ජනසන්නිවේදනයේ නව ප්‍රවණතා | සත්මඬල

ජනසන්නිවේදනයේ නව ප්‍රවණතා

සමාජ ඉතිහාසය පෙන්නුම් කර තිබෙන එහි ප්‍රධාන තත්ත්වයක් නම් ලෝකයේ සන්නිවේදන ප්‍රවණතා සකසන්නන් ඇති බවත්, ඒවාට පදනම් වූ සාධක ඇති බවත් ය. විටෙක කිසියම් ප්‍රවණතාවක් සකස් කරන්නේ පුද්ගලයකු වීමට පුළුවන. තවත් විටෙක සමාජ ආයතනයක් වීමට ද පුළුවන. මේ කියන පුද්ගලයන් ආයතන සහ සාධක බොහෝ විට එකිනෙකාගෙන් වෙන් කිරීමට අපහසු ය.

කිසියම් විෂයයක ප්‍රවණතා (trends) යන්න විවිධ කෝණවලින් වටහාගත යුත්තකි. ඒ මඟින් සමාජය වෙනස් කිරීමටත් ප්‍රවණතාවක් ඇති වෙයි. ඒ නිසා ප්‍රවණතා යන්න කිසියම් විෂයයක ‘ගමන් මඟ’ හඳුන්වා දෙන තත්ත්වයක් වශයෙන් සැලකිය හැකිය. මේ ටික ‘සන්නිවේදන අධ්‍යයනය’ හා ජනසන්නිවේදනය පිළිබඳත් පොදුවේ හඳුනාගැනීමට හැකි තත්ත්වයකි.

සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවණතා කිහිපයක් වර්ග කළ හැකිය:

1. ඓතිහාසික ප්‍රවණතා

2. දේශපාලන ප්‍රවණතා

3. සාමාජික ප්‍රවණතා

4. තාක්ෂණික ප්‍රවණතා

5. සංස්කෘතික ප්‍රවණතා

6. දාර්ශනික ප්‍රවණතා

7. ආගමික හා මතවාදී ප්‍රවණතා

8. වෙනත්

ප්‍රවණතා කාරක හා සාධක

සමාජ ඉතිහාසය පෙන්නුම් කර තිබෙන එහි ප්‍රධාන තත්ත්වයක් නම් ලෝකයේ සන්නිවේදන ප්‍රවණතා සකසන්නන් ඇති බවත්, ඒවාට පදනම් වූ සාධක ඇති බවත් ය. විටෙක කිසියම් ප්‍රවණතාවක් සකස් කරන්නේ පුද්ගලයකු වීමට පුළුවන. තවත් විටෙක සමාජ ආයතනයක් වීමට ද පුළුවන. මේ කියන පුද්ගලයන් ආයතන සහ සාධක බොහෝ විට එකිනෙකාගෙන් වෙන් කිරීමට අපහසු ය. ඒ නිසා විශේෂයෙන් ‘සන්නිවේදන අධ්‍යයනයේදී’ එක් ‍විෂයයක හා එයට සම්බන්ධ පුද්ගලයන් අනෙක් විෂයයට හා එයට සම්බන්ධ පුද්ගලයන් හා සම්බන්ධ වෙයි. මේ නිසා පුද්ගලාන්තර සම්බන්ධය මත සමූහ ඒකරාශී වෙයි. එසේ ඒකරාශී වීම හේතුකොට ගෙන සමාජ සංස්ථා ගොඩනැ‍ඟෙයි.

ඒ අනුව එක්තරා නූතන න්‍යායයක් ද සැකසී තිබේ. ඒ න්‍යායය හඳුන්වන්නේ “functional Interaction” හෙවත් ක්‍රියාකාරී අනුකලන අන්තර් ක්‍රියාදාමය යනුවෙනි.

මෙහිදී බොහෝ අවස්ථාවල මාධ්‍යය අධ්‍යාපනය, සංස්කෘතික සහ තාක්ෂණය එකිනෙකට බැඳී පවත්නා අයුරු අපට හඳුනා ගැනීමට සිදු වී තිබේ. මේ කාරණය වඩාත් හොඳට පෙන්වා දුන් කෙනකු වන්නේ මහා ඉතිහාසඥයකු වූ ආනල්ඩ් ටොයින්බී ය.

