ආර්ය ජනාවාසකරණයේ යථාව | සත්මඬල

ආර්ය ජනාවාසකරණයේ යථාව

එක් ග්‍රීක කතාවක සඳහන් වන්නේ ප්‍රොමිතියස් දෙවියන් මැටිවලින් මානව රූප තනා එයට සියුස් දෙවියන් ලවා පණ දීමෙන් මිනිසා බිහි වූ බවකි. ඩිකේලියන් සහ හේරා එකතු කළ සර්ප දළවලට පණ දීමෙන් මිනිසා බිහි වූ බව වෙනත් කතාවකින් කියවේ. ඒ මැවීම සිදු කරන්නේ සියුස් දෙවියන් ම ය.

මහ පොළොවේ මිනිස් සංහතිය බිහි වූ ආකාරය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලද්දේ විද්‍යාඥයන් විද්‍යාත්මක ගවේෂණවලිනි. විෂය සාධක දැක්වීමට පෙරාතුව ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ ආගමික සම්ප්‍රදායයන් ය. මනුෂ්‍ය වර්ගයාගේ ස්වරූපය පිළිබඳ විස්මයට පත් වූ පුරාණ කෘෂක මිනිසා ඒ පිළිබඳ විමසීමට සිටියේ ආගමික නායකයන් ය. ඔවුන් ඒ සඳහා විවිධ කතා මතවාද දක්වා තිබේ.

සැබැවින්ම මේ හැම කතාවක්ම බෙහෙවින් සිත් ගන්නා සුලු ය. ඒ බොහෝ කතාවල සර්ව බලධාරී දේව ආත්මයක් තිබේ. එසේම ඒ සර්වබලධාරී දෙවියන් වටා දේවතාවන් සහිත දේව මණ්ඩලයකි. ඔවුන් අතර ආදරය විරසක වීම් වෛරය කුහකකම් බොහෝයි. සමහර විට ප්‍රධාන දෙවියා කිව්වා නාහන දෙවිවරුන්ට දැඩි දඬුවම් දී තිබේ. ඒ අනුව ග්‍රීක් සියුස් දෙවියන් ප්‍රොමිතියස්ව කිව්ව නෑහු නිසා දවා හළු කරයි. ඊශ්වරයා (බ්‍රහ්මයා) අනංගයා පුලුස්සා දමන්නේ අසමජ්ජාති විහිළුවක් කළ නිසා ය.

එක් ග්‍රීක කතාවක සඳහන් වන්නේ ප්‍රොමිතියස් දෙවියන් මැටිවලින් මානව රූප තනා එයට සියුස් දෙවියන් ලවා පණ දීමෙන් මිනිසා බිහි වූ බවකි. ඩිකේලියන් සහ හේරා එකතු කළ සර්ප දළවලට පණ දීමෙන් මිනිසා බිහි වූ බව වෙනත් කතාවක කියයි. ඒ මැවීම සිදු කරන්නේ සියුස් දෙවියන්ම ය.

ඍග් වේදයේ 10 මණ්ඩලයේ 90 වැනි පුරුෂ සුක්තයේ හින්දූන්ගේ ආදිතම මිනිසාගේ මැවීම දැක්වෙයි. ඒ අනුව බ්‍රාහ්මණයා බ්‍රහ්මගේ මුඛයෙන් ද, ක්‍ෂත්‍රීයයා දෙබාහුවෙන් ද, වෛශ්‍යයා දෙකලවාවෙන් ද, ශුද්‍රයා දෙපතුලින් ද බිහි කර ඇත. මෙහිදී උපන් ස්ථානය අනුව බ්‍රාහ්මණයා උතුම් විය. මේ හැරුණු විට දෙවිවරුන්ගේ ලිංගික කාර්යයක අතුරු ඵලයක් සේ මෙන්ම තවත් බො‍හෝ දේව කතා හින්දූන් විසින් පිළිගනු ලබයි.

