පූර්ණ විප්ලවයක් | සත්මඬල

පූර්ණ විප්ලවයක්

නිසල අහස දෙස නෙත් යොමාගෙන අනන්ත වූ ආකාසයේ සුන්දරත්වය විඳිමින් මා නිහඬව ම සිටියෙමි. හාත්පසම නිසංසල ය; කොළයක් පවා වැටෙන හඬ ඇසෙන සුලු ය. මා ඉඳ සිටි බැංකුවට එහායින් වූ ඇසළ මල් බේරෙන මල් ගස යට ඇති බැංකුවට යොවුන්වියේ චමත්කාරය විඳිනා බැව් හොඳින් ම පෙනෙන තරුණ යුවළක් ඇවිද ආහ. පොප් කෝන් එකින් එක කමින් තම පෙම්වතාට ද එකින් එක කවමින් ඒ තරුණ යුවතිය ආදරයේ සංතෘෂ්ටියෙන් මත් ව සිටියේ ය. ලොව සුන්දර වන්නේ අව්‍යාජ සිනාකැන් දසත විසිරෙද්දී ය. ඔවුන්ගේ සතුට මගේ කාන්සිය සඟවා ඒ වෙනුවට සිනාව සතුට බෝ කළේ ය; සත්තකින් ම සතුට බෝ වන්නකි.

ගත වූයේ මඳ වේලාවකි. තරුණියත්, තරුණයාත් දිගින් දිගට ම බහින්බස් වෙති. අර සුන්දරත්වය වෙනුවට එතැන ඇත්තේ දැවෙන තරහවකි. එකිනෙකාට චෝදනා කරමින්, බැණවදිමින් ඔවුන් කරන කෝලාහලය පරිසරයේ සුන්දරත්වය හා පෑහුණේ නැත. ඉදින් සතුට බෝවනවා සේම දුක ද බෝ වන්නට විණි. අහස්තලයේ ළා නිල් පැහැය වෙනුවට මට පෙනෙන්නට පටන් ගත්තේ අඳුරු රේඛා ය. කෝලාහලය ඉදිරියේ සතුට පලාගොස් තිබිණි.

ඔබට ගැටලුවක් පැන නැඟි විටෙක ඔබ මුලින් ම කරන්නේ කුමක් ද? මා ඒ ප්‍රශ්නය මට ආදේශ කරගත හොත් මා යම්කිසි ගැටලුවකට මුහුණ දෙන ක්‍රමවේදය කවරේද? එය විවිධාකාර විය හැකිය. එකඟ වීමෙන්, ප්‍රතිවිරුද්ධ වීමෙන්, නිහඬ වීමෙන්... ආදි මේ ඕනෑම විදියකින් එය විය හැකිය. ඔබත් ඒ ඕනෑම විදියකින් බව මම දනිමි.

ගැටලුවක් ඇතිවූ විට ඔබ මුලින් ම කරන්නේ ඒ ගැන සිතීම ය; විරෝධ පෑම ය; ප්‍රතික්ෂේප කිරීම ය; නැත හොත් පිළිගැනීම ය; එසේත් නැතිනම් එය අතහැර දැමීම ය. ඔබ කවරකු වුවත් මේ කුමන හෝ දෙයක ක්‍රියාකාරි වන්නේ ය. සැබැවින් ඔබෙන් ප්‍රශ්නයක් අසන විට යන්ත්‍රයක් මෙන් ඔබේ සිත ක්ෂණිකව ක්‍රියා කරන්නට පටන් ගෙන ඊට අනුකූලතා දක්වයි. එහෙත් මේ කිසිවක් නැතිව ගැටලුවක් පැන නැඟි අවස්ථාවේ ඔබට නිහඬවීමට හැකි නම්; සිතීම නැවැත්විය හැකි නම්...

නිහඬ බව සිතාමතා වගා කරගත හැක්කක් නොවේ. ඒක සඳහා උපායමාර්ග ද නොවේ. එතැනට යා යුත්තේ කෙසේද කියා අසන්නට පුළුවන්කමක් ද නැත. එය තමාම අවබෝධ කරගත යුත්තකි; ප්‍රතික්‍රියාවකින් වර්ධනය කරගත හැක්කක් ‍නොවේ. ඕනෑම ගැටලුවක සාමාන්‍ය ස්වරූපය තේරුම් ගැනීමට නම්, අප දන්නා යාන්ත්‍රික වූ සිතිවිලිවල ක්‍රියාකාරිත්වය කෙළවර විය යුතුය. එනම් අප අභ්‍යන්තරයෙහි පූර්ණ නිහඬතාවක් තිබිය යුතු වේ. හුදු ප්‍රතික්‍රියාවක් නොවන, යාන්ත්‍රික නොවන ඒ නිර්මාණ ශක්තිය අවබෝධ කරගත යුත්තේ ඔබෙන් ම ය. එබැවින් නිහඬ බව ප්‍රඥාවේ ආරම්භය වේ.

