මා දැන් අමතන්නේ මුළු ලොවටමයි... | සත්මඬල

මා දැන් අමතන්නේ මුළු ලොවටමයි...

කාබන් විමෝචනයෙන් පෘථිවිය දූෂණය වන හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ ගොස් මිහිතලයෙන් සතුන් වඳ වී යෑමේ අවදානමක් පවතින බව කලෙක පටන් විද්‍යාඥයෝ අනාවැකි පළ කරමින් සිටිති. ඒවා සැබෑ වෙමින් පවතින බව කෙමෙන් පසක් වෙයි. මේ වනාහි එක්සත් ජාතීන් දශක හතරක පමණ සිට විශේෂයෙන් අවධානය යොමු කරන ලද්දකි. ලොව පුරා රාජ්‍ය නායකයෝ සහ අමාත්‍යවරු ද නිලධාරීහු ද එක්සත් ජාතීන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන පාරිසරික සමුළුවට හා අනෙක් වැඩසටහන්වලට නොඅඩුව සහභාගි වෙති. සහභාගි වී බරසාර කතා පවත්වති. එහෙත් ඒවා හිස් කතා පමණක් බව පසුව වැටහේ. සියල්ලෝ දේශකයෝ ද ශ්‍රාවකයෝ ද වෙති. බණ අසන්නාක් වැනිව එක්සත් ජාතින්ගේ විද්‍යාත්මක කමිටු ඉදිරිපත් කරන වාර්තා හා දේශන අසා සිටින නියෝජිතයන්ට සමුළු ශාලාවෙන් පිටතට ආ සැණින් සියල්ල අමතක වන්නා සේ ය.

මේ රාජ්‍ය නායකයන් බහුතරයකගේ අභිලාෂය වන්නේ සිය රට ආර්ථික අතින් සංවර්ධනය කෙරුමයි.

ඒ සඳහා අවශ්‍ය බල ශක්තිය බහුල ලෙස කෙරෙන්නේ කාබන් විමෝචනය කෙරෙන ෆොසිල ඉන්ධන දහනයෙනි. ඒ හැර විකල්ප ඇත්නම් සන්සන්දනයේදී ඒ අංශුමාත්‍රයක් පමණ ය.

කාබන් විමෝචනය යනු කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් සහ නොදැවුණු කාබන් අංශු වායුගෝලයට නිකුත් වීමයි. සාමාන්‍ය දහනයේදී අසාමාන්‍ය නොවන මේ සංසිද්ධිය ෆොසිල ඉන්ධන දහනයේදී අසාමාන්‍ය ලෙස විශාල වශයෙන් සිදු වේ. මේ වායු අසීමීත ව වායුගෝලයට එක් වූ විට පරිසරයට දරා ගැනීමට අපහසු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

වායු ගෝලයේ ස්වාභාවික ව හරිතාගාර ආචරණය නම් සංසිද්ධියක් පවතියි. එහිදී සිදු වන්නේ දහනයෙන් පිට වන කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ද වෙනත් ප්‍රතික්‍රියා නිසා හට ගන්නා මීතේන්, ක්ලෝරෝ ෆ්ලෝරො කාබන් වැනි වායු වර්ග ද විසින් පෘථිවියට පතිත වන හිරුගේ සාමාන්‍ය අලෝක හා තාප කිරණවලට වෙනස් කිරණ වර්ග (උදා: අධෝරක්ත කිරණ) අවශෝෂණය කර පෘථිවියේ උෂ්ණත්වය සමනය කිරීමයි. එහෙත් ඉහත සඳහන් වායු සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා වායු ගෝලයට එක් වූ විට අයහපත් ප්‍රතිඵල ලැබෙයි. එයට හේතුව ඒ වායු ඒ කිරණ වැඩි වැඩියෙන් අවශෝෂණය කර වැඩි වැඩියෙන් තාපය මුදා හැරීමයි.

ඉහත සඳහන් ක්ලෝරෝ ෆ්ලෝරො කාබන් නිසා පෘථිවිගෝලයේ ඉහළ අවකාශයේ ඕසෝන් ස්තරයට හානි සිදු වන බව විද්‍යාඥයන් විසින් කලකට ඉහත සොයා ගනු ලැබිණි. එමඟින් ඕසෝන් වියන කෙමෙන් තුනී වී පසුව සිදුරු වීමත් එසේ සිදුරු වීම නිසා හිරුගෙන් නිකුත් වන සාමාන්‍ය පරාසයේ තාප කිරණ පරාසයෙන් පිට පවතින අල්ට්‍රා සහ ඉන්ෆ්‍රා කිරණ පැමිණීමත් දේශගුණ විපර්යාසවලට හේතු වෙයි. ඒ වන විට ඔසොන් වියන යථා තත්ත්වයට පත්ව ඇති බව වසර දෙක, තුනකට පෙර විද්‍යාඥයන් අනාවරණය කර ගන්නා ලද නමුත් මේ වන විට නැවතත් අනතුර ඉස්මතු ව පවතින බව මෑතක පළ වන වාර්තාවල සඳහන් ය.