මිනිසාගේ උපත පිළිබඳ බෞද්ධ මතය අන්තර්ගත වන්නේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ය. ඒ අනුව ඇති වී නැති වී යළි ඇති වුණු මහ පොළොවේ ඕපපාතිකව සත්ත්වයෝ බිහි වූහ. උන් අහසේ සරයි. ප්‍රීතිය ආහාරයයි. ශරීර ආලෝකයෙන් යුතුය. එසේම අලිංගික ය. එහෙත් ස්වයංජාත හැල් තෘෂ්ණාවෙන් අනුභව කිරීම නිසා ලිංග බිහිව පවුල් සංස්ථාව ආරම්භ වෙයි.

බයිබලය දෙව්පියාණන් ආදම් සහ ඒව නිර්මාණය කර හමාර කරයි. එහි ඇති විශේෂය නම් ස්ත්‍රිය පුරුෂයාගේ ඉළ ඇටයකින් නිර්මාණය කර තිබීමය.

මනුෂ්‍යයාගේ උපත මෙන්ම ජාතින්ගේ ප්‍රභවය, දේශ ජනාවාස වීම පිළිබඳ ද කතා බොහෝ ය. ඒ හැම කතාවකම පරමාර්ථය තම ජාතිය උත්කර්ෂයට පත් කිරීමයි. වීරයන් සාධාරණීකරණය කිරීම ය. ඒ කතාවල දෙවිවරු යක්ෂයන් මෙන්ම මනඃකල්පිත සත්ත්වයෝ ද වෙති.

ක්‍රි.පූ. 2500ට නුදුරු කාලයක රුසියාවේ තණබිම්වල සිට වයඹ දිග ඉන්දියාවට පැමිණ ආර්යයන් තමන් හඳුන්වා දුන්නේ බ්‍රහ්ම මැවූ උත්තම පාත්‍ර ජාතියක් ලෙස ය. එහිදී හරප්පාවේ සිටි කාලවර්ණ නැහැය මුක්කං ලිංග පුදන වුන් මරා දැමීම ශුද්ධ සංහාරයකි. ඇතැම් විද්වත් මතවාදවලට අනුව දකුණු ඉන්දියාව ජනවාස වන්නේ ද්‍රවිඩයන්ගෙනි. ඔවුන් හරප්පාවේ සිටි එසේම ආර්යයන්ගෙන් මිදී පලා ආ වුන් ය. ඒ ද්‍රවිඩයන් සංගම් සාහිත්‍යයේ කියන්නේ ඔවුන් ක්‍රි.පූ. 5000 සිට දෙවිවරු සමඟ කටයුතු කළ බවයි.

ඉන්දියාව අත්පත් කරගත් ආර්යයන් අපේ රටට ආවේ කවදා දැයි හරියටම කිව නොහැකිය. වෛදික යුගයේ සිට ඔවුන් සතුව නාවික බලයක් තිබිණි. බුජ්ජු නමැති වෙළෙන්දාගේ හවල් සීයකින් යුතු නෞකාව මුහුදු බත් වූ බව ඍග්වේදය සඳහන් කරයි.

අපේ රටට ආර්යයන් පැමිණීමේ කළු පුවත මහාවංශය ප්‍රධාන වංශකතා දක්වන්නේ විජයගේ ආක්‍රමණශීලි සංක්‍රමණයයි. ක්‍රි.ව. 5 වැනි සියවසේ මහා විහාරයේ දික්සඳ පිරිවෙන් වාසී මහානාම හිමියන් විසින් රචනා කළ මහාවංසය පාලි සම්ප්‍රදායයට අනුව දෙවැනි කෘතියක එනම් අට්ඨ කථාවකි. එය රචනා කර ඇත්තේ පෙර කෘතිවල දිගු දේ කෙටි කරන්න ය. කෙටි දේ දිගු කරන්න ය. එසේම වැරදි නිවැරදි කිරීමට ය. එයින් ප්‍රකට වන්නේ විජයාවතරණය කතාව පූර්වයේ සිට පැවැති බවය.

