හන්තානේ කතාව: ව්‍යවහාරය හා එක් වන සිනමාවක් | සත්මඬල

හන්තානේ කතාව: ව්‍යවහාරය හා එක් වන සිනමාවක්

සුගතපාල සෙනරත් යාපා ලාංකේය කලාත්මක - සම්භාවනීය සිනමාව විවාදාත්මකව පොහොසත් කළ සිනමාකරුවකු සේ හඳුනා ගන්නේම ‘හන්තානේ කතාව’ නිසාවෙනි. ඔහුගේ වෘත්තාන්ත සිනමා භාවිතය ‘හන්තානේ කතාව’ ඇතුළු සිනමා පට ත්‍රිත්වයකින් පමණක් සමන්විත ය.

ලාංකේය කලාත්මක හා සම්භාවනීය සිනමාව විවාදාත්මකව ද පොහොසත් වෙමින් අන්තර්ජාතික ප්‍රවණතා ආදියේ ඇසුර ද නොමඳව ලබාගනිමින් පෙරට ආ පුරෝගාමී කාලවකවානුවක අදින් අඩසියවසකට ‍පමණ පෙරාතුව හඳුනා ගත හැකිය. ඒ 1960 මැද භාගයෙන් අනතුරුවයි. ‘රේඛාව’, ‘ගම්පෙරළිය’ හා ‘රන්සිළු’ යන සිනමා පට නිර්මාණය කරමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් 1960 දශකයේ මේ නව සිනමා ප්‍රබෝධයට අවැසි වාස්තවික වටාපිටාව සපයා දුන් වග නොරහසකි. කෙසේ නමුදු 1960 දශකයේ සිනමා ප්‍රබෝධයේ පුරෝගාමීන් ද, ක්‍රියාකාරීන් ද මුළුමනින් ලෙස්ටර්ගේ සිනමා නිර්මාණ පිළිවෙත් සමඟ ගැඹුරු හා දිගුකාලීන සබඳතා නොපැවැත්වූ වග නම් පැහැදිලි ය. ඔවුහු ලෙස්ටර්ගේ හා ඔහුගේ කණ්ඩායමේ නිර්මාණාත්මක ඇසුර ලබමින් සාපේක්ෂ ස්වීයත්වයක් හෝ සාක්ෂාත් කරගන්නා අවස්ථා කෙරෙහි සැලකිලිමත් වූ අන්දම වඩා සුපැහැදිලිව විවරණයට හැකි වන්නේ අඩ සියවසක් ඉක්ම වූ අද දවසේදීයි.

මෙහිලා සැකෙවින් එහෙත් කරුණු සහිතව විමසා බැලෙන්නේ 1960 දශකයේ සිනමා ප්‍රබෝධයම නොවේ. නොඑසේ නම් 1960 දශකයේ සිනමා ප්‍රබෝධයේ රුව ගුණ ද, හැඩතල ද අවස්ථාවෝචිතව ගළපා ගනිමින් හා විටෙක බැහැර කරමින් 1970 දශකයේදී විද්‍යමාන වූ සමාජ දේශපාලන ලක්ෂණ හසු කර ගත් සිනමා ආර සම්බන්ධයෙන් ද නොවේ. නිසැක වශයෙන් යථෝක්ත සිනමා පිවිසුම් ද්විත්වය අතරට නොපමාව එක් කළ හැකි සිනමා පටයක් සම්බන්ධයෙනි. මේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා පටය වන ‘හන්තානේ කතාව’ යි.

උක්ත හඳුන්වාදීම් යටතේ ගත් කල ‘හන්තානේ කතාව’ සිනමා ප්‍රවණතා ද්විත්වයක සම්බන්ධීකරණ කාර්යයෙහි නිරත වූ සිනමා පටයකි. එසේම එය 1970 දශකයේ සිනමා ප්‍රබෝධයට වුවමනා පසුබිම සම්පාදනය කළ ප්‍රමුඛතම සිනමා පටය ද වේ. මන්ද 1970 දශකයේ සිනමා ප්‍රබෝධයේ එන ප්‍රමුඛ ලක්ෂණ හා ‘හන්තානේ කතාව’ අතර සබඳතා දක්නට ලැබෙන හෙයිනි.

