ප්‍රවෘත්ති පත්‍ර | සත්මඬල

ප්‍රවෘත්ති පත්‍ර

බ්‍රිතාන්‍ය යුගයේ මුල් අවධියේ සිටම කොළඹ නගරයට, පළමුවෙන් ඉංග්‍රීසියෙන් ද පසුව ජාතික භාෂාවලින් ද පළ කෙරුණු පුවත්පත්වලින් අඩුවක් නො වී ය. නගරයේ ප්‍රසිද්ධ කෙරුණු පළමු වැනි සඟරාව, “ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය” වන අතර මෙය රාජ්‍ය ප්‍රකාශනයක් වුවද, ප්‍රවෘත්ති සහ දේශීය නිවේදන ද එහි පළ කරනු ලැබී ය.

දිවයිනේ පෞද්ගලික ව්‍යාපාර වැඩි දියුණු කිරීම, යටත්විජිත කාර්යාලයේ අභිලාෂය වූයෙන්, කොලනියේ ආණ්ඩුකාරතැන වූ සර් රොබට් විල්මට් හෝර්ටන් විසින් “කලම්බු ජර්නල්” නම් වූ පුවත්පත ආරම්භ කරන ලදි. මේ ප්‍රකාශනය, රජයේ මුද්‍රණාලයාධිපති ජෝර්ජ් ලී විසින් සකසා මුද්‍රණය කිරීමට යෙදුණක් වුවද, එය ලංකාවේ පළමුවැනි ෙපෟද්ගලික අයිතියකින් යුත් පුවත්පතයි. ඉනික්බිති 1831 පෙබරවාරි 4 වැනි දින “ද ඔබ්සවර් ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වටයිසර්” යනුවෙන් දැන් හඳුන්වනු ලබන්නේ මේ පත්‍රයයි. “ටයිම්ස් ඔෆ් සිලෝන්” පත්‍රය ද ආරම්භ කරන ලද්දේ නාගරික සභාව සංස්ථාපනය කිරීමට කලිනි. “ඔබ්සවර්” පත්‍රයට පමණක් තනි අයිතියක් භුක්ති විඳීමට ඉඩකඩ නොතැබිය යුතු යැයි කල්පනා කළ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් විසින් 1847 ජුලි මාසයේ “ද සිලෝන් ටයිම්ස්” නම් වූ පුවත්පත ආරම්භ කරනු ලැබී ය.

1846 දී ආරම්භ කෙරුණු “එක්සැමිනර්” පත්‍රය, බහුශ්‍රැත නීතිඥයකු වූ සී. ඒ. ලෝරැන්ස් මහතාගේ කර්තෘත්වය යටතේ මහත් කීර්තියකට පත් වූයේ නමුදු, 1900 වර්ෂයේදී පළ කිරීම අත්හිටවනු ලැබී ය. එක් එක් අවධිවල විශාල වැදගත්කමක් ඉසුලූ නමුදු අභාවයට ගිය දිනපතා පුවත්පත් නම්, සුප්‍රසිද්ධ ජෝර්ජ් ‍‍වෝල් මහතා පළමු වැනි කර්තෘ ධුරය ද දැරූ “ද සිලෝන් ඉන්ඩිපෙන්ටන්ට්” පත්‍රය ද, ද සොයිසා පවුලට අයත් වූ “සිලෝන් ස්ටෑන්ඩර්ඩ්” පත්‍රය ද, ආර්මන්ඩ් ද සූසා මහතා විසින් දක්ෂ ලෙස සම්පාදනය කළ “සිලෝන් මෝනිංග් ලීඩර්” පත්‍රයද “ද සිලසීන්” පත්‍රය ද යන මේවා ය.

“ද සිලනීස්” පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රාදිය මිලට ගත් ඩී. ආර්. වි‍ජයවර්ධන මහතා විසින් 1918දී “ද සිලෝන් ඩේලි නිවුස්” නමින් පුවත්පතක් ආරම්භ කරන ලදි. “ද සි‍ලෝන් ඔබ්සවර්” පත්‍රය ද, එහි බ්‍රිතාන්‍ය අයිතිකරුවන්ගෙන් 1923දී මිලයට ගත් විජයවර්ධන මහතා විසින් ම එහි ඉරිදා මුද්‍රණය ප්‍රකාශයට පත් කෙරිණි.

