සාහිත්‍යය රැකගන්න, පොත රැක, ලේඛකයා රකින්න | සත්මඬල

සාහිත්‍යය රැකගන්න, පොත රැක, ලේඛකයා රකින්න

පුද්ගලයකු සතු ශක්‍යතාව; නිපුණ බව හා ලැබූ අත්දැකීම උචිතානුචිත ව භාවිත කිරීම කලා හැකියාවයි. සිත වූ කල්හි අනේක විධ අරමුණු බඳවන්නකි. එබඳු සිතක බැඳි ආශ්චර්යය ලේඛකයා තම පෑන්තුඩින් කොළයක සටහන් කරනු ඇත. ඔහුගෙන් හෝ ඇයගෙන් නිරූපණය වෙන ස්වාභාවික සෞන්දර්යයට වඩා ජීවිත සෞන්දර්යය වැදගත් වන්නේ ද එහෙයිනි. බුද්ධිමය වශයෙන් කිසියම් ආලෝකයක් ගෙනෙනු වෙනුවට එයින් ලැබිය හැකි ආධ්‍යාත්මික ප්‍රභවය ද සුළු පටු නොවේ.

තාක්ෂණය අතින් බොහෝ ඉදිරියට ගොස් තිබෙන යුගයක විද්‍යාව ද උපයෝගි කරගෙන පෙර අපර දෙදිග ජාතීහු අලුත් අලුත් දෑ නිපදවති. ඒ සෑම සිතිවිල්ලක ම මූලාරම්භය සටහන් වී ඇත්තේ මිනිස් සිතක ය. එය කවරාකාර සිතුවිල්ලක් වුවද ඒවාට හැඩ දමා සුමට කර ගන්නෝ ලේඛකයෝ ම ය. ඔවුහු ඒවා පර්යේෂණය කර සොයති; රස කර ලියති.

අති තරගකාරී ජීවන රටාවකට මුහුණදී ඇති මිනිසා සාහිත්‍යයෙන් ඈත්වීම ඛේදජනක සිදුවීමකි. ලියන පතපොත කියැවීමට පිරිසක් නැතිවීම එයටත් වඩා අභාග්‍ය සම්පන්න කාරණයකි. අතීත නිර්මාණවලින් පමණක් ජාතියක මුල් සොයා යෑමේ භාරදූර වගකීම පාඨකයා වෙත පැවැරී ඇත. ඇතැම්හු නිර්මාණයක ජාතිවාදය සොයති. තවත් සමහරෙක් තම තමන්ගේ පෞද්ගලික අරමුණු අභිමතාර්ථ මුදුන්පත් කරගැනීමට නිර්මාණ කරති. බොහෝ දෙනා මුල් සිඳුණු විදේශීය නිර්මාණවල අපේ කම සොයති. වර්තමානයේ සැබෑ සාහිත්‍යය නිර්මාණ දක්නට ලැබෙන්නේ අල්ප වශයෙන් වීම මේ සඳහා හේතු සාධක වී ඇත. සැබෑ ලේඛකයාට තම ස්වාධීන නිර්මාණ ආරක්ෂා කරගැනීමට මහත් ප්‍රයත්නයක් දැරීමට සිදු වී ඇත. මන්ද අද බුද්ධි මංකොල්ලකරුවන්ගෙන් සමාජය ගහණය වී ඇති හෙයිනි. ලේඛකයා සිය අදහස් අනෙකාට සන්නිවේදනය කිරීමට භාෂාව මාධ්‍යය කරගනී. සන්නිවේදන පහසුව, අනාගතය දැකීම්, ප්‍රමාණාත්මක වටහා ගැනීම් සඳහා අවශ්‍ය වන්නේ මිනිස් ඥානයයි. ඒ ඥානය සමාජයකින් සමාජයකට නැත හොත් භාෂා ඥානයට අනුව වෙනස් වෙයි. එහෙයින්ම පොතක් ලිවීමට ලේඛකයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වේ. ඔහු එයට කෙතරම් වෙහෙසක් ගත යුතු ද? කෙතරම් කාලයක් කැප කළ යුතු ද? කෙතරම් නිදිවැරිය යුතු ද දන්නේ ද ලේඛකයා ම පමණි. ඒ සා මහත් වෙහෙසක් ගෙන ලියූ ව ද එය ජනතාව අතරට පත් කිරීමට පෙරට වඩා වෙහෙස විය යුතුය. පොත ලියා අවසන් කළ ද ලේඛකයාගේ හිතේ ඇත්තේ ඒ පොත එළිදැක්වීමේ නොතිත් ආශාවකි. එය සත්‍යයක් බවට පත් කරගැනීමට නොහැකි වන, ලේඛන ලොවට පිවිසීමේ ආශාව තිඹිරි ගෙයිදී ම අත්හැර දමන ලද අපූරු ප්‍රතිභාවක උරුමය ඇතිව සිටි අයගේ ගණන සුළුපටු නොවේ. ප්‍රකාශන අපහසුකම් නිසා බිහි වීමට පෙර ගබ්සා වූ අංකුර ලේඛකයන්ගේ සංඛ්‍යාව ද සුළුපටු නොවේ. මේ තත්ත්වය යටතේ අලුතෙන් සැබෑ නිර්මාණාත්මක ලේඛකයකු බිහි වන්නේ කණකැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා සේ කලාතුරකිනි.

