සෙංකඩගලට දළදා හිමි වැඩමවීම ගැන දළදා පුවත කවි පොතෙන් | සත්මඬල

සෙංකඩගලට දළදා හිමි වැඩමවීම ගැන දළදා පුවත කවි පොතෙන්

සෙංකඩගල ලංකාවේ අගනුවර කරගෙන පළමුවෙන් ම රජ වන්නේ පළමු විමලධර්මසූරියයි (ක්‍රි. ව . 1592 – 1604). 1409 සිට 1592 දක්වා සෙංකඩල සිටියේ සාමන්ත පාලකයන් ය. උඩරට රාජ්‍ය අයිතිය හිමි කුසුමාසන දේවි (දෝන කතිරිනා) පරංගීන් හා යුද කොට අල්ලාගෙන, රාජ්‍ය උරුමය 1594දී තහවුරු කර ගැනීමට පෙර රජකම සඳහා එදා අවශ්‍ය ම වූ දළදා හිමිගේ අයිතිය 1592දී හිමි කර ගත්තේ ය. ඒ සීතාවක දෙල්ගමුව විහාරයේ වැඩ සිටි දළදා හිමි මහනුවරට වැඩම කරවීමෙනි. මේ පිළිබඳ වටිනා අලුත් තොරතුරු කීපයක් ‘දළදා පුවත’ නම් කවි පොතින් හෙළි වෙයි. මේ ලිපිය ඒ කරුණු ගැන විවරණයකි.

‘දළදා පුවත’ කවි 460කින් යුතුය. කර්තෘ අප්‍රකට ය. පොත අග එන පරිදි මේ ශත වර්ෂ 1615 හෙවත් පොදු වර්ෂ 1593 ජූනි මස ලියැවිණි. පළමු විමලධර්මසූරිය රජු රජකමට පත් වූයේ 1592 බැවින් සමකාලීනව ලියැවුණු මේ කවි පොතේ තොරතුරුවල විශාල වැදගත්කමක් ඇත. අප්‍රකට තිබූ ‘දළදා පුවත’ බ්‍රිතාන්‍ය කටුගේ තිබී සොයා ගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විජේරත්න මහතා ශාස්ත්‍රීය ලෙස සංස්කරණය කර කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර ඇත. ‘දළදා පුවත’ පිටපත් දෙකක ‘දළදා හටන’ නමින් හඳුන්වා ඇත. ‘දළදා පුවත’, ‘දළදා හටන’ නමින් ද ප්‍රකට වූ බව ඉන් පෙනෙයි. දළදා පුවත පුස්කොළ පොත පත්ඉරු 13ක් විය. මේ කවි පොත වෘත්ත 11කින් යුතු කවි 460ක පැරැණි කාව්‍ය සම්ප්‍රදාය හා ජනකවි සම්ප්‍රදාය මිශ්‍රව ලියැවී ඇත. දළදා හටනේ මුල් තොරතුරුවල සාරාංශය මෙසේ දැක්විය හැකිය:

1. බුද්ධචරිතයේ සිද්ධි

2. දළදා හිමි දඹදිව දී පෑ ප්‍රාතිහාර්යය

3. කළිඟු රජු දළදා හිමි රැකීම. රජු කළ පුද සත්කාර

4. දළදා හිමි ඉල්ලා දඹදිව රජකු සටනට ඒම

5. සටනේදී පරාජය වුවහොත් දළදා රැගෙන දළදා ඉල්ලා දූතයන් එවූ ලංකාවේ මහසෙන් රජු වෙත වෙස් වළා ගෙන දළදා හිමි රැගෙන යන ලෙස රජු තම බෑණා වූ දන්ත කුමරුට හා දූ හේමමාලාට උපදෙස් දීම

6. නැවෙන් මේ දෙදෙන එද්දී සිදු වූ පූජා - මහසෙන් රජුට පසු රජ වී සිටි කිත්සිරි මෙවන් රජු කළ පූජා - (මේ කරුණු කීමට කවි 365ක් කැප කර ඇත).

7. අනුරාධපුර කල සිට කෝට්ටේ දක්වා දළදා ඉතිහාසය (366 – 385) ඓතිහාසික ලෙස වැදගත් අලුත් තොරතුරු ඇතුළත් වනුයේ කෝට්ටේ අග අවධිය, සීතාවක, මහනුවරට දළදා හිමි වැඩම වීම විස්තර වන කවි 386 – 460ක් අතර කවි 74කිනි.

