මහ සෙනඟ මැද හුදෙකලාවක් | සත්මඬල

මහ සෙනඟ මැද හුදෙකලාවක්

බොහෝ කලකට පෙර හමු වූ මිතුරියක් මා දැක බොහෝ සේ තුටුව මා වැලඳගත්තී ය. තව නොබෝ වේලාවකින් මා මිතුරියන් ද මිතුරියන්ගේ මිතුරියන් ද මිතුරන් ද බොහෝ දෙනෙක් මේ සාදයට පැමිණීමට නියමිත ය. නෙක ආලෝකකිරණ විහිදුවමින් දැල්වෙමින් නිවෙමින් දිලෙන විදුලි බුබුළු මුළු ශාලාව ම වෙනත් ලොවක අසිරිය හා සම කරන්නට සමත් වී තිබේ. තැනින් තැන සිනා බෝ වෙමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන විවිධ වර්ණයෙන් සජ්ජිත ඇඳුම් පැලඳුමෙන් හැඩ වුණු මිතුරු මිතුරියෝ ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ගත කරමින් සිටිති.

මේ ලොව පවතින කිසිදු හෝ දුක්ඛ වේදනාවක ස්වල්ප හෝ ස්පර්ශයක් නොලැබූ සෙයින් ඔවුහු ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙති. අතින් අත මුවින් මුව හුවමාරු වන රසාලිප්ත මී බඳුන් ඒ ප්‍රීතියේ ම කොටස්කරුවන්ව තිබෙනු පෙනේ. මම මේ ප්‍රීතියේ කොටස්කාරිණියක වීමේ පිපාසයෙන් යුතු ව, නටන ගැයෙන රඟමඬලේ ම මිතුරු මිතුරියන් සමඟින් ඉඳගෙන සිටින්නෙමි. ගිනිසිළු වන් වේගයෙන්, ඒ හා බැඳීමෙන් ම වේග රිද්මයට ගැයෙන වැයෙන තාලයේ හඬට පාද තබන මිතුරන් වෙත ම නෙත් නතර වී තිබේ. කෙතරම් අනුරාගි සුන්දර දසුනක් ද? සැක සංකා, දුක්ඛ දෝමනස්ස කිසිවක් ම හෝ ඔවුන්ගේ මතකයට නැ‍ඟෙනු නොපෙනේ. බැලූ‍ බැලූ‍ අත ඇත්තේ ප්‍රීතිය ම පමණි.

මේ ප්‍රීති සමාගමය කොතරම් සොඳුරු වුවද මසිතට මහත් හුදෙකලාවක් දැනේ. වසර ගණනාවකින් හමු වූ යහළු යෙහෙළියන් මැද නොනවත්වා කතා කරමින් සිනාසෙමින් ප්‍රීති වන්නට මා කොතරම් කලෙක සිට බලා සිටියා ද? සියලු‍ මතකයන් කාලයත් සමඟින් සොඳුරු වන බැවින් මා එසේ බලා සිටීම අරුමයක් නො වේ. එහෙත් මට මහත් හුදෙකලාවක් දැනේ. තනි වී සිටින විට දැනෙන හුදෙකලාවට වඩා මහ සෙනඟ මැද දැනෙන හුදෙකලාව පීඩාකාරි ය. දෙව්ලොවක් වන් සොඳුරු තැනක වෙනදා මා ප්‍රීතියෙන් පුරවා ලූ මිතුරු මිතුරියන් මැද දැනෙන හුදෙකලාව ඔබට වචනයෙන් කිව නොහැකි තරම් පීඩාකාරි ය.

තනි වීම පීඩාකාරි යැයි මට සිතෙන්නේ ඇයි? තනි ව නොව මහ සෙනඟ මැද වුව හුදෙකලා වීමට, තනි වීමට මා බිය වන්නේ ඇයි? මා තනි වීමට බිය වන්නේ එවිට මට මා ඇතිසැටියෙන් හමු වන නිසා ද? මම හිස්, මෝඩ, පහත් සහ වැරදි කළ පුද්ගලයකු මෙන් ම; කිසිදු නව චින්තනයක් නැති පුද්ගලයකු ලෙසින් ද පෙනෙන නිසා ද?

අසා බලන්න ඔබේ හදවතින්! ඔබ තනි වීමට අකැමැති ඔබේ ම පිළිබිඹුව ඔබෙන් ඔබට ම පෙනෙන නිසා නො වේ ද? ඔබ අසල කිසිවෙක් හෝ රැඳී සිටීම ඔබ ප්‍රිය කරන්නේ ඔබේ සිතෙන් ම නැ‍ඟෙන වරදකාරි සිතිවිලි දරාගත නොහැකිව නො‍ වේ ද? ඔබ ඒවා ක්ෂණයකට යටපත් කර මේ මොහොතේ සිනා වීමට ප්‍රිය කරන්නේ ඒ නිසා යැයි මට සිතේ. මඳක් සිතා බලන්න! ඔබේ සිත ඔබට කොතරම් කාලයක් රැවටිය හැකි ද කියා.