වායුගෝලයට දරාගත නොහැකි තරම් හරිතාගාර වායු විමෝචනය වන්නේ ෆොසිල ඉන්ධන දහනය අධික වීම නිසා ය. කාර්මික විප්ලවයත් එහි ප්‍රතිඵලය වන නිෂ්පාදන තරගයත් විසිවැනි සියවසේ වෙළෙඳපොළ ආර්ථිකයේ නැඟීමත් නිසා එය ත්වරණය විය. දැන් එය දරා ගන්න බැරිතරම් ඉහළ අගයකට පැමිණ ඇත්තේ ඒ නිසා ය. දේශපාලකයන් සිය රට සංවර්ධනය කරන්නේ රටට ආදරයට ම පමණක් නොවේ; වැඩි ආදරය ඇත්තේ තමාට ය. ඊළඟ වතාවේ ඡන්දයෙන් බලයට පත් වන්න නම් අනාගත ප්‍රතිඵල නොසලකා හරිමින් වුව වර්තමානයේ සංවර්ධනය පෙන්වීම අනිවාර්ය ය.

වර්තමානයේ ලොව පවතින දේශගුණ අර්බුදයට හේතුව මෙයයි.

මේ වන විට රාජ්‍ය නායකයන්ගේ ඉහතින් සඳහන් වංචනික දෙබිඩි ප්‍රතිපත්තිය ළමා පරපුර තේරුම් ගෙන හමාර ය. ඒ නිසා ලොව පුරා යමක් කමක් වැටහෙන බාලයෝ හෙවත් යෞවනයෝ එයට එරෙහිව වීදි බැස සිටිති.

පසුගිය සැප්තැම්බර් 20 වැනි සිකුරාදා ලොව පුරා ප්‍රධාන නගර 40ක පමණ මිලියන දෙකකට ආසන්න යෞවනයෝ වීදි බැස දේශගුණ විපර්යාසකාරකයන්ට සිය විරෝධය පළ කළහ.

සෑම සිකුරාදාවක ම ලොව පුරා කොහේ හෝ නගරයක මේ විරෝධතාවක් පැවැත්වෙයි.

පසුගිය පෙබරවාරි අවසානයේ සිට ‘අනාගතය සඳහා වන දේශගුණ වර්ජනය’ නම් ව්‍යාපාරයක් යොවුන් පරපුර අතර ප්‍රචලිත ය. එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් ය:

“අප අනාගතය සඳහා අධ්‍යාපනය ලබන්නේ කුමට ද, නොබෝ කලකින් ම කිසිවක් ශේෂ නොවනු ඇත් නම් සහ කිසිවකු අපගේ අනාගතය සුරැකීම සඳහා කිසිදු පියවරක් නොගන්නේ නම්? එසේ ම කරුණු කාරණා ඉගෙන ගැනීමේ වැදගත්කම කිම; ඉතා වැදගත් කරුණු කාරණා අපගේ සමාජයට නොවැදගත් වන සඳ? මේ වන විට අපි සැම දිනක ම තෙල් බැරල් මිලියන 100ක් බැගින් පුලුස්සා දමමින් සිටිමු. එය වෙනස් කරන්න කිසිදු දේශපාලනයක් නැත.”

ඒ විරෝධතාවේ විශේෂත්වය වන්නේ ඊළඟ සඳුදා එනම් සැප්තැම්බර් 23දා එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව පැවැත්වීමට නියමිත ව තිබීමයි.

මෙහි පුරෝගාමීවරිය වනුයේ ග්රිටා තුන්බර්ග් නමැති සොළොසැවිරිදි ස්වීඩිෂ් පාසැල් දැරියකි. 2003 ජනවාරි 03 දින උපත ලද ඇයගේ පියා, මව සහ බාල සොහොයුරිය මෙන්ම පිය පාර්ශ්වයේ සීයා ද කලාවට සම්බන්ධ පුද්ගලයෝ වෙති. මතු සඳහන් ඇගේ ක්‍රියාකාරකම්වලට ඒ තිදෙනාගෙන් ලැබෙන්නේ විශාල පිටුබලයකි. ඇත්තටම කියනවා නම් ඇයට එසේ නොවිණි නම් ඇයට ඒසා දස්කම් සුරුවිරුකම් දක්වන්න ලැබෙන්නේ නැත.

