උණුසුම් සඳ හා සීතල හිරු | සත්මඬල

උණුසුම් සඳ හා සීතල හිරු

 

සිත්තරාණෙනි
ඔබ අඳින ලද
සිත්තමක් නම් ජීවිතය
වැරදුණු තැන් යළි මකා හැර
ඇඳිය හැකි සිතුවමක් නම් ජීවිතය...
වෙන ගතක් ඇති
වෙන සිතක් ඇති
බෝසතෙක් වෙන්නම්...

දයාසේන ගුණසිංහයන් දොරමඬලාව කාව්‍ය සංග්‍රහයෙන් මේ විමසන්නේ මිනිස් සිතෙහි යථා ස්වභාවයයි. මේ මොහොතේ පවත්නා තත්ත්වයට විරුද්ධ යමක්, වෙනස් බලාපොරොත්තුවක් මිනිස් සිතෙහි නිතර රඟ දීම සාමාන්‍ය ස්වභාවයයි. විටෙක ඒ වෙනස් සිතිවිල්ල සඳ එළිය සේ ය; සුපසන් ය. නමුත් ඒ සුපසන් බව ම යම් දිනයක මහා ගින්නක් අවුළුවාලිය හැකිය. නිවීම්, ඇලවීම් අප ජීවිතය ස්වාභාවිකත්වයේ අලවමින් අපගේ සංස්කෘතික ජීවිතයට යම් යම් බලපෑම් කරයි. විටෙක එය නිවා සනහාලයි; තවත් විටෙක මහා ගින්නක්ව සිත් පුරා අවුළුවයි.

පොද වැස්ස සැනසීම ළඟා කරවයි; මහ වැස්ස වැනසීම ළඟා කරවයි. මඳ අව් රශ්මිය සුවදායක ය. තද හිරු රැස් විඩාබර ය. මඳනල ආනන්දනීය ය. සැඬ සුළඟ හිංසාකාරී ය. සිත ද එසේ ම ය.

එක ම සිතිවිල්ල එය උත්පාදනය වන මොහොත හා එහි අරමුණ අනුව උදා කර දෙන කර්මඵලය විවිධාකාර ය; අපූර්වය ය. ඇතැම් විට සඳ කිරණින් සිත දැවී යා හැකිය; තවත් විටෙක සැඬ හිරු කිරණින් සිත නිවී යා හැකිය. එය අප සිතන සිතිවිල්ලේ ස්වභාවය අනුව ගොඩනැඟෙන්නකි. එය ද අපූර්ව ය.

සිතෙහි ඇති වන මනෝභාව විටෙක සිත චංචල කරමින්, සැඬ කරමින්, ක්‍රෝධය වපුරමින් ගලා යන්නේ ය. තවත් ‍වරෙක ඒ සිතිවිලි ම මැදහත්ව, උපේක්ෂාවෙන් විඳගැනීමේ හැකියාව අපට තිබේ. තවත් විටෙක ඒ සිතිවිලි වපුරන්නා කෙරෙහි අසීමිත මෛත්‍රියකින් යුතු වීමට තරම් මනස නිදහස් කරගැනීමට ද අපට හැකියාව ඇත. වරින් වර ඇති වන අයහපත් සිතිවිලි මකා දමා ජීවිතය යළි යළිත් සිත්තමක් සේ අඳින්නට හැකි නම්...

ක්‍රිෂ්ණමූර්තිතුමන් පවසන්නේ තම සිත නිදහස් කරගන්නා ලෙසයි. ‘නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි’ නමින් ගාමිණී පත්බේරිය විසින් පරිවර්තනය කරන ලදි. silence is the beginning of wisdom නම් කෘතියේ මේ බව පැහැදිලිව දක්වා තිබේ. මොහොතින් මොහොත අනේකවිධ ස්වරූප පෙන්නුම් කරන සිත නිදහස් කරගෙන, සත්‍ය ගවේෂණයෙහි යෙදීමත්, සත්‍යය අවබෝධ කරගැනීමත්, සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් පහළ කරගැනීමත් මිනිසාගේ නිවැරදි ආධ්‍යාත්මික ගමන් මාර්ගය වශයෙන් ක්‍රිෂ්ණමූර්තිතුමා මේ කෘතියේ අඩංගු දේශන මඟින් අවධාරණය කරයි.

බුදුදහමේ සිත පිළිබඳ කෙරෙන සියුම් විග්‍රහ කිරීම් පිළිබඳ ඔබේ අවධානය යොමු වී තිබේ ද? අහසේ නිදහස්ව සැරිසරන්නට වලි කන සරුංගලයක් සිහින් හුයකින් පාලනය වෙයි. ඒ හුය කැඩී වරෙක සරුංගලය නිදහස් අහසේ හිතුමනාපයට කරණම් ගසයි. සිතිවිලි ඉබාගාතේ යෑමට අසීමිතව ආශා කළත් එය සරුංගලය පාලනය කරන සිහින් හුය මෙන් දමනය කරගැනීමේ මාර්ගයක් අප සොයා නොගන්නේ නම් ඒ සිතිවිලි මුළු ලොවක් ගිනිබත් නොකරාවි යැයි අපට කිව හැකි ද? ධම්මපදයේ චිත්ත වග්ගයේ සඳහන් වන්නේ තම සිත මැනවින් දමනය කරගන්නා ලද පුද්ගලයා නිවන් මඟට ප්‍රවිෂ්ට වූවකු ලෙසයි.

