස්තියානි කලාව ව්‍යාප්ත කර හැරීම ද සිදු විය.

“ක්‍රි. ව. 13 - 14 සියවස්වලදී ප්ලොරන්ස් නගරය ප්‍රසිද්ධ වී තිබුණේ ‘චපල ප්ලොරන්ස්’ ලෙස ය. මේ නගරය ගිනි පොලී කාරයන්ගෙන් දූෂිත වී තිබුණි. ක්‍රෑර පාලකයන්, ආඥාදායකයන් මෙන්ම දුෂ්ටත්වය මෙහි රජ කළේය... මෙවන් අවධියක එය අභිභවා මහා කවියන්, චිත්‍ර ශිල්පීන් රැසක්ම මෙහි බිහි විය” (ශ්‍රී නේරු)

ඩාන්ටේ, ප්‍රොච්, ලෙනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජිලෝ, රෆායල් වැනි කලාකරුවන් බිහි වූයේ පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස ය. මේ චින්තන හා සංස්කෘතික විප්ලව සිදු වූයේ ඉතාලියේ ය. ඉතාලියේ ප්ලොරන්ස් නගරයේ ය. මේ පුනරුදය හඳුන්වන්නේ ග්‍රීක ‍රෝම පුනරුදය ලෙස ය. එහි අදහස වන්නේ මීට සියවස් 11කට පමණ පෙර මියගිය ග්‍රීක රෝම ශිෂ්ටාචාරය, චින්තනය හා කලාව යළි ඉපදීම යනුයි. අන්ත දූෂිත තත්ත්වයට පත්ව තිබූ යුරෝපා රාජ්‍ය තුළ බුද්ධිය, උගත්කම ද පහත්ම තත්ත්වයට වැටී තිබුණි. නව මධ්‍යම පන්තික කලාකරුවන්, සාහිත්‍යධරයන්ට තම නව දැක්ම ඉදිරිපත් කිරීමට එවකට ප්‍රචලිතව තිබූ කලාව හෝ සාහිත්‍යය හෝ භාෂාව ප්‍රමාණවත් වූයේ නැත.

මෙකල සිදුවූ තවත් දැවැන්ත පරිවර්තනයක් වූයේ මුද්‍රණ කර්මාන්තය ප්‍රචලිත වීමයි. මෙමඟින් මුද්‍රණය වී ප්‍රචලිත වූ මුල්ම පොත බයිබලයයි. ඊට පසු විවිධ පොත් මුද්‍රණාද්වාරයෙන් පිටවී යුරෝපය පුරා ප්‍රචලිත විය. පොත් හරහා උගත්කම, අධ්‍යාපනය, දැනුම උසස් මට්ටමකට පත්විය. ග්‍රීක රෝම කෘති මුද්‍රණය වීම මඟින් ග්‍රීක දර්ශනය, ග්‍රීක සාහිත්‍ය හා දේශපාලන චින්තන යුරෝපය පුරා පැතිරෙන්නට විය. මෙමඟින් යුරෝපය ග්‍රීක කලාව දෙසට නැඹුරුවන්නට විය. ඉතාලිය තුළ යළි ග්‍රීක කලාව පිබිදීම ‘පුනරුදය’ ලෙස නම් විය.

මේ නිසා සිදුවූ වැදගත්ම විපර්යාසය වූයේ චිත්‍ර හා මූර්ති කලාව යළි ග්‍රීක රෝම ස්වාභාවිකවාදය දෙසට යොමු වීමයි.

ගොතික් සම්ප්‍රදායේ ගොඩනැගිලි යුරෝපයේ ව්‍යාප්ත වූවාට එය ඉතාලියේ හෝ රෝමයේ ජනප්‍රිය වූයේ නැත. ඊට හේතු වූයේ එය ‘ගොත්’ නම් ගෝත්‍රික ජනතාවක් විසින් හඳුන්වාදීම නිසා ය. රෝමානුවන් ගොත්වරුන් විසින් සැලකුවේ ම්ලේච්ඡයන් ලෙස ය. මේ කලා සම්ප්‍රදාය ‘ගොතික්’ ලෙස ඔවුන් හැඳින්වූයේ ද එය උපහාසයට හා අපහාසයට ලක් කිරීමේ අරමුණින් ම්ලේච්ඡයන්ගේ කලාව ලෙස හුවා දැක්වීමටයි.