ඒ වැදගත් ‍ඓතිහාසික තොරතුරු කවරක් දැයි කෙටියෙන් බලමු. ඒ තොරතුරු සමකාලීන වෙනත් මූලාශ්‍රය සමඟ සසඳා බැලීමක් ද කෙටියෙන් සිදු වෙයි.

1. කෝට්ටේ අග අවධියේ හිරිපිටියේ රාල දියවඩන නිලමේ පදවිය හොබවයි. දෙවියන් සිහිනෙන් පෙනී සිට “දත මැද ගන්” කියයි. සිහිනයේ අර්ථය වටහා ගත් ඔහු දළදා හිමි සිරසේ බැඳගෙන වෙස් වළාගෙන කැලණි ග‍ඟේ දිවස්නා තොට පීනා එතෙර ව සීතාවක මායාදුන්නේ රජු හමු වී දළදා හිමි පවරයි. මායාදුන්නේ රජු බෙහෙවින් සතුටු වූ දෙල්ගමුව දළදා මැඳුර කරවා දළදා හිමිට පුද පූජා පවත්වයි. හිරිපිටියේ දියවඩන නිලමේට තනතුරු පුදයි (දළදා පුවත 386 – 399 කවි). කෝට්ටේ 7 බුවනෙකබාහු රජු 1551 මියගිය පසු රජ වූ‍යේ ධර්මපාල රජුයි (ක්‍රි. ව. 1551- 1597). ඔහුගේ මෞල්‍ය මංගල්‍යය පවා ඉටු කළේ පෘතුගාල රජු බව ඇත් දත් කැටයමකින් පෙනෙයි. සිංහල රජු බෞද්ධයකු විය යුතු යන චිරාගත සම්ප්‍රදාය බිඳිමින් 1557දී ඔහු දොන් ජුවන් ධර්මපාල නමින් කතෝලිකයෙක් විය. ප්‍රධානීහු රජු අනුගමනය කළහ. දළදා මාළිගාව ඇතුළු බෞද්ධ විහාර පල්ලි බවට පෙරළිණි. 1565දී සීතාවක ප්‍රහාරය නිසා පෘතුගීසීහු කෝට්ටේ වනසා ධර්මපාල රජු කැටුව කොළඹට පසු බැස්සහ. රටක් නැති නාමික රජකු ලෙස සිටි ඔහු 1580දී තෑගි ඔප්පුවකින් තම උරුමය පෘතුගීසීන්ට පවරා 1597දී මළේ ය. ‘දළදා පුවත’ කෝට්ටේ අග කාලයේ සිටි හිරිපිටියේ රාල දියවඩන නිලමේ කෝට්ටේ තුන් මහල් ප්‍රාසාදයේ වැඩ සිටි දළදා හිමි රැගෙන සීතාවක මායාදුන්නේ රජු වෙත ගියේ ධර්මපාල රජු බවුතීස්ම වීමට කලින් බව පෙනී යයි. කිරිඇල්ලේ ඤාණවිමල හිමිගේ ‘සබරගමු දර්ශන’ ග්‍රන්ථයේ පරිදි ඔහුට දෙවියන් සිහිනෙන් - “කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන්න රාලේ” කියා ඇත. ඔහු දළදා හිමි සඟවා ගෙන කැලණි ගඟ පීනා මායාදුන්නේ රජු (ක්‍රි. ව. 1521 – 1581) වෙත ගියේ ඉන් පසුවයි. මායාදුන්නේ රජු දළදා හිමි ගෞරවයෙන් පිළිගෙන දළදා වැඩමවූ හිරිපිටියේ රාලට ම දියවඩන නිලමේ පදවිය පවරා දෙල්ගමු වෙහෙෙර් දළදා හිමි තැන්පත් කළේය. මෙකල ලියැවුණු අලගියවන්න මුකවෙටිගේ සැවුල් සන්දේශයේ දෙල්ගමුවේ දෙමහල් දළදා මැඳුර වර්ණනා විය.

