ඉපැරණි රුසියානු සාහිත්‍යයෙන් ගුරුකම් ලබන සෝවියට් ලේඛකයෝ | සත්මඬල

ඉපැරණි රුසියානු සාහිත්‍යයෙන් ගුරුකම් ලබන සෝවියට් ලේඛකයෝ

මහා කවි පුෂ්කින් මුල් වකවානුවේදී රුසියන් සාහිත්‍යයට අඩිතාලම දැම්මේ ජන සාහිත්‍යයෙන් හා විදේශීය සාහිත්‍යවලින් ආභාසය ලබා බව ඔහුගේ කෘති හැදෑරීමේදී පැහැදිලිව පෙනෙයි. රුසියානු සාහිත්‍යකරුවන් වැඩිදෙනා තමා ජීවත් වන යුගය යස රඟට පිළිබිඹු කළෝ ය.

සමාජවාදි යථාර්ථය නමැති නව සාහිත්‍ය සම්ප්‍රදායේ පිතෘවරයා වශයෙන් සලකන මැක්සිම් ගෝර්කි වරක් තරුණ ලේඛකයන් අමතා මෙසේ කීවේ ය:

“සාහිත්‍ය නිර්මාණ කරන්න පෙරුම් පුරන අයට සාහිත්‍ය ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් තිබෙන්න ඕනෑ. ග්‍රන්ථාරූඪ වී තියෙන සාහිත්‍යයත්, කටින්කට පැවැතෙන ජන සාහිත්‍යයත් යන දෙකෙහි ම ඉතිහාසය ගැන දැන ගැනීම බොහොම ප්‍රයෝජනවත්. මිනිසකු යම්කිසි කාර්යයක යෙදෙන කොට ඒ පිළිබඳ ඉතිහාසය දැනුම නැතිවම බැහැ. කම්හලක වැඩ කරන කම්කරුවකු වුවත්, ඒ කර්මාන්ත ව්‍යාපාරයේ ඉතිහාසය, නිෂ්පාදන තත්ත්වය ආදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම බොහොම ප්‍රයෝජනවත්. අතීතය දැනගත්තාම වර්තමානයේ ජීවත් වන අපට අනාගතය පහසුවෙන් ගොඩනඟා ගන්න පුළුවන්. අප අපේ ඉපැරැණි සාහිත්‍ය පොතපත පිළිබඳ හොඳ දැනුමක් ලබාගන්න ඕනෑ. විදේශීය සාහිත්‍යය ගැනත් දැනුම දියුණු කර ගැනීම වැදගත්. ලෝකයේ රටවල් විවිධ වුවත්, බොහෝ විට ඒවායේ වෙසෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් එක සමාන වන බව පෙනෙන නිසයි මා එසේ කියන්නේ.”

නූතන සෝවියට් සාහිත්‍යකාරයන් ඉපැරැණි සාහිත්‍යයේ හොඳ අංගවලින් ආභාසය ලබා ඇති අන්දම තේරුම් ගැනීමේදී අපට ඒ රටේ අතීත සාහිත්‍යයට හැරෙන්න සිදු වෙයි. රුසියන් සාහිත්‍යයේ අමරණීය යුගය වශයෙන් විචාරකයන් හඳුන්වන්නේ 19 වැනි සියවසයි. මහා කවි පුෂ්කින් ලෙර්මන්තෝව්, ගොගල්, දස්තයව්ස්කි, තුර්ගනිව්, ඇන්තන් චෙකොව් ආදි ශ්‍රෙෂ්ඨ සාහිත්‍යකරුවන් බිහි වුණේ ඒ අවධියේදියි. මහා කවි පුෂ්කින් මුල් වකවානුවේදී රුසියන් සාහිත්‍යයට අඩිතාලම දැම්මේ ජන සාහිත්‍යයෙන් හා විදේශීය සාහිත්‍යවලින් ආභාසය ලබා බව ඔහුගේ කෘති හැදෑරීමේදී පැහැදිලිව පෙනෙයි. රුසියානු සාහිත්‍යකරුවන් වැඩිදෙනා තමා ජීවත් වන යුගය යස රඟට පිළිබිඹු කළෝ ය. දුෂ්ට සාර් යුගය විවේචනයට භාජනය කළෝ ය. නිදසුනක් වශයෙන් දක්වතොත් ගොගොල් වැනි ලේඛකයන් සාර් යුගය කර්කෂ උපහාසයට ලක් කළ අතර, චෙකෝව් වැනි ලේඛකයන් ඒ යුගය සියුම් උපහාසයට ලක් කර තිබේ. මේ ලේඛකයන්ට පින් සිදු වන්නට සූරාකෑමෙන් තොර නව සමාජවාදි සමාජයක් රුසියාවේ බිහි විය.