මෙයින් කියැවෙන්නේ ‘හන්තානේ කතාව’ හුදු සිනමා පටයක් පමණක්ම නොවන බව ය. සිනමා පටයක සීමාව ඉක්ම වූ පෘථුල මැදිහත් වීමක්ම වන වග ය. සිනමා විචාරයේදී ‍බොහෝ විට හමුවන සිනමා පට කේන්ද්‍රීය පිළිවෙත් ඔස්සේ ගමන් කරන්නේ නම් අඩ සියවසකට පසුව වුව ‘හන්තානේ කතාව’ට ප්‍රමාණවත් ඇගයීමක් ලබාදීම දුෂ්කර වන්න‍ ඉඩ තිබේ.

මේ අනුව ‘හන්තානේ කතාව’ අද දවසේදී හඳුනා ගත හැකි ප්‍රති විවරණයට ලක් කළ හැකි ආකාර කිහිපයකි. මෙය හුදෙක් අතීතානුස්මරණයක එන හැඟීම්බර අවස්ථා උද්දීපනය නොකරන බව සිහිකට යුතුය. අදට වඩා අතීත සිනමාව අර්ථවත් ය, නිර්මාණශීලි ය, රසාලිප්ත ය යන නිරපේක්ෂ මිථ්‍යාව මෙවැනි විටෙකදී මැදිහත් විය හැක්කේ මිත්‍රශීලි වේශයකිනි. මෙවැන්නකට රැවටුණු අවස්ථා ඉනික්බිතිව පෙනී සිටින්නේ සිනමාවේ නූතන හා අනාගත සූක්ෂ්මතා නොතකා හරින අභිප්‍රායද සමඟිනි.

පළමුකොටම හසු කර ගත යුත්තේ ‘හන්තානේ කතාව’ හා 1960 දශකයේ සිනමා ප්‍රබෝධයේ ප්‍රමුඛ සිනමා පට අතර සබඳතා ය. සමකාලීන නවකතාව ද මෙතැනදී සලකා බැලිය යුක්ත වේ. අනතුරුව ‘හන්තානේ කතාව’ හා 1970 දශකයේ සිනමා ප්‍රබෝධයේ ප්‍රමුඛ සිනමා පට අතර සබඳතා ය. සමකාලීන විනෝදාත්මක සිනමාව යන සාධකය ද මෙතැනදී බැහැර කළ යුතු නොවේ. ‘හන්තානේ කතාව’හි නව්‍යතාව ද හසු කරගත යුත්තක්ම බව පැහැදිලි ය.

සුගතපාල සෙනරත් යාපා ලාංකේය කලාත්මක - සම්භාවනීය සිනමාව විවාදාත්මකව ද පොහොසත් කළ සිනමාකරුවකු සේ හඳුනා ගන්නේම ‘හන්තානේ කතාව’ නිසාවෙනි. ඔහුගේ වෘත්තාන්ත සිනමා භාවිතය ‘හන්තානේ කතාව’ ඇතුළු සිනමා පට ත්‍රිත්වයකින් පමණක් සමන්විත ය. ඉන් ‘පෙම්බර මධු’ අතිශය ආන්දෝලනාත්මක සිනමා පටයක් සේ පිළිගැනේ. එහෙත් ‘පෙම්බර මධු’, ‘හන්තානේ කතාව’ මෙන් ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් නොවේ.

යාපාගේ තෙවැනි වෘත්තාන්ත සිනමාපටය වන ‘ඉන්දුට මල් මිටක්’ හඳුනාගත හැක්කේ ප්‍රේක්ෂකයා සූක්ෂ්මව සසල කරන අපූර්ව හා ආකර්ෂණීය සිනමාපටයක් ලෙසිනි.

මේ කරුණ ඉඟි කරන්නේ සුගතපාල සෙනරත් යාපා යනු කෙමෙන් පසු බෑ සිනමාකරුවකු ය යන්න නම් නොවේ. ඇත්ත වශයෙන්ම මේ යාපා පමණක්ම මුහුණ නොදුන් ඉරණමකි. ඉහළ ආදායම් ඉපැයීම අසීරු බව පෙනෙන සිනමා පට සඳහා මූල්‍ය ආයෝජනයට නිෂ්පාදන පාර්ශ්ව සාමාන්‍යයෙන් දක්වන අකැමැත්තේ ප්‍රතිඵල හොඳින් භුක්ති විඳි සිනමාකරුවන් අතර යාපා ද සිටී. ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම ද සිල්වා වැනි සිනමාකරුවන් ද අඩු වැඩි වශයෙන් මේ ප්‍රතිඵල හොඳින්ම භුක්ති විඳි වග නොරහසකි.

