දෙමවුපියනි, ඔබ දැනුම්වත් ද? | සත්මඬල

දෙමවුපියනි, ඔබ දැනුම්වත් ද?

මේ කුරුණෑගල ටියුෂන් ගුරුවරයකු මෑතකදී පැවසූ කතාවකි. දිනක් ඔහු උගන්වමින් සිටින අවස්ථාවක උසස් පෙළ සිසුවියක පාඩමට අවධානය යොමු නොකර වෙනත් වැඩක නිරතව සිටිනු දුටුවේ ය. ඒ ගැන අවධානය යොමු කළ විට ඔහුට දැක ගන්න ලැබුණේ ඒ පාසල් ශිෂ්‍යාව ජංගම දූරකථනය දෙස බලමින් කුමක් හෝ ටයිප් කරන අයුරුයි. පන්තියේදී දූරකථන භාවිතය ඔහු විසින් තහනම් කර ඇති බැවින් හෙමින් වේදිකාවෙන් බැස ගිය ගුරුවරයා ශිෂ්‍යාව අත තිබූ ස්මාට් වර්ගයේ දූරකථනය අතට ගත්තේය. එවිට දැක ගන්න ලැබී ඇත්තේ ඇය මුහුණු පොත ඔස්සේ කිසිවකු හා චැට් කරමින් සිටින බව ය. ඇති වූ දැඩි සැකය මත කුමක් කතිකා කර ඇති දැයි ආපස්සට ගොස් බැලීමේදී ඔහුට හැගී ගොස් ඇත්තේ එදින ටියුෂන් පන්තිය අවසානයේ එසේ චැට් කරමින් සිටි පුද්ගලයා හමු වීමට ඇය සූදානමින් සිටින අයුරුයි (පන්තියේ සිසුවියකගේ දූරකථනය අතට ගෙන ඇය කරමින් සිටියේ කුමක් දැයි බැලීම සදාචාර විරෝධි බව කෙනකුට හැඟී ගියත් වර්තමාන ටියුෂන් ගුරුවරුන් තම පන්තියේ දරු දැරියන් සම්බන්ධව දැඩි විනයක් ඇතිව කටයුතු කිරීම සාමාන්‍ය සිද්ධියකි). පසුව ශිෂ්‍යාවගෙන් ඒ සම්බන්ධව කරුණු විමසීමේදී ඇය පවසා ඇත්තේ දින දෙක තුනකට පෙර නාඳුනන අයියා කෙනකු තමන් සමඟ මුහුණුපොත ඔස්සේ කතා කරන්න පටන් ගත් බවත් එදින ඔහු තමා හමුවීමට කුරුණෑගල යම් ස්ථානයකට පැමිණෙන අතර තමා ද පන්තිය අවසානයේ එතැනට යෑමට සූදානමින් සිටින බවත් ය. ඔහු කාගේ කවුරුද ආදි කිසිවක් ඇය නොදැන සිටි අතර දින කිහිපයකට පෙර මුහුණුපොත ඔස්සේ ඔහු එවා තිබූ මිතුරු ඉල්ලීම පිළිගත් පසු ඔහු දිගටම තමාට චැට් කළ බවත්, අද දිනයේ ඔහු හමුවීමට ගොස් සියැසින් දැක බලා ගන්න සූදානමින් සිටින බවත් ඇය පැවැසී ය. ඒ ටියුෂන් ගුරුවරයා මවිතයට පත්ව ඇත්තේ අදාළ ස්ථානයට පැමිණි පසු ඔයාව හඳුනා ගන්නේ කෙසේ දැයි ඒ සිසුවිය යවා තිබූ පණිවිඩය දැකීමෙනි. එනම් ඒ චැට් කළ පුද්ගලයාගේ ඡායාරූපයක් වත් ඇය මුහුණුපොතේ ඔහුගේ ගිණුමේ දැක නොතිබීමයි. ටියුෂන් ගුරුවරයා ඒ මොහොතේම ශිෂ්‍යාවගේ නිවෙසට කතා කර ඇයගේ මවට පැමිණෙන්න යැයි කියා සිද්ධිය මවට පවසා දරුවා බාර දී ඔහු තමන්ගේ යුතුකම ඉටු කර ඇත.