‘සැවුල් සන්දේශය’ අනුව එදා දෙල්ගමුව වෙහෙර අධිපති වූයේ මහින්දාලංකාර හිමි ය. ‘සබරගමු දර්ශන’ හා ‘සබරගමු ප්‍රවේණිය’ යන ග්‍රන්ථ අනුව දෙල්ගමුව වෙහෙර යෝධ කුරහන් ගලක යට තට්ටුවේ සිදුරක දළදා හිමි සඟවා තබා ඇත. මායාදුන්නේ ඇවෑමෙන් රජ වූ සීතාවක රාජසිංහ රජු ක්‍රි. ව. 1581 – 1592දී ගම්වර 11ක් හා නින්දගම් 16ක් දෙල්ගමුව දළදා හිමිට පුදා, නොකඩවා අවුරුදු එකොළහක් දෙල්ගමුව වෙහෙර සිට සබරගමුව සමන් දේවාලයට දළදා පෙරහර පැවැත්වූ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ ‘සබරගමු දර්ශන’ ග්‍රන්ථයේ පවසති. රාජසිංහ රජු ශිව ආගමට නැඹුරු වී ශ්‍රී පාදය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ශිව භක්තිකයන්ට පැවැරීම, තමාට විරුද්ධව බොරු පැතිරවූ භික්ෂූන් සතු දේපළ පවරා ගැනීම, සංඝරාජ පදවිය දැරූ දෙවනගල වනරතන මාහිමි ශ්‍රී පාද අඩවියට පලා ගොස් සැඟවීම, වෙනත් ප්‍රධාන භික්ෂූන් රැකවරණ පතා පලා යෑම, තමාට විරුද්ධව කුමන්ත්‍රණය කළ වීරසුන්දර මැරවීම, රජු භික්ෂූන් 181ක් මැරවූ බව ‘මන්දාරම්පුර පුවත’ පවසා තිබේ. රදල හා ප්‍රධාන භික්ෂූන් එක්ව රාජසිංහ රජුට විරුද්ධව උඩරට අවුල් ඇති කළ අතර 1592දී උඩරට බලයට පත් කොනප්පු බණ්ඩාර අතින් බලනේදී රාජසිංහ රජු පරාජය විය. සිත් තැවුලින් එන රාජසිංහ රජු වයස 59දී 1592 වසරේ පෙතන්ගොඩ උයනේදී සතුරන් පාදයට පහර දී තුවාල කිරීම, ‘මන්දාරම්පුර පුවත’ පරිදි අසු පිටින් වැටී උණ කීරක් මිරිවැඩි සඟළ ඉරාගෙන ඇනීම, ක්ව්රෝස් කියන පරිදි උණ කීරක් ඇනීම හෝ ‘රාජාවලිය’ පරිදි උණකටුව ඇනුණු පසු රජුගේ ම මුනුපුරු රාජසූරිය කුමරු දොඩම්පේ ගණිතයා ලවා විෂ බැන්දවීම, නැත්නම් මානියම්ගම පුස්කොළ පොත පරිදි රාජසූරිය කුමරු පේදුරු ඇතුළු වෛද්‍යවරුන් ලවා උණ කටුව ඇනුණු තුවාලයට විෂ බේත් බැන්දවීම යන මේවායෙන් කවර හෝ හේතුවකින් මරණයට පත් වූයේ ය.

ඒ අතර රාජසිංහ රජු අතින් මැරුම් කෑ වීරසුන්දර හෙවත් විජේසුන්දරගේ පුත් කොනප්පු බණ්ඩාර පරංගීන් උඩරටින් එළවා බුදු දහමේ ආරක්ෂකයා ලෙස පළමු විමලධර්මසූරිය රජු නමින් (ක්‍රි. ව. 1592 – 1604) උඩරට රජකමට පත් විය.