මෙය වූ කලී ලංකාවේ පළ කරන ලද පළමු වැනි ඉරිදා පුවත්පත ය.

උදෑසන නිකුත් වන කුඩා ප්‍රමාණයේ පුවත්පතක් වන “ඩේලි මිරර්” පත්‍රය ප්‍රසිද්ධ කරනු ලබන්නේ “ටයිම්ස් ඔෆ් සිලෝන්” සමාගමය විසිනි. සීමාසහිත ස්වාධීන පත්‍ර සමාගම විසින් “ද සන්” නම් වූ උදෑසන පුවත්පතක් පළ කරනු ලැබේ. ඉහත සඳහන් කළ සියලු පත්‍ර ඉංග්‍රීසි බසින් පළ වන ඒවා වේ.

වැඩිම අලෙවියක් ඇති පුවත්පතක් පළ වනුයේ සිංහලෙනි. “ලක්මිණි පහන” නමින් 1865දී ප්‍රකාශයට පත් වූ සිංහල පුවත්පත ආදි ම පුවත්පත්වලින් එකකි. “ලක් රිවි කිරණ” නම් පුවත්පතක් ද එයට පෙර පළ කර තිබිණි. බෞද්ධ පරම විඥානාර්ථ සමාගම විසින් ආරම්භ කළ පුවත්පත “සරසවි සඳරැස” නමින් ප්‍රකට විය. මේ සමයේදී ආරම්භ කෙරුණු තවත් සතිපතා පුවත්පත් දෙකක් නම් “සිංහල බෞද්ධයා” පත්‍රය සහ පියදාස සිරිසේන මහතාගේ “සිංහල ජාතිය” පත්‍රය ‍ද වේ.

කලින් “සරසවි සඳරැස” පත්‍රයේ කර්තෘ ධුරය දැරූ එච්. ඇස්. පෙරේරා මහතා විසින් ඇරැඹි “දිනමිණ” මුල්ම දිනපතා සිංහල පුවත්පත විය. පසුකලෙක ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් මේ පත්‍රය මිලයට ගෙන සිය පුවත්පත් කණ්ඩායමට එය ද එකතු කරනු ලැබී ය. ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් පළ කිරීමට යෙදුණු අනෙක් සිංහල පුවත්පත “සිළුමිණ” (ඉරිදා) පත්‍රයයි. සවස පුවත්පතක් වූ “ජනතා” පත්‍රය ද ඒ සමාගම විසින් ම පළ කරනු ලබන්නකි. ලක්මිණ නම් වූ දිනපතා පුවත්පතක් පළ කිරීමට යෙදුණු අතර එක්කලෙකදී එය, ඩබ්ලිව්. ඒ. ද සිල්වා මහතාට අයත් තිබුණේ ය. “දිනමිණ” පත්‍රයේ කලින් සිටි කර්තෘවරයකු වන ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා “ස්ව‍දේශ මිත්‍රයා” නම් වූ ඉරිදා පුවත්පතක් ආරම්භ කළේය.

“දිනමිණ” පත්‍රයට අභියෝගයක් ලෙස 1947දී ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම විසින් “ලංකාදීප” නමින් අලුත් පුවත්පතක් ආරම්භ කරනු ලැබී ය. එහි කර්තෘ ධුරය දැරූ ඩී. බී. ධනපාල මහතා එයින් අස් වී, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම වෙනුවෙන් 1962දී “දවස” නම් උදෑසන පුවත්පතක් ද ඊළඟ වර්ෂයේදී “සවස” නම් සන්ධ්‍යා පුවත්පතක් ද පටන් ගත්තේ ය.

“වීරකේසරී” සහ “තිනකරන්” නම් වූ දිනපතා පළ වන දෙමළ පුවත්පත් දෙකක් ඇත.

තානාපති කාර්යාලවලින් සහ විවිධ දේශපාලන පක්ෂවලින් සතිපතා සහ මාස්පතා ප්‍රසිද්ධ කෙරෙන පුවත්පත් සහ සඟරා රාශියක් ම ඇත. මාස්පතා පළ වන “ෆිනැන්සියල් ටයිම්ස්” සහ “නිවුස් ඔෆ් සිලෝන්” පුවත්පත්, ආර්ථික හා ව්‍යාපාරික කටයුතුවලට වෙන් වී ඇති ප්‍රකාශන දෙකකි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.