දෙවසරක් තිස්සේ ඇය ගෙන යන සටන ප්‍රතිපත්ති සම්පාදකයන්, තීරණ ගන්නන් සහ රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුගේ ඇස් අරවන්න සමත් වී ඇති බව පැහැදිලි ය. එසේම ඔවුන් කෝපයට පත් කරවන්න ද සමත් වී තිබේ.

2018 වසරේ දිනෙක ඇය ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඒක පුද්ගල විරෝධතාවක නිරත වූවා ය. ඉංගිරිසියට පරිවර්තනය කළ විට ‘School strike for climate’ සිංහලෙන් ‘දේශගුණය වෙනුවෙන් පාසල් වර්ජනයේ’ යන අරුත් ඇති ස්විඩිෂ් වැකියක් සටහන් කරුණු පුවරුවක් ඇය අත දරා සිටියා ය. මෙය සිසුන් අතර පැතිර ගිය අතර ඇයගේ මූලිකත්වයෙන් ‘දේශගුණය සඳහා පාසල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය ඇරැඹිණි.

එයට අනෙක් සිසුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ විවිධ පරිසර සංවිධානවලින් සහය ලැබිණි. ඉන් පසු මේ වර්ජනයට අනුගත වූ සිසුහු සිකුරාදා දිනවල පන්ති වර්ජනය කරමින් පාරට අවුත් සාමකාමී විරෝධතා ව්‍යාපාරවල නිරත වීම ලොව පුරා පැතිර ගියෝ ය. එයට වැඩිපුරම සිසුන් ආකර්ෂණය වූයේ මහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ය. ලන්ඩන් නගරාධිපතිවරයාට මෙය මහා හිසරදයක් වු අතර සිසුන් පාසල් නොගොස් වැඩිහිටියන් කරන වැඩ කරන්න යෑම ගැන ඔහු සිසුන්ට තරවටු කර ඉන් නොනැවති දෙගුරුන්ට ද අනතුරු හැඟවී ය.

2018 දෙසැම්බර් 02 සිට 15 දක්වා කාලයේ පෝලන්තයේ කැටවයිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 24 වැනි දේශ ගුණ සමුළුවට සහභාගි වන්න ආරාධනාවක් ලැබූ ග්රිටා තුන්බර්ග් එහිදී රාජ්‍ය නායකයන් ඉදිරියේ සිය අදහස් පළ කළා ය. පසුගිය ජනවාරි 22 සිට 25 දක්වා ස්විට්සර්ලන්තයේ ඩේවෝස් නුවර පැවැත් වූ ‘ලෝක ආර්ථික සංසදයේ’ සමුළුවේදී ද සිය අදහස් පළ කරන්න ඇයට අවස්ථාවක් ලැබිණි. ‘අපි නව ආර්ථික යුගයක - ගෝලීයකරණය 4.0’ යන තේමා පාඨය යටතේ පැවැත්වූ ඒ සමුළුවේ ඇගේ අදහස් දැක්වීම පිළිබඳ ඒ වෙබ් අඩවියේ දැක්වෙන්නේ කිසියම් ඇගයීමක් ද සහිතව ය.

“අපගේ නිවෙස ගිනි ගෙන දැවෙමින් පවතියි” ඕ එහි සිටි විධායකයන් ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන් අමතා පැවැසුවා ය. “අද මෙහි රැස්ව සිටින ඔබ සැම සාර්ථකත්වය ගැන කතා කරන්න කැමැති වෙති. එහෙත් මූල්‍ය සාර්ථකත්වය එන්නේ මිල ලේබලයක් ද සහිතව ය. දේශගුණය ගැන කියනවා නම් එහිදී ඔබ අසාර්ථක ය. මේ අසමර්ථතාව හඳුනා නොගන්නේ නම් නොකියැවෙන වේදනාවක් ශේෂ වනු ඇත.”

“අප සිටින්නේ අපගේ සියලු දොස් නිදොස් කරන්න ඉතිරිව ඇත්තේ අවුරුදු දෙකක් පමණක් වන කාලයක් අත ඇතිව ය”යි ඕ පැවැසුවා ය.