‘දළදා පුවත’ පවසන පරිදි සීතාවක දියවඩන නිලමේ පදවිය දැරූ හිරිපිටිය දියවඩන නිලමේ සීතාවක දෙල්ගමුව වෙහෙරේ වැඩ සිටි දළදා හිමි උඩරට විමලධර්මසූරිය රජු වෙත ගෙන ඒමට සිතයි. දළදාව වැඩමවීමට මාස තුනකට පෙර විමලධර්මසූරිය රජු හා ගලඋඩ තෙර අතර දෙල්ගමුව වෙහෙර දළදා හිමි කුමන මාර්ගයකින් මහනුවරට ලැබේවි දැයි වාදයක් ඇති වෙයි (මෙයට පෙර විමලධර්මසූරිය රජු රටේ දියුණුවට කළ කටයුතු කවියා දක්වයි. වැව් උයන් පොකුණු කරවීම, ලංකාතිලකය, ගඩලාදෙණිය, අත්තනගල්ල ප්‍රතිසංස්කරණ, විදුහල් මඩම් සතර ඉලංගම් පිහිටුවීම රක්ඛංග දේශයට දූතයන් යවා උපසම්පදාව පිහිටුවීම ආදි කරුණු ‘දළදා පුවත’ 399 – 421දක්වා කවිවල එයි). ගලඋඩ හිමි හා රජු අතර කතාබහේදී ගලඋඩ හිමි කියනුයේ සතරකෝරලය බලන හරහා දළදා හිමි වැඩමවනු ඇති බවයි. රජු කියනුයේ ඉදල්ගස්හින්න හරහා දළදා හිමි වැඩමවීමට ඉඩ ඇති බවයි.

(දළදා පුවත, 422, 435 කවි)

මින් අපට පෙනී යනුයේ දළදා හිමි ලබා ගැනීමට වැඩපිළිවෙළක් රජු සැලසුම් කර තිබූ බවයි. ‘අස්ගිරි උපත’ පුස්කොළ පොත අනුව රජු මංගල හිමි ඇතුළු පස්නමක් දළදා වැඩමවීමට යැවූ බව එයි. ‘අස්ගිරි උපත’ අනුව මේ මංගල හිමි රාජසිංහ රජු කළ ආරක්ෂාව පතා මුල්ගිරිගලට පලා ගිය අයෙකි. මේ පිරිස වන්දනාකරුවන් ලෙස දෙල්ගමුවට ගොස් සෙංකඩගලට දළදා වැඩමවීම සඳහා හිරිපිටියේ දියවඩන නිලමේ සමඟ සාකච්ඡා කර ඒ බව රජුට කලින් දන්වා එවූ බව සිතිය හැකිය. එදා සීතාවක සිට මහනුවරට මාර්ගය විහිදී තිබුණේ ඉදල්ගස්හින්න හරහා බැවින් ඒ මාර්ගය ඔස්සේ දළදා වැඩමවිය හැකි බව මාස තුනකට පෙර රජු දැන සිටියා විය යුතුය. දළදා වැඩම වීමට මුල් වූ අය කීපදෙනකු ගැන දහස් ඇත

(අ)‘සපරගමුවේ පැරැණි ලියවිලි’ ග්‍රන්ථයේ කිරිඇල්ලේ ඤාණවිමල හිමි කියනුයේ ගලඋඩ හිමි දෙල්ගමුව වෙහෙර රැඳි දළදාවේ මහනුවරට වැඩම වීමට මුල් වූ බවයි. ‘දළදා පුවත’ ද දළදා වැඩම වීමට මාස තුනකට පෙර දළදා ආ හැකි මාර්ගය ගැන රජු හා ගලඋඩහිමි අතර සාකච්ඡාවක් ඇති වෙයි.

(ආ) කුඹුරුගමුවේ වජිර හිමි ලිවූ ‘දළදා ඉතිහාසය හා සංස්කෘතික’ ග්‍රන්ථය අනුව දෙවනගල රත්නාලංකාර හිමි, දියවඩන නිලමේ හිරිපිටියේ රාල හා ගලඋඩ හිමි මූලික ව ඇත (මැන්දිස් රෝහණධීර ලියූ ‘මහාසාමි - සංඝරාජ පරපුර’ - 2 ග්‍රන්ථය අනුව දෙවනගල රත්නාලංකාර මාහිමි ක්‍රි. ව. 1564 – 1592 අතර ලංකාවේ සංඝරාජ පදවිය ඉසිලී ය. බු.ව. 2110 පිහිටු වූ දෙවනගල ශිලා ලිපිය රත්නාලංකාර හිමි පිහිටු වූවකි. ‘අස්ගිරි තල්පත’ අනුව පෝයමළු විහාරාධිපති හිමි මෙකල අස්ගිරිය විහාරයේ මහානායක හා අනූ මහාසාමී හෙවත් උපසංඝරාජ තනතුර දරා ඇත.)