‘හන්තානේ කතාව’ මුල්වරට ප්‍රදර්ශිත දිනය සම්බන්ධයෙන් ඇත්තේ තරමක සංකීර්ණ අදහසකි. සිනමාපටයක මුල් ප්‍රදර්ශන දිනය යනු එය මහජන ප්‍රදර්ශනයට මුදාහළ දිනයයි. එසේම යම් සිනමාපටයක විශේෂ දර්ශන වාරයක් මහජන ප්‍රදර්ශනයට මුදාහැරීමට ප්‍රථම පැවැත්වූ‍යේ නම් යට කී ස්ථාවරය වෙනස් වන්න ද ඉඩ තිබේ. ‘හන්තානේ කතාව’ මේ තත්ත්වය පිළිබිඹු කරයි.

සුනිල් මිහිඳුකුල ‘හන්තානේ කතාව’ හි මුල් ප්‍රදර්ශන දිනය සේ දක්වන්නේ වර්ෂ 1969 දෙසැම්බර් මස 30 වැනිදා ය.

(පනස් වසරක සිංහල චිත්‍රපට නාමාවලිය පි.30)

ආචාර්ය නුවන් නයනජිත් කුමාරද ඒ අදහසේම පිහිටයි.

(ශ්‍රී ලාංකේය සිනමා වංශය පි.53)

ගාමිණී වේරගම ද ‘හන්තානේ කතාව’ ඇතුළත් කරන්නේ 1969 වර්ෂයට ය.

(දේශීය චිත්‍රපටයේ කලාත්මක වර්ධනය, චිත්‍රපටය, පි.381)

එසේම ඔහු සුගතපාල සෙනරත් යාපා 1960 දශකයේදී සිනමා අධ්‍යක්ෂණයට ආ වග ‘හන්තානේ කතාව’ හරහා සඳහන් කරයි.

(දේශීය සිනමා වංශය - ප්‍රථම කාණ්ඩය 1898 – 1969, පි.362)

මෙසේ ‘හන්තානේ කතාව’ 1969 වර්ෂයට ඇතුළු වන්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. වර්ෂ 1970දී ප්‍රමුඛ සිනමා සම්මාන උත්සව ත්‍රිත්වයක්ම වර්ෂ 1969දී මුල්වරට ප්‍රදර්ශිත සිනමා පට පාදක කරගෙන සංවිධානය කරන්න නියමිතව ඇත්තේ ය යන කාරණය ඒ සුවිශේෂ හේතුවයි. ‘හන්තානේ කතාව’ පමණක් නොව ‘මොකද වුණේ’, ‘රොමියෝ ජුලියට්’ හා ‘බක්මහ දීගේ’ යන සිනමා පට ද 1969 වර්ෂයට ඇතුළු වන්නේ ඒ අනුව ය. මෙයින් පෙනී යන්නේ මේ සිනමා පට සතරම මහජන ප්‍රදර්ශනයට මුදාහරින්නේ වර්ෂ 1969දී නොවන බවයි.

සුනිල් මිහිඳුකුල පවසන්නේ වර්ෂ 1969 දෙසැම්බර් මස 30 වැනිදා වැල්ලවත්ත ‘සැවෝයි’ සිනමා ශාලාවේදී ‘හන්තානේ කතාව’ හි එක් දර්ශන වාරයක් පැවැත්වූ වග ය.

(සුගතපාල සෙනරත් යාපා, සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පි.123)

එයට පෙරාතුව ඔහු පවසන්නේ ‘හන්තානේ කතාව’ මහජන ප්‍රදර්ශනයට මුදාහැරුණේ වර්ෂ 1970 පෙබරවාරි මස 26 වැනි දින බව ය.

(සුගතපාල සෙනරත් යාපා, සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පි.123)

ලාංකේය සිනමාපට නාමාවලිය සම්පාදනය පිණිස ආ අජිත් ගලප්පත්ති ‘හන්තානේ කතාව’හි මහජන ප්‍රදර්ශනය ඇරඹුණු දිනය සේ දක්වන්නේ වර්ෂ 1970 මාර්තු මස 05 දින ය.