“සමහර අය කියන්නේ දේශගුණ අර්බුදය අප සියලු දෙනා නිර්මාණය කළ දෙයක් කියා ය. එහෙත් එය ඇත්ත නොවේ. මන්ද යත් සැම දෙනාම වරදකාරයන් නම් දොස් පවරනු ලැබීමට කෙනකු නැති හෙයිනි. කාට හෝ අනාමිකව දෝෂරෝපණය කෙරෙනු ඇත. සමහර මිනිසුන්, සමහර සමාගම් සහ විශේෂයෙන් සමහර ප්‍රතිපත්ති සම්පාදකයන් තමන් උපයන අති විශාල මුදල් කන්දරාව සඳහා ජනතාව ගෙවන මිල හෙවත් කැපවීම පිළිබඳ කිසිවක් නොදනිති. මගේ අදහස නම් මෙහි රැස්ව සිටින ඔබගේ ඒ මුදල් ඒ ජන කොට්ඨාසයට අයත් විය යුතු බව ය.

අප සිටින්නේ ඉතිහාසයේ එක්තරා වකවානුවකයි. එහිදී සියලු දෙනා මනා සිහියෙන් යුක්තව සිටිය යුතුය.

තමන් තරුණ ජනයා තුළ අපේක්‍ෂා දල්වමින් සිටින බවත් අප තුළ බලාපොරොත්තු ඇති කරන්න තමන් බැඳී සිටින බවත් වැඩිහිටියෝ නිරතුරුව කියති. අපට ඔබගේ බලාපොරොත්තු අවශ්‍ය නොවේ. මම අපේක්‍ෂාවලින් යුතුව සිටින්නට නොකැමැත්තෙමි. මට අවශ්‍ය වන්නේ ඔබ සංත්‍රාසයට පත් කරන්න ය. මට වුවමනා මා සිත ඇති බිය ඔබේ සිතේත් ඇති කරන්න ය. මට අවශ්‍ය වන්නේ අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක සිටින තත්ත්වයට ඔබ පත් කරන්න සහ ඔබ ක්‍රියාත්මක කරවන්න ය. මට අවශ්‍ය වන්නේ තමන්ගේ නිවෙස ගිනි ගන්නා අවස්ථාවක ක්‍රියාත්මක වන තත්ත්වයට ඔබ පත් කරවන්න ය.”

ඇයගේ කතා විලාසය සුමට නොවේ. එහෙත් ඇගේ හඬ සන්සුන් ය, පැතලි ය, ඒත්තු ගැනෙන සුලු ය. අප්‍රේල් 23 දින එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර්හි ශිෂ්‍යයන් ඇමැතීමට එහි පැමිණි අවස්ථාවේ එරට විපක්ෂ නායක ජෙරමි කෝබින් ඇතුළු සියලු පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ සම්මුඛව සාකච්ඡාවක් පවත්වන්න ඇයට අවස්ථාව ලැබිණි.

“මගේ ඉංගිරිසි හරිද?”

ඇය ඔවුන්ගෙන් විමසා සිටියා ය.

“මගේ භාෂාව රළුයි. ඒ බව මාත් දන්නවා”

ඕ ඔවුන් හමුවේ පැවැසුවා ය.

පසුගිය 23දා ඇය එක්සත් ජාතින් ඇමතුවා ය. රාජ්‍ය නායකයන් 60 දෙනෙක් ඇගේ කෙටි දේශනය පැවැත්වෙන අවස්ථාවේ සභාගැබේ සිටි බව සඳහන් ය. මේ ඇය එහිදී පැවැත්වූ සම්පූර්ණ කතාවයි:

“මගේ පණිවුඩය අප ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටින බවයි. මේ සැම දෙයක් ම වැරැදියි. මා මෙහි සිටිය යුතු නැහැ, මා සිටිය යුත්තේ සාගරයෙන් අනෙක් පස මගේ රටේ මගේ පාසලේයි; යොවුන් ජනයා වන අප වෙත ඔබ අපේක්‍ෂා රැගෙන එනතුරු, කොතරම් නිර්භය ද ඔබ?

 

ඔබ ඔබගේ හිස් වදන්වලින් මගේ ළමා විය සහ සිහින සොරාගෙන තිබෙනවා. සමහර විට මා වාසනාවන්ත අය අතරින් කෙනකු වන්න පිළිවන්. මිනිසුන් වේදනා විඳිමින් සිටිනවා, මිනිසුන් මියැදෙමින් සිටිනවා. මුළු මහත් පාරිසරික පද්ධතියම කඩා වැටෙමින් පවතිනවා. අප සිටින්නේ මිනිස්වග මිහිතලයෙන් තුරන් ව යෑමේ ආරම්භක අදියරේයි. ඔබ සැමට කතා කළ හැක්කේ මුදල් ගැන ම පමණයි. කෙතරම් නිර්භය ද ඔබ?

තිස් වසරකටත් එහා සිට ම විද්‍යාව සුපැහැදිලියි. දේශපාලන විසඳුම් අහලකවත් පෙනෙන්න නැතිව තිබියදීත් තමන් ප්‍රමාණවත් පරිදි ක්‍රියා කොට තිබේ යැයි අහක බලා ගෙන කියන ඔබ කෙතරම් නිර්භය ද?