ටියුෂන් ගුරුවරයාට මුහුණු පොත ගැන යම් දැනීමක් තිබුණු නිසා ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීමට පුළුවන් වීම වාසියක් වූ නමුත් බොහෝ වැඩිහිටියන්ට මේ නූතන තාක්ෂණයට මුසු වූ ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතය ගැන ඇත්තේ අල්ප වූ දැනුමකි.

මවුපියන් මුහුණුපොත ගැන දැනුමක් නැති වීම දරුවන්ට වාසියකි. ඔබට තරුණ දියණියක සිටී නම්, මුහුණුපොත මඟින් තරුණියකට විය හැකි හානිය කෙතරම් විසල් දැයි දැන ගැනීමට ද රිසි නම් සරල ක්‍රමවේදයක් පවසා සිටින්නම්. ඔබ මුහුණුපොතේ ගිණුමක් ආරම්භ කරන්න. එයට තම දියණියගේ වයස, ඇගේ පාසල මෙන්ම ලස්සන කාන්තා නමක් ද සඳහන් කර එය මුහුණුපොතට මුදා හරින්න. ප්‍රොෆයිල් පික්චර් එකට ගෙදර සිටින සුනඛ ධේනුවගේ පින්තූරය දාන්න. ටික දවසක් යන විට ඔබටම අවබෝධ වේවි මුහුණුපොත කෙතරම් නම් භයානක තැනක් ද යන වග. පැය විසිහතරක් ගෙවෙන්නත් ප්‍රථම අඩුම තරමින් නොදන්නා පිරිමි පනහක් හැටක් වත් මේ ගිණුමට මිතුරු ඉල්ලීම් එවා තිබිය හැකිය. ඒ මිතුරු ඉල්ලීම් ඔබ පිළිගන්න. ඉක්බිති ඔබටම දැක ගත හැකි වේවි ඉන් එහාට සිදු වන දේ....

“ගුඩ් මෝනිං!”

“හායි!”

“ඔයා කොහෙද!”

“මොකද මේ බල්ලෙක් දාගෙන ඉන්නේ.... ආ තේරුණා, අම්මිට හොරෙන් නේද පැටියෝ එෆ් බී එන්නේ!”

ඔය වගේ කෙළවරක් නැති පණිවිඩ ඔබට දැක ගත හැකි වනු ඇත.