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට නාමාවලිය විමසුම, පි.46)

රූපසේන සිල්වා ද ඒ අදහස මතම රැ‍ඳෙයි.

(දේශීය චිත්‍රපට නාමාවලිය, පි.30)

සිනමා පට නිෂ්පාදනය, විශේෂ ප්‍රදර්ශන අවස්ථා, මාධ්‍ය දර්ශන හා මහජන ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පවත්නා ඒකාකාර නොවන හැඩගැසීම් පිළිබඳ කතිකාවකට ද මේ අනගි නිමිත්තකි. එක අතකට මේ සංවිධාන හා අසංවිධිත ලක්ෂණ සහිත කර්මාන්තයක් වන සිනමාවේ එන අවියෝජනීය අංගයක් ද වේ.

කෙසේ වෙතත් මේ එළැඹෙන්නේ ‘හන්තානේ කතාව’ට අඩ සියවසක් සපිරෙන සමයය යන්න හසුගනු පිණිස ඒ කරුණු දැක්වීම බාධා නොපමුණුවයි.

1960 දශකයේ සිනමා ප්‍රබෝධයේ ආ මූලිකාංගයක් වූයේ චරිත කේන්ද්‍රීය ස්වභාවයයි. ඒ ඒ චරිත හසු කරගෙන එතුළට වැදෙමින්, හමුවන සංකීර්ණ තත්ත්ව සිනමානුරූපීව ගෙන හැර පෑමට මෙතැනදී හමුවන සිනමාකරුවන් අඩු වැඩි වශයෙන් පියවර ගත් බව නිසැක ය. ‘පරසතුමල්’, ‘සත් සමුදුර’ හා ‘තුංමන්හංදිය’ද, ‘නිම්වළල්ල’ද උදාහරණ කිහිපයකි.

මෙහිලා තරුණ චරිත මූලික වන අන්දම පෙනෙයි. ඔවුහු ‘ප්‍රේමය’, ‘රාගය’, ‘සන්තාපය’, ඊර්ෂ්‍යාව, පශ්චාත්තාපය, අපේක්ෂාභංගත්වය ආදි හේතු නිසා පීඩාවට පත්වූවෝ වෙති. මෙතැන ස්ත්‍රි චරිත ඇත්තේම නැති තරම් ය. ඉන් කියැවෙන්නේ 1960 දශකයේ සිනමා ප්‍රබෝධය පුරුෂ රූපී ස්වරූපයක් ද ගන්නා බවයි.

හන්තානේ කතාවෙහි එන ප්‍රධාන චරිතයක් නිරනුමානවම මේ 1960 දශකයේ පුරුෂ චරිත මෙනි. දුරබැහැර ගම්පියසක සිට පේරාදෙණිය සරසවිය කරා එන මේ සිසුවා ස්වකීය කල්පනා ලෝකයේම දවසරින්න මනාප නිහඬ චරිතයකි. ව්‍යවහාර ලෝකයේ ගතික චර්යා ඔහුට දුරස්ථ ය. යාපා සිනමාපටය නිමා කරන්නේ ඔහු ව්‍යවහාර ලෝකය හා එක් වන බව ඉඟි කරමිනි.

ටෝනි රණසිංහ මේ සිසුවාගේ චරිතය නිරූපණය කරන්නේ තමන්ට සුපුරුදු පිළිවෙත් හරහා ය. ‘පරසතුමල්’, ‘රන්සළු’ හා විශේෂයෙන් ‘දෙලොවක් අතර’ යන සිනමා පට විෂයයෙහි ටෝනි ලද අත්දැකීම් ‘හන්තානේ කතාව’ සහභාගිත්වයට නිරායාසයෙන්ම පිටිවහලක් වන්න ඇත.

පෙරදී ද සඳහන් කළ පරිදි වර්ෂ 1969දී ‘හන්තානේ කතාව’ හි එක් දර්ශන වාරයක් පැවැත්වීමෙන් අපේක්ෂා කළ දෑ ප්‍රමාණවත්ව සාක්ෂාත් නොවූ බව පැහැදිලි ය. වර්ෂ 1970දී පැවැත්වූ තෙවැනි විචාරක සම්මාන උලෙළේදී නම් ටෝනි රණසිංහට ‘හොඳම නළුවා’ සම්මානය ‘හන්තානේ කතාව’ වෙනුවෙන් පිරිනැමිණ.