සමාජවාදි යථාර්ථය ගුරුකොට ගන්නා සෝවියට් ලේඛකයෝ ඒ නව සමාජ ක්‍රමය තව තවත් ඉදිරියට ගෙන යෑමට උත්තරීතර සමාජයක් බිහි කිරීමට, සිය නිර්මාණ මඟින් වෑයම් කරයි. සමාජවාදි යථාර්ථය නමැති මේ නව සාහිත්‍ය සම්ප්‍රදාය අද ලෝකයේ බොහෝ රටවල ප්‍රගතිශීලීන්ගේ සැලකිල්ලට - ගෞරවයට ලක් වී ති‍බේ.

නූතන සෝවියට් සාහිත්‍යය වර්ධනය වීමේදී ඉපැරැණි සාහිත්‍යයෙන් ලබා ඇති ආභාසය නිදර්ශන සහිතව බලමු. ගොගොල් ‘ටරාස් බුල්බා’ නමැති නවකතාව ලීව්වෙ මීට ශතවර්ෂයකට විතර පෙර ය. ‘ටරාස් බුල්බා’ සැබෑ දේශප්‍රේමියෙකි. ඔහුට පුත්තු දෙදෙනෙක් සිටියහ. සතුරන් රට අල්ලා ගැනීමට කඩා පැන්න අවස්ථාවේ ‘ටරාස් බුල්බා’ රට වෙනුවෙන් අභීතව සටන් කළේ ය. මේ අතර එක් පුතෙක් සිය පෙම්වතිය නිසා සතුරු කඳවුරට එකතු වුණේ ය. සටනින් විජයග්‍රහණය කළ ටරාස් බුල්බා කළ ප්‍රථම කාර්යය රටට ද්‍රෝහි වූ පුතා රණබිමේදීම කිසිම අනුකම්පාවක් නැතිව මරා දැමීම ය. තමන්ගේ රට ජීවිතයටත් වඩා අගය කළ යුතු බව හඟවන මේ කතාව අදත් අගය කරනු ලැබේ. ජනතාවගේ දේශප්‍රේමය වර්ධනය කරවන මෙවැනි කතාවලින් ගුරුකම් ගෙන නූතන සෝවියට් ලේඛකයන් ද කෘති නිර්මාණය කර තිබේ.

මහා යුද සමයෙහිදී ජර්මන් පැසිස්ට්වාදීහු රුසියාවේ ‘ක්‍රස්නදාර්’ ප්‍රදේශය කොටු කරගත්හ. ඒ ප්‍රදේශයේ හිටිය තරුණ තරුණියෝ එකතු වී දේශප්‍රේමයෙන් යුතුව රහස් සංවිධාන පිහිටුවා ගෙන රට සතුරන්ගෙන් ආරක්ෂා කරගත්හ. පෙදේයව් නමැති සෝවියට් නවකතාකාරයා ‘යංගාඩ්’ නමැති නවකතාව රචනා කළේ, ගොගොල්ගේ ටරාස් බුල්බා වැනි ඉපැරැණි දේශප්‍රේමී කෘතිවලින් ලද ආභාසය නිසා බව සසඳා බලන විට වැටහෙයි. දස්තයව්ස්කිගේ ‘හව් ද ස්ටීල් වෝස් ටෙම්පඩ්’ කතාව මඟිනුත් දේශප්‍රේමය ජනිත කරවයි. දේශප්‍රේමය හදවතේ ජනිත කරවන එවැනි කෘති, නොබල් ත්‍යාගය ලද මිහයිල් වැනි අය ද නිර්මාණය කර තිබේ.