යථා ආහාරං දුච්ඡන්නං
වුට්ඨී සමතිවිජ්ජති
ඒවං අභාවිතං චිත්තං
රාගො සමතිවිජ්ජති

හොඳින් සෙවිලි කළ වහලයක් සහිත නිවෙසක ජීවත් වන පුද්ගලයන් අව්වෙන්, වැස්සෙන් ආරක්ෂා වන්නා සේ හොඳින් දමනය කළ සිතක් සහිත පුද්ගලයාත් පාපකාරී සිතිවිලිවලින් මිදෙන බව ඉන් කියැවේ.

බොහෝ අයගේ සිත් තම නිවෙස ඇතුළතදී, එනම් තම පවුලේ සාමාජිකයන් ඉදිරියේදී මෛත්‍රි සහගත වෙයි; තවත් සමහරුන්ගේ සිත මෛත්‍රීයෙන් පිරෙන්නේ බාහිර පුද්ගලයන් අබිමුව දී ය. එහෙත් භේදයකින් තොරව සෑම දෙනා කෙරෙහි ම මෙත් සිත් පතුරුවාලිය හැකි නම් එය අප මනසට කොතරම් නිරාමිස සුවයක් එක් කරයි ද?

සිත පාලනය කරගත නොහැකි අවස්ථා කීයක් නම් අපට අත්විඳින්න ලැබී තිබේ ද? නින්දා, අපහාස, බොරු චෝදනා අබිමුව කී වාරයක් නම් අප සිත වාවාගත නොහැකිව හඬා වැලපී තිබේ ද; කීර්තිය, ප්‍රශංසාව ඉදිරියේ සිත කෙතරම් උද්දාමයෙන් පිරී ගියේ ද?

නෙක තරු රටා මැද ප්‍රභාවත්ව දිලෙන පූර්ණ චන්ද්‍රයා කී වාරයක් නම් අප සිත අපූර්වත්වයෙන් පුරවන්න ඇත් ද? සිලි සිලි නදින් සැලෙනා බෝ පත්, අප සිත කී වාරයක් නම් නිවා සනහාලන්නට ඇත්ද? කෑමට අහරක්, බීමට දිය බිඳක් නැතිව සිඟමන් යදින වයෝවෘද්ධ මවුවරුන්, පියවරුන් කොතෙක් වාරයක් අනිත්‍යය පිළිබඳ පාඩම අපට උගන්වන්නට ඇත්ද? මේ අනේකවිධ සිදුවීම් ඇසුරේ සම සිතින් ජීවත් වන්නත්, ඒ‍වා දෙස උපේක්ෂාවෙන් බලන්නත් සමත් සිතක් අපට උරුම වී තිබේ ද?

සිත විරාමයක් නොලබන සංචාරකයෙකි. එය වාචික, භාවික, රූපික සංසර්ගයෙහි ඇලෙමින් දුක හා සතුට උපද්දවාලයි. සවිඥානකත්වය, ගැඹුරු විමුක්තිය සොයා යෑමේදී සමහර අවස්ථාවන්හි සිත දැඩි පීඩනයට පත් වේ. ඒ පීඩනය විසින් අප මනසේ ගැඹුරු නිහඬතාවක් ඇති කරයි. ඒ නිහඬතාව, තනිකම දරාගත නොහැකි එක් අවස්ථාවකදී පුපුරා දෙදරා යයි. ඒ පරාජය ඉදිරියේ ආක්‍රමණශීලිත්වය හා දර්ශනකාමිත්වය යටපත් වී ප්‍රකෘතිය ගැහෙමින්, හඬමින් දැඩි වේදනාවෙන් යුතුව අන් සියලු‍ භාව යටපත් කරමින් දෝරේ ගලා යයි. එය මුදු සඳ එළිය මත පිපෙන්නට වැර දරන මඬෙන් උඩට ආයාසයෙන් පිළිපන් රතු නෙළුමක් සේ යළි යළිත් මෘදු ව එහෙත් වේදනාභරිතව සිත කොනිති ගසමින් ආත්මය පුරා රඟ දෙන්නට වෙයි. රඹුකන සිද්ධාර්ථ හිමි වේදනාභරිත සිතට මුදු පවන් රැල්ලක් සේ සැනසීමේ ධර්මය රැගෙන අවබෝධයේ මාවතට අප ප්‍රවිෂ්ට කරවයි. කපුගේගේ ලයාන්විත එහෙත් දුක්බර ස්වරය හදවත පත්ලට ආමන්ත්‍රණය කරමින් දුක්ඛය ද රසයක් බවට පත් කරමින් හාත්පස ගලා යයි.

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.