ටෝනි රණසිංහ නිරූපණය කළ සරසවි සිසුවාගේ චරිතය 1950 හා 1960 දෙශකයේදී ඉස්මතු වූ අභිනව නවකතා මාදිලියේ ආ ඇතැම් චරිත සිහිපත් කරන වග නොරහසකි. මේ පේරාදෙණි සාහිත්‍යය මැයෙන් හඳුන්වා දුන් සාහිත්‍යම පිවිසුම යටතේ ආ නවකතා ය. විශේෂයෙන් සිරි ගුනසිංහගේ ‘හෙවනැල්ල’ නවකතාවේ ආ ජිනේගේ චරිතය ‘හන්තානේ කතාව’ හි ටෝනිට සමීප යැයි සිතේ. ‘හෙවනැල්ල’ මේ නවකතා මාදිලියේ වර්ධනීය අවස්ථාවකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍යය ද මෙතැනට කැඳවිය යුතුය.

සුගතපාල සෙනරත් යාපා එසමයේ කියා සිටියේ හන්තානේ කතාවහි ප්‍රධාන චරිත ත්‍රිත්වය ගොඩනැඟීමේදී තමාට ‘මනමේ’ චරිත සිහිපත් වූ බවයි.

(සරසවිය, 1970.08.30)

පසුකාලීනව සුනිල් මිහිඳුකුල පැවැසුවේ ‘හන්තානේ කතාව’ හි ආකෘතිය විදේශ සිනමා ආභාසයක් පෙන්නුම් කරන වග ය. ‘රෂොමාන්’, ‘නයිෆ් ඉන් ද වෝටර්’ වැනි විශිෂ්ට සිනමා පට සතු ශිල්ප විධි කෙරෙහි තමාගේ සිත ඇදී ගියේය යනුවෙන් යාපා කී බව සුනිල් මිහිඳුකුල තවදුරටත් සඳහන් කරයි.

(සුගතපාල සෙනරත් යාපා සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පි.123)

තාරුණ්‍ය විෂය වූ මුල් පෙළේ ලාංකේය සිනමා පට අතරට ‘හන්තානේ කතාව’ නොපැකිළිවම එක් කළ හැකිය. ‘හන්තානේ කතාව’ට ප්‍රථම නිර්මිත දහසක් සිතුවිලි ද සමකාලීනව ප්‍රදර්ශිත ‘නිම්වළල්ල’ ද ප්‍රති විවරණයට ලක් කරන කල්හි මේ බව සනාථ වෙයි.

1970 දශකයේදී පෙරට ආ සිනමා ප්‍රබෝධය ද තාරුණ්‍යයේ නොයෙක් ප්‍රදේශ නිරූපණයට දැක්වූ ඇල්ම ඉමහත් ය. ‘අහස් ගව්ව’, ‘වල්මත් වූවෝ’, ‘පොන්මති’ හා ‘පළඟැටියෝ’ යන මේ සිනමාපට සමුච්චය තාරුණ්‍යයේ අරමුණු ද, ඉරණම ද දේශපාලනිකව විශද කරනු පිණිස පිහිටියේ විචිත්‍ර ‍හෝ ආස්වාදජනක පිළිවෙතක නොවේ. ධර්මසේන පතිරාජගේ සිනමා භාවිතය සම්බන්ධයෙන් එඩ්වින් ආරියදාස වරක් පැවසූ පරිදි හීලෑ නොවූ මුරණ්ඩු පිළිවෙතක ය.

‘හන්තානේ කතාව’ හි මෙහි කළල අවස්ථා දක්නට ලැබිණි. එක අතකට ‘හන්තානේ කතාව’ට පසුබිම් වන සරසවිය එහෙම පිටින්ම තාරුණ්‍යයේ නිරූපණයකි. බැලූ බැලූ අත තරුණ චරිත ය. ඔවුනොවුන් අතර සබඳතා ය; ප්‍රතිවිරෝධතා ය. ගැටුම් ය. සිසුන් අතර පන්තිවල වෙනස්කම් යාපාට හසු නොවනවාම නොවේ. එහෙත් ඔහු තැත් කරන්නේ චරිත කේන්ද්‍රීය හැසිරීමක් ම පිළිබිඹු කරන්න ය. ප්‍රධාන චරිත ත්‍රිත්වය එකිනෙකට වෙනස් අන්දමින් හඳුන්වාදීම ‘හන්තානේ කතාව’ වියුක්ත චරිත අන්තර්ගත සිනමා පටයක් නොවුණු සඳහා සුගතපාල සෙනරත් යාපා දැක් වූ කැමැත්ත කියාපාන්නකි.