පොත් ක්ෂේත්‍රයට මේ අඳුරු දසාව ලබා ඇත්තේ පොත් සඳහා ඇති ඉල්ලුම අඩුකමින් ප්‍රකාශකයන් අධෛර්ය වී ඇති හෙයිනි. පිටපත් 1000ක් වත් පුස්තකාලවලට හෝ රජයට හෝ විකුණා ගත හැකිය යන විශ්වාසය නැත්නම් පොතක් පළ කළ නොහැකිය යන්න පොත්පත් ක්ෂේත්‍රයේ මූලික කොන්දේසිය බවට පත් වී ඇතුවා සේ ය. පොත් නිෂ්පාදනය පිළිගත් කර්මාන්ත සේ සැලකීමට මූල්‍ය ආයතන සූදානම් නැත. සීනිබෝල නිෂ්පාදනය පිළිගත් කර්මාන්තයක් වී ඇති නමුත් ජනතාවට දැනුම ගෙනෙන පොත් කර්මාන්තය පිළිගත් කර්මාන්තයක් බවට පත් වී නැත. මෙවන් තත්ත්වයක් යටතේ සිංහල සාහිත්‍ය යන්තමින් සේ පණනල රැකගෙන ඇත්තේ මුදල ආයෝජනය කළ හැකි ලාභ ලබන ව්‍යාපාර තිබියදී ඒ නොසලකා පොතපතට ඇලුම් කරන සාහිත්‍ය ළැදි ප්‍රකාශකයන් කිහිපදෙනකු හෝ ඉතිරිව සිටින බැවිනි.

එසේ අපහසුවෙන් ලේඛන කාර්යයේ නියැළෙන ලේඛකයා ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වේ. බොහෝ ලේඛකයන් ජාතියෙන් සමුගත් පසු ඔවුන්ගේ නිර්මාණ ඔවුන් සමඟම අභාවයට යන්නේ ඔවුන් වෙනුවෙන් නිර්මාණ රැකීමට පිරිසක් ඉදිරිපත් නොවන හෙයිනි.

නිර්මාණයක ලේඛකයා ආරක්ෂා කිරීමට සිදු කළ යුත්තේ ඔහු හෝ ඇය විසින් ලියන ලද නිර්මාණ ඇගයීම, විචාරයට ගැනීම හා ඒවා නැවත නැවතත් මුද්‍රණය කිරීමයි. ලේඛකයා ආරක්ෂා කිරීමට නිර්මාණය ආරක්ෂා කළ යුතු වන්නේ ද එහෙයිනි. මාර්ටින් වික්‍රමසිංහයන් මියගිය ද ඔහුගේ පොත්පත් සුරක්ෂිත ය. වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය එතුමන්ගේ පොතපත මුද්‍රණය කරනු ලබයි. එහෙයින් වික්‍රමසිංහයන් කිසි කලෙක මිය යන්නේ නැත. ලේඛකයාගේ පොතපත නැවත මුද්‍රණය නොවන්න සිංහල වන විත්ති සාහිත්‍යයේ පුරෝගාමි වූ මායාරංජන් යනු තවමත් මායාවක් වන්න ඉඩ තිබිණි. පියසේන කහඳගමගේ මහතාගේ අසීමිත වෙහෙසක ප්‍රතිඵලයක් වශයෙන් මායා රංජන් යන නාමය තවමත් සිංහල පාඨකයා අතර රඳා පවතින බව මා පෞද්ගලිකව ම දන්නා සත්‍යයකි. විශේෂයෙන් ම කහඳගමගේ මහතා ජීවතුන් අතර සිටිය දී මායා රංජන් යනු කවුදැයි සෙවීමට ගත් උත්සාහය අපමණ ය. මහානාම රාජපක්ෂ හෙවත් මායාරංජන්ගේ දිගාමඬුල්ලේ ආශ්චර්ය කෘතිය නැවත මුද්‍රණයට සලස්වා ඔහු විසින් ඒ ජාතික වගකීම ඉටු කෙරිණි.