රෝමවරුන් දිගටම භාවිත කළේ පැරැණි රෝම ගෘහ නිර්මාණ සම්ප්‍රදායයි. මෙම සම්ප්‍රදායේ ප්‍රධාන ලක්ෂණය වූයේ බිත්ති ඝනට යෙදීම හා කවුළු කුඩාවට භාවිත කිරීමයි. කවුළු කුඩා වීම නිසා බිත්තිවල විශාල ඉඩක් ඉතිරි විය. ගොතික් ගොඩනැගිලිවල එතරම් ඉඩක් බිත්තිවල ලැබුණේ නැත. වීදුරු ජනෙල් හා කවුළු භාවිත කළ ගොතික්වරු වර්ණ චිත්‍රවලින් වීදුරු අලංකාර කළහ.

එහෙත් රෝමානු දෙව්මැදුරුවල හිස් ඉඩකඩ තිබුණු බිත්තිවල චිත්‍ර ඇඳීමට ඔවුන් යොමුවිය. පුනරුදයට පෙර පූර්ව පුබුදු යුගයේ ශිල්පීන් කීපදෙනෙක්ම මීට පුරෝගාමි විය. ඔවුන් නව චිත්‍ර‍ ශෛලියක් ද හඳුන්වා දෙනු ලැබීය. ඔවුන් අතර ප්‍රමුඛයන් දෙදෙනකු වූයේ ගියෙට්ටෝ ඩී බොන්ඩෝනේ (1266 - 1337) හා ප්‍රා ඇන්ජලිකෝ (1387 - 1445) යන ශිල්පීන් දෙදෙනා ය.

ගියෙට්ටෝ ඩි බොන්ඩෝනේ උපන්නේ 1267දී ප්ලොරන්ස් නගරයට යාබදව මුගෙල්ලෝ පළාතේ කුඩා ගමකය. ඔහුගේ පියා ගොවියෙක් විය. කුඩා ගියෙට්ටෝ තම ගොවිතැන් සඳහා යොදවා ගත් පියා ඔහුට තම බැටලු රංචුව බලාගන්නා කාර්ය පැවරීය. කුඩා කල සිට චිත්‍ර කලාවට මහත් ඇල්මක් දැක්වූ ගියෙට්ටෝ ගොවිපළේ සිටිමින් විවිධ චිත්‍ර අඳිමින් සතුටු විය. මෙසේ දිනක් ඔහු ගල් පතුරක බැටළුවකුගේ රූපයක් අඳිමින් සිටින විට එතනින් යමින් සිටි එකල ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු වූ සිමාබුව් එය දුටුවේය. කොලුවාගේ දක්ෂතාව දුටු ඔහු තම චිත්‍ර පන්තියට ඔහු ඇතුළු කරගන්නට පියාගෙන් අවසර පැතීය. මේ අනුව ගියෙට්ටෝ සිමාබුව්ගේ ගෝලයකු බවට පත් විය. ඒ 1277දී ය.

මේ අයුරින් සිය චිත්‍ර ශිල්පීය කුසලතාව වර්ධනය කරගත් ගියෙට්ටෝට ගුරුවරයා සමඟ අසිසියේ දේවස්ථානයක චිත්‍ර ඇඳීමට අවස්ථාව ලැබුණි. මෙය ඔහුගේ ප්‍රථම බිතු සිතුවම් නිර්මාණයයි. අසිසියේ ශාන්ත ෆැරැන්සිස්තුමාගේ දෙව්මැදුර අලංකාර කිරීමේ කාර්යය දිගටම කරගෙන ගිය ගියෙට්ටෝගේ මේ දක්ෂතාව ඉන් පසුව රෝමය පුරා පැතිර ගියේය.