පණිවිඩවලින් ඒවා නතර නොවන අතර දුරකථන මෙන්ම වීඩියෝ ඇමතුම්වලින් ද කිසි අඩුවක් නොවනු ඇත. ඔබ ඒවාට පිළිතුරු සැපයුව හොත් සාමාන්‍ය ඡායාරූප හුවමාරුවෙන් පටන් ගෙන, රාගය මුසු වූ කතාබහෙන් ගොඩනැඟී, නිරුවත් ඡායාරූප මෙන්ම වීඩියෝවලින් සන්නද්ධ වී අවසානයේදී එකිනෙකා හමු වී දැක බලා ගැනීමක් දක්වා වර්ධනය වීම අධ්‍යයනය කළ හැකිය. ස්ත්‍රී නමකින් සුනඛ ධේනුවකගේ පින්තූරයක් දැම්මත් තත්ත්වය එසේ නම් ඔබගේ දියණියගේ පින්තූරයක් දැම්මොත් තත්ත්වය කෙසේ වේ දැයි මොහොතකට සිතන්න. හැම පිරිමියකුම එසේ නොවන නමුත් මානසික රෝගී මිනිසුන් ද ඇති බව දත මනා ය. මා මේ කියූ ප්‍රායෝගික ක්‍රියාකාරකම ඔබ කළොත් එහි සත්‍ය අසත්‍යතාව ඔබට දැක ගත හැකි වනු ඇත. මීට කාලයකට පෙර මා මගේ බිරිය සමඟ එක්ව එවන් ක්‍රියාකාරකමක් කළේ එවකට මාගේ දියණිය හතරේ වසරේ සිටි බැවිනි. වසර කිහිපයකින් ඇය තරුණ වියට එළැඹෙන විට දෙමවුපියන් වශයෙන් අප සමාජ ජාලා භාවිතය ගැන කරුණු දැන සිටීම එවන් දෙයක් කරන්න හේතුව විය. අප ප්‍රොෆයිල් පික්චර් එකට දැම්මේ කාන්තා අතක් පමණි. රාත්‍රි දහයට එකවුන්ට් එක නිමවා එය මුදා හැර නින්දට ගොස් පසුදා පාන්දර අවදිව බලන විට එයට මිතුරු ඉල්ලීම් 99ක් තිබුණේ අප පුදුමයට පත් කරවමිනි. ඒ ඉල්ලීම් ගොඩේ අරුම පුදුම නම්වලින් යුතු ගිණුම් ද තිබිණි. අපට පුරුදු තිලක්, සමන්, දිසානායක, පෙරේරා වැනි සාමාන්‍ය නම් වෙනුවට එහි තිබුණේ ‘නංගිලාට කැමැති අයියා, හොඳ කොල්ලා, රහසිගත ඇසුරක පමණි, පුද්ගලිකයි රහසිගතයි, ඇන්ටි! ඔයා අසහනයෙන් ද....’ මේ ආකාරයේ එවා ‍මෙන්ම ප්‍රසිද්ධියේ ලිවිය නොහැකි ආකාරයේ නම් ද තිබිණි. ඒ ගිණුම් පිරික්සා බැලූ විට අවබෝධ වූයේ එහි නිරුවත් ඡායාරූප මෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශනවලට ප්‍රමුඛතාව දී ඇති බවයි. ඔබ නිකමට හිතන්න උසස් පෙළ පන්තියේ නැතිනම් සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන තරුණ දියණියක් මෙවන් ගිණුමකට එබී බැලුවොත් තත්ත්වය කෙසේ වේ දැයි යන්න. අපි එවැනි ව්‍යාජ ගිණුමක් නිමවා ඒ පරීක්ෂණය කර නොතිබෙන්න කිසිදා එවන් දේවල් සමාජ ජාලාවල සිදු වෙනවා දැයි දැන නොසිටියෙමු. එයට හේතුව අප භාවිත කරන මුහුණු පොතේ සිටින සියලු මිතුරු මිතුරියන් පැසුණු සහ ප්‍රබුද්ධ අය වීමයි. බොහෝ විට ඔවුන් සියලු දෙනාම වාගේ අපි පෞද්ගලිකව දැන හඳුනන අයයි. එබැවින් අපගේ ගිණුම්වල පහත් අරමුණෙන් එන පුද්ගලයන් කිසිදා දැකිය හැකි නොවනු ඇත.

එහෙත් මතක තබා ගන්න මේ මුහුණු පොතේ විවිධාකාර වූ මාන, තල, පැති, මට්ටම් ඇති බව. ඒක හරියට පෘථිවියේ මිනිසුන්ට සහ තිරිසනුන්ට අමතරව බහිරවයන්, පෙරේතයන්, කුම්භාණ්ඩයන් ආදි නොපෙනෙන ඕපපාතිකයන් ද සිටිනවා වාගේ ම ය.