රුසියානු සාහිත්‍යකාරයනුත් ඉපැරැණි ලේඛකයන්ගෙන් ගුරුකම් ගෙන තිබෙන බව, ආභාසය ලැබූ බව බොහෝ විට සඳහන් කර තිබේ. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ගැන කීමේදී අපි ඔක්කොම ගොගොල්ගේ ‘හිම කබායෙන්’ ආභාසය ලැබූවා කියා එයට පසු කාලයේදී පහළ වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකාරයකු වන දස්තයව්ස්කි ගොගොල්ට ගෞරව වශයෙන් පැවැසුවේ ය. සාමාන්‍ය මිනිසුන් ගැන ලිවීමේදී මේ සම්ප්‍රදාය සෙසු ලේඛකයෝ දිගටම ගෙන ගියහ.

රුසියන් විප්ලවයේ කැඩපත කියා ලෙනින් විසින් හැඳින්වූ තොල්ස්තෝයි සැබෑ මානව භක්තිකයෙකි. ඔහුගේ අවිහිංසා දර්ශනය බොහෝ දෙනා අගය කළහ. එහෙත් ජනතා ඉදිරි ගමනට මැක්සිම් ගෝර්කිගෙන් තරම් සේවයක් ඉටු නොවුණු බවයි සෝවියට් විචාරකයන් පවසන්නේ. වැඩ කරන ජනතාවගේ සිතුම් පැතුම් මූර්තිමත් කරමින් ඔවුන් වෙනුවෙන් උත්තරීතර සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇති සමාජවාදි යථාර්ථය තොල්ස්තෝයිගේ අහිංසා දර්ශනයට වඩා පෑගෙන ජනතාව අගය කරයි. තොල්ස්තෝයිගේ දර්ශනය අගය නොකළත්, ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයකු නොවන බව මින් අදහස් වන්නේ නැත. සාර් රජයෙන් බේරී රුසියානු සාහිත්‍යකරුවන්ට නිවී සැනසිල්ලේ ලිවීමට ඉඩක් තිබුණේ නැත. ඔවුන්ට පෙන්වා මුද්‍රණයට පෙර පරීක්ෂා කර ගත යුතු විය. ඒ නිසා ෂෙද්රින් නම් කතාකාරයා සාර් රජය උපහාසයට ලක් කර සතුන් ගැන කතා ලිව්වේ ය. සමාජවාදි සමාජයක් නිර්මාණය කිරීමේදී සිදු වන ඇතැම් දුර්වලතා විවේචනයට භාජන කරන්න අද සෝවියට් ලේඛකයන් ද ෂෙද්රින්ගේ කතා ගුරුකොට ගන්නා බව සෝවියට් දේශයේ පළ වන ‘කොකඩයිල්’ වැනි සඟරාවලින් පෙනෙයි. එදා සහ අද යුග දෙක අතර දැඩි වෙනසක් ඇතත් ඉපැරැණි හොඳ දෙයින් ආභාසය ලබන අන්දම මින් පැහැදිලියි.

රුසියානු සාහිත්‍යයෙහි පහළ වූ සියුම් උපහාසකරුවා චෙකෝව් බව ‘ලිපිකරුවාගේ මරණය’ වැනි ඔහු ලියූ කතාවලින් තේරුම් ගන්න පුළුවනි. චෙකෝව්ගේ ‘මිටියාවත’ වැනි කතා ගුරුකමට ගෙන යුරි නගිබින් නමැති සෝවියට් කෙටිකතාකරුවා සෝවියට් කෙටිකතා කලාවේ නව යුගයක් බිහි කළේ ය.