(ඇ) ‘අස්ගිරි උපත’ අනුව දළදා වැඩමවීමට රජු මංගල හිමි ප්‍රධාන සාමණේර පස්නමක් යවා ඇත.

(ඈ) ‘දළදා පුවත’ පරිදි දළදා හිමි මහනුවරට වැඩම වූයේ දෙල්ගමුව හිරිපිටියේ දව නිලමේ ය.

“හිරිපිටියෙහි පසිඳු - දියවඩන ඒ මැති සඳු

දෙල්ගමු වෙහෙරිනුදු - වැඩමවා නෙ දන්ත දා සඳු” (436 කව)

(3) දළදා පුවතේ වැදගත් ම තොරතුරු ඉන් පසු වෙයි. ඉදල්ගස්හින්න හරහා දළදා වැඩම වන පුවත ඇසූ පළමු විමලධර්මසූරිය රජු සෙංකඩගල නගරය මනාව සරසා අලංකාර කර මැති ඇමැතීන් සෙනඟ පිරිවරා ගෙන දළදා වැඩම වන මාර්ගයේ අම්පිටියට යයි. මේ එදා ගමන් මාර්ගය අම්පිටිය හරහා විහිදුණු බව පෙනෙයි.

“සතොස් වඩන සක්විති රජ පිරිවර සැපලත් විලසින

නොලස්ව මහසෙන් සමඟින් අම්පිටියට වැඩ සතොසිත”

(440 කවිය)

“වෙසෙස නොයක් කුඩ - කොඩි නංවා පසතුරු ගොස හඬ ගෙන

මෙලෙස පසිඳු දළදා හිමි අම්පිටියට වඩා රැ‍ඟෙන”

(442 කවිය)

‘දළදා පුවත’ 436 – 444 දක්වා කවිවල දළදා හිමි අම්පිටිය හරහා මහනුවරට වැඩමවූ හැටි කියයි.

දළදා අම්පිටියේදී පිළිගත් බව ‘දළදා පුවත’ කියයි. අම්පිටියේ තැබූ බවක් කියා නැත. අම්පිටියේදී පිළිගෙන පෙරහරින් මහනුවරට වැඩම වීය. ‘අස්ගිරි උපත’ පරිදි දළදා වැඩම වන විට සවස් වූ‍යෙන් එදා රෑ පෝය මළුව හෙවත් අස්ගිරිය ආදාහන මළුව විහාරයේ දළදා හිමි තබා ඇත. ඒ ‘අස්ගිරි උපත’ සඳහන් වී ඇත. ඒ අනුව පෝය මළු විහාරයේ එක් රැයක් දළදා හිමි වැඩ සිටියේය. පසුදා දළදා හිමි රජ මැඳුරේම පිහිටි සඳ දක්නා ගෙයට වැඩමවා එහි තැබූ බව ‘දළදා පුවත’ කියයි.

“වෙසෙස සඳුන් පිරිබඩලා අනගි වතින් සරා සොබන

මෙලෙස මඟුල් පෙරහැරයෙන් සඳ දක්නා ගෙට වඩිමින” (445 කවිය)

දළදා මැඳුර අලුතින් සාදා නිමවන තුරු දළදා හිමි රජමැඳුරේ ම සඳ දක්නාගෙයි තබා පුද පූජා පවත්වා ඇත. කඹුරුගමුවේ වජිර හිමි ද දළදා හිමි මුලින් රජ මැදුරේ ම තැබූ බව කියයි. ‘අස්ගිරි උපත’ පරිදි මෙකල දළදා හිමිගේ වතාවත් ඉටු කළේ මංගල හිමි ය. ‘අස්ගිරි උපත’ පරිදි කියවන විට පැහැදිලි වනුයේ දළදා හිමි වැඩම වීමට පෙර රජු දළදා මැඳුරක වැඩ කටයුතු ඇරැඹූ බවයි. ඒ නිවැරැදි නම් දළදා වැඩම වන විට ඒ ඉදි වෙමින් තිබුණා විය යුතුයි.