ඔබ වැරදීමකින් හෝ රාගය පමණක් අරමුණු කරගත් කුම්භාණ්ඩයකු පළමු මිතුරන් දෙතුන් දෙනා අතරට එකතු කර ගත්තොත් ඉන් එහාට ඔබට ලැබෙන මිතුරු ඉල්ලීම් සහ ඔබට පේන මිතුරු ලැයිස්තුව එයට නෑකම් කියන ඒ හා ඈඳුණු ඒවා බව දත යුතු මනා ය. පළමු මිතුරන් තුන් හතර දෙනා අතර කවියකු සිටියේ නම් ඒ සමඟ ඈඳෙන්නේ කවියට කැමැති, කවි ලියන මිතුරු ලැයිස්තුවකි. ධර්මය ගැන බුදු දහම ගැන නැතිනම් දේශපාලනය ගැන උනන්දු වූවන් කිහිපදෙනකු සිටියහොත් තත්ත්වය ද එයට අනුරූපය... සමගාමීය. එහෙත් මුහුණු පොතේ ගිණුමක් ආරම්භ කර තමන් හොඳින් දන්නා අය එයට එකතු කරගන්නවා නම් මෙවැනි අවදානමක් නැත. එහෙත් කාලයක් ගිය විට තම ගිණුමට නොදැනීම එකතු වන සහ තමන්ගේ අපරික්ෂාකාරී භාවය නිසා ඉහත සඳහන් තමන්ට නුසුදුසු මාන, තල සහ මට්ටම්වල සිටිනවුන් එකතු වීම විය හැකි දෙයකි. තම දරුවා නිසි වයසට එළැඹීමට පෙර විනාශකාරී මිතුරන් හඳුනා ගන්න ලැබුණොත් විය හැකි හානිය ගැන ඔබට අවබෝධයක් ඇතුවාට සැක නැත.

කිසිම පොතක්, සඟරාවක්, පත්තරයක් නොකියවන, සමාජය ගැන අල්පමාත්‍රයකුදු දැනුමක් නැති, වැස්සකටවත් පුස්තකාලයකට ගොඩ නොවුණු, දෙස් විදෙස් මෙගා ටෙලි නාටක බලා ලබා ගන්නා සරල දැනුමෙන් යුතුව හැදෙන, සමාජ ජාලා භාවිතය ගැන අල්පමාත්‍ර දැනුමක්වත් දෙමවුපියන්ට නැති හේතුව නිසා බය නැතිව අන්තර්ජාලයේ සැරිසරන, ඒ වගේම තමන් ගැන අවධානය යොදන්න දෙමවුපියන්ට කාලයක් නැති බව දන්නා දරුවකු ගැන සිතන්න. අර දැරිය දින දෙක තුනකට පෙර මුහුණු පොතෙන් දැන හඳුනා ගත් ‘අයියා’ හමු වීමට යෑම ගැන මා නම් පුදුමයකට පත් වන්නේ නැත. මේ අයියලා හරිම ඉක්මන් ය.

 තමන් කරන්නේ බොරුවක් බව ඔවුහු දනිති; එමෙන්ම ඒ බොරුව ඉක්මනින් හෙළි වන බවත් දනිති. ඒ නිසා ඔවුන් බලන්නේ හැකි ඉක්මනින් සියලු කටයුතු කර අවසානයේ අත පිහ දා අතුරුදන් වීමට ය. ඇස්පිල්ලම් දෙකක් ගහන විට දියණිය ගැහැනියක කරන්න ඒ අයියලාට මහ ලොකු කාලයක් අවශ්‍ය නොවේ.