අප කවුරුත් විවිධ ක්‍රමවලින්, බාහිර ලෝකයේත්, මූලික වශයෙන් සිත අභ්‍යන්තරයේත් කුමන හෝ තත්ත්වයක් ලබා ගැනීමට වෑයම් කරන්නෙමු. අභ්‍යන්තරික වශයෙන් සිදුවන මේ ක්‍රියාවලිය අපේ බාහිර පැවැත්මට මුළුමනින් ම බලපායි. එහෙත් බාහිර පැවැත්ම අභ්‍යන්තර ක්‍රියාවලියට බලපෑමක් නොවේ.

ඇත්ත වශයෙන් ම පවතින තත්ත්වයට වඩා වෙනස් ම වූ අමුතු තත්ත්වයක් පත්වීමේ තෘෂ්ණාව පදනම් කරගත මේ සිතිවිලි ව්‍යූහය ම ගොඩනඟනු ලැබ ඇත්තේ අපේ ම සිතිවිලි විසිනි. මිනිසුන් වන අපේ අවාසනයට හේතුවී ඇත්තේ එයයි.

මා මෙසේ කියද්දී ඔබට පැනයක් නැ‍ෙඟනු නිසැක ය. ඒ චෛතසික වශයෙන් කුමන හෝ අමුතු තත්ත්වයකට පත් නොවී අපට ජීවත් විය හැකි ද යන්න ය. නොකඩවා ගලා යෑම හැරෙන්නට අපට වෙනයම් කිසිවක් ම නැද්ද? ඒ කිසිවක් ම නැද්ද යන්නට අප කිඳා බහිමින් කුමක් හෝ කර ඇත් ද? ඒ ගැන සොයා ඇත් ද? අපට හැකි ද; සැසඳීම, අනුකරණය, අනුකූලතාව මේ සියල්ල මුළුමනින්ම කෙළවර කර දැමීමට? අප සියල්ලන්ගේ ම අවාසනාව වන්නේ අප එක ම දෙයකට ඒකාකාරි ව ඇබ්බැහිව සිටීමයි. අපට හැකි නම් මේ චලන සිතිවිලිවලින් ඈත් වීමට එය නිහඬ බවේ ආරම්භය වනු ඇත.

සිත නිශ්චලව පවතින විට තමා පිළිබඳ පූර්ණ අනාරක්ෂිත හැඟීමක් ඇති වේ. එය කෘත්‍රිමව නිශ්චල කළ විට ඇති නොවේ. එහෙත් ඒ අනාරක්ෂාව ඇතුළත අභ්‍යන්තරික වශයෙන් පූර්ණ ආරක්ෂාවක් දැනේ. මේ සඳහා කළ යුතු එක ම දෙය තමා පිළිබඳ ව තේරුම් ගැනීමයි. හිත තමාගේ ම සීමාවන් වන ගැන දැනුම ලබාගත යුතුය. තමාගේ අදහස්, ආශාවන්, සංවේදීතා, ක්‍රෑරකම්, ආදරයෙන් තොර බව ගැන හා තවත් ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් සිටිය යුතුය. තමා පිළිබඳව යටි සිතෙන් හා උඩු සිතෙන් අව‍බෝධ කරගැනීම ප්‍රඥාවේ ආරම්භයයි.

සිතෙහි පූර්ණ විප්ලවයක් ඇති කළ හැක්කේ සම්පූර්ණ නිහැඬියාවට ම පමණි. වැර වෑයමෙන් යටපත් කිරීමෙන් හෝ අත්දැකීමෙන්, අධිපතිත්වයෙන් එය කළ නොහැකිය. විශ්ලේෂණයක් කරමින් සොයන විට නිහඬ බව තව තවත් ඈතට යන්නේ ය. එනිසා ඔබෙන් නැඟෙන ඉල්ලීම් බැහැර කළ හොත් සිත නිශ්චල වනු ඇත. නිහඬ බව ඔබට ඇතුළාන්තයෙන්ම පූර්ණත්වයට පත් කරනු ඇත. අලුත් සමාජයක් බිහි වන්නේ එවන් සිතකින් පමණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.