දීකිරි - ගිතෙල් සමඟ බත් කෑ සිංහලයෝ | සත්මඬල

දීකිරි - ගිතෙල් සමඟ බත් කෑ සිංහලයෝ

ක්‍රි. ව. 1284දී ලංකාවට පැමිණි ගවේෂකයකු වූ මාර්කෝපෝලේ සහල්, කිරි හා මාංස වර්ග ලක්වැසියන්ගේ ප්‍රධාන ආහාරය වී යැයි සඳහන් කර ඇත. මෑතක් වන තෙක් ම අපේ පැරැණියන් දිනපතා ම පාහේ මුදවාපු කිරි ප්‍රධාන ආහාරය සඳහා මුසු කරගත්හ.

පොදුවේ ගත් කල ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය ‘බත්’ යැයි ප්‍රචලිතව තිබුණ ද පැරැණි හෙළදිව වැසියන්ගේ ආහාර වේල බතට ම සීමා නො වී ය. එමෙන්ම බතට වඩා වෙනත් ධාන්‍ය වර්ගවලින් හා අල බතල ආදියෙන් සකස් කරගත් ආහාර නිතර දෙවේලේ ඔවුහු ආහාර වශයෙන් ගත්හ.

දවසේ තුන් වේලට ම කුරක්කන්, බ‍ඩඉරිඟු, මෙනේරි, තණ හාල්, උඳු, මුං, මෑ, කොල්ලු වැනි කටුසර ධාන්‍ය වර්ගවලින් සකස් කරගත් ආහාර භාවිතයට ගත් පිරිසක් ලක්දිව විසූහ. ඔවුන් බොහෝ විට වාසය කළේ ලංකාවේ වියළි කලාපයේ හා ඝර්ම කලාපයේ ය. අහස් දියෙන් සිදු කෙරුණ හේන් ගොවිතැන ඔවුන්ගේ ජීවනෝපාය විය. ඒ ප්‍රදේශවල පැවැති කටුක දේශගුණික තත්ත්වවලටත්, රෝග වසංගත ආදියටත් ඔරොත්තු දෙන්නා වූ ද, කාය ශක්තිය වර්ධනය කරන්නා වූ ද කුරක්කන්, මුං, මෑ, තල, මෙනේරි, උඳු, කොල්ලු ආදි කටුසර ධාන්‍ය වර්ගත් ඒ ආහාර සමඟ මුසු කරගැනීම උදෙසා කිරි, දී කිරි, ගිතෙල්, (දුන්තෙල්) වෙඬරු ආදි පස්ගෝ රසත් ඔවුහු සිය ආහාරය සඳහා යොදා ගත්හ.

ක්‍රි. ව. 1284දී ලංකාවට පැමිණි ගවේෂකයකු වූ මාර්කෝපෝලේ සහල්, කිරි හා මාංස වර්ග ලක්වැසියන්ගේ ප්‍රධාන ආහාරය වී යැයි සඳහන් කර ඇත. මෑතක් වන තෙක් ම අපේ පැරැණියන් දිනපතා ම පාහේ මුදවාපු කිරි ප්‍රධාන ආහාරය සඳහා මුසු කරගත්හ. කිරිවලට ආහාරයේ ලැබී තිබුණේ ප්‍රධාන ස්ථානයකි. “කිරි පැණි නැති මඟුල මනාල යුවළත් නැති මඟුල් ගෙයකැ”යි කීමට එදා ගැමියෝ පුරුදුව සිටියහ.

වර්තමානයේ ඒ ස්ථානය හිමිව ඇත්තේ මත්පැන්වලට ය. එකල සෑම ගෙදරකම පස් ගෝ රස ගෙදරින් ම ලබාගත හැකි විය. එසේ නැත හොත් අල්ලපු ගෙදරින් ඒවා සැපයෙන්නේ සංග්‍රහශීලි බවේ උතුම් ගුණය ප්‍රකට කරවමිනි.

ඇතැම් ගම් කොටුවල මී කිරි මුදවන්නෝ වෙන ම සිටිති. දැන් මෙන් කිරි මුදවන්නේ සෙම්බු හට්ටිවල නොවේ. කොරොස්වල ය. ඇතැම් ගැමියන් ලුණු වතුර බිඳක් පමණක් මුසු කරගෙන උදේට කිරි කොරහක් ම කයි. එහෙත් ඇතැම්හු කැකුළු හාලේ බතුත් සමඟ හෝ උණු බත් සමඟ හෝ කිරි කති. කුරහන් පිට්ටුවට ද මී කිරි මුසුව අනර්ඝතම කටගැස්මක් වන්නේය. මී පැණි ඇති දාක නම් දරුවෝ ද කිරිත්, පැණිත්, කුරහන් පිට්ටුත් යහමින් කති.

