මතු පරපුරට දිය හැකි දායාදය නිර්මාණශීලි චින්තනයයි | සත්මඬල

මතු පරපුරට දිය හැකි දායාදය නිර්මාණශීලි චින්තනයයි

අධ්‍යාපනය ලබන්නා ඇතුළත යාවජීව සන්තුෂ්ටියක් ජනිත කරවනු ලබන අතර, ලබාගන්නා ප්‍රඥාව හේතුවෙන් ජීවිතයේ සෑම දෙයක් ම අතර එකිනෙකට බැ‍ඳෙන සබැඳියාවක් පවතින බව අප විසින් තේරුම්ගත යුතුව ඇත.

“ළමයා නෙළුම් මලක් හා සමාන ය. සෑම නෙළුම් පෙත්තක්ම ස්වාභාවිකව විවෘත විය යුතුය. ගුරුවරුන්ගේ කාර්යය විය යුත්තේ ළමයාගේ නිර්මාණාත්මක හැකියා සොයා බලා එය පෝෂණය කිරීමට උනන්දු කිරීම ය.”

රවීන්ද්‍රනාත් තාගෝර්

මතු පරපුර වනුයේ අද දරුවන් ය. අද දවසේ ඒ දරුවන් තුළ රෝපණය කරනු ලබන යහගුණ හෙට ලෝකය නිර්මාණය කරයි. ඒ සඳහා අවශ්‍ය වනුයේ අධ්‍යාපනයයි. අද ලෝක ප්‍රජාව තුළ සාරධර්ම ගිලිහෙමින් පවතී. පෙරට වඩා අධ්‍යාපනය කෙරෙහි බලාපොරොත්තු තබාගත යුතුව ඇත්තේ අන්තර් සම්බන්ධතාව ගොඩනැඟීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති හෙයිනි.

නිර්මාණශීලි බව මඟින් සංස්කෘතික අංග කෙරෙහි උනන්දුවක් දක්වන මිනිසාගේ ජීවිතය වඩාත් මානුෂික වන බව නොරහසකි. දරුවකු ඵලදායි ලෙස රටට බිහි කළ හැකි වනුයේ ද ඒ සංස්කෘතික අධ්‍යාපනය කෙරෙහි නැඹුරු කිරීමෙන් බව පිළිගත හැකි සත්‍යයක් වෙයි. අධ්‍යාපනය, සමාජ ජීවිතය ක්‍රියාශීලිව සහ සම්බන්ධ විය හැකි පුරවැසියකු බිහි කරතැයි යන්න ද අවිවාදයෙන් අප විසින් පිළිගත යුතු වෙයි. බුද්ධිමය, ශාරීරික හා සදාචාරාත්මක වර්ධනය ද මේ මඟින් ආරම්භ වන්නේ ය.

අධ්‍යාපනය ලබන්නා තුළ යාවජීව සන්තුෂ්ටියක් ජනිත කරවනු ලබන අතර ලබාගන්නා ප්‍රඥාව හේතුවෙන් ජීවිතයේ සෑම දෙයක් අතර එකිනෙකට බැ‍ඳෙන සබැඳියාවක් පවතින බව ද අප විසින් තේරුම්ගත යුතුව ඇත.

“ළමයා හට, දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් දායාද කළ හැකි කල් පවත්නා එකම උපකාරය නම් තමාටම උපකාර කරගැනීමට ශිල්ප ඉගැන්වීමයි” යනුවෙන් නැපොලියන් පාල් විසින් පවසා ඇත.

දරුවා සමාජය තේරුම් ගන්නේ වටපිටාවෙන් ය. බහ තෝරන වියේදී හෝ ඊටත් පෙර ‍ඔහු එය නිරායාසයෙන් ම අත්විඳියි. මෙලොව එළිය දුටු මොහොතේ හැඬීමෙන් ස්වකීය දිවි ගමන ආරම්භ කරන දරුවා තම අවශ්‍යතා සන්නිවේදනය කිරීමට ද ඒ හැඬීම උපයෝගි කරගනියි.