ටොයින්බී තම අදහස් පුරෝගාමි සටහනක් වශයෙන් බහාලූවේ ‘A study of History’ කෘතියෙහි ය. ඔහු මෙලෙස එහිදී අදහසක් ප්‍රකාශ කළේය:

“ඓතිහාසික ප්‍රවණතා එක් විෂයයකින් අනිත් විෂයයට සම්බන්ධ වෙනවා. කොහොම ද සම්බන්ධ වෙන්නේ?”

“It leaves its traces in every cultural discipline from Architecture to Zoology, taking in on the way Biology, Forestry, Geography, History, Law, Literature, Medicine, Politics, Philosophy, Sexuality and so on.”

මේ ආකාරයෙන් සටහන් කරන ටොයින්බී නූතන නව්‍ය හෝ නවීන යන්නේ පවතින ‘ප්‍රවණතා’ ස්වභාවය වටහා ගැනීමේ අපහසුතාව සටහන් කරයි: “the period referred to by historians as the ‘modern’ period ends more or less in the third quarter of the 19 th century - that is sometime between 1850 - 1875. This suggests that there is from that moment a kind of break into a period ‘other modernism’ a post modernity located not in the 20 th century but rather in the nineteenth.”

මෙසේ සටහන් කොට නිශ්චිත වශයෙන් මේ නව ඓතිහාසික ප්‍රවණතා යන අර්ථය සැපයීමට ඓතිහාසික ඥානයට පශ්චාත් නූතන යන්න එකතු කෙරේ.

නොලියැවුණු ඓතිහාසික ප්‍රවණතා

ටොයින්බී මෙන්ම වෙනත් ඉතිහාසඥයන් හා සමාජ විද්‍යාඥයන් රැසක්ම අපට පෙන්වා ඇත්තේ සමාජ යන්ත්‍රණයේදී නොලියැවුණු ඓතිහාසික ප්‍රවණතා රැසක් ඇති බවයි. මුඛ පරම්පරාවෙන් පැවැති හැම දෙයක්ම ජනශ්‍රැතිය යනුවෙන් නම් කොට, එදෙස විවිධ කෝණවලින් බැලීමට සලස්වා තිබේ. ඒ බැල්ම හා දැක්ම නිසා සුවිශේෂ විෂයයක් වශයෙන් ජනශ්‍රැතිවේදය අද ප්‍රවේශ කීපයකින් බැලීමට සලස්වා ඇත. එහෙත් එය සම්මත ඉතිහාසය අධ්‍යයනය හෝ සාහිත්‍යය හෝ වශයෙන් සලකන්නේ නැත. ජනශ්‍රැතිවේදී ප්‍රවණතා සියල්ල සම්මත ඓතිහාසික ප්‍රවණතාවලට යටින් ගමන් කළ උපපෙළක් වශයෙන් සලකන්න පුළුවනි. ඒ අතර ඓතිහාසික මූලාශ්‍රය වශයෙන් සලකන්නත් පුළුවනි. ජනශ්‍රැතිවේදය ‘නොලියැවුණු ඉතිහාසය’ පමණක් නොවේ. ඉන් වෙනත් ප්‍රවණතා කීපයකුත් මතු විය.

ප්‍රධාන ප්‍රවණතාව ලෙස සැලකිය හැකි වන්නේ සන්නිවේදන අධ්‍යයනට සම්බන්ධ වූ නිර්මාණාත්මක සන්නිවේදනයේ විවිධාංගයි. මෙහිලා අද ජනමාධ්‍යවේදියාට සහ ජනසන්නිවේදන අධ්‍යයන විද්‍යාර්ථියාට සුවිශේෂ මෙහෙවරක් ඉටු කිරීමට සිදු වී තිබේ. ඉන් ප්‍රධාන තැන ගන්නේ ජනශ්‍රැති මූලාශ්‍රය හඳුනාගෙන ඒවා ප්‍රතිනිර්මාණය කිරීමයි. දෙවනුව ඒ ජනශ්‍රැති නිර්මාණාංග ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ග්‍රාහක මණ්ඩලයක් කෙරෙහි ගෙන යෑමයි. ඒ සඳහා පුවත්පත පමණක් නොව අවශේෂ විද්‍යුත් මාධ්‍ය ද උපයෝගි කරගැනීමට සිදු වෙයි.