නැන්දේ මාමට බඩ ගිනි නැද්දෝ
රෑ ඉවු හැළියේ දං කුඩ නැද්දෝ
එවුවා කන්නට දී කිරි නැද්දෝ
දී කිරි නැත්නම් කොහොමට කද්දෝ

යනුවෙන් එදා ගැමි දරුවන් ගැයූ මේ ජන ගීයෙන් ආහාරයක් වශයෙන් දී කිරට තිබූ තත්ත්වය පැහැදිලි වේ. දානමාන උත්සව අවස්ථාවල පමණක් නොව උදේට හීල් බතුත් සමඟ ද, හැළියේ ඉතුරු වන දං කුඩ බතුත් සමඟ ද කිරි කෑමට ගන්නා ගැමියන් කිරි පානයක් වශයෙන් ගන්නේ ඉඳහිට දවසක ය. කැඳ ඔවුන්ගේ ප්‍රධාන පානය වී තිබීම එයට හේතුවයි.

එළකිරි මුදවීමක් නොකරන ගැමියෝ කිරි පුලුස්සා තෙල් හිඳිති. තෙල් පිලිස්සීම යනු කිරි උණු කර ගිතෙල් හිඳ ගැනීම ය. එළකිරි උණු කර කකාරා ගිතෙල් සිඳ ගන්නේ වැඩිමනත් එය ඖෂධයක් මෙන්ම ශක්ති ජනක ආහාරයක් හෙයිනි. කිරිබත් හා රොටී සමඟ ගිතෙල් ද මුසු කර කෑමට ගන්නා බින්තැන්නේ වැසියෝ කුකුලල තම්බා කෑමට ගනිද්දී පොල් ද, ගිතෙල් ද මුසු කරගනිති. ගිතෙල් සිඳ ගැනීමේදී ඉතිරි වන තෙල් රොඩු ගැමියන් හඳුන්වන්නේ ‍‘තේ රොඩු’ යනුවෙනි. සීනි සම්බෝලයක් මෙන් දිස් වන මේ තේ රොඩු බත්, රොටී, කිරිබත්, පිට්ටු වැනි ආහාර සමඟ මුසු කර කෑමට ගන්නේ මහත් රුචියකින් යුතුව ය.

ගිතෙල් මෙන්ම මී කිරිවලින් සිඳගන්නා දුන්තෙල් ද ආහාර වේල රසවත් කළ තෙල් වර්ගයකි. බත් පිසීමේදී දුන් තෙල් බත අග්‍රගණ්‍ය ය. බත් සමඟ මුසුකොට කෑමට ඉතා ප්‍රියජනක වූ දුන්තෙල්, ව්‍යාංජන රසවත් කිරීම සඳහා තෙම්පරාදු කිරීමට හෙවත් ‘දුවාබාලා’ ගැනීමට ද භාවිත කෙරිණි. සෙනසුරු අපලය දුරු වීම පිණිස කපුටන්ට ගිතෙලින් සෑදූ කිරිබතක් ද ගිතෙල් පහන් වැටි ද දීමත් බලු කපුටු දානයේදී ගිතෙල් මිශ්‍ර කිරිබත් සෑදීමත් සිදු කෙරෙන්නේ ගිතෙල් උසස් පෝෂණ ගුණයෙන් යුතු හෙයිනි.

භික්ෂූන් වහන්සේලා උදෙසා දන් දීමේදී ගිතෙල් හකුරු මිශ්‍ර කිරිබත් ද ගිතෙල් මුසු කළ බත් ද ගිතෙලින් පිසූ ව්‍යාංජන ද යොදා ගත් බව පැරැණි පොතපතේ පවා සඳහන්ව ඇත.

දුටුගැමුණු රජතුමාගේ දාන කටයුත්තකදී ගිතෙල් මිශ්‍ර ආහාර පිදූ බව දැක්වෙන එක් ඡේදයක සඳහන් ව ඇත්තේ.... “සූසාළිස් තැනක නිරන්තරයෙන් තෙල් උපුලුවා පිස කිරිබත් තාබු දුන්හ. තවද සූසාළිස් තැනක එළඟි තෙලැ බඳනා ලද පුළු බදරා සමඟ සූප ව්‍යාංජන සහිත බත් දුන්හ. මහ සෑ පින්කමට පැමිණි භික්ෂූන් වැළැඳූ පාත්‍රා සේදූ අභය වැවේ සතර ගුලක් ගණව ගිතෙල් මිදී සිටියේ යූ හ” යි තවත් තැනක සඳහන් වෙයි.