1300දී 8 වැනි බොනිෆස් පාප්තුමාගේ කැඳවීම අනුව රෝමයට ගිය ගියෙට්ටෝ පාප් නිවසේ බිතු සිතුවම් නිර්මාණය කළේය. 1303දී පැඩුවාවල එරිනා දේවස්ථානයේ බිතු සිතුවම් නිර්මාණය ද ගියෙට්ටෝට පැවැරුණි. 1320 දී පෙරුසි පල්ලියේ ද චිත්‍ර ඇඳීම ඔහුට පැවරුණි.

මේ අයුරින් විශාල චිත්‍ර සංඛ්‍යාවක් තම ජීවිත කාලය තුළ බිතු සිතුවම් කළ ගියෙට්ටෝ පුබුදු යුගයේ චිත්‍ර කලායේ පියා ලෙස සලකනු ලබයි. ඉතාලි චිත්‍ර කලාවට තෙත බදාමය මත චිත්‍ර ඇඳීමේ නවතම බිතු සිතුවම් චිත්‍ර ක්‍රමය හඳුන්වා දුන්නේ ගියෙට්ටෝ විසිනි. ඔහු මෙතෙක් පැවැති බයිසැන්තියන් චිත්‍ර ශෛලිය මුළුමනින්ම වෙනස් කරනු ලැබීය. එනම් මානව රූපය ස්වාභාවිකත්වයට ගෙන යෑමයි. ග්‍රීක රෝම යුගයේදී උච්චස්ථානයට පත්ව තිබූ මානව දේහ ස්වභාවික ප්‍රතිනිර්මාණය බයිසැන්තියන් යුගයේදී අභාවයට ගොස් තිබුණි. ඒ වෙනුවට ගම්භීර දළදඬු දේවත්වයක් ආරෝපණය වූ ගුප්ත චිත්‍ර කලා ශෛලියක් වර්ධනය විය.

ගියෙට්ටෝ කළේ ජේසුතුමන් ශාන්තුවරු ඇතුළු සියලු ඓතිහාසික පුද්ගලයන් සාමාන්‍ය මිනිසුන් බවට පත් කිරීමයි. මිනිස් මුහුණු, ඉරියව්, හැඟීම් ආදිය තාත්විකව චිත්‍රයට නැඟූ ගියෙට්ටෝ ඒවා වර්ණ කිරීමේදී ත්‍රිමාණ ලක්ෂණ, පර්යාවලෝකනය, එළිය අඳුර යොදමින් ස්වාභාවික මිනිසුන් හා පරිසරය එලෙසින්ම ප්‍රතිනිර්මාණය කළේය.

මෙය බෙහෙවින් ජනප්‍රිය ශෛලියක් බවට පත්විය. මේ නිසාම දේවස්ථාන කෙරේක ඇදී එන සෙනඟ ද වැඩි විය.

මෙසේ නව සිතුවම් සම්ප්‍රදායකට මුලපිරූ ගියෙට්ටෝ 1337දී මියගියත් ඒ සම්ප්‍රදාය උසස් මට්ටමකට පත් කරමින් පුබුදු යුගයේ චිත්‍ර කලාව සම්භාව්‍ය කලාවක් බවට පත් කිරීමට පසුකාලීන චිත්‍ර ශිල්පීන්ට හැකි විය.