එදා සිටි රුසියන් සාහිත්‍ය කතාකරුවන් ගොවි ජීවිතය දෙස බැලුවේ සැබෑ අනුකම්පාවෙනි. තුර්ගේනිව්ගේ ‘දඩයක්කරුවකුගේ දින පොත’ මීට කදිම නිදසුනකි. ගොවියන්ගේ දිළිඳු දිවිපෙවෙත, අසහනය ආදියට වගකිව යුත්තේ සූරාකන සමාජ ක්‍රමය බව පෙන්වා දුන්නේ ය. එදා ඒ ලේඛකයන් ගත්තේ විවේචනාත්මක යථාර්ථවාදී මගකි. ශතවර්ෂ ගණනක් ඔවුන් පෑනෙන් කළ සටන නව සමාජයක් බිහි කිරීමේදී සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කළේ ය. බොහොම අමාරුවෙන් බිහි කරගත් මේ සමාජ ක්‍රමය ආරක්ෂා කරගෙන ජනතාවට මීටත් වඩා උතුම් - උත්තරීතර සමාජයක ජීවත් වීමේ වාසනාව ළඟා කරවීමටයි සෝවියට් ලේඛකයන් අද වෑයම් කරන්නේ. සමූහ ගොවිපළ, කම්මල නිතර ඔවුන්ගේ අවධානයට යොමු වුණු තැන් වශයෙන් සලකන්න පුළුවනි.

රුසියානු සාහිත්‍යකරුවන්ට නිදහසේ ලිවීමට ඉඩ නොලැබීමත්, ඔවුන්ගේ දිළිඳුකමත් නිසා එක් අතකින් බලන විට රුසියානු සාහිත්‍යයෙහි නවමං ඇති වුණු බව පැහැදිලියි. සාහිත්‍යකරුවන් හැඟීමෙන් බර වූ කෘති නිර්මාණය කළ නිසා ඒවා රසවත් විය. ඔවුන් කෙතරම් පීඩනයට පත්ව සිටියත්, කිසිවිටෙකත් උතුම් උදාර අරමුණුවලින් පිට ගොස් නැත. පුෂ්කින්ගෙන් පටන් ගෙන ගෝර්කි දක්වා වූ ලේඛකයන් සිය දහස් ගණනකගේ ජීවිත කතා හා ඔවුන්ගේ කෘති හදාරන විට මේ තත්ත්වය පැහැදිලි වේ.

ඉපැරැණි සාහිත්‍ය සම්ප්‍රදායන් ගුරුකොට ගෙන සුප්‍රකට ‍සෝවියට් කිවිවරයකු වන ‘ස්තුෂෙන්කා’ මීට වර්ෂ කිහිපයකට පෙර ‘බුරාන්කි ග්‍රෙරෙස්ට්’ නමැති කාව්‍යයක් රචනා කළේ ය.

රුසියානු සාහිත්‍යකරුවන් ජීවත් වූයේ ඒ රටේ වැඩවසම් යුගය, ධනවාදි යුගය ආදි යුගවලයි. අද සෝවියට් ලේඛකයා ජීවත් වන්නේ සූරාකෑමෙන් යුතු සමාජවාදි සමාජයක ය. ඒ නිසා ආර්ථික, දේශපාලන, සාමාජික, සංස්කෘතික වශයෙන් මේ යුග අතර ලොකු වෙනසක් ඇති බව අප තේරුම් ගත යුතුය. එහෙත් එක් සත්‍යයක් පැහැදිලිව ම පෙනෙන්න තිබේ. එනම් සාහිත්‍යකරුවා තමා ජීවත් වන යුගය පිළිබිඹු කළ තරමට ඔහුගේ නිර්මාණයෙහි අගය වැඩි වන බවයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.