‘හන්තානේ කතාව’ට අදාළ මේ සම්බන්ධීකරණය යාපාගේ අභිප්‍රාය සමගින් ද බැ‍ඳේ. විචාරක ප්‍රබුද්ධ ප්‍රේක්ෂක අවධානය ‘හන්තානේ කතාව’ කෙරෙහි යොමු වූ පසුබිමක ඔහු කියා සිටින්නේ යාන්ත්‍රික බවට හසුව වෙසෙන පරපුරත්, පාරම්පරික සිරිත් විරිත් හා සාම්ප්‍රදායික සිතුම් පැතුම් ආරක්ෂා කරගැනීම පිණිස වෙහෙසෙන පරපුරත්, මේ දෙකටම මැදිව අතරමංව වෙසෙන පරපුරත් අතර ඇති වන ඝට්ටනය මෙහිද නිරූපණය කිරීමට තමා උත්සාහ කළ බව ය.

(සරසවිය, 1970.08.30)

මේ ප්‍රකාශය සවිඥානකව ඥාති සබඳතා වෙන් වන්නේ 1970 දශකයේ සිනමා ප්‍රබෝධය සමඟින් ය යන්න සුපැහැදිලි ය.

යම් සිනමා පටයක් මුල් කරගෙන ඇසුරු කරගෙන හෝ නිමිති කරගෙන පෘථුල කතිකාවක් ගොඩනැංවීමට මුද්‍රිත මාධ්‍ය වරින් වර වුව උනන්දු වූ අවස්ථා ගෙවුණු දශක ගණනාව පුරාම දත හැකි වේ. ‘හන්තානෙ කතාව’ මුල් කරගෙන ගොඩනැඟුණු පෘථුල කතිකාවකට ඉඩ හසර පාදා දුන්නේ ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතයි. කරුණාසේන ජයලත්, ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ, ලෙස්ලි බොතේජු වැන්නන් මේ කතිකාව පෝෂණය කළේ එකඟතා, පරස්පරවිරෝධතා සහිතව ය.

කරුණාසේන ජයලත් ‘හන්තානේ කතාව’ ප්‍රශ්න කළේ තරමක නිර්දය ආකාරයෙනි. ‘හන්තානේ කතාව’ සැරයටිය චරිත කේන්ද්‍රීය බවම ඔහුට ප්‍රමුඛ වූ බව ඉන් පැහැදිලි වේ. ඔහු කියා සිටියේ විශ්වවිද්‍යාලවලින් පිට වූ 12000කගෙන්, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා 14000කගේත් සාධාරණ දුක්ගැනවිලි ගැන මුළු ජාතියේම අවධානය යොමු විය යුතු වකවානුවක සරසවියේ ඇතුළු පැත්ත මෙන්න බලාපල්ලා යැයි කියන්නාක් මෙන් ‘හන්තානේ කතාව’ වැනි චිත්‍රපටයක් බිහි වීම අවාසනාවක් ය යන්න ය.

‘හන්තානේ කතාව’ සහ සරසවි ජීවිත, ඉරිදා ලංකාදීප, 1970.04.06)

එයට පිළිතුරක් සපයමින් ලෙස්ලි බොතේජු කියා සිටින්නේ ‘හන්තානේ කතාව’ විමර්ශනයේදී ජයලත් ගෙනහැර පෑ අදහස් එකිනෙකට පරස්පර වෙයි.

(ඉරිදා ලංකාදීප 1970.04.21)

මේ සම්බන්ධයෙන් පශ්චාත් කතිකාවකට එක් වන ජීවන්ත දයානන්ද පවසන්නේ ජයලත්ගේ ලිපියේ ආ ඔහුට තදින් පහරදිය හැකි ස්ථාන සූක්ෂ්ම හඳුනා ගන්නා ලෙස්ලි බොතේජු ජයලත්ගේ දෘෂ්ටිය හරසුන් බව පසක් කිරීම සඳහා පෙරට ආ වග ය.

