පුරාවස්තු ජාවාරමේ අන්තර්ජාතික ස්වභාවය | සත්මඬල

පුරාවස්තු ජාවාරමේ අන්තර්ජාතික ස්වභාවය

පුරාවස්තු කොල්ලකනු ලබන්නේ බොහෝ විට ඒවා රහසින් විදෙස් රටවලට අලෙවි කිරීම සඳහා ය. මෙය පුරාවස්තු ජාවාරම ලෙස හැඳින්විය හැකිය. මේ ජාවාරම අද සැලකෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා ව්‍යාපාරය, නීති විරෝධි සංක්‍රමණ වැනි ලෝකව්‍යාප්ත අපරාධ ගණයට ය.

පුරාවස්තු කොල්ලය ශ්‍රී ලංකාවේ උරුමය නසාලන පිළිකාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙය අද ඊයේ ඇති වූ දෙයක් නොව කාලාන්තරයක් තිස්සේ අප සමාජ දේහයේ වර්ධනය වූ ව්‍යාධියකි. මෙය කලින් කලට ඉස්මතු වන අතර අද ඇති වී ඇත්තේ එහි වර්ධිත තත්ත්වයකි. දේශසීමා ඉක්මවා ගිය මේ ව්‍යාධියෙන් සමස්ත මානව ශිෂ්ටාචාරය අනතුරකට මුහුණ දී ඇති ආකාරය මේ ලිපිය මඟින් පෙන්වා දෙනු ලැබේ.

පුරාවස්තු කොල්ලකනු ලබන්නේ බොහෝ විට ඒවා රහසින් විදෙස් රටවලට අලෙවි කිරීම සඳහා ය. මෙය පුරාවස්තු ජාවාරම ලෙස හැඳින්විය හැකිය. මේ ජාවාරම අද සැලකෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා ව්‍යාපාරය, නීති විරෝධි සංක්‍රමණ වැනි ලෝකව්‍යාප්ත අපරාධ ගණයට ය. මෙය වැළැක්වීම සඳහා අන්තර්ජාතික පොලිසියේ(ඉන්ටර්පෝල්) විශේෂ අංශයක් ඇති අතර, අන්තර්ජාතික නීති සහ ප්‍රඥප්ති කීපයක් මඟින් මෙය මැඩලීමට පියවර ගෙන ඇත.

මේ ජාවාරමෙන් විනාශ වන්නේ ශ්‍රී ලංකාව වැනි අභිමානවත් අතීතයක් සහිත රටවල උරුමයන් ය. ඉන් පෝෂණය වන්නේ අමෙරිකාව, යුරෝපය ප්‍රමුඛ බලවත් රටවල පෞද්ගලික කෞතුකාගාර සහ ධනවතුන්ගේ විසිත්ත කාමර ය. ඒ රටවල් අනුගමනය කරන නිහීන ආනයන ප්‍රතිපත්තිය මේ තත්ත්වය උග්‍ර කිරීම සඳහා හේතු වී ඇත. නිදහස් වෙළෙඳාම නමින් රට තුළට අනෙකුත් රටවලින් පුරාවස්තු නිදහසේ රැගෙන ඒමටත්, ඒවා විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමටත් අවස්ථාව සලසා තිබීම මඟින් සාධාරණ වෙළෙඳුන් මෙන්ම ජාවාරම්කරුවන් ද එක සේ ප්‍රයෝජන ලබන බව ඔවුන් තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද මේ ජාවාරමේ ගොදුරක් බවට පත් වී තිබේ. වරක් චෙන්නායි වරායෙන් සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබූ නැවකට පැටවීමට සූදානම් කර තිබූ හාල් මිටි 600ක ප්‍රමාණයක් රේගුවේ පරීක්ෂාවට ලක් විය. එහිදී දැකගත හැකි වූයේ ඒ අතර හාල් මිටි ඇත්තේ 50ක් පමණක් බවත්, අනෙකුත් ඇසුරුම්වල සඳුන් දැව කැබලි සහ පුරාවස්තු රාශියක් අසුරා ඇති බවත් ය.

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය විශාල වශයෙන් මේ ජාවාරමෙන් පීඩා විඳින අසල්වැසි රටවල් දෙකකි.