අපට සවන් දෙන බවත්, හදිසි තත්ත්වය ගැන දන්නා බවත් ඔබ කියන්නෙහි ය. එහෙත් මා කෙතරම් දුකින් සහ කෝපයෙන් සිටිනවා ද යත් එය විශ්වාසයට ගන්න මට නොහැකියි. මන්ද යත් ඔබ ඇත්තටම තත්ත්වය වටහා ගෙන සිටින්නේ නම් සහ ක්‍රියාත්මක වන්න අසමත් වෙමින් නම් ඒ කියන්නේ ඔබ යනු නපුර ම බවයි. එය විශ්වාස කිරීම මා ප්‍රතික්ෂේප කරනවා.

අපවිත්‍ර වායු විමෝචනය අඩකින් අඩු කර උෂ්ණත්වය වැඩි වීම දසඅවුරුද්දකින් සෙල්සියස් 1.5ට අඩු මට්ටමින් පවත්වා ගෙන යෑම 50%ක වාසනාවක් උදා කරදෙන බවත්, මිනිසාගේ පාලනයෙන් එපිට ආපසු හැරවිය නොහැකි දාම ප්‍රතික්‍රියාවක් හිලව්වට තැබීමේ අවදානමක් ඇති බවත් ජනප්‍රිය මතයයි.

50% ඔබට පිළිගත හැකිවා විය හැකියි. එහෙත් මේ සංඛ්‍යාවල ඉඟි ලැකි, බොහෝ ප්‍රතිපෝෂණ පුඩු ධූලක වායු දූෂණය විසින් සඟ වන ලද අතිරේක උණුසුම හෝ දේශගුණ සාධාරණත්වයේ සහ සමානතාවේ පරිදර්ශ හෝ අඩංගු කරන්නේ නැහැ. ඒ සමඟම ඔබ, ඔබගේ තාක්ෂණ ක්‍රියා නිසා වායුගෝලයට එක් වන මගේ පරම්පරාවේ අය උරා ගන්නා ටොන් බිලියන සිය ගණනක් කාබන් ඩයොක්සයිඩ්වල පිහිට පතනවා.

ඒ නිසා 50%ක අවදානම ඒවායේ පලවිපාකත් සමඟ ජීවත් වන්න ඉරණම නියම කෙරී ඇති අපට දරා ගත නොහැකියි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 අඩු මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා 67%ක විභවතාවක් සඳහා දේශගුණික විපර්යාස සඳහා වන අන්තර් ආණ්ඩු පැනලය නිර්දේශිත ශේෂ වී ඇති කාබන් විමෝචනය 2018 ජනවාරි පළමු වැනිදා වන විට ගිගාටොන් 420ක්. මේ වන විට එය 350ටත් අඩු මට්ටමකයි පවතින්නේ.

පුරුදු පරිදි ක්‍රියා කිරීමෙන් සහ කිසියම් තාක්ෂණික විසඳුම් මඟින් විසඳිය හැකිවනු ඇතැයි දැන දැනම බොරු කියන්න කෙතරම් නිර්භය ද ඔබ ? දැන් පවතින විමෝචන මට්ටම අනුව කාබන්ඩයොක්සයිඩ් ‘අය වැය’ ඉදිරි වසර අටහමාර තුළ මුළුමණින්ම වැය වී අවසන් වනු ඇති.

මෙහි - අයිපීසීසී වාර්තාවේ - දැක්වෙන සංඛ්‍යා සමඟ ගැළපෙන පරිදි ක්‍රියා කරන්න ඔබට විසඳුම් හෝ සැලසුම් හෝ නැහැ. මන්ද යත් මේ සංඛ්‍යා අපහසුවක් දනවන හෙයින්. එසේම එය ඒ ආකාරයෙන් ම කියන්න තරම් ඔබ පරිණත ද නැහැ.

ඔබ අප අසමත් කරවමින් සිටී. එහෙත් යොවුන් ජනයා ඔබගේ පාවාදීම ගැන වටහාගෙනයි සිටින්නේ. අනාගත පරම්පරාවල සියල්ලන්ගේ නෙත් ඔබ දෙස යොමු ව තිබෙනවා. ඉතින් ඔබ තෝරා ගන්නේ අප අසමත් කිරීම නම් මා ඔබට කිව යුතුයි; අප කිසිදා ඔබට සමාව නම් නොදෙන බව;

ඔබට මින් බැහැර වන්න අප ඉඩ තබන්නේ නැහැ; මේ මොහොත අප සීමා ඉර සලකුණු කරන වේලාවයි; ලොව අවදි වෙමින් පවතිනවා; වෙනසක් එමින් සිටිනවා; ඔබ කැමැති වුණත් අකැමැති වුණත් අසා සිටි ඔබ සැමට ස්තුතියි.”