(4) ‘දළදා පුවත’ කියනුයේ දළදා සඳදක්නාගෙයි වැඩ සිටියදී රජු දළදා මැඳුරේ කටයුතු ඇරැඹූ බවයි. 446 – 447 දක්වා කවිවල ඒ පැහැදිලිවම කියයි. මේ අතර දළදා හිමි වැඩම වූ හිරිපිටියේ රාලට රජු දැසි දස්, ගව, මහීස, ගම්බිම්, තනතුරු පුදයි (452 – 453 කවි)

“දළදා හිමි සතුට - වැඩමවා ගෙන ආ මැතිඳුට

එදිවන මැතිඳු හට - මහත් කරුණා වෙමින් නිසි කොට”

“මෙලෙස කරුණ කොට - දැසි දස් ගව මහිස තුට

ගම් බිම් සහ එවිට - මහත් තනතුරු දෙවා මෙලෙසට”

මේ අනුව හිරිපිටියේ දියවඩන නිලමේ කෝට්ටේ අග කාලයේ සීතාවක කාලයක සෙංකඩගල අගනුවරවල් තුනක දියවඩන නිලමේ පදවිය දරා ඇත. ඒ ක්‍රි.ව. 1550 – 1600 පමණ අවුරුදු 50ට වැඩි කාලයකි. ඔහු මිය ගිය කාලය අපැහැදිලි ය. වයස 80 -90ක් තරම ජීවත් වෙමින් අවුරුදු 50කට වැඩි කලක් පදවිය දරා ඇත.

(5) දළදා හිමි සඳදක්නාගෙයි තාවකාලිකව වැඩ සිටිය දී රජු දළදා මැඳුරේ වැඩ ඇරැඹූ බව 446 කව කියයි. රජු එක්වරම ඉදි කළේ තුන්මහල් දළදා මැඳුරක් බව පැහැදිලිව ම 447 කවිය කියයි.

“මෙබඳු ලෙසට කරවා තුන් මහල් පහස නිසි සරබවන

සුරිඳු පහය ලෙසට එරන් උලු සොයවා කැලුම් දිලෙන”

මේ කවිය අනුව තුන් මහල් දළදා මැඳුර රත් උළු වසා තිබූ බව මෙහි කියයි. ‘චූලවංශය’, ‘සුළු රාජාවලිය’, ‘මන්දාරම්පුර පුවත’ ආදි වංශකතා කියනුයේ රජු දෙමහල් දළදා මැඳුරක් කළ බවයි. ‘දෙවැනි දළදා පූජාවලිය’ රජු දෙමහල් දළදා මැඳුරක් කරවා තෙමහල දළදා මැඳුරක් කර බව කියයි. මේ පාඨය තරමක් ව්‍යාකුල බව හැ‍ඟෙයි. ‘චූල වංශය’ ආදි වංශකතා පරිදි රජු හදිසියේ දෙමහල් දළදා මැදුරක් ඉදි කර සඳදක්නාගෙයි වැඩ සිටි දළදා මැදුරක් ඉදි කළා වන්න ඇත. ‘දෙවැනි දළදා පූජාවලිය’ මෙන්ම ‘දළදා පුවත’ මේ තුන්මහල්පාය ගැන කියයි. ඒ මුල් තුන් මහල් දළදා මැඳුර අද දළදා මැඳුරේ තුන් මහල් අලුත් ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ පත්තිරිප්පුව පිටුපසින් දාන ශාලාව දෙසට දිගු අතට තිබී ඇත. 1765දී ඇඳ ඇති දළදා මැඳුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ඕලන්ද ශිල්පියාගේ සැලසුම අනුව මේ පැරැණි දළදා මැඳුර හා අද ඇති දෙමහල් දළදා මැඳුර දෙකේ ම සැලැස්ම මුළුමනින් සමාන ය. ‘දෙවැනි මහ හටන’ නම් ප්‍රශස්ති කාව්‍යය පරිදි සෙනරත් රජු කල පෘතුගීසි ආක්‍රමණයකදී පැරැණි දළදා මාළිගාව පෘතුගීසින් වනසා ඇත. ඒ. එම්. හොකාර්ම් 1931 ලිවූ ‘ද ටෙම්පල් ඔෆ් ද ටූත් රෙලික්’ ග්‍රන්ථය අනුව ඒ වන විට මේ මුල් දළදා මැඳුරේ නටබුන් දක්නට ලැබිණි.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.