6. ප්‍රතිනිර්මාණය හා ප්‍රත්‍යුත්පාදනය

ප්‍රතිනිර්මාණය නිර්මාණ ක්ෂේත්‍රයේ ග්‍රීක මහා නාට්‍යකරු ඊස්කිලස් හා භාරතීය මහා නාට්‍යකාර කාලිදාස පටන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීන් දක්වා විවිධ වෙස්ගත් නිර්මාණාත්මක සන්නිවේදන ප්‍රවණතා මැවූ මූලාශ්‍රයක් බවට පත් වී තිබේ. රංග කලාව, සාහිත්‍ය නිර්මාණ විලාසිතා වැනි ප්‍රවණතා රැසක් මැවීමට ජනශ්‍රැතිවේදය මූලාශ්‍රය සපයයි. මේ ගැන මවිසින් වෙනත් තැන්වල සටහන් කරන ලද දේ කියැවීම වැදගත් වන්න පුළුවන. ප්‍රත්‍යුත්පාදනය විසංයෝජනය යනුවෙනුත් ප්‍රවණතාවක් වශයෙන් හඳුන්වයි. මීට ඉංග්‍රීසියෙන් කියන්නේ deconstruction ය.

ඉන් කෙරෙන්නේ කුමක් ද?

Deconstruction: To take a part, to undo, in order to seek out and display the assumptions, rhetorical strategies and blind spots of texts. The dismantling of hierarchical binary oppositions such as reality/ appearance, nature/ culture, reason/ madness, in order to show: (a) that one part of the binary is devalued as inferior, (b) that the binary server to guarantee truth: and (c) that each part of the binary is implicated in the other.

(Post modernism, glossary 383)

බොහෝ විට කලාකරුවන්, නිර්මාණ ශිල්පීන් තම නිර්මාණවලින් තම නිදහස විමුක්තිය, ආත්ම ප්‍රකාශනය ඉදිරිපත් කරයි. ඒ සියලු යෙදුම්වලින් කියැවෙන දැක්ම නිර්මාණවලදී ප්‍රශ්න කිරීමට පු‍රාණෝක්තිය, ඇදහිල්ල, යාතුකර්ම ආදිය මරා ඉපැද්දීමක් කරන්න වෙයි. මරා ඉපැද්දීම කියන යෙදුමම මා උපුටා ගත්තේ පත්තිනි කතාවෙනි. පත්තිනි කතාව ගත හොත් එහි මුල් ඇත්තේ සම්මත වශයෙන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වන්න පුළුවන. එහෙත් ඒ පත්තිනි කතාව මරා උපද්දවා කුමන රටක වුණත් වෙසෙන නවීන නිර්මාතෘවරයකුට වෙනත් අනුභූතියක් මවන්නත් පුළුවන.

මේ මරා ඉපැද්දුම නැවත සකස් කිරීමක් හෝ ඒ මැරූ දේ වළකා යළි වෙනත් දෙයක් මැවීමක් වශයෙන් වුණත් ගණන් ගත හැකිය. මේ නිසා අද construction, reconstruction හා deconstruction යනු නිර්මාණ සංකල්ප වෙනස් වූ එක මූලයකින් හටගත් නිර්මාණ දැක්මක් වශයෙන් සැලකිය හැකිය. මේ ක්‍රියාදාමය නිර්මාණ කාර්යයේ හැම අංශයකටම යොමු කරයි. එහි අතු ඉති මෙකල ජනමාධ්‍යයේ ලිඛිත, ශ්‍රව්‍ය හා දෘශ්‍ය සීමා කෙමෙන් පුළුල් කරන්න හේතුකාරක වී තිබෙන බව අපට පෙනෙයි. මේ ක්‍රියාදාමය ආදිතම ස්මරණයෙන් වැඩ ගැන්මක් වශයෙන් සැලකීමට පුළුවන.