ඇය ඒ කියන විද්‍යාඥමතවලට රාජ්‍ය නායකයන් සවන් නොදීමේ කනස්සල්ල එක්සත් ජාතින් පළ කරන්නේ පෘථීවියේ උෂ්ණත්වය අනවරතව ඉහළ නඟිමින් පවතින බවත්, තවමත් කූඨප්‍රාප්තියට එළැඹ නැති බවත් පවසමිනි. ඒ බව එක්සත් ජාතින්ගේ වෙබ් අඩවියේ සඳහන් ය. තුන්බර්ග් මෙනෙවිය විසින් ද අමතන ලද පෙර සඳහන් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ මුඛ්‍ය තේමාව ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ එයින් ඇරැඹෙන ඡේදයකිනි.

“පසුගිය සිව් වසර, 1990න් පසු ගෝලීය උෂ්ණත්වය වැඩියෙන් ම ඉහළ ගිය කාලයයි. ඒ ප්‍රමාණය සෙ.අංශක 3 පමණ වෙයි; ඒ අතර වායුගෝලය දූෂණය වෙයි; මුහුදු මට්ටම ඉහළ නඟියි; කොරල් පර මියයමින් පවතී; එය සහ ආහාර සුරක්‍ෂිතතාව සමඟ ඇති වන ගැටුම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වෙයි; අපි ඒ සියල්ල බලා සිටිමු.

දේශගුණ විපර්යාසයේ ගැටුම සැමට දැනේ. එමඟින් ජන ජීවිතයට සැබෑ බලපැමක් ඇති කෙරේ. එය රටරටවල ජාතික ආර්ථික බිඳ හෙළන අතර දරන්න සිදු වන පිරිවැය අධික ය.

ඒ පිරිවැය කෙමෙන් වැඩි වනවා විනා අඩු වීමක් දක්නා නොලැබෙයි.

නවතම විශ්ලේෂණ අනුව කාලගුණ විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම දැන් ම අරඹා කාබන් විමෝචනය කිරීමේ නිර්දේශිත පියවර ගත හොත් ඉදිරි දොළොස් වසරේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සෙල්සියස් අංශක 2 මට්ටමේ පවත්වා ගෙන යා හැකි වනු ඇත. නවීනතම විද්‍යාව අපට කියා දෙන්නේ එසේ කළ හොත් කාර්මික විප්ලවයට පෙර පැවැති ගෝලීය උෂ්ණත්වයට වඩා සෙඅංශක 1.5 පමණක් ඉහළ මට්ටමින් එය පවත්වා ගෙන යෑම කළ නොහැක්කක් නොවන බවයි.

ඒ සඳහා අප සතුව පැරිස් සම්මුතිය ඇති බව ස්තුතිපූර්වක ව කිව යුතුය. එය ඉදිරිය දකින ප්‍රතිපත්තිමය රාමුවකි. දේශගුණ විපර්යාස නිසා ඇති විය හැකි බිඳීම් නවත්වන්න ගැටුම් ආපසු හරවන්න හැකි ඒ එකඟතාව විජිගීෂා විරහිත අත්සන්වලට පමණක් සීමා වූ ලියැවිල්ලක් පමණක් නම් එය තේරුමක් නැති දෙයක් පමණක් වනු ඇත.”

පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඉහත සඳහන් කොරල්පරවල විනාශය සිදු වන්නේ මුහුදු ජලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යෑම නිසා ය. මහා බාධක කොරල්පරය මේ වන විට අසාධ්‍යව පණ අදිමින් සිටින බව සඳහන් ය. ඇතැම් වාර්තාවක දැක්වෙන්නේ එය මියගොස් අවසන් බව ය. මුහුදු මට්ටම ඉහළ යන්නේ ධ්‍රෑවවල අයිස් දිය වී එයට එක් වීම නිසා ය.

පැරිස් සම්මුතිය යනු එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස සංහිඳු වීම සඳහා වන පාදක ව්‍යූහය රාජ්‍ය හරිතාගාර වායු විමෝචන සමනය, උපයෝජනය සහ මූල්‍ය පහසුකම් සැලසීම සඳහා සාමාජික රාජ්‍යවල එකඟ බව ලබා ගැනීම පිණිස සකස් කරන ලද ප්‍රඥප්තියකි. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය 196 අත්සන් තබන ලද පොදු සම්මුතියක් වන මෙය 2016 නොවැම්බර් 04 දින සිට බල පැවැත්වෙයි. මේ සම්මුතියට එකඟ වූ රාජ්‍ය සිය සැලසුම් ඉදිරිපත් කළ යුතුය.