මහාවංශ කතාවට අනුව වංග දේශයේ රජුට සුප්පා නමින් (ඇය සුසීමා යනුවෙන් ද ඇතැම් කෘතියක දැක්වේ) වැනි දියණියක් වූවා ය. ඇය සිංහයකු හා සහවාසයේ යෙදෙන්නී යැයි අනාවැකිකරුවෝ කීහ. මල්වර වූ ඇය වෙස් වළාගෙන වෙළෙඳ කණ්ඩායමක් සමඟ පලා යන්නීය. එහිදී ලාට නම් ස්ථානයේදී සිංහයකු පහර දී වෙළෙඳුන් පන්නා කුමරිය සිංහයා පැහැර ගෙන යයි.

ලෙනක සිර කර සිටි සුප්පා සිංහයා නිසා සිංහබාහු සහ සිංහ සීවලී යන පුතා සහ දුව වදන්නීය. තාරුණ්‍යයට පත් වූ සිංහබාහු ලෙන් දොර බිඳ අම්මා සහ නංගී කැටුව නෑයන් සොයා පැමිණේ. මෙහිදී සිංහබාහු පියා මරා නංගී සහේට ගෙන අලුත් රාජ්‍යයක් බිහි කරන්නේය. දහසැය වතාවක් බිසව පුතුන් තිස් දෙකක් බිහි කරන අතර එයින් වැඩිමලා විජය ය.

ප්‍රජා පීඩක අධි ගුත්තේරුවකු වූ විජය සහ සත්සියයක පිරිස නැවක මුහුදට දමයි. අනන්ත දුක්ගැහැට විඳින මේ පිරිස බුදුන් වහන්සේගේ, ශක්‍රයාගේ සහ උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මිනී කන කුවේණිය පාවා ගෙන යක්ෂයන් මරා පන්නා ආර්ය ජනාවාස මෙහි ස්ථාපිත කරයි.

මෙහිදී උපතිස්ස බමුණාගේ උපදෙස් මත කුවේණිය සහ දෙදරුවන් පන්නා මධුරා පුරයෙන් ආර්ය කුමාරියක පාවා ගෙන ආර්ය චාරිත්‍ර අනුව රාජ පදවිය ස්ථාවර කර ගනී. අසරණ කුවේණිය නෑයන් විසින් මරා දමනු ලබන අතර ඇගේ දෙදරුවන් සිරීපාද අඩවියේ පුලින් ද වැදි ගෝත්‍රය ආරම්භ කරයි.

මේ කතා පුවතේ ප්‍රධාන චරිතය වන්නේ සිංහයා ය. ඌ මකරා, භේරුණ්ඩ පක්ෂියා සහ ෆීනික්ස් පක්ෂියා සේ මනඃකල්පිත සත්ත්වයෙක් නොවේ. සිංහයා ඇත්තකි. ඌ සියලු සතුන්ගේ රජු ය. සුවිසල් ඇතාගේ කුම්භස්ථලයට පැන මොළය කෑමට සිංහයාට හැකිය.

එහි ප්‍රතිඵලය වූයේ පුරාණ ශිෂ්ටාචාර සිංහ ලකුණ තම රාජ්‍ය සංකේතය සේ යොදා ගැනීම ය. එය පැරැණි යුද්ධ භටයන්ගේ ලාංඡනයයි. එය පර්සියාවේ අභිමානය ය. විස්මයට මෙන් පැරැණි අයිරේනියානු ධජයක ඇත්තේ කඩුවක් අතින් ගත් සිංහයෙකි. අශෝක සාරානාත් ස්තම්භයේ යොදා ඇත්තේ සිංහයන් ය. කාශ්‍යපගේ මැඳුර සිංහ ගිරියකි. මහසෙන් තම කාසිවලට සිංහ රුව භාවිත කළේය.

එහෙත් ගුප්ත රජවරු තම අභිමානයට යොදාගෙන ඇත්තේ ව්‍යාඝ්‍රයා ය. බාගදා එය මෞර්යයන් ඉක්මවීමට ගත් වෑයමක් විය හැකිය.