පාරම්පරිකව කටවහරෙන් හා අත්දැකීමෙන් සම්ප්‍රේෂණය වන ජීවන චර්යා කාලයත් සමඟ ක්‍ෂය වීමට හෝ විපර්යාසයන්ට ලක් වීම ස්වාභාවික කරුණකි. ඒ හේතුවෙන් එවැනි ජීවන රටා මෙන්ම ඒ හා බැඳි ජනශ්‍රැති සංරක්‍ෂණයකට ලක් කිරීම හා හරවත් ජන සංස්කෘතිකාංග අනාගතය වෙත තල්ලු කිරීම කාලීන අවශ්‍යතාවකි. එහෙත්, ඒ උරුමය ලද පාරම්පරික ගම්මාන නාගරික ප්‍රදේශයෙන් බැහැරව පැවැතිම, ප්‍රවාහන පහසුකම් ඉතා පහළ මට්ටමක පැවැතීම ආදි වූ බොහෝ හේතු මත සුවිශේෂ ජනශ්‍රැතික වටිනාකමක් ඇති ප්‍රදේශ ජනශ්‍රැතිය අධ්‍යයනයන්ගෙන් මඟ හැරී ගොස් තිබේ. එවන් කාලවකවානුවකදී ලේඛකයකු ලෙස පියසේන කහඳගමගේ මහතා දැක්වූ මෙහෙවර අගය කළ හැකිය. එහෙත් ඔහුගේ වටිනා ජනශ්‍රැතික ග්‍රන්ථ මාලාව නැවත මුද්‍රණය කිරීම අපහසු වූ කාර්යයකි. මෙවන්නන් පිළිබඳ අනවශ්‍ය සිද්ධි කථන ඉදිරිපත් කිරීමෙන් තොරව ප්‍රාමාණික විචාරවත් ඇගයීමක් කිරීමෙන් ඔවුන්ගේ පොත් රැකීම සිදු වන බව මගේ පිළිගැනීමයි. එහෙත් ශ්‍රී ලාංකේය ලේඛක පරපුර කිනිහිර මත තබා තලන වේදනාවෙන් මොර දෙන්නන්ගේ තත්ත්වයට ඇදවැටීම ඛේදවාචකයකි.