“පුරාවස්තු කොල්ලයට එරෙහිව අප ඉක්මනින් පියවර නොගත හොත් ගාන්ධාර කලාව මුළුමනින් විනාශව යනු ඇතැයි” වරක් පෙෂවෝර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සඳහන් කළේ මේ කොල්ලයේ භයානක බව පෙන්වා දීමට ය. පාකිස්තාන් චර්සදා ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යා ගවේෂණයේ දී හෙළිදරව් වූයේ ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන 144න් 82ක් කොල්ල කා ඇති බැවින් ඉන් 26ක් මුළුමනින් විනාශ කර ඇති බවත් ය. ඇෆ්ගනිස්ථානයේ දේශපාලන අස්ථාවර බව සහ සරණාගතයන් විශාල වශයෙන් පාකිස්තානයට සංක්‍රමණය වී පදිංචි වී සිටීමත් නිසා පුරාවස්තු කොල්ලකරුවන්ට සුදුසු පසුබිමක් එහි නිර්මාණය වී ඇත. වරක් පෙෂවෝර් ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසින් වාණිජ වටිනාකමකින් තොර අත්කම් භාණ්ඩ ලෙස නම් කර තිබූ විශාල යකඩ පෙට්ටි හයක් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ වටිනා පුරාවස්තු අසුරා ඇති බව හෙළිදරව් විය. මේවා ඩුබායි සහ ෆ්රෑන්ක්ෆට් හරහා ලන්ඩනයට රැගෙන යෑමට සූදානම් කර තිබුණේ ය.

නේපාලයට අයත් ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා හතරක් 2000 වර්ෂයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ කෞතුකාගාරයක තිබී හමු විය. මේවා රහසින් පිටමං කළ පුරාවස්තු බව හෙළිදරව් වීම නිසා නැවත නේපාලයට භාරදීමට කෞතුකාගාර නිලධාරීන් කටයුතු කළහ. රහසින් රටකින් පිටමන් කරගනු ලබන පුරාවස්තු නැවත මෙලෙස ලබා ගත හැකි වන්නේ ඉතා කලාතුරකිනි.

චීනය පුරාවස්තු කොල්ලකරුවන්ට මරණ දඬුවම පමුණුවයි. එයට අනුබල දෙන තැනැත්තන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙයි. මෙලෙස මරණ දඬුවමට ලක් වූ අය අතර පුරාවස්තු සොරකම් කර හසු වූ කෞතුකාගාර නිලධාරීහු ද සිටිති. චීනයේ සිට පුරාවස්තු ජාවාරම මෙහෙයවීම අසීරු වීම නිසා දැන් හොංකොං නගරය මේ ජාවාරම්කරුවන්ගේ මූලස්ථානය වී ඇත. ඇතැම් චීන පුරාවස්තු හොංකොං සිට මෙන්ම මැකාවෝ දූපත හරහා ද බටහිර වෙළෙඳපොළ කරා පටවන බව හෙළිදරව් වී ඇත.

තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් කාම්බෝජයේ වෙසෙන පුරාවස්තු කොල්ලකරුවෝ බෙහෙවින් ක්‍රියාකාරීව සිටිති. මේ සඳහා දූෂිත හමුදා නිලධාරීන්ගේ සහාය ද ලැබෙන බව ප්‍රකට රහසකි. වරක් කාම්බෝජ තායිලන්ත දේශසීමාව හරහා ගමන් කරමින් තිබුණු ලොරි රථයක් පරීක්‍ෂා කරනු ලබන විට ඒ තුළ සඟවා තිබී කාම්බෝජ පුරාවස්තු සිය ගණනක් සොයාගත හැකි විය. තවද තමන්ට අවශ්‍ය පුරාවස්තුවේ ඡායාරූපයක් රැගෙන මේ ජාවාරම්කරුවන්ට ලබාදුන් පසු මසක් ඇතුළත ඔවුන් ඒ පුරාවස්තුව සොරකම් කර එය අවශ්‍ය පුද්ගලයාට ලබාදීමට තරම් සූක්ෂ්ම වී ඇත. කාම්බෝජ රජය මේ තත්ත්වය මැඩලීම සඳහා විශේෂ කාර්යය සාධක බලකායක් පිහිටුවා ඇති අතර තායිලන්ත රජයේ සහාය ද ඒ සඳහා ලබා ගත්තේ ය. තායිලන්තය හරහා කාම්බෝජ පුරාවස්තු පිටමං කිරීමට අපහසු වන විට සිංගප්පූරුව හරහා එය සිදු කිරීමට ජාවාරම්කරුවන් උත්සුක වෙයි.