ප්‍රවණතා හා අභියෝග

අප මුලින් දැක්වූ විවිධ ප්‍රවණතා හා ප්‍රභේද සමාජ යාන්ත්‍රණය හෙවත් සමාජ ගමන් මඟ අනුව අභියෝගවලට ‍ගොදුරු වෙයි. එය බොහෝ විට දැකගත හැකි වෙන්නේ මාධ්‍ය අභියෝග සමුදායක් වශයෙනුයි. මම මේ සඳහා නිදසුන් කීපයක් පමණක් ගැනීමට බලාපොරොත්තු වෙමි. ‍

1. සදාචාරය

2. වාරණය

3. මානව සාරධර්ම

මේ අංශ තුන සමාජ ආරක්ෂාව හා සමාජ පාලනය සඳහා අවශ්‍ය වන බව යම් කිසි අවස්ථාවක පළවෙයි. එසේ පළවීමෙන් එහි විවිධ විෂය කරුණු මාධ්‍ය මඟින් සාකච්ඡා කෙරෙයි. සංවාදයක් ආරම්භ වෙයි. තවත් ටික කලකදී ඒ තත්ත්වයම අභියෝගයට ලක් වීම වැළැක්වීමට නොහැකිය. ඒ සඳහා උපයෝගි කරගන්නේ මාධ්‍ය ව්‍යුහයම ය. මෙහිදී සැලකිය යුතු වන්නේ මේ අභියෝගය හෝ අභියෝග තත්කාලීන සමාජ ජීවිතයේ සන්නිවේදන ප්‍රවණතා ඇති කරන බව ය. මූලික වශයෙන් කෙරෙන්නේ ප්‍රශ්න කිරීමකි.

 

1. සදාචාරය කියන්නේ කුමක් ද?

එහි සීමා කවරේ ද?

සදාචාරයේ අසම්මතයන් නැද්ද?

සදාචාරය අවශ්‍ය කාට ද?

ඔවුන්ගේ සදාචාරය කියන්නේ අපේ සදාචාරයම ද?

 

2. වාරණය කෙසේ ඇති වී ද?

වාරණය කුමට ද?

වාරණය කරන්නෝ කවරහු ද?

වාරණයේ සීමා කවරේ ද?

මේ නිර්මාණය වාරණය කළ හැකි ද?

වාරණයේ සම්මතය හිතකර ද?

උන්ගේ වාරණය හා අපගේ වාරණය පිළිබඳ වෙනසක් නැති ද?

 

3. මානව සාරධර්ම කෙසේ ඇති වී ද?

එහි සීමා ‍කවරේ ද?

ඉන් සිදු වූ සමාජ සංවර්ධනය කෙබඳු ද?

ඔවුන්ගේ සාරධර්ම අපගේ සාරධර්ම විය යුතු ද?

 

මතු දැක්වූ ප්‍රශ්න එලෙසින්ම නොඇසුවත් වෙනස් මුහුණුවරින් මතු වී කතිකා බිහි වීම වැළැක්විය නොහැකිය. එමඟින් ප්‍රථම කොට ගොඩනැ‍ඟෙන්නේ නව සන්නිවේදන ප්‍රවණතා සමුදායකි. පසුව ඒවා පාදක කරගෙන කලින් පැවැති සම්මුති වෙනස් වීම ද නොවැළැක්විය හැකිය.

ප්‍රවණතා හා දෘෂ්ටිවාදී පදනම්

යට කී ප්‍රශ්න ඇසීමටත් එසේ ප්‍රශ්න ඇසීම නිසා නව සන්නිවේදන ප්‍රවණතා ගොඩනැඟීමක් සිදු වන්නේ සමාජයේ සිදු වූ විවිධ දේශපාලනික, දාර්ශනික, ආගමික, විද්‍යාත්මක, ගවේෂණාත්මක ඥානය හේතුකර ගෙන බිහි වූ පදනමකිනි. මේ පදනමේදී ගතික ස්වභාවයක් දක්නට ලැබේ. සමහර විට ආදිතම දෘෂ්ටිවාදයක් නවීන මුහුණුවරකින් දැක ගැනීමට පුළුවන. ඒ අතර ආදිතම දෘෂ්ටිවාදි මුහුණුවර සම්පූර්ණයෙන් යටපත් වී නවීන මුහුණුවරක් දැකගත හැකිය. එවිට අපි ‘නව’ නූතන යන්න භාවිතයට ගැනෙයි. ඒ අතරම වඩාත් වැලඳ ගත් යන අර්ථය දෙන ජනප්‍රිය, මනමෝහණ, යන්න popular නමින් හඳුන්වා දෙන්නට පුරුදු වී සිටියි.