මෙහි අතිශයෝක්ති බැහැර කළත්, එකල උසස් දානමාන කටයුතුවලදී ආහාර සඳහා ගිතෙල් බෙහෙවින් යොදාගත් බව පැහැදිලි වෙයි. දැනුදු ගිතෙල් මුසුකොට පිසින කිරිබතකින් නැඟෙන සුවඳ අපේ දිවඟට රසය දනවන ආඝ්‍රාණයක් වන්නේ ය. ගිතෙලින් බොහෝ මැල්ලුම් මලවා කෑමට ගැනීමේ සිරිතක් පැරැණියන් තුළ තිබිණි. වැල්පෙනෙල ගිතෙලින් මලවා කෑම ධාතු ශක්තිය වැඩීමටත්, කාය ශක්තිය වර්ධනයටත් හේතු වන අතර දරුඵල නැති ස්ත්‍රී පුරුෂ කාහටත් සරුඵල ලබාගැනීම සඳහා නිරතුරුව ගත යුතු ආහාරයක් ලෙස වැල්පෙනෙල ගිතෙලින් මලවා රතු කැකුළු හාලේ බතුත් සමඟ කෑමට ගැනීම සුදුසු බව දේශීය වෛද්‍යවරු නිර්දේශ කරති.

ලක්වැසියන් තුළ ආහාරයට ගිතෙල් මුසු කර කෑමට ගැනීමේ සිරිත කාලයක සිට පැවැති බව පහළොස්වැනි ශතවර්ෂයේ ලංකාවට පැමිණි වහුවාන් නමැති චීන ජාතිකයා සඳහන් කර ඇත්තේ “ගිතෙල් හා කිරි නැති විටෙක සිංහලයා රහසින් අහර ගනිතැ”යි යනුවෙනි. ආදි හෙළයෝ දී කිරි හෙවත් මුදවන ලද මීකිරිවලට අමතර ව ගිතෙල් ද වෙඬරු ද ආහාරයට ගත්හ. වෙඬරු යනු අන් කිසිවක් නොව වර්තමානයේ ඉංග්‍රීසි බසින් බටර් යනුවෙන් හැඳින්වෙන පස්ගෝ රසයට අයත් කිරෙන් සකස් කරගත් ආහාරයකි.

වෙඬරු සිංහලයන්ගේ ආහාර වට්ටෝරුවට ඇතුළත් ව තිබූ බව රොබට් නොක්ස් සඳහන් කර ඇත්තේ මෙසේ ය.

“කිරි උණු කොට වළඳක බහා තැබීමෙන් දී බවට පත් වන කිරිවල යොදය එයට පසු දා උදෑසන වෙනත් බඳුනක බාහා ලී කඩකින් ගට ගටා පදම් වූ කල්හි ඇතිලියක තබා දිය සින්දා ගැනීමෙන් පසු වෙඬරු සෑදෙන්නේ ය. ඒ වෙඬරු භාජනයක බහා පරිභෝජනය පිණිස ගනු ලැබේ.”

මේ අන්දමට ආහාර පාන සඳහා කිරිවලින් සාදාගත් පස්ගෝ රස ද වෙනත් ආහාර වර්ග ද සිය පරිභෝජනයට ගත් එකල වැසියන් එළවළු හා පලා වර්ග ද ආහාරයට ගත්තේය. කිරි ආහාර මෙන්ම එළවළු හා පලා කොළ ද එකල වැසියන්ගේ ආහාර ව‍ට්ටෝරුවට ඇතුළු ය. ගෙවතුවල හා හේන්වල ද යල කන්නයේ වගා නොකරන කුඹුරුවල ද එළවුළු වගා කෙරුණ අතර පළා වර්ග වෙල් නියරෙන්, ඕවිටෙන්, වැව්පිටියෙන් නෙළා ගත හැකි විය. උදෑසනම කැඳ කෝප්පයක් බී හේනට කුඹුරට ගෙවත්තට යන ගොවියා කය වෙහෙසා වැඩ කරයි.

ගෙවිලිය කුරහන් රොටියක් හෝ තලපයක් පිට්ටුවක් වැනි ‍උදේ ආහාරය රැගෙන ගොවි බිමට ගොස් සිය ස්වාමියාට කෑම පිළිගන්වයි. ඇය කෑම කන්නේ ස්වාමියා කෑවාට පසුව ය. ඉක්බිති ඇය ද හෝරාවක් දෙකක් ගොවි බිමෙහි වැඩපළෙහි නිරත වන්නී ය. ඇය ආපසු ගෙදර එන්නේ දහවල් ආහාර වේලට වම්බටු, වැටකොලු, කරවිල, මෑ කරල්, දඹල ආදි එළවුළුවක් ද ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, කංකුන් වැනි පලා වර්ගයක් ද නෙළා ගෙන ය. ඒ එන ගමන් දහවල් කෑම වේල පිසීමට අවශ්‍ය තරම් දර තුරුල්ලක් ද ගෙන ඒමටත්, ගෙදර වෙසෙන දරු පැටවුන්ට පලතුරක් සපයාගෙන ඒමටත් අමතක නොකරයි. එදා ලක් වනිතාවගේ මෙහෙවර අගය කළ ජන කවියා ආයාසයකින් තොරව ඇය ගැන කියා ඇත්තේ මෙසේ ය.

අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරට ම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ

 

මෙවන් නැළවිලි ගීවලින් එදා ජන සංස්කෘතියේ හැඩ රුව මැනවින් පිළිබිඹු වෙද්දී අපේ සිහියට එන්නේ වර්තමානයේ ලක් වනිතාවන් රුපියල් තුන් හාරදාහක් සහිත අත්බෑගයක් එල්ලා ගෙන සුපර් මාර්කට් ගොස් වස විෂ ගැල්වූ බෝංචි කරල් 20 - 25 ක් ද, කැරට් අල 5 - 6 ක් ද, තක්කාලි ගෙඩි 5 - 6 ක් ද, චිකන්, මාගරින් කුට්ටියක් ද රැගෙන එන්නේ බේබිලාට අයිස්ක්‍රීම් ලීටරයක්, ඔස්ට්‍රේලියාවෙන් ගෙන ආ ඇපල් ගෙඩි තුන හතරක් හෝ මිදි වල්ලක් ද රැගෙන ය. ඒ වන විට පසුම්බිය හිස් ය. ඇ‍ඟේ ලේ වතුර වෙලා ය. මේ තමා එදා සහ අද ආහාර සංස්කෘතියේ වෙනසයි.

කලකට පෙර මෙරට ගැමි ජන සමාජයේ හා නාගරික ජන සමාජයේ ද ආහාර රටාවේ වෙනසක් දක්නට ලැබුණ ද වර්තමානයේදී ගැමියන්ගේ ආහාර රටාව ද නාගරීකරණයට ලක් වී ඇත්තේ නැවත යාවත්කාලීන කළ නොහැකි අන්දමට ය. දැන් දැන් ගැමියෝ තම කුඹුරෙන් නිපදවන හාලේ බත් නො කති. කන්නේ ෆ්‍රයිඩ් රයිස් ය. චිකන් ය. හැම්බේකන් ය. ඉඳහිට හෝ ගෙදර පිසින බත සඳහා ඔවුහු වෙළෙඳපොළෙන් කීරි සම්බා, බාස් මී සම්බා හාල් ගෙන යති. වැල් අල ය. කිරි අල ය. වම්බටු ගෙඩි ය. තිබ්බටුව නොකන ඔවුහු දෙල්, කොස් නොකන ඔවුහු වෙළෙඳපොළෙන් බෝංචි, ලීස්, කැරට්, අර්තාපල් ගෙන යති.

ඒ ආහාර රටාවේ ප්‍රතිවිපාක ඔවුහු යහමින් විඳවති. ගැමියන්ගෙන් 50% - 60% ක් පමණ දෙනා මේ වන විටත් දිනපතා ම රෝහල්වල පෝළිමේ හිඳිති. ඉන් වැඩි දෙනෙක් තරුණ විය පසු කළ මැදිවියේ වූවෝ වෙති. කලකට පෙර නිරෝගී ජනතාව විසුවේ ගම් දනව්වල වුවද අද තත්ත්වය එයට හාත්පසින් ම වෙනස් ය. ගැමි කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් දියවැඩියාවෙන් රුධිර පීඩනයෙන් පෙළෙති.

පැරැණි හෙළදිව විසූ කාන්තාවෝ තම නිවැසියන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් සපයාදීමට උත්සුක වූහ. අප්‍රකට වන ගත දිවියක් ගත කරත් දී පවා ‍වළගම්බා රජතුමාගේ උප මෙහෙසිය රජතුමාට පෝෂ්‍යදායක ආහාර වේලක් සපයා දීම සඳහා වන පෙතට වැදී අලපලා ද, පලතුරු ද සපයා ගත් අන්දම ඉතිහාසයේ සඳහන් ව ඇත. එසේ වූ ජාතියකට අද අත් වී ඇති ඉරණම ඛේදජනක ය.

පරසතුරු උවදුරුවලින් වැළකී සිටීමට වළගම්බා රජතුමා හා මෙහෙසිය තනසීවයන්ගේ නිවෙසේ සිටියදී පවා රජ බිසව කැලෑ වැදී පලා කොළ සෙවූ අන්දම ඉතිහාසකරුවන් අගය කර ඇත්තේ අපේ ආහාර සංස්කෘතියේ අගය මතු පරපුර වෙත ගෙන යෑමට බව අප අමතක නො කළ යුතුය.

දුටුගැමුණු රජතුමා සිය පුත් සාලිය කුමරුට රජකම හිමි නොකළේ සාලිය කුමරු චණ්ඩාල කතක් වූ අශෝක මාලා සරණපාවා ගත් හෙයිනි. එහෙත් ඇය තුළ වූ සූප ශාස්ත්‍ර ඥානය කෙරෙහි රජතුමා පැහැදීමට ලක්ව සිටි බව සද්ධර්මරත්නාකරයෙන් හෙළි වේ.

ඇය ඉතා පෝෂ්‍ය දායක වූ ඖෂධීය කැඳක් පිසීමට දැන සිටි බවත්, ඉන් පිරිහී ගිය කාය ශක්තිය ඇත්තන්ගේ ශරීර ශක්තිය වඩවන බවත් කියැවේ.