තාක්ෂණය අවැසි ය; එහි සැකයක් නැත. මුළු විශ්වයම එකම ගම්මානයක් වෙමින් පවතී. අපට කොන් වී අහු මුලු ගත වී සිටිය නොහැකිය. නැවත ගල් ගුහාවට රිංගීමටත් නොහැකිය. ඒක වෙනම කතාවකි. අප පවසන්නේ සමාජ ජාලා එපා යන්න නොවේ. මේ හැම දෙයක්ම වුවමනා ය. සමාජ ජාලා භාවිතයෙන් ලබා ගත හැකි සාධනීය පැති බොහෝ තිබේ. එහෙත් තම දරුවන් තාක්ෂණය සමඟ මුසු වෙද්දී දරුවා සතු තාක්ෂණ දැනුමෙන් සීයට කීයක් තමා සතු දැයි මවුපියෝ කල්පනා කරති ද? දරුවාට අති නවීන දූරකථනයක් ගෙන දෙන මවුපියන් භාවිතයට ගන්නේ අන්තර්ජාලයට පවා යා නොහැකි කසිකබලකි. එහෙම නැතිනම් ඔවුහු දරුවා ළඟ තියෙන කසිකබල් ජංගම දූරකථනයට තමන්ගේ ස්මාට් ෆෝන් එක මාරු කරති. සමහර මවුවරුන් වඩාත් කැමැත්තක් දක්වන්නේ තමන්ගේ දියණිය වටිනා දූරකථනයක් අතේ තබාගෙන පාරේ යනවා දකින්න ය.

මුහුණු පොතේ තමා නොදන්නා මාන, පැති, ඉසව් ඇති බව නොදන්නා මවුපියන් තමාගේ දරුවාට එහි නිදහසේ සරන්නට ඉඩ දී බලා සිටීම කොතරම් නම් අනුවණ ක්‍රියාවක් ද? අප සැමදා දකින්නේ හ‍‍ඳේ හාවා සිටින පැත්ත විතර ය. ඒ ඉර එළිය වැටෙන්නේ හාවා ඉන්න පැත්තට විතරක් නිසා ය. එහෙත් චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තක් ද ඇති බව අමතක නොකරන්න. අප ඒ පැත්ත දැකලාවත් නැත. අප දකින්න උත්සාහ කරන්නේ ද නැත. හඳේ නොපෙනන පැත්ත ගැන විද්‍යාඥයන් ලියූ ලිපියක් වත් අඩු තරමින් කියවන්නේ නැති නමුත් අපේ දරුවන් මුලින්ම දකින්න උත්සාහ කරන්නේ, හොයාගෙන යන්න උත්සාහ කරන්නේ අප නොදකින හඳේ අනික් පැත්ත විය හැකිය.

මානසික කායික රෝගවලින් පෙළෙන වැඩිහිටියන් සිය පහත් ආශා ඉටු කරගැනීමට ෆේස් බුක් හෝ වෙනත් සමාජ ජාලා භාවිත කර එමඟින් දරුවාට විෂ බීජයක් එන්නත් කළොත් ඒ විසෙන් දරුවන් අකර්මණ්‍ය වීම ස්වාභාවික ය. ඒ සඳහා දරුවාට බැණීමෙන් වැඩක් නොවේ. අත්දැකීම් නැති සහ කුතූහලය දනවන වයසේ හැදෙන දරුවකුගේ ශරීරය ඩිජිටල් විසට ඔරොත්තු දෙන මට්ටමේ ප්‍රතිශක්තියක් නොතිබුණ හොත් විස ශරීරගත වීමේ ප්‍රවණතාව වැඩි ය. සමාජ ජාලා විසට ඔරොත්තු දෙන්න නම් දරුවා දැනුමෙන් සන්නද්ධ අයකු විය යුතුය. ඒත් එය ලැබෙන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් මුද්‍රිත පාසල් පෙළ පොත්වලින් නම් නොවේ. ඒ පොත්වල තිබෙන දේවල්ම නැවත වනපොත් කරවන ටියුෂන් ගුරුවරුන්ගෙන් ද නොවේ. ඒ දැනුම ලබෙන්නේ විෂය බාහිර කියැවීමෙනි. ඔබේ දරුවා යහමින් පොත්පත්, සඟරා, පත්තර කියවන්නකු නම් ඔබට බය වන්න කාරණා නැත. එය එසේ නොවේ නම් දරුවා පොළොවේ පය ගහලා මහ පොළොවට පදම් වන තුරු නූතන තාක්ෂණය සමඟ මවුපියන් ද දරුවා සමඟ එකට සිට ගත යුතුය. වැඩිහිටියනි! උත්සාහ කරන්න; තාමත් ඔබ මේ තාක්ෂණය උගෙන නැති නම් එයට පරක්කු නැති බව අපි දනිමු. එහෙත් මේ තාක්ෂණය කියන්නේ ෆේස් බුක් පිටු ඇඟිලිතුඩඟින් විටෙක ත්වරණය කරමින්, විටෙක තිරිංග ගසමින් ඉහළ පහළ යන එක විතරක් නොවේ. සිංගප්පූරුව සිංගප්පූරුවක් කළ ලී ක්වාන් යූ නූතන තාක්ෂණය ඉගෙන ගත්තේ වයස අවුරුදු අසූවේදී ය. ඒ නිසා යමක් ඉගෙන ගන්න වයස ගැටලුවක් කර නොගන්න.