මේ සම්මුතිය 1988 ස්ථාපනය කරන ලද දේශගුණ විපර්යාස සඳහා වන අන්තර් ආණ්ඩු පැනලය ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව සකස් කරන ලද්දකි. ඒ පැනලය එක්සත් ජාතින්ගේ සාමාජික රාජ්‍යවලින් තෝරා ගන්නා ලද ප්‍රවීන විද්‍යාඥයන් කණ්ඩායමකගෙන් සමන්විත ය. එය කරන ලද සේවය අගයා 2007 වසරේ එයට නොබල් සාම ත්‍යාගය පිරි නමන ලදි.

පසුගිය 23දා එය විසින් ඉදිරිපත් කරන ලද්දේ පසුගිය මාස 12 ඇතුළත තෙවැනි වාර්තාවයි.

එහෙත් සංවේගයට කාරණය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ ක්‍රියාකාරකම් සැලසුම් සහ සාකච්ඡාවලට පමණක් සීමා වීම සහ ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවීමයි. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට විද්‍යාඥයන් විසින් නිතිපතා ඉදිරිපත් කෙරෙන වාර්තා සහ ඒවායේ නිර්දේශ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන බව ප්‍රකට කරුණකි.

අවාසනාවකට මෙන් ලොව වැඩිම පරිසර දූෂකයා වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධුරයට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූවායින් පසු එරට මේ සම්මුතියෙන් ඉවත් වන බව නිල වශයෙන් දන්වන ලදි. එයට හේතුව ෆොසිල ඉන්ධන දහනය නොකර සංවර්ධනය කරා යා නොහැකි බවට වන ජනාධිපතිවරයාගේ විශ්වාසයයි. ඔහුට අනුව යමින් බ්‍රසිලය ද ඉන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කර ඇත. ලොව විශාලතම වැසි වනාන්තරය වන ලෝකයේ පෙණහැල්ල යනුවෙන් ප්‍රශංසාවලි ලත් ඇමසන් වනය මාස දෙකකට අධික කාලයක් තිස්සේ දැවෙමින් පැවැතුණේ බ්‍රසීල රජයේ සංවර්ධන විජිගීෂාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ග්රිටා තුන්බර්ග් ලොවට හඬ නඟා කියන්නේ මේ සියල්ල ඇය දන්නා යොවුන් බසට පරිවර්තනය කරමිනි.

ග්රිටා, අනාගත පරපුර වෙනුවෙන් වත්මන් වැඩිහිටියන්ට ආයාචනය කරන්නී නොවේ. ඇය දැඩිව කියන්නී තමන්ගේ පරම්පරාවට ද ජීවත් වන්න මේ මිහිතලය ඉතිරි කරන ලෙසයි. එහෙත් බොහෝ වැඩිහිටියන් එය වටහා නොගන්නා සේ ය. ඇයට ප්‍රශංසා මල් පොකුරුවලට වඩා නින්දාවේ ගල් මුගුරු එල්ල වන්නේ එහෙයිනි.

ඒ අතරින් ඉතා පහත් ආකාරයෙන් ඇයට ප්‍රහාර එල්ල කරන ලද්දේ ජර්මනියේ මෝටර් රථ නිෂ්පාදන ආයතනවල සේවකයන් විසිනි. ඇය කියන පරිදි කාබන් මෝචනය අඩු කළ විට සිය රැකියා අහිමි වනු ඇත යන බියෙන් ඔවුන් වියරු වැටී සිටින බව ප්‍රකට ය. ඔවුන් කියන්නේ දේශගුණ විපර්යාස යනු ලෝක ඉතිහාසය පුරා පැවැති දෙයක් බවයි.

“ලොව බේරා දෙන්න අපට අපගේ රැකියා හිලව්වට තබන්න බැහැ”

ජර්මානුවන් මෙලෙස කෝප වී සිටින්නේ ඇය විසින් එරටට, ප්‍රංසයට, බ්‍රසීලයට, ආර්ජෙන්ටිනාවට සහ තුර්කියට එරෙහිව අනාගත පරපුරේ පාරිසරික සුරක්‍ෂිතතාව තහවුරු කරන්න පියවර නොගන්නා බවට චෝදනා කරමින් එක්සත් ජාතින් වෙත විධිමත් ව ගොනු කරන ලද පැමිණිල්ලක් නිසා ය. ඇය සමාජයට හිස්ටීරියාවක් කාවද්දන බව ජර්මන් ව්‍යවස්ථාදායකයකු පවසා ඇති අතර තවත් එවැනිම කාන්තාවක් පවසා ඇත්තේ ඇය වර්තමාන තරුණ පරපුර දුර්මුඛ කරවන බවයි.