අඩ ගැමුණු, ශීලාකාල හා iii කාශ්‍යප ආදි රජවරුන්ගේ සමයෙහි සත්ත්ව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කර තිබුණ ද මෙරට ජනයා සත්ත්ව මාංශ ආහාරයෙන් වැළකී නොසිටියහ. මෙරට සත්ත්ව ඝාතනය දීර්ඝ කාලීනව නවතා දැමිය නොහැකි වූ බව වරින් වර සත්ත්ව ඝාතන පිළිබඳ පැනවූ තහංචි හා සීමාවලින් පැහැදිලි වෙයි.

පොහෝ දිනවල අන්තඃපුරයට මස් නොගෙනන ලෙස viii වන අග්බෝ රජතුමා අණ කළ ව සඳහන් වේ. පෙර රජ දවස රජ දරුවන් ඇතුළු ප්‍රභූන් මුව දඩයම සඳහා වන වැදුණ බව ප්‍රකට කරුණකි. එමෙන්ම මහනුවර රාජධානි සමය වන විට රජවාසලට මස් සැපයීම වැද්දන්ට පැවැරී තිබුණු රාජකාරියකි.

මේ අනුව මෙරට වැසියන් මස් මාංස ද අඩු වැඩි වශයෙන් සිය ආහාර වේලට එක් කරගත් බව පැහැදිලි වෙයි. වන සතුන් දඩයම් කිරීමෙන් ලබාගන්නා මස් දඩමස් හෙවත් ගොඩමස් නමින් හැඳින්වෙන අතර, දියමස් ලෙස හැඳින්වූයේ මත්ස්‍ය මාංසය, හෙවත් මාළු ය. මසුන් වර්ග දෙකකි.

ඒ මූදු මාළු හා වෙල් මාළු හෙවත් වැව් මාළු ය. මෙරට වැසියන් මත්ස්‍ය මාංස හා කරවල ආහාරයට ගත් හෙයින් ඒ අවශ්‍යතා සැපයීමේ නියැළුණු ධීවර ජනතාවක් ද මෙරට විසූහ.

කෙසේ වෙතත් ගව මස් කෑම මෙරට වැසියන් විසින් කිසිසේත් නොකරන ලද්දකි. ගවමස් ආහාරයට ගන්නා නිවෙසකින් දිය පොදක් හෝ බීමට ඔවුහු නොකැමැත්තෝ ය. ගවමස් බුදීම කුලපතනයට හේතුවක් යැයි එකල සමාජ සම්මතයයි.

“තම බුදින මස් හැර නොකන මස් කා කුල නසන මෙන් යැයි තැන නොකන මස” යැයි හඳුන්වා ඇත්තේ ගවමස ය. ගවමස් කන්නන් හට නීච වාදයෙන් අපහාස කිරීමට තරම් පැරැණි සිංහලයෝ උත්සුක වූහ. අඩදබර වන අවස්ථාවල ගෙරි මස් කන නීචයා යි කෙනෙක් තවකකුට බැණ වැදුණ හොත් එය බලවත් අපවාදයකි.

මේජර් ඩේවි සමඟ උඩරටට ගියා ජා හමුදා භටයන්ට එක් විටක කවියෙක් පරිහාස කළේ මෙසේ ය.

අන් කරේට අසු මෙරටට ආවා
ගොන් කුරේට ගෙන දිය වර බොන ජාවා
සන් කරේට නොවටින ගෙරි මස් කෑවා
සිංහලේට ආවට තොපි කැති ගෑවා

 

පැරැණි ඇදහීම් රටාවක් වූ යක්ෂයන් පිදීමේදී යක්ෂ ප්‍රේතාදීන් සඳහා තබන පිදවිලි තට්ටුවලින් හා පිදේනිවලින් පැරැණි ආහාර රටාවේ එක් පැතිකඩක් දිස් වේ. යකැදුරන් විසින් නියම කෙරෙන පරිදි පිදේනිවලදී දැකගත හැකි ආහාර අතර ඇට අටි පහ, ගොඩ මස්, දිය මස්, හා හත් මාළුව ද කැවුම් ද තිබිණි.

ඇට අටි යනු බඳින ලද ධාන්‍ය වර්ගවල පොරි ය. මෑතක් වන තෙක් ම ආහාරය සඳහා පෙරි යොදා ගැනීම දිගාමඬුලු වැසියන්ගේ ආහාර රටාවේ එක් අංගයක් විය. වී පොරි, ඉරිඟු පොරි, ඉදල් ඉරිඟු පොරි පොලුත් සමඟ ආහාරයට ගන්නා ඔවුන් ඉරිඟු කබලේ බැද සාදා ගත් පොරිවලට ගාගත් පොල් කොටා මී පැණි මිශ්‍රකර රස කැවිල්ලක් ලෙස ද ආහාරයට ගනියි.