ඔබ, ඔබ ගැන විමර්ශනය කිරීම යනු සෙසු ලෝකයා කෙරෙන් තමා වෙන් කර ගෙන තනි වීම නො වේ. ලොව පුරා සිටින සියලු‍ මනුෂ්‍යයෝ ඔබ හා මා මෙන් ම අප දිනපතා අත්දකින ප්‍රශ්නවල ම පැටලී සිටිති. ඒ නිසා ඒ ප්‍රශ්න විශ්ලේෂණය කරමින් තමා ගැන ම විමර්ශනය කරන පුද්ගලයා කිසි විටෙකත් අමුතු රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙක් නො වේ. මට ඇතිවෙන සිතිවිලි ම ඔබට ද ඇතිවෙන බැවින් ඒවා සාමාන්‍යයෙන් අප, අප ගැන විමර්ශනය කරන විට උත්පාදනය වන ඒවා ය.

කවර හෝ දෙයක් අවබෝධ කරගැන්මට නම් ඔබ ඒ සමඟ ජීවත් විය යුතු ය. ඔබ කිසි දිනෙක තමා හා තමාගේ සිත ගැන අවදියෙන් ජීවත් වීමට උත්සාහ කර තිබේ ද? එසේ උත්සාහ කරන ලද්දේ නම් ඔබ නිරන්තර වෙනස් වෙන ජීවමාන දෙයක් බැව් ඔබට ම වැටහෙනු ඇත. සජීවි සම්බන්ධතාවකට මතිමතාන්තර, සාරධර්ම, විනිශ්චයන් අතර සැරිසැරීමට අපහසු නැත.

මගේ සිත පිරිසිදු හා නිදහස් නැති නම් මගේ හදවතේ ක්‍රියාකාරිත්වය ගැන මට අවබෝධයක් ලැබිය නොහැකි යැයි සිතේ. එසේ නම් මට තිබිය යුත්තේ, වාදයකදී පක්ෂග්‍රාහී වෙන, එකඟ වන හා විරුද්ධ වන, හුදු වචන අල්ලාගෙන කලහ කරන සිතක් නම් නො වේ. අවබෝධ කරගැන්මේ පිපාසයෙන් පෙළෙන සිතකි. එය ඇත්තෙන් ම දුෂ්කර කාර්යයකි. මන්ද තුරුලතා අතරින් හමන මඳ පවනට සවන් දීමට හෝ ගසක කඳෙන් නැ‍ඟෙන මුනුමුනුව හෝ ගලා යන දිය පහරක සියුම් නාදය හෝ ඇසීමට තරම් ඉසියුම් සිතක් අපට නැති බැවිනි.

අප යමක් අනුමත කරන විට හෝ හෙළා දකින විට අපට එය විනිවිද දැකිය නොහැකි ය. ඔබ නිරන්තරයෙන් තොරතෝංචියක් නැතිව කතා කරන්නෙක් නම් එවිට ද යථාර්ථය හසු වන්නේ නැත. එවිට අප කරන්නේ විනිවිඳිමින් බැලීම නොව අපට පෙනෙන දේ නැරඹීම ය. ඔබට මෙන් ම මට ද තමා කවරේ ද; තමා විය යුත්තේ කවරේ ද; යන්න ගැන ප්‍රතිරූපයක් තිබේ. ඒ ප්‍රතිරූපය, චිත්‍රය නිසා අපට අප ඇති සැටියෙන් දැකීම මුළුමනින් ම වැළකෙයි.

යමක් සරල ලෙස දැකීම අතිශය අසීරු කරුණකි. අපේ සිත් ඉතා සංකීර්ණ නිසා සරල බව අපට නැති වී ගොස් තිබේ. සරල වීම යනුවෙන් මා අදහස් කරන දේ වරදවා වටහා නොගනු මැනවි. එය කන බොන, අඳින පලඳින හැටියෙන් ප්‍රකට වන්නක් නො වේ. ඉණ රෙදිකඩක් ඇඳ, රැවුළ වවා, අල්ප ආහාර ගැනීම වැනි ලාමක ප්‍රදර්ශනකාමි ක්‍රියාවල ඇති පෙන්වන සරල බව නොව බියෙන් තොර ව දෙයක් දෙස ඇති සැටියෙන් ඍජුව බැලීමේ හැකියාව ඇතුළත ඇති සරල බවයි.

තමන් අවබෝධ කරගැන්මේ ලා සරල බව මෙන් ම මානය නැතිව සිටීම ද අවශ්‍ය වෙයි. “මම දනිමි” යැයි ඔබ කියන්නේ නම් එතැනින් ම ඔබ තමා ගැන ඉගෙනීම නවතා ඇත. එනම් අවබෝධයෙන් ඔබ පලා ගොස් ඇත. එබැවින් ‘තනි වීම’ යන්නට බිය නැතිව ඔබ මුහුණ දෙන්නේ නම් ඔබට හමු වන්නේ නව දෙයක් ම ය.

ආත්ම විශ්වාසයෙන් පිරි තැනැත්තා මළ මිනිසකු යැයි මා කිව හොත් ඔබ එකඟ වන්නේ ද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.