මේ නිසා ඒ යෙදුම්වලින් ප්‍රකට වන මතුපිට අර්ථයම ප්‍රවණතාවක් හෝ ජනප්‍රිය ප්‍රවණතාවක් එකක් බවට පත් වී තිබේ.

මෙසේ බිහි වූ ජනප්‍රිය ප්‍රවණතා සමහර සන්නිවේදන විද්‍යාර්ථින් බැරෑරුම් ලෙස අධ්‍යයනය කිරීමට පටන් ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්නිවේදනාර්ථ පුළුල් වෙයි. සන්නිවේදනාර්ථ ම පෙරළා සන්නිවේදන ප්‍රවණතා බවට පත් වෙයි.

නිදසුනක් වශයෙන් පුවත්පත් කලාවේ අද පවතින බටහිර ප්‍රවණතාවක් නම් ඥානවන්ත පුවත්පත් කලාවක් කරා යන්න ය. මෙහි සාධක කවරේ ද? මේ නැම්ම හෙවත් ප්‍රවණතාව මොඩලයක් වශයෙන් ගෙන එයට සමාජ හිතකාමි ස්වාධීන කාර්යභාරය යන අර්ථය දෙන ‘socio minded independent function’ යනුවෙන් හඳුන්වා තිබේ. එහි ප්‍රධාන සාධක හතක් මෙසේ දැක්විය හැකිය:

1. උත්තම ප්‍රතිරූපය හෝ උත්තරීය ප්‍රතිරූපය

2. පැහැදිලි චින්තනය

3. අපක්ෂපාතී ආකල්ප

4. නිම්වළලු පුළුල් කිරීම

5. නිවහල් භාවය

6. නව ලොවක උදාව

7. සමාජ ආරක්ෂාව විධිමත් කිරීම

නව තොරතුරු සම්පාදන ප්‍රවණතා

මෙය නූතන සන්නිවේදන ලෝකයේ පුළුල් ප්‍රවණතාවක් වශයෙන් හඳුන්වන්න සිදු වන්නේ යුනෙස්කෝවේද මැදිහත් වීමෙන් ජනමාධ්‍ය භාවිතයේ නව මං සෙවීමක් කළ බැවිනි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කාර්යයක් භාවිතයට පත් වී ඇති Many voices one world කෘතිය නිකුත් විය. මහාචාර්ය ලෙනාර්ඩ් ආර්. සුස්මන් මේ සම්බන්ධයෙන් කරුණු සම්පිණ්ඩනය කරමින්, ‘UNESCO and the New World Information Order’ නමින් වැදගත් සටහනක් ලියා තිබේ. ඉන් මුඛ්‍ය වශයෙන් කියැවෙන්නේ වාර්තාකරණයේ සැහැල්ලු හා බොල් ගතිය නිසා එහි වර්ගීකරණ ආධිපත්‍යයක් සොයා නැඟි ඇතැම් රටවලට ඉමහත් ආධිපත්‍යයක් සිදු වූ බවයි.

මේ නිසාම ඇතැම් රටවල වාර්තාකරණ ප්‍රවණතා තවත් රටවලට හානිකර ප්‍රතිවිපාක වූ බවත් සැලකීමට පුළුවන.

විශේෂයෙන් මෙය සිදු වුණේ තුන්වැනි ලෝකයේ රටවලට මාධ්‍ය ප්‍රවණතා ධනේශ්වරවාදි රටවලට මූල්‍යමය වශයෙන් යහපත් වුණත් ඉන් ලැබෙන බලපෑම අනුව දිළිඳු රටකට අයහපතක් වන්න ඉඩ තිබේ. මේ නිසා මාධ්‍ය ආධිපත්‍යය නමින් ප්‍රවණතාවක් ඇති විණි. එමඟින් මාධ්‍යයේ හැම සන්දේශයක් ම වාණිජකරණයට හසු වන්න පටන් ගත්තේ ය. මේ තත්ත්වය මොඩල වශයෙන් ගෙන අනුකරණය කළ රටවලට ද උවදුරු ඇති විය.

මේ නිසා ම ප්‍රශ්න රැසක් ඇති වෙන්න පටන් ගත්තේ ය.

1. තවදුරටත් තොරතුරු සම්පාදනයේ ශුද්ධවන්ත භාවයක් ඇති විය හැකි ද?

2. තොරතුරු සම්පාදනය වාණිජකරණයට හසු වී ඇති ද?