පැරැණි ආහාර පිළිබඳ කිසියම් නිවැරදි අවබෝධයක් ලබාගත හැක්කේ සංඝයා වහන්සේලා උදෙසා පිදූ දානමාන ගැන විස්තර කෙරෙන මූලාශ්‍රයවලිනි. පිදේනි සඳහා ගත් ආහාර අතර ඇටි අටි පහ, ගොඩමස්, දියමස්, හත් මාළුව හා කැවුම් අයත් වේ. ඇටඅටි පහ යනු බදිනු ලබන ඇට වර්ග පහකි. මේ බදිනු ලැබූ ඇට වර්ග වී, ඉරිඟු, උඳු, මුං තල විය හැකිය. ඒ බව “වළඳන වේලාවට අතුරෙහි දිව්‍යමය උඳු, මුං, තල, ලාලු, අතිරස... ආදී වූ කන බොන දෑ ද ඇරැගෙන පළමු පරිද්දෙන් ම භික්ෂූන් වහනසේ තුමු හැම දෙන අනුභව කළහ” යන සද්ධර්මාලංකාර පාඨයෙන් සනාථ වේ.

ගණ දෙවි හෑල්ලෙහි සඳහන් පද්‍ය‍ මඟින් ද අපට අපේ පැරැණි ආහාර සංස්කෘතියේ හැඩරුව හැදෑරිය හැකිය.

කිරිද වෙඬරුද පස්ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා

 

යන පද්‍ය මඟින් එදා ආහාර වේල රස කළ කිරි ආහාර ගැන හා ඇටඅටි ගැන ද කියැවේ. රස කැවිලි ද, විලඳ ද, කිරිබත් ද, පලතුරු ද ගණ දෙවි පිදීමට ගැනීම මඟින් අප සතුව පැවැති ආහාර සංස්කෘතිය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයි.

මේ නම් කැවුමෙන් නිති පුද ලබනා
අඹ දඹ ඇටඹ ද කරඹ ද පුදමී
ඔළු පළු ලාලු ද ගිවුළු ද පුදමී
අති රස අග්ගල අක්සුණු පුදමී
ගණ දෙවි නුවණක් දෙනු පා වඳිමී

 

පුරා විලඳ අතිරස කිරිබත් සකුරු
සදා මල් බුලත් පුවකුත් ලා කපුරු

 

ආදි කවිවලින් මනාකොට විස්තර කර ඇත්තේ එකල අප අතර පැවැති ආහාර පානාදියයි.

‍ගණ දෙවි හෑල්ලෙහි ම එන,

උක්සකුරු රස තනා
වැළද වරකා ගෙනා
දී කිරිද වෙඬරු නා
මෙසේ බෝජන තනා

 

යන කවියෙන් පස්ගෝ රස මුසු ආහාර සකස් කරගත් බව හෙළි වෙයි.

කිරි බීම සඳහා ගන්නේ පැටවාට ඇති තරම් බීමට කිරි තිබේ නම් පමණකි. බීමට එළකිරි උණු කරගැනීමේදී එයට අමු ඉඟුරු ස්වල්පයක් මුසුකර උණු කරගැනීමටත්, කුඩා ළමුන් සඳහා නම් කලාඳුරු අල කිහිපයක් කිරි මුට්ටියට දමා උණු කරදීමටත් මවුවරු අමතක නො කරති.

දරුවන් සඳහා ආහාරමය පානයක් වශයෙන් කිරි කාලයක සිට මෙරට ජන සමාජයේ ‍භාවිත වූ බව,

නුඹෙ අම්මා කොතන ගියා
කිරි දෝවන් එන්ට ගියා
කිරි මුට්ටිය ග‍ඟේ ගියා
ඒ පාරේ කොක්කු ගියා
කොක්කු මඟදී කිරි බිව්වා

 

ආදි නැළවිලි ගීවලින් හෙළි වෙයි. එළකිරි මෙන්ම මී කිරි ද තුන් වරක් හොඳින් උතුරා යන තෙක් උණු කර පානයට ගැනීම සිරිතකි. එළකිරිවලට වඩා උකු ගතියෙන් යුතු මී කිරි රසයෙන් ද වැඩි ය. එළකිරි ශීත ගුණයෙන් යුතු පානයක් ලෙස සැලකෙන අතර මී කිරි ඌෂ්ණ ගුණයෙන් යුතුය. කිරි බීමට ගැනීමේදී ඇතමෙක් යොදය සහිත කොටස ඉවත් කරති. කිතුල් හකුරු සමඟ මඳ උණුසුම් එළකිරි කෝප්පයක් පානය කළ විට ඇඟට දැනෙන ශක්තිය බත් පිඟානක් කෑවාට වැඩි යැයි ගැමියෝ කියති.