(හන්තානේ කතාව, නව සිනමාවක සොඳුරු පෙරවදන - සුගත්, පි.125)

ගුණදාස අමරසේකරගේ විග්‍රහය ‘හන්තානේ කතාව’ නිර්දය ලෙස ප්‍රශ්න කිරීමක් මතම රැ‍ඳෙයි. ඔහු සිය විග්‍රහය ආරම්භ කරන්නෙ අවංක කලාකාර තරුණයන්ගේ උද්‍යෝගයට හානි වේ යැයි සිතා තමා මෙතෙක් අදහස් ප්‍රකාශ නොකර සිටියත් ‘හන්තානේ කතාව’ පිළිබඳ යම් යම් අදහස් දැන් පළ වන නිසා මේ ගැන ප්‍රකාශයක් කිරීමට සිතුණු බව සඳහන් කරමිනි.

(හන්තානේ කතාව කාගෙ වරද ද?, ඉරිදා ලංකාදීම, 1970.04.28)

මේ කතිකාව නිමා වූයේ මහාචාර්ය සිරි ගුනසිංහගේ විවරණයත් සමඟිනි. ඔහු උත්සුක වූයේ ම, හන්තානේ කතාව ප්‍රශ්න කළ ගුණදාස අමරසේකරගේ විචාර මතවාද අභියෝගයට ලක් කරන්න ය.

(කාගෙ වරදද? කාතෙ ප්‍රලාපද?, ඉරිදා ලංකාදීප, 1970.05.28)

සමකාලීන විනෝදාත්මක සිනමාව හා ‘හන්තානේ කතාව’ අතර වූයේ දූරස්ථ බවකි. මේ ලාංකේය සිනමාවේ ස්වර්ණමය අවධියට ආසන්න සමයයි. ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය අවධිය සේ 1970 දශකය හඳුන්වා දෙන්නේ පළමු කොටස එවක ප්‍රදර්ශිත බොහෝ සිනමා පට සඳහා ප්‍රමාණවත් ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබීම හේතුවෙනි. එසේම කලාත්මක සම්භාවනීය හා විවාදාත්මක සිනමා පට බිහි වීම ද, සමාන්තර සිනමාවේ අභිනවාරම්භයක් සලකුණු කිරීම ද, ප්‍රමිතියෙන් ඉහළ විනෝදාත්මක සිනමා පට මාදිලි ගොඩනැඟීම ද 1970 දශකය ලාංකේය සිනමාවේ ස්වර්ණමය අවධිය සේ හඳුන්වාදීමට ඉවහල් කර ගැනිණි.

‘හන්තානේ කතාව’ට සමීපව ප්‍රදර්ශිත විනෝදාත්මක සිනමා පට කිහිපයක් ද මෙතැනට සම්බන්ධ කරගත හැකිය. කෙසේ නමුදු සක්‍රීයව පැවැති සිනමා විචාර කාර්යයන් නිසා ‘හන්තානේ කතාව’ට සමකාලීනව ප්‍රදර්ශිත ‘නාරිලතා’, ‘මොකද වුණේ’, ‘බක්මහ දීගේ’, ‘අක්කර පහ’, ‘රොමියෝ ජුලියට් කතාවක්’, ‘තුංමං හන්දිය’, ‘නිම්වළල්ල’ වැනි සිනමා පට විචාරක අවධානයෙන් නොගිලිහුණු බව සත්‍යයක් වේ.

‘හන්තානේ කතාව’ අතිශය නව්‍ය සිනමාපටයක් ය යන්න අද දවසට ද වලංගු වන අදහසකි. අඩ සියවසක් පුරාවටම යම් සිනමාපටයක නව්‍ය බව රැකගැනීම අසීරු ය. ලාංකේය සිනමාවේ පමණක් නොව ලෝක සිනමාවේ ද විශිෂ්ටතා ප්‍රකට කළ සිනමා පට නව්‍යතාව රැකගැනීම කෙරෙහි දැක්වූ අවධානය ඉහළ මට්ටමකින්ම විද්‍යමාන නොවේ. මෙයින් ගම්‍ය වන්නේ විශිෂ්ටතා හා නව්‍යතාව අතර සමීප හා එකිනෙකින් පෝෂණය වන එකිනෙක මත යැපෙන සම්බන්ධතා නොපවතින්න වුව ඉඩ ඇති බව ය.