1395දී ප්ලොරන්ස් නගරයට යාබද වික්චියෝ ප්‍රදේශයේදී උපත ලද ප්‍රා ඇන්ග්ලිකෝ 1418දී පූජක දිවියට ඇතුළු විය. ඉතා අවංක අප්‍රකට ජීවිතයක් ගතකරමින් ඩොමිනිකන් තවුසකු ලෙස ජීවත් වූ මොහු තම චිත්‍ර ශිල්පය භාවිත කළේ ශුද්ධ වූ කාරියක් ලෙස ය. මොහුගේ නම ප්‍රා ගිඕවන්නි විය. ඔහු ගැන තොරතුරු ලියවෙන්නට ගත්තේ ඔහු මියගියාට පසුවයි. එහිදී ඔහු ප්‍රා ඇන්ජලිකෝ ‍වශයෙන් හඳුන්වා ඇත්තේ ඔහුගේ අති ශුද්ධවන්ත ඇන්ග්ලිකන් පූජක දිවිය නිසා විය හැකිය. ඔහු ගැන ලියන වසාරි නම් ලේඛකයා ඔහුගේ චිත්‍ර ශිල්පයේ ඇති අවංකභාවය හා හැඟුම්බර ගතිය විස්තර කරමින් කියා සිටින්නේ ඔහු ජේසුතුමන් කුරුසියේ ඇණ ගැසීම හෝ කුරුසියෙන් බාන දර්ශන ඇන්දේ දෙනෙතින් කඳුළු වගුරවමින් බවයි. ‘ඔහු චිත්‍ර ඇන්දේ ඔහුගේ හදවතේ ගැඹුරුම තැනින්‘ බව වසාරි කියා ඇත.

ප්‍රා ඇන්ග්ලිකෝ දේවස්ථාන කීපයකම බිතු සිතුවම් ගණනාවක් කර ඇත. 1433දී ලිනායුඔලි හා 1441 මාර්කෝ දෙව්මැදුරුවල ඔහු ආගමික බිතු සිතුවම් කරන ලදි. ඔහුගේ ප්‍රසිද්ධ බිතු සිතුවමක් වන ‘ජේසුතුමන් කුරුසියෙන් බැස්සවීම‘ 1443දී නිම කෙරුණි. 1445දී වතිකානුවේ බිතු සිතුවම් ඇඳීම ආරම්භ කළ අතර එය අවසන් කර 1447දී 5 වැනි නිකලස් පාප්තුමාගේ මැදුරේ බිතු සිතුවම් නිර්මාණය කළේය.

ඔහුගේ බිතු සිතුවම් ශෛලිය ගියෙට්ටෝගේ ශෛලියට බෙහෙවින් සමාන විය. එහෙත් සමහර අවස්ථාවල ඔහුගේ දැඩි භක්තිය ප්‍රකාශ වූයේ ස්වාභාවිකත්වය ඉක්මවූ හැඟීම් ප්‍රකාශනවලදී ය. එවන් චිත්‍රවලදී ඔහු ස්වාභාවික ශෛලිය මෙන්ම බයිසැන්තියානු ශෛලිය අතර දෝලනය වූ බව විචාරක මතයයි. කුරුසියෙන් බැස්සවීමේ චිත්‍රය බෙහෙවින්ම හැඟුම්බර වූවකි. ඇත්තටම ඔහු එතන සිටිනා අයුරක් ඔහුට දැනී කළ නිර්මාණයක ශෝකාකුල බව මේ චිත්‍රය පුරා ඇත. පුනරුදයට පෙරගමන්කරුවකු වූ ප්‍රා ඇන්ජලිකෝ 1445දී මියගියේය.

ලියනාඩෝ ඩාවින්චි (1452 - 1519)

උච්ච පුනරුදයේ ඉතාලියේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මිනිසා ඩාවින්චි ය. ඒ ඔහු චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයක් පෑ පුද්ගලයකු නිසා ය. චින්තකයෙක්, විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, ගණිතඥයෙක්, කවියෙක් වූ ‍ඩාවින්චි පුබුදු යුගයේ බිහිවූ නවීන විද්‍යාවේ පුරෝගාමියා ලෙස සැලකේ. “ලෝකයේ හැමතැනම ඉගෙන ගන්නට දෙයක් ස්වභාවධර්මය විසින් ඔබ ඉදිරියේ මවා ඇත” යනුවෙන් වරක් ඔහු පැවැසීය. සිරුර පුරා රුධිරය ධාවනය වන බව මුලින්ම සොයාගත්තේ ඔහු ය. මිනිස් සිරුරේ පිහිටීම ගැන පර්යේෂණ කළ ඔහු එහි චමත්කාරය ගැන මෙසේ කියා ඇත. “නරක ගතිගුණ හා විශිෂ්ට තීරණ ගිලගන්නා ගොරෝසු මිනිස්සුන්ට මනුෂ්‍ය ශරීරය වැනි ක්‍රමානුකූලව පිහිටි සුන්දර දේහයක් කුමකට ද? කන්දේ ඔබා ගන්නට ගෝනි පඩංගුවක් හා ඒ දේ පිටකරන්නට අධෝ මාර්ගයක් පමණක් තිබීම ඔවුන්ට හොඳටම ප්‍රමාණවත් ය.”