සිංහල නවකතා, කෙටිකතා ප්‍රමුඛ සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ උද්ගතව ඇති ප්‍රශ්නය වන්නේ උසස් රුව ගුණ සහිත කෘති හඳුනා ගැනීමට පාඨකයාට නිසි මග පෙන්වීමක් නැති බවයි. සැබෑ විචාරයක් අප සතු නොවීම මීට බලපාන ප්‍රධන හේතුව වී ඇත. තවද බයිලා කැසට් පටියකට දක්වන අවධානය හෝ ලේඛකයන් හෝ ඒ නිර්මාණ පිළිබඳ නොවීම ද අභාග්‍ය සම්පන්න කරුණකි. පුවත්පතක් හෝ සඟරාවකින් එළිදකින සරල හැඳින්වීම විචාරයක් වන්නේ නැත. බොහෝ විට තම මිත්‍රයකු මාර්ගයෙන් කරගනු ලබන පිටකසාගැනීමක් ලෙස ඒවා පෙන්වා දීම වැරැද්දකැයි නොසිතමි. සාහිත්‍ය මතවාද ගැන ගැඹුරින් අධ්‍යයනය කර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු උගත් පිරිසගේ අවධානය එයට යොමු වීම වැදගත් ය. එය අදට අවශ්‍ය කෙරෙන ජාතික අවශ්‍යතාවකි. ග්‍රන්ථ පිළිබඳ සැබෑ ප්‍රතිචාර ලබාදී කාලීන වශයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ පවතින පටු සීමා බිඳ දමා ලේඛකයාගේ මැදිහත් වීමකින් තොර සැබෑ විචාර කලාවක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම පුවත්පත් ප්‍රමුඛ සන්නිවේදන මාධ්‍යයේ වගකීම වේ. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම විශේෂයෙන් ම අවශ්‍ය වේ. මෑතක සිට ගෙනෙනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ හෙළ සාහිත්‍යයට සිදු කරන සෝදාපාළුව විචාරවත් පුද්ගලයන් බිහි නොවීමට හේතු වී ඇති බව නොකිවමනා ය. විශේෂයෙන් වත්මන් පරම්පරාවට සාහිත්‍ය රසවිඳීමට හා ඒ මඟින් සෞම්‍ය මනසක් ගොඩනඟා ගැනීමට නොහැකි වී යාන්ත්‍රික මිනිසුන් බවට පත් වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන්ම පුස්තකාල සංවර්ධනය ද අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. “කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ ය” යන්න පසක් කරන උදාහරණ අපමණ අප සතුව ඇත. එහෙයින් පුස්තකාල සංවර්ධන ක්‍රියාවලියකට අත පෙවීමට රජය මැදිහත් විය යුතු ය. එදා ජනගහනයට වඩා විශාල ජනගහනයක් අද සිටිය ද එදා තරම් පොතපත අලෙවි නොවීම ද ගැටලුවකි. අධික පිරිවැය මෙන්ම උගත් පාඨක ප්‍රජාවක් නොසිටීම ද එයට හේතු ලෙස පෙන්වා දිය හැකිය. උගත් පාඨක ප්‍රජාවට පොත් මිළදී ගැනීමට අවශ්‍ය කරන මුදල් හිඟකමත්, මුදල් ඇත්තවුන්ට පොතපත අනවශ්‍ය වීමත් සැබවින් ම අභාග්‍ය සම්පන්න ය.

රට පුරා සාහිත්‍යෝන්නතියක් ඇති කිරීමට සාහිත්‍ය උත්සව සිදු කරන්නේ අනගි මෙහෙයකි. එහෙත් රාජ්‍ය සාහිත්‍ය උත්සවය තරම් විවිධ මතවාද අතර තෙරපෙන වෙනත් අවස්ථාවක් ලාංකේය සාහිත්‍යයේ නැති තරම් ය. අගතිගාමී තේරීම්වලට අභියෝගාත්මක ලෙස සාධාරණ කෘති තේරීමට විකල්ප සාහිත්‍යය උත්සව සැලකිය යුතු මෙහෙයක් ඉටු කරයි. සැබවින්ම එය පොත රැක ලේඛකයා නොමරා රැක ගැනීමකි. එමෙන්ම රජයෙන් ලැබෙන නියෝග මත විවිධ සාහිත්‍ය උත්සව රජයේ මුදලින් පැවැත්වුව ද සැබෑ සාහිත්‍ය වුවමනාවකින් තොරව ඒවා ක්‍රියාත්මක වන්නේ රාජකාරිය ඉටු කර සර්වාංගය බේරා ගැනීමේ උපක්‍රම වශයෙනි. පුස්තකාල සේවා මණ්ඩලය, කෞතුකාගාර දෙපාර්තමේන්තුව වැනි විවිධ රාජ්‍ය ආයතනවලින් ලේඛකයා දිරිමත් කිරීමේ ක්‍රියා පටිපාටි යොදා ඇති නමුත් එය ප්‍රමාණාත්මක ක්‍රියාවලියක් බවට පත් වී නැත.

තවමත් දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් වශයෙන් ලංකාවේ ද ‘සාහිත්‍යය’ යන්න ස්ථාවර පදනමක් ඇති ක්ෂේත්‍රයක් කිරීමට හොඳ ම පියවර ලෙස ලේඛකයා රැකීමට අප තවමත් ප්‍රමාද නැත. ඒ වෙනුවෙන් කටයුතු නොකෙරෙන්නේ නම් ඇසිය යුත්තේ සාහිත්‍යය මඟින් ලැබිය හැකි නිම් වළලු පුළුල් වීම් නොලද රටක ජනතාවකට සවිමත් අනාගතයක් උරුම ද යන්න පමණකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.