මී කිරි වැඩි වශයෙන් භාවිත කෙරෙන්නේ මුදවා කෑමට ගැනීමට ය. දිගාමඬුල්ල, ඌව බින්තැන්න වෙල්ලස්සේ වැසියන් කිරි සමඟ මුසු කරගෙන නොකන්නේ මත්ස්‍ය මාංස පමණකියි කිව හැකිය. ඒ තරමට ම ඔවුහු කිරි ආහාරයට මුසු කරගනිති.

බත්, පිට්ටු, අල, රොටී, තලප ආදි මේ හැම ආහාරයක් සමඟම මුදවාපු මී කිරි මුසු කරගෙන කන දිගාමඬුලු වැසියන් තෝර දලු මැල්ලුම සමඟ එක හරියට කිරි මුසු කරගෙන බත් හෝ වෙනත් ධාන්‍ය ආහාරයක් කෑමට ගනියි.

කිරි උණු කිරීම දිගාමඬුල්ලේදී කිරිපාස්සා ගැනීම ය. කිරි උණු කිරීමේදී මෙන්ම ඉන් පසුව ද කිරි මුට්ටියේ උඩ කොටසේ යොදය තට්ටුවක් ඝනව ‍සෑදෙයි. මුදවීම සඳහා උණු කරන ලද මී කිරි මුට්ටිවල මේ අන්දමට හැදෙන කිරි යොදය හැන්දකින් වෙන ම හට්ටියකට එකතු කරගන්නේ දුන් තෙල් හිඳීම සඳහා ය. හට්ටියකට වෙන් කරගත් යොදය සහිත මුට්ටිය දරණුවක් මත තබා ඒ සමීපයේ ඉඳගන්නා කාන්තාව මුට්ටිය නොසෙල්වන පරිදි තම කකුල් දෙකට හිප්පාගෙන (හිරකරගෙන) මත් පැතිලිය නම් වූ අඩි තුනක් පමණ දිගැති මිට පැත්ත රවුම් අග කොටස පැතලි කූරකින් හොඳින් පොඩි කරයි. එක දිගට ම පැය භාගයක් පමණ මේ අන්දමට පොඩි කරගත් යොදය පැයකට දෙකකට පමණ පසුව නැවත පොඩි කරයි. දියාරු ගතියෙන් යුතු වන සේ පොඩි කරන ලද යොදය කුණ්ඩහට්ටිය නමින් හැඳින්වන කට කුඩා ලොකු මැටි බඳුනකට දමා වසා තබන්නේ පදම් වීමට ය.

 

දින තුනකට පසු පොල්කටු හැන්දකින් කුණ්ඩහට්ටියේ තිබෙන යොදය නැවත ඉතා හොඳින් හැඳි ගාන්නේ ඇඹරුම් යන්ත්‍රයකින් කිසියම් උකු ද්‍රාවණයක් කලතා ලන්නාක් මෙනි. එසේ කිරීමෙන් පසු යොදය සේදීම නම් ක්‍රියාවලිය සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය තරම් පිරිසුදු ජලය කුණ්ඩ හට්ටියට දමා (පොඩි කරගත් යොදය තිබෙන හට්ටියට) ටික වේලාවක් තිබෙන්නට හැරීමේදී තෙල් සහිත යොදය කොටස වෙන් වී උඩට මතු වන අතර වතුර හා මිශ්‍ර කිරි සහිත කොටස යට කොටසට රොක් වේ. පොල්කටු හැන්දෙන් යොදය කොටස පෙරා බේරා තෙල් කොටස හට්ටියකට දමා ගන්නා කාන්තාව එය ළිපේ තබා රත් කර තෙල් සිඳ ගන්නේ තම පළපුරුද්ද හා කාර්යක්ෂමතාව විදහා දක්වමිනි.

මෙසේ උණු කරගත් තෙල් හට්ටියේ යට ඉතුරු වන කරවුණු ‘තෙල් මුරු’ වෙන් කරගෙන බත්, පිට්ටු, රොටී සමඟ කෑමට ගනියි. දිගාමඬුල්ලේදී මේ තෙල්වල කර වූ කොටස තේ රොඩු නමින් හැඳින්වෙන ‍අතර ඌව වෙල්ලස්සේදී තෙල් මුරු ය. පානම්පත්තුවේදී ‘කුඩුක්ක’ ය.

යොදේ සෝදාගැනීමේදී පොල්කටු හැන්දෙන් යොදය සහිත කොටස පෙරා බේරාගත්තාට පසුව කුණ්ඩ හට්ටියේ ඉතිරි වන වතුර සහිත කිරි කැටි කොටස ‘මෝරු’ නමින් හැඳින්වෙයි. අවශ්‍ය තරම් ලුණු මිශ්‍ර කරගත් මෝරු පානයක් වශයෙන් භාවිත කෙරෙයි.