අහස් යානය, යුද ටැංකිය ආදි අනාගත මෙවලම් කල්තියා දුටු ඔහුගේ සැලසුම් ඔහු මියගොස් බොහෝ කලකට ‍පසු නිපදවන ලදි.

1452 අප්‍රේල් 5 දින උපන් ‍ඩාවින්චිගේ පියා නොතාරිස්වරයෙකි. මව ගෙවිලියකි. පියා සමඟ ප්ලොරන්ස් නගරයට ආ ඔහු වෙරෝකියෝගේ චිත්‍ර පන්තියෙන් මූලික කලා අධ්‍යාපනය ලබාගන්නා ලදී. 1472දී ශාන්ත ලූකස් ශිල්ප ශ්‍රේණියට බැඳී තම කලා හැකියාව වැඩිදියුණු කරගත්තේය. 1481දී තාපස පිරිසකගේ ඇරියුමින් “රජතුන්කට්ටුව ජේසුන් බැහැදැකීම” නම් චිත්‍රය ඇඳීම ආරම්භ කළත් එය අවසන් කරන්නට ඔහුට නොහැකි විය. 1481දී ප්ලොරන්ස් නගරය අතහැර මිලාන් නගරයට ගොස් එහි වසර 17ක්ම ජීවත් විය. මේ කාලය තුළ ඔහු ‘මැඩෝනා ඔෆ් රොක්ස්’, ‘සපෝසා ස්මාරකය’, ‘අන්තිම භෝජන සංග්‍රහය’ යන නිර්මාණ කරන ලදී. ‘මොනාලිසා’ ද මෙකල ඔහු අතින් නිමවූ චිත්‍රයකි.

උච්ච පුනරුදයේ ශ්‍රේෂ්ඨයන් තිදෙනාගෙන් වැඩිමහල්ලා මෙන්ම පැරැණියා මොහු ය. මොහුගේ චිත්‍ර කර්මය අතිශය විද්‍යානුකූල විය. මානව දේහයේ පරිමාණ සමබර පිහිටීම ගැඹුරින් අධ්‍යයනය කළ ඔහු සිරුරේ හැඩය පිළිබඳ නිශ්චිත මිමි පවා ඉදිරිපත් කළේය. මේ අනුව ගණිතමය නිර්මාණයක් බඳු මානව රූපය සැබෑ ලෙසම නිර්මාණය කිරීමට ඔහු උත්සාහ දැරීය. ඔහුගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වන්නේ “අවසන් භෝජන සංග්‍රහයයි”. ජේසුස් වහන්සේ පාවාදීමට පෙර ඒ බව දැනගෙන සිය ගෝලයන් 12 දෙනා සමඟ අවසන් භෝජන සංග්‍රහයට වාඩිවී සිටින අයුරු මෙහි ඇඳ ඇත. මෙහි අවස්ථා නිරූපණය ඉතා උසස් ය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ ඉතා උද්වේගකර අවස්ථාවකි. “නුඹලාගෙන් එකක් අද මා පාවා දෙන්නේය” යනුවෙන් ජේසුතුමන් කියන විට සියලුම ගෝලයන් හැඟුම්බර වික්ෂිප්තභාවයට පත්ව කලබල වෙති. මේ ක්ෂණික මොහොත චිත්‍රයට නැඟීමට ඔහු ගත් උත්සාහය ඉතා සාර්ථක වී ඇත. චිත්‍රයේ හැඟීම් ප්‍රකාශනය මෙන්ම චිත්‍රය සංවිධානය ද ඉතා උසස් ය. සම්පිණ්ඩනය, පර්යාවලෝකනය ආදි සිද්ධාන්තවලට හොඳම උදාහරණයක් මේ චිත්‍රයෙන් සපයයි.