අභිමානය සිංහයාට පංගනාතු කළ පුරාණයන් වන්දනීය බව ලබා දුන්නේ උරගයකු වූ නාගයාට ය. පෙණ ගොබයේ ලක්ෂණ නිසාත්, විෂ සහිත නිසාත් ඒ වන්දනාව හිමි වන්නේ නාගයාට ය. බුදුන් වහන්සේට සතියක් රැකවරණය දුන්නේ නාගයෙකි. එසේම නාග ලෝකයක් ද ඇත. අපේ නාග ගෝත්‍රයක් ද තිබේ. ඌ වඩාත් සිටින්නේ දෙවිවරුන්ගේ කරේ ය.

 

සිව්පා සතකු වූ සිංහයකුගේ ශුක්‍රාණුවලින් ගැහැනියක ගැබ් නො ගන්නා බව අපි දනිමු. ඒ අනුව විජය කතාවේ ආරම්භය ම අද්භූතය. බාගදා මේ සිංහයා සිංහ ගෝත්‍රික මං පහරන්නෙක් විය හැකිය.

විජය කතාවේ තවත් විශ්වසනීය නැති සිදුවීම් බො‍හෝ ය. අයියා නංගී විවාහ වීම විය හැකි වුවත් සිංහ සීවලිය දාසය වතාවක් නිවුන් දරුවන් බිහි කිරීම විශ්වාසයෙන් බැහැර වූවෙකි. එසේම බුද්ධ පරිනිර්වාණයත් එකම දින සිදු නොවී ය. ඒ ඇතැම් විද්වතුන්ගේ මතයකි. පිරිනිවන් මංචකයේ වැඩහුන් බුදුන් වහන්සේ ශක්‍රයා සමඟ විජය පිළිබඳ සාකච්ඡා කර ආරක්ෂාව සලස්වා දීම හොඳ ගෙතීමකි. මේ හැර එවකට ලංකාවේ මිනීමස් කන අමනුෂ්‍යයන් සිටි බව දැක්වීම අමු මුසාවක් බව පුරා විද්‍යාත්මක සාධකයන්ගෙන් සනාථ වෙයි.

මෙකල මෙහි පැමිණි අරාබි පර්සියන් වෙළෙඳුන් තම වෙළෙඳ ඒකාධිකාරය පවත්වා ගැනීම සඳහා ලංකාවේ සිටින්නේ අමනුස්සයන් ය යන මතය ප්‍රචාරය කළා විය හැකිය.

විජයගේ කතාව අපේ මහාවංශයේ පමණක් ඇති කතාවක් නොවේ. එය ප්‍රචලිත කතා ආකෘතියකි. පෙර අපර දෙදිග වීර කතාවල මෙයට සමාන කතා තිබේ. ‘දස රජ පුවත’ අනගි කෘතිය ලියූ නාලනී ද ලැනරෝල් ආචාර්ය මහත්මිය ඒ පිළිබඳ ඒ කෘතියේ මෙසේ සඳහන් කරයි:

“විජය පිළිබඳ පුවත හා ඇතැම් ග්‍රීක ජනප්‍රවාද අතර සමානකම් රැසක් විද්‍යමාන වෙයි. සිය සැමියාගේ අණ පරිදි විජයගේ මාළිගයෙන් බැහැර වන මන්ත්‍රකාර කුවේණියගේ කතාව ගැන සලකන විට එය අන් කිසිවක් නොව කොරින්තිහි රජ පැමිණීමෙන් පසු ආර්ගෝනෝට්හි ජේසන් විසින් පලවා හරින ලද මිඩියා සහ ඇගේ දරුවන් පිළිබඳ ජනප්‍රවාදයේ ප්‍රතිරාවයක් නොවේ දැයි අපට සිතේ. තවත් ග්‍රීක වීරයකු වූ තිසියස් පිළිබඳ කතාවේ එන පරිදි මිනෝටර් නම් මකරා මරා දැමීම පිණිස ‘වංක ගිරියට’ යෑම සඳහා ඔහු ඇරියඩ් හි කුමරියගේ මඟ පෙන්වීම ලබා ගනියි. මේ ආධාර ඇතිව මකරා ඝාතනය කරන ඔහු ඇයව නැක්සස් දිවයිනේ අත්හැර දමයි.