ෆේස්බුක් පුරා ඉතා අශ්ලීල ලෙස කාමුක දෙයින් පවා ඇයට පහර දෙන්න ඔවුන් ද ඇතුළු සමහරු පසුබට නොවෙති. එහෙත් ඒවායින් සැලෙන්නී ඇය නො වේ. ඇය කියන්නී අනම් මනම් නැතිව තමා කියන දෙයට පිළිතුරු දෙන ලෙසයි. තමා ඉදිරිපත් කළේ විද්‍යාඥයන්ගේ මතය කියායි.

මේ අතර ඇය සම්බන්ධයෙන් නිර්මාණය කැරුණු අසත්‍ය පුවත් සමාජ මාධ්‍යජාලවල සංසරණය වෙමින් පවතින බව AFP FactCheck සහ pointer.org වැනි වෙබ් අඩවිවල සඳහන් ය.

ඇය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් බොහෝ ය. ගාඩියන් පත්‍රයට සහ වෙබ් අඩවියට විශේෂාංග ලිපියක් ලියන සූසන් මුඅර් නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය පෙන්වා දෙන්නේ ඇගේ ලිංගික අනාකර්ෂණීය බවත්, මුරණ්ඩුකමත් වෘද්ධ චින්තකයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ ව්‍යවස්ථාදායකයන්ගේ උදහසට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත් දේශගුණ විපර්යාස ගැන මැදිහත් වන ක්‍රියාධරයන්ට මතු නොව විද්‍යාඥයන්ට පවා නොයෙක් සමච්චල්, නින්දා යනාදිය පමණක් නොව මරණ තර්ජන පවා එල්ල වන බව ප්‍රකට කරුණකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඇය අගය කරමින් ට්විටර් සටහනක් තබා ඇත. ඇය දිරිමත් හුරුබුහුටි යෞවනියක් බව ඔහුගේ අදහසයි. එහෙත් සූසන් මුඅර් පෙන්වා දෙන්නේ එය ද සමච්චල් සහගත එකක් බව ය.

ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ අදහස වන්නේ “ඇය හොඳයි. ඒත් වැඩිහිටියන්ගේ ප්‍රශ්න ගැන ළමයින්ට අවබෝධයක් නැහැ” යන්න ය.

කෙසේ වෙතත් ඇය පසසන සංවිධාන සහ මාධ්‍ය බොහෝ ය. පසුගිය මැයි 27 වැනි දින ටයිම් සඟරාවේ කවරයේ කතාව ‘මීළඟ පරපුරේ නායකයෝ’ යන තේමාව යටතේ ඇය ගැන විය. “මා දැන් අමතන්නේ මුළු ලොවටමයි”

ඇය එහි එන ඇගේ ලිපියේ සඳහන් කරන්නී ය.

ස්වීඩනයේ උපන් එහි පුරවැසියකු වන ඇය මේ වන විට ජාතික තලයෙන් ඔබ අන්තර්ජාතික වශයෙන් ද මහත් සම්භාවනාවට පාත්‍ර වූ යෞවනියකි. 2018 වසරේ ටයිම් සඟරාව වඩාත්ම බලපෑමක් ඇති කළ යෞවනිය ලෙස ඇයව නම් කෙරිණි. මේ වන විට ඇය 2019 වසරේ වඩාත්ම බලපෑමක් ඇති කළ පුද්ගලයන් සිය දෙනාගේ ලැයිස්තුවට ඇතුළුව සිටින්නී ය. ස්වීඩන් පාර්ලිමේන්තුව සහ නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් පසුගිය මාර්තු මාසයේ 2019 වසරේ නෝබල් සාම ත්‍යාගය සඳහා ඇයගේ නම යෝජනා කරන ලදි.

පසුගිය සැප්තැම්බර් මාසයේ ස්විඩනයේ විකල්ප නෝබල් සාම ත්‍යාගය ලෙස ගැනෙන Right Livelihood Award නමැති සම්මානය ලැබූ සිව්දෙනා අතර ඇය ද සිටින්නී ය. එය ඇයට ප්‍රදානය කරන ලද්දේ “විද්‍යාත්මක සාධක පිළිබිඹු කරමින් දේශගුණික ක්‍රියාකාරකම් උදෙසා ඉතා හදිසි දේශපාලනික අවශ්‍යතා අනුප්‍රාණය සහ විස්තාරණය වෙනුවෙනි”යි යනුවෙන් හේතු පාඨවල දැක්වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.