මයිකල් ඇන්ජිලෝ (1475 - 1564)

පුබුදු යුගයේ පහළ වූ අතිවිශිෂ්ට මූර්ති ශිල්පියා මෙන්ම කලා විශාරදයා වන මයිකල් ඇන්ජිලෝ බුවනෝරොත්ති උපන්නේ 1475 මාර්තු 6 දින ඉතාලියේ කැප්රීස් ප්‍රදේශයේ ය. 1485දී ඔහු ප්ලොරන්ස් නගරයට පිවිස ප්‍රැන්සිස්කෝ ද උරුබිනෝගේ චිත්‍ර පන්තියට ඇතුළු වී අධ්‍යාපනය හදාරන්නට විය. ඉන්පසු චිත්‍ර මූර්ති ශිල්පය පිළිබඳ දැඩි උනන්දුවකින් විවිධ හැදෑරීම් කළ ඔහු ගියෙට්ටෝ, මසාචියෝ වැනි ශිල්පීන්ගේ නිර්මාණ සියුම්ව අධ්‍යයනය කළේය. ඒ චිත්‍ර පිටපත් කිරීම ද මුල් කාලයේ මයිකල් විසින් කරන ලදි.

මොහුගේ චිත්‍ර මූර්ති හැකියාවේ අද්විතීය බව දුටු ප්ලොරන්ස් නගරයේ ප්‍රධානියා වූ ලොරෙන්සෝ ද මෙඩිසි තමන්ගේ මැදුරෙහි ජීවත්වෙමින් නිර්මාණ කරන්නට ඉඩ සලසා දීමෙන් අනතුරුව මෙඩිසි මියයන තෙක් 1492 වන තෙක්ම එහි වාසය කළේය.

1495දී යළි ප්ලොරන්ස් නගරයට පැමිණෙන මයිකල් ඇන්ජිලෝ මූර්ති කීපයක්ම එහිදී නිර්මාණය කළේය. මෙකල ඔහුට සියනා දෙව්මැදුරේ අල්තාරය සඳහා මූර්ති 15ක් තැනීමට ඇනවුමක් ලැබුණත් ඔහු නිම කළේ කීපයකි. මෙකල මොහු අතින් නිමවූ වැදගත් කෘතියක් වන්නේ ඩේවිඩ් ප්‍රතිමාවයි. ඉන්පසු ඔහු අතින් මැඩෝනා මූර්තිය නිමවුණි. පියටා කෘතිය ද ඔහු අතින් නිමවූ අගනා කෘතියකි.

ධ්ධ් ජුලියස් පාප්තුමාගේ කැඳවීම අනුව රෝමයට ගිය මයිකල් ඇන්ජිලෝ 1508 සිට 1512 දක්වා සිස්ටයින් දෙව්මැදුරේ වියන්තලයේ අතිවිශාල ‘ලෝකෝත්පත්ති කථාව’ චිත්‍රයට නඟන ලදී. පොළොවේ සිට අඩි 60ක් උස සිවිලිමේ මේ චිත්‍ර ඇඳීමට ඔහුට වසර 4ක් ගත විය.

මේ අයුරින් මේ මහා කලාකරුවා වසර 90ක් වන ඔහුගේ මුළු ජීවිත කාලයේ අතිවිශාල චිත්‍ර හා මූර්ති සමූහයක් ලොවට දායාද කළේය. ‘අවසන් විනිශ්චය’ නම් බිතු සිතුවම ඒ අතර වැදගත් නිර්මාණයකි. ධ්ධ් ජුලියස් පාප්තුමාගේ සොහොන්ගෙය නිර්මාණය කිරීම පැවැරුණේ ද ඔහුට ය. එහි ඔහු විසින් නිම කළ මෝසස් ප්‍රතිමාව අතිවිශිෂ්ට කිරුගරුඬ මූර්තියක් ලෙස ලෝපතළ වී ඇත. ලොරෙන්සෝ මෙඩිචිගේ සොහොන්ගෙය සඳහා ඔහු නිර්මාණය කළ රැය, දවාල, උදය හා සන්ධ්‍යාව නම් මූර්ති ද විශිෂ්ට නිර්මාණ කාර්යයන් ය.