නිවෙසේදී මවගේ ආදරය මුසු වූ දරු නැළවිලි ගීයෙන් සියුම් වින්දනයක් ලබන දරුවා ඒ මඟින් අනාගතයේ ඔහුගේ පරිකල්පන චින්තනයට, නිර්මාණාත්මක දක්ෂතාවලට ඉන් ආභාසයක් ලබා ගනියි. නිවෙසින්, පෙර පාසලෙන්, පාසලෙන් හා සරසවියෙන් ද දරුවා අධ්‍යාපනය ලබා ගනියි. මුල් ළමාවියේ පරිකල්පන චින්තනය සහ චිත්තවේග වර්ධනය වන ආකාරයෙන් ගැටවර වියේදී ද ඉන් පසුව ද ඔහුට/ ඇයට නිර්මාණාත්මක හැකියාවක් නිර්ණය කරගත හැකි වනු ඇත.

සෑම දෙයකම ආරම්භය ළමා වියෙන් හටගන්නා බව බොහෝ දෙනකුගේ මතයයි. සෑම දරුවෙක් ම තමාටම සුවිශේෂ වූ නිර්මාණශීලිත්වයෙන් හා බුද්ධිමත් භාවයෙන් යුක්ත ය. මේ නිර්මාණශීලිත්වය හා බුද්ධිය කෙමෙන් විකසිත වන ආකාරය නරඹමින් එය මුහුකුරා ගොස් ලොවට වැඩදායි යමක් කරන්නට අවස්ථාවක් ලබාදීම ගුරුවර දෙමාපිය හා වැඩිහිටියන් සතු වගකීම වෙයි. ඉතා ළාබාල වියේ දරුවකු වුවද යම් යම් ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු හා ඒ ඒ අවස්ථා කොතෙකුත් අපට දක්නට ලැබේ.

ගැහැනු දරුවන් විසින් බෝනික්කන්ට කිරි පෙවීම ද, පිරිමි දරුවන් සෙස්සන් බිය කරවීමට ‍වලසකු මෙන් ගෙරවීමට හැකියා පෙන්නුම් කිරීම ද නිදසුන් ය. කුඩා දරුවා නිර්මාණාත්මක ක්‍රීඩා මඟින් ද, පරිසරය ගවේෂණය කිරීමට තැත්කරයි. ළමයින් විසින් අඳින ලද චිත්‍ර විශ්ලේෂණය කිරීමෙන් ද ගොතන ලද කතන්දරවලට සවන් දීමෙන් ද ඔවුන්ගේ වැලිබතේ අවස්ථා නැරැඹීමෙන් ද ඔවුන්ගේ චින්තනයේ හා පරිකල්පනයේ සුවිශේෂ අවස්ථා අපට හමුවේ. මේ ක්‍රියාදාම මඟින් අරුත් මනෝමූල වන ආකාරය පෙන්වා දෙයි. නිර්ව්‍යාජ වූ මානුෂික චින්තනයේ යථාර්ථය ලොවට වටහා දෙයි.

ළමයා විසින් තමා අසන දකින දේ විවිධ අයුරින් අර්ථ නිරූපණය කළ අවස්ථා ළමා ලෝකය වෙතට පිවිසෙන අපට දැකිය හැකිවනු ඇත. දරුවෝ මේ දේවල් සිය හදවතට සමීප කරගනිති. චිත්‍ර මඟින්, කතා මඟින්, ලිවීමේ කලාව මඟින් එය විකාශය කරති. බොහෝ විට කතා වස්තු ද විකෘති කරති.

“ආත්තම්මේ, රවීගේ කතාව කියන්න, බොහෝ වාරවල පුංචි කවීන් රවීගේ කතාව අසයි. එහි එන චරිත අතර රවී, සාරා, රාධා ප්‍රමුඛ වෙති.

කාලයක විරාමයෙන් පසුව ඔහුට රවිගේ කතාව අමතක වේ. මේ කාලයෙදී රවීගේ කතාවේ පාත්‍ර වර්ගයා වෙනස් වෙයි. චරිත අලුත් ය. බට්ටි, චුට්ටි, ලලිතා ආදි නම් ද මේ කතාවට ඇතුළත් වී එයි.

“කවුද ලලිතා....?” මිත්තණිය අසයි.

“අම්මගේ යාළුවෙක්....”

දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනයෙන් ද ඔහුගේ පරිකල්පන චින්තනයට නිර්මාණාත්මක දක්ෂතාවලට අවස්ථාව ලැබේ. කුඩා දරුවෝ තමාගේ නිර්මාණ ඇගයීමට ලක්වීමත්, පිළිගැනීමත් බලාපොරොත්තු වෙති. අනාගත ලෝකයේ දරුවා තුළ ඇති විය හැකි සුබවාදි ආකල්පවලට එය අත්තිවාරමක් වෙයි.

නූතන සමාජය බොහෝ සෙයින් සංකීර්ණ, කඨෝර සමාජ සංස්ථාවක සංසරණය වෙයි. පාසල මඟින් ද ඉටු විය යුත්තේ බුද්ධිමය දැනුම්දීමක් පමණක් නොව කලාත්මක බව හා රසඥතාව වැඩිදියුණු වන විෂය පද්ධතියක් ලබාගන්නා දැනුමයි. කලා රසිකත්වය, චිත්‍ර, කාව්‍ය, නාට්‍ය, චිත්‍රපට ආදි කලාවට නැඹුරු විය හැකි මාධ්‍ය මඟින් රසවින්දනයක් ලබා, ඒ මඟින් ජීවිතයේ වින්දනාත්මක වර්ධනයක් ඇති කරගැනීමට සුදුසු අධ්‍යාපනයක් ලබාදීම දරුවන්ට කළ හැකි මහත් සේවයක් වෙයි.

නූතන සන්නිවේදනවලින් කෙරෙන ප්‍රචාරක අංගවලට රැවටීම තමන්ගේ පරිහානියට හේතු වේ. නිර්මාණාත්මක වින්දනයක් ලබාගන්නා තැනැත්තාට රැකියා ක්ෂේත්‍රයේ විඳින්නට සිදු වන චිත්තපීඩා හමුවේ වුවද සිතේ සන්සුන් බව පවත්වා ගැනීමට පහසුවනු ඇත. සංස්කෘතික වර්ධනයකින් යුක්ත වූ තැනැත්තාට ද ඉන් පරිබාහිර කාලයේ ගෘහ කටයුතුවලට හා සමාජයට ඵලදායි ලෙස කටයුතු කිරීමට හැකි වනු ඇත.

දරුවෝ පාසල් ජීවිතයේ බොහෝ කාලයක් ගත කරති. ඒ හෙයින්ම නිර්මාණ කුසලතා ඔපවත් කිරීමට සුදුසු ස්ථානය පාසල වෙයි. ළමයින් තුළ රැඳී ඇත්තේ දූෂිත නොවූ ශක්තියකි. කාර්මික ලෝකයට අවතීර්ණ වන්නට හෝ මේ ශක්තිය උපයෝගි කරගෙන පුහුණුවක් ලබාගැනීම තුළ හොඳ පෞරුෂ වර්ධනයක් දැකිය හැකිය. රූපවාහිනිය අද දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවට බාධාවක් බව බොහෝ දෙනාගේ පිළිගත් මතය වුවද එය වෙනස් කර ඵලදායි මාධ්‍යයක් බවට පත් කරගැනීමට කාලය එළැඹ ඇතැයි පැවැසිය හැකිය.

දේශනවලට වඩා සෞන්දර්ය ක්‍රියා හා ප්‍රාග් වෘත්තිය විෂයයන් හඳුන්වා දීම වැඩදායි වේ. විවිධ ක්ෂේත්‍රවල කුසලතා දක්වන දරුවන්ව අධ්‍යාපනයට මඟපෙන්වා දීම ඒ මඟින් කළ හැකි බව‍ පෙනෙයි.

දරුවකුට ස්වාභාවික අත්දැකීම් ලබාගැනීමට ඉඩ ලැබෙනුයේ කලාතුරකින් ය. නිරීක්ෂණ මඟින් දැනුම ලබන විට දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩිදියුණු වනු ඇත. රසික ඥානය ලබාදිය හැකි මාධ්‍ය මඟින් සිදු වන්නේ ඒවා මොට කර දැ

මීම ය. නිර්මාණ කුසලතා මොට වන්නට තවත් එක් හේතුවක් වනුයේ, චාරිකා, නිරීක්ෂණ හා ගවේෂණ අමතක කර දැමීමයි.

“ඔබ දිය ඇල්ලක් දැක තිබෙනවාද? ගංගාවක්? මුහුද? ලස්සන වනාන්තරයක්? වෙල්යායක්...? ”

“නෑ...”