3. අභිවෘද්ධිවාදි ජනමාධ්‍ය ව්‍යූහ ගොඩනඟාගැනීමට ඇති බාධා කවරේ ද?

4. ජනමාධ්‍ය ව්‍යූහය කෙතරම් නිදහස්කාමී ද?

5. ඒ නිදහස් කාමී බව කෙසේ ආරක්ෂා කරගත යුතු ද?

මේ සියලු ප්‍රශ්න මුල් කොටගෙන මාධ්‍ය නිදහසම ජනමාධ්‍ය ප්‍රවණතාවක් බවට පත් විය. මේ ප්‍රවණතාවේ කල්පනා කටයුතු දිගු කිරීම් කිහිපයක් ද අපට හමු වෙයි. නැණවත් ලෙස මාධ්‍ය භාවිතය කළ යුතු බොහෝ අවස්ථාවල එහි විකල්ප අවස්ථාව ප්‍රවණතා වශයෙන් කෙමෙන් ගොඩනැඟී පවතියි. එයට මාධ්‍ය තාක්ෂණය ද තොරතුරු තාක්ෂණය යන ශාඛා දෙක ද මුසු වී පවතියි. ඒ අනුව අපගේ සැලකිල්ල මතු දැක්වෙන ධාරා කෙරෙහි යොමු විය යුතුයි.

1. ප්‍රචණ්ඩතා ප්‍රවණතාව

2. අසභ්‍යවාදි ප්‍රවණතාව

3. අවසරයෙන් තොර උපුටා ගැනීම

4. ගෝලීයකරණ විෂමවාදි ප්‍රවණතාව

5. යුදවාදි සහ වර්ගවාදි ප්‍රවණතාව

6. මානව හිතවාදි විරෝධී ප්‍රවණතාව

 

මේ හැම සිරස්තලයකින්ම පෙන්නුම් කෙරෙන්නේ ඒ පිටුපස ඓතිහාසික හා සමාජීය වශයෙන් ගොඩනැඟුණු ප්‍රවණතාවක් නොවේ දැයි අපට ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවයි. උත්තම මානව සමාජයක් බිහි කිරීමට හෙවත් උත්තරීය මානව සමාජ සංවිධානයක් සඳහා සමාජය වෙනස් මඟකට හැරවීම මාක්ස්වාදය වැනි දේශපාලන චින්තන දෘෂ්ටිවාදයන්ගෙන් මැනවින් පෙන්නුම් කර තිබේ. එසේම ආගමික න්‍යාය ධර්ම ද දුරාතීතයේ පටන්ම මේ කාරණය මැනවින් පෙන්නුම් කර ඇත. උත්තම දේශපාලන චින්තනයෙන් හෝ ආගමික චින්තනයෙන් ආධ්‍යාත්මික ගුණ වගාවක් විනා ඉන් බැහැර වූ නීච සන්ත්‍රාසයක් හෝ අධම භාවයක් බලාපොරොත්තු වන බව පෙනෙන්නේ නැත. මේ චින්තනවලට අනුකූලව මාධ්‍ය සකස් විය යුතු විනා ඉන් බැහැරව දුර්දාන්ත රීතියකට අනුව සන්නිවේදනය සිදු වන බවක් පෙනෙන්නේ නැත.

ඒ චින්තා අනුව බිහි වූ ජනමාධ්‍ය ව්‍යූහය සදාතනික දායාද මිනිස් සමූහයාට එක් කළ ජීවන ප්‍රවාහයක් වශයෙන් සැලකිය හැකිය. මේ නිසා මෙකල ජීවත් වන අපට සරු හා නිසරු ප්‍රවණතා පිළිබඳ දැක්මක් ඇති කරගැනීමට අවශ්‍ය වෙයි. අනුකාරක වෙනුවට නවෝත්පාදන ප්‍රවණතා බිහි කිරීමට අපට සිදු වෙයි. මෙය කිසි සේත් ම පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කෙටි මාර්ග නැති බවත් කිව යුතුය.

සියල්ල සලකා බලන කල ජනසන්නිවේදන අධ්‍යයනයේදී මාධ්‍ය විචාරය උසස් තැනක් ගැනීම ද, ප්‍රධාන පෙළේ සන්නිවේදන ප්‍රවණතාවක් ලෙස සැලකීමට පුළුවන.

 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.