මයිකල් ඇන්ජිලෝ චිත්‍ර ශිල්පියකුට වඩා කැපී පෙනෙන්නේ මූර්ති ශිල්පියකු ලෙස ය. ඔහුගේ චිත්‍ර ශිල්පියට සමකළ හැකි සමහර විට එය අබිබවා ගිය ශිල්පීන් පසුව බිහිවිය. එකල සිටි රෆායල් ද චිත්‍ර ශිල්පයෙන් අගතැන්පත් පුද්ගලයෙකි. එහෙත් මයිකල් ඇන්ජිලෝගේ මූර්ති ශිල්පය අසලකටවත් ළඟා විය හැකි ශිල්පියකු එදා මෙදා තුර ලොව බිහි වූයේ නැත. ග්‍රීක්වරුන් ස්වාභාවික මූර්ති කලාව ගෙන ආ තැනෙහි අග්‍රඵලය උදා කළේ මේ මහා ශිල්පියා යැයි කීවද වරදක් නැත. එයට දෙස් දෙන ඔහුගේ ‘මැඩෝනා’ හා ‘පියෙටා’ නම් කෘති දෙක පමණක් සෑහේ. මේ කෘති දෙකම යුගල මූර්ති ය. එකක කුඩා දරුවකු (ජේසු බිලිඳා) හා කාන්තා (මරිය මවුතුමිය) රුවකි. අනෙක් මූර්තියේ නිරූපණය වන්නේ ජේසුතුමා කුරුසියෙන් බාන ලදුව මවුතුමිය සිය උකුළේ හොවාගෙන සිටින ආකාරයයි. මේ මූර්ති දෙකෙහි ඉරියව් සංවිධානය, හැඟීම් නිරූපණය, සම්පිණ්ඩනය අති විශිෂ්ටය. කිරිගරුඬ කුට්ටියකින් මඳක් හෝ ඇදයක් පලුද්දක් නොමැතිව මෙතරම් මටසිලිටුව, මෙතරම් හැඟීම්බරව මේ මානව රූප නිර්මාණය කිරීම විශ්වකර්ම වැඩකි. නෙලීම ඇඹීමට වඩා අමාරු ය. ඇඹීමේදී මූර්තිය වෙනස් කළ හැකිය. යළි ඇඹිය හැකිය. එහෙත් නෙළීමේදී එසේ කළ නොහැකිය.

ඔහුගේ ‘පියෙටා’ හෙවත් කුරුසියෙන් බෑ ජේසුතුමන් උකුළේ හොවා සිටින දෙව් මවු මූර්තිය අතිවිශිෂ්ට වන්නේ එය ඔහු ඇතුළු හදවතින්ම කළ එකක් නිසා යැයි විචාරකයෝ සඳහන් කරති. මෙහි දෙව්මෑණියෝ අතිශයින් තරුණ ය. ඔහු මේ නිර්මාණය කර ඇත්තේ තමන් පෙම් කළ යුවතියගේ මුහුණ දෝ යැයි ඔවුහු සැක කරති. ඊට දෙස් දෙන කවියක් ද ඔහු විසින් ලියා ඇත. ඔහුට තම ප්‍රේමය කැමති පරිදි පවත්වා ගන්නටවත් විවාහ වන්නටවත් අවස්ථාව ලැබුණේ නැත. පාප්වරුන් ඔහුගෙන් වැඩ ගත්තේ වහලකුගෙන් මෙනි. ඔවුන්ට අවශ්‍ය වූයේ මිනිසාගේ හැකියාවෙන් තම පල්ලි හා සොහොන් ගෙවල් අලංකාර කරගැනීමට මිස ශිල්පියා රැකගැනීමට නොවේ. ඇතැම් විට ඔහුට මෙය දඬුවමක් මෙන් විය. ඔහු ලියූ කවියක් මෙසේය.