ළමයා නිරුත්තර වෙයි. විවිධ රටවල හැකියා වර්ධනය කිරීමේලා නොයෙකුත් ආයතන ආරම්භ කර ඇත. විවිධ කලා කේන්ද්‍ර, ප්‍රදර්ශන සාකච්ඡා මඟින් පෝෂණය ලබාදීමට කටයුතු කර ඇත. තරුණ සේවා සභාව, සර්වෝදය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, නාට්‍ය, චිත්‍රපට, රාජ්‍ය නැටුම් කණ්ඩායම හා වීදි නාට්‍ය කණ්ඩායම මඟින් පාසලට බාහිරව සංස්කෘතික ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට අවස්ථාව සැලසේ.

පාසලෙන් පරිබාහිරව මේවා මඟින් වක්‍රව හෝ නිර්මාණ කුසලතා වර්ධනයට ඉවහල් වන බව පැහැදිලි වේ. පාසල හැර යන අයට මේ අධ්‍යාපනය වඩාත් ඵලදායි වනු ඇත.

ඇතැම් නගරවල කවර තරාතිරමේ අයකුට වුවද තෘප්තිමත් බවක් ලබාගත හැකි උද්‍යාන පිහිටුවා ඇත. ලන්ඩන් නගරයේ පිහිටුවා ඇති ඒ උද්‍යාන මඟින් කවර අන්දමේ හෝ තෘප්තියක්, නිර්මාණාත්මක වින්දනයක් ලබා ගනියි. නගර නිර්මාණයේදී සැලසුම්කරණය, අලංකරණය ආදි අංග ගැන ද සැලකිලිමත් වීම වැදගත් වේ. මේ අනුව නගර සංවර්ධනයේදී නව ගෘහ නිර්මාණ ශිල්පීන් ද කලාත්මක හදවත් ඇති පොදුජන ජීවිතය වටහාගත් සංස්කෘතික උරුමය උගත් දක්ෂ පිරිසක් වීම වැදගත් ය. නගර නිර්මාණයේ ද සංස්කෘතික අංග සමඟ සෘජුවම සම්බන්ධ වීම ඵලදායක වෙයි. අධ්‍යාපනය, විවේකය, නිවාස, ආත්ම ප්‍රකාශන, සන්නිවේදන මාධ්‍ය යන සියල්ල සැලකිල්ලට ගෙන නගර නිර්මාණය වැදගත් කාර්යයක් වනු ඇත.

නිර්මාණශීලි බව මඟින් ඉගෙනීමට පිවිසීමේ දොරටුව වෙත පිවිසීමට ඉඩ ලැබෙන බව දරුවන් වෙතින් ලබන ලද අත්දැකීම්වලින් ස්ඵුට වෙයි. පුරාතන හෝ නූතන නාට්‍ය, චිත්‍රපට, සාහිත්‍යය යන අංගවලින් අපට ආදර්ශ ලබාගත හැකි වෙයි.

“අජය පොතපතේ වැඩවලින් ඈත්ව සිටියි. පන්තිය පුරා දිවීමට හෝ බාහිරව කාලය ගතකිරීම ඔහුගේ එකම අභිප්‍රාය වෙයි. එහෙත් ඔහු චිත්‍රවලට දක්ෂ ය. අකුරක හසරක් නොදත් ඔහු චිත්‍රවලින් එකක්.... ගොඩක්.... හඳුනා ගනියි. ප්‍රකාශන ශක්තිය ඇසුරෙන් ක්‍රමයෙන් භාෂාව හා සාහිත්‍ය විෂයට පිවිසෙයි. ඇගයීම ලත් විට ඔහු තව තවත් දිරිමත් වෙයි.” රංගනය හෝ ගායනය චිත්‍ර ශිල්පය ඇසුරෙන් හෝ දරුවා විෂය පථයට නැඹුරු කරවීමට ගුරුවරයා දක්ෂයකු විය යුතුය.

මානව දයාව, ගුණධර්ම වර්ධනය වනුයේ නිර්මාණාත්මක හැකියාව ඇති හදවත්වල ය. අනාගතයේදී නිවහල් සාමකාමි ලොවක් ගොඩනැඟීම සඳහා ප්‍රාර්ථනා ගලා එන්නේ ඔවුන්ගේ කලාත්මක ‍මෘදු හදවත් මඟින් ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.