එක් අතකින් මෙය මාතෘ බව ඉක්මවා පුරුෂාධිපත්‍යය ඉස්මතු වීමක් සේ නාලිනී මැතිනිය දක්වන විග්‍රහය පිළිගත යුත්තකි.

මෙකල ග්‍රීක ජාතිකයන් වෙළෙඳාම සඳහා පෙරදිගට පැමිණෙමින් තිබිණි. චන්ද්‍රගුප්ත රජු සහ මැසිඩෝනියාවේ සෙලියුකක් නිකේටර් සමඟ ඇති කරගත් ගිවිසුම එයට පහසුවක් විය. ඒ ක්‍රි.පූ. තුන්වැනි සියවසේ ය. ඒ වෙළෙඳුන් මෙරටට පැමිණියේ ඇත් දළ මුතු මැණික් ගෙන යෑමට ය. පර්සියානු පලකින් අපේ රජ මැඳුරු අලංකාර වී තිබිණි.

මේ වෙළෙඳුන් අද වෙළෙඳුන් සේ නොව සංස්කෘතික ප්‍රවාහයකි. ඔවුන් තාවකාලික වෙළෙඳ ජනපද පිහිටුවා තිබිණි. එයින් කතන්දර සාහිත්‍යයක් ප්‍රචලිත විණි. ඉන්දියාව මෙකල හරප්පාවේ මාතෘ සංකල්පය බැහැර කර තිබිණි. එතැනට ආවේ ඉන්ද්‍ර, බ්‍රහ්ම ආදි දෙවිවරුයි. එවිට අර ග්‍රීක කතා ඔවුහු ආදරයෙන් මතක තබා ගත්හ.

මහාවංශය රචනා කිරීමේදී බණ කතා සාහිත්‍ය ගුරු කොට ගත්තේ යැයි ඉතිහාසය පිළිබඳ විද්වතුන්ගේ මතයයි. විජයගේ කතාව කීමේදී වළාහස්ස, සමුද්‍රවාණිජ, දේව ධර්ම, පදමානවක ආදි ජාතක කතා නිසැකවම බලපා තිබේ. විස්මයට මෙන් වළාහස්ස ජාතකයේ මේ දිවයිනට එන සීහල නම් වෙළෙන්දා ප්‍රථමයෙන් යක්ෂණියන්ගෙන් බේරී පලා යන්නේ පියාඹන අශ්වයකුගේ පිටේ ය. (මෙය ග්‍රීක පෙගසස් නම් පියාඹන අශ්වයා මගධයට ගෙන ඒමකි) අවසානයේ ඒ ඉන්දියානු වෙළෙඳුන් යක්ෂණියන් මරා මෙරට අත්පත් කර ගනී.

මේ ආර්ය ආක්‍රමණ සහ සංක්‍රමණ ආරම්භයේ සිට මෙසේ දැක්විය හැකිය.

I. විජයට පෙර මෙරට තාවකාලික ජනාවාස ඇති කළ ආර්ය වෙළෙඳුන්

II. විජයගේ ආක්‍රමණය

III. මධුරා කුමරි සපිරිවරගේ සංක්‍රමණය

IV. පණ්ඩු වාස දේවගේ සංක්‍රමණය

V. ශාක්‍ය භද්‍ර කච්චායනාගේ සංක්‍රමණය

VI. භද්‍රකච්චායනා සහෝදරයන්ගේ සංක්‍රමණය

VII. මහින්දාගමනය

VIII දුමින්දාගමනය

මෙයින් විජයගේ පැමිණීම නිසැකව ආක්‍රමණයකි. මහින්දාගමනය සහ දුමින්දාගමනය අශෝකයන්ගේ සංස්කෘතික ආක්‍රමණ ය.

විජයගේ කතාව ග්‍රීක දේව වීර කතාවලින් සහ ජාතික කතාවලින් උදුරා ගන්නේ නම් සත්‍ය වශයෙන් විජය කවුද? ඉහත අපේ රටේ ගෝත්‍ර හතරක් සිටි බව ඇත්ත ය. ඒ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන පිරිසයි. ක්‍රි.පූ. හයවැනි සියවස වන විට මෙරට දුර්වල පාලනය අත්පත් කරගෙන සිටියේ යක්ෂයන් ය. නාගයෝ උතුරේත්, බටහිරිත් වාසය කළහ.