මෙසේ හැන්දෙන් පොඩි කර සකස් කරගත් මෝරුවලින් තවත් ගුණදායක පානයක් හදාගන්නා උන්නිච්චියේ වැසියෝ එය උදේ පාන්දර ම පානය කරති. අවශ්‍ය පමණ දී කිරි බඳුනකට ගෙන අමු මිරිස් රතු ලූනු සිහින්ව කපා දමා මුසුකොට රැයක් තබා පසුදා උදේ බීමට ගැනීමෙන් ඌෂ්ණාධික රෝග සුව වීමත්, ශරීර ‍ශක්තිය වර්ධනය වීමත් සිදු වෙයි.

එමෙන්ම සිංහල රජදරුවන්ගේ රාජ භෝජන ගැන විමසීමේදී ද අපේ ආහාර සංස්කෘතිය පිළිබඳ හැදෑරීමට හැකි වේ. මෑත භාගයේ හෙවත් මහනුවර රාජ්‍ය සමයේ විසූ රජවරුන්ගේ ප්‍රධාන ආහාර වේලක් සඳහා වෑංජන දෙතිසක් තිබුණු බව සඳහන් වෙයි.

මෙරට මහා වාරිමාර්ග කරවූ, වෙහෙර විහාර ඉදි කරවූ අනුරපුර පොළොන්නරු ආදි යුගවල රජ බොජුනෙහි ව්‍යංජන මීට අඩු වූවා යැයි කිව නොහැකිය. එකල බොහෝ සෙයින් ආහාර සකස් කෙරුණේ පස්ගෝ රසින් යුතුව බව සඳහන් ව ඇත. එසේ වුවත් කිරි හොද්ද සම්බෝලය, ලුණු මිරිස, කුරක්කන් පිට්ටුව වැනි ආහාර රජවරුන් පවා වැළඳූ බව පැවසේ. එකල සම්බෝලය හැඳින්වූයේ මිරිස් වැටිය යනුවෙනි.

වට්ටක්කා, පුහුල් වැනි එළවුළුත්, මුං මෑ ආදි රනිල වර්ගයේ මාශ භෝග වර්ගත් මුසුකර හදාගන්නා හත්මාළුව ද කළුපොල් මාළුව ද සිංහලයන්ගේ පැරණි ආහාර වට්ටෝරුවට අයත් ප්‍රධාන වෑංජන විය. මේ අන්දමට රස ගුණ සපිරි ආහාර රටාවට අයත් නො වූ කිසිදු වනපලාවක් මිහිපිට නො වීය. බිම්මල් හතු වර්ග, කොස්, දෙල් වැනි දෑ මෙන්ම අල බතල ද අපේ ආහාර වට්ටෝරුව සරු කළ ඒවා ය. මේ හැමෙකක් ම ඇසුරෙන් කාන්තාවෝ ව්‍යංජන පිසගැනීමේදී ක්‍රම පහක් අනුගමනය කළ හ. එනම් හොද්ද, මාළුව, නියඹලාව, බැදුම, මැල්ලුම ආදියයි. මේවා ද එක් එක් ප්‍රදේශවලදී විවිධ වෙනස්කම්වලට ලක් කර සාදාගනියි.

කිරි හොද්ද එක් එක් ගෘහිණියෝ තම තමන් ලත් සූපවේද දැනුම හා පළපුරුද්ද අනුව විවිධාකාරයෙන් පිස ගනිති.

කිරිකොස් කෑම සඳහා උඩරට ගැහැනුන් සාදා ගන්නා කිරි හොද්ද ගින්නෙන් රත් නොකර සාදා ගන්නා සූපයකි. එය හැඳින්වෙන්නේ නිරි හොද්ද හෙවත් නිලි හොද්ද යනුවෙනි. පොල්කිරි, රතු ලූනු, අමු මිරිස් හෝ හීන් කොච්චි හා ඉඟුරු පෙත්තක් යොදා එයට පදමට ලුණු ද දෙහි යුෂ ද මිශ්‍ර කර සාදාගන්නා මේ නිලි හොද්දට සිහින්ව කපා ගත් උම්බලකඩ ද යොදාගැනේ.

කිරිකොස් කෑමට ද දෙල් තම්බා කෑමට ද සාදන නිලි හොද්ද සමඟ කොස් මරන්ට පුළුවන් බව ගැමියෝ කියති. කුරහන් පිට්ටු ඉරිඟු පිට්ටු කෑමට ද අපූරු කාරකයක් වන නිලි හොද්දේ රස වැඩි වන්නේ දෙහි යුෂ මිරිකීමෙනි.

මිරිස් හා දෙහි යුෂ නොයොදා සාදාගන්නා උඩරට නිලි හොද්ද සමඟ පිට්ටු කෑමට ගන්නේ කිතුල් පැණි හෝ සීනි මිශ්‍ර කර‍ගැනීමෙනි. දිගාමඬුල්ලේ වැසියන් නිලි හොද්ද නොහදන්නේ පිට්ටු කෑමට ඕනෑවටත් වඩා මී කිරි තිබෙන හෙයිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.