1960 දශකයේ සිනමා ප්‍රබෝධයේ සිනමාපට අතරින් නව්‍යතාව ඉහළින්ම රැකගත් සිනමාපටය ‘හන්තානේ කතාව’ වන්න ද පුළුවන. සුගතපාල සෙනරත් යාපාගේ සිනමා භාවිතය පිළිබඳ පුළුල් විවරණයක නිරත වෙමින් ජීවන්ත දයානන්ද කියා සිටින්නේ ‘හන්තානේ කතාව’ හි පළමු මිනිත්තු විස්සේදී නිර්මාණශීලි වූයේ ප්‍රබලතාව සහ නැවුම් බව දෘශ්‍යමාන වන වග ය.

‘හන්තානේ කතාව’, නව සිනමාවක සොඳුරු පෙරවදන සුගත් 8.88)

‘හන්තානේ කතාව’ හි නව්‍යතාව ප්‍රකට කෙරෙන ආකාර දෙක තුනකි. පළමුවැන්න ප්‍රේක්ෂකයන්ට එකෙක් නුහුරු වූ එහෙත් නිසැක උප සංස්කෘතියක් නියෝජනය කරන පාර්ශ්වයක් මූලික කරගැනීමයි. සරසවි ප්‍රජාව සැලකෙන්නේ වසර ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු යම් අනන්‍යතාවක් ද සලකුණු කළ උප සංස්කෘතියක නියෝජිතයන් ලෙසිනි. 1960 දශකයේ සරසවි ප්‍රජාව හා මෙදවස සරසවි ප්‍රජාව එක පෙළට තැබීම නම් නුවණැති ක්‍රියාවක් නොවේ. ලාංකේය සිනමාවේදී සරසවි සිසු ප්‍රජාවම ඉලක්ක වූ පළමු අවස්ථාව වන්නේ ද ‘හන්තානේ කතාව’ යි. ‘හන්තානේ කතාව’ ප්‍රදර්ශනය වන සමය වන විට ද විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම තීව්‍ර කරන පාර්ශ්වයක් සේ සරසවි සිසු ප්‍රජාව හඳුනා ගත හැකි විය. එසේම සාහිත්‍ය, වේදිකා නාට්‍ය ක්ෂේත්‍ර විෂයයෙහි සරසවි සිසු චරිතවල සහභාගි වීම වරින් වර වුව දක්නට ලැබිණි. ‘මනමේ’, ‘සිංහබාහු’, බඳු ලාංකේය වේදිකා නාට්‍යයේ සන්ධිස්ථාන නිර්මාණය වූයේ ද සරසවි සිසුන්ගේ ද දායකත්වයෙනි. මේ කරුණු ඔස්සේ සරසවි පරිසරයක් නිරූපිත සිනමා පටයක එන ආගන්තුක නව්‍යතාව විමසිලිමත් ප්‍රේක්ෂකයන්ට ආනන්දයක් ද, සබුද්ධික ව්‍යායාමයක් ද වූ බව පෙනෙයි.

සුගතපාල සෙනරත් යාපා පළමු කොටම උනන්දු වූයේ සරසවි සිසු චරිත නිරූපණය පිණිස නවකයන් ද එක් කර ගන්න ය. සිනමාව ‍ප්‍රේක්ෂක ප්‍රජාව අමතන්නේ රංගන ශිල්ප ශිල්පිනියන් මඟිනුයි. සිනමාවට අදාළව බොහෝ දෑ ප්‍රේක්ෂකයා තුළ තහවුරු වන්නේ රංගන ශිල්ප ශිල්පිනියන්ගේ ඇවතුම් පැවතුම්, ඉඟි විගි, ඉරියව් ද සමඟිනි. කෙළිලොල් සරසවි සිසුවාගේ චරිතය නිරූපණය කළේ විජය කුමාරතුංගයි. බොහෝ තැන්වලදී සේම සුගතපාල සෙනරත් යාපා ද පවසන්නේ ‘හන්තානේ කතාව’ විජය කුමාරතුංගගේ ප්‍රථම සිනමා රංගන සහභාගි වීම කියාය. ඒ බව සනාථ කරමින් විජය කුමාරතුංග සඳහන් කරන්නේ චිත්‍රපටයක රඟපෑමට තමා වෙත මුලින් අවස්ථාව සලසා දුන්නේ සුගතපාල සෙනරත් යාපා කියායි.

(සරසවිය, 1984.11.15)

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.