 

“තද කිරිගරුඬ කඳු මත

නිම කරන ලද දේ

නොනැසී පවතීවි

එහි නිමැවුම්කරු මියගොස්

දිගුකලක් යනතුරුත්...

නමුත් මම වැරෙන් උත්සාහ කරමි

සොබාදහම ජයගන්ට

 

ඒ දයාවක් නැති ක්‍රෑර පාලකයන් ගැන

ඔබ හොඳින් දනී

එමනිසා මම වෑයම් කරන්නම්

දීර්ඝායුෂ ලබාදෙන්නට

ඔබට හා මට

 

මම උත්සාහ ගන්නම්

වර්ණයෙන් හා දැඩි ගලෙන්

ඔබේ මුහුණ හා මගේ රූපය

නිම කරන්නට

තවත් සියවස් ගණනක් පවතින්නට

 

මෙතැනින් පසුව අප දෙදෙනාම

වැලලී යාවී... ඒත්

ඔබේ ලස්සන හා මගේ ශෝකය

නොනැසී බොහෝ දෙනෙක් සමඟ

කථා කරමින් තවත් දිගුකලක් පවතීවි”

 

මේ මූර්තියෙන් ඔහු උත්සාහ කළේ මේ කවියෙන් කියා ඇති දෙය ද? එය අවිනිශ්චිත ප්‍රශ්නයකි. ඇතැම් විට පාප් සමඟ ගැටුම් පවා ඔහු ඇති කරගත්තේය. ප්ලොරන්ස් නගරයට රජයේ හමුදා පහර දුන් වෙලේ මයිකල් ඇන්ජිලෝ සිරභාරයට ගන්නට නියම කළ වෙලේ පාප් කියා සිටියේ ඔහු නිදහස් කරන්නට නම් නවතා දැමූ මෙඩිසි දෙව්මැදුරේ කටයුතු දිගටම කළ යුතු බවයි. මෙයින් පෙනෙන්නේ පල්ලිය හා පාප්වරු මේ අසහාය මිනිසාගෙන ක්‍රෑර ලෙස වැඩ ගත් බවයි. ඔහුට හිරිහැර කෑමක් පවා ලැබී නැත. පලංචි මත අවුරුදු 30ක්ම ඔහුට චිත්‍ර අඳින්නට සිදු විය.

ඔහු අවසාන කාලයේ චිත්‍ර මූර්ති දෙකෙන්ම ඉවත් වී දැඩි දේව භක්තියෙන් යුතුව භාවනා කළ බව සඳහන් වේ. එහෙත් එසේ නිදහසේ ඉන්නවත් ඔහුට ඉඩදී නැත. එවන් අවස්ථාවක ඔහු කියා ඇති වදනක් පොත්පත්වල පවා සඳහන් වේ.

 

“මට කිසිම යාළුවෙක් නැත.

මට ඒ කිසිවකු වුවමනා ද නැත

මට වුවමනා ආහාරයක් ගැනීමටවත් මට කාලයක් නැත

තවත් අවුන්සයක්වත් බර දරන්නට මට නොහැක

කරුණාබර මට කරදර නොකරන්න”

 

තවත් තැනක ඔහු තමන්ගේ අවසන් කැමැත්ත මෙසේ කවියකින් ප්‍රකාශ කර ඇත.

“චිත්‍රයට හා මූර්තියට

මගේ ආත්මය දැන් සැතපිය නොහැකිය

එය දැන් ඇදී යන්නේ

ඉහළ අහසේ දිස්වන

එතුමන්ගේ මහා ප්‍රේමය වෙතය...”

 

මේ අසහාය ශිල්පියා ක්‍රි.ව. 1564දී මිය ගියේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.