ඔබ නූතන තාක්ෂණය ඉගෙන ගැනීමට අකැමැති යැයි සිතන්න.

“අපට මොන ෆේස් බුක් ද!”

යැයි කියමින් එය සමච්චලයට භාජනය කරන්නේ නම්, අඩුම ගණනේ ඒ සම්බන්ධව ලියැවුණු ලිපිවත් කියවන්න. මුහුණු පොත ගැන, සමාජ ජාලා භාවිතයේ නිෂේධන මෙන්ම සාධනීය පැති ගැන ලියවුණු ලිපි කියවන්න. ඔබට එවැනි ලිපි කියවන්නත් බැරි නම්, එයට වඩා ටෙලි නාට්‍ය බැලීම වටිනවා යැයි කියලා හිතෙනවා නම්... නිසි වයස එළැඹෙන තුරු චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තට පවා යා හැකි දූරකථන දරුවාට අරගෙන දීමෙන් වළකින්න. ඔබට දරුවාට ස්මාට් වර්ගයේම දූරකථනයක් අරගෙන දෙන්න වුවමනා යැයි සිතමු. නැති නම් දරුවා යාළුවන් ඉදිරියේ කොන් වෙයි නේද යනුවෙන් ඔබ කල්පනා කරන්නේ නම්.... කිරීමට තියෙන්නේ මෙයයි. හදිසියේ ම කෝච්චියට ‍ටික්කෝ පනිනවා මෙන් එකපාරටම “කෝ දෙන්න ඔයාගේ ෆෝන් එක!” යනුවෙන් පවසමින් එය අතට ගන්න; ටිකක් අත පත ගාන්න; අම්මාටත් වඩා මේ වැඩේ පියා කළහොත් ළමයා බියට පත් වනු ඇත. අන්තර්ජාලයේ සැරිසැරීමට නම් මුහුණු පොතේ පිටු පෙරළීමට නම් දරුවකුට සුදුසු ටිකට් පතක් තිබිය යුතු බව ඔවුන් දැන ගනු නියත ය. ඒක කරන්නත් ඔබට නොහැකි නම්, ළමයාගේ මානව හිමිකම් කඩනවා යැයි ඔබ සිතනවා නම්, දරුවට මෙලෙස පවසන්න. අන්තර්ජාලයට යන විට අහුමුලුවල ඉඳගෙන, එනම් දුරකථන තිරය, ලැප්ටොප් තිරය, ටැබ් එක කාටවත් නොපෙන ලෙස තබාගෙන අන්තර්ජාලයේ සැරිසරන්න එපා යන්න. මේ එකක් වත් ඔබට කළ නොහැකි නම් කරන්න තියෙන්නේ එක දෙයකි. ඒ උප්පත්ති වාසනාව අනුව දරුවාගේ අනාගතය තීරණය වන දෙස උපෙක්ෂාවෙන් බලාගෙන සිටීම පමණි !

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.