මැදපෙරදිග කලාපයේ සිදු වන පුරාවස්තු කොල්ලය ඉතා විශාල ය. 1991 ගල්ෆ් යුද්ධය අවස්ථාවේ ඉරාකයේ කෞතුකාගාර නවයක් ගිනි තබනු ලැබූ අතර ඒවායේ තිබූ 3000ක් පමණ පුරාවස්තු අතුරුදන් විය. යුද පසුබිමෙහි පුරාවස්තු කෙරේ රජයේ අවධානය ගිලිහී යෑමෙන් ප්‍රයෝජනය ගත් ජාවාරම්කරුවෝ ඉරාකයේ පිටිසර ප්‍රදේශවල “කුහුඹුවන් පොළොව හාරන්නාක් මෙන්” සිය ගණනක් මිනිසුන් පුරාවස්තු සොයා පොළොව හෑරීමට යොදා ගත්හ.

ලෙබනනයට ඛණිජ තෙල් හැරුණු විට ආදායම උපදවන අනෙක් ප්‍රධාන ම මාර්ගය වී ඇත්තේ එරට පුරාවස්තු ය. එහෙත් මේ සම්පත නිර්ලජ්ජිත ලෙස කොල්ලකෑමට ලක්ව ඇත. පසුගිය යුද සමයේ එහි තිබුණු පුරාවස්තු අතුරින් 10,000කට අධික ප්‍රමාණයක් අතුරුදහන් වීමෙන් මේ බව පැහැදිලි ය. ලෙබනනයේ සිටින අපරාධ කල්ලි අසල පිහිටි සිරියාවේ පුරාවස්තු ද කොල්ලකෑමේ නිරත වන බවත්, මේ ජාවාරම ධනවත් ව්‍යාපාරිකයන් විසින් මෙහෙය වන බවත් හෙළිදරව් වී ඇත. 1998 වර්ෂයේ සිරියාවේ සිට කැනඩාවට රහසින් රැගෙන ගිය පුරාවස්තු 39ක් කැනේඩියානු රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුරාවස්තු කොල්ලයෙන් ඊජිප්තුවට ද ගැලවීමක් නැත. එරට ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් මේ ජාවාරම සමඟ සම්බන්ධ වී සිටිති. කයිරෝ නගරයට සැතපුම් 400ක් ඔබ්බෙන් පිහිටි ක්යිතා නමැති ස්ථානයේ පුරාවස්තු සාරමින් සිටි කොල්ලකරුන් පිරිසක් පොලිසිය විසින් වටලනු ලබන අවස්ථාවක කොල්ලකරුවකුගේ වෙඩිපහරින් පොලිස් නිලධාරියකු ද ජීවිතක්‍ෂයට පත් වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සයදෙනකු සඳහා එය මෙහෙයවූ ජාවාරම්කරුවා විසින් එක් පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් 1000 බැගින් මුදල් ලබා දී අති බව ද හෙළිදරව් විය.

තුර්කිය ද පුරාවස්තු ජාවාරම්කරුවන්ගේ තිප්පොළකි. මැදපෙරදිග රටවල පුරාවස්තු යුරෝපය සහ අමෙරිකාව බලා යැවෙන එක් මධ්‍යස්ථානයක් වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි. ඉරාකයේ දේවස්ථානයකින් ගලවා ගත් කැටයම් කළ දොරටුවක් තුර්කියේ සිට බ්‍රිතාන්‍ය ගුවන් සේවාව මඟින් බල්ගේරියාවේ සොෆියා ගුවන්තොටුපොළ හරහා ලන්ඩනය බලා ගෙනෙමින් තිබියදී හසු විය. වරක් අන්තර්ජාතික පොලීසිය මඟින් යුරෝපයට යෑමට සුදානම් කර තිබූ පුරාවස්තු 188ක් තුර්කියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉතාලියේ පුරාවස්තු ජාවාරම සමඟ මාෆියා කල්ලි සම්බන්ධ වී ඇත. 1999දී සිසිලි දූපතේ ස්ථානයක් වටලනු ලැබූ පොලීසියට එහි තිබී ග්‍රීක රෝම යුගවලට අයත් පුරාවස්තු 30,000ක් සොයාගත හැකි විය. එය මේතාක් ජාවාරම්කරුවන් ළඟ තිබී සොයාගනු ලැබූ විශාලතම පුරවස්තු තොගය විය. මේ පුරාවස්තු ස්විට්සර්ලන්තය සහ එංගලන්තය හරහා අමෙරිකාවට යැවීමට සූදානම් කර තිබී ඇත.