මේ කතාවලට ඉහැත්තෑවෙන් තවත් කතාවක් අපට හමුවේ. ඒ වාල්මීකි ඍෂිවරයාගේ රාමායණයයි. අප්‍රමාණව සෝම (කංසා) පානය කළ වාල්මීකි කොතෙක් භාවනා කළේ ද යත් තමා වටා වේයන් තුඹසක් බඳින බව ඔහු නොදත්තේ ය. එක් ප්‍රවාදයකට අනුව වාල්මීකි රාමායණය දැක ගත්තේ කොක්වා ලිහිණින් දෙදෙනකුගේ පිළිසඳරක් අසා සිටීමෙන් ය.

වාල්මීකිට අනුව හෙළබිමේ සිටියේ නොදැහැමි දසික් රාවණා ය. ඔහු උතුම් රාමගේ බිසව සීතා අයෝධ්‍යාවේ සිට මෙහි මධ්‍ය කඳුකරයට පැහැර ගෙන එයි. කතාව අවසන් වන්නේ රාම රාවණා මරා දමා සීතාව බේරා ගැනීමෙනි. ඒ සඳහා උදව් කරන්නේ රාවණාගේ සහෝදර විභීෂණ ය. ඔහුට රාම යටතේ ලංකා රාජ්‍යය පවරා දේ. එහෙත් ඉන් පසු සිදු වූයේ කුමක් දැයි අපි කිසිවකු හෝ නො දනිමු. එය ගොඩනැඟිය හැක්කේ හිතලු ඉතිහාසකරුවන්ට පමණි.

චීන සංචාරක භික්ෂූන් දිව්‍යාවදානය සහ ඇතැම් ජාතක කතා කියන්නේ ලංකාව ඉන්දියානු වෙ‍ළෙඳුන්ගෙන් ජනාවාස වූ බවයි. එක් දක්ෂ ආර්ය වෙළෙන්දකු කුවේණිය පාවා ගෙන මෙහි රාජ්‍ය උරුමය ලබා, අහිංසක යක්ෂ ගෝත්‍රිකයන් මරා, දුර ඈත වනාන්තරවලට පන්නා දමා මෙරට බලය ලබා ගන්න ඇත. ජයග්‍රාහකයා යන අර්ථයෙන් ඔහුට විජය කියා නම් තබන්න ඇත.

මේ සරල ඇත්ත අද්භූත වන්නේ දේශ ජාති අනුරාගය විසින් හික්මවනු ලැබීමෙන් ය.

ඉන්දියාවෙන් මෙරටට පැමිණි සියලු සංක්‍රමණිකයන් සංඝමිත්තා‍වගේ ආගමනයෙන් පසු හමාර වෙයි. ඉන්පසු සිදු වන්නේ ආක්‍රමණ ය. මෙහිදී උතුරු ඉන්දියාව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර දකුණු ඉන්දියාව විසිවතාවකට වඩා මෙරට ආක්‍රමණය කර තිබේ.

ආගම හිසින් ගත් උගතා තවත් මුග්ධ‍යකු කරන්නේ ජාති දේශ අනුරාගයයි. බුදුන් වහන්සේ ද සින්නක්කර භුක්තියෙන් අපිට ‍සින්න කරගැනීමට වෑයම් කිරීම එහි තවත් ප්‍රතිඵලයකි.

ඉතිහාසය වූකලි ශුද්ධ විෂයයකි. ප්‍රලාපයක් කෙබඳු කතා එක් කළ ද අදීන උගතා සත්‍යය දකී. එහෙත් එය නිජබිම් සංකල්පය සහිත හදවතට කම්පාවක් වනු ඇත. හැටේ දශකයේ මහනුවරදී බුදුන් වහන්සේගේ ලංකාගමනය විද්‍යාත්මකව සනාථ කළ නොහැකි යැයි කී මහැදුරු පරණවිතානයන්ට අගනුවරට එන තුරු පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදු වූයේ එහෙයිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.