1997දී සුවිස් පොලීසිය මඟින් ඉතාලි පොලිසියේ ඉල්ලීමක් පරිදි ජිනීවාහි ගබඩා හතරකට සීල් තබනු ලැබී ය. ඒ ගබඩාවල ඉතාලියෙන් කොල්ලකනු ලැබූ පුරාවස්තු 10,000කට අධික ප්‍රමාණයක් හමු වූ අතර එය ධනවත් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි ජාවාරම්කරුවකු විසින් මෙහෙයවනු ලැබ ඇත. බැවේරියාවේ පොලීසිය මඟින් ද නිවාස 3ක් පමණ සෝදිසි කිරීමකින් ග්‍රීක පුරාවස්තු 3000ක් පමණ සොයාගෙන ඇත.

මෙක්සිකෝව ද පුරාවස්තු කොල්ලයෙන් පීඩා විඳි රටකි. වරක් මාර්ග බාධකයක නවත්වනු ලැබූ ලොරි රථයක ක්‍රි.ව 1000ට පමණ අයත් පුරාවස්තු 2700ක් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට හැකි විය. මෙක්සිකෝ නගරයේ සිට සැතපුම් 50ක් එපිටින් පිහිටි ස්ථානයක පුරාවස්තු එකතු කරන්නකු ළඟ තිබී නීතිවිරෝධීව ලබා ගත් පුරාවස්තු 400ක් වරක් සොයාගනු ලැබී ය. එරට නීතියට අනුව පුරාවස්තු ළඟ තබා ගැනීම නීති විරෝධී වන අතර ඒ බව නොදැන පුරාවස්තු මිලදී ගත් සංචාරක තරුණයකුට සිරදඬුවම් විඳීමට සිදු විය. තවත් අවස්ථාවක එක් සංචාරකයකු විසින් තමන්ට පුරාවස්තු අලෙවි කිරීමට උත්සහ කළ ජාවාරම්කරුවකු පිළිබඳ ලබාදුන් ඔත්තුවක් නිසා ඒ ජාවාරම්කරු කොටු කරගැනීමට එරට පොලීසියට හැකි විය. මේ අවස්ථාවේ ජාවාරම්කරු පැන යෑමට සමත් වුවද ඔහු සතුව තිබූ පුරාවස්තු අඩංගු මලු තුනක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ මලුවල නීතිවිරෝධීව ලබාගත් පුරාවස්තු 39ක් තිබී ඇත.

ස්පාඤ්ඤයේ කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුරාවස්තු හුවමාරු කරගන්නා කල්ලියක් හඳුනා ගෙන තිබේ. 1985 සිට 1999 දක්වා කාලයේ බල්ගේරියන් පුරාවස්තු 28000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එය එලෙස නිතීවිරෝධී ලෙස විදේශගත වන ප්‍රමාණයෙන් 30% ක් පමණ බව සඳහන් වේ. අප්‍රිකාවේ තත්ත්වය මේ අතරින් ඉතා භයානක ය. එහි පුරාවස්තු කොල්ලය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. මාලි දේශයේ මේ තත්ත්වය කෙතරම් ඔඩුදුවා ඇත් දැයි කිව හොත් එය “සංස්කෘතික සමූල ඝාතනයක්” යන්නෙන් ඇතැමුන් විසින් හැඳින්වීමෙන් පැහැදිලි ය.

මෙලෙස පුරාවස්තු ජාවාරම ශ්‍රී ලංකාවේ පමණක් නොව ශිෂ්ට ලෝකයට ම පිළිලයක් වී හමාර ය. අනෙකුත් අපරාධ මෙන්ම මේ අපරාධය මැඬපැවැත්වීම සඳහා ශිෂ්ට මිනිසුන් කටයුතු කළ යුතුය. ධනවත් ව්‍යාපාරිකයන්, අවි දරන්නන්, බලයලත් නිලධාරීන් සහ ව්‍යාජ විද්වතුන් ඇතුළු සැඟවුණු ජාවාරම්කරුවන් රැසක් මේ අපරාධ පිටුපස සිටින බව පැහැදිලි ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.